සියබස් ලකර විවරුව-පෙර වදන

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

පෙර වදන


ලකර වග[සංස්කරණය]

“ ගවඟන වේ පසස් - න දා, බස් කැරැ සුසකස් පියසුව හට, එ අන් හට හුදු ගව බව් මෙ සාදා ” (සලමෙවන්)

බස මනා සේ සකස් කැරැලා පැවැසු අය හට ඒ බස තමන්ගේ රිසිය දෙන්නා වූ සුරබිදෙන වැනි යැ. නො එසේ වැ පැවැසුම පවසන්නවුන් හට ඒ බස හුදක් ගොන් කම මැ හදයි.

සමහර උමතුවෝ නිරුවතින් දිවැ අවිදිති. වැද්දෝ රිටි සුඹුළුයෙන් හෝ කොළ අතුවලින් හෝ විළි වසා ගනිති. එහෙත් ඒ වූ පලියට මැ නිසි සිහි ඇති හැදුණු ඇත්තොත් තමන් ඇඳි ඇඳුම් උනාදම‍ාපියති ද?

නොඑසේ නම් වැද්දන් සේ වැලා තුමුත් කොළ අතු වලින් විළි වැස්ම කොටැගනිති ද? නැති මැයි. ඌ තුමු තමන් හට හැකි හැකි හැටියෙන්, වත් පොහොසත් කම් හැකි හැකි හැටියෙන් හොඳ සළු පිළි ඇඳ ගනිති. හොඳ හොඳ නිසි නිසි අබරණ නිසි හැටියට ගැළපෙන හැටියට පැළැඳැ ගනිති.

අන්න ඒ වගේ තමා වියරණයන් ලකරනයත්. බස නම් කිමැයි නොදන්නා දුඹුලෝ නිරුවතින් ඇවිදුනා අර උමතු දනන් මෙන්, නොහොත් කොළ අතු වලින් විළි වසා ගන්නා වැදි දනන් මෙන්, වියරණය පලවාපියා, කොතෙකුත් වියරනය දෙදරවාපියා, අදහස මුළුමනින් මැ පාහේ අවුලින් වියවුලින් ගැවසුණක් කොටැ පැබැඳුම් ගැට ගසති. බස මනාසේ හසුරුවන්නට දත්තොත් ඒ සැටියේ දුඹුල් බවට ඇදැහෙළෙතිද, නැති. ඔහු වනාහි හොඳ හොඳ සළු පිළියෙන් සැරැසෙන සැබි දනන් මෙන් මනාසේ වියරුවට එකඟ වැ පබැඳුම් පබඳිති. නිසි නිසි අබරණයෙන් නිසි නිසි හැටියට හැඩ වැඩ වන්නවුන් මෙන්, රස රස ලකරනයෙන් සිය පබඳ සරසති ඔවු; අබරණ නිසා සිරුර හැඩ වැඩ ‍වෙයි; ලස්සන වෙයි; නෙත්කලු වෙයි; සිත් කලු වෙයි. කියමනක් සැරැහීම‍ට හැඩ වැඩ වීමට නෙත් කලු කන් කලු සිත් කලු වීමට ලකරනය ද ඒ කියමනට අබරණයක් වැනි යැ. අබරණය වුව නිසි‍ පෙදෙසට නිසි සේ යෙදුණ මනා යැ. එවිට යැ එයින් ලෙළුම දිලුම ඇත වන්නේ; දිදිලුම බැබැළුම ඇති වන්නේ. අන් වගක් පසෙකැ වේ වා; අබරණයෙහි අගය පවා වැඩි වන්නේත් එ වි ටැ නොවැ ? ඉතින් ලකරනය ! ඔවු; ලකරනය ද ඒ සැටි මැයි. සුනිසි හැටියට සුනිසි පිළිවෙළට සුනිසි තන්හි යෙදුණ ලකරනයෙන් යැ කියමනට එළියත් දසුනත් රස මිහිරත් ඇදෙන්නේ. කියමනක් හැඩ වැඩ වීම අනුවැ ඒ කියමන කෙරෙහි මනස ඇදී යාම සොබාවෙකි. රස දන්නන් ගේ හිත එයින් ඇවිස්සී යෑම සොබාවෙකි. එයින් කවන අරුත කෙරෙහි වැඩි කොටැ මැ මනස යොමු කිරීමට පෙළැඹෙන්නේත්; ඒ කියමනෙහි හිත් අදනා ගුණය හොඳින් රැකුණ හොත් යැ.

ලකරනය නිසා කියමන රස ගැන්වෙයි. අරුතින් රස ගැන්වෙයි. හඬින් රස ගැන්වෙයි. අරුතින් කියමනට රස ගැන්වෙන ලකරනය අරුත් ලකර නමි. හඬින් කියමනට රස ගැන්වෙන ලකරනය යැ සද ලකර නම්. හැබැයි මේ අරුත් ලකරත් සද ලකරත් යන දෙවගය මැ කියමනෙහි අත්බව නොවන වග වටහා ගත යුත්තේ යැ. කියමනෙකැ අත්බව මිනිස් මනසෙහි හැඟුම් ඉපිදැවීමෙහි ලා නොලෙවි බලයක් පවත්වන්නේ යි. එහෙත් ඒ වූ පලියට ලකරනය කියමනට නොඇවැසි කවුරු පවසති ද? සිහිමත් කවර කියමනෙකැ හෝ වේවා, යම් කිසි අත් බවෙක් ඇති ඒ අත්බව, මනස තුළට රසට මිහිරට ජයට පිවිසෙන්නේ ලකරනය නිසා යැ. රසවත් ඔදවත් නිරස නිරොද යන මේ කවර සැටියේ අහරෙකින් හෝ සාගින්න නිවෙන්නේ නැද්ද?

“පුවක් පතේ හෝ කුණු පත් කඩේ හෝ කෙසෙල් කොළේ හෝ දමමින් සිඟාලත් ඉඳුල් ඉඳුල් බතක් සෙම් සොටු හා කෙළත් ලා අනා බිඳීමෙන් කිසිවෙක් රකිත් දිවි

නොයෙක් වණින් සිත් ලිය මල් කැමින් දුල්

                       පිඟනැ හෝ රන් තලි ආදියේ හෝ

බැහූ බොජුන් නෙක් රස හා යොදා ‘සුන්

                        අරා බුදිත් අන් කිසිවෙක් ලොවේ වත්.”

කුමරතුගු හෙළ මහ මුනිවරයාණන් ගේ මේ පබඳ දැකැ තෙන්නකෝන් කවිසුරාණන් මුවින් මෙන්න මෙසේ වූ බසෙක් නික්මිණ:


“ එකෙක් මෙසේ කී යැ. සැබෑ බසෙක් මැයි; කෙසේ නමුත් ගින්න කුසේ නිමේ වා” ඔවු ඒ කියමන ඉතා වැදැගති. කෙසේ හරි කුසේ ගින්න නිවේ වා! එහෙත් ඒ වූ පලියට දුගඳ හමන කුණු කසල බඳු පිළිකුල මැ උපදවන පිළුණු අහර රොඩු මැ සොය සොයා ඒ මැද බුදින්නෝ ද වත් පොහොසත් කම ඇති සිහිමන් ඇත්තෝ?

කවර අහරෙකින් හෝ වේ වා සා ගින්න නිවෙයි; එහෙත් හොඳ අහරෙකැ වූ මිහිරි රස, මිහිරි සුවඳ, උසස් පිළිවෙළ, උසස් පණඔද අහරට නොඇවැසි මැද? ඇවැසි නොවැ ? ලකරනයත් කියමනට අන්න ඒ සැටියට අවැසි මයි.


ගිය දවසැ වග[සංස්කරණය]

හෙළ බසින් පැබැඳුණ ලකරගත් අතුරින් දැනට ඉතිරි වැ ඇති පැරැණි මැ ලකර ගතයි සියබස් ලකර. මෙය හුදක් සියත් නිමැවුම් ගතෙක් නොවේ. අනුන්ගේ පොතෙකැ එළියෙන් බිහිවුණු ගතෙකි. දණ්ඩින් ගේ කාව්යාදර්ශය මෙහි ගුරු පොතයි. සකු බසින් ලියවුණු පැරැණි ලකරගත් අතුරින් කාව්යාදර්ශයට ලැබෙනුයේ අන් කිසි ලකර ගතකට නොදෙ වැනි තැනෙකි. ඍග් වේද අවදියේ දී බොහෝ සෙයින් මැ උවම් යැ රුවස් යැ යන දෙසැටිය පමණක් වැඩි වැඩියෙන් පළට වැ තිබුණු; ඒ දෙය සැටියට මැ පමණක් පබඳුවන්ගේ මනස වැඩි වැඩියෙන් අරමුණු වුණූ; බරන මුනීන් ගේ දවසැ දී උවම් යැ රුවස් යැ දිවස් යැ යන සෙයින් තුන් සැටියක් වැ වැඩියෙන් වැවහර වුණු; මේ අරුත් ලකරනය දණ්ඩීන්ගේ දවස වන විටැ ඉතා පුළුල් වැ පතළා වූ කලාවක් බවට පත් විණ.

දණ්ඩීහු අරුත් ලකරනය පන්තිස් ලෙසකින් සකස් කොටැ කාව්යාදර්ශයේ දැක්වූ හ. ඔවුනගේ සමහර මත වලට වාමන ආදීන් ගෙන් පහර එල්ල වුණද, ලකරන කලාව අනිත් ඔවුන් කළ සේවාව, සුපිරිස් හදවතින් සදා නොමැකෙන සේවාවෙකි. කිතු වසට පෙරැ හතර වැනි සියේ අග හරියේ දී බිහි වුණු පාණිනීන් ගේ වියරණ ගත නිසා, සකු බස් වැව හරෙහි නිරවුල් බවත් පණවත් බවත් ඇති විණ. එහෙයින් මැ කිතු වස ඇරෙඹෙන විටැ සකුයෙහි නොයෙක් වගයේ ලිවි සැරිකම් බිහි වැ තිබිණ. මහා භාරතය ඒ ඈතැ අවිදියේ දී මැ; සකුවට පණ ගැන්වුණු මුල් කල දවස්වලැ දී මැ පැබැඳුණ ගතක් වූ නමුත්, යළි යළිත් එය අලුත් වැඩියා විණි. එහෙත් කිතු වසින් පළමු සීයේ අග හරිය වන විටැ අශ්ව ඝෝෂයන් ගේ බුදු සිරිත වැනි උසස් පෙළේ සිරිත් කවි පවා සක්යෙන් බිහි වූයේ යි. “ඒ නමුත් ඇත්තේ හැටියට අරුත් ලකරනය පිළිබඳ වැ සකු වියතුන් ගේ මනස යොමු වූයේ පස් වැනි සීයේ මුල හරියේ දී, දෙවැනි චන්දරගුප්ත රජ සබය හොබවමින් උදේනියේ වු සූ කාලිදාස මහා කිවියාණන් විසින් ලියන ලද රස බර පබැඳුම් නිසා යැ. ඒ නිසා මැ සවැනි සිය වසැ මැදැ හරියේ දී දංඩීන් වැන්නවුන් පිබිදුණහයි සිති යැ හැකි නිදසුන් දංඩීන්ගේ දස කුමර සිරිතේත් කව් අදැසියේත් දක්නට ලැබේ. ඔන්න ඔය කරුණු, පිළිවෙළ නිසාමැ ලකරනය උසස් කළාවක් ලෙස පතළ වන්නට විය. කාලිදාස ශ්රීභර්ෂ ආදීන් මෙන් මැ දණ්ඩීහු ද විදර්භ දේශයේ පළට වැ තිබුණු රැසැයුම් ආරට පිය කළාහු යැ. එහෙත් දණ්ඩීන්ගේ කල දවස වන විටැ වේදබ රැසැයුම් ආර සමඟ තව දු රැසැයුම් ආරෙක් තරග බිමට වැදීසිටියේ යි.

එනම් ගෞඩයන් ගේ - බෙංගාලයේ බටහිර වයඹ යන දෙ පෙදෙස් වැසියන්ගේ - රැසැයුම් ආරයි. මේ කල දවස වන විටැ ගෞඩයන් ගේ බස් වහර දියුණු වන්නට වූ හෙයින් ඔවුන් ගේ දැ ඇල්ම ද ඒ හා සමඟ වැවී දියුණු වී ගංගා දෙණි වැසියන් වූ මෞබරීන් හා සමග ඌ තුමු යුධ වැදැ සිටියා හු යැ. එහෙයින් ගෞඩීයයන් ගේ බලය ද රටතොට පැතිරෙන්නට විණ. මේ කරුණු නිසා යි නොකැමැත්තෙන් වුවද සිය පැබැඳුම්හි ගෞඩ රැසැයුම් ආර ද සඳහන් කරන්නට දණ්ඩීන් පෙළැඹුණේ. වෛදර්භ ආරට පැබැඳුණ පැබැඳුම් බොහෝ මැ ළගන්නාසුලු යැ. සිරි රහල් හිමියන් ගේ සැළලිහිණි ස‍ඳෙසේ බස් ආර මෙන් සියුමැලි මට සිලිටි වදනින් සවන් ගන්නා සුළු යැ. වැඩි දිගු සමස් යෙඳුම් වෛදර්භ ගැදි බසේ මුත් පැදි බසේ දී හමුවන්නේ නැති. එහි, ග ජ ඩ ද බ වැනි රැවුව නැංගෙන අකුරු සුලබ යැ. ඒ හෙයින් මැ එය සද ලකරනයෙනුදු ඉතා මිහිරි රැසැයුම් ආරෙකි. එහෙත් ගෞඩයෝ මේ රැසැයුම් ආරට පිය නොකළ හ.ගුප්ත මහ රජය නිසා කොතෙකුත් හිරිහැර විඳි ඔහු තුමූ ඒ බලය බිඳ දැමීම සඳහා ජනතාවගේ මනස පෙළැඹැවීමට උසිගැන්වීමට සුදුසු රැසැයුම් පිළිවෙලට වැඩිමනන් කැමැත්තක් දැක්වූ හ.මේ නිසා ගෞඩ රැසැයුම් ආර මිනිස් හද පුබුදු වන සුලු ඔද ගුණයෙන් යුත් වූයේයි. ඒ සඳහා මැ ගැළැපෙන රළු අකුරු බහුල වූයේ යි. හෝමරයන් ගේ “හෙළේනා හරනයෙහි” (ඉලියඩ්) මෙන් කුප්පන සුලු වදන් සුලබ වූයේ යි. දිගු සමස් පද වලින් යුතු වූයේ යි. සමහර විට අදහසේ ගැඹුරු බවට ද ගෞඩීයයෝ රිසි වූ හ. එ‍හෙයින් උන්ගේ පැබැඳුම් අරුත් හොඳට හිතා මතා වටහාගත යුතු ගුණයෙන් සැදුණේයි. අනුපැහැසි රසය සුලබ වීමද මේ පැබැඳුම් ආරේ වෙසෙසි ගුණයෙකි.

වෛදර්භ රැසැයුම් ආරට මුල් තැන් දෙමින් ඒ අනුවැ මැ කාව්යාදර්ශය පැබැදුණ නමුත් දණ්ඩීහු ඉඩ ලද ලද සැටියෙන් ගෞඩීය ආර පිළිබඳ වැ කරැණු පැහැයීමට ද උසහ ගත් හ. ඔවුන්ගේ කාව්යාදර්ශය තුන් සගෙකින්හෙබි ගතෙකි.පළමු සගෙහි දස පණ මහ කව් ඈ පවත් විතර විණ. දෙවැනි සග පන්තිස් අරුත් ලකර විතර කිරීම සදහා මැ වෙන් වූයේ ය්. තුන් වෙනි සග දෙවගකට බෙදිණ යමා වගයැ දොස් වග යැ යන සෙයින් යමා වග නොයෙක් සැටියේ දුකර බැඳුම් යැ යන ආදී සඳ ලකරට කැප වූ හරියෙකි. දොස් වගෙන් පැහැයුණේ කිවියන් විසින් හළ යුතු දස වගයෙකැ දොස් යැ. දණ්ඩීන්ගේ මේ ගත ඔවුන් හට අසල් කල දවසැ; හෙවත් සවැනි සීයේ අග හරියේදී වූසූ බාමහයන් විසින් තරමක් දුර විවිස්නා ලදී. බාමහයන්ගේ කාව්යාලංකාර ගත ද දණ්ඩීන්ගේ කාව්යාදර්ශය පමණට මැ වැදගත් වූ ගතෙකි.එහෙත් එදා දවසැ වූ වියතුන්ගේ වැඩි පැහැඳුම දණ්ඩීන්ගේ පොත කෙරෙහියැ රැඳී තිබුණේ.ඒ නමුත් බාමහයෝ දණ්ඩීන් පමණට මැ උසස් තැනෙහි ලා සැලැකියැ යුතු ලකර දෙවැනි ගීය පිළිබඳ වැ සමහර වියත්හූ සැකයක්ද පහළ කෙරෙති.

“මහ බඹු සකා සුර ඇජරා ඒ කුසුබු ඉසි පවර බැමහ, දඬි ඈ නැමැදැ කව් ලකරැජරන් ”

යන සේ ඒ පැදිය සේදුණ මනා යැයි ඔවුන්ුගේ හැඟුමයි.

ඒත් ඒ වැරැදි හැඟුමෙකි. දණ්ඩීන්ගේ ලිවිසැරි කැරැම්වලැ අඩු පාඩු බොහෝ දුර සිපිරුණේ වාමනයන් නිසායි.

 අට වැනි සීයේ අග හරියේ වූසූ වාමනයෝ “ පඤ්චාලී’ නමින් තවදු පැබැඳුම් ආරක් ඉස්මතු කළහ.එහෙත් ලකරනයට වඩා කවෙහි අත් බව ඔසොවා  පෑමට ඌ තුමූ බලවත් වැ උසහා ගත්හ. ඒ උසහා ගැන්ම නිසා මැ කවෙහි ලකරනයත් අත්බවත් යන දෙක කෙරෙහි මැ රටේ ජන රැව්ව නැගෙන්නට වියැ. උද්හට වැනියන් ඉස්මතු වීමෙන් ලකරනට තව තව දු ලියලා පැතිර වැවෙන්නට වියැ.

මේ ජන රැව්වේදී ලොවේ පැතිර ගියේ එක් මහ නම් දෙකකි.එනම් ලකරනයේ පියා සේ තැනකන දණ්ඩීන්ගේ නමත් ඔවුන්ගේ මත විමසුමට ලක් කෙරෙමින් මැ ඒවාට පණ ගැන්නූ වාමනයන්ගේ නමත් යැ. අන්න එහි පල විපාවක් ලෙස යැ නව වන සිය වසැ මැද හරියේ ද අපේ රටේත් ලකරනය පිළිබඳවැ නව පිබිදියාවක් පැනැ නැගුණේ. අපේ පැරණි ලකර පත පොත තිබියැ දී මැ බරත ලකරනයෙන්ද අපේ ලිවිසැරියට පණ ගැනිවීම ඉතා මනා යැයි එදා අප ර‍ටේ වියත්හූ තකන්නට වූහ.ඒ වනාහි තුන් වැනි සේන රජුගේ කල දවසයි. මේ ගැනැ සකසා විතර වන විවිසු ගතෙක් ළඟැදී එයි. එහෙයින් කතුවරයා ගැන විතර මෙහි නො සඳහනි. රටේ වියත් දනන්ගේ කසුකුසුයෙන් පිබිදුනු අමර ගිරි කසුබ් ඇමැත්තාණෝ ඒ සඳහා එ කලැ මෙ රටැ විසූ ඉතා සුදුස්සා වූ සිය දෙටු සොහොයුරු සලමෙවන් මහ රජාණන් (තුන් වැනි සේන මහරජාණන්) ඇරයුම් කළ හ.ඔවුන්ගේ අන්න ඒ ඇරියුම නිසා සියබස් ලකර බිහි වූ වග කිවීහූ තුමූ මැ පොත අවසනෙහි.

“ කළ තැතිනෙකත්ම තමා අමරගිරි කසුබු තුමා”

යන පැදියෙහි සඳහති.

සැසඳුම් වග[සංස්කරණය]

සියබස් ලකර කාව්යාදර්ශයේ වදනනු පෙරැළියෙක් නොවේ. සකු කිවි කමට ගැළැපෙන සිටියෙන් පිළයෙල වුනු කාව්යාදර්ශ ගත හෙළු කිවි කමට එතනින් මැ සීහෙන ගැළැපෙන සේ සකස් කොටැ පැවැසීමෙකි. එහෙයින් සමහර කොටස් අතරින් පතරැ හැලීගියේ යැ. සමහර කොටස් අමුතුයෙන් මැ ඔබට මොබට ඇඳී සැදුණේ යැ. අතරින් පතරැ සමහර කොටසු නොසලකා හැරීම ගැනැ මනස යොමු කරන විටැ සියබස් ලකර කරුවන් හට කිසිසේත් සමාව නොදි යැ හැකි තැන්ද අපට ඉදිරිපත් වෙයි. ගිනිගිනියේ ලහි ලහියේ වැලි තලප සුඟක් ගිලැදමන්නකු මෙන් සියබස් ලකර කරුවනුත් කාවියාදර්ශයේ අදහස් වහ වහා හෙළ බසට නැඟූ සෙයෙකි.ඒ ගැනැ විමැසුම් ඇස හෙළත් මැ දිසි වන්නේ, ඒ සඳහා නිදසුනක් අවැසි නම් රූපක ලකර පැහැදිලි කළ සැටි පමණක් වුවද විමසා බැලුව මැනැවි.

178. වල්ගිතභ්රූ ගලත් ඝර්ම ජලමාලෝහිතේක්ෂණම් විවෘණෝත් මදාවස්ථා- මිදං වදන පඞ්කජම්.

වල්ගිත භ්රූ = සැසැලුණු බැම ඇති ගලත් ඝර්ම ජලම් = ගිලිහෙන දහදිය ඇති ආලෝහිත ඊක්ෂණම් = ලේ පාට ඇස් ඇති ඉදම් වදන පඞ්කජම් = මේ මුහුණු නෙළුඹ මද අවස්ථාම් විවෘණෝති = මත් වූ වේලාව පවසයි.

කාව්යාදර්ශ කරුවන් මෙසේ දැක්වූයේ අවයවී රූපකයට තිදසුනෙකි. ඒ නිදසුන දක්වා ඉක්බිති පැදියෙන් ඌ තුමූ ඒ නිදසුන ගැනැ පැහැයුමක් කරන්නාහු යැ මෙන්න මෙසේ;


179. අවිකෘත්ය මූඛාඬ්ගානි මුඛමේවාරවින්දතාම් ආසීද්ගමිතමත්රේද

                   මතෝවය වී රූපකම්.

- අත්ර මුඛාඬ්ගාති = මේ පැදියෙහි මුහුණ පිළිබඳ අවයවයන්; - අවිකෘත්ය = උවම් වැතියෙකින් වෙනස් බවකට නොපමුණුවා; - අතඃ ඉදං අවයවී රූපකම් ආසිත් = එහෙයින් මෙය අවයවී රුවස නම් වෙයි. ඉතින් විමැසුව මැනැවි, “සියබස් ලකර කරුවොත් මේ පැහැදුම මෙසේ මැ කළා හු ද ” යන වග.

139. “සූනත් බැම ලේ මුත් සරම දල බිඳු, රත් නෙත්, පළට කෙරේ මද සමා

                   සිරිමත් වත් පියුම් තී.”

යන සැටියෙන් එහි නිදසුන පමණක් දක්වා ඔහු නිසොල්මන් වුණ හ. මෙසේ බොහෝ තන්හි දී ඔවුන් පෑයේ නිදසුන පමණෙකි. නිදසුන ගැන දණ්ඩීන් කරන ලද පැහැයුමත් හෙළයන් අතට පත් කිරීමට තරම් ඉසඹුවෙක්, ඉස්පාසුවෙක් ඔවුනට තිබිණි නම්; ඔවුන්ගේ ගතෙහි අගය කියනු නොහැකි වෙයි.

හැබැයි ඔවුන්ගේ නිදසුන් පැබැඳුම ද එක එක තන්හි අමුතු අමුතුසැටියෙන් වූයේ යි. සමහර විටෙකැ මුල් පොතේ වූ නිදසුන මුළු මනින් මැ ඒ හැටියට මැ හෙළ බසට නැගූ හ අප මහා රජාණෝ.එහෙත් විටින් විටැ ඒ නියරින් පිට පැනීම ද කළ හ.ඔවු; අපට නොගැළපෙතියි සිතුණු සමහර තන්හිදී ඌ තුමූ නිදසුන සඳහා සියත් නිමැවුම් ඉදිරිපත් කළහ. මෙන්න මේ සැටියෙන්:

334. “ නැ‍ේඟෙත් පියුම් රිවි සිරිමත් වත් ස‍ඳෙව් තා. පළ තෙදුනුදා පැමිණෙත්

                     සබඳහු දියේ පැළැඹෙත් ”

මේ මුසු (සංකීර්ණ) ලකරට දුන් නිදසුනෙකි. මේ නිදසුන සියබස් ලකරේ පැබැඳුම් ආරටත් හෙළ කව් නියරටත් සකසා ගැළපෙයි. එහෙත් මෙය කාව්යාදර්ශය මුසු ලකර සඳහා ඉදිරිපත් කළ නිදසුනේ හෙළු පෙරැළියෙක් නොවේ. මේ බැලුව මැනැවි කාව්යාදර්ශ නිදසුන.

466. ආක්ෂිපයන්ත්යරවින්දානි මුග්ධේ තව මුඛ ශ්රියම්

          කෝෂ දණ්ඩ සමග්රාණාං

කිමේෂාමස්ති දුෂ්කරම්?

මුග්ධේ = බොළඳිය, නව මුඛ ශ්රියම් = තී ගේ මුහුණු සිරියාව අරවින්දානි ආක්ෂිජයන්ති = නෙළුම්හු වළහති - මුවහ කෙරෙති කෝෂ දණ්ඩ සමග්රාණම් = දනයෙනුත් දඬුවමිනුත් යුතු වූ කෝෂ දණ්ඩ සමග්රාණම් = දනයෙනුත් දඬුවමිනුත් යුතු වූ කෝෂ දණ්ඩ සමග්රාණාමම් = නෙළුඹු ගබිනුත් - පද්ම ඩිම්බයෙනුත් - නෙළුම් දඬුයෙනුත් යුතු වූ; ඒෂාම් අස්ති දුෂ්කරම් කීම් = මොවුනට ඇති අපහසු කිමෙක් ද?

මේ කාව්යාදර්ශ නිබැඳුම සුසුදු හෙළ හැදියාවට බිඳක් නොගැළැපෙන හෙයින් දෝ හෙළ මහරජාණන් ඒ නිදසුන බැහැර කොටැ තමන් ගේ මැ නිමැවුමක් ඒ සඳහා රුවාගත් සේ පෙනේ.

	මේ සැටියෙන් යොදන ලද ඔවුන්ගේ මැ වූ නිදසුන් මෙහි කොතෙකුත් දැකියැ හැකි යැ.

හුදක් යමා වගෙහි දී ඉදිරි පත් වුණ නිදසුන් හැම එකක් මැ පාහේ සියබස් ලකර කරුවාණන් ගේ මැ - සියත් - නිබැඳුම් යැ. ඔවු; එපමණෙක් නොවේ; සමහර විටැ ඔවුන් කරුණු පැහැ යූ පිළිවෙළ පිළිබඳ වැ ද බිඳක් හෝ හිතා බැලීම ඉතා මැනවි.

රූපක දීපක වැනි සමහර හරියෙකැදී හුදක් නිදසුන් පමණක් දීමෙන් සැනැසුණ නමුත්; “කරුණු කියමන” වැනි අරමුණුවලැ දී ඉතා සියුම් වැ, ඉතා ලුහුඬු වැ ඉතා නිරවුල් වැ ඔවුන් කරුණු පැහැදිලි කළ සැටි වෙසෙසින් මැ පැසැසුමට ලක් වියැ යුතුයි.


“ නිපදතා කල්ලද

        		 නව ලොදුළ යන්නෙන් දුටු
       		  “ සහ මල් පලු” “ මනට යොග”
         		යනු විකර පැමිණෙන කම්.”

කාව්යාදර්ශයේ කරුණු කියමින් වගෙහි කොතැනෙකැ හෝ; නිපදතා කම - නිර්වෘති කාර්යය-විකර කම-විකාර කාර්යය- හා පැමි‍ණෙන කම-ප්රාප්ය කාර්යය-ද පිළිබඳ වැ මෙසේ ඉතා කෙටි වැ නිරවුල් වැ ආයේ නිදසුන් සිහිපත් කිරීමෙක් නොසිඳු විණ. 246. “ පෙරැ නැති බව් බහා ලොල නැති බවොවුනොවුනු දු

                     කෙරෙ  නැති බව් සවාරෙන් 
                     පිළි  නැති බව් දු  හේ  වේ ”

වැනි තැනිදු එ පවතට හොඳ නිදසුනි. සක් පෙළ පැබැඳුම්වලැ මහ අඬාරෙට දිගින් දිගට විතර කරන ලද කරුණක් ගැනැ වුව ද ඉතා කෙටියෙන් ලිහිලින් පැහැදිලියෙන් කරුණු සැඳැහීම ඉපැරණි හෙළ කිවියන්ගේ බොහෝ පැබැඳුම් වලින් පළට වැ ඉස්මතු වැ පෙනෙන ලකුණෙකි. සියබස් ලකරට ද ඒ ගුණයේ නම් ආයේ කිසි අමුත්තෙක් නැති.

419. අස්ත්යහින්තඃ ක්රියඃ කශ්චි

                   දවිරුද්ධඃ ක්රියෝපරඃ
         විරුද්ධ කර්ම වාස්ත්යන්යඃ
                   ශ්ලේෂෝ නියමවාතපි;

420. නියමාක්ෂේප රූපෝක්ති - රවිරෝධි විරෝධ්යපි තේෂාං නිදර්ශනේෂ්වේව රූපමාවිර්භවිෂ්යති. කාවියාදර්ශය මෙසේ දෙ පැදියෙකින් දැක්වුණ කරුණ මැ අවැසියා වට කිසි ද අඩුවක් නැති වැ එක තනි පැදියෙකින් සියබස් ලකර දක්වයි.

299 . නුබුන් කම් සනියම් අවිරුදු කම් මෙයින් අන්

               විරුදත්ම නොවිරුදු රූ
          නියම් අකෙවු සියෝ නම්”

යන සැටියෙන්. ඉතින් දැන් ඔබ හිතා බලනවාද මෙන්න මේ කාව්යාදර්ශ පැදි දෙක ගැනත්.

433. ඒක චක්රෝ රථෝ යාන්තා විකලෝ විෂමා හයාඃ

          ආක්රමතේව තේජස් වී
                      තථාප්යර්කෝ නභසිතලම්.

434. සෛෂා හේතු විශේෂෝක්තිඃ තේජසවීති විශේෂණාත් අයමේවක්රමෝන්යේෂාං භේදානාමපි කල්පනේ.

මෙබඳු පැතිරීගත් සකු කියමන්

312. “රිය එක් සක්, වසම්

                 අස්හු, නොසැරි ගමන් සර 
                 පළ තෙද හිරැක්මෙ සියල්
                  දිය ” යත් හේ වෙසෙස් නම්.

යන සෙයින් හකුළුවා පෑ සැටියෙහි උසස් වෙසෙසිතාවෙක් නැද්ද? සියබස් ලකර කරුවාණෝ නිදහස් පබඳුවාණ කෙනෙක් වූහ. මෙ බඳු පෙරළිලි ගතෙකැදී පවා ඔවුන් නිදහසේ සිය හැඟුම පෑමට නොමැළි වූ නියාව විස්මය උපදවා මැයිත.

416. අසාවුදයමාරූඪඃ

    	කාන්තිමාන් රක්තමණ්ඩලඃ
          රාජා හරති ලෝකස්ස
                  හෘදයං මෘදුහිඃ කරෛඃ

උදයම් ආරූඪං = වැඩි දියුණුවට පත් වූ නොහොත් උදාගිරට නැගුණු කාන්තිමාන් රක්ත මණ්ඩලය = දියුණු වුණු ඇඟැලුම් කම ඇත සමූහයාගෙන් යුතු නොහොත් බැබැළෙන රන්වන් වටා ඇති. අසෞ රාජ = මේ රජ නොහොත් මේ සඳ මෘදුභිඃ කරෛඃ = මොළොක් අතින් නොහොත් නොතියුණු එළියෙන් ලෝකස්ස හෘදයම් හරති = ලෙවියා ගේ හිත පැහැරැගනියි.

මේ නුබුන් පද සෙලෙස් ලකරට කාව්යාදර්ශය දුන් නිදසුන යි. සියබස් ලකර කරුවෝ ඒ නිදසුන එසේ මැ හෙළ බසට නැඟීම නොකළ හ.ඒ වෙනුවට ඌ තුමූ නිදහසේ සියත් නිමැවුමක් බිහි කළ හ.

296. “දිය මුදුනට එක් ලකර කෙසුරු සිරි සියෝ ලද පළ තෙදිනි පුබුදු පිළි දැන් මෙ රජ කමලු දු ”

 යනුයෙන් . එපමණෙකැ? බුන් පද සෙලෙස සඳහා ද එවුන් කළේ සියත් නැමැවුමෙකි.

417. දෝෂාකරේණ සම්බන්ධනන් නක්ෂත්ර පථ වර්ත්තිනා රාඥ ප්රදෝෂ මාමිත්ථ මප්රියං කින්නබාධතේ? මේ කව්යාදර්ශය ගීය වෙනුවට ඒ හා අදහසින් කිසි දා සබඳ කමක් නැති , අමුතු මැ ළඟන්නා නිමැවුමෙකි සියබස් ලකර කරුවන් ඉදිරිපත් කරන්නේ.


294. සිටැ දස රද දමින් ඒ රජානා වොරජ නා අනුබඳ දන් සිරිත් බඳ සිය සපු ලොලුන් අදහස්. යන සැටියෙන්. හැබැයි මේ සෙලෙස් ලකර නිදසුන් නිසා සකු නිදසුන ඒ හැටියෙන් මැ සෙලෙස් ලකරනයක්ලෙස හෙළ බසට නඟාලන්නට අපහසු වන්නට ඇති. ඒ වුවද ඔවුන් කළ සියත් නිමුවුම සකු නිමැවුමටද වඩා අරුතින් මනහර බව නම් නොකියා මැ බැරි යැ. සියබස් ලකර කරුවෝ සිය කමේහි දී එක එක විටැ එක එක සැටියේ පුදුම වෙස් දක්වති.විටෙකැ ඌ තුමූ අකුරක් පිල්ලක් වදනක් එහා මෙහා නොකැටැ සකු ගීය හෙළැ බසට නඟති. ඒ නමුත් සමහර විටෙකැ අරුත් වියකන් කරන අටුවා ඇජර පාණ කෙනෙකුන්ගේ සැටියෙන් සකු ගීයට අටුවා, සපයමින් යැ එය හෙළ බසට නඟන්නේවිමසා බලන්නට තැනක් ඉදිරිපත් කරම් ද? මේ හිතාබලන්නැ.


437. සංගතානි මෘගාක්ෂීණාං තඩිද් විලසිතාති ච ක්ෂණද්වයං න තිෂ්ඨන්ති ඝනාරබ්ධාත්ය පි ස්වයම් ස්වයම් ඝනාරබ්ධානි අපි = තමන් මැ බලවත් සේ ඇරඹි නමුත් මෘගාක්ඛීණං සංගතානී ච = ගැහැණුන්ගේ සැබැදියා වෝ ද ඝන ස්වයම් ආරබ්ධානි අපි = වැහි වලාව තමැ ම පටන් ගත් නමුත් තඩිද් විලසිතානි ච = විදුලිය දිලිසියාවෝ ද ක්ෂණද්වයම් න තිෂ්ඨන්ති = එක දෙමොහොතක් නොසිටි ති.

මේ සකු ගීය සියබස් ලකර කරුවාණන් පෙරළන සෙයක් බැලුව මැනවි.

315. “තුනුවග ” නඟ සසඟ ගෙනෙ බඳ විදුලිය විලස් කෙණෙකැද නොසිටිනෙ වියත් ගරහ සමයෝ නමැ යෙත්.”

ගෙ‍නෙ බඳ තුනුවඟ අනඟ සසඟ = තදින් වැලැඳැ ගන්නා ලද ගෑනුන්ගේ කම් සැප එකතුව ගෙනෙ බැඳ විදුලිය විලස් = වැහි වලාවේ බැඳුණූ විදුලිය මෙන් කෙණොකැ ද නොසිටිනෙ වියත් = මොහොතෙකැ හෝ නොපවත්නේ යැ කියත් හොත් ගරහ සමයෝ නමැ යෙත් = ගරහා සමයෝ නම් කියමන් වෙසෙසැයි කියති. මේ හෙළු පෙරැළිය නිකම් හුදු හෙළු පෙරැළියෙක් නොවේ. සකු ගීයට අටුවාව ද සපයමින් හෙළ බසටනඝන ලද්දෙකි. මෘග්ක්ෂීණාං සංගතානි = යන සකු යෙඳුමේ වදනනු අරුත “තුනුවඟ සසඟ ” යනුයි. එහෙත් එහි සැහිරි අරුත සම්ප්ර දායාත්මක අර්ථය - එය නොවේ. සියබස් ලකර කරුවාණන් ඒ නිසි අරුත සඳහා තවද පදයක් එක් කරමින් “තුනුවග අනඟ සසඟ ” යන අයුරින් හෙළ බසට නඟන්නේ හරිය‍ට අටුවා ඇජර කෙනෙකුන්ගේ සැටියෙනි. ඉතින් මෙසේ අරුත පහයමින් පවා සකු ගීය හෙළ බසට නැඟීමෙන් පමණක් ඌ තුමූ නො සෑහෙති. ඒ ගීය කිමෙක් ද, එය කුමකට නිදසුනෙක් ද යන වගත් “ගරහ සමයෝ නමැ යෙත්” යන්නෙන් පැහැදිලි කෙරෙති. මේ පැහැදිලි කැරුම සඳහා ඔවුන් යෙදාගත් කෙටි පැබැඳුම් ආර ද තැනට ඉතා වැදගත් සේ ඉටු කළ යුතු සේවාව සකසා ඉටු කළ හැටි විසුමය කර වෙයි.


කාව්යාදර්ශය ගත් මඟට වඩා කෙටි ම‍ඟෙකින්, විදුහුරු බැවෙත් උඳු පියැලි පතක් සා හෝ අඩුවක් නැති වැ අප මහා රජාණෝ බොහෝ තැන්හීදී මෙසේ කරුණු පැහැයූ හ. මේ කරුණු පැහැයුම් වලැ දී ඔවුන් කෙරෙහි පිහිටි සොබා නිමැවුම් හැකියා වද නොයෙක් විටැ මනා වැ පළට වෙයි. එසේ පළට වන සමහර පැබැඳුම් කාව්යාදර්ශයේ කරුණු පිළිබඳැ වැ ඔවුන් විසින් සපයන ලද වැඩිමනක් නිදසුන් යැ.

“උපද්නා සිත්තෙති සත්හු සෙත් පත්හු රෙදෙන් සිතැවිලි සල්හි රෙදෙන් හිදොවුන් නො මැ තනන්නේ.”

තමන් හට මැ අයත් වූ මෙබඳු නිමුවුම් අසරින් සියබස් ලකර කරුවාණන්ගේ දසුන් නුවණ ද සකසා විදැහෙයි. බුදුනු වටපිටාව අනුවැ හැඳුණු වැඩුණු; එදා නිදහස් වැ හිතන කියන හොඳ බුදුනුවකුගේ මුවින් නිකුත් වන බුදුනු අදහස් මෙබඳු තැන් වලින් හැ‍ඟෙන්නේ නැද්ද? කරුණු පැහැයීමේදී පවා සියබස් ලකර කරුවන් සමහර විටැ කාව්යාදර්ශ කියුම් සෝදුවනට ලක් කරමින් අදහස් ඉදිරිපත් කැරැ තිබේ.

320. නොපත් වැනුම නම් පර ඇසිරූ දෙලෙනොබල මන ඇතියන් පවස්නා වදනින් බිඳුම් හෙ මෙසේ

නොපත් වැනුම හෙවත් අප්රස්තුත ප්රලශංසාව පිළිබඳ වැ කරුණු පහයන සියබස් ලකර කියමනයි මේ.

“අප්රස්තුත ප්රයශංසා ” යන්නෙහි අඩුවක් සියබස් ලකර කරුවන් දුටු සේ යැ. එහෙයිනි “ප්රනශංසා ” යන අදහස අත්හැරැපියා; “වර්ණනා” යන අදහස ඇති “වැනුම” යන වදන ඔවුන් විසින් ඉදිරිපත් කැරුණේ. නොපත් පැසැසුම යැ නොකියා නොපත් වැනුම යැයි කීමෙන් මැ සියබස් ලකර කරුවන්ගේ ලකර දැනුම කාව්යාදර්ශ කරුවන්ගේ ලකර දැනුමට ද වඩා පිරිසුදු පිරිපුන් වගක් නොහැ‍ඟෙයි ද?

“අප්රස්තුත ප්රමශංසා සයා - ද ප්රක්රාන්තේෂූ යා ස්තුතිඃ ” යන කාව්යාදර්ශය කියමනේ අරුත බිඳක් විමසන් නැ.

“අප්රක්රාන්තේෂු යා ස්තුතිඃ” නොහමු වූවන් අරමුණු කොටැ යම් පැසැස්මෙක් වේ ද

-සා- අප්රස්තුන ප්රසශංසා ස්යාත් -ඕ.ඒ පැසැසුම් තොමෝ - නොපත් පැසැස්ම නම් වන්නී යැ. මේ සුතුර සියබස් ලකර කරුවානන් විඳහන්නේ මෙයට වඩා පිරිපැසුණු ලකර දැනුමෙකින් යුතු වැයි. මේ බලන්නැ

320. නොපත් වැනුම නම් පර ඇසිරූ දෙලෙනොබල මන ඇතියන් පවස්නා වදනින් බිඳුම් හෙ මෙසේ නොපැමිණි වැනීම නම්, අනුන් විසින් හසුරුවන ලද - අනුන් විසින් පාලනය කරන ලද - තනතුර නිසා,; ඔබල වූ මනස ඇතියන් කැමති වන්නා වූ අදහස් වලින් කොටස් යැ,” ඉතින් හිතා මතා විමසන්නැ. කාව්යාදර්ශ කියමනට වඩා නැද්ද මේ කියමනෙහි හරවත් බවෙක්? සියබස් ලකර කරුවාණන් කාව්යාදර්ශය සිය බසට නැඟුයේ අඳකු බොළඳකු නොහොත් ගිරවකු මෙන් නිකම් හිතට නැඟුනක් කටට ආචක් එළිදරවු කරන සැටියෙකින් නො වැ නියම විවිසුම් නුවණින් සපිරි සිහිමත් ඇජර පාණ කෙනෙකුන් සේ යැ.

453. අර්ථාන්තර ප්රචෘත්තේන කිඤ්චිත් තත් සදෘශං ඵලම්

  	සදසද් වා නිදර්ශ්තයේත 

යදි නත් ස්යාන් නිදර්ශනම්.

අර්ථන්තර ප්රවෘත්තේන = කිසියම් හැඟුමෙකැ යෙදී පවත්නක්හු විසින් යදි තත් සදෘශම් = ඉදින් ඒ හැඟුමට ගැළපෙන්නා වූ සත් අසත් වා කිඤ්චිත් ඵලම් = යහපත් හෝ අයහපත් හෝ කිසියම් පලයක් නිදර්ශ් යේත = අනුදක්වනු ලැබේද තත් නිදර්ශනං ස්යාත් = ඒ නිදසුන නම් වේ. මේ සුතුර සියබස් ලකර කරුවන් මේ හැටියෙන්මැ හෙළ බසට නැඟුයේ නැති. මේ පිළිබඳ වැ බොහෝ දුර හිතා බලා එක්තරා සියත් නිනවුවකට බැසීමෙන් යැ ඔවුන් විසින් මෙය හෙළුවට පෙරළනු ලැබුයේ. නො එසේද? මෙන්න විමසන්නැ.

326. පෙරැ දක්වා වතක් එ වත් සුදුසු පලක් ඉදි දක්වත් එයින් අන් හෝ වෙ හේ නිදසුන්. මේ ගින්. පෙරැ වතක් දක්වා, එවත් සුදුසු ඉදි පලක් දක්වත්; එයින් අන් හෝ - එ වත් සුදුසු නොඉදි පලක් දක්වත් හෝ පෙරැ පලක් දක්වා එ පල සුදුසු වතක් දක්වත් හෝ - හේ නිදසුන් වේ. මේ හැටියෙන් “එයින් අන් හෝ” යන යෙදුම කවර තරම් අරුත් විහිදන සුලු ද යන වග මෙයින් ඔබට හැ‍ඟෙනු ඇති. කරුණ පැහැයුම පිළිබඳවැ නිදසුන් දීමේදී කාව්යාදර්ශයේ නිදසුන සමහර විටැ සියබස් ලකර කරුවාණන් හට රස මඳ වූයේ යි. එ විටැ ඌ තුමූ ඒ නිදසුනට තමන් ගේ අතින් ද ලුනු ඇඹුල් අබ ගම්මිරිස් යෙදීමෙන් එය තවදු රසවත් කොටැ රස දන්නන් හට ඉදිරිපත් කිරීමට වෙහෙස ගත් හ.

198. මුඛ පංකජ රංගේස්මින් භ්රූ ලතා නර්තකී තව ලීලා නෘත්යං කරෝතීති රම්යං රූපක රූපකම්

අස්මින් මුඛ පංකජ රංගේ = මේ මුව පියුම් නමැති කරලියෙහි තව භ්රූ ලතා නර්තකී = තී ගේ බැම ලිය නමැති නිළිය. ලීලා නෘත්යං කරෝති ඉති = ඉඟි බිඟි නැටුම කරන්නී යැ යනු රම්යං රූපක රූපකම් = ලස්සන වූ රූපක රූපකය නම්

මේ නිදසුන සියබස් ලකර කරුවාණන් හෙළුවට නඟා ඉදිරිපත් කළේ එය තව තවදු හැඩ හැඩ කොට යැ; එයට තව තවදු සැරැසුම් සැලැයුම් කොට යැ.

153. වුවත් පියුම් ර‍ඟෙහි පල ති බැම ලිය නිළිය ලීලා නැටුම් පෑ නිති මන කා නොගන්නි සියල්?


මෙහි එන “නිති කා සියල් මන නොගන්නි” යන අමතර හැඟුම මෙයට ඇඳීමෙන් මුල් අදහස තව කොතරම් රසවත් විණිද?

199. තෛතන් මුඛමිදං පද්මම් න නේත් රේ භ්රමරාවිමෞ ඒ තානි කේශරාන් යේව නෛතා දන්තර් විෂස් තව.

ඒතද් න තව මුඛං; ඉදම් පද්මම් = මෙය තීගේ මුහුණ නොවේ; මෙය පියුමෙකි. ඉමෞ න නේත් රේ; භ්රමරෞ = මේ දෙනෙත නොවේ; දෙ බමරු යැ. ඒතානි දන්තර් විෂඃ න; කේෂරානි ඒවං = මේ දසන් කැලුම් නො වේ, කෙසරු මැයි. යන මේ කාව්යාදර්ශ ගීය සියබස් ලකර කරුවාණන් හෙළ බසට නැඟුයේ තවදු රසවත් කොටැ, එයට තවදු හැඩ වැඩ දමමිනුයි. ඔවුන්ගේ ඒ හැඩ වැඩ කිරීම නිසා ඒ ගීයට නොලෙවි නොමාලැවි දසුනෙක් ලැබිණ.

154. මෙ වුවන් පියුම්, පිළි නොතී නුවන් බමර යුග කෙසුරු මෙ යැ නො දසන් රස් පියොවුරු නොතී රන් හස් මුහුණ නෙළුඹක් ලෙසින් දක්වා නුවන් බමරුන් ලෙසින් දක්වා, දසන් රස් ඒ මුහුණු නෙළු‍ෙඕ කෙසුරු ලෙසින් දක්වා, කාව්යාදර්ශ කාරයෝ රස දන්නන් පිනැවූ හ. සියබස් ලකර කරුවෝ එයින් නොසෑහුමට පත් වුණ හ. මුහුණ නෙළුඹකි; නුවන් බමරු යැ. දසන් කෙසුරු යැ. ඉතින් ! නෙළුඹට පිය කරන බඹරු වෙති. එපමණෙකැ? නෙළුඹට පිය කරන එයින් මැ සැනැසෙන තව අයෙක් වෙති. ඌ කවුරුන් ද? ඔවු? හස්සු! හොහෝ ඌ තමා පියොවරු. මෙසේ සියබස් ලකර කවියාණෝ උන්ගේ හිතැවිලි වැළ තව දු දුරට යැවූ හ.

මුහුණ නෙළුඹ සේත් නුවන් බමරුන් සේත් දසන් රස් කෙසුරු සේත් පියොවුරු හසුන් සේත් දක්වාපියූ ඌ තුමූ, “මෙ තුනු නො, ළකල් විල යැ” යි නොකියා රස විඳුවන් හට මැ ඒ හිතා ගන්නට ඉඩ අළ හ. කියමනට නෙක නෙක සැටියෙන් සැරැසිලි කිරීම අතින් දණ්ඩීන් දෙ වැනි වනුයේ කාදම්බරී කාරයන් වූ වාණභට්ටයන් හට පමණෙකැයි ද; භූෂණ භට්ටයන් පවා, ලකර සක්විති මම්ම‍ුට භට්ටයන් පවා, සිටිනුයේ දණ්ඩීන් හට ඉතා පහළින් යැයි ද සකු ලිවි සැරි රස විඳුවෝ පවසති. එහෙත් ඇත්තෙන් මැ වදන් සැරැහීම අතින් ද, කියමනට නෙක සැටියෙන් රස ගැන්වීම අතින් ද සියබස් ලකර කරුවන් එහෙ වූ දණ්ඩීන් වුව ද පසුබා ඉදිරියට එන සෙයක් උන්ගේ බොහෝ යෙඳුම් හීදී පෙනෙයි.

299. චන්ද් රෝයමම්බරෝත්තංසෝ හංසෝයං තෝය භූෂණම් නභෝ නක්ෂත්රමාලී ද- මුත්ඵූල්ල කුමුදං පයඃ

අයං චන්ද්රඃ අම්බර උත්තංසඃ = මේ හඳ අහසට පළඳනාව වෙයි. අයං හංසං තෝය භූෂණම් = මේ හසු දියට අබරණ වෙයි. ඉදං නහඃ නක්ෂත්ර මාලි = මේ අහස තරු මාල ඇත්තේයැ. පයඃ උත්ඵූල්ල කුමුදම් = දිය පිපුණු කුමුදු ඇති යැ.

මේ කියමන සියබස් ලකර කරුවන් හෙළ බසට නැඟුයේ උන් හෙළ කියමනට සක්විති බව පෙන්වමිනි.

212. සඳ අඹරැ පස් කැන් සිරි හස් දලැ පළඳනේ සහතර තරු වැළ ගුවන් පුබුදු කුමුදු සිලිල් විල්.

මේ පැදිය ඔබේ විමැසුම් නුවණට අරමුණු වේ වා !

“පුබුදු කුමුදු සිලිල් විල්” ඔවු, “විල් සිලිල් පුබුදු කුමුදු” යන යෙඳුම දණ්ඩීන්ගේ යෙදුමට වඩා ඉදිරියෙන් ද පිටු පසින් ද සිටිනුයේ? “උත්ඵුල්ල කුමුදම් පයඃ” යන සකු කියමනේ සුයළු මනහර බව මකාගෙන යැ සුසිලිටි කැමින් නුපැහැසි කමින් රසහුරු කැමින් සියබස් ලකර යෙදුම ඉස්මතු වැ නොසිටි යි ද?

හුදක් විල් සිලිල් යන යෙඳුම මැ කවර තරම් සොබා සෙඳිරියා රසයෙන් පිරිපුන් ද? පයඃ යන්නේත් වෙයි ද එයින් දැනැවෙන මිහිරියා ව? එ පමණෙක් නො වේ. කාව්යාදර්ශයේ සමහර නිදසුන් වලැ බොල් බව දුටු විටැ අප කවියාණෝ කර බාගෙනැ නොසිටිය හ. ඒ බොල් කියමන් ඉව තැ දමා ඒ වෙනුවට රසබර නවමු සුවඳ හමන අමුතු කියමන් සකස් කළ හ

455. යාති චන්ද්රාංශූභිඃ ස්පෘෂ්ටා ධ්වාන්ත රාජී පරාභවම් සද් යෝ රාජ විරුද්ධානාං සූචයන්තී දුරන්තතාම්.

චන්ද්රාංශූභිඃ ස්පෘෂ්ටා ධ්වින්තරාජි = හඳ එළිය ගැල් වුණු අඳුරු රොද රාජ විරුද්ධානාම් දුරන්තතාම් සූචයන්තී = රජුට නොහොත් හඳුට විරුදු අයගේ දුක්බර අවසන හඟවන්නී සද්යඃ පරාභවම් යාති = එකෙණෙහි වනසට යයි.

මේ නිදසුන් කියමන සඳහා කාව්යාදර්ශ කාරයන් දැක්වුණ නිදසුනෙකි. දුක්බර අවසන හැඟැවීමක් එහි කියවුණ ද, සඳ රැස් නිසා රෑ අඳුර රොද වැනැසී යන නමුත් එහි දුක්බර කෙළවරක් ගැනැ කීම පිළිබඳ වැ සියබස් ලකර කරුවාණන් ගේ එතරම් හිත ගත් බවෙක් නොපෙනේ. හැයි? දුක් බරබව අඳුරට යැ සම වනුයේ. අඳුර වැනසීම පිළිබඳ වැ කොහිද දුක්බර බවෙක් හැ‍ඟෙන්නේ ? අඳුර ගැනැ මැ හිතන හෝ එ තැනට “දුරන්තතා ” යන වදන යෙදුම රසකුරු යෙදුමෙක් නො වේ. ඒ හෙයින් යැ හෙළ මහරජාණන් ඒ නිදසුන මුළු මනින් මැ පසකට දමා එයට වඩා හොඳට හිත් කාවදින නිදසුනක් ඒ වෙනුවෙන් නිමැවුණේ.

328. අසුර බළො සහරොස් නසිත්, නසුත් මේ රුදුරා දියෙහි ඉසුරු විරුදුනට වනස් වනු දන්වනුවෝ.

යන මේ නිදසුන, අර කාවියාදර්ශ නිදසුනට වඩා ඒ හැඟුම, ඒ පවත පැහැදිලි කිරීමට සමත් කම් ඇති නිදසුනෙකි.


සමහර පැදි, දෙකට කැඩී යන සේ යැ කාව්යාදර්ශ කාරයන් විසින් පැබැඳුණේ.

454. ඉත්යනේක ප්රකාරෝය මලංකාරූ ප්රතීයතේ අප්රස්තුත පුරශංසාස්යා දප්රක්රාන්තේෂූ යා සුතුතිඃ

මේ පැදියේ මුල් අඩ විරුදු කියමන් වගෙහි අවසන යැ.අග අඩ ‍නොපත් වැනුම් අගෙහි මුල යැ. මෙසේ දෙවගක් එකට සැබැඳීමෙන් කාව්යාදර්ශකාරයෝ සිය පබ‍ඳේ නිරවුල් බව නසන සුලු බලවත් වරදක් කළ හ.ඒ වරද වරදක් සේ මැ දුට හ සියබස් ලකර කරුවෝ එහෙයින් ඌ තුමූ එය නිවරද කළ හ තමන්ගේ පබඳෙහි පිරිසිඳි කඩා සැකැසීමේදී.

පිය ගඳ මඳ සිහිල් නෙලෙනා නා කුසුම් රොන් නුවනත නොළඟ වෙමිනුදු කෙනෙකුන් කඳුළු ගන්වා.

යන්නෙන් විරිඳු කියමන් වග අවසන් කොටැ

නොපත් වැනුම නම් පර ඇසුරූ දෙලෙනොබල මන ඇතියන් පවස්නා වදනින් බිඳුම් හෙ මෙසේ.

යන සැටියෙන් නොපත් වැනුම් වග අමුතු වෙන මැ පැදියෙකින් ඇරැඹිණ. කාව්යාදර්ශ කාරයන් කරුණු කියමන් වග අවසැන දී කළේත් ඒ වරද මැයි.

ඉති හේතු විකල්පානාං දර්ශිතා ගතිරිදාශී ඉංගිතාකාර ලක්ෂ්යෝර්ථං සෞක්ෂ්ම්යාත් සූක්ෂම ඉති ස්මෘතඃ මේ ගීයේ මුල් අඩ කරුණු කියමන් වගෙහි (හේතු චක්රයෙහි)අවසනයි. අග අඩ සියුම් ලව කියමන් වගෙහි (ලේශ චක්රයෙහි) ඇරඹුමයි. සියබස් ලකර කරුවන් මේ වරද නෙරාපියා යි උන්ගේ පැබැඳුම කළේ.

කාව්යාදර්ශ කාරයන්ගේ සමහර අඩාල් යෙඳුම් පවා සියබස් ලකර කරුවෝ සිය අතින් යොදා සපිරි නිමැවුම් බවට පත් කළ හ.

196. මුඛ චන්ද්රස්ය චන්ද්රස් මිත්ථ මන් යෝපතාපිනඃ න තෙ සුන්දරි සංවාදි ත් යේ තදාක්ෂේප රූපකම්

මේ කාව්යාදර්ශ ගීය හා සමඟ

“පෙනෙමිනනුන් මෙසේ තවනා කල දහම් යුත් වුවනත සඳට තී දැන් පියබඳ නැති උලිඳු බව්.”

යන මේ සියබස් ලකර ගීය සුසුඳුව මැනැවි. සියබස් ලකර කරුවන් හුදක් කාව්යාදර්ශයට මැ ගැති නොවුණු වග මෙයින් මැ හැඟෙනු ඇත.

අඩුවක් නොහැඟෙන්නට බොහෝ මැ කෙටියෙන් සිය අදහස පැවැසීමෙහි ලා ද සියබස් ලකර කරුවන්ගේ හැකියාව ඉතා බලවති. කාව්යාදර්ශයේ 314, 315, 316, 317, 318, යන පැදි පසෙකින් දැක්වූ අදහස සියබස් ලකර පැයේ 222, 223, 224, 225, යන පැදි හතරෙනි. එද එහි අදහසේ අඩුවෙක් නොහැගෙ යි. ඒ කෙසේ හෝ වේවා, කාව්යාදර්ශයේ පැදි බොහෝ ගණනක් හෙළ බසට නොනැඟුණේ යැ. සිය කිස ඉතා කෙටියෙන් කිරීමට සියබස් ලකර කරුවාණන් තුළැ වූ බලවත් කිති කැවීම් මෙයට එක්තරා හෙයෙකි.

i. හෙළ සැහිරියාවට නොගැළැපී නිසාත්, ii. සමහර කාව්යාදර්ශ පැදිවල නිරස බව නිසාත්, iii. දසලෙස් යෙඳුම් වලැ දීත් යමා යෙඳුම් වලැ දීත් ඒ පැදිවලැ සෙලෙස් ලකරත් යමා ලකරත් එසේ මැ රැකෙන සේ ඒවා අන් බසකට නැඟිමේ දී මුහුණ දෙන්නට සිදුවන හිරිහැරය නිසාත් යැ යන ඈ කිහිප කරුණක් අරමුණු කොටැ ගෙනැ සමහර කාව්යාදර්ශ පැදි අත් හැර ඒ වෙනුවට සියත් නිමැවුම් ඉදිපත් කරන්නට සියබස් ලකර කරුවාණෝ පෙළැඹුණාහු යැ. ඒ එසේ වේ වා ! එහෙත්.

450. පුංසඃ පුරාණදාච්ඡද්ය ශ්රීස්ත්වයා පරිභුජ්යතේ රාජන්තික්ෂ්වාකු චංශ්ස්ය කිමිදං තව යුජ්යතේ?

458. වර්ධතේ සහ පාන්ථානාං මුර්ච්ඡයා චූත මඤ්ජරී පතන්නී ච සමන්තේෂා- මසුහිර් මලයානිලාඃ

459. කෝකිලා ලාප සුභගාඃ සුගන්ධි වනවායවඃ යාන්නි සාර්ධං ජතානන්දෛර් වෘද්ධිං සුරහිවාසරාඃ

මෙබඳු පැදි කාව්යාදර්ශයේ වූ මා හැගි මිණි රුවන් යැ. මේවා හෙළ බසට නොනැඟීම ඉතා තද බල සෙයින් සොව දනවන්නේ යි.


තොරතුරු වග.[සංස්කරණය]

සියබස් ලකර පැදි හාරසීය අටෙකින් යුතු ගතෙකි. කාව්යාදර්ශය මෙන් මැ තුන් සගෙකින් නිමියේ යි.

කසුබුඉසි, වාමන, දඬි යන ඈ ලකර ඇජයන් හට සියබස් ලකර කිවියාණන් ඉතා හරසර දැක්වූසේ යැ. ගත ඇරැඹුමේදී ඔවුන් හට නැමැඳුමක් වූයේ ඒ හෙයිනි. සියබස් ලකර ලියන දවසැ දී; හෙළ බසින් පැබැඳුණු වෙනත් මහ ලකර ගත් තුබුණූ බවත්; එදා සමහර හෙළ මහ කිවිවරුන් ඒ හෙළ ගතින් මෙන් මැ සකු ගතින් ද වැඩ ගත් බවත්;

“දෙ රැස් වස් කියම් පෙරැ ගත් සකෙවිනුදු හෝ නොද ත, නොද ත දෙව්බස් සිය කව් ලකුණිතෙක් දෙස්.”

යන ගීය පවසයි. විරිත් පිළිබඳ වැ අපට දැනට ඇති පැරැණිමැ හෙළ පොත සඳස් ලකුණ යි. එහෙත් එයට වඩා ඉපැරැණී විරිත් ගත් වූ වග ද සියබස් ලකර පහදයි.

15. කලාගුරු සුලු පා වැසි කුලුණු නුවණින් යුත් කළන මිත් ඒ වියතුන් ගත්හි පියුම් ලකුණ ඈ.

19. ගැඹුරු කව් සයුරුහි වැදමේ බඳ සිතැත්නට ඒ නැව වේ පිය වහන් විසිත් ලකර මිණි රුවන්.

ඔවු; මේ පැදි වලින් හැ‍ඟෙයි සියබස් ලකර දවසේ දී මැ නිමැවූ “පියුම් ලකුණ” නම් සඳස් ගතක් පිළිබඳ වගතුග.

මහ කව් ලකුණු පිළිබඳ වැත් දස පණ පිළිබඳවැත් කරුණු පැහැයීමෙකි සියබස් ලකර පළමු සගින් වූයේ, ඒ සගෙහි 4, 5, 6, 7, 8, 9, 10, 40, 43 යන මේ පැදි ඉතා මැ අගනා පැදි යැ. ඒ එක් එක් පැදියක් එක් එක් මහ ගතකට සෑහෙයි. එතරම් අරුත් විදහනසුලු යැ. එතරම් අරුතින් බර යැ.

මෙහි දෙ වැනි සග ගෙවෙනුයේ පන්තිස් ලකර විවරනයට යැ. දංඩීන් දැක්වූ පිළිවෙල නො සිඳැ ලකර පිළිබඳ කරුණූ පැහැයීම් මෙහිද සිදු විණ.

වත් කියමනත් ආසී කියමනත් ලකර වෙසෙසක් කොටැ දණ්ඩීන් දැක් වූ පිළිවෙල නොමැ වි. වත් කියමන හෙවත් දෑ කියමන දැක්වියැ යුතු වැ තුබුණේ වක් කියමන හා එක් ළඟට යැ. ඒ අරැත් ආසී කියමන නම්, ලකර වෙසෙසක් ලෙස තකන්නට ද පිළිවන් කමෙක් නැති.

වත් කියමන් යැ වක් කියමන් යැ යන කියමන් වෙසෙස් පිළිබඳ කරුණු සැඳැහීමේ දී පොතෙහි වෙන මැ හරියෙකැ ඉඩක් එ පිණිසැ ලබාගත්තා නම් සුතිසි යැයි හිතේ.

“ පෙනෙනත් අත් බෙලෙන් එන අරුතුදු සදතු දෙක”

යන සැටියෙන් සද අරුත් පහයන්නට ඉඩ ගත් කැඩිය මැ මේ කම පිණිසත් යොදාගන්න තිබිණි. එසේ විණි නම් පොතේ පිළිවෙළ සහිත බවද මෙයට වඩා රැකෙයි.

කියමන්, වදන්, අරුත් පිළිබඳ තරමෙකැ විතරෙකුත් ඒ අග කොටසේ සඳහන් විණි නම්; එය සියබස් ලකර පිට පොත ලෙස සැකසෙන්නට ද ඉඩ තිබිණ. එහෙනම් සියබස් ලකරේ අගයත් විදුහුරු බවත් මෙයට වඩා ලිය ලන්නේ යැ.

එහෙත් අප කිවියාණන් මත මැ මේ වරද කුමට තබමු ද? එයට මුල් මැ වැරැදි කරුවෝ දණ්ඩී හු යැ.

දණ්ඩීන් හට ළඟ දවසැ මැ වුසු බාහමයන් දණ්ඩීන්ගේ කරුම විවිසුමට ලක් කළ සැටි සියබස් ලකර කරුවන් හට ඇස හැඟෙන්නට ඇතැයි නොසිති යැ හැකි යැ. ඒ ඇස ගැහිණි නම් ඔවුන් දණ්ඩීන්ගේ කම මෙයට වඩා විවිසුමෙන් යුතු වැ හෙළ කිවියන් අතට පත කරනු නිසැකි.

සියබස් ලකර කරුවා හොඳ බුදුනුවෙකි. ඒ වග තුන් වැනි සග පැහැදිලි කරයි. යමා වග යැ දොස් වග යැ යනුයෙන් තුන් වැනි සග වැදගත් කැඩි දෙකකට බෙදෙයි. එයින් යමා වගෙහි දී ඔවුන් විසින් ඉදිරිපත් කැරුණූ,

“සරණ තා සත්සර සරණ තුඹූරු මේ සිරිමත්”

යන ඈ පැදි කිහිපයක් ඔවුන්ගේ බුදුනු බවට හොඳට දෙස් දෙයි.

“වළඳ වැ සත් ලොවට සඳ මිදුළු දු මහත්මෝ පහන් මෙනෙත් පවත්නට කෙරෙත් නු මන පිනිදහන් ”

යන පැදියෙක් ඔවුන් සිහ ගන්වනුයේ ද බෝසත් සිරිතෙකි.

20. “පෙදෙන් බුදු සිරිතෑ බසින් වත් සිරිත් ඈ”

යන සැටි පැනවුමෙක් නොබුදුනු අතෙකින් නො වෙයි. යමා වග අවසනට යෙදුණු


නට බිය මඟ මඟන පර වැඩ තමන් වැඩ කළ නිවුණු තමන් නූසිත් යුත් කිවිනට මෙ බැඳුම් යෙදේ.

යන පැදියෙන් සකසා ඇඟෙයි මේ කිවියාණන්ගේ දසුන් මහිම ය.

සියබස් ලකර හුදක් කිවි ලකර හදාරන්නන් හට පමණක් සෙත සලසන ගතක් සෙයින් නො සිතුව මැනැවි.

එය සලසන සේවාව තුන් සැටියි. එයින් බිඳක් යන්තමකට සඳහන්නට බලම් හ.

අපේ බසේ සුනිසි වැවහර පිළිබඳ එළි පෙහෙළිය සඳහා සියබස් ලකර පාදන කරුණු ඉතා වැදගති. නියම සිංහල බස් වැවහර නම් කිමෙක් ද, නියම සිංහල කියමන් නියර නම් කවරේ ද යන ගැටළු ලිහා විඳහා දක්වන්නට මේ ගතින් ලැබෙන අත් වැල හොඳට සවිමත් යැ; හොඳට නිරවත් යැ. එපමණෙකැ? මෑතැ මෑතැ අපේ රැහැ වැටුණු වැටුණු දවස්වලැ, අලප් බස පිරිහෙළුණු පිරිහෙළුණූ දවස්වලැ අප බසට වැදගත් බොහෝ යෙඳුම් වලැ නිසි නොනිසි බව කරුණූ පල අනු වැ විමසනු විසඳනු සඳහා ද මෙයින් සැපයෙන පිටු බලය සුළු පටු නොවේ. මේ බලන්නැ එ බඳු පළක් දෙපළක්.

හිඟය සඳහා ණය යන වදනක් අප බසේ වැවහර වෙයි. ඒ වදනට මැ අසල් වූ අය වැය යන වදන් ගැන පිරික්සත් මැ ණය යන වදනට වඩා ඒ අදහස පිණිසැ නය යන වදන සුදුසු වග හැ‍ඟෙයි. - න + අය  නය - එහෙත් නියර යන අරුත දීම සඳහා පමණෙකි නය යන වදන අද වැඩි කොටැ යෙදෙන්නේ.

ඉතින් මේ වදන් ගැටළුව හොඳ නිදසුන් වලින් සියබස් ලකර අපට සකසා පැහැදිලි කෙරෙයි.



“අරුත් නොනෙ බව්” “උරිඳු හුරිරට නේ බව්”

යන ඈ යෙඳුම් වලැදී ඉපැරණි කල දවසේ දී හිඟ යන අරුත සඳහා ‘නය’ යන වදනයි යෙඳුණේ. ඒ යෙදුම නිසායි ‘නේ’ යන රුවක් ඒ පිණිසැ ඇති වූයේ. කළය කළේ; කැළයකැළේ; නිලයනිලේ. එමෙන් තමා එ දවසැ ‘නය’ යන වදන නේ යන සෙයින් හැඩ ගැහුණේ. එහෙත් මෑතැ දී සකු ගැතියෝ ඒ වදන කෙලෙසාලූ හ. “ඍණ” යන සකු වදනින් බිඳුණ හොත් “ණය” යන්න නොවේ ද හරි? යන සෙයින් හිතා හිඟ අරුත දීමේ ‘නය’ යන හෙළ වදන බසින් මැ නෙරපා දැමූ හ. හෙළ බසේ නිසි වැවහර නොදත් සිදත් කරුවෝ “අන්නෝ අන්නාහු නාහුද වෙත්” යන සැටියෙන් පස ප්රත්ය වගයක් දක්වති.

327. “දියෙහි ඉසුරු විරුදුනට ” වනස් වනු දන්වනුවෝ

368. වනනින් වැව් වානෙන් නිවිති වෙනත් වැවෙනුවා

277. පවිටු එ දුසසුවා දුටු මොහොතෙක්හි කිම් දෙනුයේ

227. අභිසරුවො සෙ දුහුල් හන් ‍ සිසි රස්හි නොපෙනෙනුවෝ

යන ආදී සියබස් ලකර යෙඳුම් බොහෝ යැ. දන්වන්නෝ, වැවෙන්නා, දෙන්නේ, නොපෙනෙන්නෝ යන ආදි යෙදුම් වලැ නියම යට ගියාව කිමෙක් ද? ඒ යෙඳුම් තැනුණේ කොයි සැටියෙන්ද යන මේ ගැටළුවලට පිළිතුරුත්


“අන්නෝ අන්නාහු නාහු ද වෙත්”

යන සිදත් කියමනට කස පහරත් මේ සියබස් ලකර යෙදුම් වලින් එල්ල වෙයි.

සිරි සුබ මඟුල් ඇරැයුම යන සැටියෙන් අද මේ රටේ මහ වියතුන් පවා යොදන “ඇරැයුම් ” යන යෙදුම බොල් යෙදුමක් බව සියබස් ලකර පහදයි

“ එ බව්නි බඳ තැතින් නිබඳ බස් අරියන්නේ ”

යන ඈ කියමන් වලැ දී අරියන්නේ යන පදයේ පවතුව (ධාතුව) ‘අරිය’ යනුයි. අරිය යන පවතුයෙන් නිපැදෙන බැව් නමුව (භාව නාමය) ‘ඇරියුම ’ යනු විනා ඇරැයුම යනු නොවේ.

• අන්න පන්සල් වත්ත පුරා මැ බල්ලො ඌ ඔක්කො මැ යක්කු මේ හුඹහ ඇතුළේ නයි

යන ඈ හෙළ ගැමි කියමන් කවර තරම් පැරැණි ද කවර තරම් විදුහුරුද යන වගට මියුරු වදන් සුවො සියල් යන්න බඳු සියබස් ලකර යෙදුම් සකසා දෙස් දෙයි.

‘බෙළේ බළාම් කෙරේ’ යන ඈ සෙයින් යෙදෙන පළමු විබතේ “ඒ” පස සියබස් ලකරට ද අමුත්තෙක් නොවෙයි.

61. කුමුදු නිඳා පියුම් වෙනෙ පුබුදු වේ. 215. තො බී මත් තිසර ගෙණෙ. 249. වෙනෙ මේ නො ගේ.

සෙබළ සදැ පළමු විබත් නොයෙක් ගිණි ගැන්වීමේහි දී, “සෙබළු” යන පදයක් අද මහ වියත්තු පවා යොදති. එහෙත් ඒ යෙදුම එකතින් මැ වැරදි බවත් “සෙබළෝ” යන්න මැ හරි බවත් සියබස් ලකර වහරින් හැ‍ඟෙයි.

“තො අසිහු ද නොද රිය නො ගජ රජහු නො සෙබළෝ”

“අසුර බළො සහ රොස් නසිත් නසුත් මෙ රුදුරා”

යන යෙදුම් විමසත් මැ සකසා පැහැදිලි වෙයි ඇත්ත. ඔවු; සෙබළෝ යන වහර ‘සෙබළු’ යන සේ වීම හරි නම්, ‘බළෝ’ යන වහර බළු යන සේ වීමද හරි වියැ යුතු නො? එහෙත් කොහි ද එහි සුනිසි බවෙක්? වදනට විබත් ගන්වා වැවහර කිරීමට වඩා; වදන පියෙවි සැටියෙන්මැ යෙදීමටයි බොහෝ විටැ අපේ ඉපැරිණි මුතුන් මිත්තන් කැමැත්ත දක්වා ඇත්තේ වදන පියවියෙන් මැ යොදා විබත් අරුත් සඳහා හෙළි පද යෙදීම පැරැණිමැ හෙළ බසේ කැපී පෙනෙන වැවහරෙකි. ඒ පැරණි හෙළ වැහැර අද පවා ඉංගිරිසි බස් වහරෙහි නම් සුලබවැ දක්නට ඇති. එහෙත් සකු පෙළ බස්වලැ කොතෙකුත් යෙදුනේත් වේද අවධියේ සිට මැ කොතෙකුත් වැවහර වුණේත් පියෙවියට විබත් ගැන්වීමෙන් මැ අරුත් කැවීමයි. මේ වදන් වැවහර මඟ විමසත් මැ හෙළ බසත්, සකු, මගද ඈ බරත හැදියා බසුත් අතරැ දක්නට ලැබෙනුයේ මහ යෝද යපවුරෙකි. හෙළ බස සකු, මගද, ඈ බරත බස් අනු නොගිය අමුතු මැ, වෙන මැ පවුලෙකැ බසක් බව ඒ යපවුර නිසා මැ යසට හැ‍ඟෙයි. සකු පොතක් අනුවැ කැරුණූ සියබස් ලකර වැනි පබ‍ඳෙකැ ඒ පියෙවි වදන් වැවහර නොමඳ වැ යෙදී තිබෙනු දැක්ම විස්මයට කරුණෙක් නො වෙයි ද? එහෙත් හෙළ බසේ සියත් බවට ඒ කරුණ මැ නො බිඳියැ හැකි නිදසුනක් වේ. මේ බලන්නැ.


17. කල රැව් ගබ ගෙලෙන් පරෙවි පිය සසල නුවන් පිරිවත්මිනගන තමා සිඹී විසඹ රිසි සියෝ.

175. දනා සියල් හිමි වෙසේ දැන් ඇතොරත් හා;

219. බොමින් මී රිසි සේ බමර සුපුල් පියුම්හි පිය ගඳ නොපත් කල්හිදු බල එළැඹේ නවමුහුලු

233. මැදුම් පත් රිවි තැවු- ලී පත් මතැත් විල් වත්.

390. නො මෙ කළ සකර කම් දද පිත් වෙද හදාරා

මේ වැවහර මඟ සියබස් ලකරේ කොතෙකුත් දක්නට ලැබේ. අපේ බසේ සියත් බව හෙවත් සකුයෙන් මගදයෙන් අපේ බස නොමැවුණු නොහැදුණු බව මැදහත් මනසට කාවද්දනු සඳහා මේ යෙඳුම් මඟ වාහල් ටැඹ(ඉන්ද්රම ඛීලය) වැනි යැ. අද වැවහරෙහි දක්ට නොලැබෙන, හෙළ ලිවිසැරි වැවහරින් පවා කලකට පෙරැ දී ඈත් වුණූ වදන් සියබස් ලකරෙහි බෙහෙවි. ඒ වදන් යළි මිනිස් මනසට ගැන්වීම ඒ වදන් යළි හෙළ වැවහරට එක් කිරීම බස වැවීමේ බඳ දොළ ඇතියන් අනිත් වියැ යුතු උසස් සේවාවෙකි. එසේ මැ උන් අනිත් එය වියැ යුතු යුතු කසමක්ද වන්නේයැ.



නුබුන් මතැතිය, මේ පියොවුරු බර වොරජනා නව ලද පැටි කරත් පත් නිය රද උතුරු සළුයෙන්

මෙහි පැටි කරත් පත් යන යෙදුම විමසන්නැ, එහි අදහස “වහංගු කළොත් හොඳයි” යනුයි. ඒ නමුත් මේ යෙදුම (මේ කියමන) අද මුළුමනින් වගේ වහරින් ඈත් වී තිබේ. එදා මෙය සැහිරි කියමනක් (සම්ප්ර දායානුකූල වාක්යියක් ) සේ යැ රටේ වැවහර වුණේ. ‘පැටි කිරීම’ යන්නේ මුල් අරුත “කුඩා කිරීම ” යනුයි. එහෙත් සැහිරි අරුත වහංගු කිරීම යනු යැ . මේ බලන්නැ වෙසතුරු දා යන්න කරුවන් ඒ සැහිරි අරුතට මැ එය වැවහර කරන සැටි.

“යේන = යමක්හු විසින්; තේ = ඒ දරුවෝ; නිගහිතා = පැටි කරන ලදහු ද ? සත්ත = ඇත්තක්; නප්පති ගුය්හාමි = නොම මෙ පැටි කෙරෙමි; ”

68. කව් සිරි අරත දම් ලකරු ඔහු අද දක්වා විකැපෙත් කෙ ඔටුන සියල් කියත පොහොසත් හූ දියේ?

විකප් දය මෙහි බොහෝ තන්හි නෙක් සැටියෙන් වර නැගී යෙදිණ. මේ වදන අද අප වැවහරින් සැඟැවී පවතියි. ඈත් වී පවතියි. මේ වදන ගන්වන අදසහ දෙන්නට අපට අප වදන් කිහිපයක් යොදන්නට සිදු වැ තිබේ.

“කල්පනාවට භාජනය කරනවා. විශේෂයෙන්ම හිතාමතා බලනවා” යන ඈ සැටියෙන්.


ඉතින් අප බසෙහි වැවහරින් ඈත් වූ මෙබඳු වදන් රුවන් යළි එළි පෙහෙළි කිරීමෙන් අනෙකක් තබා හිතී මේත් දෙඩිමේත් ලිවීමේත් කල්වේලාව පවා ඉතිරි වීම, සෙසු පටු පලයෙක්ද?

38. ඉසිත් මෙසේ සද රස නුදුරකුරිනි දුනු.

34. පළදු මිහි අත් මෙය නොඉස්නෝ ඉස්ති මෙසේ

මේ ඈ පැදි වලැ යෙදුණු ඉස් දය කැමති වීම් අරුතෙහි යෙදිණ. “අකාමං පරිකඩ්ඩන්ති = නො ඉස්නිය අදිති.” යන සෙයින් වෙසතුරු දා සන්නය ද ඒ අරුතට මැ ඒ වදන යොදයි.

188. ත-රූස්වනු රුස්නෙම් “තො ය” වී යෙත් පැසැසියෙම්.

යන ඈ කිහිප පළෙකැ මැ කැමති වීම් අරුතෙහි පසස් යන දයෙක් ද වැවහර විණ.

වෙසතුරු දා සන්න කරුවෝ ද ඒ වදන ඒ අරුතේ මැ යොදති.

“වෙස්සන්තරං විනා න ඉච්ඡේ = වෙසතුරා වියොව න පසසිම්.

අත්තනෝ සුඛමිච්ජන්ති = තමනට සුව පස සිද්ද?” යන ඈ සැටියෙන්. මෙසේ ගත් අතුරෙහි යෙදී තිබී මෙන් මැ හැගෙයි මේ වදන් එදා හෙළ බස් වැවහරෙහි හොඳට පළට වදන් බව. වෙසතුරු දා සන්තය වැනි පොත් එදා පොදු ජනයාට බණ දහම් වටහා ගන්නට ලියන ලද ගැට පද පොත් යැ. හදිසියේ එදා සකසාගත් තොපළට,


වහරට අලුත් වදන් එබඳු පොත් වලට යෙදීමේ සොබාවෙක් නෑ නොවැ? එබැවින් මේ වදන් හුදක් සියබස් ලකර කරුවන් ගේ මැ යෙදුම් හැදුම් නොවේ. අපේ බසේ නියම උරුමය වූ අපේ මැ වදන් යැ.

මෙසේ කිරිය පද පමණක් නොවේ. ඉස්සර අප අතරැ වැවහර වුණු නොයෙක් වගයේ වදන් සියබස් ලකර වැවහරේ වෙයි.

“මිණි ලකළ සල් දොර මිණිල කළ සල් දොර වී”

මිණිල, කළ, සල්, දොර, යන ගස් හතර වගයෙන් අද- ඒ යෙදුමෙත් මැ - අපේ මනසට නැගෙනුයේ සල් යන ගස් වගය පමණෙකි .“දොර” යන්න දොරන නමින් ඉඳැ හිට අපට අහන්නට ලැබේ. කළ යන ග්ස වගය කර ගස් යන සෙයින් තව මැ වැවහරේ පවති. එහෙත් මිණිල යනු වැවහරට අසලින්වත් නැති යමාව සකස් කැරැ ගන්නට සියබස් ලකර කරුවන්යෙදූ බොරු වදනෙක්ද මේ?

අහෝ නැති. අපේ දුඹුල් කමට, අද අපේ දිළිඳු කමට ඌ තුමූ පලිද?

මේ බලන්නැ ජාතක අටුවා ගැට පදය ඒ වදන හඳුනන වග.

“මණි සෝපාන ඵලකේ = මැණික් පිය ගැටෙහි නොහොත් මිණිල පෝරුයෙන් කළ පිය ගැටැ එවු;” හිතන්නැ. හොඳට හරය ඇති යෝද ගස් වෙසෙසක් වග මෙයින් මැ හැ‍ඟෙනවා නේද? ඉතින් රුපු පුරය වැනැසී ගොස් මහා මුකළානයක් තැනුණ වග ඇඟවීමට කිවියා යෙදූ මේ යෙදුම් කොතරම් අගී ද?




318. ලඹ දුවන් යුත් තුනු තුනු මැද රතොට නිල් නෙත් නැමුණු නැබැඩුවටු තෙනේ තුනු කා නොනැස්මට වත්.

මේ පැදියෙහි අපට අරමුණූ වන නුහුරු මැ වදන උඩුවටු යනුයි. එහි අදහස උඩුකුරු වැ පවත්නා; පහළට කඩා නොහැලුණු යනුයි. වෙසෙසින්මැ තුඩු උඩුහුරු වූ තන සඳහා වෙසෙසුනක් සේ මේ උඩුවටු යන වදන එදා ගැමි වහරේ පවා පළට වැ පැවතිණ. එහෙයිනි “සග්බතී” කිවියාණන් සීගිරි ගලේ පවා ඒ වදන සිත්තම් කළේ. මේ බලන්නැ උන් ලී ගීයෙන් අඩක්.

“එත සී අමඩ් ලෙඩ් වුණ මෙතොල් වුනා රසත් ගැලැපුණ බන්දු වතැ උඩ්වටු තනා”

මේවායින් සමහර වදන් අප අතරින් ඈත් වී තිබෙන්නේ පො‍ළොන්නරු කළ දවසින් පසු වැ බවට; ඔවු; පොළොන්නරු කළ දවසැ අවසන් හරියේදී ඇති වූ “මහා සිංහල මැරිල්ලෙන් පසු වැ මේ වදන් අප අතරින් ඈත් වුණු බවට හොඳට දෙස් තිබේ.

වළඳමන ඇතියා සරතර කුමරිය කෙරේ. හැගේ බඳ අදහස් නුගි මින් පුවළඟන අතුරේ. මේ පැදියේ වූ නුගී යන වදන විමසන්නැ. එය අද වහරේ නැති නුගි අදහස නම් අනුගියා වූ හැගීමයි. පෙම් හැඟිමයි. පොළෙන්නරු දවසැ උන් මහ පැරකුම්බාවෝ ඒ වදන සුලබ වැ කව්සිළුමිණෙහි

“රතොට රතැදි යෙම් කොපුල් පතැ ලේ බිඳියෙම් තන හස මුස කෙළෙමි නිදොසිම් හා නුගයනට” යන ඈ සෙයින් 159. බද පවුස මෙයින්. 180. ඉකුත් කල් විසා. 211. වුවන් තිය සසල නුවන් 213. අහේනි හෝ වනුවා. 228. පිළිබන් ලැබැ කියත් යුත් 249. මත තඳනේ එති තමා 263. කියු පියොදම්නි නුවන් 262. ලිය ගී ගඳැවුනි බිජි 269. දහර නිරිඳු සුරිඳු බඳ 370. පිළිවෙළ වෙහේ මේ ගින් 278. සියා දෙලෙහි වියෝ වී.

මෙබඳු සිය ගණන් යෙදුම් හුදක් සියබස් ලකරට මැ උරුම් වූ හෝ ඒ පෙරැළිය නිසා මැ උපන් හෝ යෙදුම් නොවේ.

දම්පියා අටුවා ගැටපදය සික වලඳ මිණි මුහුල සැරය වෙසතුරු දා සන්තය ජාතක අටුවා ගැට පදය පස්වැනි කසුබ් වැන්නවුන්ගේ ගල් ලියවිලි සීගිරී ගී කව් සිළුමිණ

සසදාව වැනි අනුරපුර පොළොන්නරු කල දවස් වලැ බිහි වූ ලියවිලිවලැත් නන් සැටියේ පබඳවලැත් බොහෝ වැ දක්නට ලැබෙන යෙදුම් යැ. අපේ මැ පැරණියන්ගේ හිතුම්




දෙඩුම් ලියුම් කියුම්, මේ ලිවිසැරි යෙදුම් වලැ කෙතෙකුත් සැඟවී ඉඳැ අප දෙසැ සෝකුරු බැලුම් හෙළනවා ඇති. අද අපගේ බසෙහි පවතිනවා යැ කියන විදු වදන් වඩු වදන් සාගතය මඟ හැරීම සඳහා අප මනස යොමු කළ යුතු වන්නේ; රඝුවීර වැන්නවුන් හින්දියේ වැවහර සඳහා සකුව මරමරා පතුරු ගැහූ වදන් කොසු වලට නොවේ අප බස හොඳට දියුණු වැ පැවැති අනුරපුර පොළොන්නරු කල දවසේ වදන් වහර දෙසට යැ. ඒ වදන් වහර අපේ බසේ අද පවත්නා අඩුපාඩු කම් මඟහරවා ගන්නට අපට හොඳට නුවණ එළිය විහිදනවා නියති. සුපිවිතුරු මඟ දක්වනවා නියති. අලුත් අලුත් වදන් රූ සිය දහස් ගණන් කෙළ දහස් ගණන් වුවද අනුනට නොගැති වැ නිපයාගැනීමට අපට එළියත් මඝත් පැහැදිලි කරනවා නියති. එහෙයින් මහ ගංවතුරක් ගලා බස්නාක් මෙන් වදන් හදන කම්මල්වලින් ගලාගෙන එන කුණුරොඩු වලින් පිරුණු දුගඳ කහල දහරාව හෙළ බස් පුරය වසාගෙනැ පැතිරැ ගලන මේ කල දවසේ සියබස් ලකර වැනි ගත් රුවන්වලැ ආරත්, සිතැවිලිත් සිතැවිලි සටහනුත් අනුයෑම මඳක් හෝ සිංහල කම රැකගැනීමක් වන්නේ යැ.


+ + + +


“ගවඟන වේ පසස් තදා බස් කැරැ සුසකස් පියසුව හට එ අන් හට හුදු ගව බව් මේ ස‍ාදා”

යනුයෙන් සියබස් ලකර කරුවන් පැවසුණේ දණ්ඩීන් ගේ අදහසක් වුවද ඒ අදහසට ඔවුන් ද බලවත් සේ මනස යොමු කළ හෙයින් මේ පැදියෙන් පැහැයෙන දහම්


මගෙහි ඌ තුමූ ද ගමන් කළාහු මැයි එහෙයින් මැ හෝ ඔවුන්ගේ යෙදුම් අසරෙහි මනස විහිදැවීම මොහොතක් හෝ කළ යුතු යැ.

සියබස් ලකර වියයුරුව වෙසෙයි යෙදුම් යැ, සැමැනි යෙදුම් යැයි දෙගණයකට බෙදිය හැකියැ.

වෙසෙයි යෙදුම් නමින් සැදැහෙනුයේ අද වැවහරෙහි නොසුලබ එතොහොත් අද වැවහරෙහි නැති, එහෙත් එදා වැවහරෙහි සුලබ වැ උසස්සේ සම්මත වැ තුබුනු යෙදුම් යැ.

7. පියසුව හට අන් හට 9. කිම අඳ හට ඇතැ සබඳ 167. පෙරඩ මස සිසි හට වැඩුමට හෙද කඳප් හට 287. නිපැදුමෙහි බඳ තැන් හට

මේ සැටියෙන් “හට” හෙළිය (නිපාතය) ගැනිවීමේ දී යෙදුණා වූ මේ වහර අද වැවහරේ දක්නට නැති.

හට, විසින්, ගේ ගෙන් යන විබත් අරුත් පහයන හෙළි (විභක්ත්යර්ථ සුවක නිපාත) අද වැවහරෙහි යෙදෙන්නේ දෙවනි විබත ගැන්වුණු පදය හා සමඟ යැ. ඔවු; පුතා හට පුතුන් හට දරුවා විසින් දරුවන් විසින් නයාගේ නයින්ගේ යන ඈ සැටියෙන් යැ අද වැවහර වන්නේ.

එහෙයින් පියසුවා හට, අනුන් හට,අඳා හට, යන සේ යැ අද අපට හුරු පුරුදු එහෙත් එදා විබත් නොගත් පියෙවි වදන් අරුත් ගන්වනු සඳහාද මේ හෙළි ඇඳීම සුලබ වැ යෙදුණු සේ පෙනේ.

සියබස් ලකර කරුවන් දවසින් ඉතා මෑතැ ගුරුළු ගෝමින් දවසැ ගැදි කියමන් හි පවා ඒ වහර ඉතා මැ හුරු පුරුදු නොවෙසෙසි වහරක් වූ බව,


“මෙ බත් සැළ යක් හට දෙයි. තම හට මසින් කම් නැතද. හිමවුවට ගොස් අළවු හට ස්වාමිය බුදුහු තාගේ විමන්හි වැඩැහුන්නාහයි කී යැ.”

යන ඈ අමාවතුරු යෙදුම්වලින් සකසා හැ‍ඟේ. එයට මෑතැ කලැ ද ඒ වහර යෙදුණු වග

මහද ගඳ කිළි කැරැ සව්නේ ගෙවා දන් හට

යන ඈ සිදත් සඟරා යෙදුම් වලින් පෙනේ.

පිළි යනු අද පෙර ඇඳියක් (උප සර්ගයක්) මෙන් පමණෙකි යෙදෙන්නේ. පිළිගනී, පිළිමලු, පිළිවන් ඈ යෙදුම් අසරින් ඒ හැ‍ඟෙයි.

එහෙත් සියබස් ලකර කරුවන් දවසැ එහි යෙදුම අමුතු යැ.

පිළිබන් (64) පිළිවක් (128)

පිළිපදිමි (92) යන ඈ යෙදුම් වලැ දී පිළි යනු පෙර ඇඳියක් සේ සියබස් ලකරෙහිද යෙදිණ. එහෙත්;

53. හෙ වැත්තෑ වදනෙහි වේ පිළි වැන්මෙහි දු හෙ මෙසේ.

63. දුකිය පිළි කිවියර මඟ

70. ඇවැතුම් අකෙවු නම් ඇත් පිළි ආසී මුසු හැඟුම්

73. සහ කියමන් පෙරැළුම් පිළි ආසී මුසු හැඟුම් යන ඈ බොහෝ තන්හි දී පිළි යනු හෙළියක් නිපාතයක් සේ යැ සියබස් ලකරෙහි යෙදුණේ. අප ගේ බස අවුරුදු සියගණනක් මුළුල්ලේමැ පිරිහුණේයි. එ හෙයින් අප බසේ එදා පළට වැ තුබුණු වහර අද දුලබ වැ පවතී. ඒ වැවහර ගැනැ සකසා විමැසුම බස නිසිසේ යොදන්නට හුරු පුරුදු වන්නන් හට ඉතා හිතකුරු යැ. සිය දහස් ගණන් හෙළ වදන් නියර, (හෙළ වදන් වැවහර කිරීමේ නිසි පිළිවෙළවල්) අද අප අතරින් ඈත් වැ පවතී. ඒ පැරණි දවසේ ඒ යෙදුම් නිසා හෙළ බස ඉතා පණවත් වැ බැබළුණේයි. ඉතා‍ කෙටි වැකියකින් මහත් පතළ මහත් ගැඹුරු අරුතක් දිය හැකි වැ පැවැතිණි. එහෙත් අද බසේ තතු එයට හාත් පසින් වෙනස් යැ. මහ කබල් බොල් කියමනකට පවා යාන් හැලි නො ලියුව හොත් අපේ ඇත්තනට අද නො වැ‍ටහෙයි. ඉතින් බස දියුණු ලු! ඒ හෙයින් බස බලවත් කිරීම සඳහා යටගිය නොයෙක් වගයේ වැවහර යළි මතු කළ යුතු වැ පවතී. තා යන පස අද සමහරු සකු බසට මැ පවරන්නට වැර දරති. “ස්වස්ථතා” “දේවතා” “යෝග්යතා” යන ඈ වහරට ගැති වෙති. එහෙත් හිතත් වා! ඒ පස අපේ මැ පසෙකි. “දෙනෙතා ඉතා දුලබෝ” යන ඈ කව්සිළුමිණි යෙදුම් විමසා බලත්වා!

397. සිහිලැයි දෙතා සලකා

5. තම කඳ නො කල්තායෙන්? යන ඈ සියබස් ලකර යෙදුම්ද විමසත් වා! ඉතින් ඒ අනුවැ “සුවතා” දෙවිතා සුදුසුතා යන ඈ යෙදුම් අපි යොදමු නම් අර කබල් සකු යෙදුම් කැළෑ ගැසෙන්නේ නැද්ද?

අපේ වදන් විබත් ගැන්වීමේදී අපේ වදන් වර නැංගීමේදී අද‍ට වඩා පුළුල් සැටියෙන් නොයෙක් සේ වෙනස් වෙනස් සැටියෙන් එදා වැවහර පැවැතිණ. ඒ විමසා බැලීමෙන් ද අපේ වදනේ නොගැති බව රැකීම සඳහා අපට යසට මඟ පෑදෙන්නේ යැ. විබත් ගත් පදයෙහි මැද වණ සර වියුත් කොටැ යෙදීමත් (ස්වරය ලෝප කැරැ යෙදීමත්) සර විකර කොටැ යෙදීමත් සියබස් ලකර වහරේ සුලබ වැ දක්නට ලැබේ.

8. එ බව්නි කව්හි මඳ දෙසුදු සොයන්නට වත් තුනු එක් ලපෙක්හි සියල් සිරි හුන් වෙ සොඳුරු දු වූ.

19. ගැඹුරු කව් සයුරු වැදමේ බඳ සිතැත්නට

240. වියෝ දනනට නැස්මට

102. මියුලැස්නි යුත් තී.

103. වියතෙක් වැනි විලස්නෙන්.

23. සිසි හිරු උදා වැන්මෙන්

36. වණ එක්නි දෙක්නි දු හොත්

195. සනහම්නි ලෝ නැගි.

78. නුවන් යුග පිය වම්නි.

යන යෙදුම් පුරික්සුව මැනැවි. එදා අපගේ බස ඉක්මනට දෙඩීමට පහසුවන අයුරින් කවර තරම් උසස් සැකැස්මෙකින් සකස් වැ වැවහර විණිද යන වග මෙයින් හැඟේ වදන් වර නැඟීමේදී සියබස් ලකර කරුවාණන් දැක්වූ මේ සියත් බව, බසෙකින් නිසි වැඩ ගැනීමේදී බස දෙවියෙකු මෙන් නොවැ, එය හොඳට වැඩ ගත හැකි හොඳට පලපුරුදු උවාරනයක් සේ තකන්නවුන් හට නිසි ගුරු කමට පිරිමහින්නේ යැ; සෑහෙන්නේ යැ. 173. මුහුලු මිණි මුස්සි

41. කෙසේ නො ඉස්ති.

මිණි මුස්සි, නො ඉස්ති, යන මේ දෙ වහර ගැනැ බිඳක් හිත යොමු කරන්නැ දැන්. රක් බස් ගණවලැ පවතු වර නැඟීමේදී රකී බසී ගනී යන එක් ගිණි යෙදුම රක්කි, බස්සි, ගත්ති යන සෙයින් දඹදෙණි සමයේ පවා වැවහර විණි. සඳහම් රුවන් වැළේ ඒ වහර සුලබ යැ. දිට්හි , දුට්හු, සිට්හි, සිට්හු යන සේ මැද සරුව ලොප් වීමද අමාවතුරු බුත්සරණ යෙදුම්වලැ බොහෝ වැ දක්නට ලැබේ.

ගිය කල් නොයෙක් ගිණි කියවූ පද; ඔවු; අතීත බහු වචන ආඛයාත පද මේ මේ සැටියෙන් වෙනස් වීම දඹදෙණි සමයේදී දක්නට ලැබෙනුයේ ඉඳ හිට යැ; කලාතුරකෙනි. එහෙත් නොගිය කල් එක් ගිණි නොඑක් ගිණි දෙ රුව මැ හෙවත් වර්තමාන ඒක වචන යැ බහු වචන යැ යන රූප දෙක මැ මේ සැකැස්මට ගොදුරු වූ වග ගුරුළු ගෝමීන්ගේ පොත් වලින් දැකිය හැකියි.

තෝ, තා, තී යන යෙදුම අද අපේ බසින් ඉතා වෙයින් ඈත් වීගෙනැ යෙයි එය අද නිහරසර යෙදුමක් සේ යැ තැකෙන්නේ. එහෙත් එදා සැමැනි පුඟුලන් පමණක් නොවැ මැතියන් රජ දරුවන් දෙවියන් පමණක් නොවැ බුදුන් පවා සැඳැහීමේ දී මේ “ත” සද වැහැර විණ.

125. ත මෙන් හිමි මිහිපල් වොරජනේ සක් දෙවි රද

117. තෙදින් හිරු තො මහ රජ

යන ඈ සැටියෙන් සියබස් ලකර කොතෙකුත් මේ වහර ඉදිරිපත් කෙරෙයි

සඳකිඳුරු දා සමරේ හඳනවුව බලන්නැ. සමහර විටැ, සකු වදන හෙළ බසට නැඟිමේදි ඒ වදන් රූ මෙසේ සැකැසී යෙදුණැයි ඔබට හිතෙනු ඇති. එහෙත් ඒ හිතුම වැරැදියි. “ත” සද කොතෙකුත් ජන වහරේ පැවැති වග කව්සිළුමිණින් පෙනෙයි.

සහ සොම්නස් වද නින් දිනෙ ‘දවස් නිදසිඳු කොකු මුව වෙණ කුස තණ නරනිඳු හෙ දැන් ත පසක්.

මහ පින් බැර පුතු තුම හට මෙරූ වෙළැපු කලක් ලැබේ නො සරස් නරනිඳු තො නොකර කුහුල්

මෙසේ දෙඩුයේ සීලවතී බිසොව ඔකාවස් රජ හට යැ. තී යන ගැහැනු වදන තිය යන සැටියෙනුදු තිට යන වදන තියට යන සෙයිනුදු සියබස් ලකරේ ඉඳැහිටැ වැවහර විණ. ‘මා’ යන අරුත සඳහා ‘තම’ සද සියබස් ලකරේ සුලබ වැ යෙදුණේ යි.

4. කියත් නු මන ගනී තමා 69. කියතැත් පවස් මෙතමා.

මා යැ මගේ යැ යන අරුත සඳහා අද “තම” සද සුලබ වැ වැවහර වන්නේ හෙළ බසේ අත්තක් වන මාල දිවයින් බසෙහි යැ. සියබස් ලකරේ එන හෙළ වදන් රැසක් මැ අදත් මාල දිවයින් බසෙහි පිවිතුරු වැත් සකස් වීත් පවතී.

සියබස් ලකරේ සැමැති යෙදුම් එ තරම් විතර නො කළාට ද වරදෙක් නැති . එහෙත් ඒ අසරින් බස වැවහර කිරීමේ නිසි මග සකසා එළි පෙහෙළි වන හෙයින් ඒ ගැනැ ද බිඳක් හෝ යුතු සේ හැඟේ. අද බොහෝ සිංහල උගත්තු, නො එසේ නම් අපි උගතුම්හයි හොරට රට මුලා කරන්නෝ හෙළ බසේ සුනිසි වහර කොතෙකුත් වරදවාපියති. ඉතා මැ පහසු ඉතා මැ නිරවුල් ඉතා මැ සුළු පටු යෙදුම් වලැදී පවා ඌ තුමූ රට සිංහලයන් වැලැ සිංහල වහර කැළෑ ගසති. ගනිමු නිදසුනක් .’හෝ’ හෙළිය අද බොහෝ ලොකු තැන් පවා වරදවාපියා යැ යොදන්නේ ඒ වරදවා යොදන්නවුන් ගැනත්, ඔවුන්ගේ ඒ යෙදුම් ගැනත් සැඳැහීම ද නොනිසි යැ. පොත කෙලෙසීමෙකි. කුහු යෙදුම් සඳහා නිදසුන් පෑම පවා නුසුදුසු බව සියබස් ලකර කරුවෝ මැ කීවාහු නොවැ “පටුන් නොයුත් නිදසුන් 42” යනුයෙන්. අවුරුදු දහසු ගණනක් මුළුල්ලේ මැ “හෝ” හෙළිය (නිපාතය) යෙදුණේත් අද ද සිංහල ගැමි වහරේ පවා යෙදුනුයේත් සියබස් ලකර යෙදූ පිළිවෙළට මැයි.

21. වත් තිදෙස ආසී හෝ නිමකර හෝ පෙරට වේ.

93. අතුරු බුමු බමර කමලක් හො සසල නුවන් වුවනත හො

201. බසින් ආ තම් හො සම බව් හැගිණි නම් හො.

ඔන්න සියබස් ලකර වහර. හැබැයි, අපේ සමහර සරසවි ඇදුරන් හට නම් හැඟෙනුයේ මේ යෙදුම් සඳහා එක හෝ යන්නක් සෑහෙන බවයි. හෙළ බසේ වියත් වහරේ එන ‘හෝ’ යන වදන වෙනුවට අද නොවියත් ගැමි වහරේ යෙදෙන ‘හරි’ යන වදන පවා හෙළ ගැමියා මේ සූනිසි වහරට එකඟ වැ මැ යොදන වග පෙනේ. “අද හරි හෙට හරි අනෙද්දා හරි මම් එන්නම්” යන ඈ ගැමි කියමන් විමසත් වා! “මම අද හරි හෙට එන්නම් ” යැයි කිසි මැ ගැමියෙක් නොපවසයි. ද, දු,හා යන හෙළි පද යෙදීමේ නියර ද සියබස් ලකර විමසත් මැ සකසා පැහැදිලි වෙයි. වදන් අරුත් කීපයක් එක් කිරීමෙදී ඒ අරුත් වලැ

i අගට පමණක් යෙදීම i මැදට යෙදිණි නම්, හැම වදනක් පාසා මැ යෙදීම යැ නොඑසේ නම් අග දෙව දනට පමණක් යෙදීම යැ යන පළට දෙසැටියකට ඒ හෙළි පද යෙදුණේ යැ.

i ගුවනැ දවසෙව් දවසැ හිරෙව් හිරැ ද රස් එව් - 109

i උපුල්, සිසි රස් හා නොයුතින් මේ නොයුතු නම් - 143

ii නො මෙ ඇඳිය ද සුනිල් නුවනත, තො නැඟුව ද තී බැමලේ සුනත, ලවනත පිළි නොරැඳිය ද රත් වී - 216 ii නොයෙක් ලිගු වදනුදු කුදු මහ වතුදු උවමට - 113

ii ඉතිරි යමක්හු හා මෙරමා හා කමෙහි එක් - 115

අපේ බස වැවහර කිරීමේ මේ සුනිසි පනත් දවසක් දෙකක් පැරැණි පනත් නොවේ. අවුරුදු දහස් ගණනක් මුළුල්ලේමැ හෙළ බස වැවහර කරන්නන් විසින් සම්මතයෙන් පිළිගන්නා ලද පනත් යැ. එහෙත් අද, සිංහල බස නම් කිමැයි නොදන්නෝ තමන්ගේ නොදත් කම වසා සගවා ගැනීම සඳහා; ඔය පනත් එහෙන් මෙහෙන් කඩා බිඳැ දමන්නට සලකවති. ඔන්න සිංහලයෙනි, පිළිගනිමු ඒ යස සැලැකැවුම.

සැක යැ තොරතුරු යැ ඈ අරැත් හි යෙදෙන ඇතුළු කියමන් කියවුව - වචයෙකැ ආඛ්යාිතය - අන්තැනි නොයෙක් ගිණියෙන් හෙවත් ප්රවථම පුරුෂ බහු වචනයෙන් යෙදීමත් ඒ ඇතුළු කියමන් පැවසිය හෙවත් වචයේ උක්තය දෙවැනි විබත් ගැන්වීමත් අපේ බසේ සම්මත පනතෙකි.


35. “ලකුළු රස මෙමෙතී යෙත් වදන් රස දන්නෝ මෙසේ”

මේ සියබස් ලකර කරුවා ඒ පනතට එකඟ වැ බස යෙදූ සැටියි.

“කති සි වෙණ මීයන සුසු යැයි අත ගැසූ සැකයෙන”

“ඇදුර තුටු නො වෙතියි නො සිත’ප සිප් නො දනිතියි”

ගුත්තිල කරුවොත් මෙසේ ඒ පනත අකුරට මැ රැක්කහ.

“පර සතුරන් එති එති යන බසටා හැර අඹු දරුවන් යන තොප වලටා”

යන සේ ලෝ වැඩ සඟරා කරුවෝද ඒ පනත අනුදත්හ.

එහෙත් අද සමහර සරසවි ඇඳුරෝ, හෙළ බස් වැවහර මහ මුකළානයක් කොටැගෙනැ තමන් ඒ මුකළානේ අඳ ඇතුලත් වැලා; හෙළ බසේ නිරවුල් බව ජය රකින මේ මහැඟි වියයුරු පනත් ඔබින් මොබින් බිඳිති. ඔවුන් එසේ කරන්නා හා මැ ඔවුන්ගේ අනුයයුවෝ ද ඒ මඟ ගනිති. හැයි? ගුරුන් කිමෙක් දෝ කමක් හිටැගෙනැ කරන විටැ ගෝලයන් ඒ කම දිවැ දිවැ කරනවා ලු නොවැ?

අද නිතවු අරුතේ යෙදෙන මැ හෙළිය සියබස් ලකර දවසේ යෙදුණේ “මෙ”යන රුවින් යැ. ඉතින් අනුර පුර කල දවසේ “මෙ” යන සැටියෙන් යෙදුණු හෙළි පදය පොළොන්නරු දවසේ ‘මැ’ යන සේ වෙනස් විණි.

නම් අද එය “ම” යන සේ වෙනස් වුණාට වරද හැයි දැයි, සමහර සරසවි සිසුවනට හිතෙනු ඇති. එසේ ඔවුනට හිතෙන්නේ හෙළ බසේ අකුරු හැඩ ගැහීම පිළිබඳ වැවහර පිළිවෙළ ගැනැ ඔවුනට ඇති නොවැටුහුණු ගතිය නිසා යි.

සිංහල බසේ පණකුරු නැමි අකුරු යැ, නොනැමි අකුරු යැ. අ. යන්නත් උ. යන්නත් ඔ යන්නත් බොහෝ විටැ ඇ යන්න ඉ. යන්න එ යන්න බවට හැරෙනු සිරිති. එහෙත් අපේ බස් වැවහරේ කිසි විටෙක ඇ යන්නක් අ යන්නක් බවට හෝ ඉ යන්නක් උ යන්නක් බවට හෝ එ යන්නක් ඔ යන්නක් බවට හෝ නොහැරෙයි.

අ . උ. ඔ. නැමි අකුරු යැ.

    ඇ.    ඉ.     එ.   නොනැමි අකුරු යැ.   අ. යන්නත් උ. යන්නත්   ඔ. යන්නත් බොහෝ  විටැ ඇ යන්න   ඉ. යන්න එ බවට හැරෙනු සිරිති. එහෙත් අපේ බස් වැවහරේ කිසි විටෙක ඇ යන්නක් අ යන්නක්  බවට හෝ එ යන්නක් ඔ යන්නක්  බවට හෝ නො හැරෙයි. 

ඔන්න ඔය කරුණ නිසා “මැ” හෙළිය කිසි කලෙකැ “ම” යනුයෙන් සකස් වන්නේ නැති. සකස් කිරීම ඒ වදන අමු අමුයේ මැ මරා දැමීමෙකි.

නිසි හෙළ ගැමි වහර ඉතා කෙටි යැ; සරල යැ; පණවත් යැ. + “ඌ ගේ වැඩ හරි උසස් + ඒ අපේ පුතා + ඔය මගේ කුඹුර + “වෙල අද්දර ඉඩම මගේ” අපේ මේ පණවත් හෙළ ගැමි වහර සේ මැ සියබස් ලකර වහර ද ඉතා පණවත් යැ. ඉතා නිරවුල් යැ. 144. සියල් දිය දිනත පියල් 147. ගැඹුරින් තො දලනිදු. 156. මේ සියහ සුපුන් විලස් 193. බලවු තස්න දහම් වළකන්නේ කවරෙද? 198. කමල් දල යහන් තමා අඟ මෙ දවා නු?

සියබස් ලකර පුරා කොහි බැලුව ද කොයිනුත් හමු වන්නේ මේ නිරවුල්, මේ සිලිටි, මේ ලුහුඩු, මේ පණවත් කියමන් ආරයි. මේ කියමන් ආර අපේ බස ඔදවත් වැ පැවැති අවදියේ දී අපේ ගැමියන්ගේ මැ වහර බව + නිල් කටරොළ් මලෙකැ ඇවුණු වැට්කොල් මල සෙයි.

+ බලයි මඟ හිමින් වන වූ පියා මෙන් හෝ

+ නැසී නොයි හිමි සමහර්හු ගිරි බිතින් වගුළො

+ ගල්නරු දළල්මි ගී ලීමි.

යන ඈ සිය ගණන් සීගිරි ලියැවිලිවලන් ද හැඟීයෙයි. මේ එක් එක් වගක් සකසා විමසත් මැ එයින් අපේ අද බස් වහරට ද හොඳ අහරක් ලැබෙන්නේයි. හැබැයි; පියාගේ ළිඳ යැයි අපේ කරදිය නො බම්හ. සියබස් ලකර වහරින් හෝ වේවා; කව් සිළුමිණි වහරින් හෝ වේවා; අනුර පුර දවසින් හෝ වේවා; පොළොන්නරු දවසින් හෝ වේවා; අද අපට අවැසි වන්නේ අපගේ බස

නිරවුල් ලෙස, විදුහුරු ලෙස, ඔදවත් ලෙස,

පණවත් ලෙස වැවහර කිරීම සඳහා ඕනෑ කරන්නා වූ සවි යයි; පිටු බලයයි; අත් උදවුවයි. ඔවු; පාරැණියන් ගත් මඟ ගැන්මෙහි කවර වරද ද? එ මඟැ දැන් නොපැරැණියෝ නොපැරැණියනෙව් යෙත් නම්.

අහෝ හෙළ මහ රුසියාණෙනි, මේ කියමන නම් පරම සැබෑවෙකි. ඔබගේ මේ බසට සදා හිස නමම්හ.

සේදුම් වග[සංස්කරණය]

සියබස් ලකරට අප වෙසෙසි වැදැගත් මැ සෝදුවක් දුනුම් හ. අවුරුදු සිය ගණනක් මුළුල්ලේ කිලිටි වැ පැවැති පොතකි මේ. කිසි ද විමැසීමක් නැති වැ පත පොත පිටපත් කළ ලියන අප්පුවන් නිසාත් මේ පොත‍ට සිදු වැ තිබුණු විපත ඉතා බලවති. පැරැණිමැ අත් පිටපත් කිහිපයක් හා, නවසිය විසි හතේදි පහරුයෙන් එළිය දුටු රුවන් මීපාණන් ගේ පැරැණිමැ සන්නයත් පහරු දොරින් එළියට බට තවත් පොත් දෙකකුත් සසඳමින් යැ. මෙ ගී පෙළ අප විසින් සැකැසුණේ මෙහි අර පොතේ මෙසේ යැ ඒ පොතේ මෙසේ යැයි සිය ගණන් කිලිටි වදන් යටි ලිවි - අධෝ ලිපි - ලෙසින් ඇදැපෑමක් අපි නොකළ ම් හ. පොත් කීපයක් සසඳත් මැ එයින් සූනිසි පෙළ සකසා ඉස්මතු කරැගන්නට අසමත්හූ කුමට පොත් සකසාපියති ද? එවුන්ගේ ඒ සැකැස්ම තවදු අනුමාන වැවීමක් මිසැ තව දු පැරැණි පොත කිලිටි කිරීමක් මිසැ සේදීමක් නම් නොවේ.

දෙස් කරුවන් ගණනෙකින් කරුණු සකසා අසා විමසත් මැ පැමිණිල්ලෙත් විත්තියෙන් නිසි වගතුග වටහාගන්නට බැරි ද තරමක් හෝ සිහි නුවණ ඇති විනිසුරුවකුට? කරුණු මෙසේ හෙයින් මේ වැරදි පෙළ යැයි කොතෙකුත් දැනැ මැ, ඒ යටි ලිවි ලෙසින් කුමට ඇදැදක්වමු ද? හැබැයි අපි එක් වෙනසක් නමි සමහර විටැ කළෙමු.

පිටපත් ගණනක් මැ සසඳමින් ඒවායෙන් වැදැගත් මැ ගැළැපෙන මැ යෙදුම් තෝරාගෙනැ පෙළ පිළියෙළ කළ නමුත්, විවරනයේදී ඒ පෙළට සෝදුවක් දෙන්නට අපට සිදු වියැ. දිය යුතු නිසි මැ තැනට, අපට හැඟෙන සුදුසු මැ සැටියෙන්, එසේ නොදී මැ බැරිවිටැ පමණක් අපි සෝදුවක් එල්ල කළෙමු. එහෙයින් අප ඉදිරිපත් කළ පෙළට වඩා ඉඳැහිටැ කලාතුරෙකින් විවරනයේ පෙළෙහි මඳ වෙනසක් දක්නට ලැබේ. එසේ තැනක් තැනක් දෙකක් වෙනස් කැරුණේ සියබස් ලකර කිවියාව ඉතා සුසුදුව මැ ඔබ අතට පත් කිරීමට වැර දැරීමක් විසිනි.

මේ ගත අගට යෙදුණ; සියබස් ලකරට මුලු වූ කාවියාදර්ශ පැදි වැළ සියබස් ලකර පැදි වැළ හා සැසැඳීම සියබස් ලකර පිළිබඳ වැ නිරවුල් වැටහීමක් සකසා මැ ලබාගන්ම පතන්නවුන් හට ඉතා වැඩකුරු යැ. සකුයෙහි මෙන් යංසය රේඵය වැනි කෙකි බලටු නොඇමිණුවාට සකු බසෙහි කවර වදනක් හෝ හැඬැවෙන හැටියට මැ ලියීමට සිංහල බසේ ඇකුරු වැල හොඳට සෑහෙයි. ඒ හෙයිනි කාව්යාදර්ශ පැදි වැළ කෙකි බලටු නොඇමුණු සුනිසි සිංහල අකුරු වලින් මැ ඔබට ඉදිරිපත් කරනු ලැබුයේ. හැම සකු වදනෙකැ මැ නියම හඬ ඉසිරැවීමට ඒ පිළිවෙළ ඉතා පලවත් යැ. එ අතරැ මැ වදන් වෙන් කිරීමේ සකු බස් නියරද අපි බිඳක් ලිහිල් කළෙමු. ඒ දුහුනන් හඩ වැඩ පතා යැ. සකු වදන නිරවුල් වැ එයින් ඔවුන් මනසේ සිත්තම් වනු ඇති.

කාව්යාදර්ශ පැදි වැළේ සමහර තැන් කළු අකුරින් යොදා ඇති. සමහර තැන් තරු ලක්ණක් පෙරටු කොටැ යොදා ඇති. ඒ දෙය පිළිවෙළට යෙදුණු පැදි නිරවුල් සිහිය පෙරටු කොටැ කියවා බැලුව මැනැවි. ඉක්බිති සියබස් ලකර පැදි හා සැසැඳිලි කළ මැනැවි දෙ සැටියෙක වෙනස්තාවෙක් එහි දී ඔබට හැ‍ඟෙන්නේයැ. අන්න ඒ හැගීම ඉදිරිපත් කොටගෙනැ ඉක්බිති මුළු ලකරත්; එයට



මුල් වූ කාව්යාදර්ශ පැදි වැළත් එක් එක් පැදියක් පාසා සසඳමින් කියවන්නැ. එ් සසඳමින් කියැවීම ඔබෙග් කව් ලකර දැන්ම බලවත් සේ පිරිපැසීමට ඔබට අත් වැළක් වන්නේයි. මෙයින් අනතුරු වැ බාමහ උද්හටවාමන ආදීන්ගේ පත පොතත් මේ සියබස් ලකර හා සසඳමින් මැ ඔබ කියවත් නම්; කව් ලකර දැනුම පිළිබඳ වැ ඔබට විස්මකුරු හැකියාවක් ඇති වනු නියති. මා විසින් මේ ඔබට ඉදිරිපත් කැරැණේ සියබස් ලකර පිළිබඳ වැ ඇබිති වදනෙකි.

• සියබස් ලකර සකු ලකර හැඟුම් සසඳුව • සියබස් ලකර වියයුරුව • සියබස් ලකර වදන්වහර • සියබස් ලකර බස


යන මේ ඈ කරුණු, අනුරපුර පොළොන්නරු කල දවසුවලැ ලිවිසැරිය හා සසඳමින් මැ ඉදිරිපත් කරනු ලබන පිටු හාරසියයකැ පමණ ඉඩ පනත විවිසු ගතක් ළඟැ දී ඔබ අතට එනු ඇති. අපේ මේ කමෙහි දී සෝදුපත් බැලීමෙන් අපට දිරිදුන් ‘දිනමිණ’ සකසුරු මඬුල්ලේ පුරනඳු ගුණසේකර ජිනදසුන් හටත් ගොරකානේ ඉසුරුමතියෙහි ලයනල අල්විසුන් හටත් මේ කමෙහි පින නොමඳැ වැ ලැබේවා ! මේ ගත මෙසේ හොඳ මනහරට පැහැරැවුමෙන් එළි දැක්වීම පිළිබඳවැ අපි කළගුණ සිහියුම් පෙරටු වැ ඇම් . ඩී. ගුණසේන හවුලට සදා පින් දෙම්හ.


අලවුඉසි සැබිහෙළ

කුමරතුඟු 19 - මැදින් - පුර 1

මොරටු - ගොරකානේ දී යැ