Jump to content

සියබස් ලකර විවරුව-විවරුවiv

Wikibooks වෙතින්

151. පෙනෙමිනනුන් මෙසේ තවන කල දහමින් යුත් වුවනත සඳට තී දැන් පියබඳ නැත් උළිඳු බව්.

පෙළ ගැසුම - මෙසේ පෙනෙමින් අනුන් තවන කල දහමින් යුත් තී වුවනත සඳට, පියබඳ දැන් උළිඳු බව් නැත්.

තේරුම - මේ හැටියට පෙනෙමින් - මැ - අනුන් තවන නොමිහිරි ගුණයෙන් යුතු තී ගේ මුහුණ සඳට; එම්බා පියබඳ දැන් නම් උළිඳු බව නැති.

පැහැදුම - තී ගේ මුහුණ සඳ කිසි ද අමුත්තක් නැති වැ හඳ හැටියට මැ පෙනෙයි. එද එයට ඇතියේ අනුන් නිවන සනහන ගුණය නො වේ. අනුන් තවන; කොතෙකුත් මැ අනුන් තවන මහ නොමිහිරි ගුණය යැ. එ හෙයින් පියබඳ දැන් නම් එයට තුරුපති බවෙක් නැති. ඔවු සඳ සැටියාවක් තිගේ මුහුණ සඳට දැන් නම් නැති. ඇයගේ මුහුණ සඳ සේ ඉස්මතු කැරැ දක්ව‍ා ඉක්බිති ඒ සඳ වැනි බව වළහන්නට කරුණු පෑ හෙයින් මේ වැළැහුම් රුවස නමි.


ගැට ලිහුම

කල = නොමිහිරි ( කර > කල )

xvi. සමදන් රුවස

152. තී වුවනත් සඳ දූ තවා මේ දරුණු වැ තමා තමා කළ පවිනෙ ‘වියත් සමදන් රූපකැ වියත්.

පෙළ ගැස්ම - තී වුවනත් සඳ දු දරුණු වැ තමා මෙ තවා. එ තමා කළ පවින් , වියත් සමදන් රූපක යැ වියත්.

තේරුම - තී ගේ මුහුණ හඳ පවා දරුණු වැ මා මෑ තවයි. ඒ වනාහි මා කළ පවින් යැයි කියත් හොත් ඒ සමදන් රුවස යැයි කියති.

පැහැදුම - “ මේ හඳ නැ‍ඟෙයි. ඒ රස් මගේ තැවිල්ලට කරුණු යැ. ඒ කම් නැති පියබඳ තී ගේ මේ මුහුණු හඳ! හා! එයින් තැවිල්ලක් කෙසේ නම් බලාපොරොත්තු වියැ හැකි ද? එහෙත් ඒ සොමි මුහුණු හඳ පවා අහෝ ඉතා දරුණුවැ මා තවයි. ඒ මා කළ පවින්.එ නිසා මුත් ති ගේ මුහුණු සදේ දොසෙකින් නොවේ,’’ මෙසේ පවසන විටැ තැවිලි දොසට පවසුවා තෙමේ මැ සමාදන් වෙයි. ඒ දොස කමා පිටැ මැ පටවා ගනියි. එහි වරදකරුවා තමා මැයි පවසයි. එහෙයින්

ඒ රුවස, සමදන් රුවස නමි. 

ගැට ලිහුම

  සමදන් රුවස = සාමාධාන රූපක වනුයි සකු නම.

xvii. රුවස් රුවස

153. වුවන් පියුම් ර‍ඟෙහි පළ තී බැම ලිය නීළිය ලීලා නැටුම් පැ නිති මන කා නො ගන්න සියල්.

පෙළ ගැසුම - තී වුවත් පියුම් ර‍ඟෙහි පළ බැමලිය නිළිය නිති ලීලා නැටුම් පෑ කා සියල් මන නොගත්තී?

තේරුම - තී ගේ මුහුණු පියුම් නමැති රඟ මඩලෙහි පළට වූ බැම ලිය නමැති නිළිය, නිතොර වැ ලීල‍ා නැටුම් දක්වා කා ගේ නම් සියළු මනස නොගන්නී ද?

පැහැදුම - මුහුණ කලින් මැ පියුමක් සේ හැඩ ගැන්විණ. එහෙයින් ඒ මුහුණු පියුම වියැ. ඒ මුහුණු පියුම ඉක්බිති වැ රඟ පිලක් කොටැ දැක්විණ. බැම ද කලින් මැ රූපනය කරනු ලැබූයේ වැලක් සේ යැ. බැම ලිය පැවසුණේ ඒ හෙයිනි ඒ බැමලිය ඊ ලගට රූපනය වුණේ නිළියක සේ යැ.

වුවන, වුවන් පියුම්, වුවන් පියුම් රඟ. බැම, බැම ලිය, බැම ලිය නිළිය. මෙසේ රුවසින් යළිදු රුවසක් මැවුණු හෙයින් මේ රුවස නමි.

ගැට ලිහුම -

ලිලා නැටුම = මෙහි ලීලා නම් නුරා හැඟුම් සලකුණු යැ. අඟර දඟර යැ. ඒ දක්වා නටන නැටුම යැ ලීලා නැටුම නමි.

xix. තතු වැළැහුම් රුවස

154. නො වුවන් පියම් , පිළි නො ති නුවන් බමර යුග, කෙසරු මෙ යැ නො දසන් රස්, පියොවුරු නො තී රන් හස්.

පෙළ ගැස්ම - තී වුවත් නො පියුම්, පිළි නුවන් නො, බමර යුඟ, නො දසන් රස්, කෙසරු මෙ යැ; තී පියොවුරු නො රන් හස්.

තේරුම - තී ගේ මුහුණ නො වේ පියුම යැ. ආයේ; ( ආයේ දකිනවා නම්) ඇස නො වේ බමර යුගල යැ. දත් කැලුම් නො වේ රේණු මැයි. තී ගේ පියොවුරු නො වේ රන් හසුන් යැ.

පැහැදුම - මේ වනාහී තී ගේ මුහුණ නෙ වේ පියුමෙකි. මෙ වනුයේ නෙත් යුවළෙක් ද? නැති. ඒ පියුමට බට බමර යුවළෙකි. හා! මගේ කියුමට තී හිනා හෙනවා ද? නො සෙන්නැ සොඳුරිය, මේ සිනා සෙන විටැ පැතිරෙනුයේ දසන් රස් ද ( දන්ත කාන්තිය ද ) නැති. මේ අර පියුමේ රේණු නොවැ? ඉතින් මේ? හා හා මේ පියොවුරු නො වෙයි මුහුණු නෙළුඹේ මී උරන්නට දෝ පැමුණුණු හස් යුවළෙක් නො වැ මේ? මෙ සේ මුහුණ, බැම, දසන් රස්, පියොවුරු, යන සියල්ලෙහි තතු වළහා ( එහි වූ සැටි සඟවා ) පියුම, බමර යුවළ, රේනු, හස් යුවළ යන මෙහි සැටි නඟා පෑ හෙයින් මේ තතු වැළැහුම් රුවස නමි.

ගැට ලිහුම -

දසන් රස් = දතින් විහිදෙන දිස්නය.

155. උවම් රූපක දෙක කරත’ත් නැති මුළු විකප් සෙසුහු දු මෙ මඟිනි වියත්. කිවිනනුමත් කරත් යත්. පෙළ ගැස්ම = උවම් රූපක දෙක මුළු විකප් කරත අත් නැති. සෙසුහු දු මෙ මඟින් වියත් කිවින් අනුමත් කරත් යුත්.

තේරුම - උවම යැ රුවස යැ යන දෙක මුළුමනින් මැ සිතාබැලීම කරත හොත් කෙළවරෙක් නැති. ඉතිරි හරිය ද මේ සැටියෙන් වියත් කිවියන් විමසා හිතාමතා බලත් හොත් මැනැවි.

ගැ‍ට ලිහුම විකප් = වෙසෙසින් හිතා බැලීම ( විකල්පනය )

අනුමත් = අනුමැනීම = යම් මුල් පිළිවෙළක් අනුවැ විමසා බැලීම.


4. දිවස් කියමන .


156. දීපක නම් වෙ දැ කිරිය ගුණ වත් දක්වා සිටි කවැ මුළු තෙපලනට වහල් වදනෙක් මෙ සේ.

පෙළ ගැස්ම - දැ, කිරිය, ගුණ, වත් දක්වා මුළු කවැ සිටි තෙපලනට වහල් එක් වදන දීපක නම්, හෙ මෙ සේ. තේරුම - දැ යැ කිරිය යැ ගුණ යැ වත යැ යන මොවුන් ඉස්මතු කොටැ දක්වා මුළු කවියෙහි මැ සිටි වදන්වලට පිටු බල වූ එක් මැ වදන දවස නම් වේ. ඒ මෙ සේ යැ.

පැහැදුම = දිව නම් වූ පහන යැ. දිවු මැ දිවස් නම් යැ. ( දිවු + අස් ) ගෙයි එක් තැනෙකැ වූ පහනක් මුළු ගෙය මැ බබළ වන්නේ යම් සේ ද , එසේ මැ කවෙකැ වූ පොදු පළට එක්මැ වදනක් මුළු කවට මැ අරුත් පතුරුවා මුළු කව මැ බබළවා නම්, අන්න ඒ වනාහි දිවස් ලකර නමින් ගැනේ. දැ යැ කිරිය යැ ගුණ යැ වත් යැ යි සිව් ලෙසකින් ද; ඒ සිව් ලෙස මැ මුල මැද අග යැ යන තුන් ලෙසෙකින් දැ යි මෙ සේ දොළොස් සැටියෙකින් මේ ලකර මනහර වෙයි.

ගැට ලිහුම

වදනෙක් = වදන + එක් = එක් වදන. දීපක = රූපක යන වදන මෙන් මැ දීපක යනු ද සකු වදනෙකි. සියබස්ලකර කරුවාණන් ඒ එ ලෙසින් මැ සිය පිරිවැටුමට රුවා ගත් සැටි ඉතා නොමැනැවි. කො තරම් ඈතැ කලෙකැ සිටු වුව ද, කො තරම් හෙටුවකු අතින් වුව ද වරද නම් වරද මැයි.

දැ = ජාති, කිරිය; = ක්රි.යා; වත් = වස්තු.

මුළු තෙපලනට = මුළු කියමන් වලට මැ.

i. දෑ ඉඟි මුල් දිවස

157. දකුණු මරු තුරු හිස් සලා හරී පරණලා වැටේ නව පියන් යළ මනැ වතල මන් බිඳුමට.

පෙළ ගැසුම - දකුණු මරු තුරු හිස් සළ‍ා පරණලා හරී, යල නව පියන්

       මතැ වතළ මන් බිදුමට වැටේ.

තේරුම - දකුණු හුළඟ ගස් මුදුන් සොලවමින් පරණ කොළ දුරු

       කෙරෙයි; ආයේ; අලුත් පෙම්වතුන් ගේ මනසේ වැතුරුණු
       උඩඟුව (මනාය) බිඳීමේ ද යෙදෙයි.

පැහැදුම - දකුණු හුළඟ පරණලා හරී; යළදකුණු හුළඟ මන් බිඳුමට

       වැටේ. යන සෙයින් මේ කියමනේ දෙ පළෙකැ යෙදුණ මනා
       “දකුණු සුළඟ” යන දෑ ඉඟි පදය (ජාති වාවක පදය) කවේ 
       මුලින් මැ යෙදී සිටැ මුළු කවට මැ අදහස් පතුරුවයි. එහෙයින්
      මුළු කව මැ එළිය ගැන්වුණේ “දකුණු මරු” යන දෑ හිඟි පදය
     නිසා යැ. එ හෙයින් ඒ දෑ හිඟි මුල් දිවස නමින් ගැනේ.

ගැට ලිහුම -

   දකුණු මරු = දකුණු හුළඟ.  මේ පැවැසුණේ මලය සුළඟ යැ.
   
   පරණ ලා = පරණ දල = පරඬැල්.
 
   නව පියන් = නවමු පෙම්වතුන්, ( මෙහි පිය සද ගැහැනු පිරිමි
       දෙ පස තිකා මැ යෙදිණ)
    දෑ ඉඟි මුල් දිවස =ජාත වාවක ශබ්දය ( මුල් කොටැ) ආදි කොටැ
    ඇ ති දීපකය.
    කිරිය ඉගි මුල් දිවස

158. සෙරෙත් සියු සයුරු

                      හිමි නැතිළු සක්වළෙහි 
                     ගජ රජහු ත- පුබුදු කොඳ
                     වන සුදු යස පබඳහුදු.

පෙළ ගැස්ම - සිසු සයුරු හිමින් ඇතුළු සක්වළෙහි ගජ රජහු සෙරෙත්;

        තා සුබුදු කොඳ වන සුදු යස පබඳහුදු සෙරෙත්.

තේරුම - හතර මහ මුහුදු මායිමෙන් ඇතුළත වූ සක් වළෙහි ගජ රජහු

       හැසිරෙති. තා ගේ පිපුණු කොඳ කැලෑව මෙන් සුදු වූ යසස්
       සමූහයෝ ද හැසිරෙති.

පැහැදුම - දිග් ඇත්තු මහ පොළොව උසුලන්නෝයැ. ඔය දිග්

      ඇත්තු හතර මහ මූදින් මායිම් වූ මුළු සක්වළ පුරා හැසිරෙන්නෝ 
      යැ. ඉතින් ඒ දිගැතුන් නිසා සක්වළ පුරා අඳරු විණි ද? නැති
      නැති. හැයි. ඒ අඳුරා මැඩැගෙනැ එහෙම පිටින් මැ පිපුණු කොඳ
      වනයක් බඳු වැ තගේ යසස් සමූහය සක්වළ පුරා හැසිරෙන
      හෙයිනි. “සෙරෙත්” යන කිරිය පදය මුල් වැ සිටැ මුළු කවට
      අරැත් විහිදුවයි. ඒ හෙයින් මෙ කිරිය ඉඟි දිවස නමි.

ගැට ලිහුම

    සෙරෙත් = “සර” දයින් නිපන් අත් පද, නොගිය කල්, නොයෙක් 
       ගිණි, අන් තැති රුව යැ. ( ආත්මනේ පද වර්තමානකාල බහු
       වචන ප්රිථම පුරුෂ රෑපය)
   ගජ රජහු = මේ පැවැසුණෝදිග් ඇත්තු යැ. “දිග් ඇත්තු අට 
      දෙනෙක් පොළොව උසුලති” යනු කිවි සමය යි. 
    
    කොඳ වන සුදු = කොඳ වනය මෙන් සුදු වූ. කොඳ නම් සමන්
         ගණයට අයිති මල් වෙසෙසෙකි,
    යස පබඳහු = මනා සේ පිළියෙළ ටැගත්තා වූ යසස්හු.
     

iii . ගුණ ඉඟි මුල් දිවස

159. සුනිල් පැහැ වූහු

                  දිගුහු බද පවුස් මෙයින්
                  පොළෝහු දු සුසිනිඳු ලද
                  නව සදල රස්නි සියල්.

පෙළ ගැස්ම - දිගුහු බද පවුස් මෙයින් සුනිල් පැහැ වුහු; සියල්

     පොළෝහු දු සුසිනුඳු ලද තව සදල රැස්ති සුනිල් පැහැ වුහු.

තේරුම = දිසාවෝ එකට බැඳුණු වැහි වලාවෙන් මනා තිල් පැහැ වුහ;

     සියළු පොළෝහු ද මනා සේ ගන වැ ගිය අලුත් මැ අලුත් තණ
     සමූහයෙන් මනා තිල් පැහැ වූ හ.

පැහැදුම - එක් මැ සුනිල් පැහැ යන ගුණ ඉඟි පදය මුලට යෙදී මුළු

     කවෙහි අරුත හොබවයි, එහෙයින් ඒ ගුණ ඉඟි මුල් දිවස නමි,
     දිසාවෝ කෙසේ සුනිල් පැහැ වූහු ද? බද පවුස් මෙයින් සුනිල් 
    පැහැ වූහු.ඔවු එකට බැඳුණු වැහි වලාවෙන් සුනිල් පැහැ වූහු.
    මුළු පොළෝ පෙදෙස්හු කෙසේ සුනිල් පැහැ වූහු ද? ගත වැ
    වැසී ගිය අලුත් මැ අලුත් තණ රැසින් සුනිල් පැහැ වුහු.මෙසේ
   සුනිල් පැහැ යන්න පොදුයේ දෙ පසට මැ අරුත් විහිදුවයි.

ගැට ලිහුම

    දිගුහු = දිසාවෝ 
   පවුස් = වැහි කාලය (ප්රාරවෘෂ් සකු)

   ලද නව = මේ දෙ වදන මැ සම අරුතක් මෙහි දෙනවා නොවේ ද?
       නැති.ඒ දෙ වදන මැ එක් වැ අරුත බලවත් කෙරෙයි  ලද, තව
      යන දෙ වදනේ මැ අරුත තුරුණු යනුයි.අලුත්යනුයි) එ හෙයින්
     අලුත් මැ අලුත් යනුයි ඉන් ලැබෙන අරුත.

සදල =තණ. දල සහිත වූයේ; (පත් සහිත වූයේ) යැ සදල නම්. වැටී

    විහිදී ගිය තණ ගොන්නෙහි කොතෙකුත් පෙනෙනුයේ කඳ නො
   වේ; අතු පතර නො වේ; ගැවැසුණු පත් රැසැ යැ. එ හෙයින් ඒ
    සදල නම් වෙයි.( ශාද්වල යනුයෙන් සකු මූණුවර ගැනුණේමේ
   හෙළු සදල යන වදන යැ.)

වත් ඉහි දවස

160. පළ විකුමෙන් යුතු වැ

                  නරණා විසිනසුර සියන්
                 සිරි සර කවර නො පලෑ
                 සුරනි‘දුහු නො කවර පත්?

පෙළ ගැස්ම - පළ විකුමෙන් යුතු වැ නරණා විසින් අසුර සියන් කවර සිරිසර නො පැලෑ; සුරන් කවර ඉදුහු නො පත්?

තේරුම - පළට වූ පතුලෙන් යුතු වැ වෙනු දෙවියා විසින් අසුර සමූහයා ගේ කවර නම් උසස් මැ සැපත නොපලවන ලද ද? දෙවියන් ගේ කවර නම් සුහුඹුල් බව නො පමුණුවන ලද ද?

පැහැදුම - මෙහි විකුම යනු වතෙකි. ( වස්තුවෙකි ද්රයව්ය යෙකි ) ඒ මුල් වැ සිටැ මුළු කවේ අරුත හෙබැවූ සැටි විමසුව මැනවි. පළට වූ විකුමෙන් යුතු වැ පලවාහරින ලදී. සුරයන්ගේ සියලු ඉදුමත් බව ද අර විකුමෙන් යුතුවැ මැ පමුණුවන ලදී.

මෙසේ කියමන් දෙකෙහි මැ අරුත “ පළ විකුම” යන මුල් පදයෙන් මැ ඉස්මතු කෙරෙයි. ඒ වත් ඉඟි පදයෙකි, එ හෙයින් මේ වත් ඉඟි මුල් දිවස නම් වෙයි.

ගැටලිහුම

නරණා = නාරායණ ( විෂ්ණු ) හෙළ වදන සඳහා ගැළැපෙනුයේ නරනා යනුයි “මිනිස් නයුවා” යන අරුත ඉන් ලැබේ. ( එය වෙනු දෙවියා සඳහා වෙනු ලැදියන් විසින් පිදුණ යුතු හොඳ නමෙකි )

පළ විකුම = විකුම නම් පතුල යැ. වෙනු දෙවියා විසින් එක සමෙයැකැ මිටි වෙසක් ගෙනැ කුඩා පතුලෙන් විස්මකුරු හපන් කමෙක් කරන ලදි. පෙරැ “ මහ බිලි අබා” නම් හෙළ නර පල්ලෙක් වූයේයි. හේ තෙමේ එ කලැ තමා දත් මුළු ලොව මැ දිනුවෙකි. දඹදිව බමුණු සෙනඟ හෙළයන්ගේ පාලනයෙන් මිදෙනු පතා වෙනු දෙවියා යදින්නට වූහ. වෙනු ඔවුන්ගේ යැදුමට කන් දී ඒ ගැන හිතා බැලී යැ, හෙළ රජු මහ මැ දන් පතියෙකි. රිසියක් ඉල්ලා ආවුන්ගේ මනදොළ පුරා මුත් හේ තෙමේ ආපසු ඔවුන් නො යැවී යැ.

		මේ උතුම් හෙළ ගුණයෙන් වැඩගන්නට බැලී යැ වෙනු හේ මිටි මැ කුදු මැ වෙසක් මවාගෙනැ රජුන් ඉදිරියට ආ යැ. එක තුන් පයක් වත් තබාගත හැකි බිම් කොටසක් දුන මැනවැ යි හේ රජුන් යැදීයේ යැ. ඒ විහිළු බසට රජාණෝ සිනා සිනාසුණහ. තා රිසි තැ‍ෙනකින් ගනුවයි අවසර දුන් හ. එ කෙණෙහි වෙනුවා යෝද වෙසක් මවාගෙනැ මුළු අහස එක පයෙකින් වැසී යැ. මුළු පොළොව එක පයෙකින් වැසී යැ. තුන්වෙනි පය රජගේ හිස මතට තබා එ තුමන් පොළොව යටට කිඳවාදැම්මේ යැ. මෙසේ විකුම් තුනෙකින් ලොව දිනූ නිසා එ වක් පටන්  වෙන තෙ විකුම් නම් වි යැ.

“පළ විකුම” යැයි මෙහි කියැවුණේ ඔය ලෝ පතුළ පත්ලේ වගයි.

ඉදුහු = බල හපන් කම්හු,

161. මෙ කී හැම මෙ පෙර දීපක යැ මින් මෙ සියල් වදනුත් මැද ‘වසන්හිදු පිළි දක්වම් හේ මෙ සේ.

පෙළ ගැස්ම - මෙකී හැම පෙර දීපක යැ මින්, මැද අවසන්හි දු මේ සියල් වදනුත් පිළි දක්වම්, හෙ මෙසේ.

තේරුම - මේ කියන ලද සියල්ල මැ පෙර දීපක නම් වෙයි. මේ හෙයින් මැද හා අවසන්හි දු මේ සියල් වදන් ආයේ දක්වමි, ඒ මෙසේ යි.

පැහැදුම - මෙහි කලින් දැක්වුණු දැ කිරිය ගුණ වත් යන සතර මැ පෙර දීපක නම් වෙයි. කවෙහි පෙරටුවට මැ යෙදී සිටැ අරුත් විදහන‍ හෙයිනි. ඔය කියන ලද දෑ කිරිය, ගණ, වත් යන සතර වගයේ මැ වදන් මැද හා අවසන්හි දු යෙදී අරුත් ගෙබැවීම කරන සැටි ආයේ අතින් පැහැදිලි කරමි.



v. දෑ ඉඟි මැදි දිවස

162 . නටත් ගයත් කෙකා රැවින් බෙයද මුදුනේ සිකිනිඳුහු බඳින් නුවන් ගෙනෙ සොම්නසැස්දර ගබ්.

පෙළ ගැසුම - බෙයද මුදුනේ කෙකා රැවින් සිකිනිඳුහු නටත් ගයත්; සොම්නස් ඇස්දර ගබ් නුවන් ගෙනෙ බඳිත්

තේරුම - කඳ බෑවුම මුදුනේ කෙකා හඩ නඟමින් මොනර රජුහු නටති ගයති; තුටු කඳුළු පිරුණු ඇස් වැහි වලාකුළෙහි බඳිති.

පැහැඳුම - “සිකිනිඳුහු” යන දෑ ඉඟි පොදු වදන මේ පැදිය ළකල් කෙරෙයි. ඒ පැදි මැදැ යෙදී සිටැයි. පැදියේ මැදට යෙදුණු ඒ වදන කියමන් දෙකටමැ දිවස (ජාති මාධ්යි දීපකය) නමි.

ගැට ලිහුම ‍බෙයද = කඳු බෑවුම කඳු දෙකක් අතරැ වූ බෙත්ම යැ බෙයද නම්. “සලෙළු නිළි දැක පියොයුරු බෙයද පියබද” යනු විමසන්නැ.

ඇස් දර = කඳුළු.

ඇස්දර ගබ් = කඳුළු ගබ් ( කඳුළින් පිරුණු යැ කියූ සේයි. )

සිකිනුඳුහු = මොනර දෙටුවෝ ( මහ මොනරු ) ( මේ දෑ ඉඟි පදයයි.)

vi. කිරිය ඉඟි මැද දිවස.

163. මඳ සුවඳ සිහිලැති නල කර වෙ සඳ රස් හමු හුතැස් පිළි සඳුනලෙවුන් ගන සත් වැසි වියෝනට.

පොළ ගැස්ම - මඳ සවඳ ඇති නල වියෝනට කර වෙ; සඳ රස් හමු හුතැස් වෙ; පිළි සඳුන් අලෙවුන් ගන සත් වැසි වෙ.

තේරුම - මඳ, සුවඳ, සිහිල් ( යනතුන් ගුණය) ඇති සුළඟ වියෝ වූවන් හට කාරම් වැනි වෙයි. හඳ කැල්ම එක් එක් වුණු ගින්න වැනි වෙයි; නැවැත සඳුන් ගැල්විල්ල තද අව් වැහි වැනි වෙයි.

පැහැදුම - වේ යන කිරිය පදය කවේ මැදෙහි යෙදී අදහස් දිදුලවන හැටි විමැසුව මැනැවි. නල කර වෙ; හඳ රස් හමු හුතැස් වෙ; සඳුනලෙවුන් සත් වැසි වෙ. යන සේ විහිදි දියැයුතු අරුත “නල කර වෙ, සඳරස් හමු හුතැස්, සඳුනලෙවුන් සත්වැසි.” යන සේ යෙදුණ ද මනා වැ ලැබෙයි. එහෙයින් ඒ කිරිය ඉඟි මැදි දිවස නමි.

ගැට ලිහුම

මඳ සුවඳ සිහිලැති නල = හමන සුළඟෙහි වියැ යුතු මනා ගුණ තුනෙකි. මඳ බව; සුවඳ බව; ඇල් බව; යනු යැ ඒ.

කර = කාරම්. ( ක්ෂාර )

හුතැස් = ගිනි. සත් වැසි = අවි ආයුධ වැසි.

වියෝනට = ( වියොවුනට - වියෝනට. ) වෙන් වූ අය හට. බරුවන් ගෙන් වෙන් වූ බිරියෝද; බියන් ගෙන් වෙන් වූ බරුවෝ ද; මෙහි “වියොවුන්” යන්නෙන් ගැනෙති.

vii. දෑ ඉඟි අවසන් දිවස

164. දල දල දරිනුතුළ විමන් සිකි නළුවන් කැල සල සිය විදු කිඳුහු දු බළ කුසුමවිය මෙ සියල්.

පෙළ ගැසුම - දලදරින් උතුළ දල, විමන් සිකි නළුවන් කැල, සල සිය විඳු කිඳුහු දු මෙ සියල් කුසුමවිය බළ.

තේරුම - වෙලාවෙන් ඉතුරුණා වූ දිය දහර ද, විමන් මොනර නළු සෙනඟ ද, ලෙළෙන විදුලිය කැලුම් රැස ද යන මෙ සියල්ල අනඟ‍ා ගේ බළ සෙනඟයි.

පැහැඳුම - බළ යන දෑ ඉඟි වදන මේ කවෙහි අගට යෙදිණ. එ සේ යෙදී එහි අරුත ඉස්මතු කැරැ දැක්විණ. එහෙයින් මේ දෑ ඉඟි අවසන් දිවස නමි.

Viii. කිරිය ඉඟි අවසන් දිවස

165. තී සවනැ ඉඳුවර සැර සැවුහි මුවරදදා මන මරුහි දු තමා යන මෙ තුන් සම කල්හි කෙළේ.

පෙළ ගැස්ම - තී සමනැ ඉඳුවර, මුවරදදා සැවුහි සැර, තමා මරුහි මන දු යන මෙ තුන් සම ක්හි කළේ.

තේරුම - තී ගේ කනේ මහනෙල ද අනඟා ගේ දුන්නේ හීය ද මාගේ මරනයෙහි හිත ද යන මේ තුන සම කල්හි කරන ලද්දේ යැ.

පැහැදුම - තීගේ කනේ මහනෙල පැළැදුණේ යම් විටැකැද, ඒ මොහොතෙහි මැ අනඟාගේ දුන්නේ හීය නැගිණ. මා ගේ මරණයේ හිත ද වූයේ ඒ මොහොතෙ මැයි. මෙහි කළේ යන කිරිය පදය අවසනැ යෙදී මුළු කවේ මැ අරුත ඉස්මතු කෙරෙයි. “ තී ගේ කනෙහි මහනෙල කළේ ද, අනඟා ගේ හීය කළේ ද, මගේ මරනයේ හිත කළේ ද, එක මොහොතේ යැ.” යන සේ කිමන් තුනට මැ පොදු වූ කළේ යන කිරිය පදය යැ මේ අගට පමණක් යෙදී ‍අරුත ඉස්මතු කැරුණේ. එහෙයින් මේ වනාහි කිරීය ඉඟි අවසන් දිවස නමි.

ගැට ලිහුම-

ඉඳුවර = මහනෙල.

මුවරදදා = අනගා. මුවර සලකුණක් ඇති දදයක් ඇති හෙයින් අනඟා මේ නම ලබයි. සැව් = දුන්න.

සැර = හීය.

166. මැදැ ගුණ වත් වසනැ එද වත් කියත් ගත් බෝ. මෙගින් සැකෙවින් උසුරු අන් වදනුඳු පවුත් යුත්.

පෙළ ගැස්ම - මැදැ ගුණ වත්, අවසනැ එදවත් කියත් ගත් බෝ. මෙහින් සැකෙවින් උසුරු අන් වදනුදු පවුත් යුත්.

තේරුම - මැදෙහි ගුණ දීවස ( දීපකය ) හා වත් දිවසත් අවසනෙහි එයත් ( අවසනෙහි ගුණ දිවස හා වත් දිවසත් ) පිලිබද වැ වත ගොත පවසත් හොත් ගත බොහෝ වෙයි. ‍ මේ අයුරින් කෙටියෙන් පැවසුණු අන් වදන් ගැනැ ද ( එහෙනම් ) දැක්වියැ යුතු යැ.

පැහැදුම - මැදි ගුණ ඉඟි දිවස යැ, මැදි වත් ඉඟි දිවස යැ, අවසන් ගුණ ඉඟි දිවස යැ අවසන් වත් ඉඟි දිවස යැ, යන හතර මැය පිළිබද වැ මෙහි නිදසුන් පෑ වත ගොත බිණිමක් වගතුගපැවැසීමක් නො වූයේ ගත මහත් වෙතියි කුහුලිනි. ඒ ඇරත් ඒ එක එකක් ගැනැ කරුණු පවසත හොත් මෙයට පෙරැ කෙටියෙන් පැවැසුණු සමහර බොහෝ කරුණුදු තව තව දික් කැරැ විතර කළ යුතු වෙයි. එහෙයින් කිසේ හෝ ඒ නම් නො කළ හැක්කේ යැ.

ගැට ලිහුම-

මැද ගුණ වත් = මැද ගුණ ඉඟි දිවස යැ මැද වත් ඉඟි දිවස යැ යන දිවස් දෙක

අවසනැ එද = අවසනැ එය ද. අවසනැ ගණ ඉඟි දිවස හා අවසනැ වත් ඉඟි දිවස ද යන දිවස් දෙක.

වත් කියත් = වගතුග කියත් හොත් මෙහි වත යනුයේ අදහස “ පැවැත්ම පිළිබඳ විතර” යනු යැ. “වත ගොත” යන තන්හි “වත” යනුයෙන් ලැබෙනුයේ ද ඔයඅදහස මැ යැ “පවත” යන වදනින් දෙනුයේ අරුත මැ “ප” යන පෙර ඈඳියෙන් තව දු විසිතුරු කළ අරුත යැ.

ගත්බෝ = ගත බොහොයි. ( පොත මහත් වෙයි ) සමහර පිටපත්හි “ පත්මේ යැයි දක්නට ලැබේ. පැරැණි ගත් නොසිහිමත් වැ පිටපත් කළ වුන් අතින් වූ වරදෙකි ඒ සමහර නූතන වියත්තු ඒ කිලිටි හඩු යෙදුම එසේ මැ ගෙනැ නිකම් අනන් මනන් දොඩති. පොතෙකැ සුනිසි පෙළ කිමෙකැයි සොයා විමසා නිනවු දක්නට නො හැකි වැ, වනයේ අඳ ඇතුන් මෙන් පදයක් පදයක් පාසා මෙසේ මුළා වන්නවුන් අතින් වනුයේ පැරැණි ගත් යෙදීම නොවේ. ඒවා තව තවදු කිලිටි වැ වැනැසීයැමයි.

ix. දම් දිවස


167. පෙරඩ මස සිසි හට

වැඩුමට, හෙද කඳප් හට, කඳපුදු රාමනට, හෙද දහර මන දොළ කෙළියට.

පෙළ ගැස්ම - පෙර අඩ සම සිසි හට වැඩුමට, හෙද කඳප් හට වැඩුමට, කඳපුදු රාමනට වැඩුමට, හෙද දහර මනදොළ කෙළියට වැඩුමට.

තේරුම - කළුවර දෙ පෝය හඳු ගේ වැඩීම සඳහා යැ. ඒ සදු ද අනඟා ගේ වැඩීම පිණිස යැ. අනඟා ද නුරා හිතේ වැඩි දියුණුව උදෙසා යැ. ඒ නුරා හිත ද තුණුරුවන් ‍ෙග් සලෙළ කෙළි‍ෙය් වැඩීම සඳහා යැ.

පැහැඳුම - පෙර අඩ මස, සිසි ගේ වැඩුම සඳහා යැ, සිසි කඳපුගේ වැඩුම සඳහා යැ, කඳපු නුරාහිතේ වැඩුම සඳහා යැ, යන පිළීවෙළට එක් එක් කොටසක් අනෙක් කොටස හා දමක් මෙන් ගෙතීම සඳහ‍ා “වැඩුමට” යන එක් මැ වදන යෙදිණ. මෙසේ හේතු පල විසින් හෝ එක් පෙදෙසක් අනෙක් පෙදෙස හා දමක්මෙන් බැඳී සිටීමට සලසන හෙයින් ඒ දම් දිවස නමි.

ගැට ලිහුම -

පෙරඩ මස = පෙර අඩ මස - අමාවකින් මස ඉවරවෙයි. ඉන් පසු එන දෙපෝය ( අමාවකේ සිටැ පසළොස්වක දක්වා වූ දෙ පෝය ) පෙරඩ මස යැ.

කඳප් = අනඟා. කම ( රිසියාව ) පිළිබඳ වැ එඩි ඇති. හෙයින් අනඟා කඳප් නමි. ( කම් දප් > කන් දප් > තඳප් )

රා මත = නුරා හිත.

x. සෙලෙස් දිවස

167. විසුළ ගදවිහ තුඟු තමඳු ලිය නිල්, නෙත්කල් බෙමෙන් දලදරහු නුබේ; ම්හිහි මදමත් ඇත්හු දු.

පෙළ ගැස්ම - නුබේ ගඳවිහ විසුළ, තුඟු, නමලු ලිය නිල්, තෙත්කල්, දල දරහු බේමෙත්. මිහිගි ඟදවිහ විසුළ, තුඟු, කමලුලිය නිල් නෙත්කල් මදමත් ඇත්හු බෙමෙත්.

තේරුම - අහසෙහි, හුළගින් විසුරුණු වූ; උස් වූ; තමලු බඳු නිල් වූ; නෙත් කලු වූ; වලාවෝ හැසිරෙති. පොළොවේ ගඳ හැමීම විසිරැ ගියා වූ; උස් වූ; තමලු දලු මෙන් නිල් වන් වූ; නෙත් කලු වූ ඇත්තු ද හැසිරෙති.

පැහැදුම - වැහිවාවෝ අහසේ හැසිරෙති, කෙබඳු වැහි වලාවෝ ද? හුළගින් ඔබ මොබ විසිරැගියා වූ, උස් වූ; තමලු දලු මෙන් නිල්වන් වූ; ඇස් පිනවන්නා වූ වැහිවලාවෝ. පොළොවෙහි මදයෙන් මත් වූ ඇත්තු හැසිරෙති. ඌ කෙබන්දෝ ද? ගඳ හමනය ඔබ මොබ පැතුරුණු ( ගඳ ගැහීම පැතුරුණු ) උස් වූ, තමලු දලු මෙන් නිල් වන් වූ; ඇස් පිනවන්නා වූ මද මත් ඇත්තු යැ. මෙහි බෙමෙන් යන වදන වැහිවලා, ඇත් යන දෙපදය‍ට මැ සමෝ සමේ යෙදිණ. විසුල ගදවිහ, තුඟු, තමලු ලිය නිල්, නෙත්කල්, යන වදන් දෙ පසට මැ කැපෙන සේ අරුත් දෙයි. එ හෙයින් ඒ සෙලෙස් දිවස නමි.

ගැට ලිහුම

ගඳ විහ = මෙය ඇත් දලදර යන දෙ පසට දෙ අරුතෙකැ යෙදේ. වහනු ලබනුයේ ( හමනු ලබනුයේ ) විහි යැ. ඇතුන් කෙරෙන් කො තෙකුත් හාත්පස ගඳ විහිදෙයි. එ හෙයින් උහු විසුළ ගඳ විහි ඇත්තු යැ, ( විසිරි ගියා වූ ගඳ හැමීම ඇති ඇත්තු යැ. “විසුළ ගඳ විහි ඇත්තු” “ විසුළ ගඳ විහි ඇත්තු” යන සේ සකස් වනුයේ වෙසෙසුන් පහදනය වූ “ අ” සඳ ඈදීමෙනි. ) උස් මිනිහා = උස මිනිහ‍ා. මහත්අත = මහත අත. ඈ තැන් විමසන්නැ - එමෙන් ගඳ ඇත්තු = ගඳවිහ ඇත්තු. ගඳ වහනුයේ ( ගඳ උසුලකුයෙන් ) පිය ගඳ හෝ නොපිය ගඳ හෝ දරනුයේ ( හුළඟ ගඳවුහු නමි.) ගඳ වුහු මැ නො නැමියාවට යෑමෙන් ( අනමියා දේශයෙන් ) ගඳ විහි වේ. ගඳවිහ ( හුළග) නිසා විසුලා වූ දලදර ගඳවිහ විසුළ දලදර යැ මෙසේ මේ පැදියේ වූ මේ “ගඳවිහ” යග වදන සකු ගන්ධවාහ, යන වදන මෙන් මැ සකසා අරුත් විහුදුවන සුනීසි හෙළ වදනෙකි. ඒ වදන පිළිබඳ නැණස අඳයෝ ඒ දහසක් අගනා වදන “ අප පාඨයෙකැ යි. කියමින්” එය බැහැර කළාහු පියගඳ යන බොල් කහල පදයක් සුපාඨ යැ යෙමින් අටව‍ාගත්හු පැදියේ අරුතට කිසි ද ලෙවු පපු කමක් නැති වැ හෙණ දුන්නාහු යැ.

තමලු ලිය = කොල්ලම් නමින් ගැනෙන පඳරු වෙසෙස තමලු නමි. මෙහි “ලිය” යන දලු අරුත්හි වැටෙයි. තමලු ගසේ දලු ඉතා පියකරු නිල් පැහැමත් යැ. එහෙයිනි “තමලු ලිය නිල්” යැයි කිවියා පැවැසුණේ. මෙහි ලිය යනු වැල් අරුත දෙති යි හිතූ සමහරු “තමලු වැල්” යන සේ අරුත් දෙන්නට ගොස් මහ බඹු හෝ නොමැවූ අපූරු තමලු වෙසෙසක් මැවූ හ.

අනේ ඌ තුමූ අලගියවන්නයන් ගේ “රතදරිනි නා ලිය ගමනින් සදිසි නා ලිය එ පුරැ සරනා ලිය කවුරු නම් හැකි වෙති වනා ලිය

යන කියමන වත් දුටුව‍ාහු නම්; නො සේ වත් ලියලනවා ( දලුලනවා ) යන ගැමි වහරට වත් සිහියෙන් කන් දුන්නාහු නම් ඔය කුණු හරුප නො දොඩන්නාහු යැ.

දලදරහු = වැහි වලාවෝ ( දල - දිය - දරන හෙයිනි)

මදමත් = මදය නිසා මත් වූ නුරායෙන් මත් වූ,

xi. විරුදු දිවස

168. කඳප්හු දප් වඩත් බඳ දලදරහු රූසිරු; කෙරෙත් තුනු ගිම්හු හමළ පවතිනු ‘තුළ තෝ බිඳුහු.

පෙළ ගැස්ම - රුසිරු බඳ දලදරහු කඳප්හු දප් වඩත්. හමළ පවතින් උතුළ තෝ බිඳුහු ගිමුහු දප් තුනු කෙරෙත්.

තේරුම - රූසිරියාවෙන් යුතු එකට බැඳීගිය වැහිවලාවෝ අනඟා ගේඑ ඩිය වඩති. හමා බස්නා ලද හුළඟින් ඉතිරි- ගිය දිය බිඳුහු ගිම්හු ගේ එඩිය තුනී කෙරෙති.

පැහැදුම - එකට බැදීගිය ලස්සන වැහි වලාවෝ අනඟා ගේ එඩිය වඩති, එහෙත් තව අයෙක් ඒ අතරැ මැ තව කෙනකුන් ගේ එඩිය මකති.

එඩිය වඩති; එඩිය මකති. වල‍ාවෝ එඩිය වඩති;

දිය බිඳුහු එඩිය මකති. ඔවු; වලාවෝ අනඟා ගේ එඩිය වඩති. දිය බිඳුහු ගිමයා ගේ එඩිය මකති.

ගිමයා ගේ එඩිය මැකීම ද අනඟා ගේ එඩිය වැඩීමෙක් මැයි. එහෙයින් වැඩීමේ කමට මැකීමේ කම හාත්පසින් මැ විරුදු වුව ද ඒ දෙකෙහි මැ පලතාව සම යැ. මෙසේ එක් වැ මනා සේ පෑහී සිටුනා අරුත් දහරාව නො බිඳැ විරුදු අරුතක් නඟා පාන හෙයින් මේ යෙදුම විරුදු දිවස නමි.

xii. සම දිවස

169. හරිත් දිගුන් විතර ගනිත් තරු වැළ ද, යළ අදින් පමණන් ද මෙ තමා මහ මේහු මේ වැජැඹෙන.

පෙළ ගැස්ම - මේ වැජැඹෙන මහ මේහු දිගුන් විතර හරිත්; තරු වැළ ද ගනිත්; යළ මෙ තමා පණන් ද අදිත්.

තේරුම - මේ වැජැඹෙන මහ වැහි වලාවෝ දිසාවන් ගේ පැතිරීම දුරු - නෙරෙති. තරු සමූහය ද ගනිති; ආයේ මේ මගේ පණන් ද අදිති.

පැහැදුම - වැහි වලාවෝ කුමක් කුමක් කෙරෙති ද? දිසාවන් හට තමන් ගේ පැතිරීම පෙනෙන්නට ඉඩ නො දෙති. හෙවත් තු‍මූ දිසාවන් ගේ පැතිරීම ගනිති. හෙවත් දිසා ඉමින් ඔබට ද වැහි වලාවෝ පැතිරෙති. වෙන කුමක් කෙරෙති ද? තරු සමූහය ද ගනිති; හෙවත් එක ද තරුවක් හෝ නොපෙනෙන නියාවෙන් ගනසැරේට පැතිරෙති. ඉක්බිති කුමක් කරති ද? මගේ පණ ද ඇදැගනිති. ( ඒ හැයි? කෝ එයා නෑ නොවැ? ඉතින් වැහි වලා නැඟී මෙතරම් ගනසැරේට පැතිරෙත් මැ එයා ගෙන් වෙන් වැලා මගේ පණ රැකෙයි ද?)

 	මෙහි හරිත්, ගනිත්, අදිත් යන සෙයින් තුන් 

වදනෙකින් පැවැසුණේ එක මැ සම අරුතෙකි. ඒ තුන් වදනින් මැ පැවැසුණේ එක්තරා ගැන්මෙකි. එ හෙයින් වදන් තුනෙකින් වුව ද එක සම ( වදනෙකැ) අරුතක් ඉස්මතු කරනු ලබන හෙයින් මේ සම දිවස නමින් ගැනෙයි.

ගැට ලිහුම දිගුන් = දිසාවන්

විතර = පුළුල ( පැතිරියාව )

170. මලින් සෙලෙස්නෙන් විරුදතිනෙකතින් මෙසේ සෙසුහුදු මෙ මෙ නියම්නෙන් විකපත් යුත් කිවි දනා.

පෙළ ගැස්ම - මලින්, සෙලෙස්නෙන්, විරුදතින්, එකතින්, මෙසේ මේ නියම්නෙන් මෙ සෙසුහුදු කිවි දනා විකපත් යුත්.

තේරුම - මල් හෙවත් දම් දිවසින් යැ සෙලෙස් දිවසින් යැ විරුදු අරුත් දිවසින් යැ සම අරුත් දිවසින් යැ යන මෙසේ මේ නියාවෙන් මැ ඉතිරි හරිය ද කිවි දනන් විමසා බලත් හොත් මැනැවි.

පැහැදුම - මාලා දීපක යැ, ශ්ලේෂාර්ථ දීපක යැ, විරුද්ධාර්ථ දීපක යැ, ඒ කාර්ථ දීපක යැ යන සැටියෙන් සකු බසින් හැඳින්වෙන මල්, සෙලෙස, විරුදු අරුත්, එකරුත් යන දිවස් මේ ගතෙහි ලා පැහැදිලි කළ සැ‍ටි විමසා බැලුම මැනැවි. තව කොතෙකුත් දිවස් ලකර වෙසෙස් වෙයි. ඒවා මේ සැටියෙන් මැ කිවිදනන් විසින් විමසා සලකා බලනු ලැබුම ඉතා මැනැවි.

ගැට ලිහුම

මලින් = දම් යනුයෙන් හැදින්වුණ මේ දිවස මාලා දීපක නමින් සකුයේ හැඳින්වේ.

 සෙලෙස් = සමසැටි දිවස ( ශ්ලේෂාර්ථ දීපකය)
 මේ නියම්නෙන් = මේ සැටියෙන්, මෙ පිළිවෙළින්,

සෙසුහු - ඉතිරි හරිය. මෙහි දිවස් වෙසෙස් ගණනා‍ෙවක් දැක්විණ. දැ, කිරිය, ගණ, වත් යන දිවස් හතර වගය මුල්, මැදි, අගු යන තුන් බෙදුම අනුවැ දොළොස් වගයක් කොටැ දැක්විණ. ඉක්බිති වැ මල් යැ, සෙලෙස් යැ විරුදු යැ සම යැ යි තව දු දිවස් වෙසෙස් හතරෙක් දැක්විණ. එ හෙයින්

දෑ මුලු දිවස දෑ මැදි දිවස දෑ අඟු දිවස

කිරිය මුල් දිවස කිරිය මැදි දිවස කිරිය අගු දිවස

ගුණ මුල් දිවස ගුණ මැදි දිවස ගුණ අගු දිවස

වත් මුල් දිවස වත් මැදි දිවස වත් අගු දිවස

මල් දිවස සෙලෙස් දිවස විදුරු දිවස සම දිවස

යන සැටියෙන් මෙහි දහසය දිවසක් දැක් වු‍ෙණ්යි.

දිවස්හු තව දු කොතෙකුත් වෙති. ඒවා එකක් එකක් පාසා තව දුරට විමසා බලත් හොත් ඉතා මැනැවි. මෙහි සෙසුහු යැ කීවේ තවද ඇති කොතෙකුත් දීපක පිළිබද වැයි.


5. පිළීපැවැතුම් කියමන

172. පිළිපැවැතුම් නැමැත්; තුනෙක් අරුතින් පෙදෙනුදු එ දෙකෙනිදු පිළීපවත්; එ කැරැ වත්නෙමි, හෙමෙසේ

පෙළගැස්ම - පිළිපැවතුම් නම් ඇත්; අරුතින් පෙදෙනුදු එ දෙකිනිදු පාළිපවත් තුනෙක් ; එ කැරැ වත්නෙම් හෙ මෙසේ.

තේරුම - පිළීපැවැතුම් නම් ( කැරැකියා ලකර නම්) ලකර වෙසෙසක් ඇති; අදහසින් හා පදයෙන් ද ඒ දෙකින් දැ යි පිළිපැවැතුම් තුනෙකි. ඒ ( නිදසුන් ) කැරැ පවසන්නෙමි. හේ වනාහි මෙසේ යැ.

පැහැදුම - ආපහු පැවැතුම් ලකර නමින් ලකර වෙසෙසක් ඇති; ඒ ලකර වෙසෙස වෙසෙසි තුන් වගයකට බෙදේ.

අදහසින් ආපහු පැවැත්ම යැ පදයෙන් ආපහු පැවැත්ම යැ

අදහසින් හා පදයෙනුත් ආපහු පැවැත්ම යැ යනුයි ඒ තුන් වගය. ඒ තුන් ආපහු පැවැතුම ගැනැ නිදසුන් දක්වමින් පැහැදිලි කැරුම මෙයින් කෙරෙයි. කීවක් යළි යළිත් කීම යැ ආපහු පැවැත්ම නම්. කියමනටත් එහි අදහසටත් සැරැසිල්ලක් වන සැටියෙන් යෙදූ විට පමණෙකි ඒ ලකරක් ලෙසින් ඉස්මතුව පෙනෙනුයේ. නොනිසි සේ යෙදුව හොත් ලකර වුව ද විකරක් වනු නියති.

ගැටලිහුම පිළිපැවැතුම = පිළිපැවැත්ම නම් ( ආපහු පැවැත්ම නම් ) කැරැකී දෙඩුමෙකි. කී අදහස මැ හෝ කී වදන් මැ හෝ ඒ දෙක මැ හෝ යළි යම් ලෙසෙකින් සඳහන් කිරීමෙකි. ( “ ආවෘත්ත්යාදලංකර” නමින් මේ සකුයෙහි ගැනෙයි.)

i. අදහස් පිළිපැවැත්ම

173.  		පුබුදු කොළොඹිළු පිපෙ

කඳුලු; මිණි මුස්සි මුහුලු; විහිදෙ දුනුකෙහි කැකුළු; මිණි දැදිරෙ හෝ තුරු පෙළ.

පෙළ ගැස්ම - කොළොම් ඉළු පුබුදි; කඳුලු පිපේ; මුහුලු මිණිමුස්සි; දුනුකෙහි කැකුළු විහි දේ; හෝ තුරු පෙළ මිණි දැදිරෙ.

තේරුම - කොළොම් වනය පුබුදියි.; බිම් කෙහෙල් පිපෙයි. මුහුල මල් මිණියෙන් මිදෙයි. දුනු කේ ගස් හි කැකුළු (මොට්ටු) විහිදෙයි. අසෝක ගස් රැස මිණිදෑදැරිල්ල වෙයි.

පැහැදුම - මෙහි පුබුදියි, පිපෙයි, මිණිමුස්සි, කැකුළු විහිදේ, මිණි දැදිරේ යන කිහිප සැටියෙකින් පැවැසුණ නමුත් අරුත එකමැ පිපීම යැ. වෙන වෙන සැටියෙන් ඉදිරිපත් කළ නමුදු එක් මැ අරුත ආයේ ආයේ පෙරැළි ඉස්මතු වන හෙයින් ඒ අරුත් පිළි පැවැතුම් නමි.

ගැට ලිහුම

කොළොඹිළු = කොළොම් ඉළු - කොළොම් වනය. කඳුලු = බිම් කෙහෙල්, කනැහිල්ල යන දෙවගය (කන්දලි සකු) දැදිරේ = “දැදුරු” දැයින් නිපන් නොගියකල්, එක් ගිණි, අන්තැනි, පරපද කියවු පදයයි.

Ii පද පිළිපැවතුම

174. දෙනෙ වසත් සහමල් පලු ලිය තුරින් සසිරි දෙනෙ මුවර දෙදෙ සියල් දිය සැවුහි මල් හියෙන්.

පෙළ ගැස්ම - සහ මල් පලු ලිය තුරින් සසිරි වසත් දෙනෙ. සැවුහි මල් හීයෙන් මුවර දෙදෙ සියල් දිය දනේ.

තේරුම - මල් කොළ සහිත වැලින් ගසින් සිරිමත් වසත් සමත් උපදින්නේයැ. (උදා වන්නේ යැ) දුන්නෙහි මල් හීයෙන් අනඟ තෙමේ සියලු ලොව දින්නනේ යැ.

පැහැදුම - “දෙනේ” යන පදය මෙහි කියමන් දෙකට මැ එක ලෙස යෙදී කියමන් දෙක මැ හැඩ ගැහිණ. එහෙත්. අරුතින් කියමන් දෙකේ ඒ වදන දෙලෙසකට යැ යෙදුණේ. පදයෙන් පිළිපැවතුණ ද අරුතින් නො පිළිපැවැතිණ. එහෙයින් මේ පද පිළි පැවැතුම නමින් සැඳැහෙයි.


iii. දෙ පිළිපැවැතුම

175. දනා සියල් හිමි වෙසේ දැන් ඇතොරන් හා වෙසේ දෙව් අසරන් හා පිළි තරුපු වග සග පත්.

පෙළ ගැස්ම - හිමි සියල් දනා දැන් ඇතොරන් හා වෙසේ. පිළි සග පත් ත-රුපු වග දෙව් අසරන් හා වෙසේ.

තේරුම- හිමි තෙමේ සියල්ලන් ජය ගෙනැ දැන් ඇතොරේ කතුන් හා සමඟ වෙසෙයි. ආයේ - එ පමණෙකැ?- දෙව් ලොවට පැමිණුණ තගේ හතුරු පරපුර දෙව් අසරන් සමඟ වෙසෙයි.

පැහැදුම - මෙහි “වෙසේ” යන වදන දෙ කියමනෙහි මැ සම අරුතට යෙදිණ. එහෙයින් දෙ කියමනට මැ සම අරුත ඇති සම හඬ ඇති “වෙසේ” යන්න යෙදී එයින් කියමන් දෙක මැ සැරැසිණ. එ හෙයින් මේ දෙ පිළිපැවැතුම නම් වේ.

ගැට ලිහුම -

දනා = දිනා - ජයගෙනැ- ඇතොරන් = රජුගේ බිසොවුන් හිඳුනා මාලිගාව ඇතොර නමි.ඇතොරේ වසන්නෝ යැඇතොරන් නමින් ගැනුණෝ. (අන්තඃපුර ස්ත්රීමන්)

දෙව් අසරන් - අසර නම් කිරි මුහුදින් පැනැ නැගුණු දෙවඟනන් රැසකට යෙදෙන නමෙකි. ඌ තුමූ සකුයෙහි අප්සරස් නමින් ගැනෙති. අප්සරස් නම් දියෙහි හැසිරෙන්නෝ යැ. පසු වැ පසු වැ අසර යන්නේ මුල් අරුත මැකීයන්නට විණ. කවර දෙව් අඟනක් වුව ද දෙව් අසර යනුයෙන් මෑතැ දී සැලැකෙන්නට වුණු.

තරුපු වග = තගේ හතුරු රැහැ.

6. අකෙවු කියමන

176. අකෙවු නම් පිලිසෙවු හේ කල් විසින් තුන් සේ වැළැකුම් වතුන් හේ නිදු හෙ මෙ වේ අනත මේ ගින් පෙළ ගැස්ම - අකෙවු නම් පිළිසෙවු. හේ කල් විසින් තුන් සේ. වැළැකුම් වතුන් හේ නිදු හෙ මෙ අනත වේ. මේ ගින්.

තේරුම - අකෙවුව නම් වැළැක්මයි. ඒ වනාහි කල නිසා තුන් සැටියෙකි. වැළැකුම් ලබන වතුන් ගේ (වස්තූන්ගේ) හෙය නිසාද ඒ අකෙවුව මැ අනත් වෙයි. (අනන්ත වෙයි.) මේ සැටියෙකි.

පැහැදුම - අදහසෙහි දී ඇති වන වැළැකුම අකෙවුව නමින් ගැනෙයි. ඒ අකෙවුව කල අනුවැ තුන් ගණයෙකි. වැළැකීම ලබන එක් එක් දෙයෙහි කරුණු අනුවැ නම් අකෙවුව ඉමක් කොනක් නැති තරම් බෙදුම් හෙදුම් වලට වැටෙයි.

ගැට ලිහුම

අකෙවු = වැළැකුම්. අකෙව යනු යැ මෙහි දය. එය රක් ගණයේ දයෙකි.

අකෙවී අකෙවිති අකෙවි අකෙවි අකෙවේ අකවෙති අකෙවිණි අකෙවුණු

යන සැටියෙන් වර නැ‍ඟෙයි. අකෙවීනුයේ යැ අකෙවු නම්.

පිළිසෙවු = ඇසුරු නො කිරීම යැ, වැළැකීම යැ, පිළි සෙවීම නම් පිළිසෙව යනු යැ දය. එය ද රක් ගණයේ පවතු වර නැ‍ඟෙන සිටියෙනි. වර නැ‍ඟෙන්නේ.

වැළැකුම් වතුන් හේ නිඳු = මේ සමහර පිටපත් වලැ; “වළැකුම් වතින් හේ නිදු” යැයි ලියැවී තිබේ.


I ගිය කල් අකෙවුව

177. පස් කුසුම් සෙරෙන්

			දිනි මුවර දෙදෙ සියල්

නො ඇදැහුම්වත් ඉතිදු හොත් හේ විසිතුරු නො වත්?

පෙළ ගැස්ම -මුවරදෙදෙ පසු කුසුම් සෙරෙන් සියල් දිනි නො ඇදැහුම් වත්. ඉතිදු හොත් වත් හේ විසිතුරු නො?

තේරුම - අනඟ තෙමේ පස් මල් හීයෙන් (මල් හී පහෙන්) සියල්ල දුනුයේ යැ. (එ) නො ඇදැහීමට සුදුසු යැ. එසේ නමුත් වතුන්ගේ (වස්තුන් ගේ) සවිය විසිතුරු නෙවැ?

පැහැදුම - අනඟා හෝ වේවා අන් කවරෙක් හෝ වේ වා, හී පසෙකින් ලොවත්; ලොවේ සියල්ලනුත් දිනුයේ යැ යන කිම ඇදැහියැ හැකිද? ඒ අරැත් ඒ සොබා හීත් නොවේ. මල් හී යැ. ඉතින් මල් හී පහෙකින් හැකි ද ලොව මැ දිනන්නට? ඒ කීම ඇදැහියා නො හැකියැ. ඒත් කුමක් කියනවා ද? වතුන් ගේ සවිය විස්මකුරු නොවැ? ඒ මල් හී වුව ද කවර සවියක් ඇති කවර බල පිළිවන් කමක් ඇති මල්හී වෙසෙසෙක්ද යනු කවුරු දනිත් ද? ඒ හෙයින් අදහනු නොහැකිත් නො වේ.

මෙ‍ෙ ස් කලින් ඇදැහියා නොහැකි යැ යි සලකා, යළි කරුණු සහිත වැ ඒ සැලැකුම වෙනස් කළ හෙයින්, ඒ සැලැකුම වළකාලු හෙයින්, මේ පිළිසෙවුවකි. මල් හී දිනී යැයි ගිය කල් පවතක් හා සැබැදුණ හෙයින් ඒ ගිය පිළි සෙවුව හෙවත් ගියකල් අකෙවුව නමි. ගැට ලිහුම වත් හේ = වතුන්ගේ සවිය. (වසුතූන් කෙරෙහි ඇති අනේක ප්ර කාර ශක්තිය) පස් කුසුම් සර = අනඟා ගේ මල් හී පහස.

අරවින්දමශෙකඤ්ව චුතඤ්ච නව මල්ලිකා නීලෝත්පලඤ්ච පඤ්චයිතේ පඤ්ඤබාතස්ය සායකාඃ

යනු කී හෙයින්; අරවින්ද යැ, අශෝක යැ, අඹ යැ, නව මල්ලිකා යැ, නිල් මහනෙල් යැ, යනුයි ඒ හී පස.

Ii නොගිය කල් අකෙවුව

178. කුමක් හේ කෙරෙහි තෙල ඉඳුවර සවන්හි? මෙ කම්හි කුම් නො පමණ වී හඟිහි තී දිගු නෙත්?

පෙළ ගැසුම - තෙල ඉඳුවර සවන් හි කුමක් හේ කෙරෙහි? කුම්? මේ කම්හි තී දිගු නෙත් නොපමණ වී හඟිහි?

තේරුම - මේ මහනෙල් යානෙහි කුමක් නිසා කරන්නෙයි ද? (කනෙහි කුමක් නිසා පළඳන්නෙහි ද යූ සේයි) කිම? මේ කටයුත්තෙහි තී ගේ දිගු ඇස් නො සැහේ යැ යි සලකන්නෙහි ද ?

පැහැදුම - මේ නොගිය කල් අකෙවුව යැ. කුමක් නිසා තෙල ඉඳුවර සවන් හි කෙරෙහි යනුයෙන් ඒ සකසා හැ‍ඟෙයි. කනෙහි මහනෙල පළඳින කතකට මේ පියවතකු කී සැටියි.

මහනෙල පළඳිනු වැළැක්ම සඳහා හේ කරුණු . දක්වයි.

“කුම් මෙ කම්හි දිගු නෙත් නොපමණ වී හඟිහි? ” යනුයෙන්. මහනෙලින් කරනුයේ කන හෙබැවීමයි. ඒ කම ඇය ගේ දිගු නෙතින් කෙරෙයි. මහනෙල මෙන් මැ ඇය ගේ නෙත ද නිල්වන් යැ. ඒ නිල් වන් නෙත කන තෙක් මැ දික් වූ යේ යැ. එ හෙයින් අමුතු වැ-ලා; මහනෙලක් යොදා කනට සැරැහීමක් නො ඇවැසි යැ..

පියවතා මේ වැළැකුම ඉදිරිපත් කිරීමේ අදහස් දෙකක් ඇති වගක් හැ‍ඟෙයි. ඇය ගේ ඇස මහ නෙලක් මෙන් පැහැමත් බව හා කන තෙක් මැ දිගු බවත් හඟවා ඇයට සොම්නසක් කැවීම යැ, ඇය‍ ගේ, නිවත් සිරුරේ සිරියාව දැකැ ගැන්මට මහනෙල මතු හරසක් වන වග පියවතා දන්නා හෙයින් දෝ කල් නියා මැ ඒ හරස වළක්වා ගැන්ම යැ යනුයි ඒ දෙ අදහස. හැයි පැරැණි කිවියෝ කිවා හු නොවැ “හිමියන් අඟනන්ගේ නිවන් තුනු සිරි බලත, එහි විළියෙන් කනුපුලින් ගසා ඒ අඟනන් පහන නිවූ සැටි.”

ගැට ලිහුම

ඉඳුවර = නිල් මහනෙල්

Iii නො ආ කල් අකෙවුව

179. අන් ලවනත ළඟතෙ ලැ රෙසෙන් රත් නෙත්නෙන් දකුත් තො නො ලබා තමා; හිමි හදහ මා මෙ වදන්.

පෙළ ගැස්ම - අන් ලවනත ළඟත්, එ ලා රෙසෙන් රත් නෙත්නෙත් තමා දකුත් තො නො ලබා, හිමි මා මෙ වදන් හදහ. තේරුම - අන් නොළක් ළං කැරැගත හොත් - අන් අඟනකගේ තොල ළං කැරැගත හොත් - ඒ තොලෙහි ලතු රෙසෙන් රතු වූ ඇසින් මා දකුත් හොත් තෝ නො ලබයි. හිමිය මගේ මේ බස් අදහව.

පැහැදුම - හිමිය, තව මැ තෝ අන් අඟනක ගේ තොල ළං කැරැගත්තෙහි නො වේ. හොඳා යම් දැකැ ඒ ළංකැරැගැන්ම කළ හොත්; ඒ තොල නිසා රත් පැහැ ගැල්වුණු ඇසින් මා බැලීමට නම් තට ඉඩ නො ලැබෙයි. ” මෙසේ තව මැ නො වූවත් මතු වන්නෙකැයි හිතියැ හැක්කක් වැළැකු හෙයින් මේ නො ආකල් අකෙවුව නමි. “හිමියෙනි, යම් දවසෙකැ ඔබ අන් අඟනක ගේ පහස ලද බව මා දත හොත් එදාට මගේ මළ කඳයි ඔබ දකින්නේ” යනුයි මේ කියමනේ හරය.

ගැට ලිහුම

ළඟත = ළඟත හොත්. ළඟ යනුයි පවතුව. “ළඟා - ළඟති - ළැඟී ළැඟූ ළැ‍ඟේ - ළැ‍ඟෙති - ළැඟිණි ළැඟුණු ළඟී - ළඟිති - ළැගි - ළැගි.

180. ඉකුත් කල් විසා පෙරැ කීයේ; වත්මන් කල් වියා පිළි කියේ; අනා කල් විසා යළ කීයේ.

තේරුම - ගිය කල සඳහා යැ මුලින් පැවැසුයේ; වත්මන් කල සඳහා යැ යළ පැවැසුයේ; අනාකල සඳහා යැ ඉක්බිති වැ පැවැසුයේ.


	Iv 	දහම් අකෙවුව.

181. තී සියල ඟැ වතළ නො සැබෑ වෙ‍ මෙ කොමළ බව් ඉදින් ඒ සැබෑ වේ නම්; කිම රදවා තමා හිද?

පෙළ ගැස්ම - තී සියල් අඟැ වතළ මේ කොමළ බව් සැබෑ නො වේ. ඉදින් ඒ සැබෑ වේ නම්; කිම තමා හිද රදවා?

තේරුම - තී ගේ මුළු සිරුරේ වැතුරුණු මේ මොළොක් බව සැබෑ නොවේ. යම් හෙයකින් ඒ මොළොක් බව සැබෑ වේ නම්, කුමට මගේ හදවත රිදවයිද ?

පැහැදුම - මොළොක් දෙ‍ෙයකින් රිදුමෙක් නැ‍ඟෙන්නේ තද දෙයෙකිනි. තී ගේ මේ මුළු සිරුරේ වැතිරැ පවත්නා මේ මොළොක් බව ඇත්තෙන් මැ මෙළොක්බවෙක් නොවේ; තද බවෙකි තී ගේ සියලඟ මොළොක් යැ කීම අලි මැ බොරුවෙකි. ඒ හැයි? එසේ හැබෑවටමැ මොළොක් නම්, මගේ හිතට මෙහෙම රිදුමෙක් ලැබෙයි ද? පියාවකගේ වදන් නිසා හද තැළුණු පෙම්වතකු මුවින් බිහි වුණු කියමනක් සේ යැ. මෙ‍ාළොක් බව ගැහැනු සිරුරේ වූ සොබා ගුණ ය යි. ඒ සොබා ගුණය, ඒ දහම්තාව පිළි සෙවුණු හෙයින් - වළකාලූ හෙයින් - මේ දහම් අකෙවුව නම් වෙයි.

ගැට ලිහුම

ඉඳි = යම් හෙයකින් කිම රඳවා = කිමෙක් ද රිදවයි ද? හිද = හදවත - හිත-


182. පියබඳ හො, මෙ නො වෙ හො! කෙසේ මෙ අතුරු දැනේ? පෙනේ මතු පැහැ පබඳ පැහැ ඇසිර ඇස්හි නො හේ.

තේරුම - මේ පියබඳ ද හෝ! නො වේද හෝ! මේ වෙනස කෙසේ දැනෙයිද? දිස්නය පැබැඳිල්ල පමණක් පෙනෙයි. ඒ දිස්නය පිළිබඳ ඇසුර නො වැටෙ යි.

පැහැදුම - පියබඳ කවර තරම් සුරූමත්ද? ඇය ගේ මුළු සිරුරින් දිස්න දහරාව කො තෙකුත් ඔබට මොබට විහිදෙයි. ඇය‍ ගේ සිරුර නොපෙනෙයි. පෙනෙන්නේ ඇය සිරුරින් නික්මෙන දිස්නය දහරාවයි. ඒ නිසා මේ පිළිබඳ ද නැති දැයි හරියට දැනැගනු නො හැකියි. මේ අඟනක පිළිබඳ වැ කරන ලද බලවත් මැ වැනුමෙකි. අඟන ගේ සිරුරේ පැහැමත් බව ඒ සිරුර ඇසිරැ පවත්නා දහම්තාවයි. ඒ දහම්තාව හොඳට පැහැදිලියි. එහෙත් දහම්තාව නිසා ඒ දහම්තාව දරා සිටුනා දැහැමිතාව - දහම්තාවෙහි හට ගැන්මට උදවු වූ දෙය සකසා නොපැහැදිලි යැ. අන්න එසේ දහම්තාවේ ඉස්මතු වීම දැහැමිතාව විසින් නොපැහැදිලි කරනු ලබන හෙයින්; මේ දැහැමියා වැළැකුම නමි.

ගැට ලිහුම -

පියබඳ හො නො වෙ හො = මේ පියබඳ දොහෝ නො එසේ නම් මේ පියබඳ නොවේ දොහෝ! මේ සඳහා බොහෝ පිටපත්හි එනුයේ “පියබඳ හො නොවේ” යන කියමනයි. එහි අරුත කිවියා අදහස් කළ අරුතට හාත්පසින් මැ වෙනසි යැ. “මේ පියබඳ දෝ! නොවේ. පියබඳ නොවේ.” යනුයි එහි අරුත එය ඒ කවේ ඊ ළඟ පදය කවන හැඟුමට හාත්පසින් වෙනසි.

පියබඳ = කොමළ බඳ, බොළඳ බඳ යන වදන් මේ හා සසඳන්නැ. “පියකරු සිරුර ඇති තැනැත්තිය ” යනුයි මෙහි අදහස. “ගැහැනිය” යන අරුත යැ එයින් ලැබෙන්නේ. එහෙත් “තමා පිය කරන කත; තමා ගේ පියවතිය; යන අරුත සඳහා යැ මේ වදන බොහෝ විටැ යෙදෙන්නේ.

අතුර = වෙනස - ඉඩ

පැහැ ඇසිර = පැහැය විහිදීම සඳහා මුල් වන අත් උදවුව - ප්රැභාව නිකුත් වන මූලස්ථානය.

Vi. කරුණු අකෙවුව

193. දෙනෙත් රත් පැහැ ගත් නො මෙ සන්හුන් ලවන් තී බමන් රැලි බැමැ ද, යළි වන දෙස් නැත් බිය තමා.

පෙළ ගැස්ම - දෙනෙත් රත් පැහැ ගත්; ලවන් නො මෙ සන්හුන් තී බැමැ ද රැලි බමත් යළි වන දෙස් තමා බිය තැත්.

තේරුම - දැස රතු පැහැය වැ ගත්තා වූ තොල නොසන්සුන් වූ හෙවත් වෙවුලන්නා වූ තී ගේ බැමෙහිද රැලි බමන නමුත් ආයේ ඉතින් කිසි දෙසක් නැති දෙසින් වියුත් වූ මා කෙරෙහි බිය නැති.

පැහැදුම - තරහයෙන් තීගේ ඇස රතු පැහැ විණ. තී ගේ තොල් වෙවුලයි. තෟ ගේ බැම ද බමානැගෙයි. ඉතින් මට කිම? මා අතැ කිසි දෙසක් නැති - මම තී හැරැ වෙන අඟනක නො සෙවිමි. එසේ විණි නම් මා අතැ දෙස් යැ. එහෙයින් නිදොස් මා හට එයින් බියෙක් නැති මෙහි බිරිය ගේ රොස් බව , නෙත් රතු බව තොල් වෙවුලන බව, ඇස් බමන බව කරුණු පෑ වැළැකූ හෙයින්, එසේ මැ ඇය ගේ මෙන් තමා ගේත් ඇස් රතු වන්නට තොල් වෙවුලන්නට, බැම බමන්නට කරුණු වූ දෙස තමා කෙරෙහි නැති බව හඟවා ඒ ගතියෙන් තමන් වැළැකීමට කරුණු පෑ හෙයින් මේ කරුණු අකෙවුව නමි. සැකෙවින් කියත් හොත්; හේතුයෙන්, යම් පලයක් හට ගැන්මට නිසිවන හේතුයෙන් වැළැක්ම විදැහීමයි. කරුණු අකෙවුයෙන් සිදු වන්නේ.

ගැට ලිහුම - බමත් = බමන නමුත් යන අරුත සඳහා යෙදුණේ යැ. වන දෙස් = දෙසින් වියෝ වූ - දෙසින් වෙන් වූ. ලවන් = තොල් වන දෙස් නැත් බිය තමා = තමා පර අඟනක හා එක් විණැයි සැකයෙන් හටගත් කොවින්, නෙත් රතු කැරැගත් බිරියට බරුවකු සිය නිදොස් බව පෑ සැටි හඟවන නියායෙන් පැබැදුණ පැදියෙකි මෙ. (බරුවාගේ ඇස් රතු නූයේ හැයි තොල් නො වෙවුලුයේ හැයි බැම නො බුමුයේ හැයි? ඔහු අතැ දෙස් නැති හෙයිනි.)

Vii කම් අකෙවුව

184. හාත් නි වැදැගත් නන කල් දුරු වී තමා කල් ලිය තුරුහු පුල්හු සියල් පිළි නො මෙළම් කෙරෙම් කුම්


පෙළ ගැස්ම - ගන කල් හාත්නි වැදැ-ගත් කල් හාත්ති වැදැ-ගත්; තමා කල් දුරු වී; සියල් ලිය තුරුහු පුල්හු. පිළි නො මෙළෙමි. කුම් කෙරෙම්

තේරුම - වැහිවලා කල දවස හාත්පසින් ඇතුළු වූයේ යැ. මගේ පියවතා ද දුරෙහි වී යැ, සියලු වැල්හු හා ගස්හු ද පිපුණෝ යැ. ආයේ ඉතින්; නො මළෙමි. කුමක් කෙරෙම් ද?

පැහැදුම - කරුණු අකෙවුයෙහි අනෙක් පස යැ මේ කරුණු අකෙවුයෙහි ද කමෙහි කරුණ පෑ එය වළක්වනු ලැබේ. කම් අකෙවුයෙහි දී කරුණෙහි කම පෑ එය වළක්වනු ලැබේ. මැරෙන්නට කරුණු ඇති විණ. වැහි කල උදා වීම; පෙමිවතා දුර බැහැර වීම ගස් වැල් පිපීගැන්ම යන ඔය කරුණු නිසා නුරා ගින්න කොතෙකුත් දැල්වීමයි මරණයට කරුණු. මේ කරුණු නැඟුණ නමුත් එයින් වියැ යුතු වූ මරනය නම් කම මෙහි දී වැළැකිණ. එ හෙයිනි මේ කම් අකෙවුව නම් වනුයේ. ගැට ලිහුම -

හාත්නි = හාත්පසින් - හැමපැත්තෙන් - සව් අත් >සාත්>හාත් ගන කල් = වැහි වලාව ගන නමි. ඒ නැඟෙන කල යැ ගන කල් නම් - වැහි වලාව කල් = බිරියට බරුවාද, බරුවාට බිරිය ද කල් නමි. නො මෙළෙමි = නො මළෙමි.

Viii . අනුදැනුම් අකෙවුව

185. නො තැවුලියට වැටේ සෙරෙන් මට මෙතා ගමන් යැ යුතු ‍යැ තා යත හොත් සැක මෙහි නො මෙ කරත් පත්.

පෙළ ගැස්ම - තා මෙ ගමන් මට සෙරෙන් තැවුලියට නො වැටේ. මෙහි සැක නො කරත් මෙ පත්. තා යත හොත් යා යුතු යැ.

තේරුම - “ඔබේ මේ ගමන මට බොහෝ කල් තැවීම පිණිසැ නො පවතියි, ” මෙහි - මේ කියමනෙහි - සැක නො කරතොත් හොඳයි. ඔබ යත හොත් යනු මැනැවි.

පැහැදුම - “සැබැවින් මැ මා බසේ සැක නොකරන්නැ. ඔබ‍ ගේ ඔය ගමනින් වන සිත් තැවුල වැඩි කල් විඳීම පිණිසැ මගේ දිවි පැවැත්මෙක් නො වේ. ඔවු, ඒ සිත් තැවුලින් වහා මැ මැරෙනු නියති. ඉතින් ඔබ යනවා නම් යන්නැ.”

යස අනුදැනුමෙකින් නො වේ ද මේ? “ ඔබ ගිය හොත් මා මැරෙනු නියති. ඔබ යනවා නම් යනු මැනැවි.” මේ අනුදැනුම ලබා කවර ලෙව් පසු කමක් ඇතියෙක් එ ගමන යයි ද? ඇත්තෙන්මැ මේ අවසර දීමෙන් වූයේ ගමන වැළැකීමෙකි. ඔවු අනු දැනුම වැළැකුමට ගෙය වූ හෙයින් මේ අනුදැනුම් අකෙවුව නම්.

ගැට ලිහුම -

පෙරෙන් = බොහෝ කලෙකින්. සර+එන්> සෙරෙන්-හැයි? සර+ එන් සරෙන් නේද? නැති. ඉන්, එන්, යන විබත් ගැනීමේදී සමහර වදන් මෙසේ මූණුවර වෙනස් කරනු හෙළ බස් නියරි.

බව් + ඉන් = බැවින් කම් + ඉන් = කැමින් දම් + ඉන් = දැමින් දහම් + ඉන් =දැහැමින් බල + එන් = බෙලෙන් රස + එන් =රසෙන් යස + එන් = යෙසෙන් කම + එන් = කෙමෙන්

මේ වදන් නියර අනුවැසි මේ සෙරෙන් යන වදන සැකැසුණේ. බොහෝ කල් යන අරුත යන සර දෙන සර යන වදන පසුවැ සැර යනසේ නොනැමියාවට ගොස් සකස් විණ. “සැර දේ” යන ඈ යෙදුම් නිපන්නේ ඒ සකස් වීමෙන් ඉක්බිති වැයි.

තැවුලිය = තැවිල්ල - හිතේ හට ගන්නා සෝ ගිනි දුක - තැවුල් යන වදන මැ මට සිලිටි වීමෙනි තැවුලි යන්න නිපන්නේ.

Ix රොස් අකෙවුව


186. යනෙම් වී ත-මෙ මියින‘ද වී මේ වදන් නොයනු වී ද මෙ තා දැන් තම හට කිමත් මඳ පෙම්?

පෙළ ගැස්ම - අද තා මියින් මෙ යනෙම් වී මේ වදන් පළ වී. මඳ පෙම් මෙ තා දැන් නොයනු වීද තම හට අත් කිම්


තේරුම - අද තගේ මුවින් මැ “යන්නෙමි” යන මේ වදන් පළට වියැ. මඳ වූ පෙම ඇති මේ තා දැන් නොගිය ද මට ඇති පලය කිම?

පැහැදුම -රොස හඟවා වැළැකුම යැ රොස් අකෙවුව නම්. යන්නෙමි යන මේ වදන අද ඔබ ගේ මුවින් මැ නික්මිණ. මා කෙරෙහි නිසි පෙම ඇතියේ නම් එබඳු වදනක් කියනු තබා හිතනුත් නො කෙරෙයි. ඉදින් මා කෙරෙහි පෙම නැති ඔබ ගියත් මට ඇයි; නොගියත් මට ඇයි.

මේ රොස් බස නිසා නයුවා ගේ මුළු අදහස මැ නො වැ‍ළැකෙයිද ? හුහ් කුමක් කියනවා ද? ඔහු බිරියට නිවට වාලකු වැලා සිය ගමනිනුත් වළකනු ඇති. පෙනේ යැ ගෑනුන්ගේ මායම් බස්?

ගැට ලිහුම

යනෙම් වී = යන්නෙම් යැ කියා. විය, ය, යන පවතු පැවැසුම් අරුත් හි වැටේ. වියා වියති - වියී වියූ; යා යති. යී යූ; යන සේ යැ ඒ පවතු වර නැඟෙන්නේ.

කිම ‘ත් = කිම් අත් =කවර අරුතෙක් ද? අත් කිම් = පලය කිම් මේ දෙ ලෙස මැ එක බඳු අදහස දෙයි. මියීන් = මුවින්. මේ සමහර පිටපත් හි විසින් යැයි පෙනේ. ඒ ලිවි දොසකි.

X පැතුම් අකෙවුව

187. ය -යත් හොත් මහබා තට හිය වේ වා මඟ! මා එහි මෙ දැ වේවා ගියෙ නම් හිමි තනක් යම්!

පෙළ ගැස්ම - මහ බා යත් හොත් ය. තට මඟ හිය වේ වා! හිමි, ගියෙ යම් තැනක් නම් එහි මෙ මා දැ වේවා!

තේරුම - මහ පින්වත, යන හොනින් යව. තට මඟ හිත සුව පිණි සැ වේ වා! හිමියා ගියේ යම් තැනෙකැ නම්, එ තැන්හි මැ මගේ ඉපැදීම වේ වා!

පැහැදුම - මෙහි වැළැක්මට හෙය වනුයේ රොස නො වේ; අනුදැනුම ද නො වේ. පැතුම යැ. මෙහි ඉස්මතු කරනු ලබන පැතුම අනෙක් සියලු හැඟුම් මකයි.

“මහ පින්වතාණෙනි ඔබ යත හොත් යන්නැ. ඔබට මගැදි කිසි විපතෙක් නො වේවා!” “මෙ සේ පැතු පැතුමෙන් නයුවා ගේ හදවත බලවත් සේ ඒ කියුම වෙත ඇදෙන සේයැ. ඉක්බිති ඈ අනෙක් දෙයකට හැරී අහසට අත් නඟා මෙසේ කියන්නට ඇති. “අහෝ මගේ හිමියා ගියේ යම් තැනෙකැ නම් එහි මැ මගේ ඉපැදීම වේ වා!” මේ කියුමෙන් නයුවාගේ ගමන් හැඟුම එහෙම පිටින් වැළැකෙන සේ යැ.


ගැට ලිහුම -

මහ බා = මහ පින්වත, - මහ අත් ඇති යන දෙ අරුත සඳහා මැ මේ වදන යෙදියැ හැකි යි.

	ය = යව,

බල බම යන ගණවලැ පවතුවකට කිසි මැ පසක් නො ඇඳීමෙනුත්; රක් බස් යන ගණවල පවතුවකට “උ” පස ඇ‍ඳීමෙනුත් විදහන් අරුත හැඟැවෙයි. බල, හඬ, මර, කප, දෙ, එ, ය, රකු, දකුථ බසු, වසු, වඳු, නඟු, යන තැන් විමසා බලන්නැ.

මේ විදහන් අරුත මනා වැ පැහැදිලි වීම සඳහා දෙ වගයට මැ පොදුයේ “ව” පසක් ඇමිණීම ද සිදු වේ. බලව, හඬව මරව කපව දෙව එව යව රකුව දකුව බිසුව වසුව වඳුව අඳුව නඟුව යනු එයට නිදුසුනි.

හිය = හිත - හිත පිණිසැ. වැඩ පිණිසැ -

Xi. යැතුම් අකෙවුව

188. ත- රුස්වනු රුස්නෙම් “ තො ය” වී යෙත් පැසැසියෙමි. පළ වනු “නො ය” වී තමා වදන නු? මම කුම් කෙරෙම්?

පෙළ ගැස්ම - තා රුස්වනු රුස්නෙම්. ‘තෝ ය’ වීද්යෙත් පැසැසියෙමි. තමා පළ වනු ‘නො ය’ වී වදන නු? මම කුම් කෙරෙම්.

තේරුම - තා රිසි වන්නකට මම ද රිසි වන්නෙමි. ‘තෝ යව’ යි කියැවෙහොත් මම කැමැත්තෙමි. ( එහෙත් මගෙන් පළට වනුයේ ) මගෙන් පැතිරෙනුයේ ‘නො යව’ යන වදන නොවැ? මම කුමක් කෙරෙම් ද?

පැහැදුම - හිමියාණෙනි, ඔබට යමක් රිසි ද ඇත්තෙන් මැ ඔබ බිරිය‍ට ද එය රිසි යැ. සැකක් නො කළ මැනැවි. ඔබේ කැමැත්ත මගේ ද කැමැත්තයි. “ඔබ යන්නැ” යන වදන මා මුවින් නික්මෙත හොත් ඔබ කැමැතියි. මම එය දනිමි. ඒ වදන මගෙන් පැවසෙනවාට ඔබ කැමැති නිස‍ා ඒ වදන එසේ මැ පැවැසීමට මම ද කැමැත්තෙමි. එහෙත් හිමියනි, මගෙන් පලට වනුයේ නො යන්නැ යන වදන නොවැ? මගේ ඇස දෙස බලන්නැ, මගේ හිස දෙස බලන්නැ. මගේ හදවත දෙස බලන්නැ, මගේ මේ සොවින් වෙව්ලන ළය දෙස බලන්නැ. ඒ හැම අතෙකින් මැ පළට වනුයේ කිමෙක්ද? නො යන්නැ යන වදන නෙවැ? ඉතින් මම කුම් කුමු කරම් ද? ඒ මගේ වරදෙකැ? “මගේ යැතුම ඔබට රිසි සේ “ඔබ යන්න” යනු කියන්නට තමා. එහෙත් මගෙන් පළට වන්නේ ඔබ “නො යන්නැ යන්න නොවැ!” මෙසේ තමගේ යැතුම - උත්සාහය යත්නය - විදහාපියා වැළැකුම කරන හෙයින් මේ යැතුම් අකෙවුව යැ.

Xii. උවයු අකෙවුව

189. අදසුනෙ අඳන - ලද පියබඳ සෙහෙම් තවියෝ යමැදිය නෙත්හි තමා නහමා ද නො කුසුම්සර

පෙළ ගැස්ම - තමා නෙත්හි යම් ඇදිය කුසුම්සර නො නමහා ද, එ අදසුන අඳනලද පියබඳ ත- වියෝ සෙහෙම්.

තේරුම - මගේ ඇසෙහි යමක් ඇඳිය හොත් - යම් අඳනක් ඇඳිය හොත් - අනඟා නො බලයි ද; අන්න ඒ අඳසුන - අදසුන් අඳුන - අඳානු ලැබුව හොත් පියබඳාණෙනි, තගේ වියෝව උසුලමි.

පැහැදුම - දුර ගමනට හැරැහෙන පියවතා එයින් වළකනුව‍ට මේ පැවැසුණු උවසු කීමෙකි - උපාය කථනයෙහිකි - ඔබට හැකිද මගේ ඇහේ යම් අඳුනක් අඳින්නට? ඒ අඳුන නිසා අනඟා දෙස ම‍ා බැලුව ද අනඟා මුසපත් වියැයුතු යැ. එ විටැ තමා මුසපත් වන බියෙන් අනඟා මා විදිනු තබා මා දෙස වත් නො බලයි.

ඉතින් පියබඳාණෙනි, අන්න එහෙම අඳුනක් ඇති නම් මගේ ඇසේ ගල්වන්නැ. එවිට ඔබේ වියොව මට ඉවැසිය හැකි යැ.

ළඳ ගේ මේ උවසු බස - උපාය වචනය - නිසා ගමනේ වැළැකීම වේ. ‍එහෙයින් ෙම් උවසු අෙකවුව යැ.

ගැට ලිහුම

අදසුන =මෙයට වඩා නිසි නොදසුන යනු යැ. සෙහෙම් = ඉවසම් “සහ” යනුයි පවතුව සහ; ඉසිලීමේ දැරීමේ අරුත්හි යෙදෙන පවතුවෙකි.


190. දහම් දැහැමි කරුණු පල ගමනට අනුදැනුම් රොසා ‘සී නැතුවෙයිනු ද කරත‘ත් විකප් මේ මඟැ.

පෙළ ගැස්ම = දහම්, දැහැමි, කරුණු, පල, ගමනට අනු දැනුම්, රොස්, ආසී, තැන් උවෙයිනුදු අන් විකප් කරත මේ මඟ යැ.

තේරුම = දහම් අකෙවුව යැ දැහැමි අකෙවුව යැ කරුණු අකෙවුව යැ පල අකෙවුව යැ අනුදැනුම් අනෙවුව යැ රොස් අකෙවුව යැ, ආසී -පැතුම්- අකෙවුව යැ තැත් අකෙවුව යැ උවයු අකෙවුව යැ යන අකෙවු වලින් පිටස්තර වූ අකෙවු ද විමසා බලත් හොත් මෙය මඟ වෙයි.

පැහැදුම - අකෙවු කිහිපයෙක් මෙහි දී විමසන ලදී තව කොතෙකුත් අකෙවු වෙයි, ඒවා විමසා බලනු කැමැත්තන් හට මේ දැක්වුණූ පිළිවෙළ අනුවැ ඒ කළ හැකි යැ.


7. අතතුරු නැසුම් කියමන

191. අතතුරු නැසුම් නමෙ ලවා යම් වතෙ‘සාහනු පොහොසත් වතුන් දක්වා කියත්; මෙ අට සේ වේ.

පෙළ ගැස්ම - යම් වත් එළවා එ සාහනු පාහොසත් වතුන් දක්වා කියත් අතතුරු නැසුම නම්. මෙ අව සේ වේ.

තේරුම - යම්කිසි පවතක් පමුණුවා- ඉදිරිපත් කොටැ-එය ගළපනු පිණිසැ පොහොසත් - හොඳ බලවත් - පවත් පෙන්වා කියත්හොත් අතතුරු නැසුම් නම්. මෙය අට පිළිවෙළෙකි.

පැහැදුම - අතතුර නැසුම යන වදනේ අදහස පිටස්තර අදහස් රැගුම් යනුයි. ඉදිරිපත් කරන මුල් පවත මනා සේ මනා වැ කැ වැද්දීම සඳහා යම්කිසි රසවත්, බලවත් පිටස්තර හැඟුමක් ඒ මුල් පවතෙහි ලා කෙළැවීම යැ; මුල් පවතෙහි ලා නැටැවීම යැ මෙයින් අදහස් කැරෙනුයේ.


‘පර දෙමළුනි, බලවු හෙළසේ බලය, කියා සෙද සුරු නිමිලයන් රණ පෙරමුණට ගියා මුළු රුපු සෙනඟ ලේ මුහුදේ වැතිරු ගියා කියනු කිමෙකැ හෙළ ගැටයකු විකුම් නිසා?

මේ පැදියට මනස යොමු කරන්නැ සුර නිමිලයන් රණ පෙරමුණට පැනැගෙනැ ගිය හැටිත්; මුළු හතුරු සෙනඟ සුනේ සුනු කළ සැටිත් මෙහි සිත්තම් කැරැ ඇති ඒ සිත්තම පණ ගන්වා ඇත්තේ කිමෙකින් ද? කවර කියමෙනකින් ද? “කියනු කිමෙකැ හෙළ ගැටයකු විකුම් නියා” යන බලවත් පවතින් සුරු නිමිලයන් ගේ දස් කම ඔප ගැන්වෙයි. එසේ මැ එය තිර වෙයි.

හෙළ ගැටයකු රණ දෙරණට වැදුණා මැ ඌ ගේ හැටි ඔහොම තමා යන හැඟුමක් මනසට නැ‍ඟෙයි; ඒ නිසා පැදියේ මුල් පවතට උසස් පණවත් බවෙක් ලැබේ.

ඔය සැටියට මුල් පවත වෙන බලවත් පවතෙකින් පණ ගැන්වීමයි. අතතුරු නැසුම් ලකරින් අදහස් කැරෙනුයේ. මෙහි සකු යෙදුම “අර්ථාන්තර න්යාලස” යනුයි. “පිටස්තර අදහස් රැසැයීම” යනුයි එහි අදහස. “අර්ථාන්තර රචනය” “අර්ථාන්තර වින්යාසසය” යන අරුත් ගන්වන ඒ සකු වදනට වඩා අතතුරු නැසුම (අත් අතුරු නැසුම) යන හෙළු වදන මේ මැය සඳහා අදහස බලවත් වැ දෙයි.


ගැට ලිහුම- එළවා = පමුණුවා සාහනු = සාහනුවට. ගළපනු පිණිසැ. “සාහ” පවතුව ගැළැපුම් අරුත්හි වැටෙයි. සාහා = සාහනි - සෑහී සෑහු සෑහේ - සෑහෙති - සෑහිණි - සෑහුණු.

යන සේ “බල” ඈ ගණයෙහි යැ මේ වර තැ‍ඟෙන්නේ. සමහර පිටපත් හි “සාහත්” යන්නක් එයි. එහි අරුත සාහත් හොත් යනුයි. එය පැදිය කවන අරුතට නො යෙදෙයි.

192. දිය පතළේ වෙසෙස් පිහිටි සෙලෙසත් සවිරුදු අයුත්කරු යුත් අත්ම යැ පිළි යුත් නොයුත් මෙයින ‘ න්.

පෙළ ගැස්ම - ඒ දිය පතළ, වෙසෙ‍ස් පිහිටි, සෙලෙසත්, සවිරුදු, අයුත්කරු, යුත් අත්ම යැ පිළි යුත්නොයුත්; මෙයින් අන්.

තේරුම - ඒ (අට පිළිවෙළ වනාහි) දිය පතළ යැ, වෙසෙස් පිහිටි යැ, සෙලෙසත් යැ, සවිරුදු යැ, අයුත්කරු යැ, යුත් අත්ම යැ, ආයේ ඉතින් යුත් නොයුත් යැ මෙයින් වෙනස් (නොයුත් යුත්) යැ යනුයි.

ගැට ලිහුම

දිය පතල = ලෝ පුරා පැතුරුණු (විශ්ව ව්යාපි) වෙසෙස් පිහිටි - අමුතුයෙන් මැ පිහිටියා වූ (විශේෂස්ථ) සෙලෙසත් = සෙලෙස් අදහස් ඇති (ශ්ලේෂාර්ථ) සවිරුදු = විරුදු බව ඇති. (සවිරෝධ) අයුත්කරු = නොයුතු බව කරන්නා වූ (අයුක්තකාරි) යුත් අත්ම = යුතු සොබාව (යුක්තාත්ම) යුත් නොයුත් = යුතු වූ නොයුතු බව (යුක්තායුක්ත) නොයුත් යුත් = නොයුතු වූ යුතු බව (අයුක්ත යුක්ත)


I දිය පතළ අතතුරු නැසුම

193. සිරිමත් ලෝ දෙ නෙත් වැනි මේ හිරු සඳ හුදු බල හත් ගිරියෙත් කවරෙ වළකන්නෙ නස්න දහම්

පෙළ ගැසුම - ලෝ දෙනෙත් වැනි මේ සිරිමත් හිරු සඳහුදු හත්ගිරි යෙත්. බල, නස්න දහම වළකන්නෙ කවරෙ?

තේරුම - ලොවටදෙ ඇස වැනි වූ මේ සිරිමත් හිරු සඳහු පවා අවර ගිරට යෙති. බලව, නස්නා සොබාව වළකන්නේ කවරේද?

පැහැදුම - හැම දෙයකැ මැ වූ වැනැසෙන ගතිය ලෝ පළට යැ. ඒ ලොව පළට සොබාව ඇරැ දක්වා හිරු සඳු දෙදෙනා ගේ අවර ගිරට යෑමේ පවත තවද නිරයා පෑ හෙයින් ඒ ලෝ පතළ අනතුරු නැසුම නමි.

ගැට ලිහුම - හත්ගිරි - අවර ගිරි හිරු සඳු පෙර ගිරින් උදා වෙතියි ද අවර ගිරින් බැසැ යෙති යි ද කිවි සමයයි.

නස්න දහම් - මෙය නස්නා දහම් යන සේ යැ වියැ යුතු නොගිය කල් පවතුනමු වෙසෙසුයේ දී මැදැකුරු විකර වන විටු අග‘කුරු ගුරු වීම (ආදී යෑම) රක් බස් ගණයෙහි පවත්වලැ සොබාවයි.

සිටින = සිටුනා හිඳින = හිඳුනා වසින = වස්නා රකින = රක්නා එමෙන් නසින = නස්නා

එහෙයින් මේ පදය “වළකනු නස්නා දහම්” යි විණි නම් ඉතා මැනැවි.

ii වෙසෙස් පිහිටි අනතුරු නැසුම


194. හරිත් මෙ දලදරහු ලෙව්හි තැවුලි සියල්නට මහතුන් ලදත්බව් නම් පර දුක් දුරු කරන්නට

පෙළ ගැස්ම - මෙ දලදරහු ලෙව්හි සියල්නට තැවුලිහරිත් මහතුන් ලද අත්බව් නම් පර දුක් දුරු කරන්නට

තේරුම - මේ වැහිවලාවෝ ලොවේ සියල්ලන් හට හිමි දුරු කරත් මහතුන් ලද අත්බව නම් අනුන් ගේ දුක් දුරු කරනු සඳහා යැ.

පැහැදුම - මේ වැහි වලාවෝ ලොවේ හැම දෙනා ගේ මැ ගිමි තැවිලි මඟ හරිති. එය හැබෑව. උතුමන් අත් බව ලැබුයේ අනුන් ගේ දුක් දුරු කරන්නට නො වැ!

වැහි වලාවන් ලොවේ ගිම් දුරු කිරීම සොබාවෙකි. ඒ සොබා ගතිය, වෙසෙසි මහතුන් ගතියෙ හි පිහිටුවා පණ ගැන්විණි.

එහෙයින් වැහි වලාවන් ගේ ගුණය උතුම් මහතුන් ගේ ගුණය හ‍ා සැසැඳීමෙන් අගය කරන්නට පෙලැඹැවිණ.


ගැට ලිහුම

දලදර = දල - ජලය - දරනුයේ දලදර යැ - වැහිවලා අත්බව් = අත්බව - පුඟුල් බව -නොහිස් වූ එක්තරා ඇතුළතක් ඇති බව - ආත්මභාව

iii සෙලෙස් අනතුරු නැසුම


195. සනහා සුපුන් සරා සඳ නැඟිණි සුපුන් සරා සඳ විමලත්මෝ අමාදා සනහත් නු ලෝ වැස්සන්?

පෙළ ගැස්ම - සියල් ලෝ සනහා සරා සුපුන් සඳ නැඟිණ. අමාදා විමල අත්මෝ ලෝ වැස්සන් සනහත් නු?

තේරුම - මුළු ලොව සතහාපියා සරත් සමයේ පුරා හඳ නැඟිණ. අමාව දෙන්නා වූ නොහොත් නිවන දෙන්නා වූ පිරිසිඳු බඳ ඇතියෝ නොහොත් නිකලෙස් අත්බව ඇතියෝ ලෝවැස්සන් සනසති නොවැ?

පැහැදුම - සරත් සමයේ ලෝ සනහා නැඟුණු පුරා හ‍ඳේ පැවැත්ම ඉස්මතු කැරැ පෑමට වෙසෙසි නිකෙලෙස් උතුමන් ගේ ගුණය අත් උදවුව ට ගත් හෙයින් මේ වෙසෙස් පිහිටි අතතුර නැසුම නේද? නොවේ. එයට වඩා අමුත්තෙක් මෙහි වෙයි. එය තමා සෙලෙස් බව. නොයෙක් අතට අරුත් විහිදෙන බව ඒ අරුත් විහිදීයාව නිසා මේ අතතුරු නැසුම පළට දෙ කඩක් වැ කැඩෙයි.

(1) සරත් සමයේ පුරා හඳ ලෝ සනසා නැඟිණ. සිහිල් රස් විහිදෙන පිරිසිදු බඳ ඇත්තන් ලෝ වැස්සන් සනසනවා නොවැ?

(2) සරත් සමයේ පුරා හඳ ලෝ සනහා නැගිණ. අමා නිවන දෙන නිකෙලෙස් උතුමන් ලෝ වැස්සන් සනසනවා නොවැ.

මෙ දෙ අරුත මැ නැඟුණේ අර තනි පැදියෙනි. ඒ දෙ කියමනේ පළමු අරුතින් හඳ වැනි ඇත්තන් ඔහොම තමා යන අරුත බඳුවක් ඉස්මතු කෙරෙයි. දෙ වැනි අරුතින් බුදුන් රහතුන් බඳු උතුමන් ඔහොම තමා යන්න බඳු හැඟුමක් නඟයි.

මෙසේ දෙ සැටියෙකින් අරුත ඉස්මතු කරන නිසා මේ “සෙලෙස් අතතුරු නැසුම යැ”


ගැට ලිහුම

අමා =සිහිල් කැලුම යැ, නිවන යැ, කිරි මුහුදින් නැඟුණ මිහිරි යැ යන අරුත් දෙයි. විමලත්මෝ = විමල් - පිරිසිදු - සිරුරක් ඇත්තෝ, නිකෙලෙස් අත්බවක් ඇත්තෝ යන දෙ අරුත දෙයි. අත්ම යනු සිරුරට ද අත් බවටද නම් වෙයි. නු = නොවැ? - නොවේද ? –

iv සවිරුදු අනතුරු නැසුම

196. වස නම වැද රස වැ වැළැ‍ඳේ දිය මුළු දියේ. මෙ අත්මෝ සදොස් වැ ද පර වැඩ කෙරෙත් නු මහත්?

පෙළ ගැස්ම - දිය, වස නම් වැද මුළු දියේ රස වැ වැළැ‍ඳේ. අම අත්මෝ සදොස් වැ ද මහත් පර වැඩ කෙරෙත් නු?

තේරුම - දිය, වස යන නමින් යුතු වැද මුළු ලොවේ මැ රසයට පත් වැ වළදනු ලබයි. (එය සැබැවි) අමා අත්බව ඇත්තෝ දෙසින් යුතු වැලා ද මහත් මැ පර වැඩ කරන්නෝ නොවැ?

පැහැදුම - දිය, වස යන නමෙකින් යුතු යැ. එහෙත් මුළු ලොවැ මැ ඒ වස යන නම ඇති දෙය රහ කැරැකැරැ බුත්ති විඳියි. උතුසෝ එසේ තමා. තමන් දොස් සහිත වූ නමුත් තොතෙකුත් ලොවට මෙහෙ කරති.

වස යන ගුණයට රස යන ගුණය හාත්පසින් මැ වෙනසි. ඒ වෙනස්තාව එසේ මැ සවිරුදු කියමෙනෙකින් ඉස්මතු කෙරෙයි: ඔවු;

ඒ හෙයින් මේ සවිරුදු අනතුරු නැසුම යන නම මෙයට යෙදෙනුයේ,


ගැට ලිහුම වස = දියට (ජලයට) විස යන නම යෙදේ. ඒ වහ යන අරුතක් දීමට නො වේ. වහටු ගුණයක් එහි ඇති නිසාත් නොවේ. ඇස නම් මතු පිටයි. බෙර ඇස ඈ යෙදුම් හිතා බලන්නැ. වෙසෙසි ඇසක් ඇති හෙයින්- නියම සමතලා මතු පිටක් ඇති හෙයින් සුනිසි තලාවක් ඇති හෙයින් - ඒ වි + ඇස > විස යන නම ලබයි. විස වස යන දෙ වදන පළට ලෙස සම අරුතෙකැ වැටෙන නිසා ජලයට ද පසු වැ වස යන නම යෙදිණ.

පරවැඩ = අනුන්ගේ යහපත; තමා ගේ නොවේ; මෙරමා ගේ වැඩි දයුණුව

අම අත්මෝ = අමා අත්බව ඇති තැනැත්තෝ; මේ වදන “මහත්මෝ” යන වදන හා සසඳා බලන්නැ.

රස වැ = රසවත් වැ. මිහිරිමත් වැ. “රස” යනු දිය යන අරුත ද දෙයි. “රසවත් ඇළ කඳුරු පිරිවර ලියන් ඇති” යන ඈ තැන් විමසන්නැ.

V. නොයුත්කරු අතතුරු නැසුම

197. මී බීමෙන් මියුරු ගෙලෙනෙළැඹැ ද බමර රැවු නොකන්කලු යැ සියල්ලෙහි වියොවුන් පව් තුබු සේ!

පෙළ ගැසුම - මී බීමෙන් මියුරු ගෙලෙන් එළැඹැ ද බමර රැවු නොකන්කලු යැ. වියොවුන් පව් සියල්ලෙහි තුබූ සේ!

තේරුම - මී බීම නිසා මැ මිහිරි වූ ගෙලෙන් පැමිණැලා නමුත් බමරුන්ගේ රැවු කන නොඅදිසි (කනට නොමිහිරියි) වියෝ වූවන් ගේ පව් හැම තැන මැ තුබූ සැටි යැ!

පැහැදුම - මී කවර තරම් මැ මිහිරිද? බමර රැවු කවර තරම් මැ මිහිරි ද ? මී බීමෙන් මියුරු වූ ගෙලෙන් නිකුත් වූ කලැ බමරුන්ගේ රැවු කවර තරම් මිහිරි වියැ යුතු ද යනු කියැ යුතුත් නෑ නො වැ? ඉතින්, එහෙවු බමර රැවුව පවා වියෝ දුක් උහුලන මට අද නොමිහිරි යැ; ඉතා මැ නොමිහිරි යැ. හ් ඒ කීයැ යුත්තෙකැ! වියෝ වූවන්ගේ පව සුලුපටු පවෙකැ. ඕ පව උන් හට එක එල්ලේ මැ උසුලා සිටියැ හැකි යැ? එහෙයින් හුදක් උසුලනු නොහැකි ඒ පව හැම තැන මැ තුබූ සැටි තමා ඔය. තුබූ තුබූ තැනැ පව ගෑවෙයි. ගෑවුණු ගැවූණු තැන තිත්ත වෙයි. නොමිහිරි වෙයි.

වියෝ වූවන් ගේ පව උන් කෙරෙහි මැ වේ නම් එහි නොයුතු කමෙක් නැති. එහෙත් එය හැම තැනෙහිමැ තබැ හැම දෙය මැ නොමිහිරි කිරීම බලවත් නොයුත්තෙක් නොවැ? එහෙයින් යැ මේ නොයුතු කරු අනතුරු නැසුම නම් වන්නේ. කාව්යා්දර්ශ ටීකා කාරයෝ මේ පැදියෝ අරුත නිසිසේ දුටුවා හු යැ. එහෙත් සකසා පැහැදිලි කිරීම නම් නොකළහ. එයින් බලවත් වියවුලෙකැ වැටුණු සමහර සිංහල කුහු පඬුවෝ “මෙහි සැමැනි කියමන කිමෙක් දැ වෙසෙසි කියමන කිමෙක්දැ” යන වග ‍හෝ ලිහා බේරාගනු නොහැකි වූවෝ පඹ ගාලේ පටලැවුණු හිවලා ගේ දෙඩුම් දෙඩුවාහු යැ.

“මී බීමෙන් රසවත් වූ ගෙලෙන් නික්මුණු නමුත් බමර රැවුව වියොවාට නොමිහිරට ඇහෙයි.” එයයි මෙහි සැමැනි පවත. “මගේ පව මා කෙරෙහි පමණක් මැ නො වැ හැම තැනැ මැ තුබූ සිටි යැ යි හේ සලකයි. අන්න ඒ සැලැකුමයි මෙහි වෙසෙසි රැසැයුම (විශේශ වින්යා.සය) ඒ රැසැයුමේ වූ නොයුත්කරු බව නිසැ යි මෙය නොයුත්කරු අතතුරුනැසුම නම් වන්නේ.

ගැට ලිහුම එළැඹැ = පැමිණිලා - අසල් වැලා කන් කලු = කන අදවන (ඇහුමට මිහිරි. කර්ණ කාන්ත)

Vi යුතත්ව අතතුරුනැසුම.

198. දවා නු අඟ මේ තමා කමල් දල යහන්? යෙදේ නේ දහනෙක් රූ දහන මෙ පියෙවි වන්නේ? ‍

පෙළ ගැස්ම - මේ කමල් දල යහන් තමා අඟ දවානු? දහන එක් රූ දහන මේ පියෙවි වන්නේ යෙදේ නො?

තේරුම - මේ තඹර (රත් නෙළුම) පත් යහන මගේ සිරුර දවනවා නොවැ? ගින්න හා එක් සැටි දෙය ගින්නෙහි මැ සොබාව වීම යෙදෙන්නේ නො වැ?

පැහැදුම - මෙ යද වියොවකු ගේ කියමනෙකි. නෙළුම් පත් ඇතිරිල්ල ; සොබාවෙන් මැ සිහිලි යැ. එහෙත් වියොවාට නෙළුම් පත් ඇතිරිල්ල පවා බලවත් දැවිල්ල දෙයි. ‘හැයි මේ ඇතිරිල්ල මැ ඇඟ දවන්නේ ‘ යි හේ එ දෙස බලයි. ගින්න මෙන් දිලිසෙන රත් නෙළුම් පත් ඔහුට පෙනෙයි. ඒ දුටු හේ අමුතු නිනවුවට බසී.

“හැයි ගින්න මෙන් පැහැමත් දෙය (පැහැයෙන් ගින්නේ සොබාව ඇති දෙය) ගත් ගුණයෙනුත් ගින්නේ සොබාව ගැනිම ගැළැපෙන්නේ නැදිද? යනු යි ඔහු ගේ නිනවුව ඔන්න ඔය නිනවු දැක්ම තමා මේ පැදියේ වෙසෙසි රැසැයුම එයින් යුතුකම් සොබාවක් සකසා හැඟෙයි. (පැහැයෙන් ගින්න වැනි වූ විටැ ගතියෙන් දැ ගින්න වැනි වීම ගැළැපෙනවා. යනුයි ඒ යුතු සොබාව) එ හෙයින් මේ “යුතු අත් ම අනතුරු නැසුම” නමි.

ගැට ලිහුම

දහන = ගින්න. (දහනුයෙනි, දවනුයෙනි) කමල් දල = නෙළුම් පත්.

Vii යුත්නොයුත් අතතුරු නැසුම.

199. පෙළා වා රිසි සේ සඳ! වසතිඳු ම - කෙසේ පෙළා? මිලිනත්මන් කම් නොයුතු සුවඳ විස්රිදුනට.

පෙළ ගැස්ම - සඳ රිසි සේ මා පෙළා වා! වසතිඳු මා කෙසේ පෙළා? මිලිනත්මන් කම් සුවඳ විසුදුනට නොයුතු.

තේරුම - හඳ කැමති හැටියෙන් මට පෙළීම දේ වා! වසත් රජු මා කොයි හැටියෙන් පෙළෙ යි ද? කිලිටි හිත ඇත්තන් ගේ වැඩ, සුවඳ ඇති පිරිසුදු අය හට යුතු නෑ.

පැහැදුම - හඳේ කැළැල් ඇති බව ඔබ ද දන්නවා නොවැ? කැළැල් ඇතියෝ; කිලිටි කම් ඇතියෝ කිලිටි කම් කෙරෙති. ඉතින් හඳ (එහෙවු කිලිටි හඳ) මා පෙළුවාට කමෙක් නෑ. ඒ වුණත් වසතිඳා මා පෙළෙන්නේ කොයි හැටියෙන් ද? හේ හොඳ සුවඳවත් ගුණ ඇත්තෙක්. ඇත්තෙන් මැ කිලිටියත් හට ගැළැපෙන කිලිටි වැඩ සුවඳවත් උතුමන් හට ගැළැපෙන කිලිටි වැඩ සුවඳවත් උතුමන් හට ගැළැපෙනවා ද?

මිලිනත්මන් කම් යනු මිලිනත්මනුත් හට යුතු කම් යැ. එය යැ මෙහි පැවැසෙන යුතු ව ඒ යුතුව සුවඳ විසුදුනට නොයුතු නිසා මේ යුතුයෙහි නොයුතු (යුතු නොයුතු) අතතුරුනැසුම යි.

ගැට ලිහුම

වසතිඳු = වසත් රජු. වසත් සමය නමැති මහ ඉසුරා වසත් සමය හාත්පසින් මැ මලින් සුවඳ කැවුණු සමය යි. සුවඳ විසුදුනට යන බස මෙයට ගැළැපෙන්නේ ඒ හෙයිනි.

මිලිනත්මන් = කිලිටි සිරුර ඇතියෝ යැ, කිලිටි මනස ඇතියෝ යැ යන දෙ අරුත මැ දෙයි. එයින් පළමු වැන්න යැ හඳට ගැළැපෙනුයේ. හඳෙහි කිලිටි ලපයක් ඇති හෙයිනි.

Viii නොයුතු යුතු අතතුරුනැසුම

200. කුමුදිළු පවා තවා. තවා පියුමිළු නො කෙසේ? සිසි ගැතියන් කුරිරු වත් රිවි ගැතියො වෙද්ද මොළොක්?

පෙළ ගැස්ම - කුමුදු ඉළු පවා නවා. පියුම් ඉළු කෙ සේ නො තවා. සිසි ගැතියන් කුරිරු වත්, රිවි ගැතියො මොළොක් වෙත් ද?

තේරුම - කුමුදු වනය පවා තවයි; ඉතින් පියුම් වනය කෙසේ නම් නො තවයි ද? ඒ හැයි? සඳහු ගේ දස්සන් කුරිරු වන කැලැ ඉරු හු ගේ දස්සෝ මෙළෙක් වෙති ද? (කෙසේ මැ හෝ නො වෙත් මැනු?)

පැහැදුම - මේ නුරා ගින්නෙන් පෙළෙන විරහවතකු ගේ කියුමෙකැ සැටි යැ. කුමුදු ඉතා මැ සිහිල් යැ. හිම මෙන් සුදු යැ; හිම මෙන් සිහිල් යැ. එහෙවු කුමුදු ඇතිරිල්ලේ වැදැහෝනා විටැ මැ නො වේ, ඒ කුමුදු වනය දක්නා විටැ මැ හෝ නොවේ; කුමුදු සුවඳ ඇහෙන විටැ පවා නිකම් මැ ඇඟ දැවෙන ගතියෙක් දැනෙයි. ඉතින් ඔය රෑ සමයෙහි යැ. එළි වුණු විටැ ඔය දැවිල්ල තවත් ලියලා නු! ඒ හැයි? නෙළුම් වනය පිපෙන විටැ, කුමුදු වනය මෙන් නො වේ. ඇත්තෙන්මැ නෙළුම් ගින්නේ සොබාව මැ යි. ගින්නේ පැහැය මැයි. එහෙනම් කුමුදු පවා මා තවන කලැ නෙළුම් නම් මා කෙසේ නො තවාද?

ඒ අරැත් කුමුදුහු සිසි ගැතියෝ යැ. හොඳ සොමි ගුණයෙන් යුතු යැයි ලෝ පළට හඳ හාමි ගේ ගැති පිරිවර තමා කුමුදුහු. ඒ කුමුදන් ගෙන් පවා තැවුම් ලබන විටැ හිරු හාමිගේ සහපිරි වර මා නො තවතිද සොබායෙන් මැ තවන ගුණය ඇති ඉරු හාමි ‍ගේ දසුවෝ කිම හඳ දසුවනට වඩා සිහිල් වෙද්ද?

මෙහි මුලින් පළ වූයේ බලවත් නොයුත්තෙකි. ඒ හැයි? කුමුදු වනය සුදු යැ, සිහිල් යැ, සිහිල් යැ, සිහිල් සොමි සඳු ගේ දසු පිරිස යැ. ඉතින් එහෙවු අයට තැවිලි ගුණය යුතු නෑ නොවැ? එ හෙයින් ඒ මුලින් සැඳැහුණේ නොයුත් ත යැ. ඉක්බිති සැඳැහෙනුයේ යුත්තෙකි. හිරු රළු පරැසයි; සැඬයි; නිතොර වැ ලොව තවයි. හිරු ගේ දසු පිරිසත් පැහැයෙන් ගින්න හා එක් වැනි යැ. ඉතින් නැවුම් ගුණය උරුමයෙන් මැ හිමි කම ඇත්තන් තැවුවා ට ඇති වරද කිම? එය යුතු යැ. අරුත් එහෙම වන විටැ මුන් කොහොම වුණාම ඇයි? අන්න ඒ නිසා යැ මේ අතතුරු නැසුම නොයුතුයෙහි යුතු ව නමින් දන්නා ලැබෙන්නේ.

ගැට ලිහුම -

කුමුදිළු = කුමුදු ඉළු = කුමුදු වනය. පියුමුළු = පියුම් ඉළු = පියුම් වනය.

8. වැතිරෙක කියමන