සැවුල් අසුන් පවත්-5
සැවුල් අසුන් පවත්-5
[සංස්කරණය]41. පෙළ:- හර, සුර ගහ තරඟ රඟ සුනිමල් යසැති, තරසර, මෙ රද තද තෙද යුගත සැඬ නල වැදැ, මැතිවර තුමුල සත් කුල ගිරි පෙළිනවල, රුපු නරවර සුනෙර මුලිනිගිළැ ගියෙ බල!
(මුතු ඇට වැළ, අහස් ගඟේ රළ- යන දැය - බඳු ඉතා පිරිසිදු යසස් ඇති, තිර බැවින් සරු වූ මෙ රජු ගේ දැඩි තෙද නැමැති කප් කෙළැ සුළඟ වැදී, ඇමති උතුමන් නැමැති මහත් වූ සත් කුල පවු පෙළින් වට වූ සතුරු රජ තුමා නැමැති මහ මෙර මුලින් ඉගිළි ගියේ යි. බලව!)
මෙහි සතුරු රජුන් මහ මෙර බඳු කොටැ මෙ (රජ සිහ) රජු ගේ තෙද යුග කෙළැ හමා බස්නා සැඬ පවන හැටියට දක්වන ලද බව පෙනේ. සතුරු
රජුන් ෙග් ඇමැත්තෝ සත් කුල ගිරි බඳු කොටැ දක්වන ලද්දෝ යි. මීට පළමු මෙ (රජ සිහ) රජු ද මහ මෙර බඳු කොටැ මෙ රජු ගේ ඇමතියන් කුල ගිරි කොටැ දක්වන ලද බව සදහනි (24 වැනි පැදිය). එහි රජු සුනෙර හැටියටත් මැනියන් කුල ගිරි හැටියටත් දැක්වීම නිසි සේ කැරුණ ද මෙහි ඒ එතරම් නිසි සේ ෙනා පෙනේ. එසේ මා කියන්නේ මෙහි දී ‘කුලගිරි’ යන්න වෙනුවට ‘සත් කුලගිරි’ යි ගණන ද සදහන් කිරීම නිසා යි. මැති කුලන් - නැත්නම් මැතියන් - සත් කුල ගිරි බඳු යි කී විටැ එ මැතියන් ගේ ගණන ද සතක් වියැ යුතු යි. එහෙත් රජකු කෙරේ විසි යැ යුතු මැතියන් ගේ ගණන සතක් වියැ යුතු යි. එහෙත් රජකු කෙරේ විසි යැ යුතු මැතියන් ගේ ගණන සතක් මැ වියැ යුතු යැයි නියමයක් නැති හෙයින් මෙහි ‘සත්’ යන්න තැනට ඔබින්නේ නැති.
‘යුගත’ යනු ‘යුග අත’ යැයි බිඳී සිටී යුග අත නම් යුගයේ අන්ත ය යි. හෙවත් කෙළවර යි. මෙකි ‘යුග’ යන්නෙන් අදහස් කරන ලද්දේ කල්පයකට අයත් කොටස් සතර යි. මේ සතර යුගය අවසනැ ගින්නෙන්, දියෙන් හෝ සුළඟින් හෝ ලොව නසිති යි ‘පුරාණ’ කාරයෝ කියති. එයට මැ තමා කල්ප ‘විනාශය’ හෙවත් කප නැස්ම යැ යි කියන්නේ ත්.
සිවු යුගයෙන් දැනට මැ තුනක් ගෙවී ගොස් ඇති. දැන් පවත්නේ සිවු වැනි වූ ‘කලි යුගය’ යි. එ ලැබුයේ කිතුනු වසට පෙරැ 3102 වැන්නේ පෙබරවාරි මසැ 17 වැනිදා ගෙවී 18 වැනිදා ට ලබන මැදියම් රැයේ දී යි. එ හෙයින් 1955 ට ලැබූ පෙබරවාරි මසැ 17 වැනිදා ගෙවන විටැ කලියුගයෙන් අවුරුදු 5057 ක් ගෙවී ගියා වෙයි. මුළු කලියුගයට අයත් වන්නේ නර අවුරුදු 432000 කි. එ හෙයින් පුරාණ කාරයන් ගේ කීමේ හැටියට ලොව වැනැසෙන්නට තව ඉදිරියට නර අවුරුදු 326943 ක් ඇත්තේ යි (බිය නො වියැ යුතු!). සිවු යුගයේ දිග පමණ මෙ සේ වේ :-
කෘත (සත්ය ) යුගය අවුරුදු 1728000
ත්රෙේතා ,, ,, 1296000
ද්වාපර ,, ,, 864000
කලි ,, ., 432000
එයින් පළමු යුග තුනත් කලියුගයෙන් අවුරුදු පන්දහස් පනස් හතකුත් ගෙවි ඇති හෙයින් පුරාණ කාරයන් ගේ කීමේ හැටියට 1955 පෙබරවාරි 17 වන දාට ලොවේ වයස අවුරුද 3833057 කි.
යුග අවසනැ - එ නම් කප් කෙළවරැ සුලඟින් කප නස්නා විටැ සිවු දිගින් හමා බස්නා ‘වේරම්බ’ වාතයෙන් මුළු මහත් සමුදුරු ජලය ගොඩ ගමන් ගනී ලු. කුලපවූ සහිත මහ මෙර ඉදිරි ඉල්පී ගසා යේලූ. මෙ රජු ගේ තෙද නැමැති යුග අතැ සුළඟින් මැනියන් නැමැති කුලපව් සහිත රුපු රජුන් නැමැති මහ මෙරවල් මුලින් ඉදිරි ගිය බව යි මෙහි කියැවුණේ. ‘යුග අතැනල’ සැබැවින් මැ සැඬ වේ. එ හෙයින් එහි සැඬ බවක් කියැ යුතු නො වේ. ‘සැඬ’ නලක් වෙසෙසින් සඳහන් කරන්නේ නො සැඬ නල ද ඇති හෙයිනි. යුග අත නල සැඬ මැ යි. එ හෙයින් එ වෙසෙසීම ඇවැසි නො වේ. යුග අතැ ‘සැඬ’ නලැ යි කීම ‘උස්’ වූ මහ මෙරැයි කීම බදු එකෙකි.
‘තෙද’ පිණිසැ වෙසෙසින් උපමාන වියැ යුත්තේ යුග අත අනල (යුග අවසනැ ගින්න) යි. එහෙත් මෙ තැනට එයින් වැඩෙක් නැති.
42. පෙළ:- මන නද මෙ රද හිමි සිවු සයුර පිරිසිද මිහි මඬල නො මැ හැරැ එක්සත් කරන වර, මොහු පද නිය කිරණ සුර ගහ සිර දරා, හැම බිය දුරැර රුපු රද ඉසුරු බව ලඳු.
(සිත් තුටු කරවන්නා වූ මෙ රජ හිමියා සතර සයුර අවසන් කොටැ ඇති පොළෝ තල මඬල ඉතිරි නො කැරැ මැ එක්සත් කරන කල්හි, මෙ රජු ගේ පයේ නිය
රස් නැමැති අහස් ගඟ සිරසින් උසුලා, සියලු බිය දුරු කැරැ, සතුරු රජහු ඉසුරු බව - හෙවත් අදිපති බව - ලැබූහ).
‘මුළු පොළෝ තලය සතර දිගින් සතර සයුර අවසන් කොටැ ඇත්තේ යැ’යි පුරාණ කතා කරුවෝ පවසති. ඔවුන් ගේ බස් අනුවැ මුළු පොළෝ තලයට සතර ඉම සතර සයුර යි. සතර සයුර කෙළවර කොටැ ඇත්තා වූ මුළු පොළෝ තලය ඉතිරි නො කොටැ එක්සත් කිරීමෙහි මෙ රජ සිහ රජ තෙමේ යෙදී සිටියේ යි. එ සේ යෙදී සිටිනා කල්හි එ රජුට පිළමල් වූ හෙවත් සතුරු වු රජ හු තුමු ඔහුට සතුරු වැ සිටීමට නො පොහොසත් බැවින් ඔහු ගේ පා වැඳැ යටහත් බව අඟවා පෙරළා ඔවුන් ඔවුන් ගේ පෙදෙස්වලට පැවැති රජ බව මෙ රජුගෙන් ලැබ ගත්හ. එ බව යි මේ කීයේ.
මෙ රජ සිහ රජු මුළු පොළොව තම හට නතු කිරීමෙහි යෙදී සටන් ඇරඹි විටැ ඒ ඒ රටේ රජුන් මොහු ගේ පා වැඳැ යටත් බව අඟවා පළමු පැවැති රජ බව හෙවත් ඒ ඒ රටට අදිපති බව මෙ රජු ගෙන් ලැබැ ගත් බව යි මේ පළ කෙළේ.
මෙ රජු ගේ පා වැඳැ ඒ ඒ පෙදෙසට අදිපති බව ලැබීම ‘ඉසුරු’ (ඊශ්වර) බව ලැබීම හා සරි කොටැ පෙන්වන උපමාවෙක් මෙහි වෙයි.
‘ඉසුරු’ යන්නෙන්’ ‘අදිපති’ යන අරුත සේ මැ ඉසුරු (ඊශ්වර) දෙවියා යන අරුත ද දෙයි. (මහ) ඉසුරා සිරසින් අහස් ගඟ දරයි. මෙ ඉසුරෝත් සිරසින් අහස් ගඟක් දරති. මහ ඉසුරා සිරසින් දරන්නේ වයිකුණ්ඨයේ වෙසෙන වෙනුහු ගේ පයේ මහපටැඟිලි අගින් හෙන්නා වූ අහස් ගඟ යි. මෙ ඉසුරන් සිරසින් දරන්නේ මෙ (රජ සිහ) රජු ගේ පයේ නිය රස් නැමැති අහස් ගඟ යි. මෙහි රජ සිහ රජු ගේ පයේ නිය රස් අහස් ගඟට සම කොටැ දක්වන ලදී. පා නිය ඉතා සුදු හෙයින් වැන.
‘නිරිඳු පද නිය රස්
පිරිසුදු දියෙන් සිහිලස්
කැරැ මුදුනතබි සෙස්
(එ තර බෝසත් තමා ගෙට ගොස්’ ) යැයි ගුත්තිල දා කවේ ද සදහනි.
‘පද නිය රස් නැමැති අහස් ගඟ සිරසින් දරා’ යන්නේත් ‘පද නියරස් සිහලස් පිරිසිදු දියෙන් මුදුනත අබිසෙස් කැරැ’ යන්නෙත් අරුත ‘පා වැදැ’ යනුයි.
මෙහි රජු ගේ පයේ නියරස් අහස් ගඟ හැටියටත් රජු පා වැඳැ අදිපති බව රැකැ - ගන්නවුන් ඉසුරන් හැටියටත් දැක්විණි.
‘ලත් මහ පදෙවියා
සිර සුර ගඟින් දෙවියා’ යන්නෙන් මහ ඉසුරා ගේ හිස මතැ සුරගග හෙන බව බුදුගුණ අලංකාර කාරයෝ ද කීහ.
සීතාවක රජසිහ රජු මුළු දෙරණ තිබා මුළු ලක්දිව ද එක්සත් නො කළ බව අපි දනුමු. එ හෙයින් මේ බොරු වැනුම නිකම් සිරිතට:-
‘කරතෙකසත් සියු
සයුරත් දෙරණොහු සරණ
නියරසහස් ගඟ දරා
රුපු රජ ලද ඉසුරු තන්’ (ක.සි. i.62) යන ගීය ඇසුරු කොටැ කරන ලද බව කියැ යුතු වේ.
43. පෙළ:- දෙව්ලිය තුඟු තුල් සුනෙර ගිරි හිස, සිදු විදුදර කිනුරු රැස තිම පවු දෙසැ ඉදැ, කියන සව්සිරි පිරි මෙ නිරිඳු තියු ගොස ඔවුනොවුනට රැව් පිළිරැව් විලස වි යැ.
(දෙව් අඟනන් උස මහත ඇති මහාමේරු කඳු මුදුනේ ද, සිද්ධ, විද්යාරධර, කින්නර, සමුහයා හිමවත් පෙදෙසේ ද ඉදැගෙනැ කියන්නා වූ - සියලු සැපත් පිරි - මෙ රජු ගේ තුති ගොස ඔවුනොවුන් හට රැව් පිළිරැව් වුයේ යි).
දෙව් අඟනෝ උස මහත ඇති මෙර මුදුනේ ඉඳැ මෙ රජු ගේ ගුණ වනමින් රජු පසසති, හිමවතේ වසන සිදු විදුදර කිනුරු සමූහයෝ ද එහි සිටැ මෙ රජු පසසති. දෙව්ලියනට එ විටැ ඇසෙන්නේ තමන් ගේ තියු ගොස දෙන රැවුව හිමවතේ පිළිරැව් දෙන ලෙසිනි. සිදු විදුදර කිනුරු රැසට ඒ සුර ළඳුන් ගේ තුති ගොස ඇසෙන්නේ තමන් කරන තුති ගොස දෙන රැවුව මෙර මුදුනේ පිළිරැවු නඟන්නා මෙනි. දෙවු ලියනට සිදු විදුදර කිනුරු ගොස තම තුති ගොසේ පිළිරැවුව සේ ද සිදු විදුදර කිනුරු රැසට දෙව් ලියන් ගේ ගොස තම තුති ගොසේ පිළිරැවුව සේ ද ඇසෙන බව යි ඒ කීයේ.
‘පිරි සව් සිරි’ යනු රජකු වෙසෙසීමට නො වැ පුරයක් වැනීමට යි යෙදියැ යුතු. මේ පුර වැනුමක් අසරින් මවන ලද බව පළ කරන ලකුණෙකි.
‘සිදු විඳුදර කිනුර’ යන තුන් වගේ මැ ඇත්තන් දෙවියොන් බව පෙරැ දක්වා ඇති.
44. පෙළ:- මෙ රජු ගෙ ෙනා මඳ, පුවතර තෙදනල වැදැ රුදු රුපු රද මහ මුහුද සෙද උණු වත ජය සිරිසඳ තද වෙහෙස වැ එහි නො හිඳැ යෙද මොහු උර මැඳුරතට වැද ඉඳිනෙව්.
(මෙ රජු ගේ බොහෝ පසිදු තෙද ගින්න වැදී මහත් වූ - හෝ රුදුරු වූ හෝ - සතුරු රජුන් නැමැති මහ මුහුද වහා උණු වන කල්හි ජය නැමැති සිරිකත දැඩි වෙහෙසට පත් වී එහි ඉඳිනේ නැති වැ වහා මෙ රජු ගේ උරතලය නැමැති මැදුරට පිවිසී ඉඳිනවා වැනි යි).
මෙ රජු ගේ උරතලයේ සිරිකත වසයි. ඒ සිරි කත නම් ජයයි. ජය නැමැති සිරිකත මොහු උර තෙලේ වසන්නේ පළමු වුසු තැනැ වසන්නට බැරි වීයි. සිරිකත ගේ මුල් නිවෙස කිරි මුහුද යි. ජය නැමැති සිරිකත ගේ පළමු නිවෙස රුදුරු සතුරන් නැමැති
මහ මුහුද යි මෙ රජු ගේ තෙද නැමැති ගින්න වැදුණාම සතුරන් නැමැති මහ මුහුද රත් වේ. එ විටැ ජය නැමැති සිරිකත එහි විසීමට නො හැකි හෙයින් වහා මෙ රජු ගේ උරතලය නැමැති නිවෙසට වැඳී හිඳී.
මෙහි උරතලය මැ නිවෙස හැටියට සදහන් කරන ලද්දේ සිරිකත වෙනු ගේ උර තෙලේ රදනා බව සලකායි. මෙහි සිරිකත හැටියට දක්වන ලද්දේ ‘ජය’ යි. සිරිකත වෙන් උරතලට ආයේ කිරි මුහුද රත් වී ඉඳිනට බැරි වූයෙන් නො වේ. මෙ ජය නැමැති සිරිකත මෙ රජු ගේ උර මැඳුරට ආයේ රුපු සයුර රත් වි එහි ඉදිනට බැරි වුයෙන් නො වේ. ජය සිරිකත හැටියට දැක් වූ පසු රුපුන් දැක් වියැ යුතු වූයේ කිරි මුහුද හැටියට යි. නිකම් මැ මහ මූද සඳහන් කිරීම ‘සිරිය’ට මඳි කමෙකි. සිරිකත හුදු මහ මූදේ නො විසු.
අපේ කවියා:-
‘දවත දස මඬුලු
මඩිමිනොහු තද තෙද රැස්
නො සැඟැ ඇසුරු කළ එව්
මෙහෙසුරු ගඟ වෙන් මුහුදු’ (ක. සි. i. 44) යන්න ඇසිරින් අලුත් උපමාවක් මැවීමට නැමුණු බව මින් පෙනේ.
මෙයින් අදහස් කරන ලද්දේ මෙ රජු ගේ තෙදින් රුදුරු සතුරන් තැවෙන බව හා ජය නිති මෙ රජුට අත්වන බවත් යැ.
‘තෙදනල’ යනු ‘තෙද අනල’ යන දෙ පෙ දේ සන්දි වීමෙකි. ‘සෙඳ’ උණු වත, සෙද වැද, යනු එක් මැ පැදියේ යෙදී ම වියතුන් ගේ සිත් ගන්නේ නො වේ. සකු කිවියෝ මෙ බඳු යෙදුම් ‘බහු තුහින’ යැයි දොසක් හැටියට දක්වති.
‘වැද’ යනු ‘වැඳ’ යන්නේ එළි විකාරයෙකි. ‘හිඳ’ යනු ද එ සේ මැ ‘හිඳැ’ යන්නේ එළි විකාරයෙකි.
45. පෙළ:- සකත සවත විකුමැති, සොබන. මෙ රජු ගෙ තෙද යුගතනල මෙන දිගත පැතිරැ යත. තිනෙත සඳ වලා පෙළ යැයි මොහොත සලකමින රඟා අවසර නො දැන වෙහෙසිණි.
(වෙනු ගේ ද, කඳ කුමරු ගේ ද සපන්කම් ඇති, ොහබනා වූ, මෙ රජුගේ තෙද, කප අගැ ගින්න මෙන් දිගුන් කෙළවර තෙක් පැතිරී යන කල්හි මහ ඉසුරා එය සවසැ වලා පෙළ යැ කියා සිතා - නටන වේලාව ඒ යැයි සලකා නටා ඉවරයක් නො දැන්මෙන් වෙහෙසට පත් විණි).
සකත = සක අත. විකුමැති = විකුම් ඇති. දිගත = දිගතැ = දිගු අතැ. යුගත = යුගතැ = යුග අතැ.
මෙ රජු ගේ තෙද කප් කෙළවරැ ගින්න සේ සියලු දිගුන් අවසන තෙක් පැතිරී යන විටැ ඒ දුටු මෙහෙසුරා ඒ සවසැ වලා පෙළ යැයි සිතා නටන වේලාව විසඳා නො ගත ගී නටනට පටන් ගනී. මහ ඉසුරා සිරිත පරිදි නටන්නේ සැදෑවේ යි. රජු ගේ තෙද සැඳෑ වලා පෙළ යැයි සැලැ කු මෙහෙසුරා සැඳෑ කල් එන්නේ යැයි සිතා එ බලා බලා නටන්නට පටන් ගත්තාම සැඳෑ වලා සේ එ තෙද අවසන් නො වන හෙයින් මෙහෙසුරාට එයින් සැඳෑව ගණන් ගෙනැ නටා එ නැටුම අවසන් කරන්නට අවසරයෙක් නො ලැබේ. එ යි න් හේ නැටීමෙන් මැ වෙහෙසට පත් වෙයි.
‘සකත’ යනු ‘සක අත’ යන්න මැයි. සකක් අතේ ඇතියෙන් ඒ වෙනු (විෂ්ණු) හට නමෙකි. ‘සවත’ නම් මූණු සයක් ඇත්තේ යි. කතර ගම දෙවියාට මූණු සයක් වෙතියි යෙති. එ හෙයින් ‘සවත’ යනු ඔහුට නමෙකි. යුදට අදිපති මෙ දෙවියා ‘මහසෙන්’ යන නමිනි වෙසෙසින් මෙ රටේ පසිදු.
විකුම් තෙද පිළිබද මෙ වැනුමෙහිදී රජුට වෙසෙසුන් පිණිසැ යොදන ලද ‘සොබන’ යන්න නිකම් විරිත පිරිමැසීමට මුත් වෙන වැඩකට ඇති බවෙක් නොපෙනේ.
මෙ වනාහි:-
‘ඔහු දසත සදත
එක්වන් තෙද මෙහෙසුරා
සැඳෑ සඳින් පෙරැ සේ
නො දත නැටමේ පිරිසේ’ (ක. සි. i. 39) යන්න මැ යි.
46. පෙළ:- සොබන මෙ රඳු ගෙ - යුග කෙළ රිවි, හර දළ නයන මෙන දුළ පළ තද තෙද, දළ දප දෙලෙනොද වැඩි රුපු සිඳු සිදෙන වළබනල සිරිත් ඇමදින තෙවුණේ යැ.
(හොබනා වූ මෙ රජු ගේ, කප අවසන් වන දා පායන හිරු, මහ ඉසුරාගේ නළල් ඇස මෙන් දිළෙන්නා වූ, පසිඳු දැඩි තේජස - දැඩි එඩි නැමැති දියෙන් ඔද වැඩුණා වූ සතුරන් නැමැති සාගරය සිඳෙන වඩබා ගින්නේ අයුරින් සියලු දා බැබැළුණේ යි).
‘යුග කෙළැ රිවි’ ගින්නෙන් කප නස්නා දා පායන සත් හිරු. එ හිරු රසින් සියල් සයුරු වියැළී යෙති යි කියති.
‘හර දළ නයන’ මහ ඉසුරා ගේ නළලේ ඇති යි කියන ගිනි නිකුත් කරන ඇස. මෙ ඇස යොමු වූ විටැ සියල් ලොව දා අළු වෙති යි යෙති. අනගා ද දවන ලද්දේ මෙ ඇසිනි.
‘දෙලෙනොද වැඩි’ දෙලෙන් ඔද වැඩුණු. මේ විසුළු කියමනෙකි. ‘දල ඔද වැඩි’යි කියැවුණා නම් දිය ඔද වැඩුණු බව සලකා ගත හැකි යි. දියෙන් මූද ඔද වැඩුණා යැයි කීම අසබා යි. ඔද වැඩීම නම් දිය
පිපි වැඩීම යි. සඳ වැනි දැයෙකින් මූදේ දිය ඔද වැඩෙන බව මුත් මූදක් දියෙන් ඔද වැඩෙන බවක් අසන්නට නැති. මූද යි කියන්නේ මහ දිය කඳකට යි.
‘වළබනල = වළබ අනල’ (වඩබාමුවේ ගින්න) වළබ නම් කප් කෙළැ අවිචියෙන් ගිනි දැලී පිට වන පිණිසැ මූදු පත්ලේ ඇතියි යේන දොර යි.
පළමු පැදියේ සේ මැ මෙහි දු ‘සොබන’ යන්න යෙදීම මහ විහිළුවෙකි. මෙ කිවියා ගේ පබඳ විමසා බලන්නකුට ‘සොබන, සොබමන්’ යන පද සිය දහස් පළේ වැඩකට නැති වැ යෙදී ඇති හැටි දක්නට හැකි යි.
මෙ පැදිය,
‘පළ තද තෙදෙනර -
වරා කෝදෙලෙනොද වැඩි
වළබ දල කලබ පෑ
විපක් දලනිඳු සිඳුනා’ (ක. සි. i. 41) යන්න මැ අනුවාදයෙකි.
47. පෙළ:- රුපු රඹ රන් සුන් කළ මෙ නිරිඳු සිඳුරු ඔවුනඹුවන් උර තළැ රැඳී තන තිසරු පුඩු තුඩගින් ගත් මුතුහර පොකුරු කුරු තෙද සොඬගින් ගෙනැ තමහට ගොදුරු කෙළෙ.
(සතුරන් නැමැති කෙසෙල් වන සිදැ දැමූ මෙ රජු නැමැති ඇතා ඔවුන් අඹුවන් ගේ උර තල නැමැති විලේ නැවැතී සිටි පියොවුරු නැමැති හංසයන් - තන - පුඩු නැමැති තුඩින් ගත් මුතු වැළ නැමැති නෙළුම් දඬු තෙද නැමැති සොඬින් ගෙනැ තමාට ගොදුරු කෙළේ යි).
රඹ රන් = රඹ අරන්. ඔවුනඹුවන් = ඔවුන් අඹුවන්. තුඩගින් = තුඩු අගින්. පොකුරුකුරු = පොකුරු අකුර.
මෙහි උපමාව ෙමසේ බිදැ දැක්වියැ හැකි.
උවමේ උවම්
රුපු රඹ අරන් (කෙසෙල් වන)
නිරිඳු සිඳුරු (ඇතා)
අඹුවන් උර තළා (විල්)
තන තිසර
පුඩු තුඩු
හර පොකුරු කුරු (නෙළුඹු දැලි)
(රජුගේ)තෙද සොඬ
පැරැණි පැදි කිහිපයෙකැ අරුත් ගෙනැ සබඳ කරන ලද මෙ පැදියේ අරුත පියකර නො වේ. ඇතකු හංසයන් තුඩින් ගත් නෙළුඹු දැලි පෑරැ ගෙනැ කෑම නො පිරිමස්නා දැයෙකි. ඇරත් නත නැමැති හසුන් පුඩු නැමැති තුඩින් ගත් හර නැමැති නෙළුඹු දැලි තෙද නැමැති සොඬින් රජ නැමැති ඇතා ගෙනැ තමඟට ගොදුරු කළ බවක් පැවැසීමෙන් ඇඟැවෙන්නේ එ මුතුහර මෙ රජු වෙතට පත් බව යි. ඒ හොබනේ නො වේ. රුපුන් නසා උන් අඹුවන් ගේ හර උදුරා ගැන්ම දුඹුලන් ගේ බඩු පෑරැ ගැන්මෙකි.
‘සෙනහැ ඔහු ගජනා
ගජ මේ කැල උතුරු දෙස
රුපු පියන් තන හස ගත්
හර පොකුරකුරු දුරැලී ‘ (ක.සි. i.61) යන්න තවද පැදි ගණනෙකැ අරුත් හා මුසු කිරීමෙන් වඩන්නට ගොස් මෙ අවුල කොටැ - ගත්බව පෙනේ.
48. පෙළ:- දිය නෙත කුලග මෙ නිරිඳු දිමුත තෙද බිජු රුදුරු රුපුනඹුවන් ගෙ මන කෙත කිදුවත උන් සුරත් නෙත් නො නැවත නැගි ළ සෝ සුහුඹුල කරෙහි මත පැහැපත දෙපෙති සිරිගති.
(හිරු ගොතේ හෙවත් සුර්ය වංශයේ අග තන් පත් මෙ රජු ගේ දිළෙන තෙද නැමැති බිජුවට රුදුරු වූ සතුර අඹුන් ගේ සිත නැමැති කුඹුරේ ඉඳුවන විටැ,
උන් ගෙ තද රත් ඇස් - ඇතුළේ නො රැඳී නැගුණු සිත් සොව නැමැති සරුවට වැඩුණු අංකුරයේ පැහැපත් මුදුන් පෙති දෙකේ හැටි ගත්තේ යි).
දිමුත = දිමුත්. මන කෙත = මන කෙතැ. රුපු නඹුවන් = රුපුන් අඹුවන්. මත = මතැ. නො නැවැත = නො නැවැතැ.
‘හිඳුවත’ යන්නෙන් දෙන්නේ ‘හිඳුවන කල්හ’ යන අරුත යි: බිජුවටක් හිඳුවන විටැ මැ පැළ වැ අකුරු නඟන්නේ නැති. එ හෙයින් මෙ තැනට සුදුසු ‘හිඳැ වූ’ යන අරුත දෙන වදනෙකි. ‘අකුරෙහි’ කී පමණින් කාරිය පිරිමසිත් දී තව ‘මත’ යන්නක් ද යොදා ඇත්තේ විරිතත් එළියත් නිසා යි.
‘නො නැවත’ යන්න ද විරිතටත් එළි වැටටත් මුත් අන් කිසිවකට වැඩක් ඇත්තෙක් නො වේ.
‘දුනු රුපුනඹුන්
මන කෙතැ ඔහු තෙජ බිජුනි
සිතිවිලි ළද ලියෙ රත්
නුවනත දෙ පෙති හැඟැවී’ (ක. සි. i.43) යන්නයි
මෙහි ගුරු පැදිය.
49. පෙළ:- මෙ නරනිඳු මන රඟ තෙද ගමඬලෙන බව අග දකින තුරු එක ලෙසින මැඩැලත සුරගඟ නහනු වස් ගිය සුරඹ සිදහන බියෙන සෙද නැඟ විසිරැ තැනැ දව ගතු.
(මෙ රජු හිතේ හැටියට තෙදගිනි මඬලින් ලොව කෙළවර තෙක් මැඩැලන කල්හි අහස් ගඟේ නෑමට ගිය දෙව් ලියොත් සිදු ලියොත් බිය පත් වැ වහා ගොඩ නැඟී විසිරි තන්හි තන්හි පැලෑ දිවැ යන්නට වූහ.
මෙ රජු බව අග තෙක් සියලු තන් තම තෙද ගින්නෙන් ඔබා ලන්නට පටන් ගත් විටැ එ තෙද ගින්න බව අග දක්වා පැතිරී යේ. ඒ තෙද ගිනි රසින් රත්වූ
අහස් ගඟ ද පෙනෙන්නේ ගිනි කදක් මෙනි. අහස් ගඟේ දිය කෙළියට වන් දෙව් ලියොත් සිදු ලියොත් එ බලා ගඟ ගිනි ගත්හ යි බිය වී වහා නැඟී පැලෑ දිවූ.
මඬලෙන = මඬලෙන්. ලෙසින = ලෙසින්. සුරඹ = සුර අඹ. සිදඟන = සිදු අඟන. බියෙන = බියෙන් ‘දකින තුරු’ යනු වියතුන් රිසියෙන යෙදුමෙක් නො වේ. වියත් වහර අනුවැ නම් එය ‘නො දක්නා තුරු’ යි වියැ යුතු.
මේ ,-
‘මඬුතු එ සත් සර
දිය අග තෙදග මඬලින්
සුර ගඟ සිද’සර කැන්
විහිටි සනහන්නසිනා’ (ක. සි. i.45) යන අරුත මැ යි.
50. මෙ රජු ගෙ වෙසෙස දුල ය වුවන මන කොඳ සතොස වඩන පුන් සඳ; නෙතු නුලුපුල ය; රුදු රුපුකැලය නො ලස දවා හළු කළ පුවතර තෙද නලය කෙලෙස ඇතිවී ද?
(මෙ රජ ගේ වෙසෙසින් දිළෙන මුහුණ සිත් නැමැති කොඳ මල් පුබුදු කරවන පුරාහඳ යි, ඇස් නිල් උපුල් යැ; රුදුරු වූ - හෝ මහත් වූ හෝ - සතුරන් නැමැති කැලෑව වහා දවා අළු කළ මහත් තෙද ගින්න - ඉතින් - කෙ සේ ඇති වී ද)?
මූණ පුන් සද යි, ඇස් නිල් උපුලු යි. එ දෙ වගේ මැ ඉතා සිසිල් දැය යි. ඉතින් එ සිසිල් දැය අතරේ මෙ මහත් තෙද ගින්න කෙ සේ ඇති වූයේ ද?
දුලය = දුල්. නිලුපුල ය= නිල් උපුල් යැ. තෙද නලය = තෙද අනලය. නො ලස = නො ලසැ. කෙ ලෙ ස = කෙ ලෙසැ.
‘මොහු නෙත නිලුපුලේ
වුවනත සුපුන් සසලේ
අළු කළ රුපු කැලේ
කෙ ලෙසැ ඇති විද තෙදග විපුලේ?’ (කවි.සේ.) යන්න මැ යි මෙත්.