සැවුල් අසුන් පවත්-7

Wikibooks වෙතින්

සැවුල් අසුන් පවත්-7[සංස්කරණය]

61. පෙළ:- දසට අවි සරම දත් මෙ හිමි රිසිනි කගපට ගෙනතට විදුලි ලෙසට ලෙළවත විට විට දෙ පිට සිය දහස් වරැ වඳි යැ; එයින් කහ සිපට මොහුට සරි කවුරු ද?

(අට‍ෙළාස් වැදෑරුම් අවි සරම හෙවත් ආයුධ ශිල්ප දැනැ ගත් මෙ හිමියා සිය රිසිය පරිදි කඩු පත අතට ගෙනැ විදුලි - කොටන්නා සේ - ලෙසට ලෙළවන විටැ මාරුවෙන් මාරුවට සිය දහස් වරක් දෙ පසට වදී. එ හෙයින් කඩු ශිල්පයට මෙ රජුට සම වන්නෝ කවුරු ද?)

දසට = දස අට, ගෙනතට = ගෙනැ අතට. විට විට = විටැ විටැ.

මිට පළමු පැදි දෙකින් ‍ද දැක්වූණේ කඩු ශිල්පයේ සමත් බව මැයි. මින් පසු පැදියෙන් දැක්වෙන්නේ ද ඒ මැයි. ‘දසට අවිසරම’ දත් බව මීට පළමු ද පැවැසිණි (57).



62. පෙළ:- නරණ විලසින් නොමඳින් විකුම් පළකල, සොබමන්, මෙ රජ කරැ රැඳි කිරණ විහිදෙන සිපතින් සියලු මෙ දෙරණ දරා සිටියෙක් නත, නා රජුගෙ පෙණ වෙසෙසින් සැතැපුණේ.

(විෂ්ණු දෙවියා මෙන් බොහෝ සපන්කම් කළ, හොබනා වූ මෙ රජ - තමා ගේ අතේ රැඳී පවත්නා රස් විහිදෙන කඩු පතින් මෙ මුළු මහත් පොළොව දරා සිටිනා හෙයින් අනත් නා රජු ගේ පෙණ ගොබ වෙසෙසින් සැතැපුම් හෙවත් විශ්රා ම ලැබුයේ යි).

මෙ රජු කඩුවෙන් පොළොව උසුලා සිටිනා හෙයින් අනත් නා රජු ගේ පෙණ මඩුල්ලට (29 වැනි පැදිය බලන්නේයි) අස්වස් ලැබුණු බවයි මෙ කීයේ.

මෙ වනාහි

‘නිරි දෙකෙපුරැ වී

කුස නම් රෙණේ සීසර

දෙරණුසුලා වහළන ත්

ගජනුඹුහුරු කළ පුවළ (ක. සි. 1. 32) යන්න

සිතට ගෙනැ කළ වඩුවමෙකි මේ.



63. පෙළ:- කලා පති යසැති, පවර මොහු දුනු කම් බලා, නො සම වනුයෙන් පුරදර විළි වැ තම දුන්නෙහි දුනු දිය විතර නොළා මැ වරින් වරැ වලා කුළෙහි සඟවන වැනි.

(සඳු ගේ එළියට බඳු යසස් ඇති, උතුම් වූ මෙතුමා ගේ දුනුවම හෙවත් විදීමේ ශිල්පය බලා සක් දෙව් රජු ලජ්ජා වී තමා ගේ දුන්නෙහි රැහැන පමණකුදු නො දමා විටින් විටැ වලාකුළේ සඟවන්නා වැනියි).

‘කලාපති’ නම් සඳ යි. සඳට දිනෙන් දිනැ වැඩි දිනෙන් දිනැ ගෙවී යන කලා ‍ෙසාළොසකි. කලාවෙක් නම් සඳ මඬලින් දහසයෙන් කොටසෙකි. සොළොස් කලා පිරි සඳ දක්නට ලැබෙන්නේ පසළොස්වක් දිනට පසු දිනයේයි.

මෙ රජ දුනු කම්හි මහ සමතෙකි. මොහු දුනු සිප් දක්වන්නා බැලූ සක් දෙව් රජු ගේ සිතෙහි විළියක් අට ගනී තමාට එ හැටි දුනු කම් බැරි හෙයින් එ හෙයින්

හෙතෙමේ තම දුන්නේ රැහැන පමණක් ද නොදමා එය වලාකුළ අස්සේ සඟවයි. එයින් තමාට දුනු කමට එන්නට නො සිදුවන හෙයිනි. දුනු කම් දක්වනනට සිදුවන්නේ දුන්න ඇතෝතිනි. දුන්න වලාකුළ අස්සේ ගසා සඟවා තිබුවා ම එය නැති සේ හිඳිනට හැකි. යම් හෙයෙකින් වහා සඟවා ගත නොහී එය එළියේ පෙනුණත් දුනුකමට නො එළැඹී සිටියැ හැකි වෙයි එහි රැහැන නැත හොත්. එහෙයිනි සක් රජ තෙමේ එයට ලණුව පමණක්වත් නො ලා සඟවන්නේ.

සිහින් වැසි වලා රොදින් අහස වැසී පවත්නා විටැ ඒ පිටට හිරු රස් වැටීටමන් අටගන්නා ‘දේදුන්න’ සක් ර‍ජු ගේ දුන්න යැයි පසිදු යි. සක් දෙව් රජ තෙමේ වැස්සට අධිපතියා යි.



64. පෙළ:- වලඟ, කර, රහස පද, පුවතර ම වූ තිමග කෙලෙස මෙර ගිර ඇත් ඇතොත් තුම සිතඟ නැඟී තම මහිම පෑ බමවයි. ඉන් මෙ රජුගෙ මතග නැගුම් කියනු කිම.

(නගුටේ අග යැ, සොඬ යැ, අංගජාතය යැ; පාද යැ යන සත්තන් බිම පිහිටි ඉතා පසිදු හිමව් කුළ, කෙලෙස් කුල, මහ මෙර, බදු ඇතකු ඇතොත් මෙ තුමා සිත් සේ ඔහු - නැඟී තමා ගේ බලය පෙන්නා -ඌ - කරකවයි. එ හෙයින් මෙ රජු ගේ ඇතුන් නැගීම ගැනැ කියන්නේ කුමට ද?

පැදියේ වදන් යොදා ඇති හැටි ඉතා අසරණ යි. ‘පුවතරම’යන තැනැ ‘ම’ යනු විරිතට පිරිමැසෙතුදු අරුතට හානිකර වේ. පසිදු මැ මෙරැයි කී විටැ පසිඳු මෙර කීපයක් ඇති බවක් ද ඇඟී යයි. හිම ගිර, කෙලෙස් ගිර ආදිය පිළිබද තතු ද ඒ සැටියි. ‘වලග, කර, රහස, පද’ යනු ද විසුළුවෙකි. ‘අංග ජාතය’ සදහා ‘රහස’ යනු පමණක් යෙදීම දිවැසින් අරුත් දන්නට මිසැ නැණැසින් අරුත් දන්නට නම් සුදුසු නො වේ. ‘රහස පද’ යන්න නම් ‘රහස් පියෙස්’ සදහා ගත හැකි. එ විටැ එන්නේ විසුළු අරුතෙකි.


ගිමග කෙලෙස මෙර ගිර

වලග කර රහස පද වූ ඇත් යැයි


කී විටැ හිම ගිර පමණ වූ වලගකුත්, කෙලෙස් ගිර පමණවූ සොඬකුත්, මහ මෙර පමණ වූ අංග ජාතයත් ඇති ඇතකු’ යි ගන්නට සිදු වේ. එ විටැ පා ගැනැ සඳහනෙක් නැති. පද යෙදී ඇති හැටි‍ෙයන් නම් ගන්නට සුදුසු මේ විසුළු අරුත මැ යි. එ‍හෙත් අපේ රාලහාමින් සෙසු ඇම තන්හි ඇතුන් සදහන් කිරීමේ දී ‘සත් තන්’ බිම පිහිටි බව නො වරදවා සදහන් කොටැ ඇති සැටි සැලැකීමෙන් මෙහි ‘වලග කර රහස පද’ යන්නේ අරුත ‘නගුටු අග, ‍ෙසාඬ, අංගජාතය, පාසතර ය’යි ගන්නා ලදි.

හිමඟ = හිම අග (අග නම් පර්වතය යි). වලඟ = වල් අග (වල් නම් නගුට යි). තුම = උතුමා. සිතග = සිතු අග = සිතු අඟැ.


65. පෙළ:- මෙ නරනිඳු සොබන නකුල රජු මෙන් අසුට නැගෙමින් යුගත නල ලෙසින වේ දිගට මෙහෙයා විටින් විටැ තොසින දෙන නද ඇසෙන පමණ මිසැ හස නො පෙනෙයි ඇසට

(මෙ රජු හොබනා වූ නකුල රජු මෙන් අසු පිටට නැගී කප් කෙළවරැ හමා බස්නා පවන සෙයින් වීදිය දිගේ දවවමින් වරින් වරැ සතොසින් කරන හඬ ඇසෙනවා පමණක් මිසැ අසු ඇසට නො පෙනෙයි).

අසුන් නැඟීමේ ආදී ඉතා පසිදු රජෙකි නකුල යන නමින් සදහන් කැරෙන්නේ. කොවුල් අසුන් කරුවෝ ද:-

‘ප ත ඟ කුලග පැරැකුම් රජුගේ කුමරිඳු

ස ත ඟ මිහි පිහිටි මතඟුන් තුරඟු නුදු

නි ස ඟ නැඟී පවනෙව් විහිදුවා උදු

ලෙස ඟ වියැ උදේනිය නකුල දෙ නිරිඳු, යැ යි එ සදහන් කළහ.


රජ සිහ රජු අසු දවවන විටැ ඔහු කරන හඬ ඇසෙනු මිසැ අසු ඇසට නො පෙනෙන බව කීමෙන් අසු දවවින වේගයේ මහත් බව ඇඟැවිණි.

ලෙසින = ලෙසින් (එ.වි). යුගත = යුග අත (අත = අන්තය). තොසින = තොසින් (එ.වි).


66. පෙළ:- වියතුන් විසින් නියමින් ගනින මඳක් අඩු වැඩි වුවහොත් සතරින අසුබ යැ කියති; එ බැවින් දළ නුවන උනහය කළ රතිඳු මෙ රජුන් රුවට සරි වෙයි කියනු කෙලෙසින?

(වියත් දනන් විසින් සම්මත කරන ලද පමණට වඩා සිරුරෙන් මඳක් වත් අඩු වැඩි හෝ වුවහොත් ශාස්ත්ර යේ හැටියට ඒ අව ලකුණැ යි කියති. එ නිසා මහ ඉසුරා විසින් අඩ සිරුරු බවට පමුණුවන ලද අනඟා මෙ රජු‍ ගේ රුවට සමයැ යි කියන්නේ කවර අයුරින් ද?

ගතින = ගතින්. සතරින = සතරින්. කෙ ලෙසින = කෙ ලෙසින් (එ.වි). රතිඳු = රති ඉඳු (රතිය ගේ ඉඳු හෙවත් හිමියා රතිඳු යි. අනඟ) උනඟය = උනු අඟ ය (‘ය’ විරිත නිසා කළ වැඩියෙකි).

රිය ගේ හිමියා වන මල් සරා හෙවත් අනඟ අද සිටිනේ අඩ කයින්ලු. එයට කරුණ මෙ හෙසුරා විසින් දැළැසැ ගින්නෙන් දවන ලද හෙ තෙමේ නැවැතැ ඔහු විසින් උපදවන ලද්දේ අඩ කයින් සිටුනා පරිදි විමලු.

මේ/ අපේ කව් පොත්හි නොවරදවා මැ දක්නට ලැබෙන පුවතෙකි.

සැළ ලිහිණි අස්නේ ‘පෙර මලවියා වන් රුසිරෙන් මන නදන’ යැයි පෙර මලවියා යන්නෙන් සදහන් කරන ලද්දේ තිනෙතා විසින් දැවෙන්නට පළමු සිටි අනඟ තෙමේ යි. හන්ස සන්දේශයේ ‘මන් මඳ වෙයි “දැන් මද රජු” ගේ සිතට’යැ යි ‘දැන් මද රජු’ යන්නෙන් සදහන් කරන ලද්දේ දවනු ලැබුවාට පසු දෙවනු වැ ඇති කරන ලද අනඟා යි.


‘ලෙව් දන මන කරවන සඟතොස විපුල

මෙනිරිඳු රුවට පරදිනුවට පළමු කල

මෙහෙසුරු දළැසගින් කළ බව ගත විකල

සිතෙනු යැ මදනහට එ මැ යැ යි සෙත‍ට මුල’ යැ යි පරෙවි සන්දේශයේ සදහන් වන්නේ ද මෙ පවත යි.


සිරුරේ ලකුණු බලා සුබ අසුබ පවසන ශාස්තුයක් ඇති. එය සමුදුරු රුසියා විසින් පහළ කරන ලද හෙයින් ඊට සමුදුරු සතර (සාමුද්රිඑකා ශාස්ත්රසය) යන නම කියනු ලැබේ. ඒ වියත්හු හදාරති. එ හදාළා අය, එ සතරේ ඇති නියමයනට වඩා අඩු වැඩි බවක් සිරුරේ ඇත හොත් ඒ අව (නපුරු) ලකුණක් හැටියට දක්වති. මල්සරා අඬ සිරුරින් සිටිනා හෙයින් යුතු මේ රජුට සම කරන්නේ කවර නම් අයුරෙකින් ද?



67. පෙළ,- සොබමන් මෙ නරනිඳු ගේ දළ දන් වතුර දිළිඳුන් ළ වැව් ගං හෝ නො හැර පුරමින් කිවිඳුන් වැනුම් සයුරත වැඳැ, යුග කෙළ සයුර රළ ලෙසැ එක පැහැර ඇම තන් වතළ.

(හොබනා මෙ රජු ගේ මහත් වූ දන් නමැති වතුර දිළිඳු දනන් ගේ සිත් නැමැති වැව්, ගං, හෝ ඉතිරි නො කැරැ පුරවා කිවියන් ගේ වැනීම් නැමැති සයුරට වැඳී කප අගැදී - ප්රතලය වන - සයුරේ රළ මෙන් එක් වටැ සියලු තන්හි පැතිරීයේ යි).

නො හැර = නො හැර (එ.වි).

මෙ රජු ගේ දන් දීම මහ වතුරක් හෙවත් ගලන දියක් බඳුයි. එ වතුර දිළිඳුන් ගේ සිත් නැමැති වැව් ගං හෝ පුරා උතුරා ගොස් මුහුදු වදී. එ මුහුද නම් කිවිඳුන් ගේ වැනුමයි. එහි වන් වතුර සයුර ද පුරා කප් කෙළ දී සිවු දිගින් හමා බස්නා (වේරම්බ) සුළඟින් කැලැඹුණු මහසුරු රළ සේ රළ නඟා වෙරළ පැනැ ගොස් එක් වට සියලු මිහි පිට වසා පැතිරැ සිටී.


මෙයින් කියැවුණේ රජු දිළිඳුන් ගේ සිත් පුරා වස්තු දෙන බවත්, එ දීමනාව කිවියන් වනතත් (එය) කිවි වදන් ඉක්මවා සිටින බවත් යැ. මෙ වනාහි:-

‘එ නිරිඳු පැදුම් රද

මහ දන් වැසි වසින සඳ

දිළිඳුන් ළවැව බඳ

උඩඟු දළ ලොබ නියර ගියෙ බිඳ’ (ක. සේ.) යන්නේ වැඩීමෙනි.



68. පෙළ:- රවුළු දිනු, පවර, සිරි රම් රජහු මෙන අවුළු නොයෙක් විරිඳුන් විකුමෙන දුරැරැ, (මෙ රජ) සවුළු ලැමැති කුල කිරුළඟ මිණක් මෙන සිරි ලක තෙදින් අවුළුව‍මින් වැජඹේ.

(රාවණයා පැරැදැ වූ, උතුම් වූ, උතුම් වූ සිරි ‍රම් හෙවත් ශ්රීස රාම චන්ද්රන - රජු මෙන් ඇවිළි ආ නො එක් සතුරන් සපන් කමින් දුරු කළා වූ - මෙ රජ, තෙමේ - සවුළු පෙළට අයත් ලැමැණි කුලය නැමැති ඔටුන්න මුදුනේ මැණිකක් මෙන් තෙදින් සිරි ලක අවුළුවා හෙවත් එළිය කොටැ උසින් පෙනී සිටි.

මෙන = මෙන්. විකුමෙන = විකුමෙන්. තෙදින = තෙදින් (එ.වි).

‘අවුළුවනවා’ යන්නේ අදහස අමුණුවනවා, ඬහපනවැයනුයි. ‘ගිනිඅවුළුවනවා’ යන තැනැ වුවත් අරුත ඒ මැයි. ගින්න ඩහවන බවයි එයිනුත් කැරෙන්නේ. එහෙත් මෙහි, ‘අවුළුවමින්’ යන්න යොදා ඇත්තේ එළිය කරමින් යන අරුත දීමටයි. සිරි ලක අවුළුවමින් යැයි කීවාම ඇ‍ඟෙන්නේ නම් සිරි ලකට ගිනි දල්වා යන්න යි. කිවියා නො සිතුව ද පළ අරුත ඒ මැයි. එ බව අපේ කිවියාට නො පෙනුණේ බැල්ම එළි වැටට මැ වැටී පැවැති නිසයි.


‘සැවුළු’ කුලයක් රජ සිහ රජුට කෙ සේ අත් වීද යනු අපි නම් නො දනුමු. ‘පණික්කල’ පරපුරෙහි වූ මෙ රජුට රට වැසියන් කීයේ ‘පණික්කියා’ යන්නයි. ලක් දිවේ සවුළු පර පුර සවැති සිරි පැරැකුම් රජුගෙන් අවසන් වූයේ යි.

සිරි රම් රජු ගේත් රවුළු (රාවණ) රජු ගේත් කතා පුවත මෙ දිවේ ඉතා පසිදු යි.



69. පෙළ:- සිවු පා තර, ගුණදම බැදෙමින් සිටින, දළ දම් සොඬ, පිරිසිදු කිත්, සිරි රඳන, සතහ දෙරණ සුපිහිටි, වොරඳන ගතිනි මෙ නරවර නිතින (සිවු පා තර, ගුණ, දම බැ‍ඳෙමින් සිටින, දළ, දම්, පිරි සොඬ, කින් සිරි රදන, සතහ දෙරණ සුපිතිවි, වොරදන ගතිනි) කලණ ‍වරණෙවි දිසි.

(සතර උපාය දැඩියේ ගත්, ගුණ දහමෙහි බැඳී සිටිනා, මහත් වූ දහමට ලොල් ගතියක් ඇති පිරිසුදු හෙවත් නොකිලිටි - කීර්තියක් ඇති, සැපත් රැඳී පවත්නා සත් අඟින් - හෙවත් අංග සත නිසා රටෙහි තිරව පිහිටියා වූ, බබළන සිරුරෙන් යුතු මෙ රජ (නිබද මැ දැඩි වූ සතර පයක් ඇති, ගුණවත් වූ, දමින් හෙවත් දම්වැළින් - බැඳී සිටිනා, දළ උස්, පිරුණු හොඬ ඇති, සුදු පැහැ නම් දැරූ සිරි කත රැඳී සිටිනා, සත් තැනක් බීමැ මනා වැ පිහිටියා වූ, උසින් පෙනෙන සිරුරක් ඇති, කල්යාැණ ලකුණු සහිත) ඇතු‍ සේ පෙනේ.)

සිවුපා = සිවු උපා. සතඟ = සත් අඟ. වරණෙව් = වරණ එව් (වරණ නම් ඇතා යි).

ගතිනි=ගතින්. නිතින= නිතින්.

  සිවු උපාය නම් :- සමගි දමින් බැඳැ ගැනීම, තුටු පඬුරු දීම, උනුන් බිඳුවීම,  දණ්ඩනය හෙවත් පහර දීම,යන සතරයි. ඒ රජකු විසින් පිළිපැදිය යුතු විදියයි. රජකු ගේ රැක්ම තිර යැ යි සලකා ගැනීමට ඇවැසි -


සත් අග හෙවත් අංග හත නම් :- ස්වාමි, අමාත්යප, සුහෘත්,කෝශ, රාෂ්ට්රර, දුර්ග, බල, යනු යි.

මෙහි රජුත් ගදැත් කුලේ ඇතකුත් එක් සැටි කොටැ දැක්විණි.

ඇතු ගේ සතර පය (සිවුපා) තිර වැ පිහිටියේ යි.

රජු ගේ ද සතර උපාය (සිවුපා) තරු වැ පිහි‍ටියේ යි.

ඇතා කඹයෙන් හා දම්වැලිනුත් (ගුණ දම) බැඳී සිටියේ යි.

රජ ද ගුණ දහමින් (ගුණ දම්) බැද සිටියේ යි.

ඇතා දළින් ද, දමින් (යදමින්) ද, සොඬින් ද (දළ දම් සොඬ) යුතු වූයේ යි.

රජ ද දැඩියේ දහම් හි ඇලී (දළ දම්සොඬ) සිටියේ යි.

ඇතා පිරිසුදු යසස් (පිරිසුදු කිත්) ඇත්තේ යි.

රජද පිරිසුදු යසසක් (පිරිසුදු කිත්) ඇත්තේ යි.

ඇතුගේ කුඹපිට සිරි රඳයි (සිරිරදන). රජු කෙරේ ද සිරි රදයි ( සිරිරඳන).

ඇතා සත් තැනක් බිමැ ගැටී (සතහ දෙරණ සුපිහිටි) සිටිම ඇත්තේ යි.

රජ ද සත් අඟින් යුතුවැ රටේ මැනැවින් සිටියේ ( සතඟ දෙරණ සුපිහිටි) වෙයි.


මෙ කිවියෝ මැ:-

‘සිවු පා පදැති දිඩ

බස් මද වැහෙන නොවැ ඉඩ

යුතු වූ දහම් සොඬ

වරණ සිරි ඉසිලි දහම්සොඬ’ යැයි අන් තැනැකැදු කීහ.


70. පෙළ:- දිය මුදුනා පත්, ගුණ රැඳී, සුපිරුසුදු, මිහි පා නිති සෙවුනා, සිනිඳු පත් යුත්, සිරි රඳනා, දිනකර සිය මෙ නරනිඳු හැමවරැ (දිය මුදුනා පත්, ගුණ රැඳි, සුපිරුසුදු, මිහි පා නිති සෙවුනා, සුනිඳු පත් යුත්, සිරි රඳනා, දින කර සිය කමල මෙනා බබළ යි.

(ලොවට මුදුන් පත්, ගුණයෙන් ගෙන් යුත් වූ දෙ කුලෙන් ඉතා පිරිසුදු වූ, රජුන් විසින් නිතර සොයනු ලබන්නා වූ සිනිඳු පා ඇති, ඉසුරු රැඳී පවත්නා, හිරුට නෑවු හෙවත් හිරු ගොත් ඇති මෙ රජ සියලු කල්හි (දිය මතු පිටට පැමිණි, දඬුයෙහි හූ ඇති, ඉතා පිවිතුරු, මීමැස්සන් නිතින් ඇසුරු කරන, සිනිඳු පෙති ඇති, සිරිකත රැඳී සිටුනා, හිරුට නෑ වූ හෙවත් හිරු රසින් පුබුදුවනු යෙන් හිරුට සබඳ කම් ඇති) පිපි සිටිනා නෙළුම් මල සේ දිළෙයි).

දිය මුදුනා = දිය මුදුනැ. මෙනා = මෙන්.

"https://si.wikibooks.org/w/index.php?title=සැවුල්_අසුන්_පවත්-7&oldid=4108" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි