සැවුල් අසුන් විතර
සැවුල් අසුන් විතර
1 සෙසු අසුන් කව් සේමැ ‘ආසිරි’ වදන මුල් කොටැ ඇති සැවුල් අස්න ද
‘ආයුබෝවන් කුකුළු රජතුතමාණෙනි’ (සැරද සැවුලිඳු සඳ) යි ගීයෙකින් පටන් ගැනේ. ගීයකට එ වැකිය පමණ නොවන හෙයින් කුකුළු රජතුමාගේ රූ සපුව ද එ ගමන් මැ පැවැසීමක් හැටියට.
රත් මැණික් සම වැ පෙනෙන කරමලෙකින් යුතු, බබළන මුතු රැස සේ පතළ සුදු පෑ ඇති පියා පත් රැසින් සැරැසුණා වූ, යන වෙසෙසුන් අරුත් ඇති වදන් රැසක් යොදා අඩුව පිරිමැසීමෙන් ගිය සපුරා ඇත්තේයි.
කුකුළා ගේ කරමල රත් මැණික් සේ ලේ පැහැ බවත්, පියාපත් රැස බබළන මුතු රැසක් සේ සුදු බවත්, එයින් කියැවෙයි. සුද නන් අයුරු වෙයි. කීරත් සුදුයි, පිළිමිණි (පළිඟු) ත් සුදු යි. වීදුරුතු සුදු යි, රිදීත් සුදු යි, හිමත් සුදුයි, එහෙත් එ සියල්ලේ සුද එක්වන් නොවේ. මුතුයෙහි ඇත්තේ ‘සුද’ යනුයෙන් රට පුරා පතළ කිරි සුදුයි. එහෙයිනි එයට ‘පළ’ හෙළ යැයි කීයේ.
2 ඉක්බිති වැ එන්නේ දූතයා ගේ රූ සපුව පළ කරන අයුරින් අතර මඟැ පවත් විතෑරීමක් හැටියට පැන කීපයක් නැගීමයි. එ පිණිසැ සෙසු අසුන් කව්හි සේ ම. මෙහිදු යොදා ඇත්තේ දසපද සැහැල්ලෙකි. අපේ අසුන් කව් කරුවන් එය රැකියැ යුතු පවතක් හෙවත් සිරිතක් හැටියට සැලැකූ බව පෙනේ. ඉන් පිට පැනීම ගුරුන් ගිය මඟින් ඉවතට යාමක් සෙයින් ඔවුන් සැලැකුවා වෙන්නට ඇති.
3 දස හෑල්ලෙන් දූතයා පැසැසූ ඉක්බිති කිසි අසුන් කව් කරුවෙක් ඔහු කටයුත්තට යොමු කරවා ලූහ. අනෙකෙක් තව ද සීපද ගණනෙකින් දූතයා ගේ වෙසෙස්
බව පවසා ඔහුට කටයුත්ත සදහන් කළහ. සැවුල් අසුන් කරුවා අයත් වන්නේ පසු වැ කී ගණයට යි. එ හෙයින් හෙතෙමෙ තවද සීපද දෙකෙකින් කුකුළා ගේ වෙසෙසියාව
පළ කොටැ අනෙක් සීපදයෙකින් ‘මා කියන බස අසව’යි පවසා ඔහුගේ සිත කටයුත්තට යොමු කරයි.
4 තමා අදහස් කරන කටයුත්ත කෙළින් මැ සීපදයෙන් කීම කිසි අසුන් කරුවකු පළිපන් මඟයි. එහෙත් එක් විදියෙකැ වැකියෙකින් එයට ද මුල පිරිමක් කිසි අසුන් කවෙකැ දක්නා ලැබේ. සැවුල් අසුන් කරුවා ද ගුරු කමට ගත්තේ මෙ දෙවැනි රැසට අයත් පොතෙකි. එ හෙයින් හෙතෙමෙ ද සිරිතට මිසැ අන් කිසිදු වැඩකට නැති සුළු වැකියෙකින් මුල පුරා සීපද දෙකෙකින් දූතයා අස්වයි ඔහු විසින් කටයුත්ත.
‘සපර පුරේ තෙමහල් පහතුරැ රඳන සමන් සුරිඳු දැකැ මෙ හස්න දෙව්’ යනුයෙනුයි එ කටයුත්ත සදහන් වූයේ. අස්න ලැබියැ යුත්තා සීපද ගණනෙකිනුත් දසපද හෑල්ලෙකිනුත් සදහන් කරන පමණට මෙ කොටස දිග්ගැස්සීම ගිරා අසුන් කරුත් හස් අසුන් කරුත් කළ බව පෙනෙතත් පරෙවි, සැළ, යන අසුන් කවි ගුරු කමට ගත් සැවුල් අසුන් කරුවා එය සීපද දෙකෙකින් සපුරා ලයි.
5 දූතයාට ඔහු විසින් කළ යුත්ත සඳහන් කළ ඉක්බිති ඔහු ගමන් ගන්නා තැන වනන්නට පටන් ගැනේ. එයට ද මුල පුරා ඇත්තේ රටා විසිතුරින් යුත් වැකියෙකිනනනි, සැළ අසුන් කරු මුත් සෙසු සියල්ලන් පිළිපන් මඟ ඒ යි.
දූතයා නිකුත් වන පුර සදහන් කිරීමේ දී එහි නම එළි වැටට හසු කරන්නට යාමෙන් අපේ අසුන් කවි කරුවන් කළ විසුළු දුක්මුසු යි. මෙ අවුලේ මියුරු සදෙස් කරුවා නොවැටුණේයි.
‘සීතාවක’ යන්න එළි වැටට සිටිනා සේ සීපදය බැඳිමේ දී ‘තාරකපති’ ‘මාතාවක’ යන පිරිසිදු හෙළ නො වන වදන් පවා සැවුල් අසුන් කරුවාට යොදන්නට සිදුවී. සෙසු බොහෝ අසුන් කව්හි සේ මැ සැවුල් අස්නේ ද ‘පුර වැනුම’ තුතිපත් ගණයට හෝ බලි තටු වැනුම් ගණයට හෝ අයත් වන හර නැති බොරුවෙකි. සීතාවක සැබෑ පවත මඳ විසින් වත් එයින් එළි නො වෙයි තවද වැසෙනවා මිසැ. මේ විළි දනවන වැඩක් වුවත් කාටත් පොදුවේ පවත්නා සිරිතක් හැටියට සම්මත වැ පැවැති හෙයින් කිවියෝ එ නිවට පැසැසුමට මැළි නුවුහ. සැවුල් අස්නේ පුර වැනුම නො එක් පුර වැනුම් සිහි කොටැ ඒවායින් කොටස් ගෙනැ කරන ලද්දක් හෙයින් නො එක් ගෙන් රෙදි කැබැලි ගෙනැ ගොස් මසන ලද ඇතිරිලි කඩක් වැන්නේයි. කොටින් මැ එහි සදහන් වන්නේ පැවැති සීතාවක පුර නොවැ නිකම් වැදගත් සීතාවකෙකි.
මෙ වදන්මත් සිතාවක පුර වටා කැලුම් විහිදී යන උස් වූ පළිඟු පවුරෙක් ඇත්තේයි. පුරය හරියට මැ (ඇතුළතින්) කිරි සයුර වැනියි. මෙ පවුර කිරි මුහුද අවුරා දරණ ලා හොවිනා අනත් නා රජු ගේ දරණ වැළ වැනියි. පුරයේ වසන රජ කිරි මුහුදේ වසන වෙනුසරි යි! (11)
12 ඒ පවුර වටා පිටතින් දිය අගළෙකි. සුදුවන් පවුර වටා ඇති එ සුදුවන් දිය අගළ පෙනෙන්නේ කෙලෙස් ගිර වටා වැටී ඇති අහස් ගඟ මෙනි. අහස් ගඟ කෙලෙස් ගිර වටා වැටෙන්නේ කෙලෙස් ගිර මුදුනේ සිටුනා මහ ඉසුරා බහුරි නැටුම නටනා විටැ වට මාලක්කමක් ගැහීමේ දීයි (12). අහස් ගඟ මහ ඉසුරා ගේ දළ මඬල අසරින් හෙන දිය දහරෙකි.
අසිරියෙකි! මෙ (සීතාවක) පුරේ උස් මැදුරු මුදුනේ ඇති කෝ අගට රත් මැණික් යොදා ඇති. එ මැණික් රස් රෑට අදුර නසමින් ඉරු ගේ කැලුම් සෙයින් බබළයි. රෑ පුර විදී ඔස්සේ යන වෙසඟනෝ සිතති එ හිරු රස මැ වෙතියි. පුරයේ සිටුනා රජසිහ රජු හිරු ගොතැ එකතු වනුයෙන් තම පෙළපතේ දරු මුනුබුරකු හට දෙන තෑග්ගක් හැටියට එ රස් ගිරා විසින් එහි රඳවා තිබෙන ලද්දේ යැයි සිතන වෙසඟනෝ තමන් රිසි අදර නසන රස් එසේ තිබාගිය හිරුට උරණ වෙති. දවාලට නම වෙසඟනන් සිටිනු ඉරුට උරණ වූ වන මැයි. මේ කරුණ නිසා රෑත් ඌ උරණ වෙති. (13)
මෙහි නිල් මිණින් බදනා ලද මහ මැදුර මතැ රන් දද සැලෙනු දුටු හීලෑ මොනරු මැදුරු විදුලි කොටන වැහි කළුයි සිතා නටන්නට පටන් ගනිති (14). මෙහි මුතු මිණි වෙණෙදහමට සදා ඇති සල්පිල් බොහෝයි. එ නිසා අහසට පුර බිම පෙනෙන්නේ අගත් රුසියා දෝතට දිය සියල්ල ගත් විටැ මැණික් රැස පෑදී පෙනුණු මුදු පත්ල මෙනි (15). මෙහි ගෙවලැ කවුළු ළඟැ සිටිනා ගැනුන් ගේ මුණු නෙළුම් මල් වෙතියි රැවැටී නෙළා ගන්නා අදහසින් මඟැ යමින් සිටිනා ඇත්තු සොඬ යවති (16) මෙ පුරේ ගෑනුන් ගේ මූණු නෙළුම් මල් මෙන් පෙනේ. උන්ගේ තොල් තමා නෙළුම් මල් පත්, නැහැය තමා කෙමිය හෙවත් බට්ට. උන් ගේ මිහිරි වදන් තමා නෙළුම් මල් පැන්. උන් ගේ මුණු දෙසැ බැලුම් හෙළන සලෙළුවන් ගේ ඇස් තමා නෙළුම් මලින් රොන් ගන්නා බමරු. කොයි වේලේත් සලෙළුන් ගේ වැඩේ එ ගෑනුන් ගේ මුණු දිහැට බැල්ම හෙළීම යි (17).
එ පුරයේ රතු මැණික් තොරණ පෙළේ රත් පැහැ රස් වැදී පුර අහසේ සඳ රත් පැහැ වෙයි. එ දුටු වෙසඟනෝත් සලෙළුවෝත් සිතති එය පායා ගෙනැ එන ඉර වෙතියි (18).
මෙහි මහ උස් පහ මුදුනේ කොඩි ලෙළ දෙයි. ඒවායේ සේයාව පෙනෙයි ඉඳුනිල් මිණින් කළ විදි මත්තේ. එ විටැ එ විද පෙනෙන්නේ නො එක්වගේ මසුන් කෙළනා යමුනා නදිය මෙනි. (19) මෙ පුරේ ගෑනු ඇවිදිති. එ ගෑනු රන් වැල් වැනියි. උන්ගේ අතුල් පතුල් තොල් ළා දළු වැනි යි, සිනාව මල් බඳු යි. උන්ගේ තන උස් වැ නැගී සිටියි, දැඩියි, ඒවා (රන් වැල්හි) ගෙඩි වැනි යි (20).
ඉර කලින් කලට උතුරටත් දකුණටත් බරවී නැමී යන්නේ මෙ පුරය මත්තෙන් ගිය හොත් උස් වූ පහ මුදුන්හි රත් මිණි කොත් අසලැ දී පැටි වන්නට සිදු වෙතියි ලජ්ජාවෙති (21).
මෙහි මැදුරු සදලු තල මත්තේ ගෑනු පන්දු ගසති. උන් ගේ ඇස් මානිල් මල් පෙති බදු යි; මූණ පුරා හඳ වැනි යි; සලෙළුවන් ගේ සිතත් ඇසත් ඇදී යන්නේ උන් දෙසට යි (22).
මෙ පුරේ ඇත්තු සිටිති. ඌ පා සතර යැ, නඟුට යැ, සොඬ යැ, රහසඟ යැ යන සත් තන් බිමැ ගැටෙන්නෝ වෙති (23). බොහෝ යුද අස්හු මෙහි දුවති. උන් පිනුමේ දුවන විටැ පෙනෙන්නේ කිරි සයුරේ රළ පෙළ දිවෙන්නා මෙනි. පුරය තමා කිරි සයුර. පුරේ වැජඹෙන රජ තමා කිරි සයුර මැද්දේ සිටුනා මහ මෙර. රජු පිරිවරා සිටුනා ඇමතියෝ යි කුල පව්. රජුට පවත්වන තුති ගොසත් පසඟ තුරු නදත් තමා සයුරු ගොස (24).
පුර විදී ඔස්සේ සෙබළුවන් ජය පළ කරමින් සරන්නේ අසුර යුද දිනා තිදස් පුරේ සුදසුන් වීදියේ සරන සූරසෙන් අයුරිනි (25).
සියලු සැපතින් පිරි මෙ පුරේ සලෙළුන් හටන් සැල ළන්හටත් ඇති එක මැ දුක රැය එළිවීම පමණයි (26). සතර වාසලින් හා සතර විදි හිසින් ද යුත් එහි රජ
මැදුර ඉඳුනිල් කොතින් ද සතින් ද යුතු හෙයින් මහ බඹා වැනි යි (27). එහි ගෙ දිගු විල් ගෑනුන් බඳු යි. විල්හි නෙළුම් මල් තමා ගෑනු මූණු, මානිල් තමා නෙත්, රත් උපුල් තමා තොල්, මී මැස්සෝ තමා බැම, සෙවෙල තමා වරල, කුමුදු මල් තමා සිනාව, හංසයෝ පියොවරු, විල් ලිහිණි තමා මෙවුල් අබරණ (28).
මිනිසුන් මුදු පරගනාව යැ යි කියන්නේ ඇත් අස් සෙන් පිරි මෙ පුරේ බරින් වෙහෙසට පත් (මහ පොළොව දරා සිටිනා) අනත් නයා විටින් විට හෙළන හුස්මට යි (29).
ඉඳුරු දික්පති සක් රජු වසන, එක් මැ සුරගුරු වසන, එක් මැ ඇතකු සරන දෙව් පුරයට වඩා ඉහළයි සතර දිසාවට මැ අදිපති රජසිහ රජු වසන, බොහෝ ඇමැති ඇදුරන් වසන, අපමණ ඇතුන් සරන මේ (සිතාවක) පුරය (30). මෙ පුරේ සිරි සැපත් වනනවානම් අනත් නා රජුත්, බලනවා නම් සක් රජුත් හැරැ කවුරු සමත් වෙතිද? (31)
එ තමා සැකෙවින් පුර වැනුම. ඒ නිකම් මැ නිකම් බොරු තුතී පතක් මිසැ සීතාවක පුරයේ හැටියක් යම් නමකට වත් පළ කරන පැවැසුමෙක් නො වේ. නිකම් මැ බොරු වැනුම වූවද එක් පිළිවෙළක් ඇති වැ කරන ලද්දේ නම් එ පිළිවෙළේ වත් සැලැකියැ යුතු සබාවෙක් ඇති වෙයි. මෙහි එ ද නැති. තමන් විසින් කියවන ලද මේ හැටි මැ පුර වැනුම් හි වූ දැය සිහිපත් වන වන හැටියට තැති නො තැන නො බලා යෙදීමෙන් කරන ලද මෙය ඒ ඒ තැනැ ගරා වැටුණු බිතු වලින් ඇහිදැ ගෙනැ ආ නො එක් පමණේ ගඩොළු, පණුගල්, කළුගල් කැබැලි තිබ තබා බැඳි බිතක් වැනි යි. එක් තැනෙක්හි දී සඳහන් කරන ලද අබිසරුවන් ආයේ ද තැනෙක්හි දී (13. 18) සදහන් කිරීම, පුර අඟනන් දෙ තුන් පළේ සදහන් කිරීම වැනි මහ දුඹුල් කම් පවා මෙහි දක්කට ලැබේ. පුර අඟනන් කෙරේ නෙත් ලන සලෙළුවන්
ආයේ අබිසරුවන් කෙරේ යොමු කැරැවීම සිතට නැගුණ නැඟුණ දැය කීවා මිසැ ඇත්තේ වැනීමක් නො කළ බව ඉඳුරා දක්වයි. ඇතකු ගේ සඳහනක් ඌ සතර පය, රහසහ, සොඬ අග, වලග යන සත් තන් බිම පිහිටි එකකු හැටියට මිසැ නැති වැ නම් සැවුල් අසුන් කරුවා නො කරයි.
6 පුර වැනුමට ඉක්බිකි වැ එ පුර අදිපති රජු හෝ රජකු නැත එ පුරට අදිපති දෙවියා හෝ වැනීමයි කවර අසුන් කව් කරුවා ත් කෙළේ. සැවුල් අසුන් කරුවා ද එ පෙර සිරිත නො කඩ කොටැ රක්මීන් සීතාවක පුර වැනුමෙන් ඉක්බිති වැ එ පුරැ අදිපති සිරි රජසි රජු පිළිබඳ වැ වැනුමක් කෙරෙයි. එ පිණිසැ ගීයක් ද වැකියක් ද සීපද එකුන් සාලියක් ද වැය කරයි කිවියා.
මුල පිරූ ගීයට අනතුරු වැ වැකියක් යොදා ඇතත් ඒ වැකිය සුදුසු වන්නේ ඉක්බිකි සීපදයට (34) අනතුරුව යි. එහෙත් ගීයේ (32) ‘...... එ මහත් මෙ පුර වරෙහි’ යන අවසන ‘තව ද මේ පුර ප්රයවාරාධිශ්වර’ යන්නෙන් පටන් ගැණුනු වැකියට හෝ එ ළඟැ සීපදයේ ‘.........දින වර රාජ සිහ නරනිඳු සඳ මෙ පුර’ යන්නට හෝ සබඳ වන්නේ නැති. එ හෙයින් ගීයත් වැකියත් සීපදයත් පෙර අපර සන්දි ගැළැපීමක් නැති වැ සිටි. යම්තමකටවත් කාරිය පිරි මැසෙන්නට නම් කළ යුත්තේ ගීය (32) බැහැරැ කොටැ ලීම යි.
‘රාජසිහ’ යනුදු ෙහාඳ සිංහල නොවේ. ‘රජසිහ’ කියා හෝ ‘රාජසිංහ’ කියා හෝ සිටියැ යුතු නමයි එ සෙයින් විකාර කොටැ යොදන ලද්දේ. තුරු රාජ, මනු රාජ, පර රාජ, යනු ‘රාජසිහ’ යන්නේ ‘රාජ’ යනු එළි වැටට සිටුවනු සඳහා යොදන ලද සැටි සිත් ගන්නේ නො වේ.
සැළ අසුන් කරු හැරුණාම අපේ සෙසු ඇම අසුන් කවි කරුවෝ රජ වැනුම හුදු නැළැවිලි තුති පතක් සැටියෙන් පිළියෙළ කළහ. එ හෙයින් එ වැනුමක් අසා සිටැ ‘මෙ පසසින්නේ අසුවල් රජු ගේ ගුණ නො වේ දැ’ යි කිසිවකුට සලකා ගත හැකි වන්නේ නැති.
එක් රජ කු සඳහා කරන ලද පබඳක් සෙසු කවර රජකු සදහා ද එ හැමැ පිටින් මැ යෙදියැ හැකි. මෙ බඳු බොරු පැසැසුම් අසා නැළැවෙන පමණට අපේ රජුන් අවිදු වැ සිටීම තමා මෙ රැයේ පිරිහීමට මුල් වූයේ. විළි ලජ්ජාව මූ කරන පමණට වත් අවිදු බව දුරු කොටැ ගත් රජකුට තම තමා උදෙසා කියන මෙ හැටි පැසැසුම් ඇසෙන විටැ සිතට නැගෙන්නේ තොස නො වේ, රොස යි.
මෙ රජ වැනුම නිකම් පිදේනි වැනුමක් වන් කන්නළවුවක් වන බව දත් ගිරා අසුන් සිරිත කඬ නො කළා වෙන්නට එ දා කොටැ පසු වැ වැලිතොට අම්බලමේ ලගින්නවුන් ලා ඇත්තේ රජ වැනුම කැරැවි. එකකුට පිරි නමන්නට කළ බොරු තුති පතක් අනෙකකු පිණිසැ යෙදීමේ දී කළ යුතුතේ නම ගම වෙනස් කිරීම පමණයි. මෙ රජ වැනුම්හි දී එ පමණට ද වෙහෙසක් නො ගෙන කටයුක්ත පිරිමසා ගත හැකි. එ හෙයින් එක් අසුන් කවෙකැ රජු වැනුමක් සෙසු කව්හි රජ වැනුම්හි සේයාවක් වනු පුදුම නොවේ. සැවුල් අස්නේ රජ වැනුම සෙසු අසුන් කව්හි දක්නට ලැයෙන වැනුම් අසරින් මවන ලද බොරු පැසැසීමෙකි.
රජසිහ රජු දැක් වූ සපන් කම් බොහෝ යි, දිනු යුද බොහෝ යි, එ රජු විසින් නසන ලද සතුරෝ බොහෝ යි. මෙ සැවුල් අස්න මෙන් දෙගුණයක් මහත් ගතෙකැ වූව ද ගන්වා තවත් ඉතිරිවන්නට සෑහෙන පමණ කියන්නට කරුණු ඇති රජසිහ රජු ගේ සිරිතින් අයුරු මතක් දූ මෙ වැනුමෙ සදහන් නො වෙයි.
එ හෙත් පෙරැ අසුන් කව් කළ මහ වියතුන් ගිය මඟින් පිට පනින්නට යැ සැවුල් අසුන් කරුවා පමණක්? මෙ කිවියා ගේ වැනුමේ වෙසෙසෙක් නම් වෙසෙසුනක් දෙකක් නැති වැ රජු සදහන් නො කිරීම යි. ඒ අසන්නවුන් ගේ කනට අමිහිරි දැයෙකි.
වෙන් විකුමැති මෙනිරිඳු (38), සිරිමත මෙහිම (40), මනනඳ මෙරද (42), පිරි සව්සිරි මෙනිරිඳු (43), පුවතර මෙ රජු ගෙ (44), සකත සවත විකුමැති සොබන මෙරජු ගෙ (45) ....... සොබන මෙ රජු ගෙ (46), රුපු රඹරන් සුන් කළ මෙ නිරිඳු (47), දියනෙත කුලග මෙ නිරිඳු (48), සතොස වඩන මන කොද මෙ රජුගෙ (50), සිරින් සුරිඳු වන් මෙ නිරිඳු ගෙ (51),........ අග රඟ මිණෙක වන් මෙ නිරිඳු (53), රුපු බළ දළ දප හළ මෙ රජු ගෙ (54), ඉඳු බල යසැති මොහු (55), පුවතර මෙහිමි (56), දසට පසිඳු මෙනිරිඳු (51), මන නඳ රාජසිහ රජු (58), තිරසර ගුණැති මෙ නිරිඳු (60), දසට අවිසරම දත් මෙහිමි (62), ෙසාබමන් මෙ මෙ රජ (62) කලාපති යසැති මොහු (63), සොබමන් මෙ නරනිඳු ගේ (67), ඈ යෙදුම් ඉතා දුඹුල් කිවි කමෙකි පළ කරනුයේ. මෙ කිවියා ගේ ‘ෙසාබමන්’ යන්න ගම රාල ගේ වංගෙඩිය බඳු එකෙකි. මොහු ගේ කුසදා කවෙහි දී මේ ‘සොබමන්’ යන්න කොතරම් නො සැලැකිල්ලෙන් යොදන ලද්දේ ද යනු:-
‘ෙසාබමන් පබාවති සිය පිරිවර රැගෙන’
‘සොබමන් කුස නිරිඳු නම් මම යැ පළ කොට’
ඈ යෙමුම් අසරින් පළ වේ. සසොබන, සොබන, සොබමන්, මනරම් යනු මෙ කිවියා ගේ පරවෙණි වදන් වූ බව පෙනේ. මෙ කරුණ නිසා මැ අප ඉගෙනැ - ගන්නා අවදියේ දී මෙ කිවියා ‘සොබමන් අලගියවන්න’ යනුයෙන් සදහන්නට අපි පුරුදු වී සිටියමු.
ඇත්තේ රජසිහ රජු අඳුන්වනවාට වැඩියෙන් වදන් මත් සක් සුරිඳු ගේ පවත් පැවැසීමෙකැ සැටි ගෙනැ සිටුනා රජ වැනුමෙහි ලා සෙසු කව් පොතින් තමා උගත් වැනුම මෙ කිවියා නිති සදහන් කළ බව පෙනේ, කවර වැනුමේදීත් කව්සිළුමිණි කුසදා කව මොහුට ගුරු වූ බව කීයැ හැකි යි.
‘මෙ රජු කෙරේ සිරි සරසවි දෙදෙන නිති වසති. ඉන් සිරිය ගෙන් වියෝ වීමේ දුකින් තැවී වෙන් දෙවියා කළු පැහැ වූයේයි; බඹු බඹසර මැ රැක්කා මිසැ අඹු සිහි කිරීමක් නො කළ හෙයින් වෙනු සේ කළු පැහැ නුවුයේ යි.
බඹු මෙ රජු මවා ඇත්තේ මුහුණ පිණිස හදත් අත පිණිස සුරතුරත්, බසට අමාවත් යෙදීමෙනි. එ තුන් වත මැ ලොවට පහළ වූයේ වෙන් දෙවියා කිරි මූද කැලැඹූ විටැ යි.
අහසට සඳ මෙනි ලක්දිවට මෙ රජ සඳ කැල්මෙන් කිරි මූද ඔද වැඩෙන්නා සේ මෙ රජු ගේ සිවු සඟරාවතින් සතන් ගේ සතන් ඔද වැඩුණේ යි.
මෙ රජ වැසි කළුවක් බඳුයි. මොහු අතේ වූ කඩුව හෙණය බඳු යි. සතුරු රජහු හෙණ පහරින් බිඳී හෙන කඳු මුදුන් බඳුයි. හිමින් නැසුණු බව අසා තැවුණු ඔවුන් අඹුවන් මුදා හෙළන මුතු වැළ වැසි හඬට ඉගිළී පියාඹන කොක් පෙළ බඳුයි.
අසුර රජු තුන් කුළ අතරට වී වසන්නේ මෙ රජු රුපු නුවර පෑරැ ගැන්මේ යෙදී දිනන බව අසා හදැපත් බිය නිසා යි.
කපා අගැ දී හමා බස්නා සැඬ පවනින් කුලගිරි සහිත මහමෙර මුලිනිදිරි යන්නා සේ මෙ රජු ගේ තෙදින් මැතින් සහිත රුපු රජ හු ඉදිරී ගිය හ.
සිවු සයුරින් සීමා වූ පොළොව එක්සත් කිරීමේ මෙ රජු යෙදුණු විටැ රුපු රජහු මොහු පා වැදැ පෙරළා රජ තනතුරු ලැබැ ගත්හ. මොහු ගේ පයේ නිය රස් හිස් මුදුනින් ගත් එ නර ඉසුරෝ අහස් ගඟ හිස් මුදුනින් ගත් ඉසුරා වැනියවූහ.
දෙව් ලියෝ මෙර මුදුනේ හිදැ මෙ රජු ගේ යස ගී ගයති, සිදු විදු දර කිනුරු ලියෝ හිමවතේ හිඳැ එ මැ කරති. ඔවුන් ගේ ගැයුම් මොවුනට ඇසෙන්නේ මූන් ගේ ගැයීමේ පිළිරැවුව මෙනි. මොවුන් ගේ ගැයුම් ඔවුනට ඇසෙන්නේ උන්ගේ ගැයුම් පිළිරැවුව හැටියෙනි.
ජය නැමැති සිරි කත මෙ රජු ගේ උරතෙලේ මැවෙසේ. ඇගේ නිති වාසය මහ මූද යි. මෙ රජු ගේ තෙද ගින්න වැදී මහ මූද රත් වූ හෙයින් එහි ඉදිනට බැරි වැ යි ඇය මොහු උරතලට ආයේ.
කප් කෙළ ගින්න මෙන් මෙ රජු ගේ තෙද දිය කෙළවරට මැ පැතිරී විටැ ඇම තන්හි සැඳෑ කැල්ම සේ පෙනේ. සැඳෑවට නටනා මහ ඉසුරා එ එළිය සැදෑ එළිය වෙති යි සිතා නටනට පටන් ගනී. එළියට අවසන් නොවන හෙයින් මෙහෙයුරා ද සැඳෑව අවසන් වූ බවක් නො දක්නෙන් නැටුම හමාර නො කොටැ දිගට මැ නටයි.
මෙ රජු ගේ තෙද බිජුවටින් නැඟුණු පැළයක් වැනි යි මොහු විසින් නසන ලද සතුරන් ගේ අඹුන් සිතේ අටගන්නා සොව, එ පැළයේ දෙ පෙත්ත වැනියි සොවින් රත්වූ (රුපු අඹුන් ගේ) දෙ නෙත.
මෙ රජු ගේ තද තෙද බව අගට මැ පැතිරෙන එයින් රත් පෑ වූ අහස් ගඟ ගිනි ගත්තා සේ පෙනේ. එ ගඟේ නාන්නට ගිය සිදු ලියෝ සුර, අඹුවෝ ගිනි ගත් සේ දැක බියෙන් පැනැ දිවෙති.
මෙ රජු ගේ මූණ සඳ යැ, නෙත් මානිල් මල් යැ, එ දෙක මැ සිසිල් ගිණයයි දෙන්නේ. ඉතින් එ බඳු සිසිල් වතුන් ඇති මොහු කෙරේ සතුරන් දවා අළු කරන තෙද ගින්න ඇති වූයේ කෙ සේ ද?
මෙහෙසුරා සුදුයි, වෙන් දෙවියා කළුයි. මෙ රජු ගේ යසස බුවන පුරා පැතිරෙන දෙ දෙන මැ එක් සේ සුදු වෙත්. එයින් සිරි කතට තම හිමියා මෙහෙසුරා ගෙන් වෙසෙස් කොටැ හැඳිනීම බැරිවෙයි. එ අවුලේ දී සිරිය තම හිමියා දත්තේ දෙ නෙත බලායි. (මෙහෙසුරා තිනෙතා යි).
මෙ රජු ගේ යස රස් වැදී නිල් පැහැ යමුනා ගඟ සුදු වෙයි. එයින් එ ගඟත් කිරිමුහුදත් පැහැයෙන් නො වෙනස් වෙයි.
මෙ රජු ගේ යසස බඹ ලොවින් මත්තේ ද පැතිරි දිග හළ සුදු කුඩයක් සේ පවතී. අහස් ගඟ එ කුඩයේ මිටයි. එයින් මුළු දියතට සෙවණ වැටේ.
මෙ නිරිඳු ගේ යස රසින් අඳුන් ගිර ද සුදු පැහැවී කෙලෙස් ගිර බඳු වැ පෙනේ.
මෙ රජුට බිය වැ සතුරු නිරිඳෝ මල ගල් පැලෑ රැකුණහ. ඔවුන් මුලින් අසුන් ඇතුන් අරා දිවීම පුරුදු වී සිටි හෙයින් මිසැ නැත්නම් එයට අවසර නො ලැබෙනු නියතයි.
මෙ රජ පණ ගැන නො තකා වීකුමත්, දීමනාවත්, සබවසත් රකී. (මළත් විකුම් පෑම නොහරී, මළත් දීමනාව නොහරී, මළත් බොරුවක් නො කියයි).
මෙ රජ දස අටක් අවි සරම පුහුණු කෙළේයි. දහ අට පුරාණයේ අරුත් දත්තේ යි, දස අට දෙසෙහි බස සිය බස සෙයින් දත්තේයි, මෙ රජු ගේ නම අට දිගැ පතළේ යි.
කිරි මූහුදත් මැලෑ තරු සහිත අහසත් අතරින් අරුණු රස් පැතිරීම සතුරු රජුන් ගේ යසස මැඩැගෙනැ මෙ රජු ගේ තෙද පැතිරීම මෙනි.
මෙ රජු කග පත ගෙනැ තමා වටා කරකවන විටැ පෙනෙන්නේ මහ මෙර වටා සිය දහස් ගණන් විදුලි වැල් පැතිරෙන්නා මෙනි.
ගිනියම් කළ යහුලක් පරණල පත විදෑ ගෙනැ යන්නා සේ මෙ රජු කඩුයෙන් ඇන්න හොත් මහත් මෙරද විදෑ පසා කොටැ ගෙනැ යනවා මිසැ කඩු මූණය අතරේ නො රැඳේ.
දස අටක් අවිසරම දත් මෙ රජ කඩුව ගෙනැ දෙපසට ගසන විටැ දෙ පසට සිය දහස් වරැ පිටැ පිටැ පහර වදී.
මෙ රජු ගේ කඩුයේ බලයෙන් මුළු ලොව රැකේ. එයින් ලොවේ බර රඳා පවත්නේ එ කඩුව මතැයි. මෙ රජු තම කඩුවෙන් ලොව වහවත පෙරැ සිටැ පොළොවේ බර උසුලා ගෙනැ සිටි අනත් නා රජු ගේ පෙණ මඬලට සැතැපීම (නිවි සැනැහී විඩා දුරුකැර ගැනීම) ලැබුණේයි.
මෙ රජු ගේ දුනු සිප් හසළ බව මහත් හෙයින් තමාට වඩා මෙ රජු දුනු කමට සපන් බව දත් සක් දෙව් රජ මොහු හා තරඟ කිරීමට නො සිදු වනු පතා තම දුන්නට ලණුවවත් නොලා දුනු මිටත් වලාකුළේ සඟවයි (ඒ තමා දේදුන්න යැයි අප දක්නේ).
ගිමවූ ගිර පමණ නගුටකුත්, කෙලෙස් ගිර පමණ හොඬකුත්, මහමෙර පමණ රහස් අඟකුත් ඇති ඇතකු ඇතොත් ඌ පිටේ ද නැගී මෙ රජ සිත්සේ ඌ බමවාලයි. ඉතින් මෙ රජු ගේ ඇතුන් නැගීමේ සමත් කම් ගැනැ තව කියන්නේ කුමටද?
මෙ රජු අසු පිටේ නැගී විදිය ඔස්සේ ඌ දවවත රජු දොඩන බස ඇසෙයි. අසාත් රජත් නොපෙනෙත්. එතරම් වෙයින් මෙ රජුට අසුන් දැවැවීම හුරුයි.
සිරුරේ යම් කොටසක් අඩු වුවත් වැඩි වූවත් අසුබ බව සමුදුරු සතරේ හැටියට පැවැසේ. ඉතා රූමත් යැ යි පළ මල්සරා මෙහෙයුරා විසින් දවන ලදුව අඩ සිරුර ඇත්තකු විසින් නැවැතැ පහළ කරන ලද්දේයි. මෙ රජු ගේ රුවේ කිසිදු අඩුවෙක් වැඩිෙයක් නැති. එ හෙයින් මල් සරා රුවින් ෙම රජුට සම වන්නේ කෙසේ ද?
මෙ රජු ගේ දීමනාව මහ වතුර ගලන්නා මෙනි. මහ වතුරට වැව්, ගං, හෝ පිරෙන්නා සේ මෙ රජු ගේ දීමනාවෙන් දිළිඳුන් ගේ සිත් පිරේ. ගලන වතුරු කඳ වදන්නේ මහ මූදටයි. කිවිඳුන් ගේ වදන් හිමි නැති හෙයින් මහ මූද වැනියි. මෙ රජු ගේ දීමනාව කිවිඳුන ගේ වැනුම් බසට හමුවේ. මුහුදට වැදුණු වතුරු කඳ සයුරු රළට එක් වැ සියලු තැනැ පැතිරේ. එ මෙන් මෙ රජු ගේ දීමනාව ද කිවි වදන් ඇසිරින් ලොව පුරා පතළේ යි.
රවුළා ජයගත් සිරි රම් රජු සෙයින් සවුළු ලැමැති කුලයේ අගතන් පත් මෙ රජ තෙමේ තෙදින් ලක්දිව එළිය කරමින් පෙනී සිටී.
සතර උපා අසළ, ගුණ දහමේ යෙදුණු, දහම්හි සොඬ වූ, නො කිලිටි කීත් සිරියෙන් යුත්, සත් අඟින් බලය තිර වූ මෙ රජ තෙමේ සුබ ලකුණින් යුත් මත් ඇතකු බඳු වැ සිටි (ඇතාට සිවු පයක් ද සොඬවැලක් ද වෙයි, හේ දමෙකින් බඳනා ලද්දේ ද වෙයි, කලණ ලකුණු විසින් සය අඟක් බිමැ ගැටී සිටිනේ ද වෙයි. ඇතුන් පිටේ සිරි රදතියි යෙති).
මෙ රජ නෙළුම් මලක් සේ බබළමින් සිටි. නෙළුම් මල දිය මුදුනේ සිටියි, මෙ රජ ද දිය (ලොව) මුදුනේ පෙනී සිටී. නෙළුම්මල ගුණෙන් (නූල් වලින්) යුතු යි. රජ ද ගුණෙන් යුතු යි. දෙ පස මැ සුපිරිසිදු ද වේ. නෙළුම් මල නිති මිහිපාවුන් (මී මැස්සන්) විසින් සෙවුනා ලද්දේ යි, මෙ රජ ද නිති මිහිපා (රජ) වරුන් විසින් සෙවුනා ලද්දේයි. නෙළුම්මල සිනිඳු පත් සහිතයි, මෙ රජ ද සිනිඳු පත් (පාද) සහිත යි, නෙළුම් මලේ සිරි රඳ යි, මෙ රජු කෙරෙ ද සිරි රඳයි, නෙළුම්මල හිරු ගේ නෑයෙකි, මෙ රජ ද හිරු ගොතැ හෙයින් හිරු ගේ නෑයෙකි. එ හෙයින් මෙ රජයි නෙළුම් මලයි එක් සමයි.
සසල නො මැ වන්නා වූ, නො එක් මිහිසුරන් (රජුන්) හට මුදුන් වන, කිසි දිනෙකැ අඩු නොවන පුරා දත් හැට හතරක් කලා ඇති, (මා පිය) දෙ පස පිරිසුදු වූ, උස් සිහසුන අරා හිඳිනා මෙ රජ (සසල මැ හෙවත් සස ලපින් යුතු මැ වන, එක් මැ මහ ඉසුරු මුදුනේ රඳන, දිනැ දිනැ අඩුවන කලා සොළොසක් ඇති, දෙ පසින් අව පස කළු වූ, ඇත් අසුන් අරා (හිඳුනා) සඳු ජය ගෙනැ බබළන්නේ යි.
සියලු දා දවසට දහස් වර ගණනේ දහසක් කටින් අවුරුදු දහසක් පුරා කීවත් ගෙවෙන්නේ නැති මොහු ගේ යසස අවුරුදු සියයකට ආයු ලත් මිනිසකු වී වෙසෙමින් එක් කටෙකින් කියා මම් කෙසේ අවසන් කරම් ද?
ඒ තමා රජ වැනුම (35-72). එය පුරා මැ බොරු පැසැසීමක් මිසැ ඇත්තේ කරුණු පැවැසීමෙක් නොවේ.
7. රජ වැනුමෙන් ඉක්බිති වැ රජ සබයේ වැනුම් වෙයි. සබා මඬුව උස් වූ නවරුවන් ටැඹින් නිමවන ලද්දේයි. ටැම් මුදුනේ පේකඩ මාරුයෙන් මාරුවට රන්, රිදී, දැව, යන දැයින් කරන ලද්දේ යී. කැටයම්
රුවින් ද බිතු සිතුවමින් ද ඒ සැදුණේ වෙයි. එහි සුදු වියන් බැදැ වට තීර ඇදැ ඇත්තේ යි. එහි බිම ඉඳු නිල් මිණියි. ළද අඟනන් විසින් ඉසිනා ලද විලද එ බිමැ ඇත්තේ යි. සිය ගණන් රන් මිණි කලස් එහි තිබා ඇත්තේයි. (73-77)
එ මඬුයේ දළ පුඬු සේසත් සෙවණේ රජසිහ රජු උන් කලට:-
රජ කුමරුවෝ (පෙදෙසි රජහු) අවුත් එ රජු වැදි පසෙකැ සිටිති, ඉක්බිති වැ ෙසාළි, පඬි, කේරළ ඈ විදෙස් රජහු අවුත් රජු පා වැඳැ සිටිති. එ ළඟට පෙරෙවි බමුණෝ රජුට ආවඩති. ඉක්බිති වැ මහ ඇමති වරු අවුත් රජු වැඳැ සිටිති. ඔවුනට ඉක්බිති වැ වාසල මුකවෙට්ටි වරු පැමිණැ රජු වැඳ පසෙකැ සිටිති. ඉක්බිති වැ විරුදු කවි කරුවෝ විරුදු කවි කියති. ඉන් පසු වැ සේනානායකවරු අවුත් රජු වඳිති. ඉන් පසු පිට රජුහු පඬුරු පිළිගන්වා සිටිති. ඉක්බිති වැ සෙබළ මුළ රජුට පෙනෙනු ඇති. එ සෙබළ මූළේ මලල දොළුවර ඇණි ද ඇති.
ඉක්බිති සිටු වරු, ඇමැතිවරු, සෙනෙවියෝ, ඈපා, මාපා ඈ උතුමෝ රජු වැඳැ වැඳැ නැගී පසකට වෙති, එයින් පසු වන්නිවරු ඇතුනුත් අය පඬුරුත් සිරිත් පරිදි රජුට පිළිගන්වා සිටිති. ඉන්පසු වැඳි දනෝ රජු නමට බැඳි විරුදු පැදිවැල් ගයති. එ සියල්ල නැවැති වැටැ යි කුකුළාට රජු වැඳැ ගමනට අවසර ගන්නට කීයේ (78-91).
ඒ රජ සබ වැනුම නිකම් විහිළුවක් මිසැ සැලැකියැ යුතු එකෙක් නො වේ. පුරා මැ කියන ලද්දේ බොරුව වූවත් එ නො පෙනෙන පරිදි සකස් කොටැ කියැහැකි කමක් මෙ කවියාට වී නම් වැනුම එ පමණට මැ විසුළු
නොවනු නියතයි. ගිරා අස්නෙ ඇති රජසබ වැනුම සැබැවි යි, විසිතුරු යි, ගතයුතු කරුණින් යුතුයි. එයත් හස් අස්නේ වූ රජ සබ වැනුමත් සිතට ගෙනැ සිත් මත් රජ සබයක් වනන්නට යාමෙන් මේ අවුල කොටැ ගත් බව පෙනේ.
පෙදෙසි නිරිඳුන් රජු වැඳැ පසෙකට වූ ඉක්බිති සොළි, පඬු, කේරළ, රජුන් රජුට බුහුමන් දැක්වීමට එතියි කීම සිනා උපදවන බොරුවෙකි. යම් විදියෙකින් එ කීයේ එ රට නිරිඳු මැ නො වැ එ නිරිඳුන් වෙනුයෙන් පෙනී සිටිනා නියොදුවන් වෙති යි අපි ගනුමු නම් පසු වැ අන් තැනෙකැ පටසළු, කපුරු, කස්තුරු, සඳුන් හරපුද පඬුරු කැරැ නෙක රටවලෙහි නිරිඳෝ සිටිති’යී කීම මහ අපූරුවෙක් වෙයි.
වාසල මුකවෙට්ටි වරුන් හට පසු වැ සේනානායකවරුන්, සිටු, සෙනෙවි, ඈපා, මාපා, ඈ උතුමන් රජු වැදැ සිටිති යි කීම ද කුඩා විහිළුවෙක් නොවේ.
පෙදෙසි රජුන් රජු වැන්දාට පසු පෙරෙවි බමුණන් ආ වැඩිම (80-81), තවත් දෙතුන් ගොල්ලක් රජු බැහැදැක්කාට පසු විරුදුකාරයන් විරුදු කීම (82-84), ආයේ ද කීප ගොල්ලකගේ බැහැදැක්මට පසු වැඳි දනන් විරදාවලි කීම (85-90) යන කරුණු රජ සබයෙකැ තිබා කෝලම් මඬුයෙක් හිදු නොවන දැයයි. මෙ කිවියා සිත්මත් රජ සබයක් වනමින් ඒ ඒ පවත සිතට නැගුණු නැගුණු විටැ සදහන් කළ බවයි මින් පෙනෙන්නේ. විරුදු කවි කියන්නවුනුත් වැඳි දනනුත් දෙ පිරිසක් හැටියට දෙ පළෙකැ සදහන් කිරීම නො දැනුවත් වැ මැ සිදු වූවෙකි.
9. රජු වැඳ ගමනට අවසර ගත් පසු ගඟින් එ තෙරැ පිහිටි දෙවොලට - එනම් බයිරව කෝවිලට ගොස් එහි වත් පිළිවෙත් බලා සිටැ කාලි දෙවිය වැඳැ ගමනට අවසර ගන්නට පැවැසිණි (93-93)
එ දෙවොල විසිතුරුයි. අපේ බුදු ගෙවලැ බිතුමතැ නො එක් ජාතක කතා පුවත් සිතියමින් දක්වා ඇති සේ එ දොවොලේ බිතුමතැ රම් රවුළු හටන, කඳ කුමරු කළ අසුර යුද හටන, මහ බාරතයේ කතා පුවත ඈ දැය සිතියම් කොටැ ඇත්තේ යි. එ දෙවොල මෙහෙසුරු පියබඳ වූ උමා දෙවිය නමට කැප කරන ලද්දෙකි. දෙවිය වැඳැ ගමනට වරගත් ඉක්බිති ගමනට සුබ නකත නො පැමිණෙන තුරු වාසල් පළ මුදුනේ හිදැ සුබ මොහොත පත් වහා නික්මෙන්නට පවසා, නික්මී වහා පෙරට හමු වන සුබ නිමිති ද පැවැසිණි.
10. ඉරු දිනයෙහි ගුරු සිකුරු බුද යන ගහයන් කුමරි රැසෙහි සිටැ උදා වූ පසු හත නකතිනි පිටත්වීම. ආසිරි වඩන බමුණන් හා නටනටා එන ගෑනුන් ද පෙර මඟැ දී හමු වීමයි සුබ නිමිති දැන්ම (98-99).
11. ඉක්බිති ඇත්තේ ගමන් මඟැ පවත් පැවැසීම යි. දෙවොලේ වාසල් පළ මුදුනින් පිටත් වූ කුකුළා මහ වීදිය ඔස්සේ අදිකරණ මඬුව පසු කොටැ පියාඹා ගොස් මඟුල් වීදිය දකී. එහි ගැයුම්, වැයුම්, නැටුම් කරන්නෝ වෙසෙති. එ වීදිය ගෙවූ පසු හමුවන්නේ වසුවිල් විට යි. එහි විකුම්සිහ මහ මැතිතුමා විසින් කරවන ලද මහ මඩමෙක් වේ. එ අසැ මැ රජු ගේ ඇත්හල ඇත්තේ යි. ඉන් ඔබ්බේ ගැටහැත්ත නම් ගමයි. එය කඩවත් පළෙකි. එයින් ගිය පසු හමුවන්නේ මින්වාන යි. එහි දී රූමත් යොවුන් අඟනන් දකිනු හැකි යි. ඉන් ඔබැ ඇති ගැට දෙල් ගහ මඩමේ නො එක් ගස් ඇත්තේ යි, ඉක්බිති හමුවන බෝපත්තේ සත සතන පිනවන කොමළ අඟනෝ සිටිති. එ ගම පසු කළ ඉක් බිති හමුවන්නේ කොමළ අඟනන් ඇති අස්ගම යි. අස්ගම බලා ගිය පසු කරඬු වැනි පියෙවුරු ඇති අඟනන් සිටිනා තලාපිටිය හමු වේ. එහි පමා නො වී ගොස් මල් පුල් වෙනෙන් යුත්
මෙනේරිපිටියා බැවුල පසු කැරැ, තිසර පැටියන් බඳු පියොවුරු ඇති ගම් වැසි ලියන් සිටිනා මිලිලවිටියට පැමිණියැ යුතු වේ. එ ගම පසු කොටැ සවස් මානයේ ලැගුම් ගන්නට දෙල්ගමු වෙහෙරට පැමිණියැ යුතු වී (100-112)
දෙල්ගමු වෙහෙරේ ලැගුම් ගන්නට කියන ලදී. එහෙයින් එ තැනැ සැඳෑ වැනුමෙක් ද (113-118) උදා වැනුමෙක් ද (119-120) වේ. ඉක්බිති දෙල්ගමු වෙහෙර වැඳුම (121-124) එහි තෙර හිමියන් නැමැඳුම (125) කරන හැටි පැවැසේ. එයින් එළිවන කරුණු දෙකෙකි. එකෙක් නම් එ වකට දළදාව දෙල්ගමු වෙහෙරේ පැවැති බවයි. අනෙක එ වකට දෙල්ගමු වෙහෙරේ වැඩ සිටියේ මිහිඳු ලකර නම් තෙර හිමි කෙනකුන් බවයි.
දෙල්ගමු වෙහෙරින් නික්මී ගමන් ගත් දූතයාට කුරුවිට දෙගම්බඩ පියෙස පෙනෙන හැටි සීපද හයෙකින් (126-131) කියැ වේ. ඉදිරියේ ඈතින් සමන් ගිර පෙනේ. මෑතින් තුරු සෙවණින් යුතු ගෙවුයන් ද අස්වන් ඇල් කෙත් ද එ අසැ ගල් කුළු මතැ හිඳැ ගී ගයන ඇල් ගෙවිලියෝද වෙති. මඟ වැටී ඇත්තේ කුරුවිට ගං තෙරටයි. ගඟින් ඔබ්බේ මූකළාන වෙයි. ඉක්බිති ඇත්තේ කුරුවිට මූකළාන ඇසිරින් වන වැනුමක් කිරීම යි (132-139). සෙසු අසුන් කව්හි දක්නට ලැබෙන වන වැනුම් හා සසදා බලන විටැ මේ ඉතා සුළු එකෙකි. එහි දූ පෙනෙන්නේ ගැති වූ මැවියාව මැ යි.
කුරුවිට මූකළානෙන් ඔබ්බෙහි කොස්ගොඩ, හමුවේ. ඉක්බිති බෙලිඅත්තේ වළ, බමුණාවත්ත, ගණේ ගොඩ යන තන් පසු කොටැ සපරගමුවට යා යුතු වෙයි. ළඟැ ළඟැ මැ ‘කුසුම කඬ යුද ජය ගෙනැ....... ලියන් රඳනා’ ‘සමර සමර දිනු වරඟන රැඳී’ යනු (143-144) යෙදීම මහ නිවට කිවි කමෙකි.
12. අ. මඟ තොරතුරු වැනීමෙන් ඉක්බිති ගමන් අවසනැ පැමිණි පුරය වූ සපරගමුව වැනීම සඳහා සීපද හතක් (145-151) ගෙවා ඇති. කවි සිළුමිණි කුසදා කව වහල් කොටැගෙනැ කරන මේ පුර වැනුම ඉතා නිසරු එකෙකි. සීතාවක පුර වැනීමේ දී කියන ලද දැය මැ මෙහිදීත් කීම කිවියාව අතින් ගත් කතුවරයා ගේ ඇති නිවට බව පළ කිරීමෙකි.
‘නි ලා මිණින් සුලකළ මැදුරු මුදුනතා
දු ලා දුහුල් කලදෝ රන් දද ලෙළෙනා
බ ලා බලා විදු රැදි ගන කුළු යැ සිතා
ලොලා වෙලා ගෙමියුරු මියුරු නද දෙතා
යනු සීතාවක පුර වැනුමේ දී පැවැසිණි (14). ඒම :-
‘ර ඟ න රුසිරු නළඟන විදු කිඳු ලෙළෙනා
ව ය න නොයෙක් තුරු ගුම් ගැඹුරු ගුමු දෙන
දිළෙන මෙ පුර වර ඉඳුනිල් විමන් ගන
නි ති නි සතුටු කෙළ ගෙමියුරු කැලන් මන’
යැයි සපරගමු පුර වැනුමේ දීත් පැවැසිණි (145).
සීතාවක පුර වැනීමේ දී:-
‘ක ර ද ර සරණ නව දළු කුසුම් සර
තුඟු ත ර තන සුපුන් අමපල යුතු පතර
ම න හර මෙ පුර වරඟන රුසිරැති පවර
පු ර තු ර සරති රන ලිය සිරිනි හැ වර’
යැයි සදහන් කරන ලද්ද,
‘අ ද ර කර සරණ නව දළු දසන් කොඳ
ත ඹ ර වදන කලහස ගමන මන නඳ
ප ව ර රන බරණ දර අමර සර බඳ
න ග ර වරැ සරන වරඟන බල සබඳ’
යැයි සපරගමු පුර වැනීමේදී මඳක් අන් අතකට හරවා පැවැසිණි. ඒ දෙ පළේ මැ ඉස්මතු වන්නේ ගැතියාව බව ඉදිරියේ පෙන්නා දී ඇති (අරුත් දැක්වෙන කොටස බලනු).
සපරපුරයේ ද සීතාවක පුරයේ දී මෙන් මා ඉඳුනිල් මිණි මැදුරු වැහිකළු වෙතියි රැවැටී ගෙ මොනරු රඟ කරති. එහි රන්ලියවන් ලියෝ සිටිති. වැද්දන් මුවන් විදින්නා සෙයින් එහි ගෑනු මදහසින් නෙතග බැල්මෙන් සලෙළුවන් නතු කොටැ සැනැසෙති. එහි විදි දෙ පසැ නිවෙස්හි හිදිනා ගෑනුන් විදියට හෙළන බැලුම් විදියේ යන එන සලෙළුන් ඇදීමට හෙළන යොත් බඳුයි. එහි ළා දළු වන් අදර සරණකර ඇති, නෙළුම් මල් වැනි මුව ඇති,රන හසුන් මෙන් කරන ගමන් ඇති වරඟනෝ සරතී. එහි ඉඳුනිල් මිණි තොරණ රස් සුමන දෙව් රජු ගේ සිරුරේ කැලුම්සෙයින් පැතිරේ. එ පුරය වැනීම අනත් නා රජු, කඳකුමරු, මහ බඹු, සරසවිය, ගණිඳු යන අයට මුත් සෙස්සනට නොහැකියි.
අ. සපරගමු පුර වැනුමෙන් ඉක්බිති වැ එ අසින් ගලා බස්නා කළු ගඟ වැනීම කැරේ. එ වෙසෙසින් මැ සදහන් ලද්දේ දියකෙළියක්වනනු සඳහා යි.
එ ගඟ ලක් අඟන සමන් ගිර නැමැති හිසින් ගොතා හළ ඉද්දමල් ගවසන ලද වරල වැනියි එක් අතෙකින්, තවත් අතෙකින් අද්දර වැලි තලය නැමැති මහ ඉසුරා ගේ ඇගේ ඇලුණු උමා ළඳ බඳුයි (152-154).
ඇ. ගිරා අසුන් කරු කලුගඟ අසැ ගසක් මුදුනේ හිඳැ එ ග ඟේ දිය කෙළනා ළඳුන් ගේ කෙළි බලන්නට ගිරවාට කී අයුරින් මෙ කවියා ද කුකුළාට කළු ගඟේ දිය කෙළි බලන්නට කියයි.
දිය කෙළි වැනුම සෙසු අසුන් කව්හි ඇති එ වැනුම් අසරින් කරන ලද ඉතා නිසරු එකෙකි. සෙසු අසුන් කව්හි දිය කෙළි වැනුමට ඉක්බිති සැඳෑ වැනුමක් දක්නට ලැබුණත් මෙහි සැඳෑ වැනුම මුලින් කරන ලද හෙයින් එ මෙ තන්හි දක්නට නොලැබේ.
එහාවක් මෙහාවක් නො කොටැ මේ දිය කෙළි වැනුම කොටැ ඇති සැටි සිනා පහළ කරවයි. සෙසු අසුන් කව් කරුවන් ගේ දිය කෙළි වැනුමුත් ගැතියාවෙන් නො මිදී පුරා මැ මැවූ යරූපා පෙන්නත් දී ඒ වැනුම් ගැති වැ කරන ලද මෙ වැනුමේ විසුළු බව වෙසෙසින් දැක්වීම ඇවැසි නො වේ. තැනින් තැනින් කොටස් සිහිපත් සිහිපත් පරිදි සදහන් කිරීම නිසා තමා අතින් ‘සිනා උපදවන සුලු’ විහිළු සිදුවන බව කිවියාට නො පෙනෙන්නට ඇත්තේ නිකම් මැ සිතට නංවාගත් ‘සිහි එඩිය’ පැවැතුණු හෙයින් වැන.
‘ව න් සැඳැ දිය කෙළියට පුරැ වරඟන
ර න් හස ගඟ හැරැ ගිය රඟ කෙලෙසින
උ න් පියොවුරු සරි නො වැතද විළියෙන
ර න් ගබ සෙවු වැනි මතු දිනවන මෙන’
යැයි (156) ගඟින් හසුන් දුරු වූ බව පවසා, එ ළඟැ මැ:-
‘ර ත් තුඹු පද පබළ කුරෙව් වොරඳන
සි ත් හය ගඟ පැලැඹෙන රඟ කෙලෙසින
ග ත් ගඟඟන කෙළනට සහ පුරඟන
ර ත් මිණි බන් කලදෝ දිය විත් මෙන’
යැයි පැවැසීම වැනුම් සිහිනෙන් සිහි නුවණ වැසී ගිය බව දැක්වීමෙකි.
ඉ. දියකෙළී වැනුමෙන් ඉක්බිති වැ සපරකමු යේ වෙහෙරත් එහි අදිපති හිමියනුත් වැඳීම කළයුතු බව පැවැසේ (168-174). එ වකට එ වෙහෙරේ දහම් ලකර තෙර හිමි තුමෝ වැඩැ සිටියහ. ඔවුන් වහන්සේ සදහන් කිරීම පවා සෙසු අසුන් කවි කරුවනට නොගැති වැ මෙ කිවියාට නො කළ හැකි වූ බව පෙනේ.
වෙහෙරේ නැමැඳුම් අවසන් කළ ඉක්බිති සමන් සුරිඳුගේ දෙවොලට යන්නට කියැවිනි (175). එ දොවොලේ එ වකට අදිපති වැ සිටියේ නානම්බි කුරුප්පු නැමැත්තේ යි. හෙ තෙමේ සිරි රජසිහ රජු ගෙ පා සෙවණැ වැඩි තැනැත්තෙකි (176). දෙවොලේ වත් පිළිවෙත් සැකෙවින් කියා (177-178) ඉක්බිති දෙව් දැස්සන් ගේ රැඟුම් පුද පිළිබඳ පවත් පවසන්නට බසී කිවියා. එ රඟ වැනුම (179-186) සෙසු අසුන් කවිහි ඇති රඟ වැනුම්හි යම්තම් සේයාවන් බඳුයි. අමුත්තකට මෙහි ඇත්තේ ‘බූසැරි, අහස් සැරි, අග සැරි, ලෝ සැරි, යන නැටුම් නම් සදහන් වීම පමණයි. අපේ අසුන් කව්හි ඇති රඟ වැනුම් අතුරින් ඉතා විසිතුරු එක මියුරු සඳෙසේ ඇති රඟ වැනුම. ඉතා මැ නිවට එක තමා සැවුල් අස්නේ රඟ වැනුමයි. වැනුම කොතෙක් නිවට වූවත් එයින් එක් කරුණක් නම් පැහැදිලි වැ මැ පෙනේ. එ නම් මෙ කිවියා සිය බසින් වූ අසුන් කව් පොත් සියල්ල් හදාරා දැනැසිටි බවයි.
උ. රඟ වැනුමට ඉක්බිති වැ ඇත්තේ සුමන දෙව් වැනුම යි (187 -201). එහි ලා සුමන දෙව් රජු ගේ වොටුනු අගැ සිටැ පැ අග තෙක් සිරුර වනා ඇති. එහි දී සැළ අස්නේ විබිසණ දෙව් වැනුම කිවියාට ගුරුකමට සිටි සේ පෙනේ. සැළ අස්නේ වනා ඇත්තේ විබිසණ දෙව් රජු ගේ පිළිමයයි. එමෙන් මෙ සැවුල් අස්නේ ද වනා ඇත්තේ සුමන දෙව්රුවයි. පිළිම සුමන දෙවියා මිසැ සැබැවි සුමන දෙවියකු අපේ කිවියා දැක ඇතෑ? මෙ වැනුමේ දී සැළ අස්න සේ මැ කව් සිළුමිණි. කුසදා කව ද කිවියාට සිහිපත් වූ බව පෙනේ (192).
13. කිරුළ, නළල, දෙබැම, දෙනුවන, නැහැය, වුවන, ෙද සවන, දෑත, උරතලය, උකුළ, දෙ වටොර, දෙ දඟ, දෙ සරණ සඳහන් කරමින් දෙහි කැපුම් යාදින්නක් සේ කරන ලද දෙව් රූ වැනුමෙන් ඉක්බිති වැ අස්න සදහන් වේ (202).
මුනිසස්නත් රජ සිහ රජුත් ඇමැති පිරිසත් සිවුරඟ සෙනුත් රක්නා සේ එ දෙව් රජු හට සැළ කිරීමයි අස්න.
දෙව් රජුට අස්න සැළ කළ ඉක්බිකි බිසෝ දෙවියටත් පුත් දෙව් කුමරුටත් සපු දෙවු රජුටත් ඒ සදහන් කරන සේ ද කියැ වේ. ඒ සැළ ලිහිණි, පරෙවි, දෙ අස්න අනුවැ යාමෙකි. එහෙත් මෙහි එය එහි පමණ සැබැවි නොවේ. එහි එ සදහන් වන්නේ එකළා ව අවසර ලැබුණු විටැ නැවතත් එය සුර රජුට මතක් අවසර ලැබුණු විටැ නැවතත් එය සුර රජුට මතක් කරනට කියන හැටියටයි. ඒ මැ තමා හරිත්. මෙහි එ බවෙක් නො පැවැසේ.
15. අස්න සඳහන් කළ ඉක්බිති ‘තඹසිළු මිතුර පවතින් සහ නෑසියනැ’යි අසිරි පැතුමෙන් කව අවසන් කැරේ.
වැනුම්හි ලා පෙරැ කිවියන් කී දැය මැ කීවා මිසැ කිවියා ගේ සියත් බව අඟවන පබඳ වෙසෙසක් මෙගතේ යෙදු බවෙක් නො පෙනේ. සෙසු අසුන් කව් පොත් කළවුනට වැඩි වෙසෙසක් මෙ කවියා දැක්වූවා නම් ඒ එක් එක් වැනුමක් අවසානැ එය වෙසෙස් අයකුහට මිසැ අන් එකකුට බැරි බව පවසා අවසන් කිරීමයි. මෙසේ :-
‘වනත අනත නරඹන සකමුත් කෙ වත?’ (31)
‘මම එක් මුවෙන් පවසා නිමවමි කෙලෙස?’ (72)
‘නත නා විනා වති කවරෙක් වනාලිය (146)
‘නතා සවත සිවුවත සරසවිය විනා
විනා කවර කිවියර ඇති විලස වනා? (151)
‘නතිඳුන් මිසැ වෙන කවුරු වනාලිය?’ (167)
‘නත උවිඳුන් මියැ කවරෙක් වනාලිය?’ (186)
‘සතත සවත සුරගුරු ගණිසුරු සවත
සමත මෙ සුර මිසැ අන් කෙවියත සමත? (201)
යැයි සත්පළෙක් මැ එ දක්නට ලැබේ. මෙ කිවියාගේ සෙසු ගත්හි දූ මෙ නිවට පැවැසීම දක්නා ලැබේ.
මහා ඉසුරාගේ බහුරි රඟ (12 -181), අගත් රුසියා සමුදුරු දිය දෝතින් ගැනීම (16), උවිඳු කිරි සයුර ඇළැලීම (36-162) ඈ පුරාණ කතාද උපමාන පිණිසැ තැනැ තැනැ සදහන් වී ඇති.
එක් උවම සත් අට පළේ යොදා ඇති සැටිත් සියලු වැනුම් දක්වන ගැතියාවත් අරුත් වියකනෙහි පුරා දක්වා ඇති. එළි වැටකට සිත දුන් කිවියා ඉන් පළ වන විසුළු අරුත් හෝ බස් වහර කෙලෙසීම හෝ නුදුටුයේ යි (70). එ සෙයන් මැ පෙළක් වැනුම් නො සැබිවන නියා මෙ කිවියා නුදුටු හෝ නො තැකූ හෝ සැටියි (111). කරණ පැහැදිලි කිරීමට සුදුදු උවම් මවනවා වෙනුවට පාඩම් ඇති උවමක් යෙදීමේ පුරුද්ද නිසා එක් මැ උවම කිහිප පළේ වැටීම මෙ කිවියා අතින් ඉබේ මැ වාගේ සිදුවූ බව පෙනේ. ඇසක් තම නිලුපුල, මූණක් නම් නෙළුම්මල හෝ හඳ හෝ, තෙද නම් මෙහෙසුරාගේ දළ ඇස හෝ යුග කෙළ ගින්න හෝ උපමානයට යෙදීම මෙ කවියා අතින් ඉබේ මැ වාගේ සිදු වේ.
හරදළ නයන (46) තිනයන දළ නයන (198) හරදළ නෙතගෙව් (205)....... යුගත සැඬනල (41) යුග කෙළරිවි (46) ඈතන් විමසන්නේයි.