සියබස් ලකර විවරුව-විවරුවiii

Wikibooks වෙතින්

103. උවන් මැ නොපියුම්; පිළි නොබමර යුග නුවන්. වියතෙක් වැනි විලස්නෙන් තතු කියුමුවම් නම් වේ.

පෙළ ගැස්ම - උවන් මැ නො පියුම්. පිළි නො බමර යුග; නුවන් මැ; වියත එක් වැනි විලස්නෙන් තතු කියුම් උවම් නම් වේ.

තේරුම - මේ තිගේ මුහුණ මැයි; නෙළුඹ නොවේ. ආයේ - කියනු නම් - මේ බමර යුවළ ද නොවෙති‍ නෙත් මැයි. මෙ සේ කියන කලැ එක් වැනි මැ විලස පෑම නිසා තතු පැවැසීමේ උවම් නම් වේ.

පැහැදුම - තතු පැවැසුම නම්; වූ සොබාව ඒ හැටියට මැ පැවසීමයි. අර බඳු යැ මේ බඳු යැ හෝ කියා අරමුණ ඉස්මතු කැරැම් තමා මෙයින් සිදු වන්නේ “මේ නෙළුඹෙක් ද? එ නැත ති‍ගේ මුහුණ ද? හා හා නෙළුඹ මෙ තරම් මනහර නො වේ. කොටින් මැ මේ නම් නෙළුඹ නො වේ තිගේ මුහුණ මැයි. මේ බමර යුවළෙක් දෝ එ නැත තිගේ ඇස් දෝ! හා හා හරි හරි. මේ තිගේ ඇස් මැ තමා; කවර නම් බමර යුවළෙක් ද? මේ හැටියෙන් එක්තරා සැකයෙකැ මොහොතක් ඉඳෑ බලවත් නිනවුවකට එක එල්ලේ මැ බස්නා හෙයින් “නිනවූ දිසි උවම” යන නම ද මෙයට තිස්සේ යැ.

104. සඳ කමලෙක් වැනි විලසික් මැ තී මේ වුවන් අත් මෙ සෙමෙ වී යත්

	නොඅන් සුදුසු උවම් නම්.

පෙළ ගැස්ම - සද කමල හා එක් වැනි බව ඉක්මැ තී මේ වුවන් අත් මේ සෙමෙ වී යත් නොඅසන් සුදුසු උවම් නම්.


තේරුම - සඳ හා කමල හා එක් වැනි බව ඉක්මැගොස් තී ගේ මේ මුහුණ තමා හා මැ සම යැ කියා පවසත් හොත් නොඅන් සුදුසු උවම් නම් වේ.

පැහැදුම - “තී ගේ මුහුණ සඳ හා සම නැති, නෙළුඹ හාත් සම නැති, ඒ සමතාවට වඩා උසස් තාවෙක් ති ගේ මුහුණේ වෙයි. ඔවු සමතාව ඉක්මවාපියා තී ගේ මුහුණ වජඹී. අන්න ඒ නිසා තී ගේ මුහුණ සම වන්නේ තී ගේ මුහුණ හා සමඟ මැයි. සඳ වැනි යැ කමල වැනි යැයි අන් උවමක් එයට යොදනු නො මැනැවි.” මේ හැටියෙන් පවසන කලැ මුහුණ ඉස්මතු වැ කැපී පෙනෙනුයේ අන් කිසි උවමක් හා නො ගැළැපෙන සැටියෙනි. අන් සියලු දැයේ සිරියාවට වඩා උසස් වැ නැගීසිටුනා සැටියෙනි. ඒ හෙයින් මේ නොඅන් සුදුසු උවම් යන නම් ලබයි.

ගැට ලිහුම -

අත් මෙ සෙමෙ = තමා හා මැ සම යැ. නොඅන් සුදුසු = අනෙකක් හා නොගැළැපෙන. (“අතන්ය සදාශ” “ අනනන්ය සාධාරණ” - සකු)

105. තැනෙකිහි රැසි වූ මෙන් හැම පියුම් පැහැසර, වොරජනේ ති වත් යත් නොවූවම් නම් වියත් මෙ.

පෙළ ගැස්ම - තැනෙක්හි රැස් වූ හැම පියුම් පැහැසර මෙන් තී වත් වොරජනේ යත්; මෙ නොවූවම් නම් වියත් . තේරුම - එක තැනකට රැස් වුණා වූ සියලු මැ නෙළුම්වලැ පැහැ හරය වගේ තී ගේ මුහුණ හොබනේ යැ යි කියත් හොත්; මේ ‘නොවූ උවම්’ නමැයි පවයති.

පැහැදුම - නොවූ උවම් යන්න අභූතෝපමා යන නමින් සකුයේ හැඳින්වේ ඒ උවම නොවි යැ හැක්කෙකි. එ හෙයිනි ඒ නම්.

ලොවේ ඇති සියලු මැ නෙළුම් එක් තැන් කිරීම හෝ ඒ සියලු මැ නෙළුම්වලැ පැහැයේ හරය පෙරීම හෝ නො කළ හැක්කෙකි. ඉතින් එ සේ නො වියැ හැකි සිදු වීමක් උවම සේ ගත් හෙයිනි ඒ නො වූ උවම් නම් ලබන්නේ. සමහරු නො උවම් යන්න පිරිසිදු පෙළ සේ ගෙනැ අරුත් බෙණෙති අභුතෝපමා යැයි ඒ විහිළුවෙකි. නො උවම් යන්නේ අරුත උවම් බැවින් අන් යනු යැ.

ගැට ලිහුම - පැහැසර = පැහැයේ හරය. පැහැයේ උසස් මැ කොටස- (ප්රුහාසර - සකු)

106. වස සෙ සඳින්, සඳුන් දෙලෙන් හුතැස් මෙන් තී මේ වත්නි කැකුළු වදන් වියත් දුහුදු උවම් නම්.

පෙළ ගැසුම - “ සඳින් වස සෙ, සඳුන් දෙලෙන් හුතැස් මෙන්; තී මේ වත්නි කැකුළු වදන් වියත්; මේ දුහදු උවම් නම්.

තේරුම = “හඳින් විස වගේ හඳින් දියරෙන් ගින්න වගේ තී ගේ මේ මුවින් කැකුළු වදන්” යි කියත් හොත් ඒ “දුහදු උවම්” නමැයි පවසති.

පැහැදුම - මේ උවමේ සුනිසි නම “දුහදහු උවම්” නමි. මනා හැදැහිලිමත් බැවින් තොර උවම යැ දුහදහු උවම් නම්. හඳින් සිසිල මිසැ අමාව මිසැ විස නික්මෙති යි කිව් දහමෙක් නැති. හඳුන් දි‍යරෙන් ගින්න විහිදීමද සොබාවෙක් නො වේ. ඒ නොසොබා ගුණය මුල් කොටැ ගෙනැ උවම තැනුණු හෙයින් ඒ “දුහදහු උවම්” නමි. දුශ්ශ්රාධයෝ පමා; අසම්භාවිතෝ පමා යන නම් වලින් මෙය සකුයේ හැඳින්වෙයි. “දුශ්ශ්රාධයෝ” යන නම මිසැ “අසම්භාවිතෝ පමා” යන මන මෙයට නො ගැළැපෙන්නේ යැ. අසම්භාවනය නම් නොඇදැහීමයි එහෙත් මේ උවමේ අරුත නම් මුළුමනින් මැ නො හැදැහිය හැකි බවෙක් නො වේ; අදහන්නට අපහසු බවෙකි එයින් ඇගවෙන්නේ. එ නිසා “දුස්සම්භාවිතෝ පමා” යනුයෙන් ඒ නම සැකැසුණු මනා යැ.

ගැට ලිහුම - කැකුළු වදන් = රළු වදන්. නොකන්කලු නොමනහර වදන් - හරුප බස් යැ කියූ සේයි. හුතැස් = ගින්න.

107. සඳුන් දල, සඳ රස්, සිසි කත, මරු, කපුරු, හර හැලි, හෙල්මැලි සිහිල් ති පහයැයි යත්, බුහු උවම්.

තේරුම - “සඳුන් ජලය, හඳ රස්, හඳකත්, හුළඟ, කපුරු, මුතුහර, දිය ඇලි, හෙල්මැලි මෙන් සිහිල් වූ තී ගේ පහස” යැයි කියත් හොත් ඒ බුහු උවම් නම් වේ.

පහසේ සිහිල් ගතිය ඉස්මතු කැරැපෑම පිණීස; සඳුන් ජලය, හඳ රස්, හඳ කත්, බඳු උවම් ග‍ණනෙක් මැ මෙහි ඉදිරි පත් විණ. එහෙයින් යැ ඒ බුහු උවම් නමින් ගැනුණේ.

ගැට ලිහුම - දල = දිය, - ජලය- සිසිකත් = දිය තරිප්පු ගල්. හඳ පායන විටැ මේ ගල් වෙසෙසින් දිය වැගිරෙතියි කිවි සමයයි. එහි එක්තරා හැබෑවෙක් ද වෙයි. ඒ ගල් ඉතා සිහිල් ගුණයෙන් යුතු නිසා; වෙසිසන්ම රැයට ඒ සිහිල් ගතිය දියුණූ වැ යන නිසා; හරියට මිදුණු දිය බැහුණු වීදුරු විදුරු විතෙකැ පිටතින් දිය බේරෙන්න‍ා වගේ ඒ ගල් වෙසෙසින් ද දිය බේරෙන්නට බැරි කිමෙක් නැති.

මරු = හුළඟ. මැරීම නම් මිරිකීමයි තෙරපීමයි. නිඳි මැරීම නම් නින්ද තෙරපීමයි - පන්නා හැරීමයි. ඉඟි මැරීම නම් ඉඟිය - අදහස - තෙරැපීමයි. බලෙන් කාවැදිදීමයි. හුළඟ මුළු වටපිටාව මැ තෙරපන හෙයින් ඒ මරු යන නම ලබයි. මරනුයේ මරු යැ -

108. කළ වන් සිසි බිඹුනි ගෙනු ‘පුළ වන් තී වුවන් තඹුර ශබිනුදු තුනුවඟ වියත් විකර උවම් යෙත්.

පෙළ ගැස්ම - “තුනුවඟ, සිසි බිඹුනි තඹුරු ගැබිනු දු උපුළ වන් ගෙනැ තී වුවන් කළ වන්” වියත් විකර උවම් යෙත් .

තේරුම - ළඳ, හඳ මඩලින් හා තඹුරු ගැබිනුත් උපුරා ගන්නා ලද පැහැය ගෙනැ තී ගේ මුහුණ කළා වැනි යැයි කියත් හොත් ඒ විකර උවම් නමැයි පවසති.

පැහැදුම - සඳ මඩලත් නෙළුඹත් එකකට එකක් වෙනස් පැවැතුම් ඇති දේවල් යැ. හඳ පුබුදිත් මැ නෙළුම් මැලැවෙයි. නෙළුම් පුබුදිත් මැ හඳ මැලැවෙයි. මේ වෙනස් දෙ වතෙකැ වූ පැහැය ද විකර සොබා ඇත්තේයි. ඒ පැහැය උපුරාගෙනැ තී ගේ මුහුණ කළ‍ා වැනි යැයි පවසත් මැ අර විකර සොබාව යැ උවමට නැ‍ඟෙනුයේ අන්න ඒ හෙයින් යැ මේ විකර උවම් නමින් ගැනෙන්නේ. “වික්රිනයෝපමා” නමින් මේ සකුයෙහි ගැනේ.

ගැට ලිහුම - උපුළ = උපුරනලද.


109. නුබැ දවසෙව්; දවසැ හිරෙවු; හිරුහිදු රස් එවූ සිය වික්ම ත- කෙරේ දිනි සිරි යත් මල් උවම් නම්.

පෙළ ගැස්ම - නුබැ දවස එවු, දවසැ හිරු එවු, හිරුහි දු රස් එවූ සිය වික්ම තා කෙරේ සිරි දිනි; යත් මල් උවම් නම්.

තේරුම - අහසෙහි දවස වගේ, දවසෙහි හිර වගේ, හිරෙහී දු දිස්නය වගේ තමා ගේ වික්මය තා කෙරෙහි සිරිය ඉපැදැවී යැ යි කියත් හොත් ඒ මල් උවම් නමි.

පැහැදුම - අහසේ සිරියාව ඇති වූයේ දවස නිසා යැ. දවසේ සිරියාව ඇති වූයේ හිරු නිසා යැ. හිරෙහි ද සිරියාව හට ගැනුනේ එහි මැ දිස්නය නිසා යැ. ඒ වගේ විකුම් තා කෙරෙහි සැපත හට ගැන්වී යැ. මේ මල් උවමට නිදසුනි. මාලාවක් මෙන් උවමේ සකසා වදන් ඇමිණී ඇති හෙයින්; අරුත් සැබැඳී ඇති හෙයින් මේ මල් උවම් නම් ලබයි. මෙහි මල් යන්නේ අරුත මාලාව, දම; යනු යැ. “පුෂ්පය තුවටුයෙන් ස්පර්ශ කරන ලෙස උපමාන වස්තුන් ස්පර්ශ කරන හෙයින් මල් උවම් නම් විණැ” යි අයෙක් මෙහි පුෂ්පාර්ථයක් ගන්වතී. ඒ බලවත් විහිළුවෙකි.

110. වද පබදක් සියො වැ

වද පබඳරුත් සම වත වද පබඳුවම් නම් වූ හෙ එක් නොඑක් එවූ සඳැ

පෙළ ගැස්ම - වද පබඳක් සියො වැ වද පබඳරුත් සම වත, වද පබඳුවම් නම් වූ හේ එක් නොඑක් එවු සද යැ.


තේරුම - වදන් තිබැඳුමක් හා සමඟ - යම් කිසි - වදන් නිබැඳුම් අරුතක් සම වන කලැ “ වද පබඳ උවම්” නම් වන්නා වූ එය එක් එවු සද යැ බොහෝ එවු සද යැයි - දෙ සැටියෙකි.

පැහැදුම - වද පබඳ උවම් නම් කිමෙක් ද? යම් කිසි නිබඳුමක් යම් කිසි කියමනක්; වෙන යම් කිසි නිබැඳුමක් හෙවත් කියමනක් හා සමඟ අරුතින්, අදහසින්, හැගුමෙන්; සම වත හොත් අන්න එයයි. මෙ වද පබඳ උවම දෙ සැටියෙකි. එක් එවු සදින් යුත් වද පබඳ උවම යැ, නොඑක් එවු සදින් යුත් වද පබඳ උවම යැයි මුළු අරුත මැ එකක් සේ ගෙනැ එය හා උවමක් නඟන විටැ එයට යෙදෙනුයේ “එවු” සඳ එකෙකි.

එහෙත්; අරුත වගක් වගක් පසා බිඳැ ඒ එක් එක් වගකට අනුවැ උවම නඟා දක්වන විටැ එහි එවු සඳ කිහිපයෙක් ඇති වෙයි. මෙ නිදසුන් විමසා බලන්නැ.

ගැට ලිහුම- වද පබඳ = වදන් නිමැවුම - වදනින් ගොතන ලද පුරා අරුත් වැල - මෙයට වාක්යානර්ථ යැයි සමහරු අරුත් පවසති. ඒ නො මැනවී. සම වත = සම වත් මැ; සමාන වන කලැ. සියොවැ = එක් වැ

111. යල නෙත් වොරජනා දසන් මෙරජ වුවන් තී බමන බමර දුළ කෙසරු පුබුදු පියුමෙවු හොබනේ.

පෙළ ගැස්ම - සල නෙත් වොරජනා දසන් මෙරජ වොරජනා තී වුවත්, බමර බමන කෙසරු දුළ පුබුදු පියුම එවු හොබනේ.

පැහැදුම - මේ එක් එවූ සදට නිදසුනී. තී ගේ මුහුණ නෙළුඹක් මෙන් හොඹනේ යැ. ඒ හැයි? නෙළුඹ සිසාරා බමරු බමති. හෙවත් බමරු නෙළුඹ සිසාර‍ාතී. තී මුහුණේ සසල ඇස් වොරඳියි. නෙළුඹේ කෙසරු බැබැළෙයි. තී මුහුණේ දසන් කැලුම් වොරඳියි. ඒ නිසා තී මුහුණ නෙළුඹ හා එක් වැනි යැ. මේ නිසා විමසා බලන්නැ. මුහුණත් නෙළුඹත් එක් වැනි යැ. එසේ එක් වැනි වන්නට හෙය කාවියා පැහැදිලි කළේ, ඇස් යැ; බමරුයැ; දත්යැ; කෙසරු යැ; යන තවද, සමතා දෙකක් පිහිට කොටැ ගැන්මෙනි. එහෙත් ඒ සමතා දෙක කිවියා පෑයේ නැති. හේ මුහුණ යැ නෙළුඹ යැ යන මුල් සමතාව මැ හුවා පෑයේ යි. ඒ නිසා එක එවු සදෙකින් ඔහු ගේ හැඟුම පැහැදිලි විණ.

ගැට ලිහුම - සල නෙත් = සසල ඇස්, දසන් මෙරජ = දත් කැලුම් පුබුදු පියුම = පිපුණු නෙළුඹ.

112. සර වන් එ තුනුවඟ කලේ සම එ වුවන්හි බමරෙවු බිබී කෙළනෙම් මුව මි මී සුදුසු වූ.

පෙළ ගැස්ම - සර වන් එ තුනුවඟ කමල් සම එ වුවන්හි මී සුදුසු වූ මුව මී බිබී බමර එවු කෙළනෙම්.

තේරුම - විල බඳු වූ ඒ අඟන ගේ නෙළුඹ හා සම වූ මුහුණෙහි පැණි වැනි වූ මුව මීය බිබී බමරා මෙන් කෙළනෙමි.

පැහැදුම - මේ නොඑක් එවු සදට නිදසුන් යැ. වන, සම, සුදුසු, එවු යන යන වදන් කිහිපයෙක් මෙහි අරුත පණ ගැන්විණ.

 	වන්, සම, සුදුසු, එවු යන මේ වදන් නිසා අඟන විල 

යන මුල් සමතාව පමණක් නො වේ මෙහි ස්මතුව නැ‍ඟෙනුයේ. වුවත, කමල; මුවමී, මී; සලෙළ, බමර; යන තව දු සමතා තුනෙක් අර මුල් සමතාව හා එක් බඳු වැ මැ ඉස්මතු වෙයි. ඔය කියමන මැ

		ඒ තුනුවග සරෙහි

වුවන් කමලේ මනහර මුව මි මී බිබී මම් බමරකු ලෙසින් කෙළනෙම්.

යන ලෙස එකමැ එවූ සදක් - සම අරුත දෙන වදනක් - යොදා පැවැසිණි නම් පැදියෙන් කවනු ලබන හැඟුම කලින් පෑ පැදියේ හැඟුමට වඩා වෙනස් වෙයි. එ විටැ එහෙනම් පැදියෙහි ඉස්මතු වනුයේ “ බමරකු ලෙසින් මම කෙළනම්” යන්නයි.

ගැට ලිහුම

තුනුවඟ = අඟන. පිරිමින් හට වඩා සොබායෙන් මැ සිහින් සිරුරු ඇතියෙන් අඟනෝ තුනවඟ යන නම ලබති. තන්වඞ්ගී, කෘෂාඞ්ගී, යනු ඒ අරුත අනුවැ සැකැසුණු සකු වදන් යැ. හැබැයි, තෙල් පීප්ප බඳු, බරනි බඳු, සිරුරු ඇති අගනෝත් වෙති. ඔවුන් ගැනැ තකා නොවේ: වැඩි හරියක් අඟනන් ගේ සැටි තකා යැ මෙ වදන් සැදුණේ.

113. කිය‍ා එක් වත් එක් දහමක්හු දක්වත් හොත්; සම බව් පිළිවත් නු වී පිළිවත් උවම් හෙ මෙසේ.

පෙළගස්මැ - එක් වත් කියා එක් දහමක්හු දකිවත් හොත් සම බව් පිළිවත් වී නු පිළිවත් උවම්. හෙ මෙසේ.

තේරුම - එක් පවතක් පවසා - ඒ හා පිළිබඳ - එක් දහම්තාවක් එක් සොබාවක් දක්වත හොත් සම බවට පිළිවතක් - ප්රළතී වස්තුවක් - වූ හෙයින් ඒ පිළිවත් උවම් නම් වෙයි.

පැහැඳුම - යම් කිසි වතක් - වස්තුවක් - හෝ යම් කිසි පවතක් හෝ ඉදිරිපත් කොටැ; එහි සොබාව මනා සේ ඉස්මතු කැරැ පෑම සඳහා වෙන යම් කිසි වතෙකැ - වස්තුයෙකැ - වූ දහම්තාවක් ඉදිරිපත් කෙරේ නම්, එය පිළිවත් උවම් නමි. මෙහි ඉදිරිපත් මතට පවතට වඩා හාත්පසින් මැ වෙනස් වතෙකින් හෝ වුව ද ඇරැ දක්වන දහම් පවත පමණක් මැ සම වේ නම් ඒ සෑහෙයි.

114. තසේ නැතන් රදෙක් උපදනා රදනතුරේ දෙවනු වූ නැත් මැයි තුරේක් පරසතු නම් තුරු වරට.

පෙළගැස්ම - උපදාන රදුන් අතුරේ තා සේ අත් රදෙක් නැත්. පරසතු නම් තුරු වරට දෙවනු වූ තුරෙක් නැත් මැයි.

තේරුම - උපදින්නා වූ රදුන් අතුරේ තා බඳු අන් රජෙක් නැති ( එය එ සේ මැයි ) පරසතු නම් උතුම් ගසට දෙ වනු වැ උපදින වෙන එ බදු ගසෙක් නැත් මැයි.

පැහැදුම - අද මුළු ලොවේ මැ තා හා සමාන රජෙක් නැති. එ යේ වා! මතු ලොවේ උපදිනා රජුන් අතරේ හෝ වුව තා බඳු අන් රජෙක් පහළ නො වේ. එය එසේ මැයි පරසතු ගහ බඳු අන් ගසක් මතු කිසි කළෙකැ නොහට ගන්නේ යැ. “ තා හා සමාන අන් රජෙක් තට දෙවනු වැ අයේ ලොවේ නූපදින්නේ යැ.”

  	මේ මුලින් පැවැසූ පවතයි. මේ පවත හා සමාන 

දහම් සොබාවක් ඊළඟට දැක්විණි. “පරසතු ගස හා සමාන අන් ගසෙක් එයට දෙවනු වැ ආයෙත් ලොවේ ඇති නොවේ” මේ අර පවත හා සම වැ දැක් වූ දහම් පවතයි සොබාවයි.

ගැටලිහුම - පිළිවත් උවම = වස්තුවක් හා සම අන් වස්තුවක් දැක්වීම පිළිබද උපමාව - ප්රොතිවස්තු උපමාව-

115. ඉතිරි යමක් හු හා මෙරමා හා කමෙහි එක් සමයෝ කැරැ පවත්වත් සමයෝ උවම්; හෙ මෙසේ.

පෙළ ගැස්ම - ඉතිරි යමක්හු හා මෙරමා හා එක් මෙහි සමයෝ කැරැ පවත් හොත් ඒ සමයෝ උවම්. එ මෙසේ.

තේරුම - උසස් යමකු හා සමඟ අන් කෙනෙකු එක් බඳු කටයුත්තේ දී එක හා සමාන කොටැ පැවැත්වීම කරත හොත් සමයෝ උවම් නමි. ඒ මෙසේයි.

පැහැඳුම - සමයෝ උවම් නම්; යෙදීම පිළිබඳ වැ පැවැත්ම පිළිබඳ වැ සමතා විදහා දක්වන උවමයි. ඒ පිළිබඳ පුඟුලන් අතරැ නොයෙක් වෙනස් කම් තිබියැ හිකියි. සමහර විටැ උවම පිණීසැ යොමු කළ අය අනෙක් අයට වඩා ඉතා උසස් වියැ හැකියි. එහෙත් ඒ දෙ පළෙහි මැ එක් බඳු පැවැත්මක් නිසා යැ දෙ පළ සම කොටැ දැක්වීම කරනු ලබනුයේ.

ගැට ලිහුම සමයෝ උවම = සමාන යෙදුම පිළිබඳ උපමාව (තුල්යහ යෝග උපමාව ) ඉතිරි යමක්හු = උසස් යම් කෙනෙකු. උවැමියට වඩා උවම හැම විටැ මැ උසස් වියැ යුතු වග යැ මේ පෑයේ. මෙරමා = අන් අය. පවත්වත් = පැවැත්වීම කරත් හොත්. පවත්වත් හොත්. එක් කමෙකි = එක් බඳු කට යුත්තෙහි. එක් වැනි කමෙහි.

116. දෙවිඳු රකි සුර ලොව හිමිඳු රකී මුළු පොළෝ වනසා හෙ අසුර සහස් හිමි වනසා රුපු සහස්.

තේරුම - දෙවිඳ‍ා සුර ලොව රකියි. හිමි උතුමා මුළු පොළොව රකීයි. හේ තෙමේ ( දෙවිඳු තෙමේ ) අසුර සුමුව - අසුරයන් සමූහය - වනසයි හිමිතෙමේ හතුරන් සමූහය වනසයි.

පැහැදුම - සැබැවින් මැ රජුට වඩ‍ා සක් දෙවිඳා උසසකු වන්නට ඇති එහෙත් සක් දෙවිඳා ගේ පැවැත්මේත් රජුගේ පැවැත්මේත් ඇති එක්තර‍ා සම ත‍ාවක් නිසා සකි දෙවිඳ‍ාත් රජුත් සම වෙති. අන්න ඒබඳු සමතාවක් ඇද පෑලා, උසසකු නොඋසසකු හා ‍සම කොටැ පෑම තමා සමයෝ උවම් නම්. මෙය පෙරදිගු කිවියන් බහුල වැ සෙදූ උවම් වහරෙකි.

117. යෙසෙන් නිසයුරු වන් තෙදින් හිරු තෝ මහ රජ ගැඹුරින් සයුරු වැන්නෙහි. යත් මේ හේ උවම් නම්.

පෙළ ගැස්ම - “මහරජ තෝ යෙසෙන් තිසයුරු වත්; තෙදින් හිරු වන්; ගැඹුරින් සයුරු වැන්නෙහි” යත් හේ උවම් නම්.

තේරුම - “මහරජ තෝ යසස නිස‍ා හඳ වැනි යැ. තෙදස නිසා හිරු වැනි යැ; ගැර්ඹුරරු ගුණය නිසා සයුර වැනි යැ” යි කියත් හොත් මෙය හේ උවම් නම්.

පැහැදුම - හෙය දක්ව‍ා උවම් ගැන්වීම ( සම කම් පෑම ) හේ උවම් නමි. “මහ රජ තෝ යසසනිසා සඳු වැන්නෙහි යැ” යි කියත් මැ රජු සඳු බඳු වන්නට හෙය පහද‍ා දක්විණි. කුමක් හෙයින් රජු හඳු බඳු වූයේ ද යන වග එහි පැහැදිලි යැ. හඳ සුදු යැ සිහිල්යැ. යසස ද සුදු යැ සිසිල් යැයි කිවියෝ තකති. එහෙයින් යසස නිසා රජු ද හඳු වැනි යැ. මෙසේ හෙය දැක්වීමෙන් උවමෙහි පණවත් බව මනා සේ කැපී ඉස්මතු වැ සිටියි.

ගැට ලිහුම

යෙසෙන් = යසසින්; කෙනෙකුගේ රට පුර‍ා පැතිරෙන ගුණ කතාව යසස නමි. ( යසස, කිතුව, කීර්තිය නම්බුව ) නිසයුරු = සඳු - නිසා හුරු > නිසයුරු යැ. රැයෙහි හුරු කම් ඇතියෙන් සඳු මේ නම් ලබයි. හේ උවම් = හේතු උපමා. සකු-

118. කමල තල, ඉඳු සැවු බැමලේ, ලතු දල ලවන්, කන කතුරු මිටු කන්පට, කන කැට මිටු සුවට කට,

119. කිසලත, සඳ වුවත්, ඉඳුවර නෙත, කුසු ගහන්, වදුරු මැද තුනු , තිසර පියොයුරු කොඳ වැල් දසන්,


120. කඩ තඹර පා තල, රඹයුග වටොර, බිඟුරජ වසා, සරා සිසි මෙරජ සිනා සිරි කත් යෝනෝ.

121. සයක් වුවන්, නිල් මිණි නෙත් , ලිය කොමළඟැ කියූ අරුතෙවු සද හළ පිළි මේ සමසුවම් නම්.

පෙළ ගැස්ම - නමල තල, ඉඳු සැවු බැම ලේ, ලතු දල ලවන්, කන කතුරු මිටු කන් පට, කන කැට මිටු සුවට කට, කිසල අත, සඳ වුවන්, ඉඳුවර නෙත, අකුසු ගහන්, වදුරු මැදතුනු, තිසර පියොයුරු, කොඳ වැල දසන්, කඩ තඹර පා තල, රඹ යුග වටොර, බිඟු රජ වසා, සරා සිසි මෙරජ සිනා, සිරි කත් යෝනෝ, සසක් වුවන්, නිල් මිණි නෙත්, ලිය කොමළඟ, ඈ කියූ අරුතැ එවු සද හළ මේ පිළී සමස් උවම් නම්.

තේරුම - නෙළුම් අත්ල, දේදුනු බැම රොද, ලතු පත් තොල්, රන් කතුරු මිටු කන් වැල, රන් කැට පත් මිටු මනා වටකුරු ගෙල, දලු අත, හඳ මුහුණ, මහනෙල් ඇස, හෙංඩු නැහැය, දියමන්ති ඉඟටිය, තිසර තන, කොඳ වැල දත්, අඩ නෙළුම් පතුල, කෙහෙල් කඳන් දෙකළවාව, මී මැහි රොද වසාවා, සරත් සඳ කැලුම් හිනා, සිරි කත් තුරුණුවියෝ; හඳ මූණ, නිල් මිණි ඇස්, වැල් ගැහැණු, ආදි ලෙසින් කියන ලද අදහසෙහි දී “එවු” හෙවත් වගේ යැ යන වදන අත් හැරියා වූ මෙය වනාහි සමස් උවම නම් වේ.

පැහැදුම - සමස් උවමට; වැනි, බඳු වගේ, මෙන් යන ඇය ඈ සම බව හඟවන පද නො යෙදේ, ඇය ගේ රෝස කම්මුල, ‍නා දලු දෙ තොල, යන ඈ කියමන්හි; රෝස බඳු කම්මුල නා දලු දෙ ‍ෙතාල යැ යන සේ යෙදුම සමස් යෙදුමෙකි.

ගැට ලිහුම කමල තල = නෙළුම් මල් බඳු අතුල ඉඳු සැවු බැම ලේ = දෙ දුනු බඳු බැමි රොද ලතු දල ලවන් = ලතු රස - ලාක්ෂ‍ා රස - ගැල්වුණු පත්ල යැ ලතු දල නම්. ලවන් තම් තොල් යැ.

කන කතුරු මිටු කන් පට = රන් කුතුරු මිටුව බඳු කන් වැල; රනින් කරන ලද කතුරෙකැ මිටුව වැනි වූ එල්බෙන කන් පෙත්ත. මෙහි කතුරු මිටුව සැඳැහුණේ කන් පෙත්තේ වු මහත් සිදුර සලකා යැ.

කන කැට මිටු සුවට කට = රන් කැඩපත් මිට බඳු හොඳ හැටියට ව‍ටකුරු බෙල්ල - මෙහි කට යනුවෙන් ගැනූණේ කණ්ඨයයි.-

නිසල අත = දල්ලත් මෙන් ලෙළෙන කොමල අත. සඳ වුවන් = හද වැනි මුහුණ, ඉඳුවර නෙත = මහනෙල් මල බඳු ඇස අකුසු ගහන් = අකුස්සක් වැනි හෙන්ඩුවක් වැනි හැඩයෙන් යුතු නැහැය.

වඳුර මැද තුනු = දියමන්ති බඳු දැඩි ඉග පෙදෙස. තිසර පියොයුරු = හසුන් වැනි තන. කොඳ වැල දසන් = කොඳ නම් රැයට පිපෙන ගොඩමල් වෙසෙසකි.එය ඉතා සුදු යැ , කොද මල් වැල බඳු දත්. - මලින් බර කොඳ වැල ඉතා සුදු යැ. මේ කියැවුණේ එ බඳු දත් යැ.-

කඩ තමර පාතල = රන්නෙළුම් මල්කැබැල්ලක් බඳු පා තලය. රඹ යුග වටොර = කෙහෙල් කඳන් වැනි තද මට සිලිටි දෙ කළවා.

බිඟු රජ වසා = මී මැහි රැස බිඟු රජ නම්. වසාව නම් මිනිස් බඳෙහි නැබ එල්ලේ විහිදෙන ගන නිල් ලොම් රොදයි.

සරා සිසි මෙරජ සිනා = සරත් ඉරුතුයේ සඳු ගේ කැලුම් බඳු හිනාව, සරත් ඉරුතුයේ අහස වලා තුළින් තොර යැ. එ හෙයින් එ කැලැ හඳ ඉතා ජයට බැබැළෙයි. සිරි කත් යෝනෝ = සිරි ලිය බඳු තුරුණුවියෝ. සයක් වුවන් = හඳ බඳු මුහුණ. සස - හා ලකුණක් ඇතියෙන් හඳ සසක් නම්.

නිල්මිණි නෙත් = නිල්පාට මැණික් බඳු ඇස්. ලිය කොමළඟ = වැල් බඳු ගැහැණු. කොමළ වූ මොළොක් වූ සිරුරු අවයව ඇතියෙන් අඟනෝ කොමළඟ නම් වෙති.

122. අන් පද අරුත් සර උතුරු පදරුත් සර පෙර පද අරුත් සර හා දෙ පද අරුත් සර ද ඇත්.

තේරුම = අන් පද අරුත් සරු යැ පසු පද අරුත් සරු යැ, පෙර පද අරුත් සරු යැ දෙ පද අරුත් සරු යැයි, සමස් - වෙසෙස් - ඇති.

පැහැදුම - සමස් උවම් කිහිප වගයෙකි. සමස් උවමේ වූ වදන්වලැ අරුත යට කොටැ ගෙනැ විටෙකැ අන් අරුතෙක් නැඟ එයි. ඒ අන් පද අරුත් සමස් යැ. සමහර විටෙකැ, ඔවු සමහර තැනෙකැ ඉදිරි පදයේ අරුත සරුවැ නැඟී සිටී. සමහර තැනෙකැ පසුපදයේ අරුත අනෙක් පද අරුත මැඩපියා කැපී පෙනෙයි. තව තැනෙකැ දී සමස් වුවමේ වූ හැම පදයක් මැ එක සේ එක වර ඉස්මතු වෙයි. මෙන් මේ අරුත් ඉස්මතු වීම යැ “අරුතු සර” නම්. ඒ අරුත් සර බවේ හැටි හැටියට සමස් උවම කිහිප වගයකට බෙදෙයි. එසේ බෙදී‍ම් දී;

අන් පද අරුත් සරුව යැ උතුරු පද අරුත් සරුව යැ පෙර පද අරුත් සරුව යැ හැම පද අරුත් සරුව යැ

යන හතර දෙසින් වැදගත් වෙයි.

123. නොයෙක් ලිඟු වදනු දු කුදු මහ වතුදු උවමට නිදොස් යැ පෙර කිවි වරන් පියෝ ඇසුරු කරත් හොත්.

පෙළ ගැස්ම - පෙරැ කිවි වරන් පියෝ ඇසුරු කරත් හොත්, නොයෙක් ලිගු වදනුදු කුදු මහ වතුදු උවමට නිදොස් යැ.

තේරුම - පැරැණි කිවි උතුමන් ගේ යෙදුම් ඇසුරු කරත් හොත්; නොයෙක් සැටි වූ ලිගු වදන් හා කුඩා වුත් මහත් වූත් කතා පවත් ද උවම සඳහා නොමනා නො වේ.

පැහැදම = උවම වෙසෙස්හි නොයෙක් සැපී වූ වෙනස් වෙනස් ලිගු, වෙනස් වෙනස් වදන්, කුඩා මහ පවත් එකට පෑහීම එ තරම් මනහර නො වේ. එහෙත් පැරැණි උතුම් සිහිමත් කිවියන් ගේ උසස් යෙදුම් ඇසුරු කරත් හොත්; ඒ අනු යෑම වත හොත් පමණක් ඒ යෙදුමෙහි ද වරදෙක් නැති.


“ගිණි සීහුම යැ, බැවි සීහුම යැ, වත් සීහුම යැ යි

උවම් ගැළැපුම් වෙසෙසින් තුන් වගයෙකි. එක් නොඑක් යන ලෙස ගණිනු ලබණුයේ ගිණී නම් වේ. “අහස විල මෙන් බබළයි” යන කියමනේ දී අහසත් විලත් යන දෙක මැ එක් ගිණි වැ යෙදිණ. එ හෙයින ඒ යෙදුම ගැළැපේ “සමනලයෝ මල් වැන්නෝ යැ” යන කියමන විමසන්නැ. එහි උවම්, උවැමි දෙ පදය මැ නොයෙක් ගිණියෙන් යෙදිණ. ඒ නිසා එය ද ගැළපෙන යෙදුමෙකි මෙන්න මෙසේ උවම එක් ගිණි නොයෙක් ගිණි විසින් ගැළැපීම ගිණි සීහුම නමි. එක් ගිණි උවම නොයෙක් ගිණි උවැමියා හා ද නොයෙක් ගිණි උවම එක් ගිණි උවැමියා හා ද ගැළැපිම් කරත් හොත් ඒ හොද සිහියෙන් වීදුහුරු බව රැකෙන ලෙස කළ යුත්තෙකි. නො එසේ වත හොත් ඒ නොගැළැපෙන තැන‍ට වත ගැළැපීමක් වන්නේ යි


ගෑණු බව යැ පිරිමි බව යැ නිපුස් බව යැ

යන ලෙසින් බැවි ද තුනෙකි. “ඕ සිරි කත මෙන් මනහරයි” මෙහි උවම උවැමියා යන දෙ පදය මැ ගෑණු බැවියෙන් යෙදිණි, “රජ යමයා මෙන් බිහිසුණු යි” යන තැනැ ඒ දෙක මැ පිරිමි බැවියෙන් යෙදිණ, “එ පුරවර දෙව් ලොව බඳු යැ” යන තැන ඒ දෙ තැන නිපුස් බැවියෙන් යෙදිණ. ඔන්න ඔහොම ගෑණු පිරිමි නිපුස් යන බැවි එකිනෙකට ගැළැපෙන ලෙස යෙදූම බැවි සීහුම නමි. ඒවා ගෑණු පිරිමි ගෑණු නිපුස් ඈ ලෙස යොදත හොත් එය ද සිහිමත් වැ යෙදූ සැටි විමසාපියා ඒ අනුව යෙදුව මනා යැ. ඒ අනුව යැ කියැවුණේ එහි ඇති විදුහුරු බව හිතා මතා ඒ ගැන සලකාපියා යෙදුමයි. පහත් යැ උසස් යැ යි වත් සීහුම දෙ සැටියෙකි. ඒ දෙ සැටිය වෙන වෙන මැ වග යැ තරම් යැ සොබා යැයි තුන් තුන් ගොඩකට බෙදේ. මෙසේ ‍ඒ බෙදුම අනුවැ වත් සීහුම ස’ පිළිවෙළෙකි.- පිළිවෙළ හයෙකි.-

1. පහත් වග සීහුම යැ 2. පහත් තරම් සීහුම යැ 3. පහත් සොබා සීහුම යැ 4. උසස් සොබා සීහුම යැ 5. උසස් තරම් සීහුම යැ 6. උසස් සොබා සීහුම යැ;

යනු යි ඒ සපිළිවෙළ නම්.

“ හෙළ රැහැට පිළිමල් වැ එන සැගැයි සකු වුව ද ගැඩවිලකු මෙනි හෙළය පය නඟා සුනු කරව”

බලන්නැ උසස් දෙවු වගක් පහත් මැ ගැඩැවිල් වඟක් හා ගැළැපෙන සේ උවමට යෙදුණු හැටි. එය පහත් වග සීහුම නමි.

“හතුරන් ගෙ සෝද බුමු බොරළු කැට මෙනි අපට යව හෙළය යව හෙළය තව තව ද ඉදිරියට.”

මෙහි යෝද තරමේ බූමු කුඩා තරමේ ගල් කැට වලට උවම් කරනු ලැබිණ. එය පහත් තරම් සීහුම නමි.



අරුණලු නැඟෙයි හොබවා හෙඝ රණ අඹර මිණි පළඳනා මෙනි එය අප හට මිතුර නැගිටිනු වහා නැගිටිනු ඇඳ නොසිහි කැර යනු රණ පෙරමුණට ගයමින් හෙළ මතුර

මෙහි උසස් අරුණ කැලුම් සොබාව, මිණි පළඳනා වල පහත් කැලුම් සොබාවට උවම් කරනු ලැබිණ. එය පහත් සොබා සීහුම නමි. උසස් සීහුම් තුන ද මේ සැටියෙන් මැ හිතා විමසා බලන්නැ.

124. ගැහැනියෙවු හෙ සෙරේ පිරිමිහු මෙන් බෙණේ හෝ පණන් සෙ පිය වී සබඳ විහු විදුහු දනකෙවු රැස්.

පෙළ ගැස්ම - හේ ගැහැනිය එවු සෙරේ. ඕ පිරිමිහු මෙන් බෙණේ. සබඳ පණන් සේ පිය වී. විදුහු දනක් එවු රැස් වූහු.

තේරුම - හේ තෙමේ ගැහැනිය මෙන් ඇවිදියි. ඹ් තොමේ පිරිමියා මෙන් දොඩයි. යහළුවා පණන් මෙන් පියකුරු වීයැ. විදුහු - විද්යාවෝ - දනයක් මෙන් රැස් වූ හ.

125. තමෙන් හිමි මිහිපල් වොරජනේ සක්දෙවු රද; පළ තෙදිනි තො සහස්රස් සෙමෙ; යත් නිදසුනෙතුනට.

පෙළ ගැස්ම - හිමි මිහිපල්, සක් දෙවු රද ත මෙන් වොරජනේ. පළ තෙදිනි තෝ සහස්රස් සෙමෙ. යත් ඒ තුනට නිදසුන්.

තේරුම - හිමිය, රජිඳ, සක් දෙව් රජ තා වගේ බබළන්නේ යැ. පළට වූ තෙදින් තෝ ඉරු හා සම යැයි කියත් හොත් ඒ තුනට නිදසුන් යැ.

පැහැදුම - මේ දෙ පැදියෙන් පෑයේ ද නොයෙක් ලිඟු වදන් හා කුදු මහත් වත් උවමට නිදොස් සේ යොදන අයුරුයි.

හේ ගැහැණියක මෙන් සෙ‍රයි. යන කියමනේ පිරිමි බැවියට ගැහැනු බැවිය උවම් කොටැ දැක්විණ. ඒ උවමේ වරදෙක් නැති. ඒ හැයි! “හේ ගැහැණියක මෙන් සෙරෙයි” යන්න මඳක් විමසා බලන්නැ. “ගැහැනියක සරන්නා මෙන් හේ සරයි.” යනුයි එහි නිසි අරුත. එහෙයින් ගැහැණියක ගේ සැරුමත් ඔහුගේ සැරැමත් එක් බඳු යැ. මෙහිදී එක් බඳු වූයේ ඒ දෙදෙනාගේ මැ පැවැත්මක් මිසැ ඒ දෙදෙනා නම් නො වෙති. එහෙවු විටැ වෙනස් ලිඟු බව හෝ වෙනස් ගිණි බව හෝ වුව වරද කිම? “පිරිමිහු මෙන් හෝ බෙණේ” යන්නද එබන්දෙකි. පිරිමියකු බණන්නාක් මෙන් ඕ තොමෝ බෙණෙයි. මෙ හිදී ඒ දෙදෙනා ගේ මැ සම වනුයේ එක මැ බිණිමේ කමයි. හෙවත් පැවැත්මයි. “පණන් සේ පියවී සබඳ ” යනුත් එසේ යි. සබඳා පණන් මෙන් පිය වී යැ සබද යහළුවා ප්රා ණය පිය වන්නාක් මෙන් පියකරු වූයේ යි. මෙහිද සමවනුයේ සබඳා කෙරෙහිත් පණන් කෙරෙහිත් වන පියනුරු බව යැ. එ හෙයින් සබඳා එක් ගිණි වු ව ද පණන් නො එක් ගිණි වුව ද ඇති වරදෙක් නැති.

ගැළැපියාවේ ඇති මෙන්න මේ විදුහුරු බව යැ අප විමසා බැලියැ යුත්තේ, පෙර කිවි වරන් ගේ පියෝ හි වුවද රැකී තිබියැ යුත්තේ මේ විදුහුරු බවයි. ඒ විදුහුරු බව නොරැකුණ හොත් පැරැණියන් යෙදු පිළිවෙළැයි හිතමින් එසේ වැරැදි යෙදුම් අනුයෑම කවර නම් සිහිමත් කමෙක් ද? එ හෙයින්;

“ නොයෙක් ලිගු වදනුදු කුදු මහ වතුදු උවමට තිදොස් යැ පෙර කිවි වරන් පියෝ ඇසුරු කරත් හොත්”

යන ඔය පැදිය

“ නොයෙක් ලිගු වදනුදු කුදු මහ වතුදු උවමට තිදොස් යැ නිසි විදුහුරු පියෝ ඇසුරු කරත් හොත්”

යන සෙයින් සකසාගන්නට දැන් කළ පැමිණැ තිබේ. 126. සිසි හස් කතෙවු සුදු නුබ වී විමල් විල් සේ හිමි බැති බෙළෙ සුවනු වන් රිවි මෙන් කදෝ දිස්නේ

පෙළ ගැස්ම - සිසි හස් කත එවු සුදු; නුබ විල් සේ විමල් වී. හිමි බැති බෙළෙ සුවනු වන්. කඳෝ රිවි මෙන් දිස්නේ.

තේරුම - හඳ හංසිය මෙන් සුදු යැ. අහස විල් මෙන් පිරිසුදු වී යැ. හිමියා කෙරෙහි බැතිමත සෙබළ‍ා බල්ලකු වැනියැ. කනා මැදිරියා හිරු මෙන් පෙනෙයි.

127. ඇත ද හේ නියවත් හු නො මෙ පසසිත් මේ උවම් දැසි යුරු සුදුසු රඟ එවූ එක්බඳු නුරූ පිළිරූ

පෙළ ගැස්ම - හේ අත ද නියවත් හු මේ උවම් නො මෙ පසසිත්. දැසි යුරු සුදුසු රඟ එවු එක්බදු නුරු පිළිරූ.

තේරුම - කරුණු ඇත ද නැණවත් හු මේ උවම් නො මැ පසසින්නෝ යැ. දැසි යුරු යන ආදිය ඊළඟ පැදිය හා සබඳි.

පැහැදුම - “හඳ හංසිය මෙන් සුදු යැ. යන ඈ කියමන් පැවැසීමට සුදුසු කරුණු ඇති වියැ හැකියි. ඇයි හංසිය සුදුයි. හඳ ද සුදුයි. මෙහි ඉස්මතු කොට ඇරැපෑයේ ඒ දෙ පළේ වූ සුදු ගුණය යි. එහෙත් ඒ යෙදුම මනහර නැති. ඒ හැයි; හඳ පිරිමි බැවියේ ලා ගණිනු ලබන තිපුස් වදනෙකි. හස් කත ගැහැනු බැවි වදන යෙදුමට යම් කිසි වෙසෙසි හෙයක් වියැ යුතු යැ. සුදු හසුන් අතරැ හස් කතුන්ගේ වෙසෙසි වැ ලැ අමුතු සුදු හසුන් අතරැ හස් කතුන්ගේ වෙසෙසි වැල‍ා අමුතු සුදු පැහැයෙක් නැති. එහෙයින් අමුතුයෙන් මැ හස් කතක සේ සුදු යැයි අමුතු බැවියක් ඉදිරිපත් කැරුමට නිසි කිසි ද කරුණෙක් නැති. අන්න ඒ හෙයින් ඒ උවම නැණවත් හු නොමැ පසසින්නෝ යැ.

අහස විල මෙන් නිමල් යැයි කී යැ හැකි තැනැ විල් යැ යි අමුතු නොයෙක් ගිණි පදයෙකින් අමුත්තක් පෑමට කරුණු වූ කිසිවක් ඒ කියමනේ නො දැක්වේ. ඒ නිසා යැ එය ද තුණවතුන්ගේ පැසැසුමට ලක් නො වන්නේ. ඉතින් “හිමි කෙරෙහි බැතිමත් ‘සෙබළා බල්ලා වැනි යැ’ යන කියමන නොමනහර හැයි? බල්ලා හිමියා කෙරේ බැතිමත් යැයි අපි හිතමු. එ ද බැති සෙබළා බල්ලා වැනි යැ කියූ විටැ නැඟී ඉස්මතු වනුයේ බල්ලා හිමියා කෙරෙහි බැතිමතුන් බව යැ යන හැඟුම නො වේ; සෙබළා නීචයෙකි යන හැඟුම යැ. නො පැතූ අරුතක් නැඟී ඉස්මතු වන හෙයින් ඒ යෙදුම නොනිසි යැ.

ගැට ලිහුම සිසි - හඳ සස ඇතියේ යැ සිසි නම් හස්කත = හංසිය. බෙළෙ = සෙබළ තෙමේ සුවනු = බල්ලා, මනා සේ අනුවූයේ සුවනු යැ. බලුලා ඌ ගේ හිමියා අනුවැ මැ සරයි. එහෙයින් ඔහුට මේ නම් යෙදේ. ශ්වාන සකු මේ සකු වදන හෙළ වදනින් යැ තුනුණේ.

127. දැසි, යුරු, සුදුසු, රඟ, එවු, එක් බඳු, නුරු, පිළිරූ,

128. අයුරු , වලා , පලඟ වැනි, හරන, සරි, ගින්, මෙන් හළු, සුලා, යහළු, වන් විපක්, පිළිවක්, බඳු, සේ,

129. නෙඃ පිටි ගනි, සැටේ, ගැහැවේ, නසා, වනසා, නො අඩුවේ, වඩා, වඩවා, වියවා, සුරු, පරදවා

130. සැහැසේ, රෙසේ, සේ පැහැසේ, වැසේ, අවුසේ, දෙනේ, තෙනේ, අනුනුවේ, කෙවුලා, කොවා, වෙළපා,

131. මෙ ඈ නන් උවම් කියන වදන් මිණි රුවන් කිවියන් හිදත් හි කරත් පොහොසත් වත් කවර බර

තේරුම - මේ ආදි නොයෙක් උවම් පවසන වදන් -127 පැදියේ පසු අඬෙහිත් 128, 129, 130, යන පැදිවලැත් පැවැසුණු වදන් - නමැති මිණි රුවන් කිවියන් තමන් ගේ හද ඇතුළතෙහි කැරැගන්නට පෙහොසත් වන හොත් - කිවි කමෙහි - කවර නම් අපහසුවෙක් ද?

පැහැදුම = 127, 128, 129, 130 යන පැදි වලින් වදන් කිහිපයක් එළි දැක්විණ. ඒ වදන් සමතාව පැවැසීම සඳහා උදවු වන හැඟුම් උපදවන වදන් යැ. ඇත්තේනමැ ඒවා වදන් නොවේ මිණි රුවන් යැ. මිණි රුවන් වනාහි තිදහන් කොටැ සුරැකියැ යුතු යැ. මේ වදන් නමැති මිණි රුවන් කිවියෝ තමන්ගේ හද අබතුරේ නිදහන් කුන්නට පොහොසත් වෙත් ද? හැබැවට මැ ඌ තුමූ එයට පොහොසත් වෙත්නම් කවි කමේ කවර බරෙක්ද තවත් ඇත්තේ? එහෙයින් මේ වදන් යළි යළි සිහි පත් කොටැ හිතේ දරාගත මැනැවි.

3. රුවස් කියමන

132. උවම් මෙ නැසුණු බේ රූපක නම් හෙ මෙ සේ; බාලිය, අත්තල පියුම් නිවනිඳුවර, වුවන් සඳ.

පෙළ ගැසුම - බේ නුසුණු උවම් මෙ රූපක නම්, හෙ මෙසේ බාලිය අත්හල පියුම්, නුවනිඳුවර, වූවන් සඳ.

තේරුම - බෙය; - බෙදුම. පරතරය - මැකීගියා වූ උවම මැ රුවස නම් වෙයි. ඒ මෙ සේ යැ, බැලිය, අත්හල පියුම්, නුවනිඳුවර වූවන් සඳ.

පැහැදුම - බැ නැමති ලිය බාලිය යැ. අත්හල - අතුල් - නමැති පියුම් අත්හල පියුම් යැ. නුවන් නමැති ඉඳුවර - මහනෙල් - යැ. නුවනිඳුවර නම්. වුවන් නමැති සඳ වුවත් සඳ නම් වෙයි. මේ වදන් සමස් වැ උවම උවැමි අතර පරතරය අඩු වී ඒ දෙක මැ එකක් සේ දිසෙයි. එ හෙයින් ඒ රූපක නමින් දන්නා ලැබේ. - නුවනිඳුවර, අත්තල පියුම් යන ඈ පද සියල් රුවසට; සමසුත රූපයකට නිදසුනි-

ගැට ලිහුම - බේ = බෙදුම; පරතරය; වෙනස්තාව. බාලිය = අත නමැති වැල - බාහු ලතා- අත්තල පියුම් = අතුල නමැති නෙළුඹ - අත්තල මැ පියුම් නුවනිඳුවර = නුවන් මැ ඉඳුවර. ඇස නමැති මහනෙල නයනේන්දීවර - වුවන් සඳ = වුවන් මැ සඳ. මුහුණ නමැති හඳ - වක්ත්ර චන්ද්ර -

133. සියල්ලත් අන්සෙයත් හෙය හා තතු වැළැක්මෙන් උවම් වැතිරෙක සෙලෙස ද වෙසෙස් වසම් අකෙවු දැත්.

පෙළ ගැස්ම - සියල්ලත්, අන්සෙයත්, හෙය හා තතු වැළැක්මත්, උවම්, වැතිරෙක, සෙලෙසද වෙසෙස් වසම් අකෙවු ද ඇත්.

තේරුම = සියලු රූපකය හා අන්සැරි රූපකයත් හේතු රූපකයත් තතු වැළැකුම් රූපකයත්, උවම් වැතිරෙක සෙලෙස් යන රූපක හා වෙසෙස්, වසම්, අකෙවු යන රූපකත් ඇති.

පැහැදුම = උවම හා උවැමිය හා අතරැ ඇති බලවත් වෙනස්තාව මඟ හළ විටැ එය රූපක නමින් දන්නා ලැබේ. සියලු යැ අන්සැටි යැ හේ යැ, තතු වැළැකුම් යැ උවම් යැ, වැතිරෙක යැ, සෙලෙස් යැ, වෙසෙස් ය, වසම් යැ, අකෙවු යැ යි රූපකයෝ කිහිප සැටියෙකි.

ගැට ලිහුම - රූපක = මේ අපගේ බසෙහි වැවහරට ආසකු වදනෙකි. සියබස් ලකර කරුවන් මේ වදන හෙළ වදන් අතරට හෙළ වදනක් සේ මැ යෙදූ බව නො මැනැවි. එය‍ට වඩා හොඳින් අරුත් කැවෙන හොඳ සිංහල වදනෙක් වෙයි. රුවස් යනුයෙන්. රුවනුයේ - හැඩ ගන්වනුයේ - රුවු යැ, රුවු මැ රුවස් යැ-රුවු + අස් > රුවස් රූපක යන පර වදන නෙරමු. යොදමු රුවස් යන රූපක යන පර වදන නෙරමු . යොදමු රුවස් යන හෙළ වදනු මැ.

සියලු = මේ සකුයෙහි සමස්ත නමින් හැඳින්විණ, අන්සේ = ව්යසස්ත රූපකය හේ = හේතු රූපකය තතු වැළැකුම = තත්වා පහරණ රූපකය උවම් = උපමා රූපකය වැතිරෙක= ව්යපත්රේක රූපකය සෙලෙස් = ස්ලේශ රූපකය වෙසෙස් = විශේෂ රූපකය වසම් = විසම රූපකය අකෙවු = ආක්ෂේප රූපකය යන මේ සැටියෙනි මේවා සකු ලකරනයේ හැඳින්වෙන්නේ.

පතළ රුවස

134. සුරතැඟිලි වී පලු නිය රස් වී කුසුම් රැස් අත්හු දු වූ ලිය, වසත් සිරි තො අපට පසක් කර.

පෙළ ගැස්ම =සුරත් ඇඟිලි පලු වී, නිය රස් කුසුම රැස් වී; අත්හුදු ලිය වූ. තො අපට වසත් සිරි පසක් කර.

තේරුම = මනා ‍රතු පාට ඇඟිලි දල වූයේ යි; නිය පොතු වලැ දිස්නය මල් වූයේ යි. අත්හු ද වැල් වැල් මෙන් වූ හ. එ හෙයින් තෝ අපට වසත් සිරියාව අත්දක්වන්නෙහි යැ.

පැහැදුම - වසත් කලැ හොඳ රතු දලු වෙයි, තා වෙතැ වූ මනා රතු වන් ඇඟිලි දලු මෙන් වූයේ යි. ඔවු දලුවලැ සැටිය තගේ මනා රතු වන් ඇගිලි දැක්වූයේ යි, හෙවත් තෝ තගේ මනා රතු වන් ඇඟිලි වලින් දලුවලැ සැටිය පෑසේ යි. එපමණක් නොවේ. වසත් සමයේ පිපීගිය මල් සුමුව (සමූහය) වෙයි. තගේ නියපොත් වලැ දිස්නය ඒ මල් සමූහයේ සැටි දැක් වුයේ යි. ඒ විතෙරෙකැ? තගේ අත් හරියට මැ වැල් වැනි යැ. එ හෙයින් තෝ අපට වසත් සමයේ සොබාව පසක් කරවන්නේ යැ. මේ පැදියේ පතළ අරුතයි. එහි

• සුරතැඟිලි පලු වී • තිය රස් කුසුම් රැස් වී • අත්හු දු ලිය වූ යන යෙදුම් තුන

අන් සැටි රුවස හෙවත් ව්යයස්ත නම් රූපකයට නිදසුනකි. එක් සැටි (සමස්ත) රුපකයේ දී උවමත් උවැමියත් එකක් ලෙසට එක් මැ පදයක් ලෙසට සමස් වැ යෙදෙයි. කැටි වැ පිඩු වැ යෙදෙයි. අන් සැටි (ව්ය ස්ත) රූපකයේ දී උවම හා උවැමිය හා අතරැ පරතරයෙක් දිසි වෙයි. ඔවු එසේ පෙනෙත ලෙසට ඒ නො සමස් වැ (වෙන් වැ) පවතී. “සුරතැඟිලි පලු වී” යන කියමන ඇත්තන් මැ සුරතැඟිලි පලු මෙන් වුණා මිසැ ඒ වනාහි සැබැවින් මැ පලු නොවේ, මනා රතු වත් ඇඟිලි යැ. මෙසේ විමසා බලත් මැ “සුරතැඟිලි පලු වී” යන යෙදුම රූපකයක් ලෙස සලකන කලැ ඒ රූපකය හොඳට එකට පෑහිගියා වූ කැටි වී පැවැත්තා වූ රූපකයක් බව පෙනේ. අන්න ඒ නිසායි “අන සැටි” හෙවත් ව්ය ස්ත (පතළ) යන නමින් ඒ හැඳින්වෙන්නේ. එහෙත් “අත්තල පියුම්” යනු එසේ නො වේ. අත්තල එකෙකුත් පියුම අනෙකුත් නොවේ. අත්තල මැ යැ පියුම නම්. එහි දී උවමත් උවැමියත් මෙ සේ සකසා කැටි වැ සිටියි. එ හෙයිනි ඒ සමස්ත (සැකෙවි) රූපක නමින් හැඳින්වෙන්නේ.

135. පෙරැ කියුව සමය යැ; නොසමය නම් මෙ යැ. පිළි සමය නොසමසෑ ඇත් දක්වන්නෙම්; හේ මෙසේ.

පැහැදුම - පෙරැ කියන ලද “බහුලිය, අත්තල පියුම්” ආදිය සමස් රූපක වේ. “සුරුතැඟිලි පලු වී” ආදිය නො සමස් රූපක නමි. ආයේ සමස් නො සමස් ආදී වූ රූපක ද වෙයි. ඒ වනාහි මෙසේ දක්වමි.

ii . සැකෙවි පතළ රුවස

136. සොමි වුවන් සුපුන් සිසි මඬලැ ති කල්බඳ සිරි පත් සිනා මෙ මෙරජ මමන කුමුදු පුබුදු වී.

පෙළ ගැස්ම - කල්බඳ, තී සොමි වුවන් සුපුන් සිසි මඬලැ සිනා මෙ මෙරජ සිරි පත්, මමන කුමුදු පුබුදු වී.

තේරුම - කාන්දම් සිරුරිය, තීගේ සොමි මුහුණු පුරා හඳ මඬලෙහි; සිනාව මැ කැල්මේ සිරියාවට පැමිණුණේයි එ හෙයින් මගේ හිත් කුමුද පිපුණේ යි.

පැහැදුම - හඳ ගැස්ම නිසා යැ කුමුදු පිපෙන්නේ. මගේ මනස අන් කිසිවක් නො වැ නියම කුමුදු මලෙකි. ඉතින් ඒ පිපීගති. ඔවු; ඒ කුමුද පිපුණේ කවර සද කැල්මක් නිසාද? හැයි? හිත් අදනා සිරුරු ඇත්තිය, තී ගේ සිහිල් මුහුනු හඳේ වෙයි හිනා කැල්ම. අන්න ඒ හිතා කැල්ම නිසා තමා මගේ මන කුමුද පිබිදුණේ. මෙහි “සොමි වුවන් සුපුන් සිසි මඩල” යනු එක් සැටි රුවස් යෙදුමෙකි හෙවත් සමස්ත රූපකයෙකි. මමන කුමුදු යනු ද එක් සැටි රැවසෙකි. මෙ සේ ඒ දෙ පිළිවෙළ මැ මුසු වැ යෙදුණ නිසා මේ පැදිය එකන් සැටි රුවස් (එක් අන් සැටි) ලකරින් හෙවත් සමස්ත ව්යනස්ත රූපකාලංකාරයෙන් යුතු වූයේ යී.

ගැට ලිහුම කල්බඳ = මන අදනා සිරුර ඇත්තී (කාන්ත දේහිනි)



iii. සියල් රුවස

137. සුරතැඟිලි පත් පෙළ නිය රස් කෙසුරු ත- සරණ කමල් මිහිපල් මුදුනේ නරනිඳු, අරද රඳනේ.

පෙළ ගැස්ම - නරනිඳු, සුරත් ඇඟිලි පත් පෙළ නිය රස් කෙසුරු ත සරණ කමල්, මිහිපල් මුදුනේ අරද රඳනේ.

තේරුම - රජ, මනා රන් ඇඟිලි නමැති පත් රැස ද නිය දිස්නය නමැති රේනු ද යුතු තා පා කමල (තගේ පය නමැති නෙළුඹ) රජුත්ගේ මුදුනෙහි නිරතුරු බබළන්නේ යැ.

පැහැදුම - මෙහි රජුගේ පය කමලක් කොටැ දැක්විණ. කිවියා එ පමණින් නො සෑහි ඒ පයේ අඟු පසගු ගැනැ ද කරුණු පෑ යැ. ඔවු, ඒ පයේ අගු පසගු කමලේ අගු පසඟු සේ මෙ‍ානවට විදහා පෑයේ යි.

පයේ ඇගිලි වෙයි. ඒ වනාහි කමලේ පත් පෙළ යැ. පයේ නිය දිස්නය වෙයි. ඒ කමලේ රේනු යැ. මෙසේ අඟු පසඟු වලැ සමතාව ද මනා සේ විතර කිරීමෙන් පය කමල මැ බව මොනවට පැහැදිලි විණ. මේ පැහැදිලි කිරීමෙන් යළි එය නම් කමලක් නො වේ යැ යන හැඟුම මනස අසලකට හෝ නො පිවිසෙයි. ඉතින් මෙසේ අගු පසඟු පවා රූපක සේ මවා පෑම සියල් රුවස නමින් ගැනේ.

ගැට ලිහුම සුරුතැඟිලි = මනා රතු පාට ඇගිලි තසරණ = තගේ පතුල තසරණ කමල් = තගේ පා නමැති නෙළුඹු අරද = නිතොර වැ,



Iv . පසඟු රුවස

138. නුවන් රත් මහනෙල් ලවන් සසල් කිසල් තී වුවනතැ කවර කරුණි නි? විසිනතෙ නැතැ තමා දෙස්

පෙළ ගැසුම - තී වුවනතැ නුවන් රත් මහනෙල් ලවත් සසල කිසල් කවර කරුණිනි? එ විසිනත තමා දෙස් නැති යැ.

තේරුම - තී ගේ මුහුණෙහි ඇස් නමැති රත් මහනෙලුත් තොල් නමැති වෙවුලන දලුත් කවර කරුණින් වී ද? ඒ පිරික්සත් හෙත් මා දෙස් නැති

පැහැදුම - වුවන වනාහි සිරුරේ අඟුවෙකි. නෙත්, තොල් එහි පසඟු වෙයි, ඒ අගුවක් වූ වුවනට මෙහි කිසි ද නිමැවුමක් නො නැඟිණි, කිසි ද රුවස් ලකරක් වුවන සඳහා නො දැක්විණි. එහෙත් නෙත් තොල් යන පසඟු නම් රූපකයෙන් සැරැහිණ. එ හෙයින් මෙය පසඟු රුවස හෙවත් අවයව රූපකය නමි. මෙය ඒක දේශ විවර්ති නම් අලංකාරයට හේත්තු කරන්නට කෙනෙක් යතති. එද එයින් වැඩෙක් නැති අවයව රූපකය එකෙකි; ඒක දේශ විවර්ති රූපකය වෙත අනෙක් ලකරෙකි. ඒ දෙකේ සමතාවෙක් නැති. පසඟු පිළිබඳ ලකර නිරූපනය වූ විටැ අඟුව පිළිබඳ ලකරත් ඒ අනුවැ මැ හැඩ ගැහෙයි ද ඒකදේශ විව්ර්ති රූපකය නම් අන්න එයයි.

“පෙම් වදන් මීයෙන් දසන් කැන් කෙසුරින් හා ලවන් පෙත්තෙන් හා හෙබි එ වුවන අමා දසුනෙකි.”

ඒ මුහුණ අමා දසුනෙකි. පෙම් වදන් නමැති මීයෙන් (පැණියෙන්) දත් කැලුම් නමැති රෙහෙනුයෙන් හා තොල් නමැති පෙත්තෙන් ද හෙබුණා වූ ඒ මුහුණ අමා දසුනෙකි. මෙහි වදන් පැණි ලෙසත් දත් රේනු ලෙසත් තොල් පෙති ලෙසත් ඇඟැවීමෙන් මැ කවියා නිසොල්මන් වෙයි. මුහුණ ගැනැ නිරූපනයක් නො කෙරෙයි එහෙත් ඒ මුහුණ කමලක් බව අහන්නාට ඉබේට මැ හැඟෙයි අර පළමු කියුම් වලැ ඇති සබැඳියාව නිසා මේ නිමහිම ඒක දෙශ විව්ර්ති රූපකයෙකි.

එහෙත් අවයව රූපකය මෙය නොවේ. අවයව නිරූපනයේ සබඳතාව නිසා අවයවීය පිළිබඳ ඉබේට හැඟෙන ලකරෙක් එහි නැති.

ඇස රත් මහනෙලට ද තොල වෙවුලන දලුවට ද නිරූපනය කළ විටැ ඒ ඇසුරින් හිතා මුහුණ ගැනැ මැවෙන නිමැවුම කිමෙක් ද ? මේ බිඳ හෝ හිතන්නට තො හැක්කවුන් පැරැණි ගත් රුවන් සඳහා විවරන ලියන්නට යෑමෙන් ඒවා තව තව දූ කෙලෙසෙනවා මිසැ වෙන කවර නම් සෙතෙක් වෙයිද?


V. අඟු රුවස

139. සුනත් බැම ලේ, මුත් සරම දලබිඳු, රත් නෙත්; පළට කෙරේ මද සමා සිරිමත් වත් පියුම් තී

පෙළ ගැසුම - සුනත් බැම ලේ, මුත් සරම දලබිඳු, රත් නෙත්; තී සිරිමත් වත් පියුම් මද සම හා පළට කෙරෙයි.

තේරුම - මනා වැ නැමුණු බැම වැල ඇති, ගිලිහුණු දහදිය බිඳු ඇති, රතු ඇසි ඇති; තී ගේ සිරිමත් මුහුණු නෙළුඹ මද සමය ද පළට කෙරෙයි.

පැහැදුම - මෙහි අඟුව රූපනය වුණේ යැ. එහෙයිනි “වත් පියුම්” යැයි කීයේ. පසඟු රූපනය වුණේ නැති එහෙයින් ඒ අඟු රුවස (අවයවී රූපකය) නම්.


vi . එක් පසඟු රුවස

140. මද රත් කොපොල් රත් නුවන් මහනෙල් නෙත්කල් වුවනතිනි ති මෙ සියල් දන රැස් රා මුවා වී.

පෙළ ගැසුම - මද රත් කොපුල්, රත් නුවන් මහනෙල් නෙත් කල් තී වුවතතිනි මෙ සියල් දත රුස් රා මුවා වී.


තේරුම - මදයෙන් රත් වූ කම්මුලින් ද රත් වූ ඇස් නමැති මහ නෙලින්ද යුතු ඇසට පියකරු වූ තී ගේ මුහුණින් (මුහුණ නිසා ) මේ සියලු දන සමූහය නුරායෙන් මැ මැවුණාක් මෙන් වියැ.

පැහැදුම - “මදය නිසා රත් වූ කොපුලින් හා රත් වූ ඇසින්ද නෙත් කල් ” යැයි නො කියා; කිවි තෙමේ ඇසට පමණක් අමුතු ආලවට්ටමක් ලැවේ යැ. මදය නිසා රත් වූ කොපුලින් හා රත් වූ ඇස් මහනෙලින්ද යන සේ. මෙසේ එක් පසඟුවක් පමණක් ඉස්මතු කැරැ ලූ හෙයින් මෙය එක් පසඟු රුවස නමි.

ගැට ලිහුම රාමුවා = නුරායෙන් මැ නිමැවුණු, මද රත් = මදය නිසා රත් වූ. සමහර පිටපත් හි මේ මඳ රත් යැයි පෙනේ. ඒ ලිවි දොසකි., මඳරත් නම් ළා රතු යැ. එ බඳු අදහසක් එතැනට දීම මේ පැදියට නො ගැළැපේ.

141. මෙ එක් පසඟු රූපකැ, දෙ පසඟු තුන් පසඟු දැත් සිදු වූ රූපකින් යළ පළ වූ රූපක මෙ සේ.

පෙළ ගැස්ම - මෙ එක් පසඟු රූපක යැ, දෙ පසඟු, තුන් පසගුද ඇත් සිදු වු රූපකින් යළ පළ වූ රූපක මෙසේ.

තේරුම - මේ එක් පසඟු රූපක නම් වෙයි. (මේ හැටියට ) දෙපසඟු තුන් පසඟු රූපක ද ඇති. සිදු වූ එක් රූපකයක් අනුවැ යළි යළි පළට වූ රූපක මේ සැටියි.

පැහැදුම - “මද රත් කොපුල්, රත් නුවන් මහනෙල් නෙත් කල්” යන යෙදුම් වූ කොපුල් යැ නුවන් යැ යන පසගු දෙකින් මැ හැඩ ගැන්වුණේ නුවන් යන එක් පසගුවක් පමණෙකි. එහෙයින් ඒ එක් පසඟු රූපක නම් මේ හැටියට මැ කොපොල් යන්නත් හැඩ ගස්වමු. “මද රත් කොපොල් පත්, රත් නෙත් උපුල් නෙත් කල්” මෙසේ යෙදුණ විටැ කොපොල් පත්, (කොපොල් නමැති පත් - කපෝල පත්රණ) නෙත් උපුල් (ඇස් නමැති උපුල් - නේත්රෝපත්පල) යන සෙයින් පසගු දෙක මැ හැඩ ගැන්වෙයි. එ විටැ ඒ දෙ පසඟු රූපක නම් වේ. මේ හැටායෙන් පසගු රූපක ඒ හැඩ ගැන්වුණ පසගු වල ගණන අනුවැ තව තවත් වෙනස් වෙයි.


vii යුතු රුවස

142. සිනා සුදු කුසුම් දල සසල නෙත් බිඟු තී වුවනතැ වියත, කුසුම් බිඟු සියොවිනෙ යුතැ කියත්.

පෙළ ගැස්ම - සිනා සුදු කුසුම් දුල, නෙත් බිඟු සසල තී වුවනත යැ වියත, කුසුම් බිඟු සියොවින් එ යුත් යැ කියත්.

තේරුම - හිනා නමැති සුදු මල් දුලන්නා වූ ඇස් නමැති මී මැස්සන් සසලන්නා වූ තී ගේ මුහුණ යැයි කියන කලැ, කුසුම් බිඟු එක් වීම නිසා ඒ යුත් රුවස යැයි කියති.

පැහැදුම - මල ද මී මැස්සා ද මනා වැ එකට සීහෙන්නේ යැ. මල කෙරෙහි මී මැස්සා කො තෙකුත් ඇඳෙයි. මල ද කොතෙකුත් තමා වෙතැ මී මැස්සා අදවා ගනියි. ඉතින් ඒ දෙදෙනාගේ යුතු වීම අසිරියෙ කැ? මේ යුතු බව, මේ ගැළැපියාව, මේ සීහුම, අපි රුවසකට යොදමු. දුලන හිනා සුදු මලින් හා ලෙළෙන නුවන් බි ඟුන්ගේ හා යුතු තී ගේ මුහුණ යැ කියූ විටැ, හිනාව සුදු මලක් වැ රූපකයක් තැනෙයි. ඉතින් ඒ තමා යුත් රූපක (යුත් රුවස) නම්. ඒ රූපකයෙන් හඟවනු ලබන වෙසෙසි හැඟුම කිමෙකැයි හිතා බලන්නැ ඇය ගේ මුහුණේ හිනා කැල්ම නැඟෙත් මැ නෙත් ද සසල වැ ඔබ මොබ බමයි. වෙන සැටියෙකින් කියමු නම්; ඕ සසල ඇස වටපිටාවට දෙන්නී හිනාවෙන් මුහුණ සරසා ගෙනැයි. ඇයගේ හිනාවට මැ ගැළැපෙයි ඒ සසල ඇස. ඒ සසල ඇසට මැ ගැළැපෙයි ඇය ගේ හිනාව.

ගැට ලිහුම වියත = පවසන කලැ. “විය” දය පැවැසුමෙහි වැටේ. වුවනතැ = වුවනත යැ.

යුතැ = යුත් යැ. මේ සුනිසි හෙළු වහරෙකි. ගැමි දෙඩුමෙහිද මේ වහර සුලබ වැ දක්නට ලැබේ. ඔහුට වුණු දේ මැඳෑ? ඔබ අද ආවේ නැතෑ? යන ඈ සැටියෙන්.

මඳැ = මඳි යැ? නැතැ = නැති යැ?

Viii . නොයුතු රුවස .

143. කොමළ සිනා සිරි රස් සිනිඳු නෙතු’පුලු’ වනෑ වියත සිසි රසුපුල් හා නොයුතින් මේ නොයුතු නම්.

පෙළ ගැසුම - කොමළ සිනා සිසි රස් සිනිඳු නෙත් උපුල් උවන යැ වියත් සිසි රස් උපුල් හා නො යුතින් මේ නො යුතු නම්.

තේරුම - මඳ හිනා නමැති හඳ කැලුම් හා සිනිඳු ඇස් නමැති මහනෙල් හා යුතු මුහුණැයි පවසත හොත් හඳ කැල්ම මහනෙල් හා සමඟ නො යෙදුනුයේත් මේ නොයුතු රූපක නම්.

පැහැදුම - හඳ කැලිම උපුල් කැල්ම හා නො ගැළැපෙයි. හැයි? හඳ උදාවත් මැ උපුල් මැලැවෙතියි යෙති. එ හෙයින් හඳ කැලුම් නඟත් මැ උපුල් මැලැවෙයි. හෙවත් නො කැලුම්වත් වෙයි. උපුල් කැලුම් දෙත් මැ හඳ ද මැලැවෙයි. ඉතින් මේ දෙපළ මෙසේ නොගැළපෙන දෙ පෙළකි. එබඳු නො ගැළැපියාවෙන් යුතු හඳ කැලුම හිනාවටත් උපුල් කැල්ම නෙත් කැල්මටත් රූපනය කරන හොත් ඒ නො යුතු රූපක නමි. ඒ දෙ කැල්මේ සොබාව ද නො ගැළැපෙනුයෙන් එහි නොසීහුම වඩාලා මැ බලවත් වෙයි. ඒ කෙසේ ද ? හිනාව කවර සැටි හිනාවෙක් ද? ඔවු ඒ කොමළ හිනාවයි. හෙවත් මඳ හිනාවයි. සඳ රස් බඳු සුදු හිනාවයි. නෙත් කැල්ම කවර සැටි කැල්මෙක්ද ? ඒ සිනිඳු නෙත් කැල්මයි. මෙහි සිනිඳු යනුයේ අරුත තෙල් වගේ දිලිසෙන යනුයි. ඒ නෙත් කැල්ම ළානිල් කැල්මක් නොවේ. නිලට නිලේ දිලිසෙන කැල්මෙකි. ඉතින්,; මඳ සිනාව ගන නිල් නෙත් කැල්ම හා පෑහුමෙක් නෑ නොවැ? අන්න ඒ නිසා මැ මේ රූපක නොයුතු රූපක නමට වඩාලාත් ගැළැපෙයි.

ගැට ලිහුම උවන = මුහුණ සිනිඳු = “සිනිඳු” යන වදනේ ලියාලාගිය අදහසයි අද අප ගේ හිතේ රැවු නඟන්නේ. මට සිලිටි යන අරුත සිනිඳු යන්නෙන් ලියලාගිය අරුතෙකි. එහි මුල් අරුත තෙල් වැනි; තෙල් හා අනුවු යනුයි. “සිනේ” නම් තෙල් යැ. සිනේ හා අනුවූයේ සිනේ හා එක් බඳු වූයේ සිනේනු යැ. = සිනේ + අනු>සිනේනු>සිනෙඳු>සිනිඳු-සිනිඳු යන්නෙන් මට සිලිටි, ලිස්සන සුලු යන අරුතක් ලැබුණේ ඔය සැටියෙනි. නොයුතින් = නොගැළැපෙන ගතියෙන්. යුතු නම් ගැළැපෙන ගතියයි; සුදුසු ගතියයි. යමෙකැ වු නියම සොබාවයි.

නෙතු ‘ පුලු’ වනෑ = නෙත් උපුල් උවන යැ. උපුල් = මහනෙල්

ix . විසම රුවස

144. බූමු බැම ලිය සැවු මද රත් කොපුල් මල් හී වුවන් සිසි මඬලෙන් ති දිනත පියල් දිය සියල්.

පෙළ ගැසුම - බූමූ බැම ලිය සැවුමද රත් කොපුල් තී වුවන් සිසි මඬලෙන් මල් හී සියල් දිය දිනත පියල්.

තේරුම - බමාගියා වූ හෙවත් කරකැවුණා වූ හෙවත් නැමුණා වු බැම වැල නමැති දුනු ඇති, මදයෙන් රත් වැ ගත් (මද නිසා රතු පාට වූ) කම්මුල් ඇති තී ගේ මුහුණ නමැති හඳ මඬලෙන් මල්හීයා මුළු ලොව මැ දිනත හොත් (එද) හපන් යැ.

පැහැදුම - මුළු ලොව දිනීම වැනි බරපතල කටයුත්තක් වුව ද අරඹින කල්හි නම් කවුරුත් පාහේ හපන්කම් දක්වති. එහෙත් දිනන කල්හි නම් දිනීමේ කම දිගැටමැ කැරැගෙන යන කල්හි නම්, ඔය කියන හපන්නු කවුරුත් නො හපන්නු වෙති. එහෙත් තී ගේ මුව මඬල නිසා මල්ගියාට නම් ඒ දිනීමේ කම; ඔවු; මුළු ලොව මැ දිනීමේ කම එහි අවසන දක්වා මැ හපන් ලෙස කළ හැකියැ. හැයි? එහි දුනු වෙයි. නැමීගිය වැල් බඳු ඇහිබැම තමා ඒ දුනු. ඉතින් ඒ දුන්නෙන් විදින්නට කෝ හී? හැයි මල් හීයාගේ හී මල් හී නොවැ.?ඉතින් මේ තීගේ කොපුල් ! මදයෙන් රත් වැ ගිය කොපුල් ! ඒ රත් කොපුල්; රත් කොඋපුල් නොවැ? රතු කුඩා මහනෙල් නොවැ? අන්න හරි. දුන්න ඇත්නම්, එයට ගැළැපෙන හී ඇත්නම්; ඉතින් බැරිද ඔහුට මේ ලොව මැ දිනීමෙහි වුව ද හපන් වන්නට.?

මේ වනාහි පැදියේ අදහස් ගැළැපියා වයි. ඒ පීයාවේ සමතාව නිසා මේ පැදිය උසස් පැදියෙකි. එහෙත් මෙහි වූ රුවස් ලකරනය නම් සම ගතියෙන් තොර යැ. බැම ලිය සැවු බව කෙලින් මැ පැවැසිණි නම්; මද රත් කොපුල් ද අස්සේ හංගා දන්වන්නේ නැති වැ රත් උපුල් බව එළිපිට මැ දැක්වියැ යුතුයි. අනෙක් අතට මුහුණ සඳ මඬලකට සම කළ විටැ; මදය නිසා හෝ වෙ වයි කවර කෙහෙල් මලක් නිසා හෝ වේ වයි එහි රතු බවක් හැඟැවීම මනහර නොවේ. මෙසේ රූපකය තුළ මැ නොසම අගු පසඟු ඇති වූ හෙයින් මේ රූපකය විසම රූපකය විසම රූපකය නම් වෙයි.

ගැට ලිහුම බැම ලිය = ලිය බඳු වූ (වැලක් බඳු වූ) ඇහි බැම. බුමු -= බමාගියා වූ “බම” දයින් නිපන් ගියකල් පවතුනමු වෙසෙසුවයි. (අතීත කෘදන්ත නාම විශේෂණ යයි) මල් හී = අනඟා. මලින් මැ සකස් වුණු හී ඇත්තේ මල් හී නම් වේ. දිනත = දිනත හොත්; දිනන කලැ; යන දෙ අරුත මැ දෙයි. පියල් = හපන් (පුගල්භ. සකු) සියල් දිය = මුළු ලොව සිසි මඬල = හඳ වටාව වුවන් සිසි මඬල = මුහුණ නමැති හඳ වටාව

x. වෙසෙසුන් රුවස

145. මුදුන් ලග නුබ ගඟැ දල වැරැලී පියුම් නැබ සරණත දිත බියෙන් මුත් සුර සොම්නස් දද දෙනේ!

පෙළ ගැස්ම - මුදුන් ලග නුබ ගඟැ දල වැරලි ඉහි පියුම් නැබ, සරණත දිත බියෙන් මුත් සුර සොම්නස් දද දෙනේ.

තේරුම - මුදුනෙහි රැදුණා වූ අහස් ගඟේ ජලය නමැති රෙදි පට යුතු; වෙනු දෙවිය‍ාගේ පතුල නමැති, අසුරයන් කෙරෙන් වන බියෙන් මිදුණු දෙවියන් ගෙ සතුටු දදය ජය ගනී වා!

පැහැදුම - “සරණත දද දෙනෙ” යනුයි මෙහි හරය. “පතුල නමැති දදය දිනේ වා” යනුයි එහි අරුත. සරණත, දද, යන උවමත් උවැමියත් දෙක මැ ඉදිරියෙන් වූ වෙසෙසුන් පද නිසා හැඩ ගැන්වෙයි.

සරණත! කවර සරණත ද? පියුම් නැබා ගේ සරණත.කවර පියුම් නැබා ගේ ද? මුදුන් ලග නුබ ගඟැ දල නමැති වැරලි ඇති පියුනැම්බා ගේ සරණත.

       ඔන්න ඔය හැටියට ඒ උවැමි පදයට ඉදිරි පද වෙසුන් වැ සිටි “දද”යන 
උවම ද “දිත බියෙන් මුත් සු‍ර සොම්නස් යන වෙසෙසුනින් සැදිණ. මෙසේ උවම යැ උවැමි යැ යන දෙ පස මැ වෙසෙසුනින් හැඩ ගැන්වීම නිසා මේ වෙසෙසුන් රුවස-විශේෂණ රෑපක- යන නම ලබයි.

ගැට ලිහුම -

   මුදුන් ලග = මුදුනෙහි ලැගුණා වූ. පියුම් තැබා නම් වෙනු දෙවියා යැ. 
        අහස් ගඟ ඔහු මුදුනේ ලැගුණ වගක් මේ පැදියෙන් හැඟැවිණ.එ ද
       ඒ කිවි සමයට නොනිසි යැ. ඉසුරා ගේ මුදුනේ ැහස් ගඟ ලැගුණු වග
      පැවැසු ම යැ කිවි දහමට නිසි.

වැරැලි = රෙදි යුතු - වැරැලි ඉඟි වැරැලිහි වැඑැලී -

                “පට වැරැලි              හන්නෙම්
                  සරඟ මල්             පළන්නෙම්
                  මන කා නො           ගන්නෙම්
                  නටන්නෙම්           වයන්නෙම්”
  දිත බියෙන් මුත් = පෙරැ දෙවියෝ දිතුන් -හෙළයන් - නිසා කොතෙකුත්
        බියෙන් වෙව්ලුම් ගැන්වුණ හ. ඔවුන් ගේ ඒ බිය තුරන් වූයේ වෙනු 
       දෙවියා ගේ සුරු කම නිසා යි. හේ වරාහ යැ, නරසිංහ යැ, වාමත යැ 
       රාම යැ යන නොයෙක්  වෙසින් පෙනී සිටැ හෙළයන් ගේ දප බිඳ
      සුරයන් සැනැසී යැ. එ හෙයින් “දිතුන් කෙරන් වන බියෙන් මිදුණු
      සුරයන් ගේ සොම්නස් දදය වියැ පියුම්තැබා ගේ සරණත.

Xi. විරුදු රුවස

146. නො මුහුලු කෙරෙ පියුම්

                 ඉළු නො ද බෙමෙ නුබෙ වුවන්
                 සිසි තී වැටෙ මෙ තමා
                මරනට යත් විරිදු නම්.

පෙළ ගැස්ම - තී වුවත් සිසි පියුම් ඉළු නොමුහුලු කෙරෙ; නුබෙ නොද

        බෙමෙ; මෙ තමා මරනට වැටේ.යත් විරිදු නම්.

තේරුම - තී ගේ මුහුණ හඳ නෙළුම් වනය නො හකුළුවයි; අහසෙහි නො ද

       බමයි. මෙය වනාහි මගේ මරනය පිණිසැ පවතී. (මෙසේ) කියත් 
       හොත් විරිදු රූපක නම් වෙයි.
පැහැදුම - සොබා හඳ කුමක් කෙරේ ද? ඒ නෙළුම් කැලෑව හකුළුවාදමයි.
         (හඳ නැ‍ඟෙත් මැ නෙළුම් හැකිලෙනවා නොවැ?) ඉතින් ඒ 
         පමණෙකැ?  ඒ සොබා හඳ කොතෙකුත් අහසේ කරකැවෙයි. තී ගේ
        මුහුණ ද ඇත්තෙන් මැ හඳ යැ.එහෙත් ඒ හඳ තමා හඳ! ඒ හඳ නෙළුම් 
       වනය නො හකුළුවයි. අහසේ නො කරකැවෙයි. එහෙත එය මා 
      සැනැසීම පිණිසැ නොවේ මගේ මරනය පිණිසැ පවතී.
              මේ යෙදුමේ දී රුවසෙහි ( රූපකයේ) සොබා තතු මුළුමනින් 
       වැළැහිණ. එහි නොසොබා විරිදු ගුණය ඉස්මතු  කැරිණ. එ හෙයින්
       මේ විරිදු රුවස නම් ලබයි.

ගැට ලිහුම -

	පියුම් ඉළු = පියුම් වනය.
    	නුබෙ =අහස්හි.

වුවන් සිසි තමාමරනෙට වැටෙ= මුහුණ නැමැති හඳ මගේ මරනය

    	පිණිසැපවතී. ඒ හැයි. තීගේ මූණු
          හඳ මටසැමරෙන විටැ මගේ මනස පුරා පෙම් ගිනි ඇවිළෙයි. 

මනසේ ඇවිළෙන ඒ ගින්න සිරුර පුර‍ා පැතිරෙයි. ඒ හෙයින් තී ගේ මූණු හඳින් මට ලැබෙන්නේ සිහිල නොවේ; රුදුරු ගිනි දැල්යැ. ඒ ගිනි දැල් වලට පැළැහීම නිසා මැ මට මරණය වෙයි.ඒ නිසා යැ “ තමා මරණට වැටේ යැ” කියනු ලැබූයේ.

xii. කරුණු රුවස

147. ගැඹුරිනි තො දලනිදු සරින් මෙර තෙදින් හිරු කැමැතිය’ ත දා බැවිනු දු පිළි කප් තුරු මුළු දියේ.

පෙළ ගැසුම - තො ගැඹුරිනි ද ලනිදු; සරින් මෙර; තෙදින් හිරු; පිළි මුළු දියේ කැමැති අත දා බැවිනුදු කප් තුරු.

තේරුම - තෝ ගැඹුරින් මුහුද යැ. - ගැඹුරු ගුණය නිසා මුහුද බඳු යැ කියූ සැටියි. - හරවත් බවින් මහ මෙර යැ. තෙද ගුණය නිසා හිරු යැ. පිළි ( ඉතින් ආයේ කියනවා නම් ) මුළු ලොවැම රිසි රිසි දෙයක් දෙන ගතියෙන් තෝ කප් තුරු යැ.

පැහැදුම - මෙහි එක් එක් රුවසකට හේතුව පැහැදිලි කැරිණ. තෝ දලනිදු යැ. හැයි? දලනිදු කෙරේ ගැඹුරු ගුණය වෙයි. තා කෙරෙහිත් වෙයි ගැඹුරු ගුණය; තගේ නුවණ නිසා. ඒ හෙයින් තෝ දලනිදු යැ. තෝ මහමෙර යැ. ඒ හැයි? මහ මෙරේ එක් එක් පසක් එක් එක් රුවනින් මැවිණ. එ හෙයින් මහ මෙර හරවත් යැ. තගේ ගුණ නුවණ නිසා ඒ හරවත් ගතිය තා කෙරෙහි ද වේ. ඒ නිසා තෝ මහමෙර නේ ද? තෝ හිරු යැ. හිරුගේ උසස් මැ බව කැපී පෙනෙනුයේ ඔහු කෙරෙන් විහිදෙන තෙදෙස නිසා යැ. ( ගින්න නිසා යැ ) හතුරන් ගේ ළය තවන ගුණයෙන් තා කෙරෙහි ද මහරජ ඒ තෙදෙස වෙයි. එ හෙයින් තෝ හිරු නොවැ? ඉතින් ඒ විතරෙකැ? ආයේ කියනවා නම් මුළු ලෙවියා කැමැති කැමැති දේ දෙන නිසා තෝ කප්තුරු මැයි. මෙසේ එක් එක් රුවසක් සඳහා කරුණු ඉදිරිපත් කල හෙයින් මේ වනා හි කරුණු රුවස නමි.

xiii. සෙලෙස් රුවස

148. තී වුවනත තඹුරු මේ, රජහස් බජන් වත් සිරිනු ‘දුල ලකළ මුහුළු සියහ දියෙහි වොරජනේ.

පෙළ ගැස්ම - රජ හස් බජත් වත්, ලකල මුහුළු සිරින් උදුල තී මේ වුවනත තඹුරු සියහ දියෙහි වොරඳනේ.

තේරුම - උතුම් රජ‍ගේ නොහොත් රජ හස් නම් තිසර වගයා ගේ ඇසුරට සුදුසු; මනහර ළගන්නා මුහුළයේ සිරි යාවෙන් නොහොත් ලස්සන මල් කැකු‍ෙළකැ සැටි‍යෙන් බබළන තී ගේ මුහුණ නෙළුඹ නිතොර වැ ලොවෙහි නොහොත් දිය තලාවෙහි වොරැ‍ඳෙන්නේ යැ.

පැහැදුම - අදහස දෙපැත්තටම කැපෙන්නට සකස් වුන හෙයින් මේ සෙලෙස් රුවස නමි. සෙලෙස් නම් නොයෙක් සැටියි. නොයෙක් සැටියට රූපකය රූපනය වන හෙයිනි මෙයට ඒ නම. රජ හස් බජත් වත් යන්නේ පළට අරුත් දෙකෙකි; උතුම් රජුන් ගේ ඇසුරට සුදුසු යැ රජ හස් නම් තිසර ගණයා ගේ ඇසුරට සුදුසු යැ යන සෙයින්. ළකල මුහුළු සිරිත් උදුල යන්නත් දෙ අරුතක් දෙයි; මනහර මුහුළයේ සිරියාවෙන් බබළන; ලස්සන කැකුළෙකැ හැටියෙන් හොබනා; යන ලෙස. දියෙහි වොරජනේ යනුත්, ලොවෙහි යැ දිය තලාවෙහි යැ යන සෙයින් දෙ අරුතක් දෙයි. ඔය නිසා යි; මේ සෙලෙස් රුවස නමට සුදුසු වන්නේ. හැබැයි මේ නොයෙක් සැටියට නිරූපනය වන අදහස් වැළ ද එකකට එකක් සකසා ගැළපුණු මනා යැ. තී ගේ මුහුණ උතුම් රජුන් ගේ ඇසුරට වුවද ඉතා මැනැවි. එය ලස්සන මුහුළසින් හැඩ ගැන්විණ. එය නිබඳ වැ ලොවේ වොරඳින්නේ යැ. තඹර ද රාජා හනංසයින් හට වුවද ඇසුරට මැනැවි. එය මැලැවුණු සැටියෙන් පිපී වැනී ගිය සැටියෙන් නොවේ බබළන්නේ, කැකුළෙකැ සැටියෙනි. - පිපි වැනී ගිය කමලට වඩා පිපීගෙනැ එන නවමු කමලට රජු හස්සු රිසි වෙති. හැයි පැණි නවමු වැ ඇත්තේත් පිරිපුන් වැ ඇත්තේ එහි නු? - ඉතින් එ පමණෙකැ තඹර නිඹඳ වැ දියෙහි හොබියි. ඉතින් මසේ වෙන වෙන මැ මුහුණටත්, කමලටත් ගැළැපෙන පරවෙණි ගුණ කිවියා එක් තැන් කළේ යි. එසේ එක් තැන් කොටැ මුහුණු නෙළුඹක් නිමැවූයේ යි. ඔය එක්තැන් කැරුම සඳහා ඔහු මුහුණටත් නෙළුඹටත් යන දෙ පසටම සීහෙන; රජ හස්, මුහුළු, දිය, යන වදන් යෙදූයේ යැ ඉතා මැ සුනිසු සේ. ඒ සුනිසි වැ යෙදූ පොදු යෙදුම නියා යැ ඒ ලකර සෙලෙස් රැවසක් වූයේ.

ගැට ලිහුම රජහස් = රත් තුඩු හා රත් පාත් ඇති මුළුමනින් සුදු බඳ ඇති තිසර වගය රජහස් නම් ලබති. රජ හස් යන නම රජ උතුමන් හට ද යෙදේ. හැයි; හස්, සඳ, වැහැප්, සී යන වදන් පසු වැ යෙදුණු කලැ ඉදිරි වදනට හරසරක් කැවෙනවා නොවැ? ඔව් උතුම් යන අරුත සඳහා ඔය වදන් යෙදෙන්නේ යැ.

නරසී, නිරිඳු සඳ, රජ වැහැප්, යනු මිමසා බලන්නැ. “තොප නම ඉදිරි කළ නමටත් උතුමැ යෙතී” යී තිසර සඳෙස පැවැසුණේ ද ඔය අරුත මැ තකායි.

බජත් වත් = බජත හොත් සුදුසු යැ. බජ දය ඇසුරු කිරීම අරුතේ යෙදේ.

මුහුළු = මල් කැකුළු යැ, අකුලා බැඳගත් හෝ ගොතා ගත් කෙස් වැටිය යැ යන් දෙ අරුත දෙයි. සියහ = නිතොර, සදා.

xiv. උවම් රුවස

149 . මෙදෙන් රත් පැහැපත් මෙතී වුවන් සුපුන් සඳ සඳ කැලුමන් මැද ලද උදයගෙහි සඳ බඳු වී.

පෙළ ගැසුම - ලෙහෙසියි.

තේරුම - නුරාව නිසා රතු පාට වුණු තී ගේ මේ මුහුණ නමැති පුරා හඳ; හැන්දැ දිස්නයේ මැද හරිය ලැබුණා වූ පෙරගිරි මුදුනේ හද වැනි වී යැ.

පැහැදුම - තී ගේ මේ මුහුණ නැමැති පුරා හඳ සුරාව නිසා හෝ නුරාව නිසා හෝ රත් පැහැ ගැන්විණ. - සුරාත් නුරාත් යන දෙක මැ මද නමින් ගැනේ - එසේ රත් පැහැ ගැන්වැණ මුහුණ හඳ හරියට පෙර ගිරින් නැඟෙන හඳ වැනියි. හැන්දෑවේ පෑල දිගින් විහිදෙන රත් දිස්නයට එහෙම පිටින් මැ මැදිවී උදය ගිරින් නැඟඑන පුරා හඳ වැනි යි. මෙහි වුවන් සුපුන් සඳ යන රුවසට “සඳ බඳු වී” යි යන සැටියෙන් යළි උවමක් කැවුණු හෙයින් උවම් රුවස නමි.

ගැටලිහුම

මෙදෙන් = මදය නිසා. නුරා සුරා යන දෙක මැ මඳ නමින් ගැනේ.

උදයග = උදය කන්ද. පෙරදිග නමැති කඳු වැටිය.

xv.වැඩිමනත් රුවස

150. උළිඳු සුරනට වී; තම හට තී වුවන් සඳ. හේ නො පිරුණේ මඳ වේ සියහ සුපුන් විලස් මේ.

පෙළගැසුම - උළිඳු සුරනට වී. තී වුවන් සඳ තමහට. හේ නො පිරුණේ මඳ වේ මේ සියහ සුපුන් විලස්.

තේරුම - හඳ සුරන් හට ( දෙවියන් හට ) වූයේ යැ. හැබැයි තී ගේ මේ මුහුණු හඳ නම් මා හට යැ. ඒ හඳ නො පිරුණේ යැ එයින් මඳ වන්නේ යැ. එහෙත් මෙය නම් නිතොර මනා වැ පිරුණු සැටි යැ.

පැහුඳුම - උවමෙහි නැති උවැමියෙහි ඇති වැඩිමනත් ගතිය පැහැදිලි කරනු ලබන රුවස යැ වැඩිමනත් රුවස නම් ( වියතිරේක රූපක ) මෙහි මුහුණ හඳක් ලෙසට හැඩ ගන්වන ලදි . එහෙත් හඳට නැති වැඩි මනත් ගතියක් මුහුණේ වෙයි. එය වනාහි කිම? හඳ දෙවියන් හට යැ. හඳින් අමාන බොන්නෝ දෙවියෝ යැ. එදා තිගේ මුණු හඳ දෙවියන් සතු නැති. එයින් අමාව ලබන්නට දෙවියන් හට වූවද ඉඩක් නො ලැබෙයි. හද නිතොර පිරී පවතීද? නැති. එහෙත් තීගේ මුහුණ නිතොර වැ ( සොම්නස් හිනායෙන් පිපී ) පිරී පවතී. මෙන්න මේ වැඩිමනත් ගතිය පැහැදිලි කැරුම නිසා යැ මේ රුවස ඒ නමට නිසි වන්නේ. ගැට ලිහුම උළිඳු = උළු ඉඳු. උළු නම් තරු යැ. තරු පති හෙයින් හඳ උළිඳු නමි.

සුපුන් විලස් = පිරුණු සැටිය. පිරීගිය හැඩවත් බව.

නොපිරුණේ මඳ වේ = හඳ මඳින් මඳ ගෙවී යන රස් ඇති හෙයින් එය තකා යැ මෙසේ පැවැසුණේ.

xv. වැළැහුමු රුවස