සැවුල් අසුන් පවත්-4

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

සැවුල් අසුන් පවත්-4[සංස්කරණය]

31. පෙළ:- සකත සවත ලෙසැ බුජ බලවිකුම් යුත මහසෙන් සතත නුමුත රඳනා , මහත සැපත පිරි මෙ පුරෙති අනත සිරි වනත අනත, නරඹත සක මුත් කෙ වත?

(වෙනු - එ නම් විෂ්ණු - දෙවියා යැ, කතරගම දෙවියා යැ යන මොවුන් බඳු, අතේ සවියෙන් දක්වන සපන්කම් ඇති මහ බල පිරිස් සියලු කල්හි නිතොර වැ නැවැතී සිටිනා වූ ද, මහත් සැපත් පිරි පවත්නා වූ ද මේ පුරේ ඉමක් නැති සැපත් වැනීම කරනවා නම් අනත් නා රජුත්, බලනවා නම් සක් දෙව් රජුත් හැරැ අන් කවුරු සමත් වෙති ද?)

මේ පුරයේ සැපත් කෙළවරක් නො දක්නා පමණට ඉතා බොහෝයි. ඒවා වැනීම කාට පිළිවන් ද? පිළිවන් වතොත් ‘අනත්’ නම් මහ නයාට පමණයි. එ මහ නයාට සෙස්සන් හට සේ නො වැකටවල් දාහක් ඇත්තේ යි. එ හෙයිනි ඔහු එහි සමත් වෙතොත් වන්නේ මේ පුරයේ සිරි බලා නිම කිරීමටත් ඇස් දෙකේ සතට බැරි වෙයි. එහි පොහොසත් වන්නේ ඇස් දා‍හේ සක් දෙව් රජ පමණයි.

‘සකත’ යනු සකක් අතේ ඇත්තේ නුයි (සකඅත) වෙනු දෙවියාට නමි. හේ බලයෙන් අග තන් පත්තේ යි. ‘සවත’ යනුවත් සයක් ඇත්තේ නු යි කතරගම දෙවියාට නමි. හේ යුද විකුමෙන් පසිඳු දෙවියා යි.


අපේ කවර කිවියාත් යමක් වනා වනා හිත් නො වැදුණු තැනැ එය හමාර කළේ සිරිතක් හැටියට ඉතිරි ‍ෙකාටස මෙ ‘අනත, සක’ යන දෙ දෙනාට පවරමින් තමා.

‘සුදනන් ගෙන් දිමුත්

එ පුරෙහි සියලු සම්පත්

වනත නරඹත හොත්

අනත සකමූත් කවුරු පොහොසත්’ (දහම් සොඬදා) ය

යැයි මෙ කිවියෝ සෙසු තැ නැ දු මෙ සිරිත රැකිය හ.



32. පෙළ:- ලොවැ හැම තැනැ සැපත් එක තැනැ සැපත් සිරි ගත්, සත් නෙත් සිත් රැගත්, එ මහත්, මෙ පුරවරෙහි -

(ලොව පුරා ඇති සැපත් - සම්පත් - එක් තැනකට පැමිණි අයුරක් ඇරැගත්තා වූ, සතුන් ගේ ඇසුත් සිතුත් ගත්තා වූ, ඉතා මහත් මෙ උතුම් පුරයේ -) මෙ කිවියෝ මැ:-

‘ලොවැ සියලු මැ සැපත්

සැපත් තන් මෙන් සිරි ග ත්

දඹදිව් තලැ මහත්

සැවැත් නම් වී පුරෙක යහපත්’ (කුසදා) යැයි මේ මැ පසු ද කී හ.


‘මුළු ලොවැ සිරි සැපත්

සැපත් තන් මෙන් තෙවුනා

මන හදනා මහදනා

රදන රද සිරි මෙ පුරේ’ (හංස) යන්න මැ යි මේ කීයේ ද.



33. පෙළ:- හර තුරුරාජ විලසින් නො විතර යසැති. නිසි පවර මනු රාජ කුලයෙන් පැවැතෙන, රුපු පර රාජ මත ගජ බිඳි කෙසර යුර, වර රාජසිහ නරනිඳු සඳ මෙ පුර දිනෙ.

(මුතු වැළ, සඳ, යන සුපිරිසුදු දැය බඳු අපමණ යසස් ඇති, දොසක් හෙවත් කිලුටක් නැති උතුම් වූ මනුරජ කුලයෙන් පැවැතී එන, සතුරු වූ පර රජුන් නැමැති මද ඇතුන් ගේ කුඹු පැළූ සිංහයා වැනි වූ, උතුම් රාජසිංහ රජතුමා මෙ පුරේ දිනේ හෙවත් වසයි).

මෙහි ‘රාජ සිංහ’ යන්න හා එළිවැටක් මවන්නට යාමෙන් තුරු රාජ, මනු රාජ, පර රාජ, යනු කිසි හිරියක් කිතියක් නැති වැ යෙදීමේ සවිය ඇති වියැ. තුරු රාජ යනු තරුවලට රජ යැයි සඳට නමෙකි. මනු රාජ නම් හිරු පුත් මනු රජ තෙමෙයි. හිරු තෙමේ බඹුගෙන් උපන් පුතා යි, එ හෙයින් හිරු පුත් මනු රජුට ද බඹ උපත ඇත්තේ යි.


‘බඹ උපතින් සැපත

පෙරැ නර ලොවට කැරැ සෙත

නරන් කළ සම්මත

වි යැ නිරිදෙක් ‘මහාසම්මත’ (බුදු. ග. අ.)


යනුයෙන් සඳහන් වන්නේ ද මෙ මනු රජ යි. හින්දු පුරාණයන්හි සදහන් වන මනුවන් ගේ ගණන තුදුයෙකි. ඔවුන්ගෙන් සත්වැන්නා වූ ‘විවස්වත්’ තෙමේ ලෝ සතුන් ගේ ආදී මැ පියා හැටියට සලකනු ලැබේ. එ හෙයින් පොත්හි නො එක් තැනැ ‘මනු රජ’ යන්නෙන් සදහන් වන්නේ හුදෙක් හෙ තෙමේ. පරණ තෙස්තමේන්තුකාරයන් ගේ ‘නොවා’ නම් තැනැත්තා හා සම කළ හැකි මෙ (වී වස්වත්) මනු රජ තෙමේ ‘අයෝධ්යා ව’ ගොඩ නංවා එහි මුලින් මැ රජකම් කළ තැනැත්තා හැටියට සලකනු ලැබේ. ඔහු ගේ දූ වූ ඉළා තොමෝ සොමි පුත් බුද හට අඹුවූ. ඇගෙන් තමා සද කුල (චන්ද්රවවංශ)ය ඇති වූයේ. මනුහු ගේ පුතුන් ගෙන් හිරු ගොත (සූර්යවංශය) වැවිණි.

මෙ (විවස්වත්) මනු තෙමේ ‘යම’ යාගේ සෝවුරා යි. හිරු පුත් හෙයින් යමයා ද ‘විවස්වත්’ නම් වෙයි.


(1. ස්වායම්භුව, 2. ස්වාරෝචිත, 3. උත්තම, 4. තාමය, 5. රෛවත, 6. චාක්ෂුෂ, 7. වෛවස්වත, 8. සාවර්ණි, 9. දක්ෂ සාවර්ණි, 10. බ්ර්හ්මසාවර්ණි, 11. ධර්ම සාවර්ණි, 12. රුද්ර සාවර්ණි, 13. දේව හෙවත් රෞව්යු සාවර්ණි, 14. ඉන්ද්ර් සාවර්ණි යන මූ වෙති තුදුස් මනුවෝ)

‘නිසි’ යනු නොබිදුණු (අසම්හින්න) බව ඇඟැවීමට යෙදුණේ වෙයි.

‘වර’ රාජසිංහ නරනිඳු ‘සඳ’ යන්නේ ‘වර’ යන්නත් සඳ යන්නත් දෙන්නේ එක් මැ අරුත යි. එ හෙයින් මේ පැසැසුම් ලැබියැ යුතු යෙදුමෙක් නොවේ.

‘රාජ සිහ’ යනු දූ සුදුසු යෙදුමෙක් නො වේ. රජ සිහ හෝ ‘රාජසිංහ හෝ විණි නම් ඒ සුදුසු වෙයි.



34. තව ද, මෙ පුරව්ර වරාධිශ්වර සමස්තසාමන්තඟු - පාලමණිමෞලි මාලාලංකෘත ශ්රී පාදද්වන්දෝ පශෝභිත ශ්රීව රාජසිංහ මහා රාජෝත්තමයා ගේ කීර්ති ප්රීතිපාදී ගුණෛක දේශ්යක් ශ්රවවණයකර.

වැළිදු, මේ ඉතා උතුම් පුරයට අදි ඉසුරු වූ සියල් පෙදෙසි රජුන් ගේ මිණි වොටුනු වැළින් සැරැසුණා වූ දෙ සිරි පයින් යු තු වැ බබළන සිරි රජසිහ මහ රජතුමා ගේ යසස් තෙද ආදී ගුණයෙන් ගෙන් එක් කොටසක් අසව).

පුරප්ර වර අධි ඊශවර = පුර ප්රසවරාධිශ්වර

මාලා අලංකෘත = මාලාලංකෘත

ද්වන්ද උපශෝභිත = ද්වන්දෝපශෝභිත

ප්රනතාප ආදී = ප්රපතාපාදී

ගුණ ඒක දේශයක් = ගුණෛකදේශයක්.



35. පෙළ:- සරසවිය සිරිකත මෙ රජු වෙතැ වසත සැපත වියෝ දුක් සිතැ නොමැ කරමිනුදු සතත සතත බඹසර මැ රැකීයෙන් මිසැ සකත ලෙසැ ගත සොවින් කළු නො මැවේ ද?

(සරස්වතීය යැ සිරිකත යැ යන දෙදෙන මෙ රජු කෙරේ වසන කල්හි එයින් පැමිණි වියෝ දුක් සිතට නො ගන්මින් මැ බඹා සදහට බඹසර දහම් රැක්කායින් මිසැ නැති නම් ඔහු ගේත් සිරුර වෙනු ගේ සිරුර සේ කළු නො වේ මැද?

වෙනු (විෂ්ණු) දෙවියා ගේ සිරුර කළු යි. ඔහුගේ සිරුර එ සේ කළු ගැසුණේ වෙන එකක් නිසා නො වෙයි. සෝ ගින්නෙන් දැවීමෙනු යි. ඇයි ඔහුට සොවෙක? වෙනු‍ ගේ අඹු වූ සිරි තොමෝ මේ රජසිහ රජු ළඟට වී වස යි. එයින් පත් වියෝ දුකයි මේ සොවට කරුණ. සිය අඹු වූ සිරිය රජසිහ රජු ළඟට ඇදී වසන නිසා අඹු වියොවින් අටගත් සොවින් තැවී වෙන් දෙවි තෙමේ කළු ගැසුණේ යි.

වෙන් දෙවියා ගේ අඹු පමණෙකැ රජසිහ රජු ළඟට ඇදී වසනු? බඹ ගේ අඹු වූ සරසවි තොමෝ ද එ රජු කෙරේ වස යි. ඉතින් ඇයි අඹු වියොවින් තැවී බඹාත් වෙනු සෙයින් කළු ගැසුණේ නැත්තේ ? බඹු ගේ මුව ගබේ අඹුවක විසුව ද හෙතෙමේ අඹුන් සෙවුනා එකෙක් නො වේ. ඔහු ගේ නිති වැඩේ නම් බඹසර දහම - එ නම් ගිහිකම් වරා සිටීම - රැක්මයි. එ හෙයින් ඔහුට අඹුවක ගේ සදහනෙක් නැති. එයින් වියොදුකෙක් ඔහු ගේ සිතට නොනැ‍ඟෙයි. එ අයුරින් වියොවින් වන් දුකක් සිතට වැද්ද නො ගන්මින් මැ බඹසර දහම රැක්කායින් මිසැ එ සේ නැති නම් බඹාත් වෙනු දෙවියා සේ වියෝ දුක් ගින්නෙන් තැවී කළු නො වන්නේ ද/ වන්නේ මැයි.

‘සිරි යන්නෙන් අදහස් කැරෙන්නේ ‘සම්පත’යි. මෙ රජු කෙරේ ‘සිරි’ වසති යි කීමෙන් මෙ රජු ගේ සම්පතේ හි අති මහත් බව පළ කැරෙයි. සම්පත රැදෙන්නේ බලය ඇති තැනැ යි. වෙන් දෙවියා බලයෙන් අග වෙයි. එ හෙයිනි සිරිය ඔහු ගේ අඹු හැටියට සදහන් කැරෙනු. සිරිය වෙනු හැරැ අවුත් මෙ රජු කෙරේ වෙසෙතියි කීමෙන් මෙ රජු ගේ බලය වෙනු ගේ

බලයට ද වැඩියෙන් මහත් බව පළ වෙයි. වෙනු ගේ බලයට වඩා රජසිහ රජු‍ ගේ බලය මහත් බව දැකැ සිරි වෙනු හැරැ මෙ රජු වෙතැ අවුත් වසති යි කීම නො සිතූ සිරිතක් ද මතු කොටැ දක්වයි. ඒ නම් පෙරැ සිටැ කළ ඇසුර නො සදහා සැපත් වැඩි තන් බලා හිමි හැරැ යන ගෑනු සිරිත යි. පිරිහුණු හිමියා හැරැ බල වැඩි එකකු කෙරේ ගොස් ඇලීම ගෑනු සිරිත හෝ වියැ යුතු. නැත මහ ‍ෙබලෙන් දුඹුලා ඔබා ඔහුගේ අඹුව තමා කෙරේ වස්වා ගැනීම පිරිමි සිරිත හෝ වියැ යුතු.

‘සරසවිය’ යන්නේ පරම අරුත නම් වදන්පති බව යි. වේදයට පියා වු බඹු ගේ මුව ගබේ සරසවිය වසති යි කියන්නේ බඹුගේ වදන්පති බව සලකා යි.සරසවිය බඹු හැරැ මෙ රජු කෙරේ වෙසෙති යි කීමෙන් ඇඟැවෙන්නේ මෙ රජු බඹුට ද වැඩියෙන් වදන්පති වැ සිටිනා බවයි.


ස තො සි න් වසත සිරි සරසවිය මොහු කෙරේ

වි යො වි න් පැමිණි දුක් නො මැ විඳැ ඒ අවසරේ

රැ කි යෙ න් මිසක් බඹ බඹ සර මැ අරතරේ

සො ව ගි න් තැවි කළු නො මැවේ ද වෙනු යුරේ


(තිසර) යන්න මේ කවියේ පියා යි.


සතක් අතේ ඇත්තේ නු යි බඹුට ‘සත්අත්’ යැයි නමෙකි. ඒ ‘සතතැ’යි ගැළැපී සිටී. මහ බඹු ගේ සේ සතා ඉතා පළ එකෙකි.



36. පෙළ:- උවිඳු කිරණ අළලන සඳැ නැඟී, සොබන තරිදු අමා සිතුමිණ සුරතුර රැගෙනැ සිනිඳු වත තෙපල සිත අතට යොදමින මහ බඹු විසින පසිඳු මෙ හිමි මැවූ වැනි.

(වෙනු කිරිමූද කළඹවන වේලායේදී එයින් පැනැ නැඟුණු හොබනා හඳ යැ, අමාව යැ, සිතුමිණ යැ, සුරතුර යැ යන මේ දැය ඇරැගෙනැ සිනිඳු වූ මූණ යැ, වදන යැ, සිත යැ, අත යැ, යන මේවා සදහා පිහිටුවා බඹු විසින් මේ රජු මැවූ හැටි යි).

මෙ රජ බඹා විසින් මවන ලද්දේයි. බඹ තෙමේ මෙ රජු මැවීමේ දී මූණ පිණිසැ සඳ පිහිටුවැ ලූයේ යි. වදන් පිණිසැ අමාව බහා ලූ යේ යි, සිත හෙවත් හද පිණිසැ සිතුමිණ පිහිටුවා ලූයේ යි, අත් පිණිසැ සුරතුර යෙදූයේයි. එ පිණිසැ එ දැය බඹුට ගන්නට ලැබුණේ වෙනු කිරි මූද කැළැඹැවූ විටැ ඉන් ඒ දැය පැනැ නැඟුණු නිසාය.

රජු ගේ මූණ සඳ මෙන් ‍ෙසාමි බවත්, වදන් අමා සේ මිහිරි බවත්, සිත සිතුමිණ බඳු වැ දෙන හිත මැ වැ පවත්නා බවත්, අත් දෙන්නට මැ ඇරී සුර තුරු සේ ඇති බවත් මින් කියැවිණි.

මේ කිරි මුහුද ඇළැලීමේ පුවත නො සදහන් පැදි පොතක් අපට නැත්නේ යි. කිසි විටෙකැ එක පොතේ දෙතුන් ‍පළේ ද මෙය සදහනි. එ හෙයින් ඒ ඉතා පසිඳුයි.


1. ලක්ෂ්මි, (සිරිකත)

2. කෞස්තුහ පාෂාණය, (කොතබු ගල)

3. පාරි ජාතක වෘක්ෂය, (පරසතු රුක)

4. සුරා දේවි,

5. ධන්වන්තරී ඍෂිය,

6. චන්ද්රතයා,

7. කාම දායක ගවයෝ (සුරබි ආදීහු)

8. ඓරාවණ හස්ති,

9. රම්ඟා ආදී දෙවඟනෝ,

10. සප්ත මුඛ අශ්වයා,

11. කාලකූට විෂය,

12. විෂ්ණුහු ගේ දුන්න,

13. ,, ශංඛය,

14. අමෘතය,


යන තුදුස් ගණය කිරි මුහුද ඇළැලීමේ දී නැඟුණහ යි හින්දුවෝ:-


‘ලක්ෂ්මිඃ කෞස්තුභ පාරිජාතකසුරාධන්වන්තරීශ්චන්ද්රනමා

ගාවඃ කාමදුඝාඃ සුරේශ්වරගජෝ රම්භාදී දේ වාඬිගනාඃ
අශ්වඃ සප්තමුබෝ විෂං හරිධනුඃ ශඬ්බෝමෘතං චාම්බුධෙ
රත්නානීභ චතුර්දශ ප්රහතිදිනං කුරුවන්තු වෝ මඬගලම්’

යනුවෙන් එ බලෙන් ද සෙත් වඩත්.


37. පෙළ:- නො හිම්, රුඳු, සතුරු ගනඳුරු දුරැලමිනි මෙ හිමි සඳු මෙ සිරිලකඹරැ දැඟුම් වත උතුම් සිවුසහරවත් සසි නිඳු කිරණ සව්සත සතනැ පෙම් සිඳු උදම් කෙළෙ යැ

(මෙ තෙකැයි ඉමක් නැත්තාවූ, මහත් සතුරන් නැමැති ගන අඳුරු දුරු කරමින් මෙ රජු නැමැති සද සිරි ලක් දිව නමැති අහසේ සැරීම - ඇවිදීම - කරන කල්හි උතුම් වූ සතර සංග්රදහ වස්තු නැමැති ඉතා සිනිඳු කාන්තිය සියලු සතුන් ගේ සිතේ වූ ප්රේවමය නැමැති මූද ඔද වඩවා ලූයේයි).

ලක් දිව් තලය අහස හැටියටත්, රුදු සතුරන් ගන අදර හැටියටත්, රජු සඳ හැටියටත් එ රජු දෙන සිවු සඟරාවත් සඳ එළිය හැටියටත් දනන් ගේ සිතේ ඇති ආදරය මූද හැටියටත් මෙහි දැක්විණි.

රජුට සතුරන් බොහෝ බවද, ඔවුන් රුදුරු බව ද පවසමින් රජු ඔවුන් නස නසා රටේ ඇවිදුනා ගමන් මැ රට වැසියා සිවුසඟරාවතින් තුටු කරවන බවත් එයින් රජු කෙරේ ඔවුන්ගේ සිතේ ඇල්ම වැඩි වන බවත් මේ කි සැටියි. සඳගන අඳුර බිඳිමින් අහසේ සරන විටැ ඉන් නික්මෙන කිරණින් මුහුද ඔද වැඩේ. එයින් මුහුද ඔද වැඩුණත් සඳුගේ කිරණ පතුරුවා ලීමේ අදහස අඳුර දුරු කිරීම යි; එ සෙයින් රජු රට වැසියන් සිවු සඟරා වතින් තුස්වන්නේ ද සතුරන් නැසීම පිණිසැ වියැ යුතු.

සිවු සඟරාවත නම් ‘දීම (දාන), පියවදන් බිණීම, (ප්රියය වචනය), වැඩ සිදු කිරීම (අර්ථ චර්යා), අනුන්හට ද තමන්හට සේ දුක සැප ඇති වන බව සලකා කටයුතු කිරීම (සමානාත්මතා) යන සතර යි’ මේ හොඳ රජකු විසින් පිළි පැදියැ යුතු සැටි යි.

‘ගනඳුරු’ යනු ‘ගන අඳුරු’ යි බිඳී සිටි. ‘ලමනි’ යනු වහරේ සිටිනේ ‘ලමින්’ කියා යි.



38. පෙළ:- වෙන් විකුමැති මෙ නිරිඳු සොඳුරු හස රද සිළු වන් වොරඳ තෙද තුඩු දිගු කරමින් නන් දෙස රද කර සර පඬුරු මුවරද මන් ලෙසැ රැගෙනැ ලක අරද සරැ වැජැඹේ.

(වෙනු ගේ සපන් කම් බඳු සපන් කම් ඇති මෙ රජු නැමැති මනා වූ හස් රජ තෙමේ ගින දැලි වන් තෙද නැමැති තුඩ දිගු කොටැ නො එක් දිසායේ රජුන් ගේ අත් නැමැති නෙළුම්මල්වලින් පඬුරු නමැති මල් පැන් සිතේ හැටියට ගන්මින් ලංකාව නැමැති මහ විලේ උසින් පෙනී සිටි).

රජ සිහ රජු හංසයකු හැටියටත් එ රජු ගේ තෙද ඒ හංසයා ගේ තුඩ හැටියටත් ලක්දිව එ හංසයා සිටිනා විල හැටියටත් නො එක් පෙදෙස්හි රජුන් දෝතින් පිළි ගන්වන පඬුරු නෙළුම් මල්හි මුවරද හැටියටත් දැක්වීමටයි මෙ පැදියේ අදහස. ඒ අදහස ඇඟැවීමට පද යෙදූ හැටි ඉතා අවුල් සහිත යි.

‘වන් සිළු තෙද තුඩු’ යනු විකාර යෙදීමෙකි. ‘සිළු යන්නේ අදහස’ ‘මුදුන්’ යනු යි. බමුණා ගේ සිළුව නම් උගේ හිස මුදුනේ කෙස් රොද යි, කුකුළා ගේ සිළුව නම් උගේ කරමල යි, ගින්නේ සිළු නම් ගිනි දැලි යි, මෙහි ‘සිළු’ යි කීයේ කුමකට දැයි පෙනෙනට නැති. ‘තෙද සිළු’යි ගත හොත් එ තැනැ කාරිය සිදු වෙතත් ‘තෙද සිළු වන් තුඩ’ යැයි උපමාව ගත් කලැ එය නිකම් මැ විහිළු වෙයි. මේ අවුල වූයේ ‘න්’ යන්නෙන් බඳිනා ලද එළි වැටට සිත

දීමෙනි. කිවි තුමන් අදහස් කරන්නට ඇත්තේ විලෙකැ හස් රජකු ඒ විලේ පිපී ඇති නෙළුම්මල්වලට තුඩ ඇනැ ඒවායේ පැණි බොන්නා වගේ මේ රජ තමාගේ තෙද පත්රුවා පර රජුන් දෝතින් පිළිගන්වන පඬුරු ලබන බවයි. උපමාව නම් හොදයි, එය පළ කිරීමට සුදුසු පරිද වදන් නො යෙදුවා මිසැ.

‘නන් දෙසැ’ යන්නෙන් ලක්දිවේ මැ නෙ පෙදෙස් මිසැ පිට රට ගන්නට ඉඩෙක් නො ලැබෙයි. ‘ලක සරැ’ යි කී හෙයින් ලක් විලේ හංසයාට පැණි බියැ හැක්කේ ඒ විලේ මැ පියුම් වලින් පමණෙකි.

‘සර’ යනු ‘නෙළුම්මලට ද විලට ද එක සේ යෙදේ. ‘කර සර’ කීයේ අත් නැමැති නෙළුම්මල් වලට යි. ‘ලක සර’ කීයේ ලක්දිව නැමැති විලට යි.



39. පෙළ:- මෙ හිමි කර මහ මෙයිනි පැහැදුළ සිපත සෙණ රුපු නිරිඳු ගිරි කුළ සතත ගසත දිගත පැතිරැ යන නැබළ යස ගිඟුමට උනඹු කර හර බලා වැළ පතිත වී යැ.

(මෙ හිමියා ගේ හෙවත් රජු‍ ගේ අත නැමැති වැස්සෙන්, පැහැපත් වැ දිළි‍ෙයන කඩුව නැමැති හෙණය - නැතිනම් අකුණ - සතුරු රජු නැමැති කඳු මුදුනට අතරක් නැති වැ ගසන කල්හි දිසා කෙළවර තෙක් පැතිරී යන යසස - යස ගොස- නැමැති මහ ගිගිරීමට ඔවුන් අඹුවන් ගේ ‍කරේ වූ මුතු වැළ නැමැති කොක් පෙළ වැටුණේ යි).

රජු ගේ අත වැහි කළුවකටත් එ අතේ ඇති රුපුන් කොටන කඩුව හෙණයකටත්, එයින් පහර කන සතුරු රජ කඳු මුදුනක් හැටියටත්, රජු ගේ යස ගොස සෙණ හඬක් හැටියටත්, සතුරු රජු ගේ මෙහෙසන කරැ පැළැදී මුතු වැළ කොක් පෙළක් හැටියටත් මෙහි දැක්විණි.

මෙ රජු‍ ගේ අතේ කඩුව ඇති, ඉන් නිති සතුරු රජුන් හට පහර ලැබේ. එ සතුරන් වැටෙත් රජු ගේ යස ගොස පැතිරේ. එ හඩින් තම හිමියන් මළ බව දත් සතුරු රජ අඹු‍වෝ කරැ පළන් මුතු වැළ සිදැ හෙළති;

වැසි කළුවේ විදුලිය කොටා සෙණක් පාත් වෙයි. ඒ සෙණය වදින්නේ උස් කඳු මුදුනකට යි, අකුණ පුපුළ හඬ දිගත් පුරා පැතිරේ, එ මහ හඬට කොක් පෙළ ඉහිරී යති;

රජු අතින් සිදු වන්නත් වැසි කළුවෙන් සිදුවන්නත් එක් සම කොටැ දැක්වීම යි මෙහි කැරුණේ.

නො එක් තැනැ වූ වැනුම් කිහිපයක් ගරා මෙය කරන්නට යා මෙන් ඇති වූ සුළු පාහේ දුඹුල් කම් කීපයක් පෙනෙතත් වැනීම බොල් මැ එකෙක් නොවේ.

වැහි කළුවෙන් රුපුනට හෙණ වදිතත් එයින් පහත් අයට සැලැසෙන්නේ සෙතෙකි. එ හෙයින් කැරෙන්න බලා අත වැහි කළුවකට සම කිරීමෙහි ඇති දොසක් නැති. එහෙත් මෙ රජු මැ වැසි කළුව කොටැ ගත්තා නම් කොයි අතටත් ඒ සුදුසු වේ.


‘මෙ නිරිඳු පැදුම් රද

මහ දන් වැසි වසින සඳ’ (ක: සේ) යැයි රහල් හිමියෝ රජකු වැසි කළුවට සම කළහ.


එහිමියෝ මැ :-


‘නම කළ සත හැලේ සි ලි ලේ දෙන සිහිලී

බිය සෙණ රුපු කැලේ තු මු ලේ		දෙන නොකලී
නළලත ගිරි තෙලේ	    සු නි ලේ		රැසිතිපිලී
සු ර ර ද දෙබැ ම ලේ   ග න ලේ	              සිරි කියෙලී’  (සැළ) 

යි විබිසණ සුරිඳු ගේ දෙ බැම වැසිවලා රොදකට සම කළහ. එහෙත් අතක් මේ කුළකට සම කිරීමට ඔවුන් ඈ කිවියෝ නො සිතූ.


‘යස නැබළ ගිඟුමට’ යන තැනැ ‘යස’ යන්නෙන් අදහස් කරන ලද්දේ යස ‍ෙගාස වියැ යුතු. එ සේ නැති වැ යසසක් සඳහා උපමානයට ගොසක් නො ගත හැකි. නැබළ ගොසැ යි කීයේ හෙණ ගසන විටැ ඇසෙන මහ ගොසටයි. එය උපමාන වියැ යුත්තේ තවත් ගොස කට මිසැ යසසකට නොවේ. එ හෙයින් ‘යස ගොස’ යනු ඇඟැවීමට යස යැ යි යෙදීම සුදුසු නො‍ වේ.

හිමියන් නැසුණු බව ඇසූ අඹුවන් පළන් අබරණ ගලවා ලනු සිරිති. සතුරු රජුන් ගේ අඹුන් ඔවුන් කරැ වූ මුතු වැළ සිදැ විසුරුවනු කොකුන් ගේ හෝ හංසයන් ගේ හෝ පෙළ බිඳී විසිරැ යාමකට යි සමවියැ යුතු. ‘බැලා වැළ පතිත වියැ’ යන්නෙන් පෙනෙන්නේ සෙණ හඬ අසා කොක් පෙළ වැටුණු බවයි. එ බන්දක් සිදුවනු මා නම් අසා නැති. මේ මුතු වැළ සිඳීම :-

‘සෙනඟැ ඔහු ගජනා

ගජ මේ කැල උතුරු දෙස

රුපු පියන් තන හස ගත්

හර පොකුරු කුරු දුරැලී’ (කවි: සි: 1.61) යි විසිතුරුවට දක්වා ඇති. ඒ මැ:-


ල කි සු රු සුරතැ ලෙළ කගපත වලා කුළේ

නි ර තු රු නැගෙන එ විග සැ පැළ දිගින් වෙළේ

අ මි තු රු නිරිඳු අඟනන් කොමළ උරතෙළේ

පි යො වු රු තිසර මුතුහර නෙළුඹු දැලි හෙළේ’

යි පැරැකුම්බා සිරිත් කාරයො ද කීහ.

‘සිපත’ යනු අසිපත යන්නේ මුලකුර අනුසුර වීමෙන් වු යේයි. උතුමා, අයුණු ඇහි ද මෙ නය දක්නට ලැබේ. ‘දීගත’ යනු ‘දිගු අත’ යැයි බිදේ. ‘පතිත වියැ’ යනු හොද එළු ‍ෙනා වේ. ‘උනඹු’ යනු ‘උන් අඹු’ යන දෙකේ ගැළැපීමෙකි.

වැසි කලට කොකුන් ගේ දැක්ම නියත යි. එහෙත් සෙණ හඬට ඔවුන් වැටුනු අසබා යි.



40. පෙළ:- සිරිමත මෙ හිමි රුපුනුවර වැදැ යුද කැරැ දිනු බව දැකැ පුරඳර බියෙනි නො නැවත, සිඳු සත අගළ (ද) සත් කුල තිකුළත වෙසෙයි සිතෙනු යැ.

(සිරිමත් වූ මෙහි හිමියා සතුරන් ගේ නුවරවලට වැදී හටන් කොටැ දිනු බව දැකැ සක් දෙව් රජ බිය නිසා නො රැඳී දිවැ, සත් සමුදුර අගළ හැටියට ද සත් කුල පව් පෙළ පවුරු හැටියට ද ගෙනැ මහමෙර අවර බලයක් කොටැ තුන් කුළ අතරැ ඇතුළු පෙදෙසේ වෙසේ යැ යනු සිතේ).

මෙහි ‘පුරදර’ යනු අලගියවන්න රාලහාමින් හට හෝ පිටපත් කළවුන් හට හෝ වැරැදීමෙකින් වැටුණු බව පෙනේ. ‘පුරඳර’ යන්නෙන් සක්දෙව් රජ අඟවනු ලැබේ. සක්රජු තිකුළත වෙසෙතියි කිම සිංහයා ලිදේ නිදති යි කිමට දෙ වැනි නොවේ. සක් රජු වසන්නේ මෙර මුදුනේ යි. මෙර පත්ලේ තුන් කුළ අතරැ වසන්නේ අසුර රජ යි. එ හෙයින් මෙහි ‘පුරඳර’ යනු ‘රඳ’ සර’ කියා හෝ ‘නිතුළත’ යනු තිකුලග කියා හෝ වෙනස් කළ යුතු වෙයි. ‘තිකුළත’ යන්න වෙනස් කිරීමට එළි වැට අවසර නොපායි. ‘පුරඳර’ යනු මැ ‘රද, සුරැ’යි පෙරැළිම සුදුසු වේ.

‘දුකු රඹ අරන මුළු පුට දිරදෙවු අරඳ

විකුමට පසිදු මොහු වෙපසින් අසුර රඳ

දැකුමට බියෙන් සැඟැවී බල කොටැ මෙර ඳ

	 තිකුළතැ වෙසෙයි සිතෙනු යැ වට කොට	නිරද’-(කොවුල්)  යන්න සිතට ගෙනැ,


‘සත් සමුදුර අගළ

සත් ගිරි පවුරු වට කළ

සක් පුර මිසැ උදුළ

එ පුර සරි කොද පුරෙක් සක්වළ’ (බු.අ.)


යන්නේත් එය සරසා මේ උපමාව ‍මවන්නට යාමෙනු යි අවුල ඇති කොටැ ගන්නා ලද්දේ. ‘රද සුර’ යැයි ගෙනැ ‘තිකුළත වෙසෙයි’ යන්න සුදුසු බවට පැමිණැවුවත් ‘සත් සමුදුරත් , සත් කුල පවුත්’ අගළ, පවුරු හැටියට සිටියේ අසුරට නො වැ සුරපුරට හෙයින් ඉනුඳු වැඩෙක් පුරා සිදු නො වෙයි.

‘පෙ ර සු ර පුරට පව් රෙව් මෙර වටා සිටි

ස මු දු ර තරඟ සෙමෙරට ලූ කිරණ මිටි

යු ග ඳු ර පටන් අඩෙකින් එකිනෙකට මිටි

  		 ම  න  හ ර	රුවන් සත් කුල පවු වළලු                   දිටි’-(ගුත්තිල දා) යි වෑත්තෑවේ හිමියෝ ද කුලපවු සක් පුරට පවුරු සේ දුටුහ. ඒවා අසුර පුරට පවුරු නො වේ.

‘තිකුළ’ නම් හැළියක් දරා සිටිනා ළිග්ගල් කැට තුනක් සේ මහ මෙර දරා සිටුනා මහ ගල් තුනයි. ඒ ගල් තුන අතරේ බිම යි අසුරපුර.

‘සිරිමත’ යනු ‘සිරිමත්’ යැ යි වහරේ සිටී. ‘තිකුළතැ’ යනු ‘තිකුළ අතැ’ යි බිඳී සිටී. තුන් කුළ! තුළැ යනු එහි අරුති.

"https://si.wikibooks.org/w/index.php?title=සැවුල්_අසුන්_පවත්-4&oldid=4099" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි