සියබස් ලකර විවරුව-විවරුවi

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

සියබස් ලකර විවිරුව


1. සදා වා සිවුමුව මුව මෙ තඹර වෙනෙන් අද සරසවිය හස සව් සුදු කිවි සිත් පුල් මඳෙවු විල්!

පෙළ ගැස්ම - සරසවිය සව් සුදු හස සිවුමුව මෙ තඹර වෙනෙන් අද කිවි සිත් පුල් මඳෙවු විල් සදා වා!

තේරුම - සරසවිය නමැති මුළුමනින් සුදු හසුවිය - හංසිය - මහ බඹුගේ මුව නමැති නෙළුඹු වනයෙන් අවුත් කවියා ගේ හිත නැමැති පිපුණු මඳෙවු විල සකස් කොර්වා !

පැහැදුම - සරසවිය නම් වදනට පති දෙව් ලිය යැ. ඕ මහ බඹු මුවෙහි වසන්නී යැ. මහ බඹුගේ මහ බඹුගේ මුව තෙළුඹු වනයෙකැයි හිතමු. එ විටැ, ඒ මුවෙහි වසන සරසවිය හංසියක ලෙස තැකියැ හැකියි. හැබැයි ඕ නිකම් සෙසු පටු හංසියක් නොවේ. මුළුමනින් සුදු, හැම ලෙසින් මැ සුදු, හැම අතින්මැ පිවතුරු හංසියකි. මහ බඹුගේ වුව ද මුව තඹර වනය එතරම් සුව පහසු තැනෙක් යැ? එහි ඇති ඉඩ එක් පමණකට කොන් සහිත නොවැ? එහෙයින් සරසවිය බඳු සව් සුදු හසුවියකට ඒ තැන නො තැන වෙයි.


කිවියාගේ පිපුණු හිතෙහි නම් ගැඹුරින් අයමින් විතරින් පමණෙක් නැති. එය හරියට මඳෙවු විල බඳු යැ. මඳෙවු විල ඉතා සිහිල් යැ; ඉතා උසින් පිහිටියේ යැ; ඉතා මනහර යැ; අයම් විතරින් මෙ තෙකැයි පමණද නැති. ඉතින් සරසවි හසුවියට සුනිසි තැන අර මුව තඹර වනයද, නැත්නම් මේ සිත් ‍මඳෙවු විල ද?

සැබැවින්මැ කවි සිත නමැති මඳෙවු විල සරසවි හසුවියට සූනිසි විල යි. එහෙයින් ඕ තොමෝ අර තඹර වනය හැරැපියා අවුත් මේ පිපුණු මඳෙවු විල මැ සකස් කෙරේවා! මේ පැදිය දණ්ඩීන්ගේ කියමනක් ඇසුරු කොයගෙනැ තව දු බිඳක් හැඩ ගැහීමෙන් යැ නිමැවුණේ. එහෙත් දංඩීන්ගේ කියමනට ද වඩා මේ නිමැවුම රසයෙන් බලවත් යැ. මේ අහන්නැ දංඩීන් ගේ කියමන;

චතුර්මුඛ මුඛාම්භෝජ වන හංස වධුර් මම මානසේ රමතාං නිත්යං සර්ව ශුක්ලා සරස්වතී

සියබස් ලකර කරුවාණන්ගේ ඒ ගීය දණ්ඩීන්ගේ මේ කියමනේ කෙළින් මැ අරුත නොදෙයි. මෙන්න එහි කෙළින් මැ අරුත:

සිවුමුව මුව තඹර වෙනෙහි හසුවිය, සව් සුදු සරසවිය නිබඳ වැ මා මන මනස රැමැවේ වා!

මහ බඹාගේ මුව නැමැති නෙළුඹු වනයේ වසන හංසිය වූ හැම ලෙසින් මැ සුසුදු සරසවිය මාගේ හිත නමැති මානස විල ලස්සන කෙරේ වා!

ගැට ලිහුම

වෙනත් = වනයෙන්. කැලෑව යැ යන අරුත දෙන ‘වන’ සද හෙළ බසේත් සකු බසේත් සම මුණුවරින් සිටී. හෙළ බස් මුණුවර නොගත් සකු වදන් සකු මුණු වරින් මැ සිටැ හෙළු විබත් ගනුත් මැ පියෙවියටත් විබතටත් අතරට “ය” හඬක් අමුතුයෙන් පැමිණේ.

“වෘක්ෂ + එන් = වෘක්ෂයෙන් ලක්ෂණ + අට = ලක්ෂණයට ”

යන ආදියේ සෙයිනි. මේ නියර අනුවැ විමසත් මැ වනයෙන් , වනයට, රසයෙන් රසයට යන ඈ යෙදුම්වලැ “වන” “රස” යන වදන් සකු වදන් හෙළු විබත් ගෙනැ සකස් වූ සෙයක් හැ‍ඟෙයි.

වෙනෙහි, රෙසෙහි වෙනෙන්, රෙසෙන්- යන තැන්හි පෙනෙනුයේ

වන, රස, යන පිරිසිදු හෙළ වදන් වලට හෙළු විබත් ගත් සේ යැ.

සරසවිය = වදනටත් කිවියාවටත් පති දෙව් ලිය යැ. මෝ මහ බඹුගේ මුවෙහි වෙසෙයි. මහ බඹු නම් ලෝ දහම යැ. වදන් පති දෙවු ලියට “සරසවිය” යන නම දුන්නෝ ඉපැරණි හෙළයෝ යැ. ඌ තුමූ ලෝ දහම මොනොවට හසළාවු වදන් පති දෙවු ලියට ගැළපෙන සේ මැ ඇයගේ නම පිවිතුරු හෙළ බසින් මැ සකස් කළහ. සර නම් හඬ යැ;

සරසවි නම් හ‍හඬේ සවිය යැ. හ‍ඬේ සවි බලය යැ. වදන් පති දෙවියකට ඒ නම කො තරම් ජයට ගැළැපේ ද යන වග ඒ නමේ හෙළ අරුත විමසත් මැ ඔබටද හැගෙනු ඇති. මේ හෙළ වදනට සකු මුණුවර ගැනිවීමෙනි “සරස්වති” යන වදන බමුණන් විසින් තනා ගැනුණේ.


එහෙත් බමුණු ඇදුරෝ ඒ වගක් නො පවසති. “සරස්වති” යන්න ඔවුන්ගේ මැ වදන් මුලෙකින් නිපැයුනක් සේ පවසති ඔහු. එහෙත් සරස්වති යන්නේ පද අරුත විමසන විටැ තමා බමුණට උණ ගැනෙන්නේ.

මුව මෙ තඹර වෙනෙන් = මුව නමැති නෙළුඹු වදුලින්. අද = අවුත්

නිලු ද ලද සිදඟන දිගු වරලැ නිලූ; නිලුද වට බිඟු පෙළ අද තඹරැ නිලු ? යන පැදියේදී සිරි රහල් හිමියෝද “අද” යන්න අවුත් යන අරුතේ යෙදූ හ.

හස = හංසිය. හස් සද ගැහැනු බැවියේ (ඉතිරිලිඟුයේ) යෙදුණු සැටියි. එය පිරිමි බැවිය ගත් විටැ “හසා” යි සිටී.

සව් සුදු= මුළුමනින් සුදු

ම‍ඳෙවු විල් = “මානස නම් විල” මේ හංසයන් ගේ පියකුරු මැ තිප්පළ යැ. වැසි ඉතුරුව අවුත් අවට විල් වලැ පියුම් නැසුණු විටැ හංසයෝ මේ විල සොයා යෙත් ල! මෙය පිහිටියේ කෙලෙස් ගිරි පෙදෙස්හිය. මානස විල් පෙදෙස තවුසන්ගේ සුසුදු බිමෙකි. එ හෙයින් ඉපැරණි හෙළයෝ මනොහු නමින් ඒ විල දත් හ . මනොහු නම් මනට ඔසු යැ. හිත එකඟ කරන්නන් හට, බවුන් වඩන්නන් හට මනස් ලෙඩ සංහිදවන්නන් හට ඒ නිල ඔසුවක් හා සම යැ. එහෙයින් යැ එයට ඒ නම “මනොහු” යන්න කලක් මුළුල්ලේ වැවහර වීමේදී මනොවු ම‍ඳෙවු යන සේ සකස් විණ. “මන්දාකිණි” යන සකු වදනින් මේ ම‍ඳෙවු යන්න තැනිණැයි සමහරු කියති. ඌ තුමූ හෙළ සකු බස් වහර තබා, ලෝ පවත වත් නොදන්නා ජඩයෝ යැ.

2. මහබඹු සකා සුර ඇජරා ඒ කසුබුඉසි පවර වාමන දැඬි ඇ නැමැද කව් ලක්ණැජරන්;

පෙළ ගැසුම - ලෙහෙසියි.

තේරුම - මහ බඹු යැ, සකා යැ සුර ඇජරා යැ ඒ කසුබු රුසියා යැ උතුම් වාමන යැ දංඩි යැ යන ඈ කව් ලකුණු පිළිබඳ ඇදුරන් වැඳැලැ;

3. එ දෙ රැස් කියම් පෙරැ ගත් සැකෙවිනුදු හෝ නොදත, නොදත සෙව්බස දූ සිය කව් ලකුණිනෙක් දෙස්.

පෙළගැස්ම - පෙරැ ගත් සැකෙවිනුදු හෝ නොදත. දෙව් බස දූ නොදත ඒ දෙරැස් වස් සිය කව් ලකුණින් එක් දෙස් කියමි.

තේරුම- පැරැණි හෙළ පොත් කෙටියෙන් හෝ නොදත්තෝයැ; සකු බස නොදත්තෝ යැ; යන ඒ දෙගොල්ල සඳහා සිය කව් ලකුණින් එක හරියක් පවසමි.

පැහැදුම - මේ ගත කරනුයේ එක දෙගොල්ලක් සඳහ යැ. කව් ලකුණු පිළිබඳ වැ ඉතා පැරැණි දවසේ ලියන ලද හෙළ පොත් වෙයි. ඒවා සැකෙවින් හෝ දත්තවුන් හට මේ පොතින් වැඩෙක් නැති. සකු බස දත්ත වුනටද මේ පොතින් වැ‍ෙඩක් නැති. හැයි? ඔවුනට සකු පතපොතින් කව් ලකුණු මනා වැ දත හැකි හෙයිනි. ඉතින් අන්න එසේ පැරැණි හෙළ පොත් වලැ බස් වහර මනා වැ දැනැ ඒ පොත් යන්තමින් හෝ නොදත්තෝ යැ; සකු බස හෝ නොදත්තෝ යැ; යන මේ දෙගොල්ල සඳහා බොහෝ වූ කව් ලකුණින් එක පෙදෙසක් පවසමි.

ගැට ලිහුම - දෙවුබස් = සකු බස මුල් කොටැ ඇති ආරිය ගණයට අයිති බස් (භාෂා) වෙසෙසින්මැ සකු බස.

කව් ලකුණෙක් දෙස් = කව් ලකුණින් එක් දෙස්; “ලකුණු” සද තුන්වැනි පස්වැනි විබත් ගැන්මේදී “ලක්ණෙන්’ යන පද රුවක් සමහරු වැවහර කෙරෙති. එය බලවත් වරදෙකි. ලකුණින් යනුයැ නිවරද පදය. උවත් සද (උකාරාන්ත ශබ්ද) තුන් වැනි “ඉන්” විබත ගනියි. එන් විබත් ගනුත් හොත් “ය” හඬක් සමඟ මැයි.

කරුණු + ඉන් = කරුණින් වතුරු + ඉන් = වතුරින් සුතුරු +ඉන් = සුතුරින් නගුටු + ඉන් = නගුටින්

මේ ඉන් පස ඇඳෙන සැටියි. එන් පස ඈඳෙන හොත් ඒ සැටි මේ බලන්නැ.


අඩු + එන් = අඩුයෙන් මඩු + එන් = මඩුයෙන් කටු + එන් = කටුයෙන් මහලු + එන් = මහලුයෙන්

4. මෙහි වියත් අවියත් වදන් තෙමෙ හැම පහන් ගුණෙන් පවති සවාරෙන් සව් ලෝ යා පවත්මින්

පෙළ ගැස්ම - මෙහි වියත් අවියත් වදන් තෙමේ, සවි ආරෙත් සව් ලෝ යා පවත්මින් හැම පහන් ගුණෙන් පවති.

තේරුම - මේ ගතෙහි පැහැදිගි වූ ද නොපැහැදිලි වූද වදන් තෙමේ, සියලු හැටියෙන් සියල් ලෝ වහර පවතමින් සියළු පහන් ගුණයෙන් පවතියි. පැහැදුම - මේ ගතෙහි නොයෙක් වැවහරෙහි වදන් වෙයි. විදුහුරුත් නොවිදුහුරුත් වදන් වෙයි. පැහැදිලිත් නොපැහැදිලිත් වදන් වෙයි. හැබැයි ඒ හැම වදන් මැ ලෝ වහර සියළු හැටියෙන් මැ පවත්වමින් ඒ පහන් ගුණයෙන් මැ පණ ගැනි වී පවතින්නේ යැ. වියත් ලෝ වහර වියත් වදනින් පණ ගැන්වෙයි. නොවියත් ලෝ වැහැර එබඳු මැ නොවියත් වදනින් පණ ගැන්වෙයි. කවර ලෝ වහරක් පණ ගැන්වීම සඳහා යෙදුණු කවර මැ වදනක් වුවද සූනිසි සේ සුනීසි තැනට යෙදුණේ යැ. එහෙයින් ඒ කවර මැ වදනක් වුවද හොඳ පහන් ගුණයෙන් පවතියි. තමාගේ පිරිවැටුම පිළිබඳ වැ අප කිවියා මේ උදන් ඇනූ සැටියි - සකු පැදිවළ සූනිසි අරුත මනසෙහි ගැන්වීම සඳහා හේ තෙමේ වියත් නොවියත් යන දෙ වගයේ වදනින් මැ වැඩ ගති. එහෙත් ඒ හැම වදනක් මැ අරුතේ නියම පහන් ගුණය පවත්වමින් ලෝ වහරද සූනිසි සේ පවත්වන්නේයි. නොවියත් වදන යැ කියා මුල් පැදියේ පහන් ගුණයට හෙණ දුන්නේද නැති. ලෝ වැහැර ඉක්ම වූයේද නැති. හරියට වප් මහේ ගෙරැවිල්ලට හතු පිපෙන්නාක් මෙන් අද ඒ මේ අතින් නික්මෙන හඩු පිරිවැටුම් දෙස බලන විටැ අප කිවියාගේ මේ උදන කවර තරම් සොබා හුරු ද?-

ගැට ලිහුම - සවාරෙන් = සව් ආරෙන් ලෝයා = ලෝ ගමන. ලොවේ වහර.

5. මේ තුන් ලොවැ ඉඳින් සව් සද වැටුප් රැස් රස් නො දිලියෙත අඳ බව් දා තම කඳ නො කල්තායෙන් ?

පෙළ ගැස්ම - ඉදින් මේ තුන් ලොවැ සව් සද වැටුප් රැස් රස් නොදිලියෙත කල්තායෙන් අඳ බව්දා තම කද නො ?

තේරුම - යම් හෙයකින් මේ තුන් ලොවේ සියලු වදන් නමැති පහන් රැසේ දිස්නය නො බැබැළෙන හොත් (එහෙනම් ) මුළු කල්තාවෙන් මැ - කාලයේ භාවයෙන් මැ අඳ බව උපදවන අඳුරු කඳ නේද ?

පැහැදුම - මේ තුන් ලොවේ හැම බසෙකැ මැ ඇති හැම වදනක් නිසා මැ ලොවේ අඳුර නැසෙයි. මොහො අඳුර; අවිදු අඳුර නැසෙ යි. හොඳයි; යම් හෙයෙකින් වදන් නමැති පහන් සමූහයේ දිස්නය නො බැබළෙන හොත්; තාලය පවත්නේ යම් තරමින්ද ඒ කාලයේ පමණින් මැ නොහොත් කාලයේ භාවයෙන් මැ මුළු තුන් ලොව අඳුර උපදවන එක මැ අඳුරු ක‍ඳෙක් නො වේ ද ?

ලොවේ කවර බසෙකැ හෝ වේවා වදන් රැස නිසා ලෙවියාගේ අවිඳු අඳුර පලාය යි. ඒ හෙයින් ලොවේ කවර බසෙකැ හෝ වියත් නොවියත් යන දෙ වගයේ කවර වදෙනෙකින් හෝ කවන පහන් ගුණයෙන් ලොවේ අවිදු අඳුර පැලැවීමයි තේරුම් පැහැදුම් ඇත්තන් විසින් කළ යුතු මේ ගත නිම වන දවසේ හෙළ දිවැ ඇත්තෝ උසස් නිමැවුම් හැකියාවෙන් දිදුළුණෝ වූ හ. ඒ හෙයින් කොතෙකුත් නව නව ගත් තමන් නිමැවීම මැ විනා වෙන බසෙකැ පත පොත මේ බසට පෙරැළීම ගැනැ හෙළ දැවැ ඇත්තන්ගේ එ තරම් පහන් ගුණයක් නොතිබෙන්නට ඇති, ඒ හෙයින් වන්නට ඇති මෙබඳු ඔවා බසෙකින් දැයට හැඟුම් කවන්නට අප කිවියා විටක් පාදා ගත්තේ.

ගැට ලිහුම - වැටුප් = පහන් රස් = දිස්නය; එළිය; කාන්තිය රැස් = ගොන්න; රැස - සමූහය - කල්තායෙන් = කාලයේ භාවයෙන්. කාලය , මෙයට පෙරැ යම්තාක් පවතින වාද , එසේ පැවැතුණාවූත්, පවත්නා වූත් මුළු කාලය මැ “කල්තාව” නම් වෙයි.

6. පෙරැ මහරු මහ රජ යස පිළිබිඹු ගොස්, බස් කැට තෙලෙහි සිටුනේ පෙනේ පිළි ඔවුන් නට කල්හිඳු.

පෙළ ගැස්ම - පෙරැ මහරු මහ රජ යස පිළිඹිඹු ගොස්; බස් කැට තෙලෙහි සිටුනේ පිළි ඔවුන්නට කල්හිදු පෙනේ.

තේරුම - ඉස්සර මහා උසස් මහ රජ වරුන්ගේ යසසෙහි පිළිඹිබුව ගොසින් බස් නමැති කැට පතෙහි රැඳී සිටින්නේ; යළි ඔවුන් මල කල්හි දු ඒ පෙනෙන්නේ යැ.

පැහැදුම - සමැනි කැට පතෙකින් කෙනෙකු ගේ පිළිරුව පෙනෙන්නේ ඔහු ඒ කැට තල ඉදිරියේ සිටුනා තාක් පමණ යැ, එහෙත් පෙරැ මහ රජ දරුවන්ගේ යසස් පිළඹීබුව ඔවුන් මළ කල්හි පවා බස් නමැති කැට තලෙහි සදා මැ පෙනෙයි.

ගැට ලිහුම - කැට තළ = කැටපත් තලය. කන්නාඩියේ මතුපිට. මහරු = මහ අරු. මහ අගනා - මහාර්භ. සකු-

7. ගවඟන වේ පසස් නදා බස් කාරු සුසකස් පියසුව හට, එ අන් හට ගව බව් මෙ හුදු සාදා.

පෙල ගැසුම - සුසකස් කැරැ පියසුව හට බස් පසස්න දැ ගවඟන වේ. එ අන් හට හුදුගව බව් මැ සදා.

තේරුම - මනාවැ පිළියෙළ කැරැ පැවසූ අය හට බස මනා අස්වැන්න දෙන හොඳ පල උදාව දෙන ගවඟන වෙයි. එය අන් අය හ‍ට තනි කැරැ ගව බව් මැ සාදා යි.

පැහැදුම - බස වනාහි සමහරැන් හටරිසි රිසි දැය උපදවන සුරබිදෙන බඳු යැ, එහෙත් එබඳු බස මැ සමහරුන් ගොනුන් කරවයි.

ඒ කෙසේද ? නිවැරදි බසින් මනා සේ වදන් පෙළ ගැසුනු බසින් පවසන ලද් ද අරුතින් උදම් වැ නැගී සිටී, අරුතින් උසස් වැ දැපී - සිටියි. ඒ අරුත් දහර සපයුවා හට, මනා අස්වැන්න දෙන්නට ඒ අරුත් දහර මැ ඉතා හපන් වෙයි. එහි රසවත් බව අසන්නන් සදා පුබුදු කරවන හෙයිනි. අපට නිවැරදි ලෙස හිතියැ හැක්කේත් නිවැරදි ලෙස පැවැසිය හැක්කේත් බස නිවැරදි ලෙස බැවහර කිරීමෙනි, බසෙහි සම්මත පනත් වැල ඔබින් මොබින් බිඳ හොත්, පැවසිල්ල පමණක් නොවේ; හිතිල්ල පවා නුහුරට යෙයි. ඉතින් නුහුරට ගිය නොමඟට ගිය හිතිල්ල ඇත්තන් ලියන කියන ලද ලිය කියමන් කවර තරම් නුහරට යනු ඇති ද? එහෙයින් මැ ඒ ලිය කියවිලි ඒවා කළවුන්ගේ මුළා බව මැ- ගොන් කම මැ - පිළිඹිබු කරන කැටපත් වැනි යැ. බස නොසැලකිලි ලෙස වැවහර කිරීමේ රොව අද ලක් සරසවියේ පවා පැතිරී ගිය බිහිසුණු රොවෙකි. හෙළ කිවි රජාණන්ගේ මේ ඔවයෙන් වත් ඔවුන්ගේ ඇස අරුණහොත් එය හෙළ බසේ පිනෙකි.


ගැට ලිහුම -

ගවඟන = ගවදෙන. පසස්නදා = පසස්න නම් මනා අස්වැන්නයි, යම් කරුණ නිසා නැ‍ඟෙන මනා පල උදාව යි; පසස්නදා නම්.

පසස්නදා ගවඟන = උසස් පල උදාවක් දෙන්නා වූ ගවදෙන. සුරබිදෙන නමින් යැ මැය. ලිවිසැරි ලොවේ හැඳින්වෙන්නේ

පියසුව හට = පැවසූ අය හට, “පුවස” දය පැවැසීම් අරුත් හී යෙදෙයි. මේ බල ආදී ගණයේ පවතුවෙකි.

ගවබව් = මෙය සමහර පිටපත් හි “ගවබැව්” යි පෙනේ, බස නොදත් ලියන අප්පුවන් අතින් මේ ගත කෙලැසුණ තරම මෙයින් වැටහේ, බව යැ යන අරුත දීම සඳහා බව් සඳක් මයැ. බැවි ස‍ඳෙක් හෙළ බසේ නම් නැති, ගිය බව; හඬන බව; මළ බව යන ඈ ලෙස නිසැ ගිය බැව; හඬන බැව ; මළ බැව, යන ඈ සෙයින් කව්ර යොදති ද ? “බව” යනුයෙන් පදයක් තැනෙන්නේ “බව්” යන මුල් ස‍දෙකිනි. හැබැයි; මේ “බව්” යන මුල් රුව තුන්වැනි පස්වැනි සත්වැනි විබත් ගැන්මේදී බැවින් ; බැවෙහි; යන සෙයින් නොනැමියාවට යෙයි. ඒ දුටු බස් අඳහු එහි මුල් සඳ “බැවි” සේ ඇඳ හූ හ. කැමින්; රෙසෙන්; බෙලෙන් යන පද දැකැ ඒවායේ මුල් සද කැම්, රෙස්, බෙල්, යැයි ඌ තුමූ නො අදහත්ද ? අප මහා කිවි රජාණන් හුදු ගව බව් මැ සාදා’ යි කීයේ මෙන්න මෙබන්දන් තකා යැ.


8. එ බව්නි කව්හි මඳ දෙසුදු සොයන්නට ‍මෙ වත්. තුනු එක් ලපෙක්නි සියල් සිරි හුන් වෙ සොදුරුදු වූ.

පෙළ ගැස්ම - එ බව්නි කව්හි මඳ දෙසුදු සොයන්නට මෙ වත්. තුනු සොඳුරු වූ දු එක් ලපෙක්හි සිරි හුන් වේ.

තේරුම - ඒ නිසා; කවෙහි මඳ වූ හෝ දොසද සොයන්නට වටින්නේ යැ; සිරුර මනා වූ නමුත්; යහ පත් වූ නමුත් - එක ල‍පයෙකින් සිරියාව වැනැසුණේ වෙයි.

පැහැදුම - සිරුරක් කො තරම් මනහර වුව ද, කොතරම් පැහැපත් වුව ද ; කොතරම් මැ ලස්සන වුවද එහිවූ එක්මැ එක් ලපයක් නිසා මුළු සිරුරේ මැ සිරියාව සුණේ සුණු වන්නට බැරි කමෙක් නැති; කවද එසේ යැ. වදන් වහර පිළිබඳ වැ හෝ අරුත් වහර පිළිබඳ වැ හෝ එහි වූ එක් මැ දොස නිසා මුළු කව මැ සමහර විටැ නොමනහර වන්නට ඉඩ තිබේ. එ හෙයින් කවෙකැ කුඩාතම වූ දොස ගැනැද සැලැකිලිමත් වීම ඉතා බලවත් වියැ යුතු යැ.

ගැට ලිහුම - :-

තුනු = සිරුර. උතුනට අනු වූයේ උතුනු යැ. (උතු+අනු=උතුනු) උතුන් හට (ඍතූන් හට) අනුවැ වෙනස් වන හැඩ හැ‍ඟෙන හෙයින් ස්රුර උතුනු නම් වේ. (අබරණ >බරණ; අසර>සර) මෙසේ කලක් වැවහර වීමේදී උතුනු යන්නද “තුනු” යි සකස් විණ.

සකුව ඉතා මෑතදී සකස් වූ බසෙකි. අවුරුදු දහසු ගණනක් මුළුල්ලේ හෙළයෝ “උතුනු” නමින් සිරුර හැඳින් වූහ. ඒ වදන “තුනු ” යන සේ හැඩ ගැහුණාට පසු යි එය ඇසුරු කොටැ- ගෙනැ “තුනු” යන සකු වදන තැනුණේ.


සිරි හුන් වේ - සිරියාව සුන් වේ.

9. ගුණ දොස් කෙසේ ගත් නො දන්නා දෙනෙ කෙරෙ තොර? කිම ‘ ද හට ඇතැ සබඳ රූ බේ දස්නෙහි සියල්?

පෙළ ගැස්ම - ගත් නොදන්නා දෙනෙ කෙසේ ගුණ දොස් තොර කෙරෙ? කිම, සියල් රූ බේ දස්නෙහි සබඳ අඳ හට ඇතැ ?

තේරුම - පොත් නොදන්නා පුඟුල් තෙමේ කෙසේ ගුණ දොසෙහි අවසනට යෙයිද? කිමෙක් ද; සියලු රූ බෙදුම් දැකුම පිළිබඳ යහළු කමත් (එකතු කමක්) අඳා හට වෙයිද?

පැබැදුම - ගුණ දොස් විවිසුම, රස විඳුම පදනම් කොටැ පවතී. නියම කිවි කමෙකැ රස වඳීමට දන්නා දනෝ ඉතා දුබල ය හ. ඒ වග කියුවෝ නු මහ පැරැකුම්බාවෝත්;

“සරසවිය බැලුම - සෙක්නි වෙත්වා දෙනෙ කිවි. පෙදෙසි රස හවු විඳුනා - දෙනෙතා ඉතා දුබලෝ”

යන පැදියෙන්? කිවි කමෙකැ රස හවු විඳුනා දනන් දුලබ වත් මැ එහි ගුණ දොස් සුනිසි සේ දක්නා දනෝත් දුලබ වෙත් යැ යන වගක් පැවැසීම හෝ ඇවැසි නෑ නොවැ? ගුණ දොස් මනා වැ දැකියැ හැක්කේ කිවි කම හොඳින් හඳුනා ගත හොත් පමණි. කිවි කම ගැන හෝ ගත ගැන හෝ දැනුමක් නැතියෝ; එහි ගුණ දොස් වග කෙසේ මනාවැ දකිති ද? අඳා හට රුවක් දැකුම හෝ බැරි යැ එහෙවු ආඳා රුයෙකැ හැඩ නිල වෙනස් කම්; හොඳ නොහොඳ කම්; මනා නොමනා කම් කෙසේ නම් දකී ද ?

අද කල දවසැ ගැනැ දිව ඇසින් දැකැලා අප මහා රජාණන් පැවැසුවක් බඳු යැ මේ කියමන. ඒ තරමට මේ කියුම අද රටට ගැළැපෙයි. පත පොත විවිසින්නෝ, ගුණ දොස් විවිසින්නෝ අද මේ රටේ කොතෙකුත් වෙති. ඔවු, ඌ තුමූ කොතෙකුත් කිවි කම් පිළිබඳ වැ විවිසුම් කෙරෙති. එහෙත් ඒ කිවිකම් උන් විවිසිනුයේ; ඒ ගැනැ බොහෝ විටැ අල්ප වූ හෝ දැනුමක් නැති වැයි. ඒ අද විවිසුම් නිසා කිවි කම මුළු මනින් කැළැ ගැසෙයි. හෙළ ලිවි සැරිය වනසන පිළිළ බඳු යැ එබ ඳු විවිසුම්. එහෙත් අපේ රටේ සරසවි බඳු විඳු පිල්වලැ දොර අද කො තෙකුත් ඇයී ඇත්තේ එ බඳු අඳ විවිසුවන් ගේ තුහු විවිසු ගත්වලට යැ.

ගැට ලිහුම - ඇතැ = ඇතියැ රූබේ = රුවේ හැඩ නිල පිළිබඳ වෙනස් කම්

10. එ මෙ හෙයිනි සත් ලෝ වියත් කරන පවස් යුත් පෙරැ පඬුවෝ බඳහු ලකුණු විසිතුරු ම‍ඟේ වදිනුනට.

පෙළ ගැස්ම - එ මෙ හෙයිනි සත් ලෝ වියත් කරන පවස් යුත් පෙරැ පඬුවෝ එ විසිතුරු මඟ වදිනුනට ලකුණු බඳහු.

තේරුම - එ හෙයින් මැ සත්ලොව පැණවත් කිරිමේ පවසින් යුත් පෙරැ පඬිවරු හු, ඒ ලස්සන මඟට වඳිනවුන් හට ලකුණු බැන්දෝ යැ.

පැහැදුම - ගත් දැනුමේ මඟ ඉතා විසිතුරු ය. සත් ලොව පැණවත් වීමට නම් ඒ මඟට පිවිසියැ යුතු යැ පෙරැ පඬිවරහු සතුන් පැණවත් කිරීමේ පවසින් යුත් වූවෝයි. සතුන්ගේ අවිඳු අඳුර නැසීමේ බලවත් මනදොලින් යුත් වූවෝයැ එ හෙයින් ඌ තුමූ සතුන් පැණවත් කිරීමේ මඟට පිවිසෙන්නන් හට (¬ගත් දැනුම ලැබීමට සැරැසෙන්නන් හට) ලකුණු බැන්ද හ. මඟ නොදන්නා අයට මඟ දැනගැන්මට නම් මං ලකුණු බැඳි යැ යුතු නොවැ? ගැට ලිහුම - විසිතුරු ම‍ඟේ වදිනුනට = එ විසිතුරු මඟැ වදිනවුන් හට ම‍ඟ = මඟැ එ. වියත් = වියත් යනුයේ පලට අරුත් දෙකෙකි පැණවත් යැ; අතේ පෙදෙස යැ යනුයෙන්. පැණවත් යන අරුත දෙන වියත් වදනේ මුල් අරුත වයස් ගිය යනුයි. විය මැ වියත් යැ විය නම් වයස් යැ. වියපත් වූවෝ යැ; මහල්ලෝ යැ වියත් නම් මහල්ලෝ; (වයස් ගිය අය) දැනුමෙන් උසසුන් නිසා, කල් යෑමෙන් දැනුම් ඇති. පැණවත් යන ලිදිරි අරුතක් වියත් යන්නට ලැබිණ. අතේ හුළැඟිල්ලත් මහපටැගිල්ලත් විහිදු විටැ ලැබෙන ඉඩ පමණ ද වියත් නමි. එය තැනුණේ වි + අත් >වියත් යන ලෙසිනි. අතින් (රියනින්) වෙසෙසි කොටස යනු යැ එහි අරුත. වියත් කරන පවස් යුත් = වියතුන් කිරීමේ තිබහවෙන් යුතු වූ; පෙරැ පඬිවරුන් හට බලවත් තිබහවෙක් බලවත් රිස්සෙක් වී යැ. දිය බීමට නො වේ උන් ගේ තිබහ ව; දද දනන් වියතුන් කිරීමට යැ. 11. ඔවුන් විසින් පෙනිණි

     කව්හි සිරුරුත් ලකරුත්
     කැමැතිය අරුත් දැක් වූ
     වදන් පබ‍ඳෙහි සිරුරු.

පෙළ ගැස්ම = කව්හි සිරුරුත් ලකරුත් ඔවුන් විසින් පෙනිණි.

      කැමතිය අරුත් දැක්වූ වදන් පබද එහි සිරුරුයි.

තේරුම = කවෙහා සැරුරුත් ලකරනත් ඔවුන් විසින් දක්නා ලදී. රිසි අරුත් දැක්වුණු වදන් පැබැඳුම එහි සිරුර යැ.

පැහැදුම - කව යම්කිසි පුඟුලෙකැයි හිතමු. ඒ පුඟුලාට සිරුරෙක් වෙයි. ඒ සිරුරේ හැඩ වැඩ සඳහා පලඳනා ලද පලඳනා ද වෙයි. ඉතින් කව නමැති ඔය පුගුලා ගේ සිරුරත් ඒ සිරුරෙහි පළඳනා - ලද පලඳනාත්, පැරැණි පඬුවෝ දුටු හ සිරුර! ඒ කිමෙක්ද ? හැයි රිසි රිසි අරුත් පළ කරන ලද වදන් පබඳ! ඒ තමා සිරුර නම්. හේ අරුත දංඩීන් පැවැසුයේ මෙසේ යැ.

තෛ: ශරීරඥ්ච කාව්යාතා - මලංකාරාශ්ව දර්ශිතා: ශරීරං තාවදිශ්ටාර්ථ ව්යවච්ඡින්තා පදාවලී.

එහි එක එල්ලේ පෙරැළිය මෙ සේ යැ. ඔවුන් විසින් දිසිණ කවෙහි සිරුරද ලකරන ද; ඉටු අරුනින් නො සුන් වුණු පද වැළ එහි සිරුර වේ.

ගැට ලිහුම - ලකරු = ලකරන (පළඳනා) ලකරු නම් පළඳනා නැති සිරුර නොමනහර යැ. එයින් ලකරනයෙන් - සිරුර ලස්සන වෙයි. වඳන් පබඳ නමැති සිරුර ද එසේ යැ. එය ද ලකරනයෙන් (ලකර වැවහරින්) තුරන් වුවහොත් නො මනහර යැ.

කැමතිය අරුත් - රිසි රිසි හැඟුම්. කැමති අරුත් යැ. කියුම ද මෙයට නො ගැලපෙන්නේ නොවේ. කැමතිය අරුත් යන යෙදුමේ “ය” හඬක් ආවේ. “අ” පස නිසා යැ. වෙසෙසුන් අරුත සඳහා; වෙසෙසීමක් වඩා පළට කරනු සඳහා “අ” පසක් වෙසෙසුනට යෙදීම හෙළ වහරට ගැළැපෙයි.

උස් ගස = උස ගස මහත් ලෑල්ල = මහත ලෑල්ල

යන ඈ යෙදුම් විමසන්නැ .


12. ඒ හුදු පෙදෙන් වේ සියල් වදන් පබඳිනුදු එ දෙක්නි යුත් පියොවිනුදු පිළි; එහි තුන් මේ නියරැ.

පෙළ ගැස්ම - ඒ හුදු පෙදෙන් වේ. පිළි සියල් වදන් පබඳිනුදු වේ. ඒ දෙක්නි යුත් පියොවිනුදු වේ. මේ එහි තුන් නියර යෑ.

තේරැම - ඒ - කව් සිරුර - තනි කැරැ පැදියෙන් වන්නේ යැ. එ පමණෙක් ද? නැති. වදන් පැබැඳුමෙන් ගැදියෙන් - ද වන්නේ යැ. ඒ දෙකින් මැ යුත් සොබායෙන් ද වන්නේ යැ. මේ වනාහි ඒ කව් සිරුරේ තුන් නියර යැ. තුන් පිළිවෙළ යැ.

පැහැදුම - කවෙකැ සිරුර එහි වදන් පෙළ ගැස්මයි. ඔවු රිසි අරුත ඉදිරිපත් කරනු ලබන වදන් පෙළ ගැස්මයි කවෙකැ සිරුර නම්. ඉතින් ඒ සිරුර තුන් සැටියෙනි; පැදි යැ ගැද යැ මුසු යැයි. පදිනු ලබනුයේ ඇදැ පැදැ කියනු ලබනුයේ පැදි යැ. එසේ අැද පැද කීමක් නැති හුදු කාකුයෙන් මැ හැඟුම් උපද්දන වදන් වැළ ගැදි යැ. පැදි හා ගැදි හා කලවම් පබඳ යැ මුසු නම්.

මේ කාව්යාලදර්ශ පැදියෙකින් අඩක් දෙන අරුතෙකි. මෙන්න මුළු පැදිය.

පදියං ගද්යඤ්ච මිශ්රඤ්ච තත් න්රිධෛව ව්යවස්ථිතම් පද්යං චතුෂ්පදී තච්ච වෘත්තං ජාතිරිනි ද්විධා.

පැදි, ගැදි ද මුසු දැයි එ තෙ සැටියෙකින් පැනැවිණ. පැදිය සිව් පද යැ විරිත යැ දැය යැ දෙ සැටියි.

(කව වනාහි පැදි යැ ගැදි යැ මුසු යැයි තුන් අයුරෙකින් - පැනවතුන් විසින් - පනවනු ලැබිණ. පැදිය සිව් පදයෙන් යුතු යැ. ඒ පැදියැ ද විරිත යැ දැය යැ යන සෙයින් දෙ අයුරෙකි.)

ගැට ලිහුම - හුදු පෙදෙන් = තනි කැරැ පදයෙන්. ඉඳුරා පදවලින් මැ වේ යැයි යූ සේයි. වදන් පබඳ = විරිතකට නො එකඟ වැ වදන් මනා සේ යුත් පිළියෙළ කිරීම. එ දෙක්නි යුත් පියොවිනුදු = ඒ දෙකින් මැ යුත් සොබායෙන් ද, පියොව නම් සොබාවයි. නියර = පනත් පිළිවෙළ “බසෙහි නියර; වියයුරු නියර; යන ඈ ගුරුදෙවි යෙදුම් දැකැ සමහර නොවියත් හඩුවෝ “නියර” වනුයේ කුඹුර නොවේ දැයි අසති. කුඹුරේත් වනුයේ නියරක් තමා. එහෙත් එ බඳු බස් අඳහු. මේ මහ කිවි යෙදුම් බලා හෝ “නියර” යන හෙළ වදනෙහි සූනිසි අරුත උගනිත් වා!


13. වනු මැනවි සිය බසි නේ කව් බඳ සිරිදු යම් වදන් පබ‍ඳෙක් ද කියූ පෙදෙන් විසිතුරු සපුයි. පෙළ ගැස්ම - සපු යි කියූ පෙදෙන් විසිතුරු යම් වදන් පබදෙක් ද ඒ කව් බඳ සිරිදු සිය බසින් වනු මැනැවි.

තේරුම - සපු යැ කියනු - ලැබු පැදියෙන් විසිතුරු යම් වදන් පබ‍ඳෙක් වේද, ඒ කව් බැඳුම් සිරිය ද සිය බසින් වනු යෙදෙයි.

පැහැදුම - “සපු” යන නමින් හැඳින්වෙන එක්තරා ගැදි පබද වෙසෙසෙක් වෙයි. ඒ පැදියෙන් විසිතුරු යැ. ඒ ගැදි පබඳ එහි අතරැ තුරින් කැවුණු පැදි පබඳ නිසා ඉතා විසිතුරු යැ. ඒ පබඳ ආර වඩා සිය බසට හුරු නැති. එහෙත් ඒ පබඳ සිරියාව සිය බසිනුත් වීම ඉතා මැනැවි.

ගැට ලිහුම සපු = ගැදි පැදි දෙකින් මැ මුසු නිබැදුම් ආර සකුයෙහි මෙය චම්පු නමින් හැඳින්වේ. පෙදෙන් විසිතුරු = පැදියෙන් ලස්සන වූ

14. කොසු, මුත්, සඟාත දූ යළ කුලකත් සගෙහි පළ වනුයෙනෙ පද විතර පෙරැ ඇදුරෝ ද නො කියත්.

පෙළ ගැසුම - කොසු මුත්, සඟාත දු යළ කුලකත් සගෙහි පළ වනුයෙන් ඒ පද විතර පෙරැ ඇදුරෝ ද නො කියත්. තේරුම - කොසු, මුත් සඟාත හා යළි - කියනවා නම් කුලක ද සග බැඳි කවෙහි දී පැහැදිලි වන නිසා එහි විස්තරය පෙරැ ඇදුරෝ ද නො පවසති. පැහැදුම - “පෙරැ ඇදුරෝද නොකියත් ” යන වගක් මෙහි පැවැසුණේ හැයි? දංඩීන්ගේ කියමන බලා ඒ ගුරුකමට ගෙනැ පැවැසූ සැටියි ගත මහත් වෙතියි බියෙන් දංඩීහු ඒ කොසු, මුත්, ඈයෙහි විතර නො පැවසූහ. සගෙහි දී එහි විතර පළ වන බව කියා ඔහු ඒ විතර නො පවසා එ තැනැ දී මඟ ඇරිය හ. අප රජ තුමාණෝ තමන් ගුරුන් අනුවැ මැ ගිය හෙයින් “පෙරැ ඇදුරනුත් නොකියති ’යි පවසා ඒ විතර කිරීම කල් දැමූ හ. කරුණ නම් හැබෑව. කොසු, මුත්, සඟාත ඈයෙහි විතර සග බැඳි මහ කව් ගැන පවසන විටැදී පැවැසේ නම් මෙහි දී ඒ ගැනැ කල් නැඟීමේ අරුතක් - තේරුමක් - නෑ නොවැ? එහෙත් මත්තැ දී ඒ ගැනැ සෑහෙන විතරක් දංඩීන් හෝ පැවැසුණා යැ? තමන්ගේ පැටවුන් කවුඩන් ලවා දැඩි කරවන කොවුල් ගුණය මෙහි දී දංඩීන් හට හආ සේ යැ. ඔවු; සඟාත, කොසු, මුත් ඇයෙහි විතර වෙන පත පොතින් ඉගෙන ගන්නට දුහුනනට ඉඩ හැරැපියා. දංඩීහු මෙහි දී මඟ හරිය හ. එහෙත් අප රජ තුමාණන්ගේ යුතු කම වැ තුබුණේ මෙහි දී තමන් හෝ ඒ විතර පැවසීම යැ. ඒ නමුදු ඔවුන් ද දංඩීන් ගිය මඟ මැ ගොස් නිසොල්මන් වූ සැටි නම් නොයෙදේ මැයි. මෙන්න දංඩීන් එය පවසන හැටි;

මුක්තකං කුලකං කෝෂඃ සඞ්ඝාත ඉති තාදෘශං සර්ග බන්ධාඞ්ග රූපත්වා - දනුක්තඃ පද්ය් විස්තරං

කුලක, කොසු, සඟාත මුතු යැ යන මේ බන්දන් අඟුවන හෙයින් සැගිටෙහි නො පැවැසිණ - එ -පැදි විතර

අරුත කුලක යැ කොසු යැ සඟාත යැ මුතු යැ යන මේ බඳු ඒවා සර්ගයෙන් යුතු කවෙහි අවයව වූ හෙයින් ඒ පැදිවල වග තුග මෙහි නො පවසන ලදී.

ගැට ලිහුම කොසු = කෝෂ - මුලු - වැනියේ යැ කොසු නම් කොසු යෙකැ විතර කරනු ලබන පද රැස් අතරින් එක් පදයක් අනෙක් පදයක් හා පැබැඳුම් නිබැඳුම් අතින් සබඳ කමෙක් නැති. එක් එක් පදයක් අ ආ බඳු යම් කිසි පිළිවෙළකට අනුවැ විතර කරනු ලැබීම යැ කොසුයෙහි සැටිය.

කොසු නම් පැදි වෙසෙස ද එ බඳුයි. අරුතින් එකකට එකක් නො සැබැඳුණු; එක් එක් පැදියක් හුදෙකලා තනි තනි වැ නැඟී සිටුනා එහෙත් මැයෙන් ඒ සියල්ල එකට බැඳුණු පැදි වැළ කොසු නම්. එ හෙයින් කීයේ මැ නො,

කෝෂඃ ශ්ලෝක සමූහස්තු ස්යාදන් යෝත්යාතපේක්ෂකඃ උනුන් හා නොසැබැඳි පැදි රැසක් කොසු නම් වේ යි

මුත් = මිදෙනු ලද්දේ - මුසිනු ලද්දේ - මුත් යැ. හෙළ මුස් දයින් යැ මුත් යන රුව තැනුණේ.

කවෙකැ හෝ වේවා පැදි රසෙකැ හෝ වේ වා අන් කිසි මැ පැදියක් හා අරුත් සබඳින් කිසිලෙසෙකින් සබඳ නොවැ කෙලින් හුදෙකලා වැ ඉඳුනා එක මැ එක පැදිය “මුත්” නමින් ගැනෙයි. එහෙයින් කියැවිණ. අග්නි පුරාණයෙහි.

“මුක්තකඃ ශ්ලෝක ඒවෛකශ් එක මැ එක පැදිය නම් වන්නේ යැ මුතු”

සඟාත = සඟහ නම් එක් තැන් කිරීම යි. එකට බැඳුමයි. සඟත මැ සඟහත් යැ. එය මට සිලිටි වැ. සඟාත යන්න නිපැයිණ.

එකමැ හිසුමක් අනුවැ (එක මැ මැයක් අනුවැ ) එක මැ විරිතින් බැදුණු පැදි පෙළ සඟාත නමි.

යත්ර කවිරේකමර්ථං වෘත්තේ තෙනෛකෙන වර්ණයති කාව්යේ සඕඝාතඃ ස නිගදිතෝ වෘන්දාවන මේඝදූතාදී.

“වෙනුවාවන, මේදු, ඈ පබඳ ලෙස යම් කිවි කමෙකැ කිවියා එක මැ අදහස වනනුයෙද එක මැ එක තනු මඟට බැස සඟහත් නමින් පවසන ලදි එ පැදි රැස”

කුලක = කුලය (පවුල, සමූහය) අක කොටැ ඇත්තේ; සලකුණ කොටැ පවත්නේ කුලක නම් වේ. පැදි පසෙකින් යුතු නිබැඳුම කුලක නමින් පැරැණියෝ ගත් හ. සමහරු එය “වදන් වැල” “සරසවි රැස” යන අරුත් ඇති වාණාවලී යන නමින් හැඳින් වූ හ.

ද්වාභ්යන්තු යුග්මකං ඥෙයං ත්රිභිරස්තු විශේෂකම් චතුර්භිස්තු කලාපංස්යාත් පඤ්චභිඃ කුලකං මතම්

දෙ පැදිය යුගල යැයි තුන වෙසෙසි යැයි දන්නේ හතර වුව කලබෙක් වෙයි පසෙක් කුලකැයි සැලැකේ.


15. කලාගුරු සුළු පා වැසි කුලුණු නුවණින් යුත් කලණමින් ඒ වියතුන් ගත්හි පියුම් ලකුණු ඈ,

පෙළ ගැස්ම = කලාගුරු සුළුපා වැසි කුලුණු නුවණින් යුත් ඒ කලණමින් වියතුන් පියුම් ලකුණු ඈ ගත්හි;

තේරුම - කලාගුරු සුළු පහයෙහි නිවැසි කුලුණු ගුණයෙන් හා නුවණින් ද යුතු වූ ඒ කලණමින් නම් පඬිවරයා ණන් ගේ පියුම් ලකුණ ආදි පොත් වලැ.

ගැට ලිහුම කලාගුරු සුළු පා = මේ කොහි වූ පහයෙක් දැයි නිර වැ නො දනිමු. කෙනෙක් කියති එය අබාගිරි වෙහෙරට අයත් පහයෙකැයි. කලාගුරු යන වදන කලාගරු යන මූණු වරට හරවා ගෙනැ පැරැණි යන්න කරැවා අරුත් දෙයි. කළු අගිලින් තැනූ පහයෙකැ යන හෝඩුවාවෙන් ඉන් මනසට නැ‍ඟෙයි. එහෙත් අපගේ හැඟීම ඒ පහස “කලාගුරු සුළු පා ” ‍යන නමින් මැ වූ බවයි. පෙරැ දවසැ කලාව පිළිබඳ ගුරුවරුන් මේ රටත් රජයත් කෙසේ සැලැකුවා ද යන වග එයින් මනා වැ එළිදරවු වෙයි.

පියුම් ලකුණු ඈ ගත්හි = පියුම් ලකුණු ආදි පොත් වලැ. පියුම් ලකුණ ඉපැරැණි හෙළු සඳස් ගතෙකි. විවරණ ලියම්හයි සියබස් ලකර කෙලෙසු සමහරු මේ පැදියේ මේ පැහැදිලි අරුතට පවා මුළුමනින් මඩ ගසා දැමූ හ.

16. පියුම් ගී දෙ සතරට දොළොස් සොළොස් පද නම්, සැහැලි ඇහැලිදු නම් ඇත් පිළි උපහැලි බැහැලි නම්.

තේරුම - පියුම් යැ, ගී යැ, දෙ පද යැ, සතර පද යැ, අට පදයැ, දොළොස් පද යැ සොළොස් පද යැ නම් වූත් සැහැලි ඇහැලි නම් වූත් යළි උපහැලි බැහැලි නම් වූත් (පැදි වෙසෙස්)ඇති-


17. අඹහැලි නමැත් දැයෙක් පිළි පිහියොඹ නම් ඇත්; සිතිලි ගි නම් යමෙකැන් උනු සඳ වසම් සඳ නම්.

පෙළ ගැස්ම - අඹහැලි නම් දැයෙක් ඇත්; පිළි පිහියොඹ නම් ඇත්. සිතිලි ගී නම් යමෙක් ඇත් උනුසඳ වසම් සඳ නම් (යමෙක් ඇත්)

තේරුම - අඹහැලි නම් වූ සඳස් වගයෙක් ඇති, නැවැතැ පිහියොඹ නම් වගයෙක්ද ඇති. සිතිලි ගී නම් යම් වගයෙක් ද ඇති, උනුසඳ යැ යන යම් වගයෙක්ද ඇති.

18. යළ ගල සඳ නමැත්. සුන්හිස් යන්නෙකුදු ඇත්, දෙව්පාණි නමුදු ඇත්, පද බැඳුමෙහි නියර මේ.

තේරුම - නැවැත ගල සඳ නම් සඳසෙක් ද ඇති, සුන්හිස් යන (සඳස්) වෙසෙසක් ද ඇති, දෙව්පාණි නම් වූ ජාතියෙක් ද ඇති. මේ වනාහි පද බැඳීමෙහි හිම් ලකුණු පිළිවෙල යැ.

පැහැදුම - කලාගුරු පායෙහි වැසි කලණමින් වියතාණන්ගේ පියුම් ලකුණ සඳස් ගතෙකි. එහි නොයෙක් වගයේ සඳස් වෙයි. පියුම්, ගී, දෙ පද, සිව් පද, අට පද, දො‍ළොස් පද, සොළොස් පද, උපහැලි, බැහැලි, අඹහැලි, පිහියොඹ, සිතිලි ගී උනුසඳ, වසම් සඳ, ගලසඳ සුන්හිස් දෙව්පාණි, යන මේවා එහි සඳහන් සඳස් වෙසෙස් යැ. සඳස් වනාහි පද බැඳීමේ හිම් ලකුණු පිළිවෙළ යැ.

ගැට ලිහුම පද බැඳුමෙහි මේ නියර = පද බැඳුමේ පනත් පිළිවෙළ මේ යැ, යන අරුත නොවේ; මේ පැදියේ රජ කරන්නේ පද බැඳුමේ හිමි ලකුණු පිළිවෙළ මේ යැ යන අරුතයි. නියර යන වදනේ ලියැලූ අරුතෙකි. හිමි ලකුණු පිළිවෙළ යනු කුඹුරු කමේදී බල පාන්නේ ඒ අරුත දෙන නියර සදයි. සඳස් යැ කියන්නේ පද බැඳුමේ හිම් ලකුණු පිළිබඳ පනත් පිලිවෙළට යැ.


19. ගැඹුරු කව් සයුරු වැදමේ බඳ සිතැත්නට ඒ නැව වේ පිය වහන් විසිත් ලකර මිණි රුවන්

පෙළ ගැස්ම - ගුඹුරු කව් සයුරු වැද‍ඹේ බඳ සිතන්නට ඒ පිය වහන් නැව වේ. විසිත් ලකර මිණි රුවන් වේ.

තේරුම - ගැඹුරු කව් සයුරට පිවිසීමෙහි බඳනා ලද සිත් ඇතියනට ඒ (සඳස් සතර) පියකුරු වාහනය වූ නැව වේ. විසිතුරු ලකර සතර වනාහි (ඒ සයුරේ) මිණි රුවන් යැ.

පැහැදුම - සයුරට වැඳීමට, මහ මුහුදට පිවිසීමට, මහ මුහුද තැරීමට (මුදින් එගොඩ වීමට) බොහෝ අය බඳනා ලද සිතැත්තෝ යැ ඔවුන් හට නැව පියකුරු වාහනයෙකි. කව් සතර ද එබඳු මහ ගැඹුරු සයුරෙකි. ඉතින් එයට පිවිසෙන්නට පිළිවන් ද නැවෙන්. ඇයි බැරි ඒ සඳහා හොඳ ගැළැපෙන පියකුරු හොඳ නැවක් තිබේ. කිමෙක් ද? සඳස් සතර තමා ඒ නැව හැබැයි හැබෑ මහ මුහුදේ වගේ මැ මේ කව් මුහුදේ ද මිණි රුවන් වෙයි. ඔවු ඔවු විසිතුරු කවු ලකර තමා මෙහි මිණි රුවන්.

ගැට ලිහුම වැදමේ = වැදීමේ; පිවිසීමේ; සිතැත්නට = සිත ඇතියනට

20. පෙදෙන් බුදු සිරිතෑ බසින් වත් සිරිත් ඈ පද යුතු බසින් නළු ඈ අනතුරු ලකුණු දක්වම්.

තේරුම - පැදියෙන් බුදු සිරිත් ආදිය ද; ගැදියෙන් වත් පැවැතුම් ආදිය ද; පැදියෙන් යුතු ගැදියෙන් නළු කම් ආදියද (පැබැඳීම සුදුසු යැ) ඉක්බිති වැ ලකුණු (ආදිය) දක්වමි.

පැහැදුම - බුදු උතුමන්ගේ සිරිත් පැබැඳීමට පැදිය ඉතා මැනැවි. වත් පැවැතුම්, සඳහා ගෑදිය මැනවි. නළු කම් සඳහා මුසුව (සපුව - වම්පු) මැනැවි.

මේ කිවි බසට මහ පැරැකුම්බාවනුදු කන් දුන් වග පෙනේ.

කිව් බව් කිවි දුමේ කුසුම් සැපත් එහි විපුල් පෙලෙ බෝසත් සර වැනුම් වියතෙ මුවවත් වේ වා !.

කිවියාව කවියා නමැති ගසෙහි මල් හට ගැන්මයි. එහි මහත් පලය නම් බෝසත් සිරිත් වැනුම යි. වියත් තෙමේ ඒ මුවින් යුතු වේ වා !- යන මේ ඔවුන්ගේ කියමනින් ඒ වගක් හැ‍ඟෙන්නේ නැද්ද?

ගැට ලිහුම - පෙදෙන් = පැදියෙන් බසින් = ගැදියෙන්

21. සග සියෝ මහ කව් කිමෙහි ලකුණු වියත් වත් වත්, නිදෙස, ආසී හෝ නමකර හෝ පෙරට වේ.

තේරුම - සග බැඳුම් හා සියෝ වූයේ (සග බැඳුම හා එක් වූයේ) මහ කව් නම් වේ. එහි ලකුණු කිමෙක් ද යත හොත්; පැවැතුම් හැඟැවීම් හෝ ආ වැඩුම හෝ, නැමැඳුම හෝ එහි මුලට වෙයි.

පැහැදුම - මහ කව් නම් සග බැඳුමෙන් පිරිසිඳුම් යෙදුමෙන් යුතු වූ කව යැ. එබ ඳු කවක් ඇරැඹුමේ දී එක්කෝ පැවැතුම් හැඟැවීමෙක් වෙයි. එ තැන, ආ වැඩුමෙක් වෙයි. එ නොහොත් නැමැඳීමෙක් වෙයි.

මහ පැරැකුම්බාවන් කව් සිළුමිණ ඇරැඹුම කළේ පැවැතුම් හැඟැවීමෙන් යැ. මේ විමසන්නැ.

“සරසවිය බැලුම - සෙක්නි වෙත් වා දන කිවි! පෙදෙයි රස හව් විඳුනා දෙනෙතා ඉතා දුලබෝ”

(සරසවිය‍ ගේ බැලුම් මතෙකින් සරසවිය ගේ බැලුම් බි‍ඳෙකින් දනෝ කිවි වෙත්වා ! එහෙත් පෙදෙහි රස හැඟුම විඳුනා දෙනෙතා ඉතා දුබලය හ) සඟ බැදුම් නොවූව ද අපේ බොහෝ ස‍ඳෙස් කව් ඇරැඹුණේ ආ වැඩුමෙකිනි ගුත්තිලය, කව්සේකරය යන ඈ කව් නැමැඳීමෙන් ඇරැඹුණේයි මේ අරුත කාව්යාදර්ශය දක්වන්නේ මේ ලෙස ටයි. සර්ග බන්ධෝ මහා කාව්ය මුච්යතේ තස්ය ලක්ෂණම් ආශිර් නමස් ක්රීයා වස්තු නිර්දේශෝ වපි නන්මුඛම්

සග බැඳුණේ මහ කව් නමි පැවැසේ එහි ලකුණු ආ වැඩුම, නැමැඳුම, වත් ඇඟැවුම හෝ යැ එහි මුව - ගැට ලිහුම - සග = මහ කවෙකැ පිරිසිඳුම් කොටස් සග නමින් ගැනේ. අග සහිත වූයේ සග යැ (ස + අග = සග) හැම සගක් මැ එක්තරා පැහැදිලි අගෙකින් යුතු වෙයි. විරිතින් හා විත්තියෙනුත් ඒ අග මනා වැ පළට වෙයි. එ හෙයින් ඒ සග නම් වේ. සකුයෙහි ඒ සර්ග නමින් ගැනේ.

සියෝ = එකතු වීම. යෝ නම් යෙදීම යි. සමඟ වැ යෙදීම යි. (එකතු වීමයි) සියෝ නම් මෙහි එදිරි වදන වියෝ යනුයි.

වියත් වත් = විය දය බිණුම් අරුත්හි වැටේ. වත් නිදෙස = යම් එක්තරා පුවතක් අනුවැ අදහස් විහිදීම තිදෙස නමි:- (අනු + දෙස් > නුදෙස් > තිදෙස් ) ඒ සකුයෙහි “නිර්ද්දේශ” නමින් ගැනේ. (නිර් + දිශ + භාවේ ධජ්)

ආසී = ආ වැඩුම. ආසී යන මේ හෙළ වදන “ආශිර් ” යන සකු වදනට හෙළ මුණුවර ගැන්වීමෙන් තැනිණැයි බස් අඳහු අදහති. එහෙත් ඇත්ත එයට හාත්පසින් වෙනස් යැ.

සිහියනු ලබනු‍යේ (හිතින් හිතනු ලබනුයේ) සිහි යැ ආ පිළිබඳ වැ (ආවිස පිළිබඳ වැ) හිතනු ලබනුයේ, ආසිහි යැ. එය කල් යෑමේදී “ආසී” යන සේ හැඩ ගැසිණ. එහෙත් “ආ+ශස” යක පියෙවි දෙක එක්වීමෙනි. “ආශිස්” යන සකු වදන නිමැවුණේ.

22. හේ මෙසේ වි යන පුවතෙයිනන් පුවත් හෝ සිවු වග පල සබඳ වැ උලාර නා සියෝ වේ.

පෙළ ගැස්ම - හේ මෙසේ වී යන පුවත් - හෝ - එයින් අන් පුවත් හෝ, සිව් වග පල සබඳ වැ උලාර නා සියෝ වේ.

තේරුම - ඒ (වනාහි) මෙසේ වී යැ යන පුවත් හෝ (වෙයි) එයින් පිටස්තර පුවත් හෝ වෙයි. (හැබැයි) සිව් වගයේ පල හා එක් වැ මහත් වූ නයුවකු හා එක් වීම වේ.

පැහැදුම - ඒ මහ කව් වනාහි සමහර විටැ මෙසේ වී යැ යන පුවතෙකින් යුතු වෙයි මේ මෙසේ යැ යන පුවත් නම්, යටගියා පුවත් යැ (ඉතිහාසගත ප්රයවෘත්ති යැ ) සමහර විටැ එයින් බැහැර වූ අන් කිසි තොරතුරෙකින් හෝ විත්තියෙකින් හෝ යුතු වෙයි.

අර්ථ යැ ධර්ම යැ කාම යැ මෝක්ෂ යැ යනුයි සිව් වග පලස නම් ග අන්න ඒ සිව් වග පලයෙන් මනා වැ සැදුණේ වෙයි මහකව. එහෙවු මහකවේ කතා සිරැරෙහි මහත් වූ නයිවකු; මහත් වූ දෙටුවකු වියැ යුතුයි.; මෙහි කාව්යාදර්ශ කියමන මෙන්න.

ඉතිහාස කථෝද්භූත මිතරද් වා සදාශ්රයම් චතුර්වර්ග ඵලෝපේතං චතුරෝදාරත්න නායකම්.

- යටගියා වතෙකින් අන් යහපවතෙකින් හෝ නිපැයුයණු, සිව්වග පෙළෙන් සැදි හපනු සස් නවු බව ,

යටගියාවට අයත් කතා පවතකින් හෝ අනෙක් සැබි කතා පවතෙකින් හෝ නිපැදුනු ; (දහම් යැ අරුත් යැ කැමි යැ නිවන් යැ යන) සිව් වගයේ පලයෙන් හෙබුණු හපන් උසස් නයුකමින් යුතු.

ගැට ලිහුම - පුවතෙයිනම් පුවත් හෝ = පුවත් හෝ එයින් අන් පුවත් හෝ. උලාර = මහත් (උදාර. සකු)


23. නුවර සයුරු ගිරි යූ සිසි හිරු උදා වැන්මෙන් උයන් දල කිඩුනි මහත් අවන් මනදොළ කෙළියෙන්.

තේරුම - නුවර යැ මුහුදු යැ කඳු යැ ඉරිතු යැ සඳ හිරු උදාව යැ (යන මේ ඇ) වැනුමෙන්ද උයන් කෙලියෙන් හා දිය කෙලියෙන්ද මහත් වූ අවන් කෙලියෙන් හා මනදොළ කෙළියෙන්ද;

පැහැදුම - මහ කවෙකැ සලකුණු මුල් කවියෙන් ඔබ තරමක් දනිති. ඔවු; එය එක්කෝ යටගියා පවතෙකින් නිපැයුනක් වුව මැනවි. නො එසේ වත හොත් අන් සැබි පවතෙකින් මැවුනක් වුව මැනැවි. හැබැයි; ඒ අන්දරයෝ උසස් හපන් නයිවකු ගෙන් හෙබුණ මනා හුයැ. ඉතින් මහ කවට ඒ සෑහේ ද? හුහ් කවර සෑහුමෙක් ද? හොඳ හොඳ ලස්සන වැනුමෙන් ඒ මනහර වියැ යුතුයි. ඔවු; නුවර මුහුදු කඳු, ඉරුතු ඉර හඳ උදාවීම්, උයන් කෙළි, දිය කෙළි අවන්. කෙළි, රනි කෙළි යන මේ වැනුමෙන් මහ කව හෙබුණ මනා යැ. ඉතින් ඒ ඇද්ද? බලමු ඇද්දැයි කියා ඊළඟ පැදියේ දී. (මේ ගීයේත් කාව්යාදර්ශ ගීයේත වැඩි වෙනසක් නැති. දෙක මැ මනා වැ සිහෙයි. මේ බලන්නැ.

නගරාර්ණව ශෛලර්තු චන්ද්රාර්කෝදය වර්ණනෛඃ උද්යාන සලීලක්රීඩා මධුපාත රතෝත්සවෛඃ

- පුර, මුහුදු, ගිරි, උතු සඳ හිරු උදා වැනුමෙන් උයන් කෙළි දිය කෙළියෙන් අවන් රති කෙළි උලෙළින් ගැට ලිහුම - යූ = ඉරිතු කිඩුනි = කෙළියෙන් වැන්මෙන් =වැනුමෙන් යන්නෙන් නිපැයිණ දැනුමෙන් = දැන්මෙන් ගැනුමෙන් = ගැන්මෙන් පිනුමෙන් = පින්මෙන්- පිම්මෙන්- ඈ විමසත් වා!

24. පෙලැඹුම් විවා ගැනුම් කුමරුනුපන් වැඩමන් මතුරුදු දු - ගමන් යුද උලාර නා උදේනී දූ.

මේ පැදිය ෑතැ කල් සිටැ මැ කෙලෙසුණු පැදියෙකි එහෙයින් අපට මුණගැසුණු හැම පිතෙකැ මැ මේ කෙලසීම එක සැටියෙන් මැ වෙයි. එහෙයින් අපි එයට සෝදුවක් නො දුනුමු.

තේරුම - පෙලැඹුම්, විවාගැනුම්, කුමරුන්ගේ උපත්, වැඩමන, - වර්ධනය - කතාබහ, දූතයන්ගේ ගමන්, හටන් නයුවාගේ මහත් ජය යන මෙයින් ද

පැහැදුම - ඔවු මැයි මහ කව තවදු කරුණු වලින් හෙබුණ මනා යැ, පෙමට විවාහයට හේම පෙලැඹීම්. විවාහ මඟුල් උලොළු කුමර උපත් ඒ දරුවන්ගේ හැදීම් වැඩීම්; උන්ගේ නොයෙක් නොයෙක් දෙඩුම් කතා බහ; වැඩ පයංඩ කරුවන්ගේ ගමන් බිමන්; නොයෙක් සැටියේ හටන් කතා තයුවා ලැබූ ජය සිරි යන ඔය කොයි කොයි වගතුගෙනුත් මහ කව ලස්සන ව්ණ මනා යැ. හැබෑව මැ. නේන්නම්! එ නැති නම් එය මහ කවෙක් යැ? ඉතින් එච්චර ද? හොඳා බලමු ඊලඟ පැදියෙන් මහකවෙකැ හැටි එච්චරදැයි. දැන් ඉතින්; අහන්නැ ඔය මහ කව්ගුණය දංඩීන් කියන හැටි;

විප්රම්හෛර්විවාහෛශ්ච කුමාරෝදය වර්ධනෛඃ මන්ත්ර දූත ප්රෛයාණා’ ජි නායකාභ්යුදයෛරපි;

වියොවින් විවායෙන් කුමර උපතින් වැඩුමෙන් ගමන්, මතුරු, දූ හටන් නයුහු විජය සිරියෙනු දු

දංඩීන්ගේ තෙල කියමන සියබස් ලකර කරුවාණන් හෙළ බසට නැඟූ සැටි තරමක් නොමනහර යැ. විමසා බලන්නැ,

විප්රසලම්භෛර් විවාහෛශ්ව යන්නේ අරුත, “පැලැඹුන් විවාගැනුම්” යන්නෙන් හෝ “මන්ත්ර දූත ප්රලයාණ” “අජි ” යන්නේ අරුත “මතුරුදු දූ ගමන් යුද ” යන්නෙන් හෝ සුනිසි සේ නො ලැබෙයි.

ගැට ලිහුම පෙලැඹුම් = මේ සකු විප්රහලම්භ යන්න සඳහා යෙදෙන්නට ඇති. ඒ නො මැනවි, “විප්රහලම්භ” යන සකු වදන තැනුනේ “ලභ” දයට වි යැ ප්ර යැ යන පෙර ඇඳිත් උපසර්ගත් ධජ් යන පසු ඇඳියත්-ප්රයත්යරයන්- යෙදීමෙන් යැ එහි පළට අරුත විරහ යනු යැ. එද පෙළැඹුම් යන හෙළ වදන තැනුනේ පොළඹ දයින් යැ, එහි අරුත උසහ ගැන්වීම යි.

උලාර - මහත් - උදාර. සතු-

25. ලකුළු කව් රස බව්

	අතුරු නුමුත් කොවිතර

සගින් යුත් සවන් ගත් සුසඳ පිළි නොද මඳ වූ; තේරුම - ලස්සන වූ; කව් රසය හා හැඟුමන් ඉඩ නොහුරියා වූ; නො දිග්ගැහුණු සග බැඳුමෙන් යුතු වූ; සවන් ගත්තා වූ - කන් පිනවන්නා වූ - මතා ගැළැපුම් ඇති, යළි කෙටින් නොවු;

පැහැදුම - මහ කවෙ කැ වගතුග ගැනැ මේ පැදියත් කරුණු පවසනවා නේද එය ඉතා ලකළ වියැ යුතුයැ, එහි වදන් යෙදුම කරුණු පැහැදිලි කිරීම ඈ හැම අඟු පසඟු යෙකින් මැ එය මනහර වියැ යුතුයි. මුළු කව පුරාම අතුරක් නොදී රසයන්, හැඟුමත් පැතිරී තිබියැ යුතු යැ සග බැඳුම් ද වඩා දිග්ගැසුණ හොත් ඒ නොමැනැ වි.

කව අරුතින් හද පින්වන්නක් වියැ යුතු යාක් මෙන්මැ වදන් යෙදුමෙන් මනා වැ කනපිනවන්නක්ද වියැ යුතුයැ. හැමතැනමැ, හැම යෙදුමක්මැ හැම පවනක් මැ, හැම සගක් මැ මනාවැ ගැලැපී තිබිය යුතුයි. ඒ වගේම ඕනවට වඩා කෙටිත් නොවිය යුතුයි. ඉතින් ඉතින් ! ඔවු ඉතින් බිඳක් ඉවසන්නැ ඊ ලඟ පැදිය කියන තුරු. දැන් බලමු මේ අදහස ගැනැ. දංඩීන්ගේ පැවැසුම.

අලඞ්කෘතමසංක්ෂිප්තං රස භාව නිරන්රතම් සර්ගෛරනති විස්තීර්ණෛ: ශ්රව්ය වෘත්තෛඃ සුසන්ධිභිඃ

“ලැකැරුණු නො හැකිළුණු රෙසෙන් බැවින් අතුරු නූ හොඳ විරිතින් ගැලැපුමෙන් වැඩිය නො විහිඳි සගෙ නුදු”

- සරසනු ලැබුවා වූ; සැකෙවි නොවුනා වූ; රසයෙනුත් හැඟුමෙනුත් පිරීඉතිරි ගියා වූ, හොඳ විරිතින් හා හොඳ ගැලැපුමෙන් ද යුතු වූ ඕනෑවට වඩා නොදික්ගැහුණු සර්ගයෙන්ද යුතු වු; ගැට ලිහුම ලකුළු = සරසනු ලැබූ, ලකර දය සැරැසීම් අරුතේ යෙදේ.

රසබව් = කව් කමෙකින් ඉස්මතු කරනු ලබන මිහිර රස නමිනුදු හැඟුම බව් නමිනුදු ගැනේ, ඒ මැ බව් නමිනුදු ගැනේ,

“පෙදෙයි රස බව් විඳුනා දෙදෙනා ඉතා දුලබෝ”

යනු කව්සිළුමිණි බසයි.

කව් රස ! ඒ කිමෙක්ද ? කව කවර අයුරෙකින් රසවත් වේද? කිමෙකින් රසවත් වේද? විමසමු. වදන් රස යැ, විරිත් රස යැ, අරුත් රස යැයි තුන් පිළිවෙළෙකින් රසවත් වෙයි; පැදි කව. එහෙත් ගැදි කව! ඔවු එය ද තුන් පිළිවෙළෙකින් රසවත් වෙයි. වදන් රසයැ; අරුත් රස යැ යන දෙරස පැදි කවට මෙන් මැ ගැදි කවටද සමයැ, එහෙත් පැදි කවේ වන විරිත් රසය ගැදි කවේ නැති,ඒ වෙනුවට ගැදි කව රසවත් වනුයේ කාකුයෙනි.

අතුරු නුමුත් = ඉඩ නො හළ, අතුරු නම් ඉඩ යැ. සවන් ගත් = සවන හැරැ ගත්තා වූ, කන පිනවන යනුයි. මෙහි ඉඳු අරුත. - ශ්රැව්ය, යන සකු වදන් අරුත ගන්වනු සඳහා යැ මේ වදන යෙදුණේ. කාව්යදර්ශය පවසන ශ්රව්ය වෘත්තෛඃ යන කොටසින් ඉදිරිපත් කරනු ලබන මුළු අරුත මේ “සවන්ගත්” යන කොටසින් නොලැබෙයි.

සුසඳ = මනා ගැළැපුම

26. ලෝ මන රඳන ඒ කිවි කරු දන පළඳනේ තහවුරු වැ සිටුනේ දෙනේ විසිතුරු ලකර ලඟනේ පෙළ ගැස්ම - ලෝ මන රඳන ඒ කිවි කරු දන පළඳනේ (පළඳනය) විසිතුරු ලකර ලඟනේ තහවුරු වැ සිටුනේ දෙනේ.

තේරුම - ලෙවියා‍ ගේ මනස හොබවන ඒ කිවිකරු දනන්ගේ පලඳනය (පලඳනාව) විසිතුරු සැරැසුමෙන් යුතු වූයේ තහවුරු වැ පවත්නේ ජීවත් වන්නේ යැ.

පැහැදුම - ලෙවියාගේ හිතැවිල්ල ලස්සන කරන එය වනාහි කිවියන්ගේ පලඳනාවෙකි. කිමෙක්ද ඒ පලඳනාව?අර මහ කව, ඔවු; පවත් හැඟෙවීමෙකින් හෝ ආවැඩුමෙන් නැමැඳුමෙන් හෝ පටන් ගෙනැ; එයින් වෙනස් වූ අන් පවතක් අනුවැ හෝ දහම යැ අරුත යැ, කිමිය යැ, නිවන යැ යන හතර වගයේ පලයෙන් යුතු වැ මහනයිවකු හා සබඳ වැ ගෙතුණු ; පුර වැනුම්, මුහුදු වැනුම්, කඳු වැනුම්, ඉර හඳ පිළිබඳ උදා වැනුම්, උයන් කෙලි දිය කෙලි වැනුම්, අවන්හල් වැනුම් රතී උලොළු වැනුම් යන මේ ඈ වැනුමෙන් යුතු ; පැලැඹුම; විවාගැන්ම; කුමර උපත කුමර වැඩුම; වෙද මිතුරු, යුධ මිතුරු, ඈ මතුරේ යෙදුම; දූත සේව‍ා ව ගමන් බිමන් හි යෙදුම; හටන් කැරුම, නයිවාගේ උසස් ජය ගැන්ම යන මේ පවතින් අඩු නූණු; ලස්සන කව් රසයෙන් හා කව් හැ‍ඟුමෙන්ද පිරී ගත්; එහෙත් ඕනැවට වැඩි විතරින් යුතු නොවුත් ආයෙ මඳ හෝ නොවුත්, මනා ගැලැපුම ඇති සඟෙන් යුතු කන්කළු වූ, ලෙවියාගේ මනස බබළවන ඒ මහ කව තමා කිවි කරු දනන්ගේ පළඳනාව. විසිතුරු ලකරින් යුතු ඒ පළඳනා ව තහවුරු වැ පවත්නා හෙයින් නොනැසෙන්නේ යැ, හෙවත් ජීවත් වන්නේ යි.

ගැට ලිහුම ලෝමන රඳන = ලෙවියාගේ මනස බබළවන “රඳ” දය බැබැළැවීම් හෙබැවීම් යන අරුත් දෙයි. “ලෝ” සද මෙහි “ලෙවි” - ලො වැසි - යන අරුතේ යෙදිණ. කිවිකරු දනන් = කව් කම් කරන ඇත්තන්, කිවියන් . පලඳනේ = පලඳනය, කැලය = කැලේ මේසය = මේසේ යන ඈ තන්හි මෙන් පලඳනය යනු පඳනේ යි හැඩ ගැහිණ.

දෙනේ = ජය ගන්නේ යැ; ජීවත් වන්නේ යැ යන දෙ අරුත මැ දෙයි. එද මෙහි තැනට නිසි අරුත ජීවත් වන්නේ යැ; යනුයි.

27. උනුදු හොත් අඟෙකිනි මෙහි කව් සව් සිරි බොජේ, කියු තන්හි රස වෙසෙස් සනහා නම් එ දන්නනි.

පෙළ ගැස්ම - රස වෙසෙස් කියූ තන්හි එ දන්නන් සනහා නම්; මෙහි අඟෙකිනි උනුදු හොත් කව සව් සිරි බෙජ්. තේරුම - රස වග - ජාති - පැවැසූ තන්හි ඒ දන්නන් සනසයි නම්; මෙහි - මේ කියන ලද වැනුම් වලැ - කොටසෙකින් හෝ අඩු වූ නමුත් කව වනාහි සියලු සිරයාව ඇසුරු කෙරෙයි.

පැහැදුම - මේ පැදියෙන් කිවියාට නිදහසක් ලැබුණ සැටියැ. මහ කව පිළිබඳ වැ මේ කියූ එක් එක් වැනුමක් එක් එක් අඟු පසඟුවක් ඒ හැටියට මැ අකුරට පිල්ලට නූලට කෙස් ගහට මැ පිළිපැදීම එ තරම් ඇවැසි නැති සමහර විටැ එහි අඩු පාඩු තිබෙන්නට පිළිවනී. ‍එහෙත් කිවියා ගේ නිබැඳුම රසවත් නම් අර සුළු අඩු පාඩුව මහ බක්කක් සේ ගණන් ගත යුතු නැති.

ගැටලිහුම -

උනුදු හොත් = අඩු වූ නමුත් අගෙකිනි = කොටසෙකින් ; අවයවයෙකින්. බෙජේ = ඇසුරු කෙරේ. බජ යනුයි මෙහි දය. සැසැඳුම - මේ අරුත බිඳක් වෙනස් හැටියටයි ද පැවසුයේව. සව් සිරි බිජීමක් ගැනැ ඔවුන් ගේ පන්හිඳ කුරුටු ගෑවුණේ නැති.


න්යුනමප්යතුර යෛඃ කෛශ්චි- දඞ්ගෛඃ කාව්යංය නදුෂ්යති, යද්යුපාත්තේෂු සම්පත්ති- රාරාධයති තද්විදඃ

අඩු වුව ද මෙහි කිසි අඟෙකින් කව නො කෙලෙසෙයි; ඉදින් රස ගැන්නීමෙහි එ දනන් තුස්වා නමි-

ඒ කිවි ලකුණු ඇදුරන් කියන බණ එ ලෙස මැ පිළිපැදීමට නො ඇවැසි වග යැ මේ පෑයේ. කිසි කොටෙසෙකින් අඩු පාඩු වුවද; රස හඳුනන්නන් පොබයන කව “මහ කව” යන නම ලබා මැයි. ඒ තනතුරින් කව නො පිරිහෙළේ මැයි. මෙහි දී අප මහ කිවියාණත් දණ්ඩීන් හට අමුතු සෙයෙකින් සිය අදහස පෑ වග පෙනේ. දණ්ඩීන් යෙදූ වදන් යෙදීමට වඩා අමුතු සැටියේ කින් උන් වදන් යෙදු වග ඒ සසඳන විටැ ඔබට ද හැඟෙනු ඇති. කිසි යම් කොටසෙකින් කිසියම් අවයවයෙකින් කිසි යම් පෙදෙසෙකින් මහ කව, ලකර ඇදුරන් කී සැටියට අඩු වූ නමුත්; එය සව් සිරි බජ ත වගක් හෙළ මහ රජාණෝ කියති. එ ද දණිඩීන් කීයේ එය නොවේ. එසේ යම් හරියක් යම් පෙදෙසක් යම් අවයවයක් අඩු වුව ද කව නො කෙලෙසන වග යැ උන් ගේ හැඟුම. සියලු ඉසුරුතාව ඇසුරු කරන වගක් ඔහු නො කීහ. “රස වෙසෙස් කියූ තැන්හි” යන කියමන දණ්ඩීන් ගේ කියමනට වඩා බොළඳ බවක් දක්වන සේ යැ. දණ්ඩීන්ගේ බස එයට වඩා වියත් හුරු යැ. “රස” වග ඉපැදවීමේ දී රස හට ගැන්වීමේදී” යන සේ දණ්ඩීන් පවසන පැවසුම බොහෝ පිරිපැසුණු වගක් දක්වයි.


28. කිවි බැවින’ න් කළ’ඟ

		නිදොස්. පිනැතියාණනට

කැමැතියේ අත් සිඳුහි උව නම් නො මෙ වෙද කවර?

පෙළ ගැස්ම - කිවි බැවින් අන් අඟ කළ නිදොස්. අත් සිදුහි කැමැතිය එ පිනැතියාණට කවර නම් උව නො මෙ වෙද ?

තේරුම - කිවියාවෙන් (කිවියාව නිසා; කවිත්වය හේතු කොටැ ගෙනැ) අන් අවයව කළ ද ඒ නිදොස් යැ. වැඩි දියුණුව සිදු කිරීමෙහි කැමැති වත හොත්; එහි පින් ඇතියාණන් හට කවරක් නම් උපාය නො මැ වේ ද?

පැහැදුම - මේ අර කලින් පැදියේ කියමන තවද පහයන සේ යැ. යම් අඩුවක් වුව ද රස හට ගැන් වීමේදී රස වතුන් පුබුදුවා නම්, ඒ කව නො කෙලෙසෙන වග නො එහි දී කීයේ? ඉතින්; යම් අ‍ඟෙකින්, යම් අවයව පෙදෙසෙකින් මේ ගතේ කියූ හැටියට හෝ පෙරැ ලකර ඇදුරන් කියූ මිම්මට වඩා අඩු වුවද එහි දු වරදෙක් නැති. ඔවු උන් කී මිම්මට වඩා අඩු වුවද වරදෙක් නැති. උන් කී පිළිවෙළට වඩා අන් උසස් පිලාවෙළක් අනු ගිය ද වරදෙක් නැති.

හැබැයි රසයට හෙණ නො දුන මනා යැ. දැයේ ඉදිරි යටුවට හෙණ නො දුන මනා යැ. දැයේ ඉදිරි යසුව, දැයේ වැඩි දියුණුව (අර්ථ සිද්ධි) කැමැති පින්වතුන් හට උපාය නැතිද රස හට ගැන්වීමෙහි? කවෙකින් දැය බලාපොරොත්තු වන පළමු කරුණ දැයේ ඉදිරි ගමන් යැ. රසවතුන් පිබිඳිම යැ ඊ ළඟ කරුණ යැ ඒ කරුණු දෙකින් පිරිපුන් වේ නම්, නැත හොත් ඒ අරමුණු දෙක නිසි පරිදි ඉටු වේ නම්; මේ පෙර කී සැටි යැ කියා එයට වහල් වීමට මැ ඇවැසිතාවෙක් නැති. පියාගේ ළිඳ යැයි කවුරු කරදිය බොති ද? ඔවු, මේ පැරැණි මඟ යැයි ඒ අනුවැ මැ යෑමේදි රස නැසේ නම් අරමුණ බිඳ වැටේ නම් ඒ මඟ මැ කවර නම් පිනැතියෙක් අකුරට පිල්ලට පිළිපදී ද? හහ්! බැලුව මැනැවි. කිවියාට මේ කියමනින් කවර තරම් වූ පිරිපුන් නිදහසක් ඉදිරිපත් කොටැ ඇතිද? හැබෑව මැ නේන්නම්. කිවියා වහල් කැරැ බැඳැ තබාගෙනැ ඔහුගෙන් දැයේ ඉදිරියයුව නිසි සේ සලස්සන අනැඟි මිණි රුවන් බිහි කිරීම තබා ඒ ගැනැ හිතීම ද බොළඳ කමෙක් නු?

ගැට ලිහුම - කිවි බැවින් = කිවියාවෙන්. කිවියාට නිසා අන් අඟ කළ = අන් අවයව කළ ද? පිනැතියැණනට කැමැතියෙ අත් සිදුහි = අත් සිදුහි කැමැතිය එ පිනැතියානනට (අර්ථ සිද්ධියෙහි) දැයේ වැඩි දියුණුයෙහි කැමැතිවත හොත් ඒ පින් ඇතියාණන් හට.

උව = උපාය. උදවු

29. ගුණ හෙයිනි දක්වා පෙරැ නාවා, ඔහු විසින් රුපු මඬුලු මැඩම කියත් පියෙවි සොඳුරු මඟ මේ.

පෙළ ගැසිම - පෙරැ නාවා ගුණ හෙයිනි දක්වා, ඔහු විසින් රුපු මඬුලු මැඩම කියත් මේ පියෙවි මැ සොඳුරු මඟ.

තේරුම - කලින් ගුණයේ උදවුවෙන් නයුවා දක්වා ඒ ඔහු විසින් හතුරු සෙනඟ මැඬ පැවැත්වීම කියත් හොත්; මේ සොබායෙන් මැ සොඳුරු පිළිවෙළයි.

පැහැදුම - දැයේ ඉදිරි ගමන රිසි පින්වතුන් ඒ සඳහා කවර මඟක් අනුගිය ද ඒ රසවත් කම් එහි වරද නැති කලින් කී පිළිවෙලට වඩා අඟු පසඟු අඩු වුවද වැඩි වුවද එයින් කව නො කෙලෙසෙයි. එහෙත්; සොබායෙන් මැ සොඳුරු වූ මඟ නම්; මෙන්න මෙයයි. පළමු කොට නාවා; (නයුවා; කවෙහි නායකයා) සබයට පෑ යුතු යි. ලොවට ඉදිරිපත් කළ යුතුයි. ඔවු, ඔහු කවර සැටියෙකින්ද කවර උදවුයෙකින් ද සබයට දැක්වියැ යුත්තේ ? කවෙහි නයුවාගේ (නායකයා ගේ) උසස් උසස් ගුණයෙහි උදවුයෙන් ඒ ගුණයේ මහත් බවේ උදවුයෙන් ඔහු සබය ඉදිරියේ පෑ යුතු. හෙවත් කිවියා නයුවාගේ බලවත් බව, තෙදවත් බව, ඉදුමත් බව, යසස්වත් බව, විරුමත් බව යන ඈ ගුණ දහරාව හැමට මැ පළමු වැනුම් කළ යුතු යි.ඉකිබිති වැ ඔහු විසින් හතුරු මඩලු - හතුරු රොදු දිඳීම බිඳීම වැනැසීම කළ සැටි ඉදිරිපත් කළ යුතු යි. මෙය සොබායෙන් මැ සොඳුරු පිළිවෙළයි, ඒ වගේ මැ මෙය ඉතා මැ ලෙහෙසියෙන් වටහාගැන්මට පිළිවන් පිළිවෙලද වේ. එහෙත් මේ එක මැ හොඳ පිළිවෙළ යැයි කවුරු කියති ද?

ගැට ලිහුම නාවා - නයුවා, නායකයා, මේ කියනු ලැබුයේ කවර නයුවා ද! කවෙහි සඳහන් වන ඇත්තන් අතරින් උසස් තැනැත්තා යැ, කවෙහි පළට වැ කැපී පෙනෙන තැනැත්තා යැ.

රුපු මඬුලු = හතුරු සෙනඟ. හතුරු රොදු

මැඩම = මැඩුම. මැඩ පැවැත්වීම. ඇක්මීම.

30. වස්, වැර, සුරු ගැතැ වනා සතුරු රජු නුදු දිනමන් ඔවුන් ඉසුරු ද කියත් නු මන ගනී තුමා?

පෙළ ගැසුම - සතුරු රජුනුදු වස්, වැර, සුරු ගත් ඈ වනා ඔවුන් ඉසුරු ද දිනමන් කියත් තුමා මන ගනී නූ?

තේරුම - හතුරු රජුන් ගේත් කුල ගොත පරපුර, සවිමත් කම හපන්කම, දැනුම වැනුම් කොටැ - එහෙවු - ඔවුන්ගේ ඉසුරුමත් බව ජය හැඟුම් පවත ද කියත් හොත් හුදී දනා ගේ හිත ගන්නේ නො වේ ද?

පැහැදුම - මෙද හොඳ වැනුම් ආරෙකි. හතුරු රජුන්ගේ කුල ගොත තෙද බලවත් කම, හටන්හි සුරු විරු කම පළමු කොටැ වැනුමෙන් ලෙවියා ගේ මනසට ඒ හතුරු දනන් පිළිබඳ වැ උසස් හැඟුම් පහළ වෙයි.

ඉතින් එහෙවු හතුරු දනන් පවා දිනු සැටි ඉක්බිති වැ වැනුමෙන් කවෙහි නයුවාගේ මහ හැකියාච මනසට විස්මකුරු ලෙස කා වදියි. හැබෑව නොවැ? සොබා මනස යන එක්තරා උසස් ඉද්දෙකි. මෙය, “ගැරැඩින් මරා පව් ගන්නේ හැයි?” යන ගැමි කියමනින් මැ මේ ගැනැ ජන රිසිය හැඟෙයි. නිවට යනට; අසරණයනට බැරියනට පහර දීමේ කවර විරු කමෙක්ද, පහර දෙනවා නම් දියැ දියැ යුත්තේත් බලවතුන් හට මැ යැ. එසේ පහර දී ජය ගත යුත්තේත් ඔවුන්ගේ ඉසුරු මැයි. වාල්මිකීන් ගේ රාමායනය බඳු කව් කවර තරම් ජන පැහැදියාව ගතුයේ ද යන වග නො රහසෙක් නු? ඒ හැයි? වාල්මිකීහු රාවනුවන්ගේ මහ ඉසුරුමත් බව, බලවත් බව මුව නොසෑහෙන සේ වැනුම් කොටැ ඔවුන් පිළිබඳ ලොකු හැඟුමක් කව් රස විඳුවන්ගේ මනසට මුලින් කා වැද්දූ හ. ඉක්බිති වැ එහෙවු රාවනයන් පවා ජයගත් සැටි පැමෙන් රාමයන් ගේ හෙටු බව සොබා මිනිස් කම දු ඉක්මවා දෙව් බවට අසල් වූයේ යි. මෙයින් ඒ කව කෙරෙහි ලෙවියාගේ සැලැකිල්ල ඉතා බලවත් වියැ. ගැට ලිහුම - වස් = කුල ගොත - වංශය- වැර = සවිය. වැර නම් සවිමත් බව යැ; වෙර නම් සිරුර යැ. සමහරු මේ දෙ වදන් මූණූවර අවුල් කැරැගනිති. සුරු = හපන් කම - ශුර ගතැ = ගත් ඈ. පත පොත ගත් නමින් ගැනේ. පත පොතින් දැනැ උගත් කම ලැබෙන හෙයින් දැනැ උගත් කමද ගත් නමින් පසු වැ ගැනෙන්නට වියැ, දිනමන් = දිනීමි. ජය ගැනුම්. ලියමන් පියමන්, පෝමන සලමන්- හොල්මන් - යන ඈ යෙදුම් ද විම සන්නේයැ. නූ = නො වේද යන අරුත දෙන හෙළි පදයෙකි. සැසැඳුම - දංඩීන්ගේ කියමන මෙයට බිඳක් වෙනස් යැ.

වංශ වීර්ය්ය ශ්රුතාදී ති වර්ණ්ණයිත්වා රිපෝරපි තජ්ජයාන්නායකෝන්කර්ෂ වර්ණනඤ්ච ධිනෝති නඃ

කුල ගොත, වැර, නුවණ ඈ වනා හතුරා ගෙ ද නයු උසස, ඒ දිනුමෙන් වැනුම ද පහද වයි අප

දංඩීන් වීර්ය්ය යන වදනෙහි දි ගැන්වූ අරුත දීම සඳහා සියබස් ලකර කිවියා වැර සුරු යන දෙවදනක් යෙදූ සේයැ, “අප මන ගනී” යන සේ දංඩීන් යෙදුයේ කව් රස විඳුම පිළිබඳ ඔවුන් තුළ ඇති උසස් කිවි දනන් ගේ මහ ගන්නා වග එයින් හැඟෙන්නට සැලැසීමෙන් ඒ හෙළ මහ රාජාණෝ තමන්ගේ නො උඩගු බව හොඳින් මැ ඇඟැවූ හ.

31. මට සිලුටු යැ, පහන්, සම බව්, මියුරු, සුකුමර අරුත් පළ, උලාර, ඔද දන කල්, සමාදි මෙ සේ,

32. දස පමණි කිවි කමැ පණ, ලකර වේ පන්තිස්. එයින් මේ රුවන් දිව්හි දනනට යුත් කියත් පත්

පෙළ ගැසුම - මට සිලුටු, පහන්, සමබව්, මියුරු, සුකුමර, අරුත් පළ, උලාර, ඔද, දනකල්, සමාදි යැ මෙ සේ කිවි කමැ පණ දස පමණි; ලකර පන්තිස් වේ. එයින් මේ රුවන් දිව්හි දනනට යුත් කියත් පත්.

තේරුම - මට සිලිටි බව යැ; පැහැදිලි බව යැ; සමහඩ බව යැ; මිහිරි බව යැ; සියුමැලි බව; අදහස පළට බව යැ; මහත් බව යැ; ඔදවත් බව යැ; හිත් අදනා බව යැ; සංහිඳි බව යැයි; මෙසේ කිවි කමෙහි පණ දහසක් පමණ වේ. සැරැහුම් ද තිස් පසෙක්වේ; ඒ වායින් මේ හෙළ දිව දනන් හට ගැළපෙන්නක් පැවැසීම නිසි යැ.

සැසැඳුම - මෙහි තිස් එක් වැනි පැදිය දංඩීන්ගේ පැදිය හා හොඳින්

සීහෙයි.

ශ්ලිෂ්ටඃ ප්රසාදඃ සමතා මාධුර්ය්යං, සුකුමාරතා අර්ථව්යක්තිරුදාරත්ව මෝජඃ කාන්ති සමාධයඃ

33. පහන් නම් පළවන් සුදැතිය බස් යැ; හෙ මෙසේ සිසිහු සසලේ පුල් නිල් මහනෙල් කැලුම් ලගනේ.

පෙළ ගැසිම - පහන් නම් පළ අත් සුදැනිය බසු යැ. හේ මෙසේ; සිසිහු සසලේ, පුල් නිල් මහනෙල් කැලුම් ලගන සේ.

තේරුම - පැහැදියා ගුණය නම්; පළට වූ අරුත් ඇති මනා සේ හැ‍ඟෙන වැටහෙන බස යැ. ඒ මෙසේයි. සඳුගේ සා ලකුණ, - හරියට - පිපුණු නිල් මහනෙල් කැල්ම රඳන්නා වැනි යැ.

පැහැදුම - පැහැදියා ගුණය යැ කියනු ලබන්නේ හොඳට අදහස පැහැදිලි බවට යැ. අදහස පිළිබඳ මේ පැහැදිලි ගුණය දෙපස කැ පැහැදිලියාව නිසා වෙයි.

1. අවුලින් තොර වූත් ගැටළු අදහස් වලින් තොර වූත් හොඳට වැටහෙන වදන් වලින් ඒ අදහස පැවැසීම. 2. හොඳට පළට වූ නො හැංගුණා වූ අරමුණක් ගැනැ පැවැසීම. යන මේ දෙ කරුණ පැහැදිලියා‍ වේ අවයව යෝ යැ.

හඳ කා අතරත් පළට යැ. හඳේ වූ සා ලපය ගැනත් ලිවියාට හැංගුණු ගතියෙක් නැති. නිල් මහනෙල් මලේ හැටිත් බොහෝ දෙනා දනිති.

එ හෙයින් හඳේ හා ලපය හරියට නිල් මහනෙල් මලේ පැහැය රැඳුනා වැනි යයි කීමෙන් අදහසේ අවුලෙක් කිසිසේත් නො.හමු වෙයි. නිල් මහනෙල් පිපෙනුයේත් රෑට මැ නිසා එය වන්නට ද බැරි නැති. ඒ හෙයින් මේ කියමන පැහැදියා ගුණය ගැනැ සෑහෙන නිදසුනෙකි.

ගැට ලිහුම

පළවත් = පළ අත්; අරුත පළට වූ. සුදැනිය = මනාසේ දැනෙනුයේ මනාසේ හැඟී වැටහී යනුයේ යැ සුදැනි නම්. සසලේ = සා ලපය- සස සලකුණ - සැසැඳුම -


ප්රසාදවත් ප්රසිද්ධාර්ථ මින්දෝරින්දීවරද්යුති ලක්ෂ්ම ලක්ෂ්මීම් තනෝතීති ප්රනීති සුභගං වචඃ

පළට ‘ රුත වැටැහෙන පිය වදන පැහැදිලිමති. ‘ ඉඳුහු ඉඳුවර දිස්නා ලස සිරිය විහිදන්නා.

සියබස් ලකර දුන් නිදසුන් අරුත මේ අරුතට වෙනස් යැ.‘හඳුගේ සස ලකුණ, (හරියට) නිල් මහනෙල් දිස්නය ලගන සේ යැ.’ යි සියබස් ලකර පැවැසු නමුත් කාව්යායදර්ශය පැවැසුයේ “මහනිලෙහි දිස්නය ඇති සඳ ලපය සිරියාව පතුරන්නේයැ” යන අරුත යි.

34. පළ ඳු මිහි අත් මෙය නො ඉස්නෝ ඉස්ති මෙසේ, නුසුදු පුලුපුල සුරක් පළ අක් සේරස් දිසේ.

පෙළ ගැසුම - මිහි අත් පළ දු මෙය නො ඉස්නෝ මෙසේ ඉස්ති නුසුදු පුල් උපුල සුරක් පළ අක් සේ රස් දිසේ.

තේරුම - මෙහි අදහස පළට වූ නමුත් මෙය නො රිසියෝ මේ. හැටියට රිසි වෙති. සුදු නොවූ පිපි මහනෙල වැනි පළ වූ සලකුණ ඇති සුදුරසා පෙනෙයි.

පැහැදුම - සමහරු කලින් පෑ නිදසුනට කැමති වෙති. එය පහන් ගුණයෙන් යුතු කියමනෙකැයි ගනිත්. එහෙත් ඒ පිළිවෙළේ කියමන් පහන් ගුණයෙන් සැදී කියමන යැයි ගන්නට නොකැමැත්තෝයැ අයෙක්, අන්න ඒ ඇත්තෝ; “සුදු නොවූ මහනෙල් මල බඳු සලකුණ ඇති සුදුරසා පෙනේයැ” යන මෙන්න මේ බඳු කියමන් වලට කැමති වෙති.

ගැට ලිහුම -

පළ = පතළා වූ මිහි අත් = මෙහි අදහස, නො ඉස්නෝ = නො කැමැත්තෝ. මෙහි “ඉස්” දය රිසි වීමෙහි (කැමති වීමෙහි) වැටේ. විහිදීමෙහි ද එය යෙදේ. රක් ගණයෙහි යැ බස් ගණයෙහි යැ යන දෙගණයෙකැ මේ වර නැඟෙයි.

රක් ගණයෙහි

විහිදීමෙහි ම ඉසී - ඉසිති - ඉසි - ඉසී කම් - ඉසේ - ඉසෙති - ඉසිණි - ඉසුණු.

බස් ගණයෙහි කැමැති වීමෙහි අත්පද - අකම්

එක් නොඑක්

     - නොගිය කල් - ඉසේ			ඉසෙති.
     - ගිය කල්-ඉසිණි-ඉසි- ඉටි-ඉට	          ඉසුණු- ඉසි-ඉටු-ඉට

නුසුදු = සුදු නොවූ පුලුපුල = පුල් උපුල (පිපි මහනෙල) සුරක් = සම කම; හුරු කම - සුරු අක් = සමාන ලකුණු සේරස් = හඳ


35. මියුරු නමෙ රෙසෙන් රසවත් සදත්හිදු මත් යමෙක්නි වේ ද වියත් දෙනෙ මීයෙනෙවු බිඟු මුළු.

පෙළ ගැස්ම - මීයෙන් බිඟු මුළු එවු යමෙක්නි වියත් දෙනෙ මත් වේ ද; සඳ අත්හි ඳු රෙසෙන් රසවත් එ මියුරු නම්.

තේරුම - පැණියෙන් මී මැහි සෙනඟ වගේ යමක් නිසා (යම් රසයකින්) දැනැ-උගත්කම ඇත්තෝ මත් වෙද්ද; හඬෙහිත් අදහසෙහිත් රසයෙන් රසවත් (අන්න) එය මුයුරු නම් වේ.

පැහැදුම - මල් පැණියෙහි සුවඳ අසාත්, එහි රස බලාත් මී මුස්සෝ මත් වෙති. අන් ඒ වගේ දැනැ උගත් කම් ඇත්තෝත් යම් රසයකින් මත් වෙති. ඒ රසය සමහර විටැ හඬෙහි වූයේ යැ; සමහර විටැ අදහසෙහි වූයේ යැ. නොඑසේ නම් හඬෙහිත් අදහසෙහිත් යන දෙ පළැ මැ ඒ රසය වූයේ යැ. අන්න ඒ රසය මියුරු නම් වේ.

ගැට ලිහුම - සදත්හිදු = හ‍ඬෙහි හා අරුතෙහිත් මීයෙනෙවු = මීයෙන් එවු පැණියෙන් වගේ යමෙක්නි = යමෙකින් (යම් රසයෙකින් යැ කියූ සේයි)

සැසැඳුම - මධුරං රසවද් වාචි වස්තුන්යපි රසඃ ස්ථිතඃ යේන මද්යන්ති ධීමන්තෝ මධුනේච මධුව්රතාඃ


මීයෙන් බිඟුන් මෙන් පඬිහු බමති ද යමෙකින් රස පිහිටි ඒ අරුත ද වදන ද මියුරු නම් වේ.

36. ඉතා නුදුරු සම වණෙ‘ක්නි දෙක්නි වුව හොත් ලකුළු රස මෙමෙතී යෙත් වදන් රස දන්නො මෙසේ

පෙළ ගැස්ම - ඉතා නුදුරු සම වණ එක්නි දෙක්නි වුවහොත් වදන් රස දන්නෝ ලකුළු රස වැගිරෙති යි කියති. ඒ මෙසේ යැ

තේරුම - ඉතා ළඟින් සම හඬ ඇති අකුරු එකින් දෙකින් වුව හොත් වදන් රස දන්නෝ ලකුළු රස වැගිරෙති යි කියති. ඒ මෙසේ යැ. ගැට ලිහුම මෙමෙති = වැගිරෙති. “මම” දය කාන්දු වීම් අරුතෙහි වැටෙයි.

“ගුවනත් සිහසන සරා සිසි බිඹු සොමි මමන්නා”

ලකුළු රස = සැරැහිලි රසය. එක් සම වදන්වලින් සැරැහිල්ලක් මෙන් රස දනවන හෙයින් යැ ඒ නම මෙයට අනුප්රාස රස යැයි සකු ඇජුරෝ කියති.

සැසැදුම - යයා කයාචිත් ශ්රුත්යා යත් සමානමනු භූයතේ තද්රූපාහි පදාසත්තිඃ සානුප්රාස රසාවහාං

යම්කිසි ඇසුමෙකින් විඳැවේ ද සමතාවෙක් එසේ ළං බව පදයෙහි අනුපැහැසි වැ මමයි රස

37. මෙරද දෙරණි සුරූ ලද ද යම් කල් විජ කල් එකල් හිමින් ලෙව්හි පැවැත් දහම්සුරු මහත්

පෙළ ගැස්ම - විප් කල් සෙ රද යම් කල් දෙරණැ ඉසුරු ව ලදද එකල් හිමින් ලෙව්හි මහත් දහම් ඉසුරු පැවැත්.

තේරුම - බමුණනට පියකරු වූ මේ රජ යම් කලෙකැ පොළොවැ පති බව ලද්දේ ද; එදා පටන් ලොවේ මහත් දහම් සැපත පැවැත්තේයැ.

පැහැදුම - මේ නුපැහැසියා රසය ගැල්වුණු කවක් පිළිබඳ නිදසුනෙකි. රද, දෙරණ, ඉසුරු, ලද ද, විප් කල්, එකල්, පැවැත්, මහත් යන සෙයින් එක් බඳු වදන් ඒ පැදියේ එක එක ළඟින් යෙදිණි. එයින් ඒ රසවත් වියැ. නුපැහැසියා රස විඳුම අනිත් සකු කිවියෝ මහත් හපන් කම් දක්වති.

ජය දේවයන්ගේ ගොවිඳු ගීය පුරා මැ මේ රසය විහිදැ පවතී.

“ලලිත ලවංග ලතා පරිශීලන කෝමල මලය සමීරේ මධුකර නිකර කරමිබිත කෝකිල කූජිත කුඤ්ජ කුටිරේ

විහරති හරිරිහ සරස වසන්තේ තෘත්යති යුවති ජනේන සමං සඛි, විරහි ජනස්ස දුරන්තේ.

උන්මද මදන මනෝරථ පථික වධු ජන ජනිත විලාපේ අලිකුල සංකුල කුසුම සමූහ සමාකූල වකුල කලාපේ”

කියවා බලන්නැ; මේ ගොවිඳු ගී පැදි කවර තරම් නුපැහැසියා රසය විඳැවේ දැයි. දශ කුමාර චරිතය ආදි සමහර සකු ගැදි කව්හි දු නුපැහැසියා රසය රජ කෙරෙයි. මේ අහන්නැ;

“තස්ස වසූමතී නාම, සුමති ලීලාවති කුල ශේඛරමණී රමණි බභූව. රෝෂණේක්ෂණේන නිටිලේක්ෂණේන භස්මීකෘත චේතනේ මකර කේතනේ තදා භයේනානචද්යා වනිතේනි මත්වා තස්සරෝලම්බාවලී කේශ ජාලම්; ප්රේීමා කරෝ රජනීකරෝ විජිතාරචින්දං වදනම්.” මියුරු ස‍ඳෙස යැ හෙළ කව් වැළෙහි නුපැහැසියා රසයට හොඳ තැනක් දී ඇති කව.

“සොබවින් යොවුන් මන්යොන් සැටි අඳුන්වන දෙනමන් රුවන් වත් දන මන නඳුන්වන ඉසුරින් දෙනෙත් අන් දසසතනුවන් වන නිරිඳුන් මෙවන් දන් දැන් ලෝ මුදුන්වන”

මෙබඳු නුපැහැසියා රස කැවුණු පැදි එහි කොතෙකුත් වෙයි. දළඳා සිරිත හෙළ ගැදි කව් අතරැ නුපෑහැසියා රසය විඳවන කව යැ. එහෙත් එහි යෙදුම් බොහෝ කොටැ මැ නොවියත් යෙදුම් යැ.

ගැට ලිහුම දෙරණිසුරූ = දෙරණට ඉසුරුව. පොළෝ පති බව - “ඉසුරුව යන වදන යැ වැවහරින් ඉසුරු යන සේ හැඩ ගැහී” ගියේ.

විප් කල් = බමුණු පිය. බමුණනට පියකරු, විප් නම් බමුණු යැ. කල් නම් හිත් අදනා ගතිය යැ. බමුණන්ගේ හිත් ඇදීමේ ගුණය යමකුට වේ ද හේ විප්කල් යැ.

සැසැඳුම “ඒෂ රාජා යදා ලක්ෂ්මිං ප්රාඒප්තවාන් බ්රාිහ්මණ ප්රිණයඃ තතඃ ප්රරභෘනි ධර්මස්ස ලෝකේස්මින්නුත්සවෝ භවත්”

වෙන්කල් වැලැඳියෙ ද විප්කල් මෙ ලෝ පල්ලා යම් කල්හි එකල් හිමින් දහමුලෙළ මෙ ලොවේ වී.

“ධර්මස්ස උත්සවෝ” යන්න සඳහා දහම් උළෙල- දහමේ උලෙළ- යනු යැ සකසා ගැළැපෙන්නේ. දහම් ඉසුරු යන්නේ ගැළැපියාව එතරම් මැ මනහර නැති.

38. ඉසිත් මෙසේ සද රස නුදුරකුරිනි දුනු නො ඉස්ති “කල්බඳ වත් පියුමෙක් දිසි උළිඳු” වී.

පෙළ ගැසුම - මෙසේ නුදුරකුරිනු දුනු සද රස ඉසිත්. “උළිඳු කල්බඳ වත් පියුම් එක්දිසි” වී නො ඉස්ති.

තේරුම - මෙසේ නුදුරු අකුරින් හට ගැනුණු වදන් රසය කැමති වෙත්. “උළිඳු කල්බඳ වත් පියුම එක්දිසි” යැ යන්න නො රිසි වෙත්.

පැහැදුම - කලින් කී පැදියේ බඳු නුපැහැසියා රසයට කවුරුත් පාහේ කැමති වෙති. හැයි? එහි වදන් වලැ හ‍ඬෙහි සමතාව ඉතාමැ ළඟින් ළඟැ යෙදුණු හෙයිනි. “කල්බඳ වත් පියුම් එක් දිසි උළිඳු ” යන තැනැ එසේ ළඟින් ළඟැ යෙදුණු සම හ‍ඬෙක් නැති.

කල්බඳ උළිඳු යන දෙ පළෑ ල යැ, ඳ යැ, යන අකුරු වලැ හඬ ටිකක් සම යැ. එහෙත් ඒ දෙවන වදන වූයේ නුදුරින් නොවේ. කල්බඳ, වත් පියුම, එක්දිසි යන තුන් වදනේ හල් හඬ නිසා එක්තරා සම හ‍ඬෙක් පෙනෙයි. එහෙත් විදුමත්හු ඒ නුපැහැසියා ගණයට ඇදැලන්නට මැළි වෙත්.

ගැට ලිහුම කල්බඳ වත් පියුමෙක් දිසි උළිඳු = උළිඳු කල්බද වත් පියුම එක්දිසි “හඳ සොඳුරුවියගේ මුහුණු නෙළුඹ හා එක් වැනි වැ පෙනිණ.”

කල්බඳ = සොඳුරුවිය. ගැහැනිය. සොබායෙන් හිත් අදනා සිරුර ඇති හෙයින් අඟනෝ කල්බඳ යන නම ලබති. “කාන්තාදේහිනී” යනු යැ එහි සකු වදන.

වත් පියුම = මුහුණ නමැති නෙළුඹ (චක්ත්ර පද්මය)

එක් දිසි = එකට පෙනුණු “සම වැ පෙනුණු” යැ කියූ සේයි. උළිඳු = උළු නම් තරු යැ. තරුපති හෙයින් හඳ “උළිඳු” නමින් ගැනේ.

සැසැඳුම “ඉත්යනුප්රාසමිව්ඡන්ති නාති දූරාන්තරශ්රුතිම් නතු රාමා මූඛාම්භෝජ සදෘශඃ චන්දරමා ඉති.”

- මෙසේ නොවැඩි දුරින් රුසිති ඇසුණු නුපැහැසිය. “ළඳ මුව, පියුම් සඳිසි යැ සඳ හා” යි යනු නො රුසිති.”

මේ පැදිය පිළිබඳ වැ මහ රජාණන්ගේ හෙළු පෙරැළිය ඉතා සිත් කල් යැ යන වග මෙයින් ඔබට හැ‍ඟෙනු ඇති.

39. තහවුරු වැම ලකර අරුතෙහි රස මමා - වා! ඉතිදු අගම් සියෝ බව් වහා එ හැම බොහෝ සේ

පෙළ ගැස්ම - ඇම ලකර තහවුරු වැ අරුතෙහි රස මමා වැ! ඉතිදු අගම් සියෝ බව් එ හැම බොහෝ සේ වහා.

තේරුම - සියලු මැ කව් සැරැහිලි තිර ලෙස මැ- අ‍ ායේ නො වෙනස් වැ- අරුතෙහි රස වගුරා වා! එහෙත් නොගැමියාව හා එක්වුණු බව ඒ සියල්ල - ඒ සියලු රස වැගුරුම් - බොහෝ සෙයින් උසුලන්නේ යැ.

පැහැදුම - කව් ලකර නම් කවෙහි සැරැසිලි යැ. එහෙත් ඒ කවෙහි පණ නො වේ; සිරුරු නො ද වේ, කවෙහි පණත් සිරුරත් යන දෙක මැ එහි අරුත යැ. එහෙයින් අරුත ගැනැ මැ කවියා ඔහුගේ සියලු තැත ගැන්වියැ යුතු යැ. එහෙත් ඒ වූ පලියට; පණත් සිරුරත් වූ පලියට හෙලුයෙන් මැ - නො සැරැහීමෙන් මැ හැකියැ සබා මැදට වදින්නට? ඒ සඳහා නම් හොඳට ඇඳුමෙන් පැළැඳුමෙන් හැඩ වැඩ වියැ යුතු නො? කවෙකැ අන්න ඒ සැරැහිලි තමා කව් ලකර යැ කියන්නේ. කවකට ලොව මැදැ පැලැ‍ෙඔන්නට ලකර කොතරම් මැ දුර ඇවැසි ද යන වග ඉතින් කුමට කියමු ද? සැරැහිලි ඇවැසියි. ඒ හැබැව එහෙත් ඒ සැරැහිලිවලැ හැදියාව “සීලාචාර කම්” හොඳින්මැ වියැ යුතු යැ. පිළිවෙළ සහිත බව වියැ යුතු යැ. ඇඳුම් අඳිම්හයි උතුරුපට අමුඩු ගසා ගෙනැ අඳනයෙන් හිස වෙළාගෙනැ සබා මැදට එන්නෝ සිහි ඇත්තෝ ද? එ නැති නම් කොළ අතුවලින් යන්තමට විළි වසාගෙනැ සබා වදිති ද හැදුණු ඇත්තෝ.

කවෙහි තතුද මෙසේ යැ. සුකිවියා ඔහුගේ කව සුහැඟුමෙන් පණ ගන්වයි. සුබසින් හැඩ ගන්වයි. සුලකරින් සැරැහුම් ගන්වයි. එසේ කොටැ මනා කඩ වැසුමෙන් යුතු වැ සැබියාවට මුල් තැන දෙමින් හේ එය සබා ඉදිරියට පමුණුව යි.

එහෙත් කුකිවියාගේ තතු එ සේ නොවේ. ඔ හුගේ කවෙහි රජයනුයේ කොතෙකුත් නිවට කුහු හැඟුම් යැ. එය පැබැ‍ඳෙනුයේ ද ගුඬු හඬු දුබසිනි. එය සැරැහෙනුයේ ද, ඔවු ඔවු; තාත්වික යැ තාත්වික යැ කියමින් ඔහු විසින් එය සරහනු ලබනුයේ ද ඉතා මැ ගැමි ඉතා මැ හීන දීන වැදි ලකරුවලින් යැ. “අන්න වැදි බව” කුකවියේ මුල් මැ සලකුණ යැ. සුකිවිය ඔ්යත වැදි ගතිය; තම පැදිය අහළට හෝ ළං වන්නට ඉඩ නො හරියි. කෙටියෙන්මැ පවසමෝ නම්; පහත් ගතිය තුරන් කිරීම මැ කවෙකැ රස වැවීමෙකි. අද අපේ සමහර සරසවි ඇජරන්ගේ ලියනයෙන් බිහිවුණු “හෙවණැල්ල” බඳු හඩු පොත් පිළිබඳ වැ මේ පැරැණි මහ කිවියා දිවැසින් දැක දොහෝ මෙ බඳු බණ වදාළ සේ පෙනේ.

ගැට ලිහුම තහවුරු වැම ලකර = ඇම ලකර තහවුරු වැ. අගම් සියෝ බව් = නො ගැමියාව හා එක් වුණු බව. ග්රා ම්යැත්වයෙන් තුරන් වූ බව- ගැමි ගතියෙන් පහත් ගතියෙන් වෙන් වූ බව. වහා = උසුලයි.


සැසැඳුම - කාමම් සර්වෝප්යලංකාරෝ රසමර්ථෙ නිෂිඤ්චති තථාප්යග්රාම්ය තෛවෛනං භාරං වහති භුයසා.

අරුතෙහි ඉසියි රස එකතින් සියලු ලකර මැ එ ද නොවැදියාව මැ ඒ බැර බෙහෙවින් මැ උසුලයි.

40. “කුලුණු වියො වියොවග සොර වෙසෙසින් ම දෙසේ; මියුලැසිය තිට නො එසේ වියත් මෙ අත් රස මෙමේ.”

පෙළ ගැස්ම - “වියොවග සොර වෙසෙසින් කුලුණු වියො මා දෙසේ. මියුලැසිය තිට නො එසේ “මෙ වියත් අත් රස මෙමේ.

තේරුම - “අනඟ හොරා තකහනියක් දයාවෙන් තොර මා කෙරෙහි යැ, ළඳ තී හට එසේ නොවේ.” මේ කියමන පවසන කලැ අදහස් රසය වැගිරෙයි.

පැහැදුම - “අහෝ දිගැසිය තී‍ මෙන් නො වැ මම මදයෙන් මත් වැ ආතුර වැ ඉඳිමි” මේ කියමන එක එල්ලේම අරුත විහිදයි. හිතා මතා පෙරාගත යුතු රසයෙක් එහි නැති. එයින් ඉස්මතු කරනු ලබන අදහස ද සැබි බවෙන් තොර යැ. මේ අදහස ඔය ලෙසින් සබා මැදැ පැවැසිය හැකිද නො වේ එහෙත් ඒ අදහස මැ එක්තරා හැදුණු පිළිවෙළකට (සීලාචාර විදියකට) පැවැසියැ හැකියැ. “දිගැසිය අනඟ හොරා වෙසෙසින් මැ දයාවෙන් තොර මා කෙරෙහි යැ. තී කෙරෙහි එසේ නො වේ.”

මේ කියමනත් නොසැබි ද? නැති. එය රසවත් කියමනෙකි. හිතාමතා ගරා පෙරාගත යුතු යම්කිසි මිහිරෙක් එහි වෙයි. මේ අහන්නැ ඒ ගැනැ හිතන හැටි. හොරකුට කොයිද දයාවෙක්, වෙසෙසින්මැ පිරිමින් කෙරෙහි හොරාගේ දයාවෙක් නැති. ඒ හැයි; ඉඩ ලද විටැ පිරිමින් ගෙන් ‍හොරාට ද වැඩ වරදින බව හොරා දන්නා හෙයිනි, ඒ නිසා තමාගේ අතට අසු වූ පිරිමියාට හොරා කොතෙකුත් තළ යි පෙළයි අනගා ද සැඩ හොරෙකි. ඔහු අතට ළංවුණු පිරිමියාට හේ කොතෙකුත් විදීයි. හී පසින් මැ ආයේ ඉවරයක් නැති වැ මැරෙන තුරුම මැ විදියි.ඉතින් සොරකු කෙරෙහි වුවද බොහෝ විටැ දැහැමි ගතිය නැති වන්නට බැරි නැති. අසරණ දිගැසියක හට හොරෙකු ගේ හ‍ඳෙහි වුව ද දයාව නො උපදින්නේ නො වේ. ඉතින්; මියුලැසිය අනඟා හොරකි. මම පිරියෙක්මි. ඒ නිසා මා වෙතැ හේ දයාවක් නො පෙන්වයි. තී නො බන්නැ තිට එසේ නො වේ. මෙසේ මේ අරුත විදැහත් මැ කවර තරමට රස මතු වේද? ඉතින් මේ කියමනේ කෝ අර නො සැබි ගතිය, හුදක් රසය මැ ඉස්මතු වනු මිසැ?


ගැට ලිහුම කුලුණු = දයාව වියො = වියෝ. වෙන් වීම (වියෝග) වියොවග = අනඟා. කැමි හැඟුම දෙවියකු මෙන් තකන නිසා කිවියන් අතින් ඒ දෙවියාට නොයෙක් නම් ලැබී තිබේ. වියොව නම් වෙන් වීම යැ. අග නම් ගින්නයි. වෙන්වීම ගින්නක් මෙන් හැඟෙනුයේ කැමි හැගුමට යැ. ඒ නිසා කැමි හැඟුම නමැති දෙවියා “වියොවග” නමින් ද හැඳින්වේ.

මියුලැසිය = මියුල් ඇස් ඇත්තී. මුවන් ගේ බඳ දිගටි ඇස් ඇත්ති. සොබායෙන් මැ ගෑනුන්ගේ ඇස් පිරිමින්ගේ ඇස් වලට වඩා මඳක් දිගටි හුරු යැ. එ හෙයින් අඟනෝ “දිගැසි, මියුලැසි” යන නම් ලබති. සැසැඳුම කාමං කන්දර්ප චණිඩාලෝ මයි වාමාක්ෂි න්ර්දයඃ ත්වයි තිර්මත්සරෝ දිෂ්ට් යේ ත්යග්රාම්යෝර්ථෝ රසා වහඃ

‘ ළඳ එකතින් කඳප සැඩොලා නොදයාව ට; තිගෙ පිනට නොමසුරු හේ මෙ සුබසින් රස වෑහේ

මේ පැදිය දක්වා මම ඔබට සසඳුවක් ඉදිරිපත් කළෙමි. එසේ කළෙ කව්යාාදර්ශ පැදි හා සියබස් ලකර පැදි හා අතරැ ඇති සම නොසම බව ගැනැ හැඟීමක් දීමට යැ. ගත මහත් වන හෙයින් මෙයින් ඉක්බිති මේ සැසැඳුම නො කෙරෙමි. එහෙත් සියබස් ලකරේ පැදි හා සැබැඳි කාව්යා දර්ශ පැදි දෙසැ හෝ විමැසිලි ඇස දල්වන්නට උසහා ගත මැනැවි.

41. “කැමැතිය මමන කන් කෙසේ නො ඉස්හි” වියත් මෙ ගම්වැසි වදනැ අරුතෙ රසහුන් බවට මෙ වැටේ.

පෙළ ගැසුම - කන්, කැමැතිය වන මා, කෙසේ නො ඉස්හි? වියත් මේ ගම් වැසි වදනැ. ඒ අරුත් රස හුන් බවට මැ වැටේ.

තේරුම - දැරිය, (තී කෙරෙහි) කැමති හිත (ඇති) මා (ගැන) තී කෙසේ නො රිසි වෙහි ද? යි කියත් හොත් මේ ගැමි කියමන යැ. එය අරුත් රසයෙන් පිරිහුණු බවට මැ සැලැකෙන්නේ යැ.

පැහැදුම - “කැමැතිය ම-මන කන් කෙසේ නො ඉස්හි” යන මේ කියමන ගැමි කියමනක් සේ නො දියුණු කියමනක් සේ; ඒ මතු නොවැ රස යෙනුදු පිරිහුණු කියමනක් සේ තැකෙයි. ඒ හැයි? අප හඟින හැඟුම අප පවසන බසින් අනුනට ද නොහැ‍ඟේ නම්; ඒ අපේ පැවැසුමේ දුඹුල්කම නිසා යැ. ඉතින්; එ බඳු කියමනට ගැමි කියමන යැ වැදි කියමන යැ නොකියා වෙන කුමක් කියමුද? අපේ හැඟුම අනෙක් අයට ද අපේ කියුමෙන් හැ‍ඟෙන්නේ බසේ වැවහරය පිළිබඳ වැ සම්මත පනත් වැළ අප විසින් නො දෙදරනු ලැබුව හොත් පමණි. ඔවු කියමනේ වියයුරුව රකිනවා යැ කියන්නේ අන්න ඒ පනත් වැළ නොබිඳීම යි.

“කැමැතිය මමන කන් කෙසේ නොඉස්හි”

යන්නෙන් අපට කෙලින් මැ ලැබෙන අරැතෙක් නැති. එහෙන් මෙහෙන් සක්ක ගසා හෝ ලැබියැ හැකි අරුත “කැමති දැය වගුරුවන කන් කොයි හැටියෙන් ති නො රිසි වෙහිද, යනුයි. එහෙත් කිවියා මෙයින් දෙන්නට හැරැහෙන්නේ ඒ අරුත නොවේ. මමන යනු හේ “මන මා” යන සේ බලයෙන් හැඩ ගස්වා “හිත ඇති මා” යැයි නො පැතියැ හැකි අරුතක් ගන්වයි. “කන්” යන්නට “කන්යා” යන අරුතක් බලයෙන් කාවද්දන්නට තැත දරයි. අන්න ඒ වරද නිසා ඒ කියමන හුදක් “ගැමි” කියමනක් සේ ගැනේ. අරුතක් පවා නැති තැනැ අරුත් රසයෙක් නම් කොහි ද ඒ හෙයින් ඒ අරුත් රසයෙන් ද පිරිහිගිය කියමනක් සේ තැකීමේ වරදෙක් නෑ නොවැ?

ගැට ලිහුම නොඉස්හි = නොරිසියෙහි කැමති නො වන්නෙහි. වියත් = කියත් හොත් ගම්වැසි = ගැමි, නොවියත්. පෙරැ දවසැ රට රජයන සිහිමත් වියත්හු වැඩි කොට මැ විසුවෝ රජ දහන් ඇසුරු කොට යැ. ගම්බද කැලෑබද පෙදෙස් වලැ වූවෝ සිහි නුවණින් හෝ වේ වා හැදියාවෙන් හෝ වේ වා එ තරම් නොදි යුණු මිනිස්සු යැ. එ හෙයින් ගැමි වැදි (බැද්දේ වූයේ බැදි ඒ මැ වැදි) යන වදන් නොවියත් නොදියුණු යන අරුත දීම සඳහා ද යෙදිණ . 42. දුවදන් පද ස‍ඳෙහි වදන් පබඳතෙහි දු වූ සොයන්නැ සේ කිවිනෙයට පවුන් නොයුත් නිදසුන්.

පෙළ ගැසුම - පද ස‍ඳෙහි දු වදන් පබඳතෙහි දු වූ දුවදන් සොයන්නැ. සේ කිවිනි, එයට නිදසුන් පවුත් නො යුත්.

තේරුම - පද ගැළැපීමෙහිත්; වදන් පැබැඳිමෙහිත් වූ නොමනා වදන් විමසන්නැ. හපන් කිවියෙනි, ඒ සඳහා නිදසුන් දැක්වීම යුතු නෑ නොවැ?

පැහැදුම - පද ගැළැපීමෙහිදි හෝ වේ වා; කියමන් පැබැඳීමෙහි දී හෝ වේ වා; නොනිසි නොමනා වදන් යෙදීම පිළිබඳ වැ ඉතා සිහිමත් වියැ යුතු යැ. බස කෙලෙසෙන කුවදන පබඳක් අහලකට හෝ නොවැද්දැගත යුතු යැ. ඒ සඳහා නිදසුන් දීම පවා නො මැනැවි. එයට පවා විළි ඇතියෙමියි යූ සේයි. මේ මහරු පෙරැ කිවියන් ගේ හැඟීමයි එහෙත් අද අපේ සරසවිය වැනි තැනින් බැබැළෙන්නවුන්ගෙන් නික්මෙන සමහර ගත් දෙසැ බලන විටැ අනේ කුමක් පැවැසියැ හැකි ද? කිසි ලෙසැකින් හෝ නො හික්මුණා වූ නිවට වසල හිතට පහළ වන පවිටු වැදි හැඟුම් ඒ හැඟුම් වලට මැ ගැළැපෙන කිලිටි හඩු බසින් පවසන ලද කුණු හරුප පත පොත යැ, අද උසස් මැ පෙළේ ගත් රුවන් ලෙස ඒ ඇත්තන් අතින් නිකුත් වන්නේ. අහෝ වාමනයෙනි; අහෝ දඬියෙනි; අහෝ සලමේවනුනි; පිපිගෙනැ එන ලස්සන මල් කැකැළු වැනි බොළඳ දරුවන් ගේ දුරියන්ගේ හදවත් මුළු මනින් කෙලසන ඒ කසල පැබැදුම් ඔබ දුටු නම්; සරසවියේ වදාරු කම් කරන ඒ කුහු පබඳුවන් හට මහත් පිළිකුලින් වුව ද ඔබ නම් නඟනුයේ පය විනා; ඔය පන්හිඳ නො වේ.

ගැට ලිහුම

දුවදන් = කිලිටි නොමනා වදන් පද ස‍ඳෙහි = පද ගැළැපීමෙහි. පද සන්දියෙහි. වදන් පබඳත = වදන් පැබැඳුම. පබඳ මැයැ පබඳත් නම් “ප්රඳබන්ධාර්ථය” යැයි අයෙක් මෙයට අරුත් බිණු හ. බලවත් වරදෙකි. සේ කිවිනි = හපන් කවියෙනි. පවුත් නොයුත් = පවුත් හොත් නොයුත් යැ. දක්වත් හොත් නො මනා යැ.


43. එවන් පෙරැ පියොවක් දුට ද නො හැරැබෙත් වත්; දිව වදනෙව් යත් යත් පෙරැ‍ළේ ද නොසිය වදන් ?

පෙළ ගැස්ම -එවන් පෙරැ පියොවක් දූට ද නො හැරැබෙත් වත්; දිව වදන් එව් නොසිය වදන් යත් යත් පෙරැළේ ද?

තේරුම - ගිය දවසට මනා වූ එබඳු සොබාවක් දූට ද ඒ අරමුණු කොටැගැන්ම නො මැනැවි. හැයි? දෙව් වදන බඳු පර වදන් පවසත් පවසත් මැ පෙරැළේ යැ?

පැහැදුම - දෙව් වදන (සකු බස) බඳු පර බසු මළ බස් යැ. ඒ වායේ වහර වෙනස් වනුයේ ඉතා හෙමිහිටැ යැ. එහෙත් හෙළ බස පණවත් බසෙකි එහෙයින් එහි වදන් නිතොර වැ ලියලයි වහර නිතොර වැ වෙනස් වෙයි. මේ නිසා මෙහෙළ බසින් මැ පැවැසුණු ගිය දවසට මනා වැ ගැළැපුණු සමහර යෙඳුම් අද නො ගැළැපෙන්නට පිළිවන. ගිය දවසැ සැබි ලෙස තැකුණු සමහර යෙදුම් අද නොසැබි වන්නට පිළිවනි. එ හෙයින් මේ ගිය දවස සබා ලෙස වැවහර විණැ යි, එය මැ අරමුණු කොටැගෙනැ මෙදා නොසැබි සමහර යෙදුම් සබය‍ට ගැනීම නො මැනැවි.

ගැට ලිහුම

පියොවක් = පියෙදුමක්; මනා යෙදුමක් . යෝ නම් යෙදුම් යැ. මනා සේ පිළියෙළ වුණු යෙදුම් යැ පියෝ නම්.

නො හැරැබෙත් වත් = නොඅරමුණු කොටැගැන්ම සුදුසු යැ. හැරැබුම නම් අරමුණු කොට ගැන්ම යැ.

යත් යත් = පවසත් පවසත් මැ. කොතෙකුත් දෙඩුම් වහරට වන් කල්හි යැ යූ සේයි “ය” දය පැවැසුම් අරුතේ යෙදෙයි.

44. අරුත් පළ නම් නොනෙ බවරුත්; හේ මෙගින්. වෙන් කුරසුන් නා හුරිරු රත් දගනිදුනි උපුළෙ පොළෝ”

පෙළ ගැසුම - අරුත් නොනෙ බව් අරුත් පළ නම්; හේ මෙගින් “වෙන් කුර සුන් නා හුරිරු රත් දලනිදුනි පොළෝ උපුළෙ”

තේරුම  - අදහසෙහි නො අඩු බව අරුත් පළ නම් වෙයි. ඒ වනාහි 

මේ අයුරුයි.

පැහැදුම - “අරුත් පළ” බව කිවි බසෙහි පණ ඔද යැ, අදහසේ අඩු ලුහුඩු කම් වූ විටැ ඒ අරුත් පළ බවට හෙණ වදී. පණ ඔදින් තුරන් වත් මැ ඒ හෙයින් මැ අරුත කැළේ ගැසෙත් මැ කො යි ද කිවියා‍ වෙක් ? එහෙත් සමහර පුසසඩු පැළලි කයියන් හිතනුයේ එය ද එක්තරා ලකරක් කොටැ යැ. ඉතින් සුනිසි කිවි හැඟුම් වල් වැදි යෑමට උන් ගේ ඒ හැඟුම මැ පිටුබල සපයන වග පිවැසිය යුතු ද? “ වෙනු තෙමේ රත් වූ මුහුදින් පොළොව ඉපිරැවී යැ.” යන මේ කියමන අරුත පුරා පළ නො කරයි. කෙසේ රත් වුණු මුහුදින් ද? කුමක් නිසා රත් වුණු මුහුදින් ද? වෙනු ඒ කම කළේ කෙසේ ද? යන මේ ගැටළු අර කියමනේ අඩුව නිසා පැනැ නැ‍ඟෙයි.එ හෙයින් ඒ කියමනේ අරුත් බොල් යැ. එද; “වෙනු තෙමේ කුරයෙන් සිඳුණු නයින් ගේ ලේ නිසා රන් වන් වූ මුහුදින් පොළොව ඉපැළැවී යැ. යන්න අරුතින් හුඟක් දුර සපිරිණ. එද එහි අරුත මිළුමනින් මැ පිරුණේ නො වේ. හුරු වෙස ගත් වෙනු තෙමේ යනුයෙන් ඒ කියමන සැකැසිණි නම්, එය අරුතින් සකසා පිරුණේ වෙයි.

ගැට ලිහුම

නොනෙ බව් = නො අඩු පාඩු බව්, මෙ ගින් = මේ අයුරින් හුරිරු = ලේ. මේ වදන රුහිරු රිහිරි යන සෙයින් ද සිටී. දල නිදුනි = මුහුදින්. දිය නිදහන නිසා “දලනිදි”යන නම ලබයි මුහුද.

45. “ මී උපුළෙ එ මහ හුරු රත් සයුරුනෙත්” වී මෙතෙක් මත් දුටුව හොත් උරිඳු හුරිරට නේ බව්.

පෙළ ගැස්ම - එ මහ හුරු රත් සයුරු නෙත් මී උපුළෙ වී මෙ තෙක් මත් දුටුව හොත් උරිඳු හුරියට නේ බව්.

තේරුම - ඒ මහ හූරු තෙමේ රතු වන් මහ මූදින් පොළොව ඉපිරැවී යැ යි මෙ පමණෙකින් අදහස දුට හොත් නයින් ගේ ලෙය සඳහා අරුත් හිඟය වෙයි. පැහැදුම - මේ දෙපැදියෙන්පැහැදිලි කැරෙන්නේ “අරැත් පළට බව” පිළිබඳ පවතයැ. අරුත් පළට බව පිළිබඳ නිදසුනපළමු පැදියෙන් දැක්විණ. දෙ වැනි පැදියෙන් අරුත් හිඟ බව පිළිබඳ වැ නිදසුන යැ දැක්වුණේ.

ගැට ලිහුම

	මී  = පොළොව,
	උපුළෙ = උඩට නැ

46. බැඳුම් හි මෙ නියරැ; බුහුමන් නැත් මහ දනා නො හඟවන තම අරුත් වදන් නියරැතැ කවර?

පෙළ ගැසුම - මෙ නියරැ බැඳුම්හි මහ දනා බුහුමන් තැත්, තම අරුත් නොහඟවන කවර වදන් නියර ඇතෑ?

තේරුම - මේ පිළිවෙළේ පැබැදුම් කෙරෙහි මහ ජනයා ගේ ගරු 

සැලැකිල්ලෙක් නැති, තමා ගේ හැඟුම නො පවසන (නොවටහටන) කවර නම් වදන් නියරෙක් ඇත් ද?

පැහැදුම - පැබැඳුමට නියර ඇවැසි වනුයේ එහි දී පබඳුවාගේ හැඟුම ඒ සැටියෙන් මැ අසන්නා ට කියවන්නාට ද හැඟීයෑමට යැ. පබඳුවා හිතන හිතැවිල්ල ඔහුගේ පැබැඳුමෙන් සූනිසි සේ පළට වීමට යැ වියරණය පවා ඇවැසි වනුයේ. එසේ නොපළට වත හොත් ඒ වදන් නියරෙන් කිසි ද පලෙක් නැති. මෙ බණ දහම; අද අපේ රටේ මහ මහ තැන්වලැ වැජැඹෙන නමින් තනතුරින් මැ මහවුන් ලෙස දැපෙන්නන් ගේ පැබැඳුම් වලැ සැටි නුවණැසින් දැකැලා මැ මේ කිවියාණන් පැවැසුවක් සේ හැ‍ඟෙයි ඔවු; අලේ සරසවි වලින් අද ඊයේ නිකුත් වුණු පග පොත සිහියෙන් විමසන්නැ, ඒ තැන් වලින් නික්මෙන පිළුණු සිංගිරිසි වදන් නියරට මැ දෙසුණු බණෙක් නො වේ ද මේ ?

ගැට ලිහුම

බුහුමන් = හරසර - ගරු සැලැකිලි - වදන් නියර = වදන් වැවහර කිරීමේ පනත් පිළිවෙළ ඇතෑ = මෙහි මුල් වදන ඇති යැ යනුයිථ නැනහර අනුවැ ඒ සැකැසුණ සේයි.

ඇති යැ = ඇතෑ, මඳි යැ = මඳෑ,

සොලී කරෙත් ඇතෑ බඩ පුජපන්නෝ? ගිලී මලෙත් ඇතැ දත සුද්දෝ?

යන ජන යෙදුම් හා සසඳන්නැ.

31. වැජැඹි ගුණ නේ රැස් හැ‍ඟේ ද යම් දැයක් වතෙ උලාර නමෙයිනි සියල් කිවි මඟ වොරජනේ මෙසේ.

පෙළ ගැස්ම - යම් දැයක් වත් වැජැඹි නේ ගුණ රැස් හැ‍ඟේද? එ උලාර නම්, සියල් කිවි මඟ වොරජනු එයිනි; එ මෙසේ.

තේරුම - යම් වගක් පවසන කැලෑ (ඒ පැවැසුමෙන් මැ) එ වගෙහි

වැජැඹුණා වූ නොයෙක් ගුණ සමූහය හැඟ් ද, එය උලාර නම්  වෙයි. සියළු කිවි මඟ බැබළෙන්නේ එයින් යැ; එ මෙ සේයි.

පැහැදුම- යම් දෙයක් පිළිබඳ වැ හෝ යම් කෙනෙකු පිළිබඳ වැ හෝ යම් විත්තියක් පවසනවා යැයි සිතමු. අපේ ඒ පැවැසුමෙන් ඒ දෙය පිළිබඳ වැ හෝ ඒ තැනැත්තා පිළිබඳ වැ හෝ නොයෙක් ගුණ සමූහ ඉස්මතු වැ දැක්වේ ද, අන්න එවිටැ ඒ අපේ පැවැසුම උලාර නම් වූ කියුම් වගයට අයත් යැ. උලාර නම් වදනේ අරුත “මහ” යනුයි. සුළු කියුම් මතෙකින් මහ අරුතෙක්

  හැ‍ඟේ නම්, හැයි ඒ නොමහ කියුමෙක් යැ? 

ගැට ලිහුම

    වතෙ = වත් එ;
    නේ = නොයෙක්; අනේක. උලාර = මහත්; උදාර.
    නමෙයිනි = නම් එයිනි,
    වොරජනේ මෙසේ = වොරජනු ඒ මෙසේ,
     කිවි මඟ = කිවියන් ගේ පිළිවෙළ,
  

32. යදි කවණැස් කෙණෙකැ

          හිණි නම් මෙ කා වත්හි,
          එ වනින් අනිසුරු මුහුණු
          පිළි නො බලා මහ කුලුණු.

පෙළ ගැස්ම - මහ කුලුණු, යදි කවණ ඇස් මෙ තා වත්හි

        කෙනෙකැ හිණි නම්; එ වනින් අන් ඉසුරු මුහුණු
        පිළි නො බලා.

තේරුම - මහ කුලුණැත්තාණෙනි, යදියා ගේ දිළිඳි ඇස. මේ

       ඔබ ගේ මුහුණෙහි එක මො‍හොතක් හිණි නම; ඒ සැටි
       යෙන් අන් දනවතුන් ගේ මුහුණු ආයේ නො බලයි.

පැහැදුම - යදියා ගේ දිළිඳියාවේ මහත්, බවත් ඉසුරුමතා ගේ

       කුලුණෙහි මහත් බවත් එක සැටියෙන් මැ මේ පැදියෙන්
      හැඟැවිණ,

“මහ කුලුණැක්කානෙනි, මේ යදියා, අනේ මේ යදියා කවර කවර නම් දිළිඳි බරෙකින් මිරිකෙයි ද? ඔහු ගේ මුහුණ මැ අනේ ඔහු ගේ බලවත් දිළඳියාවේ කැඩපත බඳු යැ, ඒ මුහුණ දැක්ම මැ ඇති, ඔවු ඔවු ඒ මුහුණ දැක්ම මැ ඇති,කවර ළයක් වුව ද මොහොතින් උණු වන්නට ඒ මුහුණ දැක්ම මැ ඇති දෙවියනේ. මහ කුලුණැත්තාණෙනි, අහෝ ඔබ කුලුණින් බර වැ ගියෝ යැ. දයාවේ කැඩපත ඔබ ගේ දයාබර ඇස මේ දිළින්දා දෙස අනේ එක මොහොතක් යොමැන්න මම දනිමි; මම දනිමි. මහ දන හෙටුවාණෙනි; අනේ ඔබ ගේ දයාබර ඇසට එක සැණක් මොහු ගේ මුහුන අරමුණු වුව හොත්; මෙසේ මේ දිළිඳියා බරින් පෙඟුණු මුහුණින් යුතු වැ අන් තව දනිසුරකු ගේ ඇසට ගොදුරු වන්නට නම් මේ යදියා ටසිදු නො වන්නේ යැ”. මෙසේ පුරා මහ පැබැඳුමක් බඳු මහ අරුතක් විහිදීම කරන හෙයින් ඒ උලාර නම් පණවත් කියුම් වෙසෙසට ගැනෙයි.

ගැට ලිහුම

  යදි = යදිනුයේ යදි යැ.

කවණැස් = කවණ ඇස්; දිළිඳි ඇස්, බැබැළීම හෙවත් උසස් බව වන නමින් ගැනේ. කුලයන් වණ නමින් ගැනෙන්නේ ද එ හෙයිනි. කවර නම් උසස් බවෙකැ කවර නම් බැබැළීමෙකැ යන අරුතින් කිසි ද බැබැළීමෙක් කිසි ද උසස් බවෙක් නැති යන අරුතින් දිළිඳා කවණ නම් වේ (කෘපණ-සකු)

පිළි = ආයේ මහ කුලුණු= කුලුණු ගුණය ඇතියා දකුලුණු නමින් මැ ගැනිණ

33. මෙදා ගුණය මෙන්

        		  නන් ගුණ රැස්හි වෙසෙස්
          		හැ‍ඟෙත් හොත් හඟිනු යුත්
          		උලාර සිරි සියෝ බව්.

පෙළ ගැස්ම - මෙ දා ගුණය මෙන් නන් ගුණ රැස්හි වෙසෙස් හැ‍ඟෙත් හොත්; උලාර සිරි සියෝ බව් හඟිනු යුත්.

තේරුම - මේ දීමනා ගුණයත් නැවීමේ ගුණයත් මෙන් නොයෙක් ගුණ සමූහයේ අමුතු බව හැඟී යේ නම් ඒ උලාර සිරියෙන් යුතු බව සැලැකීම නිසි යැ.

පැහැදුම - ඉහතින් දැක්වුණු පැදියේ දීමනා ගුණය ඉස් මතු වැ කැපී පෙනෙයි. දිළින්දා ගේ තැවීමේ ගුණය ද ඒ පැදියෙන් මොනොවට පෙනෙයි. මෙසේ යම් මැ කිවි කියමනෙකින් ගුණයන් ගේ වෙසෙසිතාව ඉතා බලවත් වැ ඉස්මතු වෙයි ද, ඒ කියමන උලාර සිරියෙන් යුතු කියමනක් සේ තැකිම නිසි යැ.

ගැට ලිහුම දා ගුණය = මෙහි දා සද දීමනාව යැ තැවීම යැ යන පළට අරුත් දෙකක් සඳහා යෙදිණ. දා = දාන දා = දහන

34. මහඟු වෙසෙසුන් යුත් අත් කෙනකුලාරැයි යෙත් මෙසේ හේ; මිණි හිනුදම්, රැවන් වළා, දිමුත් හර.

පෙළ ගැස්ම - මහඟු වෙසෙසුන් යුත් අත්, උලාරැ යි කෙනෙක් යෙත්. හේ මෙසේ; මිණි හිනුදම්, රුවන් වළා, දිමුත් හර.

තේරුම - මහ අගනා වෙසෙසුන් වලින් යුතු අදහස “උලාර” යැ යි කෙනෙක් පවසති. ඒ මෙසේ යැ.

මිණි හිනුදම්; රුවන් වළා, දිමුත් හර

පැහැදුම - මිණි හිනුදම, රුවන් වළාව, දිමුත් හර, යන යෙදුම් වලැ වූ වෙසෙසුන මැ අසන්නාගේ මනස සනහයි. එ බඳු වෙසෙසුන් යෙදීම “උලාර” නමැයි සමහරු කියති. අප කිවියා විසින් මෙහි “කෙනෙක්” යන වදනින් හැඟැවුණේ ගෞඩීයයෝ යැ. උසස් වෙසෙසුන් පද යෙදීම මැ කිවියාවේ උලාර පණ නමින් ඌ තුමූ ගනිති.

ගැට ලිහුම මිණි හිනුදම් - මිණි මෙවුල. හිත සදන දම හිනුදම් ල! හිනුදම් යන යෙදුම කිළිටි වුවක් සේ අපි තකම්හ. වඩා සූනිසි හිනදම් යනු යි.

රුවන් ළුළා - මැණික් වළල්ල දිමුත් හර - බැබැළෙන ඇටවැල

35. සමස්ති ලකළ වද පබ‍ඳෙහි ඔද පණ නම්, පසසිත් කෙනෙක් එ නියර පද බැඳුමෙහි දු හෙ මෙසේ.

පෙළ ගැස්ම - සමස්නි ලකළ වද පබඳයෙහි ඔද පණ නම්, කෙනෙක් එ නියර පඳ බැඳුමෙහි දු පසසිත්; හෙ මෙසේ.

තේරුම - සමාසයෙන් හැරැහුණ හොත් ඒ ගැදි පබ‍ඳෙහි ඔද පණ නම් වෙයි. පැදි බැඳීමෙහි දි ඒ පිළිවෙළ කෙනෙක් පැසැසුම් කෙරෙත්. ඒ වනාහි මෙසේ යි. පැහැදුම - ගැදි පබඳ සමස් පදවලින් සැරැහුණ විටැ ඒ මනහර යැ ළගන්නේ යැ. විදුමත්හු එයට “ඔද පණ” යැ කියති. මේ පිළිවෙළ පැදි බසේ දී එ තරම් නො තැකෙයි. එහෙත් ඒ පිළිවෙළට පැදි බැඳීම ගැන ද කෙනෙක් තුටු පහටු වෙත්.

ගැට ලිහුම - වද පබඳ - ගැදි පැබැඳුම (වාග් ප්රඑබන්ධය) ලකළ = ලකරනු ලැබුව හොත්. සරසනු ලැබුව හොත්. ලැකැරුම නම් සැරැහුම යැ. ඔද පණ = අරුතේ ඔදින් නැ‍ඟෙන පණ යැ ඔද පණ යැ පණ නම් වියැ යුත්තේ. සමස් පදවලැ ඔදින් නැ‍ඟෙන පණ “ඔද පණ” නමින් හැඳින්වීම කිවි දහම කෙලෙසීමෙකි. (ඕජෝ ප්රාවණ)

36. සුපුන් සරා සිසි රස් කලබෙව් සෙමෙර ලඹ දහසැඳිලි මුදුනැ වී රජ පලඹතෙහි තබජන් කග.

පෙළ ගැස්ම - ත පලඹතෙහි කහ බජන්; සුපුන් සරා සිසි රස් කලබ එවු සෙමෙර ලඹ රජ දහස මුදු නැ ඇඳිලි වී.

තේරුම - තා පඹලතෙහි කඩුව බජන කලැමනා වැ පිරුණු සරා සඳු ගේ කැලුම් මිටි බඳු සෙමෙර එල්බෙන රජ සමූහයා ගේ මුදුනේ දොහොත් වූයේ යි.

පැහැදුම - මළ ගිය පරාණයක් වගේ ඔහේ ආවාට ගියාට එල්බෙන 

අත නො වේ. පලඹන නම්” එකිතරා පිළිවෙලකට සපුරා පණ ඔද ගැන්වී එඩිමත් වැ මෙහෙයට යොමු වූ දකුණු අත යැ. පලඹන නමින් ගැනෙන්නේ. එහෙවු අතෙ කැ කග පත වීම ඉතා බිහිසුණුයි. ඒ කග පතින් කොයි මොහොතේ හතුරු ලොව මැ සුනේ සුනු වේ දැයි කියනු තබා හිතනු ද බැරි යැ. ඉතින් එහෙවු පලඹතෙහි කඩු පත ඇසුරු කැරුම යම්කිසි මහවිරු රජකු හට විණි නම්; ඔහුගේ සියලු එදිරි රජ වරුන් ඉබේ මැ දොහොත් නඟන වග කියැ යුත්තෙකැ? එහෙත් මේ පැදියෙන් කවන විසුමය එය නොවේ. සුපුන් සරා සඳුගේ රස් කලබ මෙන් මනහරට සෙමර එල්බෙන රජ සෙනඟ දොහොත් නැඟීමයි.

රජු සිහසුන අරා හුන් විටැයි ඔය කියන හැටියට සරා සඳ මෙන් සෙමර පැලැඹීම වනුයේ, සිහසුන අරා හුන් රජකු දොහොත් නඟනවා යැ, කීම ඉතා බිහිසුණු කීමෙකි. හැයි කිසි විටෙකැ එ බන්දක් නො සිදු වන හෙයිනි. එහෙත් මහ රජ; තාගේ පලඹතෙහි කග වත් මැ ඒ නො සිදු වීම සිදු වෙයි. සිහසුන් අරා උන් රජ සෙනඟ පවා නිකම් මැ දොහොත් නඟති. රජුන් දොහොත් නැඟු විටැ කවර සෙමෙර පැලැඹුම් ද, එල්බුම් විනා?

ගැට ලිහුම සුපුන් සරා සිසි රස් කලබ = මේ වදන් පෙළ තනි සම සෙකි. සමාස පදයෙකි. එ හෙයින් යැ මේ පැදිය ඔද පණවත් නමින් ගැනෙන්නේ. සරා සමයේ සිසි, සරා සිසි යැ. මනා වැ පිරි සිටි සරා සිසි සුපුන් සරා සිසි රස් කලබ නම්.

සෙමර = සෙමර නම් මුවා ගේ වලගයේ වූ හවරිය යැ මෙ සෙමර නමින් ගැනුණේ එය පවන් සැලීමට ගැනුණු උවාරනයෙකි. සෙසු පටු උවාරනයෙක් නොවේ. ඉපැරැණි පෙර දිගු රජවරුන්ගේ රජ බව (රාජත්වය) හඟවන උසස් මැ අවාරන තුනින් දෙකක් සෙමර යැ.

බජත් = ඇසුරු කරන කල්හි. ඇඳිලි = දොහොත කලබ = මිටිය, මේ කළඹ නමිනුදු ගැනේ.

37. දනකල් නමික්මැ නො පැවැතුම් ලොවී වැටමෙන් හෙ වැත්තෑ වදනෙහි වේ පිළි වැන්මෙහි දු හෙ මෙසේ.

පෙළ ගැස්ම - ලොවි වැටීමෙන් නො ඉක්මැ පැවැතුම් දන කල් නම්. හේ වැත්තෑ වදනෙහි පිළි වැන්මෙහි දු වේ. හෙ මෙසේ.

තේරුම - ලොවට අයත් (ලොව පිළිබඳ) වූ පැවැත්මෙන් ඈත් නොවූ මනා කියමන දනකල් යන නමින් ගැනෙයි. එය වනාහි තොරතුරු කියමනෙහිත් වැනුමෙහිත් වෙයි. ඒ මෙසේ යැ. පැහැදුම - කවියන් බොහෝ සෙයින් මැ හුරු වැ පුරුදු වැ ඇත්තේ අනෙක් අය මුරුංගා අත්තේ තැබීමට යැ. ඔවු, උහුලන්නට නොහැකි තරමට මැ වැනුම් කිරි මට යැ. කිවියන් ගේ ඒ වැනුම නිසා මැ ඔවුන් ගේ බොහෝ කියුම් ලෙවියා නොඅදහන තරමට මැ හෑල්ලු වූයේ යි. ඒ නිසා මැයි නො ඇදහියැ හැකි බොරු පුරසාරම් කයිවාරුව නමින් අපේ මිනිසුන් විසින් හැඳින්වෙන්නේ. කවියන්ගේ වහර යැ කයිවාරුව නම් ඉතින් කවියන්ගේ වහර යන මුල් අරුත ඇති ඔය කයිවාරු නම් වදන බොරු පුරසාරම යන තේරුමක් සඳහා අද යෙදීමෙන් මැ ඔබට ද හැ‍ඟෙනු ඇති කවියන් ගේ වැඩු වැනුම් බස කවර තරම් හැල්ලුතාවකට වැටී ඇති ද යන වග “දනකල්” නම් වූ කියමන් වෙසෙස ඒ කයිවාරුයෙන් හාත් පසින් මැ වෙනස් කියමන් වෙසෙසෙකි. යමෙකැ හෝ යමකු හෝ යමක හෝ පිළිබඳ පවත්නා සොබා තතු සොබා සැටියෙන් පැවැසීමයි දනකල් නමින් හැඳින්වෙන්නේ. “තාත්ත්වික” යැයි අද සමහරුන් අමුතු නමෙකින්; අමුතු බරවා නමෙකින් හැඳින්වෙන්නේත් ඔන්න ඔය දනකල් නම් කියුම් වෙසෙසයි. එය විත්තියක් පැවැසීමෙහි පළට වැ යෙදේ. එ පමණෙක් නොවේ. වැනුම් තොරතුරක් පැවැසුමට ද ඒ පිළිවෙළ ඉතා මැනැවි.

ගැට ලිහුම ලොවි = ලොව පිළිබඳ, ලොවට මැ අයත්. මෙය ලෙවි යන සෙයිනුදු සිටී. හෙළ කටට වඩා හුරු ඒ ලෙවි යන වදන යි. (ලෞකික සකු) වැටම = පැවැත්ම. වට දය පැවතුම් අරුත වැත්තෑ වදන = විත්ති පැවසුම. තොරතුරු කියුම වැන්මෙහිදු = වැනුමෙහි දු.

38. ගෙ නම් හෙ මැ තවසර යමක් ත බදෝ තමන් පිවිතුරු වූ සරණ යුගැ රජ රැස්නි රඳවත් නම්.

පෙළ ගැස්ම - තවසර, ත බ‍ඳෝ, තමන් පිවිතුරු වූ සරණ යුගැ රජ රැස්නි යමක් රඳවත් නම්, ගෙ නම් හෙ මැ.

තේරුම - තවුසාණෙනි, ඔබ වැන්නෝ තමන්ගේ පිරිසිදු වූ පතුල් යුවළෙහි දුහුලි ගොන්නෙන් යම් තැනක් බබළවත් නම්, ගෙය වනාහි අන්න එය මැයි.

පැහැදුම - මේ කියමන බැතියෙන් බර වූවකුගේ දෙඩුමෙකි. කොතරම් බැති බර වුව ද උන්ගේ පැවසුම බොහෝ දුර නිබොරු යැ. මේ තොරතුරු පැවසුමේ කල් ගුණයට නිදසුනෙකි.

ගැට ලිහුම - නබදෝ = තා වැන්නෝ රජ රැස්නි = රජ රැසින්; දුහුලි රැසින් රඳවත් = මේ රඳ දය බැබැළවුම් අරුතේ යෙදුණු තැනි. 39. වැජැඹෙන මෙ පියොවුරු බරට අත් ලිය අතුරු පමණ නො මැ වේ වැඩමට කලහස ලස ගමන් තී.

පෙළ ගැසුම - කලහස ලස ගමන්, තී බරට වැජඹෙන මෙ පියොවුරු වැඩමට අත්ලිය අතුරු පමණ නො මැ වේ.

තේරුම - කලහසුනට බඳු ලැසි ගමන් ඇත්තිය, තීගේ, බරට හෙබී පවත්නා මේ පියොවුරු වලැ විඩීම සඳහා අත් නැමති වැල් අතුරු (දැත නමැති වැල් අතරේ වූ ඉඩ) නො සෑහෙයි.

පැහැදුම - මේ වැනීම පිළිබඳ දනකල් ගුණයට නිදසුනෙකි. කතකගේ ලැසි ගමන ගැනත් වෙසෙසින් මැ වැඩෙන පියොවුරු ගැනැත් මෙයින් වැනුම් කැරිණ. හැබැයි; මේ වැනුම බොහෝ දුර සොබා හුරු යැ. නො සෑහෙන බොරු කයිවාරුවෙක් මෙහි නැති.

40. ඉසිත් මෙසෙ නුවන. දනෝ ලෙව්හි වැටුම්. කෙනෙක් තුසිත්ලු මෙසේ කියත් වියතුන් මැ කෙරේ.

පෙළ ගැස්ම - ලෙව්හි වැටුම් නුවනත දනෝ මෙසේ ඉසිත්. වියතුන් මැ කෙරේ කෙනෙක් මෙ සේ කියත් තුසිත් ලු!

තේරුම - ලොවේ පැවැත්ම අනුවැ පවත්නා ඇත්තෝ මේ සැටි (කියුමට) කැමැති වෙති. වියතුන් අතරැ මැ සමහර අයෙක් මෙන්න මේ අයුරින් කියත් හොත් තුටු වෙත් ලු!

පැහැදුම - ලොවේ එක එක අය ගේ රිසිය එක එක සැටියි. “හින්න රුචිර්හි ලෝකඃ” යනුයෙන් කැලිදස්සුත් ඒ වග කීවා හු නොවැ? ඔවු; කෙනෙකුගේ බලවත් රිසිය තව කෙනෙකු ගේ බලවත් පිළිකුල වන්නට ද බැරි නැති. දනකල් නම් මේ සොබාහුරු කියුම් ආරට බොහෝ ඇත්තෝ කැමති වෙති. එහෙත් වියතුන් අතරින් මැ සමහරු ඒ නියාව නුරුස්සන්නෝයි. (ගෞඩීයයෝ) එහෙවු ඇත්තෝ මෙන්න මේ හැටියට කියනවා නම් ලු කැමැත්ත. හොඳා බලමු ඒ හැටිය කවර හැටියෙක් ද කියා.

ගැට ලිහුම ඉසිත් = කැමති වෙත් නුවතන = අනුවැ පවත්නා (අනුවතන = නුවතන) නුවන් දය බස් ආදී ගණයෙහි වැටේ.

“නුවතී නුවතිති - නුවටි නුවටු”

නුවැ තේ - නුවතෙනි නුවැනිණි - නැවැතුණු” යන සේ යැ වර නැ‍ඟෙන්නේ.

කියත් = කියත් හොත්

41. සුරගෙ නීයමින් අද හිමින් අයැදමට වත්; නිවෙස් තමා සරන තා සරණ රජ දෝ පව් රැස්

පෙළ ගැස්ම - තා සරන සරණ රජ දෝ පව් රැස් තමා නිවෙස් අද හිමින් සුර ගෙ නියමින් අයැදමට වත්.

තේරුම - ඔබගේ ඇවිදීම නිසා ඔබ - පා දූලියෙන් සේදුණු කිලිටි 

සමූහය ඇති මගේ (සිය) නිවෙස අද පටන් දෙවොලක් සැටියෙන් ඇයැදීමට සුදුසු යැ. පැහැදුම - මේ වැඩි වැනුමෙකි. ඇත්තේ හැටියට මැ කයි වාරුවෙකි එහෙත් සමහරෙක් ඇත්තෙන්මැ මේ පිළිවෙළට ද රුසිති. මගේ ගෙය අද පටන් දෙවොලක් බඳු යැ ‍. ඒ ඇයි? දෙවියන්ගේ නිවෙස වූ දෙවොල සියලු කිලිටියෙන් මිදුණේ යැ. එහෙයින් ලෙවියාගේ ඇයැදීමට, දෙවොල සුදුසු යැ. අද ඔබ ගේ මේ පැමිණීමෙන් ඔබ ගේ පා දූහිලි නිසා මගේ ගෙයි සියළු කිලිටි සේදී ගියේයි. ඒ හෙයින් මගේ ගෙය ද අද පටන් දෙවොලක් මෙන් පිවිතුරු යැ. ලෙවියාගේ ඇයැදීමට ඉතා සුදුසු යැ.

ගැට ලිහුම සුරගෙ = සුරයා ගේ නිවෙස; දෙවොල නියමින් = සැටියෙන්, අයුරින්. අද හිමින් = අද පටන්, අද සිටැ. අයැදම = ඇයැදීම. (යාඥාව) දෝ = දොවින ලද (ධෞත - සකු) පව් = කිලිටි සරණ = මේ පය යැ යන අරුත දීම සඳහා මේ පැදියේ යෙදිණ. ඇත්තේ හැටියට මැ මෙ වදන ද ලියැ යුත්තේ සරන යන සැටියෙනි.

බඳුන, නියත, ගමන, අඳුන, මුසුන, පිස්න, යන ඈ වදන් පවුලට යැ මේ අයිති. බඳනුයේ යමෙකින්ද ඒ බඳුන් යැ. නියනුයේ (විදහන්නේ) යමෙකින්ද ඒ යැ නියන් නම්. එ මෙන් සරනුයේ යමෙකින් ද ඒ සරන නම වේ. බඳන නියන පිස්ත ආදි වදන් බඳ, නිය, පිස, යන පවතු (ධාතු) වලින් තැනුණාක් මෙන් සරණ යන වදන “සර” (ඇවිදුම්හි) යන පවතුයෙන් යැ තැනුණේ. එ හෙයින් එයට “සරණ” යන මූණුවරක් ගන්වනු බලවත් වරදෙකි. “ර” යන්නක් දුටු පලියට හෙළ බසේ “න” යන්න වෙවුලා පැනයන්නේ තැති. අරන්, රන්, සුරන් ඈ තැන් විමසත්වා සරන යන හෙළ වදන කිලිටි කොටැ සරණ යන වදනක් තැනුවෝ සකු ගැත්තෝ යැ. ඈතැ කලෙකැ සිටැ වැවහර විණැ යි වරද නිවරද නොවේ. කොතරම් පැරැණි කලකැ සිටැ හුරු පුරුදු වුව ද වරද නම් වරද මැයි. අප විහින් කළ යුත්තේ ඒ පිළිබඳ වැ ඇස් පෑදුණු වහා මැ වරද කළ යුත්තේ ඒ පිළිබඳ වැ ඇස් පෑදුණු වහා මැ වරද නෙරැපීම යැ. තව තවත් එය බදාගැන්ම නො වේ.

42. නහමා නො කැරැ මඳ

			මැවී බඹ නුභ සියල් 

මෙබඳු වැතී වන බව් පියොවුරු පතර පැතුරුම්.

පෙළ ගැස්ම - මෙ බඳු වැ තී පතර පියොවුරු පැතුරුම් වන බව් නො නහමා, බඹ සියල් නුබ මඳ කැරැ මැවී.

තේරුම - මේ සැටියෙන් තී ගේ මහත් පියොවුරන් ආරන බව නො විමසා බඹා සියලු අහස කුඩාවට මැවී යැ.

පැහැදුම - මෙ ද අර වගයේ මැ කයිවාරුවෙකි. හොඳින් වැඩෙන තන ඇතියක දැකැ විසුමයට පත් වූ වකු විසින් තෙපලන ලද සැටියෙකි මේ කියමන මුළු අහස් කුසේ ඉඩ තරමක් ඇය‍ ගේ පියොවුරන් ගේ වැඩීමට මඳ බව යැ මෙයින් හැඟෙවන්නේ.

43. නොවේ පණ දන කල්; නම් අතිසය ලකර වී කියත් යුත් සලෙළ කල් මෙයට පෙරැ කී මඟ සරැ

පෙළ ගැස්ම - දනකල් නම් පණ නො වේ. අතිසය ලකර වී කියත් යුත් සලෙළ කල් මෙයට පෙරැ කී මඟ සරැ. තේරුම - (මේ වනාහි) දන කල් නම් පණ වෙසෙස නො වේ “අතිසය ලකර” යැයි කියන්නට වටින්නේ යැ. සලෙළුවන් පිය කරු වූ මේ පිළිවෙළට වඩා පෙර කී පිළිවෙළ සරු යැ.

පැහැදුම - ගෞඩීයයෝ මේ දනකල් පණැයි හඳුනවති. එහෙත් දනකල් පණ යැ යන නමක් දෙනු ද මෙයට නුසුදුසු යැ මේ අතිසය ලකර නමට නම් ගැළැපේ. සලෙළෝ නම් මේ පිළිවෙළට කැමැත්තෝ යැ. එ හෙයින් දනකල් යන පසෙ කැ තබා අපි මෙයට දෙමු සූනිසි නමක්, ඔවු සලෙළ කල් යැ කියා නමක් දෙමු, මේ විකාර පිළිවෙළට වඩා කවර තරම් මැනැවි ද අර කලින් පෑ සොබ‍ා හුරු පිළිවෙළ.

ගැට ලිහුම - දන කල් = දනන් ඇදෙන්නේ යැ දන කල් නම්. (ජන කාන්ත සකු) අතිසය ලකර = වැඩිමනත් සැරහුම (අතිශයාලංකාර සකු) සරැ = සරු යැ

44. අන් දහමක් අනෙක් තැනෙකැ හෙවැ ලෝ වැටමෙන් මොනොවට හෙවැ ලෝ වැටමෙන් සමාදි යැ යෙත් හෙ මෙසේ.

පෙළ ගැස්ම - ‍ලෝ වැට මෙන් අන් දහමක් අනෙක් තැනෙකැ හෙවැ මොනවට පිහිටුවත් ‍ොත් සමාදි යැ යෙත්. හෙ මෙසේ.

තේරුම - ලොවේ පැවැත්මෙන් වෙනස් සොබාවක් වෙන අන් තැනෙකැ යොදා යොදා මනා සේ තැන්පත් කරත් හොත් “සමාදි” යැයි කියතා, ඒ මෙසේ යැ.

පැහැදුම - යෙදුම් විසින් හෝ වේ වා පැවැතුම් විසින් හෝ වේ වා ලොවේ එක්තරා වෙනස් වූ සොබාවක් හොඳට ගැළැපෙන හැටියට වෙන අන්කිසි යමකට හෝ යම් සොබාවකට හෝ ඇටැවේ නම් ඒ සමාදි නමින් ගැනේ. ගැට ලිහුම මොනොවට = මනාවට, මනා සේ. අ, යන්න ඔ යන්නක් බවට හැරීම අපේ බසේ සොබාවෙකි. වම්බටු, පළ, වම්බෝටු පොළ ඈ තැන් විමසන්නැ, මේ නියාවට අනුවැයි මනාවට යනු මොතොවට යන සේ සැකැසුණේ (මනාවට >මොනෝවට>මොනොවට)


45. කුමුදු නිඳා, පියුම් වෙනෙ පුබුදු වේ; වියුමෙන් මෙ නෙත් කිරිය දැරී මෙන් කියන වදන් සුලබ වේ.

පෙළ ගැස්ම - කුමුදු නිඳා, පියුම් වෙනෙ පුබුදු වේ වියුමෙන් මේ නෙත් කිරිය දැරී මෙන් කියන වදන් සුලබ වේ.

තේරුම - “කුමුදු නිඳයි පියුම් වනස පුබුදු වෙයි. ” පැවැසීමෙන් මේ ඇස් පැවැත්ම දැරුවා වගේ කියන්නා වූ කියමන් සුලබ යැ.

පැහැදුම - නිඳිමත් පිබිදීමත් ඇස් පිළිබඳ පැවැත්මෙකි. ඇස් නැති වුව ද; කුමුදු වලට හෝ පියුම් වලට හෝ එ බඳු ඉඳුරන් නැති වු වද - අපි එ බඳු වහරක් යොද මු. ඇත්තට මැ මෙහි සිදුවන්නේ කුමුදු හැකිළීම යැ, පියුම් පිපී විහිදීම යැ. එද අපි එසේ නො පවසා පණ ඇතිවුන්ගේ ඇස් ඇතිවුන්ගේ නිඳීම් පිබිදීම් බඳු පැවැතුම් ඒ කුමුදු නෙළුම් ආදියට ද පවරමු. එසේ පවරා කුමුදු නිඳයි නෙළුම් පිබිදෙයි; යන සෙයින් පවසමු. ඒ පැවැසුම් පිළිවෙළ බසෙ කැ වැවහරේදී සුලබ වැ හමු වෙයි. අන්න ඒ නැති පැවැත්මක් මනා සේ ගැළැපෙන අයුරින් වැවහර කිරීම සමාදි යන නම ලබයි.

ගැට ලිහුම කුමුදු = හෙල්මැලි නම් මල් වෙසෙස . වෙනේ = වන තෙමේ. නෙත් කිරිය = ඇස පිළිබඳ පැවැතුම් පිළිවෙළ නෙත් කිරිය දැරීමෙන් = ඇස පිළිබඳ කිරිය දැරුවාක් මෙන්. මෙහි කිරිය යනු කම; කටයුත්ත යන අරුතෙහි යෙදිණ. දුඹුල් යෙදුමෙකි.

46. සම බව්, මට සිලුටු, සුකුමරැ, මෙ තුන් වියතුන් දිව වදනින් මෙ යෙදේ පවසත් හොත් පළට කොටැ.

පෙළ ගැස්ම - සම බව්, මට සිලුටු, සුකුමාර යැ මෙ තුන් දිව වදනින් මැ පළට කොටැ වියතුන් පවසත් හොත් යෙදේ.

තේරුම - සම බව යැ, මට සිලිටි බව යැ, යන මේ තුන (තුන් පණ වෙසෙස) දිව වදනින් හෙවත් සකු බසින් මැ පළට කොටැ වියතුන් පැවැසීම කරත් හොත් මැනැවි.

පැහැදුම - හෙළ වදන් වල විසම ගුණය; රළු ගොරෝසු ගුණය කැල මැ නැති හැම හෙළ වදනක් මැ පාහේ දිව් කලු යැ, කන්කලු යැ. හෙවත් පහසුයෙන් ඉසිරැවියැ හැකි යැ. පහසුයෙන් ඇසියැ හැකි යැ කවර කියමනෙකැ හෝ වේවා වූ කවර මැ වගයේ හෙළ වදනක් වුවද හොඳට මට සිලිටි හොඳට සියුමැළි ගුණයෙන් සකස් වැ පවතී. ඒ නිසා ඒ ගැනැ අමුතුයෙන් තැත් කෑමක් නොඇවිසි යැ, අමුතුයෙන් නිදසුන් දීමක් ද නො ඇවිසි යැ. මී වදයෙකැ වූ මැස්සෝ පැණි රස නම් මේ යැයි අමුතුයෙන් දත උගත යුත්තෝ ද? ඒ වගේ මට සිලිටි හෙළ වදන් මැ හඬවන හෙළවනට ඒ ගුණය ගැන අමුතු වැටැහැවුම් නො ඇවිසි යැ. එහි අමුත්ත දක්නට යමකුට ඇවැසි මැ නම් හේ සකු නිදසුන් සොයා වා! කොතෙකුත් රළු පරළු සකු වදන් අතරට බලයෙන් මැ රංගැවූ සියුමැළි සකු වදන් හඬවා, අසා හෝ ඒ වෙනස ඇවැසි නම් උගනීවා!

ගැට ලිහුම දිව වදන = සකු බස. මෙහි වදන යනු බස යන අරුත දෙන්නේයි.

47. සකුරු කිරි මී උගු වෙන් වෙන් රස වෙසෙස් වේ. කියත් ඒ අසැකිය ගින් දුකිය පිළි කිවියර මඟ.

පෙළ ගැස්ම - සකුරු, කිරි, මී, උගු වෙන් වෙන් රස වෙසෙස් වේ. ඒ කියත් ඇසැකිය ගින් පිළි කිවියර මඟ දුකි ය.

තේරුම - හකුරු යැ, මී පැණි යැ, උක් යැ, යන මේවා වෙනස් වෙනස් අමුතු අමුතු රස ජාති වෙයි. ඒ කියත් හොත් නො හැකියාවක් මෙන් මේ කිවියර වදන් මඟද (කිවියන්ගේ කියුම් පිළිවෙළ ද) පවසනු අපහසු යැ.

පැහැදුම - කිවියන් ගේ පැවැම් පිළිවෙළ මනා වැ පැහැදිලි කිරීම හුඟක් අපහසුයි. කිරි, උක්, මී, සකුරු යන මේ රස ජාති කොයෙකත් මිහිරි තමා. ඒ වගේ මැ ඒ එක එක රසයක් අනෙක් රසයට වෙනස් තමා. එහෙත් ඒ වෙනස් කම මනා වැ බසින් පැහැදිලි කිරීම අමාරු කටයුත්තෙකි. හරියට අන්න ඒ වගෙයි. කිවි බස ගැන කරුණු පැහැසීමත්.

ගැට ලිහුම අසැකිය = නො හැක්ක ගින් = වගේ. සෙයින්. දුකිය = අපහසුයෙන් කියැ යුත්ත.

48. නිසඟ සිදු පිළිබන් උගත් ගත් විමල්නේ නොමඳ’ බියොවුදු හේ වේ වෙසෙසින් මෙ කව් සපුවට. ‍ පෙළ ගැස්ම - නිසඟ සිදු පිළිබන්, උගත් නේ විමල් ගත්, නොමඳ අබියොවු දු වෙසෙසින් මේ කව් සපුපට හේ වේ.

තේරුම - සොබායෙන් සිදුවන වැටැහීම ද; උගත්තා වූ නොයෙක් පිරිසුදු පත පොත ද; බොහෝ වූ පුරුද්ද ද වෙසෙසින් මැ මේ කිවියාවට කරුණු වෙයි.

පැහැදුම - කිවියාවට හෙය වන අවයව තුනෙක් මෙයින් දැක්විණ. උපන් හැකියාව එයින් වැදැගත් මැ තැන සේ ගැවෙයි. නොයෙක් පිරිසිදු පත පොත පිළිබඳ වැ හෙවත් නොයෙක් වගයේ වැදැගන් විදු සතර පිළිබඳ වැ දැනීම (බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව) කිවියාව සඳහා, කිවි සැපත සඳහා බලවත් උදවුවට සිටුනා දෙවැනි කරුණ යි.අනෙක නම් නිබඳ වැ මැ එක හැටියට මැ එක දිගට මැ ලබන්නා වූ ඇබැසිය යි.

ගැට ලිහුම

නිසඟ = සොබාව (නිසර්ග, සකු) නිසඟ සිදු = සොබායෙන් මැ සිදු වූ. උපතින් මැ ලත් යැ කියූ සේ යැ. පිළිබන් = වැටැහීම (ඇඟැලුම් කම) පිළිබඳ දයින් යැ මේ නිපන්නේ. (ප්රැතිභාන. සකු) නේ විමල් ගත් = කිවි සපුව සඳහා බොහෝ පත පොත පිළිබඳ දැනුම ද බලවත් සේ උදවු වෙයි. හැබැයි ඒ පත පොත අද අපේ සමහර සරසවි වදාරුවන් මේ රටට දෙන අර කුණු හරුප පත පොත මෙන් වැදි පොත් නෙ වියැ යුතු යැ. ඒ වැදැ පොතින් කිවියාට ඇති හවු හරණයක් නැති. ඒ නිසා යැ විමග් ගත් යනුයෙන් කිවියා තකහනියක් මැ එය වෙසෙසා පෑයේ.

බියොවු = පුරුද්ද. යොවුව නම් යම් වියපුරයෙකැ, යම් කමෙකැ යෙදීම යි. උසස් ලෙස එහි යෙදීම නිබඳ වැ නො කඩ වැ එහි යෙදීම නො පළට වැ කොතෙකුත් රහසේ පවා එහි යෙදීම අබියොවු ව නම්. අබරණ >බරණ; අසර >සර. එමෙන් අබියොවු>බියොවු මෙහි සකු වදන අපේ මහා පඬුවන් අතින් කෙලෙසීගියය වදනෙකි. “හටනට අඬ ගැමි ” යන ලෙස ඒ වදන අහලින් වත් නොයන අමුතු මැ අරුතක් අද අපේ හඩු පඬිවෝ ඒ වදනට බලෙන් කාවද්දති.

කිවි සපුව = සරසවි වරම යනුයෙන් යැ ගැමියා මේ අරුත අද ලබන්නේ කිවි හැකියා ව; කිවි සැපත. රූ සපුව, ගුණ සපුව, ඈ තැනුදු විමසත් වා !

49. නැත ද හේ, කළ තැත් ගතින් හො අයැදිය වදන් සිරි අනුගුරක් මෙ කෙරෙු එකත් කවර දනක් හට

පෙළ ගැස්ම - හේ තැනද, තැත් කළ; ගතින් හො අයැදිය කවර දනක් හට එකක් වදන් සිරි අනුගුරක් මෙ කරේ.

තේරුම - වාසනා ගුණය නැති නමුත් (උපන් හැකියාව නැති නමුත්) දිරි දැරුව හොත්; ගත් පුහුණුයෙන් හො අයැදියා වූ කවර තැනැත්තකු හට වුව ද එකතින් මැ වදන් තොමෝ සැපත පිළිබඳ වැ අනුගැන්මක් කෙරෙයි.

පැහැදුම - කිවියාව පෙරැ වාසනා ගුණයෙන් මැ ලැබිය හැක්කෙකැයි හුදක් නොහිතන් නැ. වාසනා ගුණය ද වේ නම් ඉතා මැනවි. එහෙත් එ බඳු උපන් හැකියාව නැත්තකු වුවද දිරි සුන් කැරැගැන්ම නො නිසියි. බලවත් උසහයෙන් බලවත් දිරියෙන් යුතු වැ නො කඩවා ලබන ලද පුරුද්දත්, බොහෝ පත පොත කියැවීමෙන් හා උගැන්මෙනුත් ලබන ලද දැනුමත් ඇති කවර නම් එකකුට වුව ද සරසවිය අත් උදවු දෙයි.

ගැට ලිහුම 

ගතින් = පත පොතින්; විදු සතරින්; යන දෙ අරුත මැ සඳහා යැ මේ යෙදුණේ. වදන් = වදන යැ පවනට පති දෙව් ලිය යැ යන දෙ අරුත මැ දෙයි. අනුගුරක් = අත් උදවුවක් ඉගිරීම නම් අයින් කිරීමයි; නෙරැපීමයි; පිටු දැක්මයි. මෙහි දය (පවතුව) උගුරු යනුයි. අයින් කිරීමෙන් අන් වූයේ (තුරන් වූයේ) අනුගුරු යැ අයින් කිරීමෙන් අන් විම නම් ළඟට ගැන්මයි; උදවු දීමයි. මෙයට රුවින් අසල් සකු වදන අනුග්රිහ යනුයි. එහෙත් ඒ අනුගුහ යන සකු වදන හා මෙහි හා ඇති නෑ දෑ සබද කමෙක් නැති. සිංහල වතුරු සද, ඉංගිරිසි වෝටර් යන්න හා හඬින් සම යැ. එහෙත් අරුතිනුත් සම ද? එ මෙනි.

50. එ බව්නි බඳ තැනින් නිබද බස් අරියන්නේ, කිචි බිචි නැත ද ඉමහත් වියත් සෙබෙ ඉසිර බෙජේ.

පෙළ ගැසුම - එ බව්නි බඳ තැනින් නිබඳ බස් අරියන්නේ. කිචි බිචි නැත ද වියත් සෙබෙ ඉමහත් ඉසිර බෙජේ.

තේරුම - ඒ නිසා කඩ නොවූ දිරියෙන් (උසහයෙන්) නිතොර වැ මැ බස සොම්නස් කරවන්නැ සරසවිය පිනවන්නැ. මනා වැ බස් වහර උගන්නැ යි කියූ සේයි. (සමහර විටැ) කිවි බව නැති වූ නමුත් වියතුන්ගේ සොබාවෙහි ඉතා මහත් හෙටුතාව ඇසුරු කරන්නේ යැ.

පැහැදුම - කිවියාව පිළිබඳ වැ උපන් හැකියාව හැමට මැ නැති. ඒ නිසා උසහයෙන් තුරන් නො වන්නැ. නිබඳ වැ මැ නො කඩවා මැ බස් වහර හදාරන්නැ ඒ අනුසරින් හිතැවිලි ගොන්න කොතෙකුත් වවාගන්නැ. සූනිසි සේ බස වැවහර කිරීම පිළිබඳ වැ හොඳට හුරු පුරුදු වන්නැ. හැබැයි සමහර විටැ එයිනුත් කිවියාව නොලැබෙන්නට පිළිවනි. කෙහෙල්මල් කිවියා ව! එය යකාට ගියා වේ. ඔබ හොඳට නිබඳ වැ මනා සේ බස් වැවහරෙහි හුරුපුරුදු වූයේ නම්, වියතුන් ගේ මහ සබාවල ඉහළ මැ ඉහළ තැන ඔබට ලැබෙන්නේ මැයි. ඉතින් ඒ මදිද?

ගැට ලිහුම අරියන්නේ = අරිය (පිනැවීමෙහි) පවතුවයි. අරියා අරියති යන සෙයිනි වර නැ‍ඟෙන්නේ. එ හෙයින් අද මහ විදුමතුන් විසින් ලියනු ලබන “ඇරැයුම්” යනු හරුප යෙදුමෙකි. ඇරියුම කියා යැ වියැ යුතු.

ඉසිර = හෙටුතාව, උසස් බව. ඉසුරු බව යැ ඉසිර නම්. බෙජේ = ඇසුරු කෙරේ. බජ යනු පවතුවයි.