සැවුල් අසුන් පවත්-6
සැවුල් අසුන් පවත්-6
[සංස්කරණය]51. පෙළ:- මෙ නිරිඳු පිරිසුදු, විපුල් යස රැසින සොබන වෙන් බඳ කොපොල් කර විලස් වත, කමලහන නිමල්, දිගු, පුළුල්, පැහැදුල් යුවළැසින කුහුල් දුරැරැ, සැප සේ වුසු.
(මෙ රජු ගේ පිරිසිදු වූ මහත් වූ, යස සමූහයෙන්, හොබනා වූ ගේ සිරුර මහ ඉසුරා ගේ සිරුර බඳු වන විටැ, සිරිකත නො කිලිටි, දික්, පළල්, පැහැයෙන් දිළෙන දැසින් සැක දුරු කොටැ ගෙනැ සුව සේ වුසු).
මෙ රජු ගේ යස රස් වැදී වෙන් දෙවියා ගේ නිල් පැහැ සිරුර මහ ඉසුරා ගේ සිරුර මෙන් සුදට පෙනේ. එ සේ කල්හි සිරිකතට ‘මේ ම- හිමියා ද, මහ ඉසුරා ද යන සැකට ඇති වේ. එයින් හිමියා වෙන් කොටැ දන්නට අසමත් ඇයට වෙනු ගේ නෙත් දෙක බලා ඔහු ඇඳින දත හැකි වෙයි. මහ ඉසුරාට ඇස් තුනෙකි. වෙනුට ඇස් දෙකකි. එයින් ඕ සැක හැරැ හිමියා දැනැ ඔහු කෙරේ වස යි.
රැසින = රැසින්. යුවළැසින = යුවළ ඇසින්. දුරැරැ = දුරැ ඇරැ.
මෙහි දු ‘සොබන’ යන්න මහ විහිළුවෙකි. කොපොල් කර = කොපොල් අත, යනු කොපොලක් (හිස් කබලක්) අතෙහි ඇත්තේ යි මහ ඉසුරාට නමෙකි.
කමලඟන = කමල් අඟන, යනු කමලක් (නෙළුම් මලක්) අතේ ඇති යි සිරි කතට නමෙකි.
‘ඔහු යෙසෙන් තිදෙත්
විලසුසුලත උවිඳු බඳ
සඳ යුවළුඳුළ විමල්
නුවනින් දුරැ ලූ කමල්’ (ක. සි. i. 56) යන්න මැ යි මේ.
52. පෙළ:- සිරින් සුරිඳු වන්, දියතග, මෙ නිරිඳු ගේ පිරිසුදු යස නෙ දිගැ නිතින් පැතිරැ යන පසන් සුනිල් මිණිතර හෙබි කලිඳු ගඟ කිරි සිඳු හා සමඟ වනින් නො වෙන් කෙළෙ.
(සිරියෙන් සක් දෙව් රජු වැනි, ලොවට අග පත් මෙ රජු ගේ පිරිසුදු වූ හසස නො එක් දික්හි, නිබඳ වැ පැතිරැ යන කල්හි, පැහැදිලි, ඉඳුනිල් මිණි කැල්මින් හොබනා යමුනා ගඟ කිරි මුහුදත් එක් වැ පැහැයෙන් නො වෙනස් හෙවත් එක් සම කෙළේයි).
දියතග = දියතැ අග.
යමුනා නදියේ දිය නිල් පැහැ බව කවි සමයයේ ඉතා පළ යි. එ නිල දියේ මැ පැහැය මිසැ ඉඳු නිල් මිණි කැල්මක් නිසා වූවෙක් නො වේ. එ හෙයින් ‘පසන් සුනිල් මිණි තර හෙබි කලිඳු ගඟ’ යනු යෙදීම වියතුන් ගේ සිත් ගන්නේ නො වේ.
අරුත් පැහැයෙන් කලිඳු ගඟේත් කිරි මුහුදේත් වෙනසක් නො තුබූ බව කියැ යුත්තේ එ දෙක එකිනෙකට පෙනෙන නො පෙනෙන සරියේ වත් පිහිටා ඇති නම් පමණෙකි. කලිඳු ගඟ ඇත්තේ කිරි මුහුද පැත්තේ ෙනා වේ. නිල් පැහැ කලිඳු ගඟේත් සුදු පැහැ අහස් ගඟේත් පැහැයෙන් වෙනසක් නො තිබි යැ යි කීවා නම් ඒ මඳකට ඉවසත හැකි යි. එ දෙ නදිය එකට යාවන හෙයිනි.
මෙහි දී තමා ගුරු කොටැ ගත් ගීයේ අරුත තව ද වඩු කමෙකින් සරසවන්නට යාමෙන් අපේ රාලහාමින් මෙ වරද කළ බව යි පෙනෙන්නේ.
‘විමලිඳු නිල්මිණි
තර පතර හෙබි මුහුද ද
එ වෙන් නො වෙන් හි තිබී
යෙසෙෙනාහු කිරි මුහුද හා’ (ක.සි.i. 51) යන්න මෙහිදී රාලහාමින් හට ගුරු වූයේ යි.
53. පෙළ:- රිවි කුල කිරුළ අගැ දිසි රඟ මිණෙක වන්, මුළු දියතග මෙ නිරිඳු නැබළ යස රැස සුර ගග යටැ දුළ, දිය තෙක් සෙවණ කළ බඹ උමතුමඟ සේසත් විලස පළ කළ.
(රිවි කුලය හෙවත් සූර්ය වංශය නැමැති වොටුණු මුදුනේ පෙනෙන දැරඟ මිණ හා එක් සම මෙ රජු ගේ මහත් වූ යස සමූහය අහස් ගඟ නැමැති මිටෙහි - මුදුනේ - දිළෙන ලොව ඇති තාක් සරිය සෙවණ කළා වූ බඹ මුදුෙන් ඇති සුදු කුඩයේ හැටි පෙන්වූයේ යි).
මිණෙක = මිණ එක, දියතඟ = දියතැ අග, උතුමඟ = උතුම් අඟ (හිස් මුදුන)
මේ :-
‘ඔහු යෙසෙ සේසත්
සිරි රුකුළෙ බඹ මුදුනේ
සුර ගග යටගැ රඳනා
දිය තෙක් සෙවණ බදනා’ (ක. සි. i. 52) යන්න යි.
54. පෙළ:- රුපු බළ දළ දප හළ මේ රජු ගෙ, පළ හෙළ, තුමුළ යසින් මෙ මුළු දිය තුළ සුදු වත, ගන කුළ සිරින් දිසි, තුඟු, තුල් අඳුන් කුළ, පැහැදුළ කෙලෙස් ගිරි රජ විලස පළ කළ.
(සතුරු සෙබළුන් ගේ දැඩි එඩි දුරු කළ මෙ රජු ගේ ඉතා සුදු වූ මහත් යසසින් මෙ මුළු ලෝකුස සුදු වත් මැ වැසි කළුවක් සේ පෙනෙන උස් වු මහත් වූ අඳුන් ගිර, පැහැයෙන් දිළෙන කයිලාස කූටයේ ආකාරය පෑයේ යි).
‘පඬෙර කෙලෙස් ගල්
රජ පැහැසර සිරින් හෙබි
නව මේ කුළෙව් තෙව්නා
අඳුන් ගල් රජ යෙසෙනොහු’ (ක. සි. i. 55) යන්න මැයි මේ කී යේද.
55. පෙළ:- ඉඳු බඳු යසැති මොහු ඇවිසැ යුදවන් කැලැ රුපු රඳ උදු රුදු බියෙනි පෙර දවස යත වෙසෙස රුදු සිඳු ගජ නැඟුම් හසළෙන් මිසැ කෙලෙස සෙදු කඳු නැඟී දිවි රැකැ ගත හැකි?
(සක් දෙව් රජුට බඳු යසස් ඇති මෙ රජු කොව ඇවිසී යුදට පැමිණියාම සතුරු රජුන් නැහැ වන් මහ බියෙන් පළමු දවසේ - හෙවත් කල් තිබා මැ පැලෑ - යන්ට වූ විටැ වෙසෙසින් මැ මහ අසුන් ඇතුන් නැඟීම පුරුදු වී සිටි හෙයින් මිසැ - නැති නම් -කෙසේ ද ඉක්මනට කඳු නැඟී, දිවි රැකැ ගන්නේ?)
මෙ රජු කොවින් යුද ඇරැඹී විටැ සතුරු රජුන් මහත් බියට පැමිණැ කල් තිබා මැ අසුන් ඇතුන් පිටැ නැඟී කඳු පියෙසට පැලෑ දිවි රැකැ ගන්නා බවත් එ සේ ඔවුනට වහා පැලෑ යා හැකි වන්නේ ඔවුන් වෙසෙසින් මැ මහ අසුන් ඇතුන් නැඟීමට පුරුදු වැ සිටි හෙයින් බවත් මේ කී හැටියි.
යසැති = යස ඇති. සෙදු = සෙද (එළි විකාර)
මීට පළමු (52) ‘සිරින් සුරිඳු වන්’ යැයි පවසා එ ළඟැදී මැ ආයේ ඉඳු බඳු යසැති’ යි කීම වියත් බවට ෙහාබනේ ෙනා වේ.
‘සකලා අවි සිල්ප තතුගත් ලොවැ පැවැති
සකලා සදිසි සපු මල් කුමරිඳු නැමැති
දැකලා වත තුරුණු රුපු ඔහු ගෙ විකුමැති
එකලා වැමැ ගජ දළ යානැ සැතැපෙති’ (කො. ස.)
යන්නේ වැඩුමෙකි මේ. මෙය ගුරු කමට ගත් මහසෙන් හිමියෝ ද,
‘මෙ නිරිඳුට රිවි කුල
නො වු අවනත රුපු කැල
හැරැ යහන් තිලි තුල
සැතැපි මත වරණිඳු යහන් තල’ (සුමුගුදා 57) යැයි
පැදියක් කෙරෙති.
56. පෙළ:- හැම දිගු වරඟනන් හට යස හර සැදූ, ඉසුරෙක් සුරිඳුට සරි, පුවතර මෙ හිමි හැම වරැ තිරසර විකුම් සබවස විතරණ සිය දිවි සතර වැනි කො ටැ සොඳට රකි.
(සියලු මැ දිසා නැමැති උතුම් ලියන් ගේ බෙල්ලේ තම - යසස නැමැති මුතු වැළ පැළැඳැ වූ, ඉසුරෙන් සක් රජුට සම, පසිදු මෙ හිමියා හැම විටැ තිර හෙවත් ෙනා සැලෙන බැවින් සරු විකුම් යැ, නිබොරු බස් තෙපලීම යැ, දීම යැ යන මේ ගුණයනට ඉක්බිති වැ සතර වැන්න කොට තම දිවි සොඳ සේ රකී).
‘විතරණ’ නම් දීමේ ගුණය යි.
ඒකීයේ මෙ රජු ගේ යසස සියලු දික්හි පැතිරී දිලෙමින් පැවැති බවයි. දිගුන් ගෑනුන් හැටියට සලකත් හොත් මෙ රජු ගේ යසස ඔවුන් ගේ බෙල්ලේ පැළැඳී මුතු වැළ බඳු යි. දිගුන් අඟනුන් හැටියට අපේ කිවියන් නිති සදහන් කළ බව පෙනේ. වෙසෙසින් මැ ඒ කොටැ ඇත්තේ යමකු ගේ යස හෝ තෙද හෝ වැනීමේ දී යි.
‘දිමුතු කිතු මුතු හර
කැරැ දිගු පියන් පියොවුර’ (ගුත්තිල) යැයි ගුත්තිල කව් කරුවෝ යස හර දිගඟනන් ගේ පියොවුරෙහි ලවති.
‘විකුමට නිබොරුවට
දෙන මහ දනට දන හට
දිවි සතර වනු කොට
රකින සිහිපත් ඇතිවැ හැම විට’ (බු. අ.) යැයි මහ නෙත් පා මුළ මෙත් හිමියෝ ද දිවි සතර වන තන්හි තබා රැක්ම රජකු ගේ නියම ගුණයක් කොටැ දක්වති.
57. පෙළ;- රිවි කුල කිරුළ, දසට පසිඳු මෙ නිරිඳු දසට අවිසරම දැනැ විරුදු බිඳ හළ; දසට පොරණරුත් සිතු සේ පුහුණු කළ; දසට දෙසෙහි බස සිය බස මෙන් හසළ.
(සූර්ය වංශයට වොටුනු වූ, අට දිසායෙහි පසිදු වූ මෙ රජ තෙමේ අවි සරම දස අට දැනැ සතුරන් බිඳුවා හළේ යි; දහ අට පුරණෙයෙහි අරුත් හිතේ හැටියට පුහුණු කෙළේ යැ; දස අට දේශයෙහි බස සිය බස මෙන් ඇසුරු කෙළේ යි).
දසට = දස අට (අට ළොස). දසට = දස අට (දිසා අට). පොරණරුත් = පොරණ අරුත්.
දසට අවි සරම:- (=දස අට අවි සරම) අටළොස් වගෙකැ අවි පිළිබද සරම (හරඹ).
මේ නම් වැදැගැන්මකට ඇති ගණනෙක් නො වේ. මෙහි අවි අටළොස් වගෙකැ සරම යන්න වෙනුවට ‘අවි පිළිබඳ අටළොස් වැදෑරුම් වූ සරමැ යි ද ගත හැකි. එයිනුදු ඇති වැදැගැන්මෙක් නො වේ. අටළොස් අවි සදහා,
1. අසි (හෙවත් කඩු)
2. දුනු
3. පොරෝ
4. අඩයටි (පොලු)
5. නඟුල් (සී සනා වගේ ෙනා වේ)
6. මොෙහාල්
7. යවුල්
8. යකුළු
9. කුන්ත (කොතවී හෙවත් ලන්ස)
10. තෝමර
11. යවට (යකඩ ගෝල
12. පාරා වළලු.
13. පත් කෝල් (මහ මන්නා)
14. යදම්
15. ෙපාරොදු (දිග ඇවුළුම් බිළි)
16. වීදුරු (වජ්රාියුධ)
17. තිශුල (තුන් හුල්)
18. මුගුරු
යන දැය පැරැණි පොත්හි දැක්වේ. මේ සියල්ලේ සරම රජ සිහ රජු පුරුදු වැ සිටි බවයි මින් පැවැසෙන්නේ. ඒ නිකම් වැනුම් බසෙකි.
දසට පොරණ:- (දසට අට පොරණ) බමුණන් ගේ ‘පුරාණ’ නම් වූ දහම් පොත් දහ අට. එහි නම් මෙ සේ දැක්වේ:-
(1) බ්රනහ්ම පුරාණ (10) බ්රණහ්ම වෛවර්ත පුරාණ
(2) පද්ම ., (11) ලිංග ,.
(3) විෂ්ණු ., (12) වරාඟ ,,
(4) ශිව ,, (13) ස්කන්ද ,,
(5) භගවත් ., (14) වාමන ,,
(6) නාරද ,. (15) කුර්ම ,,
(7) මාර්තණ්ඬේ ය (16) මත්ස්යා .,
(8) අග්නි ,, (17) ගරුඩ ,,
(9) ගවිෂ්ය්ත් (18) බ්රුහ්මාණ්ඩ .,
මේ බණ තිබා මේවායේ නම් වත් සිරි රජසිහ රජු දැනැ සිටියේ ද යනු සැක සහිත යි. සිරි රජසිහ රජ තෙමේ යුදෙහි සුරු මිනිසෙකි; උගතෙක් නො වේ.
දසට දෙසෙහි:- (දස අට දෙසේ හෙවත් රට වල් දස අටේ) මෙද නිකම් සිරිතට දක්වන දස අටක් පෙදෙස්හි නමු යි. ඒ පෙදෙස් දස අටේ බස ‘දස අට බාසෙ’ යනුයෙන් සදහන් කෙරෙති මෑතැ අතීතයේ නො වියත් ඇදුරෝ. ඔවුන් ගේ දස අට දෙස මෙ සේ දන්නැ:-
(1) සිංහල (10) තෙලිඟු
(2) යෝනක (යවන) (11) කලඟු
(3) ජාවක (12) වඟු
(4) චීන (13) කංක
(5) තුලම (14) මගඳ
(6) තුඩව (15) කඩක
(7) ෙකාංකණ (16) ගෞඩ
(8) කණ්ණඩි (17) කොසොල්
(9) චෝළ (18) දෙමළ.
දසට = (= දස අට) අට දිසායේ. උතුර, දකුණ, නැගෙන හිර, බටහිර, ඊසාන, ගිනි කොන, නිරිත, වයඹ, යන දිසා අටේ. උඩු නුවර, යටි නුවර, තුන්පනේ, හාරිස් පත්තුව, සත් කෝරලය, තමන් කඩුව, වෙල්ලස්ස, බිම්තැන්න යනුදු ලක් දිවේ අටේ දිසා වෙකැ නම් යැ.
58. පෙළ:- කිරණ සහ තුරු මුකුලිත ගුවන පිරිසඳ පෙර දිගින, පැහැනද අරුණු රස් එන ලෙස මනනඳ රාජ සිහ රජු ගෙ තෙදග ෙනා මඳින රුපු රඳ යසස මැඩැ දස දෙස වතළ මෙන.
(කිරි මූදත් තරු හැකුළුණු අහසත් දෙක වෙන් කොටැ එ දෙක අතරින් - නැගෙන හිරි දිගින්, පැහැයෙන් ආටෝප වූ අරුණු රස් එන ආකාරය, සිත් සතුටු කරවන රජ සිහ රජු ගේ තෙද ගින්න බොහෝ සෙයින් වූ සතුරු රජුන්ගේ යසස මැඩැලා දස අතේ පැතුරුණා මෙනි.)
කිරණ = කිරි අණ (කිරි මූද.) තෙදඟ = තෙද අග (තෙද ගින්න.) නො මඳින = නො මඳින්, පිරි සිඳ = සිඳැ, දිගින = දිගින් (එ. වි)
මෙහි ‘එන ලෙස වතළ මෙනැ’යි කීම නය හුරු නො වේ. ආ ලෙස වතළ මෙන කියා හෝ එන ලෙස වැතිරෙන මෙන කියා හෝ වියැ යුතු, නය හුරු වන්නට නම්. එන යනු වත්මනැ පසරුත් වෙසෙසුනෙකි. වතළ යනු අයුහි පසරුත් වෙසෙසුනේකි. වත්මනැ පසරුත් වෙසෙසුනක් අයුහි පසරුත් වෙසෙසුනක් හා උවම් උවමේ විසින් සිටුවා උපමාවක් මවනු නො යෙදෙයි. තුරු මුකුලිත යනුදු සිත් ගන්නා යෙදුමක් නො වේ.
මෙය උදය වැනුමක් අසරින් කරන පැසැමකට මිසැ හුදෙක් රජකු වැනීමට සුදුසු නො වේ. පෙර දිගින් පැතිරෙන බව සදහන් කරන ගමන් රජකුට කරන පැසැසුමකැ හැටියි මෙහි පෙනෙන්නේ.
‘වඩනා තා තෙද
සේ මැඩ පිරිපත්න යස
රස් රැස් දිවැ දිවයුරු
කෙළෙ සිසිහු පියවිළි යුරු (ක. සි. vii. 16) යනු මෙ සිහි කරවන උදා වැනුමෙකි.
59. පෙළ:- මෙ නරනිඳු (තමා ) හසළ සරම ඇම තැනැ පසිඳු කරනුව, උඳුළ සිපත ගෙනැ බමවත සුනෙර ගිර වට කැරැ කැරැ නො මඳු ලකළ දහස් සුවහස් පමණ විදු වතළ වැනි.
(මෙ රජු - තමා පුහුණු කළ අවි සරම සියලු තන්හි දක්නට සලස්වනු පිණිසැ කඩුව ගෙනැ තමා වටා කරකවන විටැ මහ මෙර ගල වට කරමින් - එය බෙහෙවින් සැරැහුවා වූ දහස් ගණන් සිය දහස් ගණන් විදුලිය වැතුරුණා වාගේ යි පෙනෙන්නේ).
රජු කගපත බමවන විටැ විදුලි වළලු සේ පෙනෙන බවත්, එ මැද රජු ගේ රුව මෙර ගල සේ පෙනෙන බවක් මේ කී සැටි යි.
උඳුළ සිපත = උඳුළ අසිපත, නොමඳු = නො මද (එ. වි)
60. පෙළ:- තිරසර ගුණැති, නො ලස මෙ නිරිඳු ලස නො වී සදහස මෙර ගිර වතට වත් ඇනැලත රත් කළ යවුල පරණලැ නො පැකිලෙන ලෙස පිටතට මුණය දැකැ මිසැ අතරැ නො රඳ යි.
(තිර බැවින් සරු ගුණ ඇති, පමා නො වන මෙ රජු නො පමා වැ කඩුව මෙර ගල් පියෙසට ඇන්න හොත් රත් කළ හෙවත් ගිනියම් කළ යකඩ උල පියැළී කොළ රැයෙහි හැපී නො නවතින්නා සේ පිට පැත්තට මුණත පසා වී මිසැ අතරේ රැඳී නො සිටි).
ගුණැති = ගුණ ඇති, ලෙස = ලෙසැ. යවුල = ය උල. ‘ නො ලස මෙ නිරිඳු ලස නො වී’ යනු පැසැසුම් ලැබීමට සුදුසු යෙදුමෙක් නො වේ. ‘මෙර ගිර වත’ යනුත් සුදුසු යැයි නො කියැ හැකි. හිමවූ පියෙසට ‘හිමවත’ යනු යෙදෙනු සලකා තනි කුළක් වන මෙරටත් ඒ යෙදූ බව පෙනේ. මෙරගිර හිමවත වැනි කඳු පියෙසෙක් නො වේ. මෙර වැන්නක් පසා කොටැ ගෙනැ යන්නට කඩුවක දිග බොහෝ වියැ යුතු. කොතවී වැනි දැය තිබියැ දී මෙරට ඇනීමට කඩුවක් දීම සුදුසු මදි.
‘දිත් රජු පිණිසයුර පියුමැ යි නමැති මොළ
ගත් සිය අතින් කොතිනැනැ මෙර සිදුරු කළ’
(පරෙවි) යැයි කඳ කුමරු කොතවියෙන් ඇනැ මෙර සිදුරු කළ බව සිරි රහල් හිමියෝ පවසති.
‘ මද මත ගිජිඳු බදැවත් මද නො වී ලස
මොහු අතසිපත ගොස් නො රඳයි අහසැ මිසැ’
(හංස) යන ඇතුන් පොළු ගැසීමේ සවිය වැනු සැටි තවද වැඩීමට ෙගාස් මේ විසුළු උපමාව මැවූ බව කියැ හැකී.
‘සඳැහස’ යනු කඩුවට නමෙකි. ඒ වහරට එන්නේ කලාතුරෙකිනි.
‘ඔහු රණ දෙරණ බැස
ලෙළවත සුරතැ සදහස’ (ක. සේ ) යැ යි.
රහල් හිමියෝ ද එළි වැට නිසා මේ යෙදූහ.
‘පරණලැ නො පැකිලෙන රත් කළ යවුල ලෙස යනු ඉතා පසිදු උපමාවෙකි.
‘තද රත් කළ යවුල
නො පැකිලෙන මෙන් පරණල’ (ක. සේ) යැ යි සිරි රහල් හිමියෝ ද ඒ මතක් කළහ.