සියබස් ලකර විවරුව-විවරුවvii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

301. සයුරෙහි මෙ යැ විපක්; සල සැවුහි මෙ ගුණ සිඳුම් ගජනතුරෙ මෙ මෙදෙ විකර; නරනිඳු රකුත් ත- දෙරණ.

පෙළ ගැසුම - නරනිඳු, ත - දෙරණ රකුත් විපක් සයුරෙහි මෙ යැ; ගුණ සිඳුම් සල සැවුහි මෙ යැ; මෙදෙ විකර ගජනතුරෙ මෙ යැ

තේරුම - රජාණෙනි, ඔබ පොළොව රක්නා කලැ හතුරෝ නොහොත් වරල් ඇත්තෝ මුහුදෙයි මැයි. ගුණයන්ගේ වැනැසීම නොහොත් දුනු දිය සිඳීයෑම වෙවුලුම් කෑ දුන්නෙහි මැයි. සුරා උමතුව නොහොත් මද කිපීම ඇතුන් කෙරෙහි මැයි.

පැහැදුම - රජාණෙනි, ඔබ පොළොව රක්නා කලෑ විපක්හු (හතුරෝ) මිහි පිට නම් නොවෙති. වෙසෙසි පිහාටු (වරල්) ඇත්තෝ ද විපක්හු යැ. එහෙයින් ඔබ පොළොව රක්නා කැලෑ විපකුන් වන්නේ මුහුදෙයි මැයි. ගුණ සිඳීමෙක් දයාව මිහිරියාව මිහිරියාව ආදී උතුම් ගුණ දහම් වල වැනසීමෙක් ඔබ පොළොව රක්නා කැලෑ නම් නොවේ. හැබැයි ගුණ යනුයෙන් දුනු දිය ද ගැණෙයි. අන්න ඒ දුනු දිය සිඳී‍මක් නම් වියැ හැකියි. එය වතහොත් අන් කොහි හො නොවේ. ඇදීම නිසා හෙල්ලුම් කෑ දුන්නෙහි මැයි. ඔබ පොළොව රකිනා කැලැ මද විකරයෝ මත් පැනින් උමතු වූවෝ කොහි හෝ නො වෙති. හැබැයි එක් කරුණෙක් ඇති. මද කිපීම නිසා ඇත්තු විකර වෙති. ඒ නිසා මද විකාරයෙක් වේ නම් ඇතුන් කෙරෙහි මැයි. මේ සෙ‍ලෙසෙහි ඔබට පෙනෙන්නේ නැතිද ? එක්තරා අමුත්තක්.? මේ පැදියේ විපක් යැ, ගුණ සිඳුම් යැ, මද විකාර යැයන සෙලෙස් යෙදුම්වලට එක මැ තැනෙක් නියම වූයේ යැ. ඔවු;

	විපක්හු නම් මුහුදේ මැයි.
	ගුණ සිඳුම්  නම් සල සැවුහි මැයි
	මද විකර නම් ඇතුන් කෙරෙහි මැයි.

මෙසේ සෙලෙස් අරුතට සුනිසි තැනක් සකසා නියම විණ. ඒ හෙයින් මේ සෙලෙස් කියමන් වෙසෙසට සුදුසු නමක් හිතාබලන්නැ. ඈ සිතියම සෙලෙසැ යි කියුවා! හ්හ හහ් හා! ඒ පොත දුන් නම නොවැ?

ගැට ලිහුම

විපක් = පස පිල - යැ; පියාපත් යැ යන දෙ අරුත මෙහි පක් යන්නෙන් ලැබේ සකුයෙහි.“පක්ෂ” යන්න ද ඒ දෙ අරුත දෙයි. එදිරි පිල (හතුරු පිල) විපක් නම් වෙයි. එහෙයින් හතුරු පිලේ වූවෝ (හතුරෝ) විපක්හු යැ වෙසෙසි පියා පත්; අමුතු වගයේ පියා පත්; (වරල්) ද විපක් නමින් ගැනේ. එනිසා වරල් ඇත්තෝ (මස්සු) ද විපක්හු නම් වෙති. විපක්හු නම් සයුරුහි යැයි පැදියෙහි කියැවුණේ එහි ඉඳුනා මසුන් තකා යැ.

ගුණ = ගුණ දහම, දුන්නේ ලනුව යන අරුත්හි යෙදිණ.

මෙදෙ විකර = මත් පැනෙහි පිස්සුව (වෙරි මරගාතය) මද කිපීම යන දෙඅරුත දෙයි.


Vi විරුදු කම් සෙලෙස

302. විලිත් කළ රා, දල’ වල අඟ, මඟී තැවුමෙක් පුවස් නැසී සහස් රස් මුවර දෙදෙ මෙ වජඹනේ.

පෙළ ගැසුම - රා විලිත් කළ, දල අවල අඟ, මඟී එක් තැවුම් සහස්රස් පුවස් නැසී; රා විලිත් කළ, දල අවල අඟ, මඟී එක් තැවුම් මුවරදෙදෙ මෙ වජඹනේ.

තේරුම - පැහැය විහිදීම කළා වූ; ගිනි දැලින් අවුල් වූ බඳ ඇති; මඟීන්ගේ ඉඳුරා මැ තැවුම් කරුවා වූ හිරු පළට ලෙස මැ සැඟැවී; නුරාව පැතිරීම කළා වූ, ගින්නෙන් අවුල් වූ සිරුර ඇති, මඟීන් එක හැටියට මැ තැවුම් කරන්නා වූ අනඟා මේ දැන් වැජඹෙන්නේ යැ.

පැහැදුම - සහස්රස් නම් හිරු යැ. හේ කුමක් කළේද? සැඟැවිණි, කාටත් හොරා සැඟැවුණේ නො වේ පළට ලෙස මැ සැඟැවිණි. ඔවු; හවස් වත් මැ හිරු ගේ පැහැය වඩාලා මැ පළට වෙයි. හිරු සොබායෙන් මැ රන් පැහැපත් යැ. එහෙත් මැද්දහනේ දී ඔහුගේ ඒ සිරුරු පැහැය පළ ට නොවේ. හවස් වත් මැ කෙමෙන් ඔහුගේ නියම සිරුරු පැහැය පළට වෙයි. එ පමණෙකැ? හිරුගේ මුළු සිරුර මැ ගින්නෙන් ගැවැසිණ. ඒ නිසා මැ මඟියන් හට ඔහු නිසා වන තැවුම ඉතා බලවති. එහෙවු හිරු අවරගිරෙහි සැඟැවිණ. එසේ සැඟැවෙත්මැ වෙන එකෙක් වැජැඹෙන්නට වනි. හේ නම් මුවරදදා යැ. ඔවු; අනඟා යැ.

හිරු මෙන් මැ අනඟාත් පළට කළේ යැ. ඒ කීමෙක් ද පැහැය ද? නැති නැති. නුරාව හිරු ගේ මෙන් මැ අනඟා ගේත් සිරුර ගින්නෙන් ගැවැසිණ. ඈ! ඒ කවර ගින්නෙන් දැයි ඇහුවා! හැයි ඔබ දන්නේ නැද්ද අනඟා ඉසුරාගේ නළල් ඇසින් කැගුණ ගින්නෙන් වෙලී ගිය වග. ඒ විතෙරෙකැ. හිරු මෙන් මැ අනඟාත් මඟියන් තවයි. ඒ තවන්නේ පිටින් නොවේ. ඇතුළතින්. හිර බසුත් මැ අනඟා පැළැඹෙත් මැ මඟියනට උන් ගේ පියාවන් සිහිපත් වෙයි. ඒ නිසා නැ‍ඟෙන වියෝ ගින්නෙන් මඟී හු තැවෙති. ඉතින් අපි ආයේ හිතා බලමු. හිරු රා විලිත් කළේ යැ; ඔවු, පැහැය පළට කළේ යැ. අනඟා ද රා විලිත් කළේයැ, එනම් නුරාව පළට කළේයැ. හිරුගේ අඟ දල අවල යැ. ඉසුරා ගේ නළල් ඇසින් නැඟුණු ගින්නෙන් ඒ අවල වූයේ. (ගැවැසුණේ) හිරු මගීනට එක් මැ තැවුමෙකි. උදේ සිටැ හවස් වන තුරු මැ හිරු සිය තෙදසින් මඟීන් තවයි. අනඟා ද මඟීනට එක්මැ තැවුමෙකි. අනඟා නිසා නුරා ගිනි ඇවිළී; ඒ හෙයින් මැ වියෝ ගිනි ඇවිළී මගීහු තැවෙති; බිරියන් සිහි කරමින් මෙසේ,

රා විලිත් කළ අඟ දල අවල

මඟී එක් තැවුම්ද වූ හිරු නැසිණ. (සැඟැවිණ) එහෙත් ඉතින් එසේ මැ

රා විලිත් කළ අඟ දල අවල

මඟී එක් තැවුම් ද වූ අනඟාත් නැසිණිද? සැබැවින් මැ නැති. හිරු යැ නැසුණේ. අනගා වැජැඹෙන්නේ යැ. නැසුම් කමට වැජැඹුම් කම් එහෙම පිටින් මැ විරුදු කමෙක් නේද? අන්න හරි. ඒ නිසා නො‍ෙ ව් නම්; මේ විරුදු කම් සෙලෙස යැ කියනු ලබන්නේ!

ගැට ලිහුම ; විලිත් කළ = විහිදුම් කළ, පෙනෙන්නට සැලැසූ. මේ මැ “දයක්” ලෙස වැවහරේ ද යෙදේ, “දත් විලිත්තයි” යන ඈ සැටියෙන්.

රා = නුරාව , පැහැය, යන දෙ අරුතේ යෙදිණි., දලවල = දල අවල, ගින්නෙන් ගැවැසුණු පුවස් = පළට වැ, (ප්රවකාශ වැ) හෙළ බසෙහි “පුවස” නමින් දයෙක් (ධාතුවෙක් ) ද වේ. එහි අරුත පළට ලෙස හඩගා කීමයි. මුවරදෙදෙ = මුවරදද තෙමේ; අනඟ තෙමේ. මෝරකු ගේ සටහනෙකින් යුත් දදයෙක් අනඟාට වෙයි ලූ. එහෙයින් හේ මුවරදද, මින්දද යන නම් ලබයි.

සැබැවින් මැ අනගා නමින් පුඟුලෙක් නැති. හිතේ හටගන්නා කම් ඇගුම “අනඟ” නමින් කිවියෝ හඳුන්වති. සිරුරක් නැති හෙයින් හේ අනඟ; උනඟ යන ඈ නම් වලින් හැඳින්වේ. මන සේ හට ගන්නා හෙයින් මත්දුනු (මනෝභව) නමින් ගැනේ.

බලවත් වූ නුරාව නිසා පල පසෙක් බිහි වෙයි. උමතුව යැ; තැවීම යැ; වියළීම යැ; (සිරුර වියළුණාක් මෙන් හැඟීම යැ) තද වීම යැ; (ඇඟපත ගල් ගැහුණාක් මෙන් වීමයැ) මුළාව යැ; යනුයි ඒ පල පස; නුරාවෙන් ඇතිවන ඔය පල පස සැර පසක් කොටැගත් කිවියෝ අනඟා පන් සැර නමින් හැඳින්වූ හ.

කල් යත් යත් මැ අනඟා කිවියන් ගේ හුරතලෙක් වියැ. අර සැර පස සොඳුරු කම තකාගෙනැ ඌ තුමූ මල් පසක් කොටැ ගත් හ.

“උන්මාදනස් තාපනශ්ච ශෝෂනස් ස්ථම්භනස් තථා සම්මෝහනශ්ච පඤ්චයිතේ පඤ්ච බානස්ස සායකාඃ”

මෙසේ කලින් සැලැකුණු සැර පස කල් යත් මැ

“ අරවින්දමශෝකඤ්ච චුතඤ්ච නවමල්ලිකා නීලෝත්පලඤ්ච පඤ්චයිතේ පඤ්චබාණස්ය සායකාඃ”

යන සෙයින් සොඳුරුතම ලෙස වෙනස් වූයෙ යැ. නෙළුම් යැ ගෝපාලු යැ, අඹ යැ, දෑසමන් යැ, මහ නෙල් යැ යත මල් පස අනගා ගේ සැර පස වියැ. ඒ හෙයින් මල්සැර, කුසුම් සැර, යන ආදී නම් අනඟාට යෙදිණ. ඉක්බිති වැ හේ මිහිරි පි‍ඬෙක් වියැ. උක්දණ්ඩ ඔහු ගේ දුනු දණ්ඩ වියැ. මී මැහි රොද එහි දුනු ලනුව වියැ.

Vi අවිරුදු කම් සෙලෙස

303. මියුරු මනකල් රා වඩන කොමළ කෙවිල්ලන් ඇසෙන් තෙපුල්හු සියල් පැහැසෙත් නිලුපුලැසියෝ.

පෙළ ගැසුම - මියුරු, මනකල්, රා වඩන, කොමළ කෙවිල්ලන් තෙපුල්හු ඇසෙත්, මියුරු මනකල් රා වඩන කොමළ සියල් නිලුපුලැසියෝ පැහැසෙත්.

තේරුම- මිහිරි, හිත්, අදනා, නුරාව වවන, තියුණු නොවූ කොවුල් හඩ ඇසෙයි. මිහිරි, හිත් අදනා, නුරාව වවන, මොළොක් සියලු දිගැසියෝ වැළැඳ ගැනෙති.

පැහැදුම - මෙහි කොවුල් තෙපුල් යැ, දිගැසියෝ යැ යන දෙ පසට මැ මියුරු, මනකල්, රා වඩන, කොමළ යන වෙසෙසුන් පද අවිරුදු වැ යෙදිණ. ඒ දෙප සේ මැ කමත් එකකට එකක් නොවිරුදු යැ. තෙපුල්හු ඇසෙති. නිලුපුලැසියෝ පැහැසෙති. යන දෙප ළැ ඇසීම යැ පැහැසීම යැ යන දෙක මැ එකකට එකක් නො විරුදුයි. ඇසීමත් එක්තරා ළංවීමෙකි. පැහැසීමත් එක් හැටියකට ළංවීමෙකි. මෙසේ හෙයින් ඒ සෙලෙස නොවිරුදු කම් සෙලෙස නමින් ගැනේ.

ගැට ලිහුම කෙවිල්ලන් - මෙහි කෙවිල්ලන් යැ කීයේ හුදක් කොවුල් කිරිල්ලන් ගැනැ මැ නො වේ. කොවුලු මැ කෙවිලි යන සියරුත් තමූ වහර අනුවැ වදන් මිහිර තකා යැ මෙසේ යෙදුණේ. කෙවිල්ලන් තෙපුල්හූ යන යෙදුමේ නිසි අදහස කොවුල් තෙපුල් (කොවුල් හඬ) යනු මැයි. පැහැයෙන් - පැහැසීම නම් එක් වීමයි.; වැලඳැ ගැනුමයි; බදා ගැනුමයි; එකට එක ගැළැපීමයි. “පහස්” යනුයි. මෙහි දය, (පවතුව) I ඔහුගේ ගතිගුණ අපට පහැස්සෙන්නේ නෑ, ii මේ යකඩය පාස්යන්නෑ. යන වැවහර මේ වදනින් ලියලාගිය වැවහර යැ.

Vii විරුදු අත්ම සෙලෙස

394. නොවෙන් වැද සියල් දිය රක්හි; තො අනත් මැද නො නාහි; ඉසුරු වුව ද පිළි ත-බුජඟ සසග නැත්

පෙළ ගැසුම - තො නොවෙන් වැද සියල් දිය රක්හි; අනත් වැද නොනා හි. පිළි ඉසුරු වුව ද ත බුජඟ සසඟ නැත්

තේරුම - තෝ වෙනස් තො වීත්, නොහොත් වෙනු දෙවිය‍ා නො වීත් ලොව රකින්නෙහි; නො නතුවකු (යටහත් නො වූවකු) වැලාත් එ නොහොත් අනතා වැලාත් නයෙක් නො වන්නෙහි. යළි; අදිපති වූ නමුත් තගේ උරගුන් හා එකතුවෙක් නැති. නො එසේ නම් සලෙළන් හා තගේ යහළු කමෙක් නැති. මේ පැදියේ එක් එක් කියමනක් ඇතුළත් හිමැ එක් පවතක් අනෙක් පවත හා වෙනස් වෙයි. මුළුමනින් විරුදු වෙයි. මේ විමසා බලන්නැ.

• ලොව රකින්නේ වෙනු දෙවියා යැ. ඔබ ලොව රකිති. එහෙත් ඔබ වෙනු දෙවියා නො වී මැ ලොව රකිති. • අනතා නයෙකි, ඔබ අනතෙකි, (නතු නොවූවෙකි.) එහෙත් ඔබ නො නයෙකි. • ඉසුරා බුජඟ සසඟ කෙරෙයි. ඔබ ඉසුරා යැ. එහෙත් ඔබ ගේ නැති බුජඟ සස‍ඟෙක්.

මෙසේ මේ එක් එක් පවතෙකැ මැ වූ මේ පරස්පර විරුදු යෙදුම නිසා; මේ වගයේ පැදි විරුදත්ම සෙලෙස නමින් හැඳින්වේ.

ගැට ලිහුම

නොවෙන් වැ= වෙනස් නොවී යැ, වෙනු දෙවියා නො වී යැ යන දෙ අරුත දෙයි. කුමරුවෝ අබිසෙස් ලබත් මැ බොහෝ කොටැ වෙනස් වෙති. මුලින් ඔවුන් තුළැ වූ යහගුණ බොහෝ විටැ අයින් වෙයි, වෙනස් නො වී ලොව රකින්නෝ දුලබය හ.

අනත් වැ = තො යටහත් වී යැ, අනතා වී යැ යන දෙ අරුත දෙයි. තත් නම් තැමීමයි, යමකු නත් වේ නම්; ඔවු; වෙන එකකුට තතු වේ නම්; ඒ යටහත් වීමෙකි. නොනැමි තැනැත්තේ නොයටහත් තැනැත්තේ අනත් නමි. අනත් නම් නයා ද (අනන්තයාද) අනත් නමින් ගැනෙයි. මෙහි දෙවැනි අරුත එයයි.

ඉසුරු = අදිපති යැ, මහ දෙවි යැ යන දෙ අරුත දෙයි. බුජඟ = නයා ද බුජඟා යැ. සලෙළා ද බුජඟා යැ.

Viii නො විරුදු අත්ම සෙලෙස

304. උදා එළැඹි පහළ තෙදුදුල දදිඳු ලෝපල් විමලත්ම උතුම් අනත් සිරි ළකල තො කලාවත්

පෙළ ගැසුම - උදා එළැඹි පතළ තෙද උදුල දද ඉඳු ලෝපල් විමලත්ම උතුම් අනත් සිරි ළකල කලාවත් තො, උදා එළැඹි පතළ කෙද උදුළ දද ඉඳු ලෝපල් විමල් අත්ම උතුම් අනත් සිරි ළකල කලාවත්.

තේරුම - වැඩි දියුණුවට පැමිණිණාවූ නොහොත් උසස් කුලයෙන් එළැඹුණා වු එ නොහොත් සිහසුන් පත් වූ, පැතිරුණු තෙද ගුණයෙන් බැබළෙන්නා වූ, බමුණන් හට නායක වූ, ලොව පාලනය කරන්නා වූ, පිරිසිදු අත්බව ඇත්තාවූ, උතුම් වූ ඉමක් නැති සැපතින් හිත් අදනා වූ, සිව්සැට කලාවෙන් යුතු වූ ඔබ; උදා ගිරට පැමුණුණ, පැතුරුණ දිස්න‍ෙයන් බැබැළෙන, තරු කැලට නායක, ලොව රක්නා, නොකිලිටි සිරුර ඇති, උතුම්, ඉමක් නැති සිරියාවෙන් හිත් අදනා සඳ මඬල යැ.

පැහැදුම - මේ සිහසුනට පැමිණි බමුණකු පිළිබඳ වැනුමෙකි. බමුණු නයුවා ගේ පසට යෙදුනු වෙසෙසුන් පද හැම එකක් මැ, ඔහුට සමාන කරන ලද සඳු ගේ පසට ද සකසා ගැළපෙයි. ඒ දෙ ‍පසෙහි මැ යෙදුම් එකක් අනෙක හා විරුදු බවෙක් නැති. මේ අහන්නැ

  	උදා එලැඹි = මෙහි බමුණු නයුවා ගේ පසට පළට අරුත් තු‍ෙනකි. ඒ අරුත් තුන පවා සඳු ගේ පසට ද ගැළපෙයි

• වැඩි දියුණුවට පැමුණුණා වූ - බමුණු නයුවා ගේ වැඩි දියුණුවට පැමිණීම සිහසුන් පත් වීමයි. බමුණු මැ ඉපැදී නමුත් රජ බවට පැමිණීමයි. සඳු ගේ වැඩි දියුණුවට පැමිණීම නම් සොළොස් කලාවෙන් මැ පිරීයෑමයි.

• උසස් කුලයෙන් පැමිණි - බමුණු නයුවා උසස් කුලවතෙකි. රජ, බමුණු යන දෙ කුලය මැ එකකට එකක් නොනිවට කුල දෙ‍ෙකකි. සඳු ද උසස් කුලයෙන් පැමිණියේ යැ, ඔහු ගේ උසස් කුලය නම් තරු කුලයයි; තරු සමූහය අහසේ උසසෙහි වැජැඹෙන හෙයින් ඒ උසස් කුල නමි. හඳු තරු සමූහය අතරින් පැනැ නැංඟේ යැ. එ හෙයින් උසස් කුලයෙන් පැමිණියේ නම් යැ.

• සිහසුන් පත් වූ - බමුණු නයුවා සිහසුන් පත් වීම නම් රජ වීම නොවැ? හඳ සිහසුන් පත්වීම තමා උදා ගිරට පැමිණීම. මෙසේ එක පසකට බණනලද අරුත් පවා දෙ පසට මැ සකසා ගැළපෙන්නේ යැ.මේ සෙලෙස් කියමන “නොවිරුදු අත්ම සෙලෙස” යන නමට ඉතින් නොනිසි ද?

ix. නියම අකෙවු සෙලෙස

306. රකුත් තා මේ දෙරණ, වක් බළනත්හි සැවු මෙ ද මෙහෙයු සිකි කතුනතුරේ වමියන් බැම යුග ද වක්.

පෙළ ගැසුම - තා මේ දෙරණ රකුත් බළන් අත්හි සැවු මෙ ද වක්? සිකි කතුන් අතුරේ මෙහෙයූ වමියන් බැමැ යුග ද වක්.

තේරුම - ඔබ මේ පොළොව රක්නා කලැ සෙබළන් ගේ අතෙහි වූ දුන්න පමණෙක් ද ඇද (වකුටු)? යහළු ලියන් අතරේ මෙහෙයනු ලැබූ අගනන් ගේ බැම යුග ද වකුටු යැ.

පැහැදුම - රැවටිල්ල, කපටිකම එකක් කියා අනෙකක් කිරීම වැනි මනස් ගුණ කිහිපයක් පළට සේ මැ “වක්” නමින් ගැනේ. යම් දෙයෙකැ පවත්නා ඇද ගතිය ද වක් නමින් ගැනේ, කිවියා ඔය වක් යන සෙලෙස් වදන උදවු කොටැගෙනැ නවමු නිමැවුමක් කරයි. ඒ රජකු පැසැසීම සඳහා යි.

	ඔබ ලොව පාලනය කරන විටැ හතුරු පසට හී මුණය එල්ල කැරැගත් සෙබළන් ගේ අතෙහි වූ ඒ ඇදී ගත් දුන්නෙහි පම‍ෙණක් ද  වක් ගතිය ඇත්තේ? නෑ නෑනෑ. තව එක තැනෙකැ වක් ගතියක් තිබේ. ඈ! වෙන කොහි ද? හැයි, අර අර ගැහැනුන් ගේ බැමෙහි ඔවු; පියයන් නම්මාගැනීම සඳහා යෙහෙළියන් හට ඉඟි මරන ගැහැනුන් ගේ බැමෙහි.

කිවියා මේ සෙලෙස් නිමැවුමෙන් කළේ අ‍ෙකටුවෙකි. වැළැහුමෙකි. වක් ගතිය ඇත්තේ මේ පළැ පමණෙක් යැයි නියමයෙන් මැ දක්වා අනෙක සියල්ල වක් ගතියෙන් වැළැකුමෙකි කිවියා කළේ. “ ඔබ රජයන විටැ රජිඳ, ලොවේ සියලු මැ ඇත්තෝ ඔබ ගේ තෙද ගුණය නිසා නොවක් (අවංකයෝ) වූ හ” යන අරුත දෙනු සඳහා යැ ඔහු ඒ නියමයෙන් වැළැකුම තමා නියම අකෙවුව. එය සෙලෙසකුත් වූ හෙයින් යැ නියම අකෙවු සෙලෙස යන නම.

ගැට ලිහුම සැවු මෙ ද වක්? = දුනු මැ ද ඇද? නෑ නෑ දුනු මැ නො වේ ඇද. ඇදය තව ඒවාවලැත් වෙයි. - මෙහි දැක්වෙන “මෙ” යනු තිරවුව සඳහා අද යෙදෙන “මැ” නිපාතය මැයි. සීගිරි ගීවලැ ද “මේ” යනු මැ යෙදිණි. “ද” යනු අරුත පළට කරන නිපාත පදයයි. මේ වග නොදත් බස් අඳහු ඒ දෙ වදන මෙද යන සෙයින් එක් වදනක් කොටැ ලියා ගෙනැ “ පමණක් ද; විතරක් ද” යන අරුතක් එයට දෙති අ‍ඳෝ මැයි! පමණෙක් ද යන අරුත මෙ ද යන්නේ අරුත නො වැ; එයින් හට ගත් සැහිරියේ ( සම්ප්රේදායයේ) අරුත බව සුබැසියෝ සලකත් වා!

22. වෙසෙසි කියමන

307.යම් වැයල් දස්නක් දෑ කිරිය ගුණ වත් හෙයි වෙසෙස් නිපවත් හොත් වෙසෙස වී යෙත්; හෙ මෙසේ.

පෙළ ගැසුම - දෑ කිරිය ගුණ වත් හෙයි යම් වැයල් දස්නක් වෙසෙස් නිපවත් හොත් වෙසෙස වී යෙත්; හෙ මෙසේ.

තේරුම - දැයෙහි කිරියෙහි ගුණයෙහි වතෙහි හෙයෙහි ( ජාතියෙහි ක්රිමයාවෙහි ගුණයෙහි වස්තුයෙහි හේතුයෙහි) වූ යම් අඩුපාඩු පෙනුමක්; වෙසෙසියාවක් උපදවත් හොත් වෙසෙස යැයි පවසති. ඒ මෙසේ යැ.

පැහැදුම - යම් කිසි වගයෙකැ හෝ වේ වා; යම් කිසිපැවැත්මෙකැ හෝ වේ වා; යම් කිසි ගුණ සොබාවෙකැ හෝ නැත්නම් යම් කිසි දෙයෙකැ හෝ එහෙමත් නැත්නම් යම්කිසි හේතු කරුණෙක හෝ වේ වා; කිසියම් හැටියෙකැ කිසි යම් පිළිවෙළෙකැ එක්තරා අඩුපාඩුවක් එක්තරා සෙසු පටු ගතියක් වෙනවා යැ හිතමු. ඈ! වෙන්නේ නෑ කියුවා! ඔබට නම් පිස්සු. ඉතින් පිස්සන් කෙසේ ද කව් ලකර ඉගෙනැගන්නේ? හොඳයි නූණත් එහෙම වෙනවා යැ කියා අපි ඩිංගකට හිතමු කො! අන්න ඒ සෙසු පටු ගතිය නිසා යම් කිසි පිළිවෙළක් අමුත්තක් ඉස්මතු වේ නම්; ඒ කියමන් පිළිවෙළ වෙසෙස් ලකර නමින් හැඳින්වේ.

ගැට ලිහුම

වැයල් = අඩුපාඩු. හිඟපාඩු. ( වෛකල්ය සකු) වැයල් යන හෙළ වදනත් වෛකල්ය යන සකු වදනත් අරුතින් මඳක් සම වුව ද ඒ දෙ වදනේ කිසි ද නෑ කමෙක් නැති වැය නම් ගෙවීමයි; අඩු වීමයි; හිඟ වීමයි; වැය (අඩුපාඩුව) හා අන්රය වූයේ වැයනු යැ. ඔය වැයනු යන වදන, කල් යත් මැ මට සිලිටි වැ වැයල් යන සේ හැඩ ගැහිණ, ( වැය + අනු >වැයනු>වැයන්>වැයල්) එහෙත් “වෛකල්ය” යන සකු වදන තැනී ඇත්තේ එයට හාත් පසින් වෙනස් සැටියෙකිනි විකලස්ස භාවෝ වෛකල්යෝ විකල බව යැ වෛකල්ය නම්.

i. දෑ වෙසෙස 308. නො වේ දෙවඟනකුදු නො ද ගදඹ කුලෙහි නිපන්; ඉති ඳු මේ කත් පොහොසත් තව බිඳිනු වස් බඹහු දු.

පෙළ ගැසුම - දෙවඟනකුදු නො වේ; ගඳඹ කුලෙහි නිපන් අඟනක් ද නො වේ. ඉති දු මේ කත් බඹහු දු තව බිඳිනු වස් පොහොසත්

තේරුම - දෙවු අඟනක් ද නො වෙයි; ගඳඹ කුලයේ උපන් අඟනක් ද නො වෙයි. මෙසේ නමුත් මේ අඟන බඹා‍ ගේ පවා තපස බිඳැදමන්නට සමත් යැ.

පැහැදුම - “තපස අතින් මහ බඹාට වඩා තව ද උසස් එකෙක් නැති. ඔහු ගේ හිත ඒ මේ අත කලඹා ඔහු ගේ තවුස් පවත මොහොතක් හෝ ඇනැහිටවන්නට සමතෙක් බඹ ලොවේ ද නො වේ.

සොබායෙන් මැ පිරිමින් ගේ තවුස් පැවතුම් ගෑනුන් නිසා බිඳෙනවා නොවැ? ඒ නමුත් ඔය මහ බඹ අප්පුහාමි ගේ තවුස් වත බිඳින්නට සමත් රූමතියක්, කලාවතියක් දෙවු ලොවේ තබා එයට උසස් බඹ ලොවේ ද නැති.

ඇත්තට මැ දෙවු ගෑනු ලස්සන ගෑනු යැ කියා රට තොටේ කෙ‍ ෙතකුත් පළට නොවැ? ඒ අය වගේ මැ ලස්සන බබළත් ඇත්තෝ නො වැ ගඳඹ නම් දෙවි වගයේ ගෑනුත්?

ඉතින් මේ ළඳ අර කී සැටියේ දෙව් අඟනක් ද නො වේ. ඒ වුණත් මෝ තමා හරි මැ යෝදී. මහ බඹා ගේ උනත් තපස බිඳින්නට මැයට කිසිමැ බැරි කමෙක් නෑ.

උසස් දෙවු වගයටත් ගඳඹ වගයටත් වඩා අඩු පාඩුයෙන් යුතු මිනිස් වගයේ කතක මහබඹු ගේ තව බිඳීම බඳු වෙසෙසි කමකට පොහොසත් බව පෑයෙන් මේ කියමන දැ වෙසෙස හෙවත් වග වෙසෙස නම් වේ.

ගැට ලිහුම

ගඳඹ = දෙවු යොන් වෙසෙ‍ෙසකි, (ගන්ධර්ව, සකු)

ii. iii. කිරිය වෙසෙස

309.නොබුන් බැම, නොඩටොට, යළ නොද රත් නෙත් වී එදා ත විපක් කුල බිම හැපිලි සියල්ලෙන් වියැ නරනිඳ. පෙළ ගැසුම - නොබුන් බැම; නොඩට ඹට වී; යළ තොරත් තෙත ද වි එදා නරනිඳ තා විපක් කුල බිම් ැපිලි සියල්ලෙන් වි යැ.

තේරුම - නොබිඳුනා ලද බැම වී යැ; නො ඩසින ලද තොල වී යැ; එහෙත් රජාණෙනි, ඔබ ගේ හතුරු සෙන‍ඟෙහි වැනැසීම මුළුමනින් වියැ.

පැහැදුම - බලවත් හතුරු සෙනඟක් හා හටනට වන් විටැ රජු තදබල ලෙස කිපී ඉදිරියට ‍ෙසනඟ මෙහෙයවයි. ඒ හතුරු සෙනඟ අරමුණු කොටැගෙනැ නැඟී ආ රොසින් ඔහු ගේ බැම හැකිළෙයි; තොල සැපෙන්නට වෙයි; ඇසු රතු වන්නට වෙයි. හතුරන් හට හෙණ පහර දෙනුයේ එසේ බලවත් රොස් ලකුණු ද පැහැදිලි වැ දක්වමිනි. එහෙත් මේ තැනැ අමුත්තෙකි. කිසි රොස් පරොස් බවක් නො පා මැ හතුරු සෙනඟ මුළුමනින් මැ වනසාදැමීම කවර තරම උසස් හපන් කමෙක් ද? නිකම් මැ කෙළියට මෙන් හටනට ගොස් මුළු මහ හතුරු සෙනඟ මැ වනසා ලූ වග නො වැ මෙයින් පැවසුණේ? ඒ රජු ගේ උසස් මැ නොලෙවි හපන් ක‍මක් නොවැ මෙයින් ඇඟවුනේ? ඒ හැඟැවීම වූයේ වී යන කිරිය පදය පෑ අමුතු මැ හිඟ පාඩුව නිසායි. හටනේ දී බිඳී බැම නොවීම, සැපුණු තොල් නොවීම, රත් නෙත් නොවීම හටනට මදි පුංචි කමෙකි. ඒ මදි පුංචි කම නිසා රජුගේ මහ සවි යේ වෙසෙස කැපී පෙනිණ.

ගැට ලිහුම

නොබුන් = නො බිඳිනා ලද. හන්, පළන්, බන්, ඈ යෙදුම් ද විමසාබලන්නැ

නොඩටොට = නොඩට ඔට. නොඩැසුණු බට, නො හැපුණු තොල, “ඩස” දය හැපුම් අරුතේ යෙදේ.බස් ආදී ගණයේ පවතුවෙකි,

ඩසී - ඩසිති; ඩටි - ඩටු ඩැසේ - ඩැසෙති; ඩැසිණි - ඩැසුණු යන සේ යැ වර නැඟෙන්නේ.

“නො ඩහටොට” යනුයෙහි පැරණි සන්නසේ මෙය දිසි වන්නේ. ලියන අප්පුවන් අතින් වූ බරපතළ දොසකි

විපක් කුල = හතුරු සෙනඟ.

බිම හැපිලි = පොළෙ‍ාවේ ගැහීම්, සුනේ සුනු කැරැදැමීම. “තා දෙ කකුලින් අල්ලා ගහනවා පොළොවේ” යන සෙයින් අද ගැමි වැවහරේ එන්නේත් මේ යෙදුම මැයි. අවියෙන් වැඩ ගන්නට කලින් යැ මේ හටන් ආර මිනිසා අතරැ පැවතුණේ. එතරම් ඈතැ කල දවසෙකැ වූ හටන් ආර ගැන තොරතුරු පහදන මේ “බිම් හැපිලි” වැනි කියුම් වෙසෙස් හෙළ බසේ ඉපැරැණියාවට නොබි‍ඳෙන දෙස් දෙන කියුම් වෙසෙස් යැ.

3. ගුණ වෙසෙස

310. අවි වියොවගහු නො ද තියුණු, පිළි නො ද කැකුළු යැ. ඉති ඳු හොත් දැනොහු විසින් සියල් දිය මෙ දනන ලද.

පෙළ ගැසුම - වියොවගහු අවි නො ද තියුණු, පිළි නො ද කැකුළු යැ. ඉතිඳු හොත් දැන් ඔහු විසින් සියල් දිය මෙ දනන ලද.

තේරුම - අනඟා ගේ අවි (ආයුධ ) තියුණුත් නැති; ආයේ; රළු පරුසත් නැති. මෙසේ නමුත් දැන් ඔහු විසින් මුළු ලොව මැ දිනන ලද්දේ යැ.

පැහැදුම - මොට්ට අවියෙකින් කළ හැකි හපන්කම කිමෙක්ද? හං කැත්තෙන් හැකි යැ රණ බිමට වදින්නට? බොළඳ අවියෙන් කළ හැකි හටන් කම ඊට නිවට යැ? හැයි, තම්පලා දංඩෙන් පිළිවන් ද යගදාවේ වැඩ පල ගන්නට? කරුණු මෙසේ නමුත් මෙ බඳු අවි ආම්පන්න යොදාගෙනැ හටනකට ගොස් යමෙක් දිනයි නම්; ආයේ ඉතින් කියනු කිම? හේ කවර තරම් මහ විරුවෙක් ද? අනඟාත් එ බන්දෙකි. ඔහු ගේ අවි ආම්පන්න මල් නොවැ? ඉතින් මල්වලැ ඇති තියුණු කම හෝ රළු පරළු කම හෝ ගැනැ කුමට යැ කතා බහ? ඒ එහෙම වූ නමුත් මෙ බඳු අවි ඉදිරිපත් කැරැගෙනැ නමුත් අනඟා දැන් මුළු ලොව මැ දිනුවෙකි. කෙසේ ද ඔහු ගේත් විරු කමෙක් හේම ඇද්ද? අවිවලැ අඩු පාඩු ගුණ වූ නොතියුණු නො කැකුළු යන යෙදුම නිසා යැ අනඟා ගේ මහ හපන් කමේ වෙසෙස්තාව පළට වූයේ. අන්න එ බඳු කියුම් තමා ගුණ වෙසෙස නම් වගයට අයත් වන්නේ.

ගැට ලිහුම:

කැකුළු = රළු පරුස ගතිය; සැඩ ගොරෝසු ගතිය. (කර්කශ, සකු)

4. වත් වෙසෙස

311. නො අස්හු දු නො ද රි ය නො ගජරජහු නො සෙබළෝ. වහස්ති මෙ දෙනෙත් මෙ නු මියුලැස්හු මෙ දිය සියල්?

පෙළ ගැසුම - අසුහු දු නො; රිය ද නො; ගජරජහු ද නො; සෙබළෝ ද නො. මියුලැස්හු මේ සියල් දිය වහස්ති මේ දෙනෙත් මෙ නු?

තේරුම - තුරඟුත් නැති; රියත් නැති; මහ ඇත්තුත් නැති; රණ සෙබළෝත් නැති. ( ඒ නමුත් ) දිගැසියෝ මේ මුළු පොළොව ඇස් කොනින් මැ දිනත් මැ නොවැ?

පැහැදුම - මෙයින් හැඟවෙන්නේ දිගැසියන් ගේ මහ හපන්කම යැ. ඇත්, අස් ,රිය , වැනි දේ හටන් කරුවන් හට විය යුතු මැයි. ඒ දේවල් නැති වැ ද හටන් කොට ජය ගන්නෝ කවර නම් හපන්නු ද? ගෑනු අන්න එබඳු හපන්නු යැ. උන් හට ඔය කියන යුද වත් උවාරණ ‍ඇත්තේ මැ නැති. එහෙත් ඌ තුමූ නෙත් කොන් බැල්මෙන් පමණක් මැ මුළු ලොව දිනති. දිගැසියන් ගේ මේ මහ හපන් කම පළට වූයේ කිමෙකින් ද? එක්තරා අඩුපාඩු කමෙකිනි. ඔවු; ඇත්, අස්, රිය, සෙබළ, යන වතුන් (වස්තූන් ) නැති බව මැ පළට වී මෙනි. එහෙයින් මේ වත් වෙසෙස නමි.

ගැට ලිහුම

වහස්නි = නෙත් කොන් බැල්ම වහස් නම් වේ. ඒ වග කිවාහු නො සිරි රහල් හිමියෝත්

“කොතබූ ගල පහස වෙහෙසුණු සිරි වෙනුරැ වැස ලිය මඳ ලස වහස වතළ සැනැහේ මොහුර තලැ වැස” යන පැදියෙහි දී?


5. හේ වෙසෙස

312. “ රිය එක් සක්, වසම් අස්හු, නො සැරි කමත් සර, පළ තෙදිනිරැක්මෙ සියල් දිය” යෙත් හේ වෙසෙස් නම්.

පෙළ ගැසුම - “ එක් රෝද රිය, ව සම් අස්හු, සැරි කමත් නොසර ඉරු පළ තෙදිනි සියල් දිය ඇක්මැ ඒ” යත් හේ වෙසෙස් නම්.

තේරුම - “ එක රෝද රිය ඇති, විසම වූ අසුන් ඇති, රියදුරා ගේ කටයුත්තත් ඔබල වූ ඉරු තෙමේ පළට වූ තෙදස නිසා මුළු ලොව අබිබවාගෙනැ එන්නේ යැ” කියත් හොත් හේ වෙසෙස් කියමන නම් වේ.

පැහැදුම - හිරු මුළු ලොවම අබිබවාගෙනැ එන්නේ යැ. එසේ ලොවම අබිබවාගෙනැ එතත් හිරු ගේ රියට ඇත්තේ එකම රෝදයෙකි. ඒ රියට යෙදූ අසුන් ගේ ගණනත් සම වැ නො ගැළපෙයි. හැයි ගණන හතෙක් නොවැ?

ඉතින් කෙසේ ද දෙ දෙනා බැගින් හෝ සිව් දෙනා බැගින් හෝ සම වැ යොදන්නේ? ඒ ඇරැත් ඒ රියේ රියදුරා ගේ කටයුත්ත ඒ තරම් මැ පල වගාවක් ඇති කටයුත්තෙක් ද නොවේ. ඒ රියදුරා පිටගැට කුදෙකි. එහෙවු එකෙකුගේ මෙහෙය ගැන කවර හැදැහියාවෙක් ද? උවාරණ මෙසේ නමුත් පළට වූ තෙද ගුණය නිසා මැ ඒ තෙද ගුණය හේතු කොටැ ගෙන මැ හිරු මුළු පොළොව මැඬ පවත්වාගෙනැ අබිබවාගෙනැ එන්නේ යැ. අර ඔබල දුබල උවාරණයන් ගෙන් වුවද ඒ මහ කම හිරු කරන්නේ ඔහු ගේ තෙද ගුණය හෙය කොටැ ගෙනයි. අන්න ඒ නිසා මේ හේ වෙසෙස නමි.

ගැට ලිහුම: වසම් = සම නොවූ; විසම.

පළ තෙදිනිරැක්මෙ = පළ තෙදින් ඉරු ඇක්මැ එ. ඉරු පළට වූ තෙද ගුණයෙන්......... අබිබවා එන්නේ යැ.

රිය එක් සක් = එක රෝදයක් යොදන ලද රි‍ෙයකින් හිරු ගමන් කෙරෙයි ලු. ඒ රිය පළා වන් අසුන් හත් දෙනෙකුන් විසින් ලු අදිනු ලබන්නේ. ඒ රිය දක්කන රියදුරා පිට ගැට කුදෙක් ලු. මේ පුරාණ කථායි.

23. සමයෝ කියමන

313. කියටි මෙ වූ ගුණෙන් මහ අත්මන් සුදුසු කොටැ හේ යමක් හු දක්වත් හොත් සමයෝ ලකර; මේ ගින්.

පෙළ ගැසුම - කිය අටි මෙ වූ ගුණෙන් මහ අත්මන් සුදුසු කොට යමක්හු දක්වත් හොත් සමයෝ ලකර. හේ මේ ගින්.

තේරුම - කියනු කැමති මැ වූ ගුණයෙන් මහ උතුමන් හා ගැළපීම් කොටැ යම් කිසිවකුන් දක්වත හොත් (එ) සමයෝ ලකර නම් වෙයි. ඒ මේ සැටියි.

පැහැදුම - සමයෝ ලකර හෙවත් තුල් යෙදුම් ලකර නම් කියමන් වගසේ හැටියි මෙයින් හැඳින්වුණේ. කියන්නට රිසි මැ යම් කිසි ගුණ ලවයක් මුල් කොටැගෙනැ අරමුණ උසස් මහ තැන් හා සම කොටැ ඉස්මතු කිරීමයි මෙයින් අදහස් කරනු ලබන්නේ. හරසර පිණිසැ යැනිහරසර පිණිස යැ යන දෙ ලෙසෙකින් මේ පවතින්නේ යැ.

ගැට ලිහුම: කියටි = කිය අටි, කියනු කැමති.


i. හරසර සමයෝ කියමන

314. යම කුවෙර වරණි ඳු හිමිහුදු මහත් වැ දියේ නො අන් සබඳ ලෝපල් වියන වදන් සිරි දෙරෙන්.

පෙළ ගැසුම - යම, කුවේර, වරුණ ඉඳු, හිමිහුදු, දියේ මහත් වැ නො අන් සබඳ ලෝපල් වියන වදන් සිරි දෙරෙත්.

තේරුම - යමයාත් කුවේරයාත් වරුණයාත් සක් දෙවියාත් හිමියාණෝත් ලොවේ මහත් තැන් වැ වෙන ඇත්තන් හා සබඳ කමක් නැති “ලෝපල්ලෝ යැ” කියන වදන් සැපත දරති.

පැහැදුම - “ලෝපල්ලෝ” යැ කියන ගුණ අරමුණ මුල් කොටැ ගෙනැ යමයාත් කුවේරයාත් වරුණයාත් සක් දෙවියාත් යන උසස් තැන් හා රජුන් සම කොටැ දැකීම සිදු විණ මෙයින් වෙසෙ‍සි හරසරක් ඉස්මතු වූ හෙයින් මේ හරසර සමයෝ කියමන නම් වේ.

ගැට ලිහුම:

 කුවේර = වෙසවුණු මහ රජ. දනයට පතියා. උතුරු දිඟිඳා. ආලකමන්දාව මොහු ගේ පුරයි. එය කෙලෙස් ගිර සමීපයේ වූයේ යි. පෙරැ ලක් දිවැ රජය කළ විසවු මහ රජු ගේ පුත් හෙයින් යැ වෙසවුණු නමින් හැඳින්වෙන්නේ.
 

වරුණ = අවර දිගට පති දෙවියා. “සැඳැ ළෙන් වරුණ දෙවු රද මුහුද විසු - සඳ සහසකර එන මහ වත සැලැසූ” යනු සිරි රහල් බස යැ.

 යම = දකුණු දිග් පතියා යැ. නිරයේ පලුවා යැ. 

ඉඳු = පෙර දිග් පතියා යැ. “ මට ඉඳුරු දික් පති - දනෝ සක් දෙවිඳු යැයි පවසති” යනු වෑත්තෑවේ හිමියන් ගේ කියමනයි.



ii. නිහරසර සමයෝ කියමන.

315. තුනුවඟ‘නඟ සසඟ ගෙනෙ බඳ විදුලිය විලස් කෙණෙකැ ද නො සිටිනෙ වියත් ගරහ සමයෝ නමැ යෙත්.

පෙළ ගැසුම - ගෙනෙ බඳ තුනුවඟ අනඟ සසඟ; ගෙනෙ බඳ විදුලිය විලස් කෙණෙකැ ද නො සිටිනෙ වියත් ගරහ සමයෝ නම් යැ යෙත්.

තේරුම - “ ගන සේ බැඳගන්නා ලද ( තදින් වැලැඳැ ගැණුනු) අඟන ගේ අනඟ එකතුව; වැහි වලාවෙහි බැඳුණු විදුලිය මෙන් මැ මොහොතක් හෝ නො පවත්නේ යැ” යි පවසත් හොත්, නිගා සමයෝ කියමනැයි කියති.

පැහැදුම - විදුලිය ඉතා පැහැමත් යැ. එය වැහි වලාව මැ බදාගෙනැ එහි මැ නළියයි. ඒ නමුත් එය එක මොහොතක් නො පවත්නේයි. අඟන ගේ සමහම් වැලැඳැ ගැන්ම ද ඒ සැටියි. ඕ කොතරම් දැඩි ලෙස හිමියා වැලැඳැගත් නමුත් බදාගත් නමුත් මොහොතක් යන්නට කලින් ඇය ගේ අර දැඩි වැලැඳැගැන්ම බුරුල් වැ දෑත දෙ පසට නිකම් මැ ඇද ඇදහෙළෙයි. වැහි වලාව බඳු විදුලිය බඳු මහ වතුන් හට සම කළ නමුත් අර පැවැත්ම විදුලිය මෙන් මැ මොහොතක් නො පවත්නේ යැ කීමෙන් එල්ල කැරුණේ එක්තරා නිහර සරෙකි. එ නිසා මෙය නිහරසර සමයෝ කියමනයි.

ගැට ලිහුම:

  	තුනුවඟ‘නඟ සසඟ =  තුනුවඟ අනඟ සසඟ. මෙහි අනඟ යනු වැඩි මනන් කියමනෙක් නේ ද? තුනුවඟ සසඟ යැ කියවුණා නම් නො සෑහේ ද? නො සෑහේ . නිකම් මැ තුනුවඟ සසඟ යැයි යොදනවාට වැඩියෙන් සුනිසි වැ තියුණුවට අදහස ලැබෙයි අනඟ සසඟ යැයි වෙසෙසා යෙදීම නිසා.





24. විරුදු කියමන

316. තැනෙක්හි එක් යම් විරුදු පද අත් සසඟක් දසුන් වත් විරිදු වස් විරුදු නමැ යෙත්. හෙ මෙසේ.

පෙළ ගැස්ම - එක් තැනෙක්හි යම් විරිදු පදඅත් සසඟක් විරිදු වස් දසුන් වත් විරිදු නම යැ යෙත්. හෙ මෙසේ.

තේරුම - එක තැනෙකැ යම්කිසි විරුදු පදරුත්වලැ එකතු වීමක් විරුදු බව පිණිස මැ දැක්වීම වත හොත් ඒ විරුදු නමැයි පවසති. ඒ මෙසේයි.

පැහැදුම - යම් කිසි විරුදු අදහස් වලැ එකතුවක් දක්වත හොත් එය විරුදු නම් ලකර වෙසෙස ලු! එහෙනම් මේ කවියට එක මොහොතක් ඇහුම් කන් දෙන්නැ.

“ මහ වැහි කල දවසැ කළු ගඟ උතුරද්දී නෙළුම් කුමරියන් ඕවිටි සරසද්දී පොකිරිස්සන් රෑන කෙළියෙන් සැනැහෙද්දී තොටියෙකි ගී ගයන ඉඳැ ඔරුයෙකැ පැද්දී.”

ඔය පැදියේ ඇත්තේ ත් ඔය කියන විරුදු අදහස් ලකර මැ නො වේ ද? නෑ නෑ. ඒ කවර කෙහෙල්මල් කවෙක් දැ? මහ වැහි කල දවසැ කළු ගඟ උතුරන විටැ කොයි ද නෙළුම් මල්? ඒ වැහි කල දවසට කොයි ද පොකිරිස්සෝ? හිටියත් උනට කොයි ද කෙළි; දෙ ගොඩ තළාගෙනැ මිරිදිය ගලන විටැ? එ කලට ඔරුවක් දියත් වූ විටැ හෙණ පතේට ගහාගෙනැ යනවා විනා කවර පැද්දිලි ද? එහෙවු ඇබැද්දි‍ෙයකැදී තොටියෙකුට කුමන ගීද? ඔය විරිදු අරුත් ලකරින් සැදුණු පැදියෙක්‍ නො වේ; බොරු හෑල්ලෙකි එහෙ නම් විරුදු අරුත් ලකර නම් කිමෙක් දැයි ඇසුවා! හා එහෙනම් මෙන්න මේ නිදසුන විමසන්නැ. එ විටැ එය කිමෙක් දැයි වැ‍ටැහෙනවා ඇති.


317. වඩී වැජැඹැ මෙදෙන් මනකල් වැ රජ හස් හඬ; පිරිහෙ රැවු දු සිකි කැ‍ළන් සියල් සොම්නස වන වූ.

පෙළ ගැසුම - රජ හස් හඬ මෙදෙන් වැජැඹැ මනකල් වැ වඩී. සියල් සොම්නස වූ සිකි කැළන් රැවු දු පිරිහෙ.

තේරුම - රජ හසුන් ගේ හඬ මදයෙන් වැජැඹෙමින් හිත ඇදගනිමින් වැඩෙන්නේ යැ; සියලු සොම්නසින් වියෝ වූ මොනරුන් ගේ හඬ ද පිරිහෙන්නේ යැ.

පැහැදුම - මෙන්න මෙය විරුදු අරුත් ලකරට ගැළපෙන මැ නිදසු‍ෙනකි. සරත් කල දවසේ සිදු වීමෙකි මේ පැදියෙන් පැවසෙන්නේ. සරත් කල දවස හංසයන් ගේ මඟුල් කල දවසයි. හැයි? ඒ අවදියට හොඳට නෙළුම් තිබෙනවා. ඒ නිසා මල් පැණි ඕනෑ තරම්. ඒ නිසා ඒ කල දවස පවතින් මැ හංසයන්ට හරි ජය. එහෙයින් හංසයන් ලස්සනට ගී හඬ නඟමින් සැරි සරනවා. උන් ගේ ගී හඬ එන්න එන්නම මැ දියුණු වීම් කවර තරම් පියකුරු ද? එය එහෙම නමුත් ඔය කියන කල දවසට අකමැති අයත් ඉන්නවා නොවැ? ඔවු ඌ තමා මොනරු. එක වැහි වලාවක් වත් නැති නිසා මොනරුන් කිසි හාවක් හූවක් නැති වැ වියෝ දුකින් මෙනුයි ඉන්නේ. උන් ගේ හඬ දවසින් දවස අඩු වේගෙනයි යන්නේ. ඉතින්; මිහිරි හංස හඬ ටිකෙන් ටික වැඩෙයි. නොමිහිරි මොනර හඬ ටිකෙන් ටික මැකෙයි. හා, නැද්ද එහි සොඳුරු කමෙක්? සොඳුරුයි. ඒ නිසා ඒ කියමන හොඳ ලකරෙකි. ඒ ලකරට කරුණු වූයේ හංස හ‍ඬේ වැඩීමයි. මොනර හඬේ මැඩීමයි. අන්න හරි. මැඩීමේ ගුණය විරුදු නොවැ? ඒ නිසා මෙය විරුදු අරුත් ලකරෙකි. බොල් කියමනෙක් මෙහි නැති, එබන්දක් යෙදුණ හොත් පැදිය ලකරක් නොවේ, බොරු හෑල්ලක් විනා. විරුදු ලකර කියමන, කිරිය විරුදු යැ, වත් විරුදු යැ, ගුණ විරුදු යැ, වග විරුදු යැයි සිවු ගණයෙකි. එයින් මේ දැක්වුණ නිදසුන කිරිය විරිදු ගණයට යැ අයත්.


ගැට ලිහුම:

සොම්නස වන වූ - සොම්නස වියෝ වු; සොම්නසින් වෙන් වූ. වැහි කලට යැ මොනරුන් ගේ සතුට වැවෙන්නේ. වැහි වලාව දකුත් මැ ඌ තුමූ පිල් විදහා ගෙනැ නටන්නෝ යැ; කොතෙකුත් කේකාව (කේකා හඬ) නඟන්නෝ යැ.

“ හඬ අසා ඔබගේ පැහැයත් බලා මොනරු පිල් විදවා රඟ දෙත් නදින්. අමුතුවෙන් පණවත් බව ලත් සෙයින් තුරුලියත් ලියලයි සැනැහී දියෙන්.”

මේ කුමාරතුඟු හෙළ මහ මුණිවරයාණන් වැහි වලාව හැසැසූ සැටියි.

318. ලඹ දුවන් යුත් තුනු තුනු මැද රතොට නිල් නෙත් නැමුණු නැබුඩුවටු තෙනේ තුනු කා නොනැස්මට වත්?

පෙළ ගැසුම - ලඹ දුවන් තුනු තුනු මැද යුත් රත් ඹට නිල් නෙත් යුත්, නැමුණු නැබ උඩුවටු තන යුත් ඒ තුනු කා නොනැස්මට වත්?

තේරුම - එල්බෙන උකුළත් සිහින් ඉඟටියත් ඇති, රතු තොල් හා නිල් ඇසුත් ඇති, පහළට නැමුණු නැබ වළත් ඉහළට තුඩු දුන් තනත් ඇති ඒ සිරුර කවරකු නොනැටැවීමට පොහොසත් ද?

පැහැදුම - මෙය වත් ( වස්තූන්, ද්රසවයයන් පිළිබඳ) විරුදු අරුත් ලකරින් සැදි කියමනෙකි. මස් ගොබ කඩා හැළෙන තරමට වැඩී පළල් වූ උකුල හා සමඟ මැ කිවියා පෑයේ කිමෙක් ද? ඉතා සිහින් ඉඟටියයි. රතු තොල් හා එක ළඟට මැ නිල් ඇස් හේ මතක් කළේයි. පහළට නැමුණු නැබ වළා හා එක්කැ මැ ඉහළට තුඩු දුන් පියොවුරුත් ඉදිරිපත් කරන ලදී; ඔවු ආයේ බලමු. ඔබටත් නිකමට පාහේ හිත නැතැ ඒ ගැනැ තව වරක් අහන්නට?

පළල උකුළ, හින් ඉඟ! රතු තොල්, නිල් ඇස්! යටිකුරු නැබ, උඩුකුරු තන! නැබ වළ, තන තුඩු!

හහ්! ලස්සන නැද්ද? හරි කදිම සිරුර නොවැ? ඔවූ ඒ නිසා නොවේ නම් ඕනෑ මැ කෙනෙකුන් නටවන්නට ඒ යොවුන් සිරුර සමත් යැයි කියවුණේ. මේ එක් දෙයක් අනෙක් දෙය හා විරුදු වැ මෙන් සැරැහී සිටිය් යැ. ඒ හෙයින් මැ එය මනහර ලකරෙක් විණ.



ගැට ලිහුම:

   ලඹ = එල්බෙන. මෙහි එල්බෙන යන අරුතක් ඉස්මතු කැරුණේ වැඩි මහත් වැ පළල් වැ ගිය බව පෑමට යැ. “ ඒ තම්බියා ගෙ හොඳ කඳ බඩ; හරියට මස් ගොබ කඩා හැලෙන්නා වගෙයි,” මෙසේ ගැමියාත් සිරුරේ මහත ගතිය පෑමට ලඹ යන වදනේ අරුත ඉස්මතු කරයි.  
 
   දුවන් = උකුළ, ( ජඝන - සකු) ‘ ගෑනුන ගේ උකුළෙහි ඉදිරි පෙදෙස’යැ යෙසෙසින් මැ දුවන් නමින් ගැනෙන්නේ.
 නැමුණු නුබුඩුවටු තෙනේ තුනු = නැමුණු නැබ, උඩුවටු තන ඒ තනු, යටිකුරු වූ නැබ යැ නැමුණු නැබ නම්, තුඩ උඩුකුරු වූ තන යැ.

‍ නො නැස්මට වත් = නැස්මට නො වත්? නැස්මට නො පොහොසත් ද? නස පවතුව මැරීම යැ නැටීම යැ යන දෙ අරුතෙකැ යෙදේ. මෙහි නැස්මට නම් මැරීම නො වේ; නැටැවීමයි. “නස” දය බල බස් යන දෙගණයේ මැ වර නැඟේ,

• නසා - නසති - නැසී - නැසූ • නසී - නසති - නටි - නටු යන ඇදී ලෙසින්,මේ වර නැඟෙන දෙ සැටිය අරුත ද දෙසැටියෙකි. මේ විමසා බලන්නැ.

මැරීම් අදහස

• නසා නසති නැසී නැසූ

      =මරා  මරති  මැරී  මැරූ 

• නසී නසති නටු නටු

      =මැරේ මැරෙති මැරිණි මැරැණු, 

නැටීම් අදහස

• නසා නසති නැසී නැසූ = නටවා නටවති නැටැවී නැටැවූ, • නසී නසති නටු නටු නටා නටති නැටී නැටූ.

මේ අනුවැ විමසත් මැ නැස්ම යනු නැටීම් අරුතේ දී නැටීම; නැටැවීම යන අදහස් දෙකක් දීමට සමත් වග ඔබට ද හැ‍ඟෙනු ඇති.

රතොට = රතු ඔට. රතු තොල තුනු මැද = ඉඟටිය.

319. පිය ගඳ මඳ සිහිල් නෙලෙනා නා කුසුම් රොන් නුවනත නොළඟ වෙමිනුදු කෙනෙකුන් කඳුළු ගන්වා.

පෙළ ගැසුම - පිය ගඳ, මඳ සිහිල් නෙලෙන් ආ නා කුසුම් රොන් කෙනෙකුන් නුවනත නොළඟ වෙමිනුදු කඳුළු ගන්වයි.

තේරුම - සුවඳවත් මඳ සිහිල් සුළගින් පැමුණුණ නා මල් රේනු සමහර කෙනෙකුන් ගේ ඇහැට අසල් නො වී පවා කඳුළු හට ගන්වයි.

පැහැදුම - රොන් දුහුලි ( රජස්) වෙසෙසෙකින් ඇ‍හේ කඳුළු හට ගන්වන්නට එය ඇහේ ගැටියැ යුතු මැ නො? ඇහේ නො ගැටී මැ කඳුළු උපදන්නේ යැ කීම එක්තරා විරුදු කියමනෙකි. මේ අහන්නැ ඒ විරුදු කියමන ලකරක් වන සැටි. “පියවතා පියවතිය ගෙන් වෙන් වැ වෙළෙඳාම් ඈ වියපුරු සඳහා ගමින් දුර බැහැරැ යෙතියි හිතමු. ඔන්න වසත් සමය ලොව එක් රජය කෙරෙයි. සුවඳ මඳ සුළඟ සිහිලට හමාබසී. සුළඟේ වූ ඒ ගුණ තුන මැ නිඳාහිඳුනා මල්සරා පුබුදුවයි. නා ගස් මලින් බර වැ සුළඟ රොනින් අවුල් කෙරෙයි. ඒ හෙයින් සුළඟ තව දු සිහිල් වෙයි; තවදු සුවඳවත් වෙයි. ඒ සුළඟ ඇහෙයි ගැටෙත් මැ පියවතාට සිය මිහිරිය සැමරෙයි. පියවතියට සිය මිහිරා සැමරෙයි. සැමැරුණාට කීම යැ ඇති පල? උනුන් ඉඳිනුයේ උනුනට දුර බැහැරින් නොවැ? ඒ හෙයින් උන් උන් ගේ ඇසට ඉබේ කඳුළු උනයි. රොන් ඇසේ ගැටෙන්නට මැ ඇවැසි නැති. රොන් ඇහේ නො ගැටී මැ කඳුළින් ඇහැ පිරේ,” ඉතින් නරක ද කියමන? නැද්ද මෙහි රසයෙක්? ඒ හෙයින් මෙය ලකරෙක් නො වන්නේ ද? ලකරෙක් මැයි. රොන් ( දුහලි) නො ගැටී මැ කඳුළු උපදනා වග කී හෙයින් ඒ විරුදු අරුත් ලකර යැ.

ගැට ලිහුම

 නෙලෙනා = නෙලෙන් ආ. සුළඟින් පැමිණි.
 නුවනත = නුවන මැ යැ නුවනත් නම්, සියරුත් නමුයි.


25. නොපත් වැනුම් කියමන 320. නොපත් වැනුම නම් පර හැසුරු දෙළෙනොබල මන ඇතියන් පවිස්නා වදනින් බිඳුම්; හෙ මෙසේ.

තේරුම - නොපත් වැනුම නම් අනුන් විසින් හසුරුවන ලද( පාලනය කරඑනු ලැබූ) තනතුර නිසා ඔබලන් වැ ගිය මනස ඇතියන් බලවත් සේ කැමති වන්නා වූ කියමන් වලින් කොටස් යැ. හේ මේ සැටියි.

පැහැදුම - තනතුරු බලය දන බලය රදල බලය ඉහට ගෙනැ උදුම්මාගත් හිස ඇතියන් නිසා දිවියේ කලකිරුණු අසරණයෝ රටෙකැ කොතෙකුත් වෙති. ඔවුන් ගේ මනසේ රජයන දුක් හැඟුම එසේ මැ සිත්තම් වත හොත් කවර තරම් අසිරිමත් කවි රස දහරාවෙක් පහළ වෙයි ද? එහෙත් වරද උන් ගේ හැඟුම් උන් හට නිසි සේ සපුරා පවසාගන්නට බැරි කමයි. එහෙත් කො තරම් දුඹුල් දැනුම් ඇතියකු ගෙන් වුවද ඉඳහිටැ අතරින් පතර කලාතුරෙකින් හෝ තමා විඳිනා දුක නිසා මැ, ඔබල වූ මනසින් දිවිය පිළිබඳ වැ උපන් බලවත් කලකිරියාව නිසා මැ රසබර කියුම් ඇබිති පහළ වනු නො බැරි යැ. අන්න ඒ කියුම් වෙසෙස්වලැ අනුරුව ( ආකෘතිය) තමා නොපත් වැනුම් නමින් ගැනෙන්නේ. අපි දැන් ඒ යෙදුම් ගැනැ විමසා බලමු.

ගැට ලිහුම

  පර හැසුරූ දෙළෙනොබල = මෙය රුවන් මී ඇදුරාණන් ගේ සන්තයේ පර ඇසිරූ දෙළෙනොබල යැයි පෙනේ. අනුන් ආශ්රිනත ධූරයෙන් දුර්වල වූ යන සෙයින් ඌ තුමූ අරුත් බිණූහ. එහෙත් සන්නයක් නැති ඉපැරැණි පිටපතෙකැ පර හැසුරූ දෙළෙනොබල යැයි පෙනේ. රුවන් මී පාණන් විසින් ගන්වනු ලබන අරුතට වඩා ඒ පෙළෙන් ලැබෙන අරුත ඉතා බලවත් යැ. 

දෙලෙන් = තනතුරින්.

321.නො මෙරමන් ඇසිරූ මුවෝ ‍ෙවනෙහි ‍ෙයහන් ‍ෙදත්, නිතැත්නි මෙ ලද සදලෙන් සිහිල් දෙලෙන් සියන් හා.

පෙළ ගැසුම - මෙරමන් නො ඇසිරූ මුවෝ, නිතැත්නි මෙ ලද සදලෙන් සිහිල් දෙලෙන් සියන් හා වෙනෙහි යෙහෙන් දෙත්.

තේරුම - අනුන් ඇසුරු කරනු නොලැබූ මුවෝ; උසහයක් නැති වැ මැ ( ඉබේට මැ වගේ) ලැබූ තණ කොළ වලිනුත් සිහිල් දියෙනුත් තමන් ගේ ඇත්තන් හා සමඟ කැළේ යහතින් ජීවත් වෙති.

පැහැදුම - තමන් ගේ නෑදෑයන් ගෙන් වෙන් වැ ගොස් අනුන් යටතේ දරුණු වහල් දුක විඳිනු ලබන්නකු ගේ මුවින් නිකුත් වන වගයේ කියම‍ෙනකි මේ. “කැළෑවේ මුවෝ තමන් ගේ තමන් ගේ මැ නෑදෑයින් විනා අනුන් ඇසුරු නො කරති. හැබැයි ඒ මුවන් හට රස ආහර නැති. හොඳ නිවෙස් නැති ඒත් කිම? කැළෙන් ඉබේට වගේ ලැබුණු තණ කොළත් සිසිල් දියත් ඌ තුමූ ලබති. ඒ තණ කොළ ඒ සිහිල් දිය දැන් මා විසින් මුළු දවසේ මැ ඇඟ ඇට පොඩි කැරැ ගෙනැ ඩහ දිය කළ ගණන් වගුරාගෙනැ අමාරුයෙන් ලබා ගිලැගන්නා බත් කටට වඩා කො තරම් අගේ ද? කැළේ මුවෝ උන් ගේ නෑයන් සමඟ අනුන් ගේ බලපෑමක් බල පෑමක් නැති වැ කැළේ මැ යහතින් ජීවත් වෙති. මට මගේ දුක කියන්නට කෝ අම්මෙක් අප්පෙක්? කෝ මා ගැනැ උණු වෙන මගේ ලේ දරු නෑයෙක්?” යන මේ කියමනෙන් කිමක් හැ‍ඟේ ද? තමා නො විඳැපුරුදු; තමා නොලැබූ තමාට නෙලැබුණා වූ යම්කිසි අරමුණක් ගැනැ; තමා දැන් අත්දකිනු ලබන අරමුණ අනවැ උපන් කලකිරීම නිසා යම්කිසි පහන් තොරතුරක් තමා හා සසඳමින් විතර කිරීමයි.

ගැට ලිහුම

මෙරමන් = අනුන්,

යෙහෙන් දෙත් = යහතින් ජීවත් වෙති.

“මුවෝ ‍වෙනෙහි යෙහෙන් දෙනෙත්” යැයි පැරණි සන්නයේ සඳහන් වේ. ඒ බලවත් වැරැදි යෙදුමෙකි. ජීවත් වීමෙහි “දෙ” දයක් විනා “දන” දයෙක් හෙළ බසේ නම් නැති. දෙනෙත් යන්නේ අරුත උපදිත් යනුයි. “සැරදේ; සැරදෙත්” ඈ ඉතා පළට යෙදුම් හෝ විමසන්නැ.

නිතැත්නි = නොතැනින්. නොඋත්සහායෙන්.

322.උපද්නා සිත්නෙති සත්හු සෙත් පත්හු දියේ සිතැවිලි සල්හි රෙදෙන් හිදොවුන් නො මෙ තනන්නේ.

පෙළ ගැසුම - දියේ සත්හු උපද්නා සිත්නෙති සෙත් පත්හු. සිතැවිලි සල්ගි රෙදෙන් ඔවුන් හිඳ නො මෙ තනන්නේ.

තේරුම - ලොවේ සත්හු උපදනා සිතින් ( නම්) සෙතට පැමිණියාහු යැ. සිතුවිලි නමැති අවියේ රුජාවෙන් ඔවුන් ගේ හද නො වෙවුලන්නේ යි.

පැහැදුම - මේ ලොව පිළිබඳ වැ මුළුමනින් මැ කල කිරුණකු ගේ කියමන් කොට‍ෙසකි. ලොවේ ඉපිදැ ජීවත්වනු ලබන හැම සත්තු මැ දුක් විඳිති. හිතුවිලි පරපුර අවියෙකි. ඔය අවියේ කැපුම් කෙටුම්වලින් ඔවුන් ගේ හිත කොතෙකුත් රුජා ලබයි. ඔය රුජාව නැත්තේ උපදමින් හිඳුනා සතුනට පමණෙකි. (පිළිසිඳැගනිමින් හිඳුනා සතුන් හට පමණෙකි) එහෙයින් පිළිසිඳ ගනිමින් පවත්නා සත්තු නම් ලොවේ සෙතට පැමිණි ඇත්තෝ යි.

ගැට ලිහුම

උපද්නා සිත = පිළිසිඳුම් සිත. සැවුම් සිත හා ඉක්බිති වැ නැගෙන හිත් මොහොත. (වියුති චිත්තයෙන් ඉක්බිති වැ නැගෙන චිත්තක්ෂණය ප්රොතිසන්ධි චිත්ත නමි. උපද්නා හිත නම් එයයි)

සල්හි = අවියෙහි වෙසෙසින් මැ තෝමරය, හුල, වැනි දමාගසනු ලබන අවිය යැ සල් නම් සලක් ඇතියේ යැ. තියුණු හුලක් ඇතියේ යැ සෙලි නම්. ඒ වදන අද හෙලි, හෙල්ල යන ඈ සෙයින් වෑවහර වෙයි. අවුරුදු දාහසු දොළොසකට පහළොවකටත් වඩා ඈතැ ඉපැරැණි කල දවසේ දී හෙළයන් වැද්දන් ලෙසින් වන දිවිය ගෙවනා අවදියේ දී උන්ගේ පයේ කටු හුල් ආදිය ඇනී උන් ලෙඩ වූ විටැ සලෙකැ උදවුයෙන් පතුල හාරා කටු හුල් මෑත් කොටැ දමා උන් සුවපත් කිරීම එදාත් දැනුම් පුරුදුකම් ඇතියන් විසින් කරනු ලැබී යැ. සලේ උදවුයෙන් පතුල හෑරීම කළ හෙයින් ඒ කල දවසේ සිටැ මැ ලෙඩට රොවට කරන සිරුර පිළිබඳ කැපුම් කෙටුම් සල්කම නමින් හැඳින්විණ.” ඒ සල්කම නමැති හෙළ වදන “සල්ලම්” නමින් අද දු ගැමි වෑ වහරේ පවතියි. (“එයා මාත් එක්කැ වැඩි පදේට ආවොත් මගෙන් සල්ලම් වෙනවා” යන ඈ සෙයින්) ඔය ඉපැරැණි හෙළ වදන් තමා ශල්ය, ශල්ය කර්ම, යන ආදි ලෙසින් පසු වැ පසු වැ සකු මූණුවරට හැඩ ගැහුණේ. ඒත් විමැසිලි නුවණින් මේ හෙළ වදන් නිදහන් දෙසැ නොබලන හඩුවෝ අසුවල් සකු වදනින් මේ හෙළ වදන බිඳුණා යැ; අසුවල් වගු වදනින් මේ හෙළ වදන බිඳුණා යැයි නිකම් කටට ආවක් බෙණෙති.

රෙදෙන් = රුජාවෙන්. රුජා අරුත්හි වැටෙන ‘රද’ යනු; රෙදේ; රෙදෙති යන ඈ සෙයින් පවතුවක් ලෙස ද රෙදෙන්; රෙදෙහි යන ඈ සෙයින් නමුවක් ලෙස ද වර නැගෙයි.

තනන්නේ = වෙවුලන්නේ. තන දය වෙවුලුම් අරුත දෙයි.

හිදොවුන් = හිද ඔවුන්. ඔවුන් හිද. ඔවුන් ගේ හද.

26. වැද වැනුම් කියමන

323.කියන්නන් ගී අයුණු හුදු ගුණය මෙ බණන් හොත්; දොසත් ගුණ වැනි වැ සුලබ කළ වැද වැනුම් ඉති වේ.

පෙළ ගැසුම - අයුණු කියන්නන් ගි හුදු ගුණය මෙ බණත් හොත්; ගුණ වැනි වැ දොසත් සුලබ කළ වැද වැනුම් ඉති වේ.

තේරුම - අගුණ කියන්නන් මෙන් වැ තනිකර ගුණය මැ පවසත් හොත්; ගුණ කියන්නන් මෙන් වැ දොසත් සුලබ කළ හොත් වැද වැනුම් නමි. - එ - මෙසේ වෙයි.

පැහැදුම - හරියට කෙනෙකු ගේ අගුණ පවසන හැටියෙකින් අගුණ ඉදිරිපත් කරන හැටියෙකින් වැනුමට වැටී ඒ වැනුමේ යටි පිලින් ඔහු ගේ යසස මැ ගුණය මැ ඉදිරිපත් කරන හොත් එය වැද වැනුමෙකි. ඒ වගේ මැ කෙනෙකු ගේ ගුණ පවසන්නාක් මෙන් අගුණ ද ඉදිරිපත් කළ හොත්; ගුණය, යසස, නම්බුව, යහපත්කම, පැණවත් කම ගැනැ වැනුම් කරන්නාක් මෙන් අගුණ, අයසස, අවනම්බුව, වහපත් කම, මෝඩකම පැහැදිලි කරමින් වැනුම් කළ හොත් එය කිමෙක් ද? එය ද වැනුමෙකි. හොඳ කියන්නා වගේ අඟවා හොඳ කීමත් යන දෙක මැ වැද වැනුම් යැ.

ගැට ලිහුම

ගි = මෙන්; වගේ. එකෙක් කියන්නන්හි යැයි ලියාගෙනැ එයට ද “පවසන්නන් මෙන්” යන සැටියෙන් අරුත් දෙයි. “හි” යන්නට මෙන් අරුත ලැබෙන්නේ හෙළ බසෙහි නම් නොවේ. පෛසාවී බසෙහි හෝ එබඳු අරුතක් ඇති “හි” යන්නෙක් වේ දැයි විමසා බැලීම වටී.

අයුණු = අගුණ.

වැද වැනුම් = කපටි වැනුම. රැවටිලි වැනුම. ( වියාජ ස්තුතිසකු.)

324.දිනී ද රම් යමක් තවුස් වැ හො රජ වැ ද තා දිනුයේ දැනේ දෙරණ මෙ පිළි ත- මද නො කරත් පත්.

පෙළ ගැසුම - තවුස් වැ හො රම් යමක් දිනී ද; තා රජ වැ ද දැන් දිනුයේ ඒ දෙරණ මෙ. පිළි ත-මද නො කරත් පත්.

තේරුම - තවුසකු වැලා පවා රාමයා යමක් දිනුයේ ද; තා රජ වැලාත් දැන් දිනුයේ ඒ පොළොව මැයි ආයේ; තා උඩඟු නො කරත හොත් මැනැවි.

පැහැදුම - මේ කියන රාමයා පරශු රාමයා යැ. හේ තවුසකු වැලා ඉඳැ මුළු ලොව දිනුවෙකි. නින්දාවක් ලෙස මෙහි ඒ පවන ඉදිරිපත් කරන නමුත් කිවියා විසින් එයින් කරනු ලබන්නේ බලවත් ලෙස මැ ගුණ කී මෙකි.

“තවුසා ඉතා මැ අසර‍ණයෙකි; අහිංසකයෙකි. එහෙවු අසරණයකු වැලා අහිංසකයකු වැලා ඉඳයි රාමයා මේ මුළු පොළොව දිනුයේ.

තා දැන් මහ රජකු වැලාත් දිනුයේ ඒ අසරණ තවුසා විසින් දිනනු ලැබූ පොළොව මැ නොවැ? එහෙයින් මේ දිනීම තට එතරම් අහංකාරයට වටින දිනී‍ෙමක් නො වෙයි හැයි, තවුසකු පවා දිනාගත් දෙයක් දිනාගැනීම කුමන කජ්ජෙක්ද? ඔය පැදියේ උඩු පිලින් ලැබෙන අරුතයි. එහෙත් යටි පිලින් ලැබෙනුයේ එයට වඩා වෙනස් හැඟුමෙකි.

පරශු රාමයා සෙසු පටු එකෙක් නො වේ. තම මව ගේ ගෙල කපා ඇය මරා දමාත් යළි ඇයට පණ දුන් මහා බලවතෙකි. ඒ විතරෙකැ. හේ තෙමේ මහ දෙවියා පවා පැහැදැවූයේ යැ. ඒ මහ දෙවියා දුන් දිව පොරොවින් මුළු ලොව දිනුයේ යැ. ඉතින් වෙනු දෙවියා ගේ මැ අවතාරය ඒ පරශු රාමයා වැනි මහ බලවතකු මහ දෙවියා විසින් මැ සපයනු ලැබූ අවියේ බලයෙන් දිනූ මේ මහ පොළොව, නර දෙටුවකු වූ ඔබ කිසි මැ දෙවු බල විකුමක් නැති වැ ඔබේ හටන් බලයෙන් මැ දිනීම සෙසු පටු කමෙක් ද? මෙසේ උඩු පිලින් අගුණ කියන්නාක් මෙන් යටි පිලින් ගුණ කීම වැද වැනුමෙකි.

325. කලතුරු ත මෙ පොළෝ සියහ බුජඟ සසඟ ලද දැන් අහිකර කවර සේ පහළ වියැ හො ත- මුළු දියේ?

පෙළ ගැසුම - ත- කලතුරු මෙ පොළෝ සියහ බුජඟ සසඟ ලද. දැන් ‍මුළු දියේ ත අහිකර කවර සේ පහළ වියැ හො!

තේරුම - ඔබ ගේ බිරිය වූ මේ පොළොව නිතොර වැ සලෙළන් හා සසඟ - එකතුව - ලදි. දැන් මුළු ලොවේ ත ගේ ආඩම්බරය කොයි හැටියෙන් පළට වූයේ දෝහෝ!

පැහැදුම - මුළු පොළොවේ පතියා ඔබ යැ යන ආඩම්බර කතාව මුළු ලොවේ මැ පළට වී පවතී. ඒත් ඒ තරම් හැංගියැ යුතු කතාවෙක් තව නම් නැති. ඒ හැයි? පොළොව මහ මැ වෙසඟනකි. රට පුරා මැ හිඳුනා සලෙළන් හා සසඟ ලබන වෙසඟනකි. වෙසඟන ගේ පළට සැමියෙකු වත හොත් ඔහු තරම් ඒ විළි ලැජ්ජාව විඳින තව එකෙක් වේ ද ලොවේ? කොයි හැටියෙකින් හරි ඇය ගේ සැමියා ඔබ යැ යන කතාව ලොවේ පැතිරැ තිබේ. ඒ විළි ලැජ්ජා නැති කතාව කවර කවර සැටියෙන් පළට වූයේ ද හෝ! පුදුමයි. එහෙයින් දැන් ඔබට වටින්නේ ඇය ගේ සැමියා ඔබ යැ කියා අහංකාරයක් පහළ වන්නේ කෙසේ ද? මේ එහි උඩු පිලයි. දැන් යටි පිලේ අරුත් විමසමු.

මේ මහ පොළොව බ්රවජඟයා ගේ - නයා ගේ - සසඟය ලදි. ඔවු අනත් නම් මහ නයා ගේ පෙණ නල මතුයෙහි යැ මේ මහ පොළොව පවත්නේ. එහෙවු මේ මහ පොළොවේ එක මැ හිමියා ඔබ යැ. එහෙයින් අනක් නයා පවා ඔබගේ දසුවෙකි; ඔබ ගේ බිරිය වු පොළොව තම පෙණය මතැ තබාගෙනැ හිඳුනා හෙයින්. එබඳු මහ පුරිසකු වූ ඔබට ඒ ගැන පවා අහංකාරයක් පහළ විණි ද? නැති ( ඉතිින් ඔබ ගේ උසස්තාව ගැනැ තව කියනු කිම?)

මෙසේ උඩු පිලින් අගුණ පවසන්නාක් මෙන් අඟවා යටි පිලින් ගුණ පැවසුණු හෙයින් මෙය ද වැද වැනුමෙකි. පැදියේ උඩු පිලින් ගුණ කියන්නාක් මෙන් අඟවා යටි පිලින් දොස් ඉදිරිපත් කිරීමත් වැද වැනුම් මැ නොවැ? එහෙත් එයට නිදසුන් මෙහි නො දැක්විණ. විමසමු එ බන්දක්.

කුමාරතුඟ මුනිදස් හෙළ මහ රුසියාණන් හා සමඟ කළ පාලි වාදයේ දී මැදඋයන්ගොඩ විමල්කිත් හිමියන් හට එක්තරා ගදබුවාණ කෙනෙක් තුති පතක් පිළිගැන්වූ හ. ඒ තුති පත ඒ දෙ වැනි වගයේ වැද වැනුමෙකි. මේ අහාබලන්නැ.

සැරදෙත් මැද උයන් ගොඩ පඬු පඬු රදාණෝ නිතඹ පසු පසැ සිරි, තව පහළැ සරසවී වස්වා!

ඔබ ඔබනට සිතා - පාලි වාදය පිට නැඟැ

තමා රණ වාද එක විරු නම ඇස්සූ කුමා රණ තුංගයන් ගේ කට වැස්සූ

දුක දැකැ තකු මකන - එක මැ පින් පිඬුවාණෙනි,

අඬු ක ඩ කඩා දිගු කළ මහ පහර දිදී දඬු ගොඩ උඩැ මැ බෑවූ නමුදු නො පැරැදී

පිළිමලු තමා බස පිළිගත්හයි පවසා විළි නැති කමට එමැ දොස් කොටැ දී ඉවසා පිළි නොගැනුමේ දොස කිළියේ දොරින් වසා එළියට නො බැසැ වැජැඹුණ මැනැවි වස් වසා.

සි වු රු කිස එක මැ පටියෙන් පිරිමසන ඇ වු රු මට පහළ තොරතුරු හිස කසන ප වු රු බොරු කරන මහ බැරි කම් වසන ක වු රු ඔබට සරි වෙති දැන් ලකැ වසන?

ක ළු මැ ද රුපුන් ගේ නම් මැඩගෙනැ එඩිය ඔ ළු මැ ද ඉඩ දෙවා තව හැකි නම් වැඩිය මු ළු මැ ද උයන් ගොඩ හැඩ කළ දද කොඩිය කෙළු මැ ‘ද මුළු මුළුව බැබළේ පින්පිඩිය.

මෙහි අරුත හිතත් මැ හිතත් මැ ඔබ හිනායෙන් මැ පිපෙනු නියති. එබඳු හිනා රසයක් උපදින්නේ මෙහි කාවැදී ඇති වැද වැනුම් ලකර නිසායි.

ගැට ලිහුම -

කලතුරු = බිරිය - කල් + අතුරු> කලතුරු- කල් නම් හිත් අදනා ගුණයයි. - කාන්ත ගුණයයි. අතුරු නම් අතුරුල්ලයි- තුරුල්ලයි- හිත් අදනා තුරුල්ලක් ඇති හෙයින් බිරිය කලතුරු නමි - කලත්ර සකු-

බුජඟ = සලෙළ යැ උරග යැ යන දෙ අරුත මැ දෙයි. මෙහි සඳහන් උරගා නම් අනත් නයා යැ. හේ පෙණ ගොබයෙන් මහ පොළොව උසුලා හිඳී ලු!


27. නිදසුන් කියමන

326.පෙරැ දක්වා වතක් එ වත් සුදුසු පලක් ඉටු දක්වත් එයින් අන් හෝ වෙ හේ නිදසුන්. මේ ගින්.

පෙළ ගැසුම - පෙරැ වතක් දක්වා එ වත් සුදුසු ඉටු පලක්, එයින් අන් හො දක්වත් හේ නිදසුන් වෙ. මේ ගින්.

තේරුම - කල් තබා මැ යම්කිසි පවතක් පෙන්වා ඒ පවතට ගැළැපෙන යහපත් පලයක් හෝ අයහපත් පලක් හෝ දක්වත හොත් ඒ නිදසුන් කියමන නම් වේ. මේ අයුරිනි.

පැහැදුම - කතා පවතින් ඉස්මතු කැරැගත් පල පවතයි මෙහි නිදසුන් නමින් ගැනෙන්නේ. කතා පවත කලින් දක්වාලා එයින් මැ පලය ඉස්මතු කිරීම නිසා මුළු කතා පවතේ මැ හරය එහි ඇදී එයින් ඒ කතා පවත තවදු හැඩ වැඩ වන්නට කො තෙකුත් ඉඩ කඩ තිබේ. අනෙක් අතට කතා පවතට වඩා එයින් නැඟණු පල පවත කෙලින් මැ මනසට අරමුණු වන්නට ද පිළිවනි. ඒ කවර සැටියෙකින් හෝ වේ වා. ඒ නිසා මුළු කියමත් පිළිවෙළ මැ සැරැසෙනු නම් නියති.

ගැට ලිහුම

වතක් - කතාපවතක් - වස්තුවක්-‍‍

ඉටු - යහපත් පැරැණි අත් පිට පත්වලැත් පැරැණි සන්නයේත් යෙදී තිබෙන්නේ ඉඳි කියා යැ. ඒ ලියන අප්පුවන් අතින් වූ වරදෙකි. පැරැණි සන්නයේ මුල් මැ අත් පිටපත්වලැ ඉටු කියා යෙදී තිබෙන්නට ඇති. එහෙත් ‘ටු’ යන්න ලියමන් දොසකින් “දි” යන්නට හැරි තිබේ එහෙත් පුදුමය එය නො වේ මෑතැ මෑතැ අරුත්, වියබන්, සන්න, ගැටපද ලියුවන් පවා “ඉදි” යන වදන ලියමින් එයට ඍජු යැයි අරුත් ද දෙමින් ඒ ඍජු යන්නට ගවු ගණනෙකින් හෝ ළං නොවන “යහපත්”, යන අදහසක් එයට මැ ගබ් ගන්වන්නට වෑයම් කිරීමයි. මෙ බඳු වදන් මරුවන් හට ලොවේ තවත් නොකළ හැකි අපරාදයෙක් නැති.

i. ඉටු පල නිදසුන.

327.නැ‍ඟෙත් මෙ හිරු සිරි පතුරුවා තඹර වෙනේ පොහොසත් හෙ හඟවන්නට පළ වූ සුළානුගුරුව

පෙළ ගැසුම - හිරු නැඟෙත් ම තඹර වෙනේ සිරි පතුරුවා. පළ වූ සුළ අනුගුරුව හඟවන්නට හේ තෙමේ පොහොසත්.

තේරුම - හිරු නැ‍ඟෙත් මැ නෙළුම් වනයෙහි සිරියාව පතුරුවයි. පළට වූ යහළු අත්උදවුව අඟවන්නට හේ තෙමේ පොහොසත් යැ.

පැහැදුම - යහළුවකු තමා දියුණුවත් මැ, තමා වත් පොහොසත් කමින් නැඟී හිටුත් මැ, තමා මුදල හදලින් නිල තනතුරින් වැඩී වජඹිත් මැ, ඔහුට තමා ගේ පණ බඳු යහළු දනන් ළෙන් ගතු දනන් නෑ සිය දනන් සිහි පත්වේ නම්; “ඒ ඇත්තන් හටත් ලොවේ යම්තමින් වත් දිවි පෙවෙත ගෙවන්නට තරමෙකැ හෝ අත්උදවුවක් දියැ යුතු යැ” යන හිතැවිලි මතක් හෝ පහළ වේ නම්; එය උසස් මහත්මා ගුණයෙකි. හිරු එ බඳු මහත්මා කෙනෙකි. මුළු රෑ මැ විපතට වැටී සිටැ දනයෙන් බලයෙන් පිරිහෙළී සිටැ හිමිදිරියේ ඔහු යළි සැපතට පැමිණෙත් මැ සිය නෙළුම් යහළු දනන් අතරැත් තමා ලත් සැපතින් කොටහක් බෙදා හැරීමට කිසි විටෙකැ ඔහුට නොසිහිපත් නො වේ. එහෙයින් යහළු දනන් හට අත් උදවු දියැ යුත්තේ මෙන්න මේ හැටියට යැයි ලොවට අඟවන්නට ඒ හිරු තෙමේ සකසා පොහොසත් යැ.

ගැට ලිහුම

නැඟෙත් මෙ = පිබිදෙත් මැ, උදාවත් මැ, දියුණුවත් මැ යන අරුත් එක සේ මේ වදනින් බෙදෙයි.

• “ඇසෙන්නෙ කාකා හඬ සෑම පැත්තෙන්

        නැ‍ඟෙවු කියන්නා වැනි දැන් මැ නින්දෙන්”

මේ ගුරුදෙවි පබ‍ඳෙහි නැඟෙවු යන වදන පිබිදෙවු යන අරුත පමණක් දුන්නේ යැ.

• “දුගී වැ හෙත් දී යහනේ සුවන්නා

        නැඟී බලත් හොත් අද මා කුවන්තා”

මේ කිවිසුරාණන් ගේ පබ‍ඳෙහි නැඟී යන වදන පිබිදී යැ දියුණු වී යැ යන දෙ අරුත දිනී.

• හං සිංහය‍ාණෙනි, නිඳන්නැ හිරුයි නැඟෙන්නේ” මේ විරුසේකර ජයත් ඇජරාණන් ගේ පබඳෙහි නැ‍ඟෙන්නේ යනු උදාවන්නේ යන අරුත සඳහා යෙදිණ. සුළානුගුරුව = සුළ අනුගුරුව. යහළු අත් අදවුව. ( සුහෘද අනුග්රහය) මෙහි සුහෘද යන්නෙන් සුළ යන වදන හෝ අනුග්රහ යන්නෙන් අනුගුරු යන වදන හෝ තැනිණැයි වරදවා නො සිතුව මැනැවි. සුහෘද, අනුග්රේහ, යන වදන් සකු බසෙහි සකු නියරට අනුහුරු වැ තැනුණාක් මෙන් මැ; සුළ යැ අනුගුරු යැ යන වදන් හෙළ බසෙහි හෙළු නියරට අනුවැ හෙළු වදන් මුල්වලින් අන් බසකට නොගැති වැ තැනුණු වදන් යැ.

ii. අනිටු පල නිදසුන.

328.අසුර බළො සහරොස් නසිත්; නසුත් මෙ රුදුරා දියෙහි ඉසුරු විරුදුනට වනස් වනු දන්වනුවෝ.

පෙළ ගැසුම - රුදුරා නසුත් මෙ සහ රොස් අසුර බළො; දියෙහි ඉසුරු විරුදුනට වනස් වනු දන්වනුවෝ නසිත්.

තේරුම - මෙහෙසුරු දෙවියා නටත් මැ ( නටන කල්හි මැ) රොසින් යුතු අසුර සෙබළෝ තුමූ; ලොවේ ලොකු ලොක්කන් කෙරෙහි එරෙහි වන ඇත්තන් හට විපත වන විත්තිය දන්වන්නාහු නැසීයන්නාහු යැ.

පැහැදුම- අසුරයෝ සුරයන් කෙරෙහි බලවත් රොසින් පසු වන්නෝ යැ. හැයි? උන් ගේ රට සුරයන් විසින් උදුරාගනු ලැබූ නිසා. ඉතින් එය ටිකකට, පසකට ලමු. ඉසුරා ඔබ හඳුනනවා ද? ඔවු, අර කෙලෙස් ගිරේ වසන මහ ලොක්කා . දෙවියන් ගේත් මහ දෙවියා නොවැ? “ ඔහු මහ දෙවියා යැ කියා අසුර සෙබළන් තදින් මැ රොසින් පිපිරෙන්නේ. ඉතින් ඒ පවතත් ටිකකට අයින් කරමු. ඔය මහ දෙවියා හැම දා මැ හවස් වරුයේ පටන් ගන්නවා නටන්නට. එය උන්නැහේ ගේ පුරුද්දක් හැබැයි නටන්නේ අමු හෙලුයෙන්. හරි ලස්සන ඇති නො? ඔය හාදයා නටන විටැ වන අලි මැ පුදුමයක් ඔබ දන්නවා යැ? ඈ! නෑ කියුවා! ඒක නො වේ ‘නම් දැනැගන්නට එපා යැ? ඔන්න එහෙනම් අහගන්නැ ඔහු නටන විටැ ඔහු ගේ ඇ‍ඟේ හැපෙන්නට ඕනෑ නෑ. ලොවේ කොහි කොහි හිටියත් ඔහු ගැනැ රොසින් පැළැඹෙන අසුරයන් නිකම් නිකම් කුරුවලු ගෙඩි ගැලවී වැටෙන්නාක් මෙන් මැරී වැටෙනවා ඒ මැරී වැටිම හරියට කුමක් වගේ ද? ලොවේ උතුම් ලොකු ලොක්කන් හට එරෙහි වන අයට විපත් වන්නේ මෙන්න මේ හැටියට යැයි ඒ අසුර සෙබළන් මැ කටින් කීමෙන් නො වැ කැරුමෙන් මැ පෙන්නන්නා වගේ.

මේ කියමනින් පෑවේත් එක්තරා නිදසුනෙකි. එය අනිටු පල නිදසුනෙකි. හැබැයි පවත කලින් දක්වාලා නිදසුන ඉක්බිති වැ ඉදිරිපත් කිරීම් නො වේ, මෙ තැනැ දී සිදු වූයේ. පවත පවසන ගමන් නිදසුන ද ඒ හා සමඟ වැ මැ එකට ඉදිරිපත් කරනු ලැබිණ. මේ අනුවැ හිතා බලන්නැ. නිදසුන ඉදිරි පත් කිරීමේ පිළිවෙළවල් තු‍ෙනකි.

i. කලින් නිදසුන දක්වා පවත පසු වැ දැක්වීම යැ; ii. පවත හා සමඟ වැ නිදසුනත් එක විටැ මැ ඉදිරිපත් කිරීම යැ; iii. පවත කලින් දක්වා නිදසුන ඉක්බිති වැ සැඳැහීම යැ; යනුයි ඒ තුන් පිළිවෙළ. ඔය තුන් පිළිවෙළ, ඉටු පල නිදසුන යැ අනිටු පල නිදසුන යැ යන දෙබෙදුම අනුවැ ගොනු හයෙක් වෙයි.

i. පෙරටු පවත් ඉටු පල නිදසුන යැ ii. පෙරටු පවත් අනිටු පල නිදසුන යැ iii. මැදි පවත් ඉටු පල නිදසුන යැ iv. මැදි පවත් අනිටු පල නිදසුන යැ v. අගු පවත් ඉටු පල නිදසුන යැ vi. අගු පවත් අනිටු පල නිදසුන යැ

යන සැටියෙන් මේ එක් එක් ගොනුවක් පිළිබඳ නිසි විතර ඔබ මැ විමසාබලත් වා!

ගැට ලිහුම

අසුර බළො = අසුර හටන් කරුවෝ. බළ යන වදනට හපන් යැ යන අරුත ඇති සේ යන වදන ඇඳීමෙනි සෙබළ යන වදන තැනෙන්නේ.

රුදුරා = රුදු සුරා. මහ දෙවියා. හේ තෙමේ ලොව නසන්නේ යි. එහෙයින් මෑත් හේ රුදුරු නමින් හෙළ බසෙහි හැඳින්වෙන්නේ යැ. සකුයෙහි ද රුද්ර නමින් ඉසුරා හැඳින්වේ. ඒ සකු වදන රෝදනයෙහි රුද් පවතුවට රක් පස ඇඳීමෙන් යැ තැනුණේ.

නසුත් මෙ = නටත් මැ

නසිත් = මැරෙත්. වැනසෙත්.


28. සහ පෙරැළුම් කියමන

329.සහ බව් කියමනින් සභා කියමන් නම් වේ පෙරැළුමෙන් පෙරැළුම් නම්‍ ගුණ කම් මෙ දෙකැ මේ ගින්.

පෙළ ගැසුම - ගුණ කම් මෙ දෙකැ කියමනින් සහ බව් සභා කියමන් නම් වේ. ගුණ කම් දෙකැ පෙරැළුමෙන් පෙරැළුම් නම් වේ. මේ ගින්. තේරුම - ගුණය යැ පැවැත්මය යැ යන මේ දෙකෙහි කියමන නිසා ඇති වන එකතු බව සභා කියමන් නම් වන්නේ යැ. ඒ ගුණය යැ පැවැත්මය යැ යන දෙකෙහි මැ පෙරැළුමෙන් (හුවමාරුයෙන්) පෙරැළුම් නම් වන්නේ යැ. මේ සැටි යි.

පැහැදුම - මෙහි ලකර වෙසෙස් දෙකෙකි; සහ කියමන් ලකර යැ, පෙරුළුම් කියමන් ලකර යැ යන සැටියෙන්. ගුණයත් පැවැත්මත් යන දෙක කියමනෙහි දී ඒ කියමන හා සමඟ ඇති කරැගනු ලබන්නා වූ බැඳියාව තමා “සහ කියමන්” නමින් ලකර වෙසෙක් කොටැ ගැනුණේ. ඒ ගුණය පැවැතුම යන දෙක අනුව මැ ඇති වන නො බැඳියාව හෙවත් ලිහිල් බව ද ( එසේ ලිහිල් වීම නිසා මැ එක් තැනෙකින් තවත් තැනකට ඇති වන හුවමාරුව ද) ලකර වෙසෙසක් කොටැ තැකිණ. ඒ ලකර වෙසෙස තමා “පෙරුළුම් කියමන්” නමින් ගැනෙනුයේ හැබැයි එක් කරුණක් නම් තකහනියක් විමසා විසිතාබැලියැ යුත්තේ යි. ඇත්තෙන් මැ මේ සහකියමන ලකර වෙසෙසෙක් ද යනුයි ඒ කරුණ නම්. “වැද්දා ඔහු ගේ බල්ලාත් සමඟ දඩයමේ යයි” මෙහි ඇති ලකරනය කිම? ඒත් මේ සහ කියමනෙකි. සහ කියමනක් වූ පලියට මැ එය ලකරෙක් නො වේ. ඉතින් මේ නිදසුනට ඇහුම් කන් දෙන්නැ.

“රණ කෙළියට වන් ගැමුණු අබාවෝ සිය දහසක් දෙමළයන් ගේ හදවත් සමඟ වැ මැ පලිස ලෙළැවූහ.” මේත් සහ කියමනෙකි. ඒත් මෙහි හොඳ මිහිරි ගතියෙක් මනසට දැනේ. ඉතින් ඒ මිහිරි ගතිය ආයේ කෙසේ ද? “හදවත් සමඟ පලිස ලෙළැවූහ” යන තැනින් නැඟී ආ අතිසය ලකර නිසා යැ. ඔන්න ඒ නිසා සිහියට ගන්නැ. “සහ කියමන” ලකර වෙසෙසට අයිති වුව ද එය නිකම් මැ තඹයෙන් තැනූ අබරණයක් වැනි යැ. හැබැයි අතිසය ලකර වැනි රන් වෙසෙසක් එයට කලවම් වූ විටැ නම්; එහි බැබැළීම ජයට සිදු වෙයි.



i. සහ කියමන.

330.දිගු වී මැයි මේ රෑ සමඟ තමා නිසස් හා වසනා පළඳනා පඬු පැහැ ගත් සමගිනඟ හා

පෙළ ගැසුම - මේ රෑ තමා නිසස් හා සමඟ දිගු වී මැයි මේ වසනා පළඳනා තමා අග හා සමඟින් පඬු පැහැ ගත්.

තේරුම - මේ රැයවල් මගේ හිල්ලීම හා සමඟ දික් වූයේ මැයැ. මේ හඳ පළඳනාවල් හෙවත් හඳ පහනින් එළිය ගැන්වුණු මේ රැයවල් මගේ අවයව හා සමඟ වැ මැ පඬු පැහැය ගති.

පැහැදුම - මේ වියොවක ගේ කියමනෙකි. ඕ මුළු රෑ මැ නිඳි නැති වැ හිඳියි. එහෙයින් කල දවස් ඉතා දිග සේ ඇයට වැටහෙයි. කො තෙකුත් හූල්ලයි. රෑ යම් තාක් දිග ද ඇය ගේ හීල්ලීමත් ඒ තරම් මැ දිග බවයි ඇයට හැ‍ඟෙන්නේ. මේ කියමනට ද මනස සකසා යොමු කරන්නැ. රැය පමණට මැ හීල්ලීම ද දික් වූ බව හැඟවීම නො වේ ද මේ කියමනේ රසය වැවීයාමට හෙය වුණේ? ඉතින් අතිසය ලකර බිඳක් මෙයට මුසු වැ ඇති වග ඇඟෙන්නේ නැද්ද? ඒ පැදියේ අනෙක් අඩත් ඒ හැටියට මැ අතිසය ලකර නිසා මැ යැ රසය වැවීගොහින් ඇත්තේ ඇය කො තෙකුත් හූල්ලා, ඇය කො තෙකුත් විරහ ගිනි උහුළා, ඇය කො තෙකුත් නිදි වරා; ඇඟ පිපි හළු වැ සුදු මැළි වැ ගිය සේ යැ. එහෙයින් යැ මේ සඳ පළඳනා හා සමඟ වැ මගේ සිරුරත් පඩු පැහැය ගතියි ඇය විසින් මැ පැවසුණේ. හඳ පහනින් එළිය ගැන්වුණ රෑ කල දවස සැබැවින් මැ සුදු මැළි මැ තමා. ඇඟත් එ තරම් මැ සුදු මැළි යැයි පැවසිමෙන් ද සිත්තම් වූයේ තරමෙකැ අතිසය ලකරෙක් නු?

ගැට ලිහුම

නිසස් = “හා” යි ගා හෙළනු ලබන දුක් සුසුම. මියුරු සඳෙස් කරුවෝ සවස යනුයෙන් මෙය හැඳින්වූ හ.

“එන වේලා දැනැ වේලා බුදිනු ලො ලා

කඳුළු දු ලා  පිනි මැ, නලා සවස 		 ල  ලා,” 

යන පැදියේ දී,

හෙළ ගැමියා විසින් මෙය හැඳින්වෙන්නේ “හීල්ලිල්ල” යන වදනින් යැ ( නිශ්වාස, සකු)

වසනා පළඳනා = හඳ පහන් රැය. නා නම් නයා යැ. වෙසෙසින් මැ පළට වු නයකු හෙයින් රාහු තනිකර මැ “නා” යන නමින් ගැනෙයි ඒ “රාහු” නම් නයාට වසඟ වන හෙයින් ඉරු සඳු යන දෙ දෙනා මැ වසනා යන නමට සුදුස්සෝයැ. එහෙත් හිරුට ද වඩා ඔබල ලෙස නිතොර නිතොර වැ මැ පාහේ රාහු වසඟයට පැමිණෙන නිසා, සඳු තකහනි‍යක් මැ “වසනා” යන නමින් හැඳින්වෙන්නේයි. ඉතින්; ඒ වසනාවා, ( සඳු) පළඳනාව වූයේ යමකට ද ඕ වසන‍ා පළඳනා නමු.

ii. පෙරැළුම් කියමන

331.සියල් යස මෙ ගත්හි සෙරෙන් රුපු දෙරණිසුරන් රැස් කළ සඳ රැස් විමල් ත - අත්නි කග පහර දී

පෙළ ගැසුම - රුපු දෙරණිසුරන් සෙරෙන් රැස් කළ සඳ රැස් විමල් සියල් යස මෙ න අත්නි කග පහර දී - තො - ගත්හි.

තේරුම - හතුරු රජුන් බොහෝ කලක් මුළුල්ලේ එකතු කළ, හඳ එළිය බඳු පිරිසුදු මුළු යසස මැ තගේ අතින් කඩු පහර දීලා තෝ ගත්තෙහි යැ.

පැහැදුම - යමක් දී ඒ වෙනුවට. වෙන යමක් ලබා ගැන්ම පෙරැළුම් කියමන හෙවත් හුවමාරු කියමන නමි. “හතුරු රජුන් බොහෝ කලක් මුළුල්ලේ එක් තැන් කැරැගත් ඉතා පිරිසුදු, හඳ රැස් වගේ මැ පිරිසුදු කිතු ගොස තෝ ලබාගත්තෙහි යැ” යන පැවැසුමෙන් ලබාගත් දෙය පැහැදිලි වේ “තගේ අතින් කඩු පහර දී” යන පැවැසුමේ දී දුන්දෙය පැහැදිලි වේ මෙසේ “කග පහර දී යසස ලබ‍ා- ගත්තෙහි” යන මේ යෙදුම පෙරුළුම් කියමන් ලකරට නිදසුන් යැ. කලින් පෑ සහ කියමන් වෙසෙසට වඩා මේ හුවමාරු කියමන් වෙසෙස හුදකලා වැ ( වෙන රසයක් මිහිරක් හා නො කළතා හුදෙකලා වැ ) යෙදුණු ද තරමක් රසවත් යැ. එහෙත් “සඳරැස් විමල්” වැනි තව රස මිදුළු හා සියොදා ලූ කලැ මෙහි රසය වඩා පළට වැ හැඟී යෙයි හුවමාරුයේ තරාතිරම අනුවැ හුවමාරු කියමන කිහිප වගයකට බෙදෙයි; සම හුවමාරුව යැ නොසම හුවමාරුව යැ යන සැටියෙන්. යම් දෙයක් දී අගයෙන් හා සම දෙයක් ලබාගැන්ම සම හුවමාරුවයි. වඩා වටනා දෙයක් දී නොවටනා දෙයක් ගැනීමත්, නොවටනා දෙයක් දී වටනා දෙයක් ගැනීමත් නොසම හුවමාරුවයි.

ගැට ලිහුම-

සෙරෙන් = බොහෝ කලෙකින් - බොහෝ කලක් මුළුල්ලේ යැ යූ සේයි-

දෙරණි සුරන් = පොළෝ පතියන්, රජුන්, පෙරැ කල දවසේදී මුළු රටේ මැ බිම රජු ගේ අයතිය වියැ. එහෙයින් යැ රජු දෙරණිසුරු - දෙරණැ ඉසුරු- යන නම ලදුයේ. ලක් පොළොව නව මිණි දෙරණ නම් යැ. මේ අහන්නැ ඒ අනුවැ ලක් රජුන් සැඳැහුණු හැටි කිවිසුරු කාවියාණන් විසින්.

“ නව මිණි දෙරණිසුරු රජ කුමරුවන් ලදු

ගුණ මිණි බිසෝ හිමි රජ කුල සිරින් 	සැදූ”

29. ආසී කියමන

332. කැමැතිය වත්හි වූ පැතිවිලි වෙ ආසී නම් . හෙ මෙසේ; තා රකී වා තෙනෙත් විසියත් නොවිසා”

පෙළ ගැයුම - කැමැතිය වත්හි වූ පැතිවිලි ආසී නම් වේ. හෙ මෙසේ “විසියත් නො විසා තෙනෙත් තා රකී වා!

තේරුම - රිසි වූ - කැමැත්ත පවත්නා වූ - දේවල් - වස්තුන්- කෙරෙහි අරමුණ වන පැතුම් ආසී නම් වෙයි. ඒ මේ සැටියි. “වදනටත් මනසටත් ගොදුරු නො වන්නා වූ තෙනෙතා ඔබ රකී වා”

පැහැදුම - ලොවැ පවත්නා සපණ නොපණ සියලු දෑ වත් නමි. ඒ වතුන් අරමුණු කොටැගෙනැ ඒ වතුන් පිළිබඳ වැ කරනු ලබන පැතීම ආසී නමින් ගැනේ. ආසී කියමන ඇත්තෙන් මැ කියමන් වෙසෙසක් තමා. එහෙත් දංඩින් පැවැසුව ද වාමනයන් පැවැසුව ද ඒ නම් ලකර වෙසෙසෙක් නො වේ. එහෙයින් ඒ ගැනැ කුමට කල නසමු ද?

ගැට ලිහුම -

විසියත් = විසි; අත් වදන යැ මනස යැ යන දෙක.

නො විසා = නො ගොදුරු වූ. අරමුණු නොවන්නා වූ ඉසුරා වනාහී මේ හැඩය ඇත්තේ යැ, මෙ බඳු ගති ගුණ ඇත්තේ යැ, මෙ බඳු බල හැකියාවන් ඇත්තේ යැයි ඔහු පිළිබඳ නිරවුල් පැවසිමක් කිරීමට හෝ ඔහු පිළිබඳ වැ නිරවුල් පැහැදිලි හිතැවිලි මතක් ඉපිදැවිමට හෝ සමත් එකෙක් ලොවේ නැති. එහෙයින් යැ තෙනෙතා විසියන් නො විසා නම් ගුණයට හිමි වනුයේ.

30. මුසු කියමන

333. ලකළ එක් ලකරක් උවමැ නොඑක් ලකරිනි සුදුසු රුවන් දම් මුසු යැ වියෙන් විසිතුරු. හෙ මෙසේ:

පෙළ ගැසුම - උවම් ඈ නො එක් ලකරිනි ලකළ රුවන් දම් සුදුසු විසිතුරු එක් ලකරක් මුසු යැ වියෙත්. හෙ මෙසේ.

තේරුම - උවම් ආදී නොයෙක් සැටි ලකර වලින් සැරැහුණු හරියට මැණික් වැළක් මෙන් නොයෙක් හැටියෙන් ලස්සන වූ එක ලකරක් “මුසු” යැයි කියති. ඒ මේ සැටියි.

පැහැදුම - මුසු නමින් එක ලකර වෙසෙසෙක් වෙයි. ඒ ලකර වනාහි උවම් යැ දිවැස් යැ රුවස් යැ යන ආදි නොයෙක් වගයේ ලකරවලින් කළවම් වූ ලකර කියමනයි. එ සැබැවින් මැ ඉතා විසිතුරු යැ. හරියට මිණි වැළක්; රුවන් මාලයක් වැන්නේ යැ. මෙය වෙසෙසි අමුතු ලකර වගයක් ලෙස දැක්වුණ නමුත් ඒ දැක්වීම මනහර යැයි අපි නො කියම්හ. එ හැයි? එක එක ලකර වෙසෙස් කළවම් කොටැ වෙන මැ ලකර වෙසෙසක් සේ හැඳින්වීම නොනිසි හෙයිනි එහෙත් රස දන්නන් හට ඒ අමුතු මැ වගයකට නො යොදා මැ නොහැකි වන්නට ඇති. හොඳට රහමෙරෙහි රස විඳින්නෝ “කුකුළු පෙඳු” (කොක්ටේල්) නමින් මත්පැන් වෙසෙසක් රහ කරැකරැ ගිලැ දමති. හැබෑවට මැ ඒ අමුතු මැ මත්පැන් වගයෙක් යැ; එක එක මත් පැන් ජාති එක එක පදමට ලා කළවම් කොටැ තැනුණක් මිසැ? ඉතින් ඒ වගේ මුසු ලකර යන නම දී, එක එක ලකර වෙසෙස් එක එක හැටියට එක එක තරමට, එක එක පදමට, කළතා යොදා අපි රස විඳිමු. එහෙත් ඒ “ලකර මුසුව” යැ කියා මිසැ, “විසිතුරු එක් ලකර “ යැ කියා අමුතු මැ වගයේ ලකර වෙසෙසක් සේ දක්නා දුඹුල් ඇස අපට නො වේ වා!

334. නැගෙත් පියුම් රිවි සිරිමත් වත් සඳෙවු තා පළ තෙදුනුදා පැමිණෙත් සබඳහු දියේ පැළැඹෙත්.

පෙළ ගැසුම - රිවි නැගෙත් පියුම් තා වත්සඳ එවු සිරිමත් පළතෙදුන් උදා පැමිණෙත් සබඳහු දියේ පැළැඹෙත්.

තේරුම - හිරු නැ‍ඟෙත් මැ නෙළුම් මල් ඔබ ගේ මූණු හඳ මෙන් සිරියාවත් වෙයි. ( ඒ සැබෑ මැයි ) පළට වූ තෙද ඇත්තන් වැඩි දියුණුවට පැමිණෙන කල්හි මැ යහළුවෝ ලොවේ වැජැඹෙති.

පැහැදුම - මේ කියමන හරියට කුකුළුපෙඳුවක් බඳු යි. එක එක වගයේ පිහාටු එක එක තරමට නිසි නිසි තැනට මනා වැ යෙදී කුකුළු පෙඳය හැඩ වැඩ වන්නාක් මෙන් එක එක වගයේ මත් පැන් එක එක පදමට යෙදී ඒ කුකුළු පෙඳු නම් මත්පැන් කළවම් බේබද්දා ගේ මනසට පියකුරු වන්නාක් මෙන්; එක එක වගයේ ලකර වෙසෙස් එක එක හැටියට යෙදී සෑදීගත් මේ පැදිය, රසබද්දා ගේ මනස ද බලවත් සේ පමොද කැරැලයි.

විමසා බලන්නැ.

• රිවි නැඟෙත් පියුම් සිරිමත්; • තා වත් සඳ‍‍; • තා වත් සඳ එවු පියුම්; • පළතෙදුන් උදා පැමිණෙත් සබඳහු දියේ පැළැඹෙත්; යන මේ යෙදුම් එක එක ලකර වෙසෙස් යැ. ඒවා යෙදුණේත් එක එක පමණට නොවැ?

ගැට ලිහුම

පළ තෙදුන් = පළට වූ තෙදස ඇත්තන්

උදා පැමි‍ෙණත් = වැඩි දියුණුවට පැමිණෙන කල්හි

වත් ස‍ඳෙවු = මූණු හඳ මෙන්.


31. හැඟුම් කියමන

335. කිවින් වදන් පබඳ විසා කළ යම් ලකරෙක් එ හැඟුම නම් වේ. එයට නිදසුන් හැම පබඳ වේ.

තේරුම - කිවියන් ගේ කියමන් පැබැඳුම අරමුණ කළා වූ යම් කිසි ලකරෙක් වේ ද එය ( ඒ ලකර ) හැඟුම නම් වන්නේයැ. ඒ පිණිසැ හැම පබඳ මැ නිදසුන් වෙයි.

පැහැදුම - කිවියන් ගේ කියමන් ආරට ගැළැපෙන ඒ කියමන් ආර අරමුණු කරනු ලැබූ හැම ලකරක් මැ පාහේ හැඟුම් යන නමින් හැඳින්වේ. ඉතින් ඒ සඳහා නිදසුන් අවැසි ද? දෙ වැනි සගෙහි දැක්වුණු හැම ලකරක් වෙනුයෙන් මැ ඉදිරිපත් ‍කැරුණු හැම නිදසුනක් මැ එයට නිදසුන් යැ. වෙන සැටියෙකින් පවසමු නම් කිවියෙකු ගේ ලිවිසැරි කමෙකැ වැදී හිඳුනා හැම රස යෙදුමෙක් මැ, හැම රස වෙසෙසක් මැ හැඟුම් යන නමට සුදුස්සේ යැ. රස හැඟුමෙන් තොර කියමන කවි කියමනෙක් ද නො වේ. එහෙත් අද අප රටේ සමහර කිවියන් ගේ කියුම් දෙසැ මනස යොමු කළ මැනැවි. මිරිකා හරය පෙරා ගෙනැ ඉවත ලන පොල් රොඩු මෙන් වූ, මැඩි පොල්කුඩු මෙන් වූ නිරස නිරො ද කියමන් වුව ද තනුයෙන් හා එළිසමයෙනුත් යන්තම් කිති කැවුණ හොත් එය උසස් මැ පෙළේ කිවි කමක් කොටැ තකන්නෝ අද මෙ රටේ කො තෙක් වෙද්ද? එබඳු කිවිකම් නිසා මැ කාව්යෙ ශිරෝමණී කාව්යම චින්තාමණී, කාව්යැ විශාරද, කාව්යම චක්රවර්ති, කාව්ය් විභූෂණ ආදී පට නම් බැඳ ගත්තෝ හෙළ දිවේ දුලබ නො වෙති. වදනට වියයුරුවට හෙණ ගැහුණ දා උන් හට කමෙක් නැති. රස ඔද සුනේ සුන් වුව ද උනට එයින් ඇති කාරියෙක් ද නැති. යන්තම් එළි සමය පමණක් සතර පොළේ ගැට ගැසේ නම් එය සෑහෙයි. මේ අතර මැ තව සමහරු අනුන් ගේ නිමැවුම් ටික ටික ඒ අතින් කපා කොටා වෙනස් කොටැගෙනැ තමන් ගේ යෙදුමක් ලෙස තමන් ගේ අපූරු නිමැවුමක් ලෙස ලොවට විදහා පාති. මහ පැරකුම්බා වැනි මහ කිවි රදුන් විසින් එදා පවා තකහනියක් මැ ඔය පිළිබඳ වැ බණ දෙසන ලද්දේ එදාත් අපේ රටේ ඔය වහංගත හැඟුම පැතිරී ගොස් තිබුණු හෙයින් මැයි හැ‍ඟේ. ඔවු;

“සරසවිය බැලුම” සෙක්ති වෙත් වා දන කිවි පෙදෙයි රස හවු විඳුනා දෙනෙතා ඉතා දුලබෝ.” සරසවිය ගේ එක බැලුම් ඇබිත්තෙකින් දනෝ කිවි වෙත් වා. කිවි රජවරු වෙත් වා. කිවි සක්විත්තෝ වෙත් වා! එහෙත් පදයෙහි රස හැඟුම නිසි සේ විඳුනා ඇත්තෝ නම්; ඉතා දුලබයෝ යැ. සරසවිය ගේ ඇස් කො‍ෙනකින් බැලුම් බිඳක් ලැබූ පලියට මැ රස හවුවක්, රස හැඟීමක් මැවීමට හෝ; එ බඳු රස හැඟීමෙකැ සුනිසි රසය උරා විඳැගැනීමට හෝ පිළිවන් කමෙක් නැති.

ගැට ලිහුම

හැඟුම = රස හැඟුම. රස හවුව. කිවි කියමනෙකැ පැතිරැ පවත්නා රසකුරු අදහස (භාවික, සකු)

336. නොතොර වුව ද හැඟුම් ලකර සියල් ලකරෙකි උතු නියරැ වියතැදුරෝ හඟවත් නම්නි වෙන් කැරැ.

පෙළ ගැසුම - හැඟුම් ලකර සියල් ලකරෙහි තොර නො වුව ද වියත් ඇදුරෝ උතු නියරැ නම්නි වෙන් කැරැ භගවත්.

තේරුම - හැඟුම් ලකරනය හැම ලකර යෙදුමෙකැ මැ පවත්නා නමුත් නැණවත් ඇදුරුවරු කලින් පැවසුණු පිළිවෙළින් ( හැඟුම් ලකර යන සේ ) නමින් මැ වෙන් කොටැ එය අඟවාපියති.

පැහැදුම - හැම කිවි කමෙකැ මැ හැඟුම් ලකරනය පවතියි. වෙසෙසින් කියත් හොත් හැඟුම් ලකරනයෙන් තොර වුව හොත් ඒ කිවි කමෙක් නො වේ. කිවින් ගේ පද බැඳුමෙක් නම් නො වේ. ඉතින් මේ නියර මෙසේ නම් හැඟුම් ලකරැයි අමුතු වැ- ලා ලකරන වෙසෙසක් ගැනැ කුමට කරුණු දක්වමු ද? ඒ නියර එසේ බව සැබැවි. එහෙත් කිවි හැඟුමෙහි නියම තතු සකසා වෙන මැ පැහැදිලි කළ යුතු වැ පවත්නේ යැ. ඒ හෙයින් නැණවත් අදුරුවරු එය අමුතුයෙන් මැ නමින් මැ වෙන් කොටැ ගෙනැ අමුතු මැ ලකරන’ වෙසෙසක් සේ එහි තතු පැහැදිලි කළහ.

ගැට ලිහුම

උතු නියරැ = පවසන ලද සැටියෙන්

වියතැදුරෝ = වියත් ඇදුරෝ; කීමෙහි බිණීමෙහි හපන් හුරු බුහුටි ඇදුරෝ.

337. වත් කියමනුදු හව් සිරිසර ලකර දෙ නියරැ. හව් සිරි සරිනුදු පවා සෙලෙස් ලකර උතුමැ යෙත්.

පෙළ ගැසුම - වත් කියමන දු හව් සිරි සර දු ලකර දෙ නියරැ. හව් සිරි සරිනුදු පවා සෙලෙස් ලකර උතුම් යැ යෙත්. තේරුම - සොබා පැවසුම ද වක් පැවැසුම ද යනුයෙන් ලකරනය දෙ සැටියෙකි. වක් පැවසුමෙනුත් පවා සෙලෙස් ලකරනය උතුම් යැ යි කියති.

පැහැදුම - සියලු මැ ලකරනයෝ දෙ ගොඩකට බෙදෙති. සොබා පැවසුම යැ වක් පැවසුම යැ යනු යි ඒ දෙ ගොඩ. ඒ දෙ ගොඩ ගැනැ අපි ගනිමු නිරවුල් වැටැහීමක්. “මම වහා මැ ඒ තුරුණුවිය දෙස ඕනෑ කමින් බැලීමි” මේ කියමන ගැනැ ඔබට කිමෙක් ද හිතෙන්නේ? හහ්! මටත් බලන්නට හිතෙනවා යැ කියුවා! හොඳා බලන්නැ බලන්නැ කවුරු තහනම් කෙරෙති ද?

ඔබට මා කියූ කියමන එක එල්ලේමැ කිසි හරසක් අමුත්තක් නැති වැ වැටහුණා නේ ද? නෑ! නැත්නම් ඔබටත් බලන්නට හිත යැ කීවේ? එහි අදහස තේරුම් ගිය නිසා නොවැ?

ඔවු; එ බඳු ලිහිල් ලෙස සරල ලෙස චාම් ලෙස නිරවුල් ලෙස සොබා ලෙස අදහස දෙන කියමන තමා සොබා කියමන යැ කියන්නේ.

ඔය අදහස මැ අපි වෙනස් හැටියෙකින් පවසමු. “මගේ නෙත්හු වහා මැ තුරුණුවිය ලුහුබැඳ ගියහ.” මෙයින් කියැවුණේ කිමෙක් ද? අර කලින් දුන් අදහස මැයි. එහෙත් ඒ අදහස කලින් පැවසු හැටියට වඩා මේ දැන් පැවසූ පිළිවෙළ රසවත් යැ. හැබැයි කලින් පැවසූ පිළිවෙළට මෙන් එක එල්ලේ මැ මෙහි අරුත ලැබියැ හැකි නො වේ මොහොතක් වැඩි පුර හිතියැ යුතුයැ ඒ වැඩි පුර මොහාතක් ගෙවුවාට ණයක් ගෙවන්නා වගේ මේ කියමනින් වැඩි රසයක් ලැබියැ හැකියි. කලින් පෑ කියමනින් මනසේ මැවෙන රුවට වඩා හොඳ අපූරු සිත්තමක් දෙ වැනි කියමන නිසා මනසේ මැවෙයි.

මෙන්න මේ කරුණ නිසා කියමන් අතරින් මේ කියමන් වෙසෙස උසස් ලෙස සැළකෙන්නේ යි. වක් කියමන යනුවෙනුයි මෙය හැඳින්වෙන්නේ. මේ වක් කියමනට මැ අපි තව එක ඇබිති වෙනසක් කරමු.

“සෙද සෙද වැ මා නුවනෝ ඇඹුවෝ යැ එ බොළඳ රුව.”

මේ අර කියමන මැයි. හැබැයි අර කලින් කී කියමන් දෙකට මැ වඩා මෙය වෙනසි. කිමෙක් ද වෙනස් කම ? හා! විරිතකට කියැවෙනවා! හැබෑව හැබෑව. කලින් කී කියමනුත් යම් කිසි විරිතකට කියැවිය හැකියි. එහෙත් මේ කියමනේ ඇති බලවන් වෙනස එය නො වේ.

“සෙද සෙද වැ මා නුවනෝ ඇඹුවෝ යැ එ බොළඳ රුව.”

මගේ ඇස් වහ වහා ඒ බොළඳ රුව ඇඹුවාහු යැ. යන්න නොවැ අදහස. ඔවු විමසන්නැ ඔය අදහසේ මැ සැඟවුණු තව අදහසක් තිබෙනවා නොවැ? ඒ සැඟවුණු අදහස මුල් අදහසට එක්තරා සවියක් දෙනවා නොවැ?

මේ බලන්නැ

• මගේ ඇස්හු වහ වහා ඒ බොළඳ රුව - ඒ ලස්සන දසුන - ලුහුබැඳැ ගියෝ යැ. • මගේ ඇස්හු වහ වහා ඒ බොළඳ රුව - ඒ බොළඳිය ගේ රූපය - ඇඹුවාහු යැ. ඔවු; සිත්තරකු පිළිමයක් අඹන්නාක් මෙන් මගේ ඇස්හු ඇය ගේ රුව - මනසේ ඇඹුවාහු යැ. ඇය දැකීමෙන් මැ ඇය ගේ හැඩ නිල මනසේ හොඳට සිත්තම් වූයේ යැ මේ ගිජු ඇස් නිසා

ඉතින් හිතන්නැ ඔය අරුත් දහරාව ලැබුණේ කෙසේ ද? සෙලෙස් ලකර නිසායි. ඇඹුවාහු, බොළඳ රුව, යන වදන් වලින් ලැබුණු දෙ පිට අරුත නිසායි. ඒ හෙයින් ආයේ ඔන්න හිතට ගන්නැ.

කිවි කියමන්, සොබා කියමන් යැ වක් කියමන් යැ යි දෙ සැටියෙකි. ඔය දෙ සැටියෙන් වක් කියමන ඉතා රසවත් යැ. වක් කියමන්වලිනුත් සෙලෙස් කියමන සැබැවින් මැ රසතම යැ.

ගැට ලිහුම

 වත් කියමන් = සොබා කියමන; යම් කිසි අදහසක් ඉතා මැ සොබාහුරු වැ පැවසෙන පිළිවෙළ 
 හව් සිරිසර = වක් කියමන.  වක් කියමන ඉතා රසවත් නිසා එයට දුන් පට නමෙකි මේ.
 උතුමැ යෙත් = උතුම් යැ යෙත්.

338. නොතන්හි වැනුමෙ‘වත් නොවෙසෙස් කියමන් කිවින් නොසබඳ පබඳ දු සවන් පිය වදන් නො කරත් පත්.

පෙළ ගැසුම - නොතන් හි වැනුම්, එවත්, නොවෙසෙස් කියමන්, නොසබඳ පබඳ දු සවන් පිය වදන් කිවින් නො කරත් පත්.

තේරුම - නොනිසි නොගැළපෙන තන්හි වැනුම් ද, වියත් කමක් පළට බවක් නැති කියුම් ද, යම්කිසි වෙසෙස් බවක් නොහැඟැවෙන පැවසුම් ද, ( මුල මැද අග) නො ගැළැපෙන මුල මැද අග සබඳ කමක් නැති පැබැඳුම් ද කන්කලු කියමන් පවසන කිවියන් විසින් නොකරනු ලැබුව හොත් මැනැවි. පැහැදුම - කිවියන් විසින් පැවැසුණු මනා කියමන් පිළිවෙළ යැ කලින් දැක්වුණේ. මේ පැදියෙන් දැක්වෙන්නේ තකහනියක් මැ කිවියන් විසින් නො පැවසුණ මනා කියමන් පිළිවෙළ යි. කවර කිවියන් හට ද මේ බණ දෙසන්නේ? සවන් පිය වදන් කිවියන් හට ඔවු, සවනට පියකුරු වූ වදන් වදවන; සවනට පියකුරු වූ පැබැඳුම් පබඳින කිවියන් හට අනෙක් කිවියෝ කුකිවියෝ යැ. උන් හට කවුරු ඔවා දෙත් ද? ඌ තුමූ කවර කුණු හරුපයක් හෝ ලියුවා වේ අපට හැයි? උන් ගේ පැබැඳුම් ලිවිසැරි කැරුම් ගණයට කවුරු ගනිති ද?

නොතැනැ වැනුම ඉත නොමනා යැ. සසදාවත දෙසැ බිඳක් ඇස යොමන්නැ එහි උතු වැනුම ගැනැ ටිකක් හිතා බලන්නැ ඒ වැනුම හොඳ වැනුමක් තමා. එහෙත් ඒ වැනුමට එය තැන නො වේ. ඒ හෙයින් එය නොතැනැ වැනුමෙකි. සවන් පිය වදන් කිවිහු එ බඳු වරද නො කරත් හොත් මැනැවි . එවත් නම් නොපළට කියුම් යැ. වගෙයි වැනියි යන ඈ ලෙසින් නිකම් ගාවා හරින කියුම් යැ. හරි කෙළින් අරුතක් ඒ කියුම් වලට දිය හැකි නො වේ. කියමනක් එවත් වන්නට, කියමනක් අව්යදක්ත වන්නට, කියමනෙකැ අරුත බොල් වන්නට මුල් මැ කරුණ වියයුරුව දෙදරා යෑමයි. වියයුරුව යැ කියනු ලබන්නේ බසක් වෑවහර කිරීමේ සුනිසි පනත් වැලයි. ඒ පනත් වැල ඔබින් මොබින් බිඳැ ලූ විටැ ඒ පනත් වැල අතරින් පතර ‍ෙදදැරැවු විටැ කියමනේ අරුත සකසා පැහැදිලි නො වෙයි එ විටැ එය නො පළට අරුත් ඇති එවන් කියුම් ගණයට; අව්ය ක්ත කියුම් ගණයට වැටේ. බක් මහේ ගෙරැවිල්ලට රබර මූකළානේ හතු පිපෙන්නාක් මෙන් ඒ අතින්, මේ අතින් , අර සරසවියෙන් මේ සරසවි යෙන් අද නිකුත් වන පත පොත දෙසැ විමැසිලි ඇස යොමු කළ මැනැවි. එකමැ පිටුයේ තුන් හාරසිය පොළේ වදන් නියර බිඳදැමූ වියයුරු නියරට හෙණ දෙවූ, පැබැඳුම් නමට ද නිගා එළවන හරුප බැඳුම් ඒ පත් පොත්වලැ කොතෙකුත් වෙයි. “මෙහෙසුරු ගොනා ගේ හේනයා (රදවා) යන නමින් පළට වූ එක් සරසවි ඇදුරකු මේ ළඟැ දී මහ බක්කක් මෙන් පළට කළ පොතෙකැ මුල් පිටුයෙහි පවා හැත්තෑ තුන් පළෙකැ දී සිංහල වියරණයට හෙණ දී තිබේ.

මෙබඳු පබඳ පබඳින්නන් සුදුසු සරසවි‍ෙයකැ ඇදුරු කමටද? නැති නැති එවැන්නෙකැ පුස්සඬු කමට හෝ මේ බන්දෝ නුසුදුස්සෝ යැ. ඒ හෙයින් සවන් පිය වදන් කිවියෙනි, මොවුන්ගේ මේ නොවියත් පැබැඳුම්වලින් පරිස්සම් වන්නට හොඳට සිහියට ගනිවු. ඉතින් බොහෝ මැ දුර ගියා වැඩි නො? බහිමු යළිත් අපේ ඉද්දට. නෙ‍ාවෙසෙස් කියමන්! මේ කිමෙක් ද? හැමැ කියමනෙකැ මැ එක්තරා වෙසෙස්තාවක් එක්තරා කැපී පෙනෙන සුලු ගතියක් වියැ යුතු මැයි.

වදන් රස අතින් හෝ වේ වා තනු රස අතින් හෝ වේ වා අරුත් රස අතින් හෝ වේ වා එක්තරා වෙසෙස්තාවක් නොවුණු පබඳේ කිසි ද අග‍ෙයක් නැති. හැබැයි ඔබ ඒ වෙසෙස්තාව සැපැයියැ යුත්තේ සොකරි නැටුමෙන්, කපිරිඤඤ මාලයෙන්, කාපීරි කතාවෙන් පත්තිනි හෑල්ලෙන් ගුරුකම් ගෙනැ නොවන වග හුදක් මැ තැකියැ යුතු යැ. අප ගේ පබඳවලැ වෙසෙස්තාව, පෙරැ දිගු හෝ වේ වා අවර දිගු හෝ වේ වා උසස් කිවියන් විසින් කරන ලද උසස් පෙළේ පබඳ අනුසරින්, ඒවායෙන් ලබාගත් එළියෙන් තව තව දු එළිය වවමින් යැ ඇති කළ යුත්තේ. ඒ පිණිසැ ඔබ ගේ නිමැවුම් හැකියාව හොඳින් වවාගත යුතුයි.

අප විසින් දුරස් වුණ මනා අනෙක් බර වරද තමා නොසබඳ පබඳ හැම පබ‍ඳෙකැ මැ හැම නිමැවුමෙකැ මැ හැම යෙදුමෙකැමැ මනා සබඳ කම හොඳින් මැ රැකුණ මනා යැ මුලට මැදත් අගත්; මැදට මුලත් අගත්; අගට මුලත් මැදත්; හොඳින් සිහියැ යුතුයි. නො එසේ වුව එයින් මැ මුළු පබඳුම දෙදරයි. එයින් මැ රස වැනැ‍ෙසයි.

339. විතර අත්නි ලකළ ලකරිනි පසුතරා තිස් පිළි මුළු කව් සුර නුවර මඟ මෙ මැඳුම් සග ගියේ.

පෙළ ගැසුම - විතර අත්නි ලකළ, පසුතුරා තිස් ලකරිනි ලකළ පිළි මුළු කවි සුර නුවර මග මෙ මැදුම් සඟ ගියේ.

තේරුම - වෙසෙසින් තර වූ අදහසින් සැරැසුණු, තිස්පස් ලකරනයෙන් සැරැසුණු, ආයේ; මුළු කවි සුර පුරයට මඟ වූ මේ මැදි සඟ විහිදැගියේ යැ.

පැහැදුම - මැඳුම් සඟ විහිදැ නිමාවට ගියේයි. කව් මුළුල්ල වනාහී එක මැ සුර පුරයෙකි. ඒ සුරපුරයට විහිදැගිය මඟ තමා මේ මැඳුම් සඟ. ඒ මඟ හොඳට සැරැසුණු ලස්සන මඟෙකි. මනා සේ පතළ අදහසින් හෙවත් මනා සේ පුළුල් වු ඇතුළතින් ඒ මඟ ලස්සන වියැ. තිස් පස් ලකරනයෙන් හෙවත් පස් වනක් සොම්නස උතුරන්නා වු සැරැසිල්ලෙන් මඟ ලස්සන වියැ.

ගැට ලිහුම

ලකරිනි පසතුරා තිස් = පසතුරා තිස් ලකරිනි. තිස් පස් ලකරනයෙන් - අලංකාර තිස් පහෙන් - පස් තිස් උතුරා ලකරිනි ( පස්වනක් සතුට උතුරන්නා වූ සැරැහිල්ලෙන් ) යන දෙ අරුත දෙයි. මෙහි තුස් මැ තිස් යැ (සතුට)




තෙ වැනි සග

1. යමා වග

350. කැරැ දුරු නුදුරු හැම පදන් ඈ මැද අවසන් සම වණිනි පිළිවත් වත් යමා නම යෙත් හෙ මෙසේ.

පෙළ ගැස්ම - දුරු කැරැ නුදුරු කැරැ හැම පදන් ඈ මැද අවසන් සම වණිනි පිළි වත් වත් යමා නම යෙත්. හෙ මෙසේ.

තේරුම - දුරස් කැරැ හෝ ළං කැරැ හෝ හැම පදන්ගේ මැ (සියලු පාදවලැ මැ) මුලත් මැදත් අගත් එක් බඳු අකුරු වලින් ආයේ වත් වත් මැ යමා නම පවසති. ඒ මේ සැටි යැ.

i. දුරස් මුල සිව් පද යමාව

340. සරණ තා සත්සර සරණ තඹරු මෙ සිරිමත් සරණ කැරැ සත්වග වී සරණ සව් සන්නට තෙමෙ.

පෙළ ගැසුම - සත්සර, සරණ තා සරණ මෙ සිරිමත් තඹුරු සරණ කැරැ වග සත් තෙමේ සව් සත්නට සරණ වී.

තේරුම - සත්සරාණෙනි (සතුන් අතරැ උසස‍ාණෙනි) ඇවිදුනා මුහුද බඳු වූ ඔබගේ පතුල් නමැති ලස්සන නෙළුඹු පිහිට කොටැ ගෙනැ සඟ තෙමේ සියලු සතුන් හට පිහිට වූයේ යැ.

ගැට ලිහුම

සත්සර = සතුන් අතරැ උතුමා ( සත්ත්ව සාරයා) බුදුන් ගැනැ හිතා යැ මෙසේ පැවසුණේ.

සරණ = සරු අණ. සරනුයේ, ඇවිදිනුයේ; සරු යැ. සරන්නා වූ ඇවිදින්නා වූ මුහුද යැ සරු අණ නම් (ජංගම සමුද්රය)

සත්වග = සත්හු සමූහය යැ සඟ යැ යන දෙ අරුත මැ දෙයි. සත් වග = සත්තු සමූහය. සත්ත්ව වර්ගයා. වග සත්= සංඝයා. සංඝ නම් - පොදු සමූහය යැ. හෙළ බසින් වගසත් යනු පැවසුණේ ඒ අරුත තකායි.


ii. දුරස් මැදි සිව් පද යමාව.

341. සියල් අසරණ දිය ත-මේ සරණ පියුම් සිරි සවාරෙන් සරණ කැරැ වි සරණ මුළු දියට හා.

පෙළ ගැසුම - අසරණ සියල් දිය, තමේ සිරි සරණ පියුම් සවාරෙන් සරණ කැරැ මුළු දියට හා සරණ වී.

තේරුම - පිහිටක් නැති සියලු ලෙවියා ඔබ ගේ මේ සිරි පා පියුම් හැම ලෙසින් මැ සරණ ගොස් මුළු ලොවට ද පිහිට වූයේ යි.

ගැට ලිහුම -

සවාරෙන් = සව් ආරෙන්. සියලු ලෙසින්, සියලු හැටියෙන්.

වී සරණ = වී සරණ යන්න යැ මෙසේ කෙටි කොටැ යෙදුණෙ. යෙදුම නොමනහර යැ.

iii. දුරස් අග සිව් පද යමාව

342. දුගී බිය ඔසරණ මුළු සත් වග ‘පිළිසරණ බිජි තිලෝ පිළිසරණ පිවිතුරු ත-මෙ යුග සරණ.

පෙළ ගැසුම - අපිළිසරණ මුළු සත් වග, දුගී බිය ඔසරණ තමෙ තිලෝ පිළිසරණ පිවිතුරු යුග සරණ බිජි.

තේරුම - හව් හරණයක් නැති, කිසි ද පිටුවහලක් නැති මුළු සත් රැස - සකල සත්ත්ව සමූහයා - දුගියාව පිළිබඳ බිය දුරු කරන්නා වූ ඔබ ගේ මේ තුන් ලොවට පිටුවහල් වන පිරිසුදු දෙ පතුල ඇසුරු කෙළේ යැ.

iv. ළඟ මුල් පළමු පද යමාව

343. වසත වසත කලුන් උයනතහි ත - ලද වරල් ගෙනෙ බඳ විදුලිය පැරැදි පලු බර සිනිඳු මද මත්.

පෙළ ගැසුම - සිනිඳු පලු බර ලද වරල්, වසත මද මත් කලුන් ත උයනතහි වසත ගෙනෙ බඳ විදුලිය පැරැදි.

තේරුම - දලුයෙන් බර බව ලැබූ කෙස් වැටී ඇති, වසත් මදයෙන් මත් වූ අගනන් තගේ උයනෙහි වසන කලැ වැහි වලාවෙහි බැඳීගිය විදුලිය පැරැදීගියේ යි. පැහැදුම - මේ මුල් පදයෙහි යමාවයි. මුල් පදයේ මුලින් මැ පිහිටි “වසත” යන පදය දෙ වරක් මැ එක ළඟැ යෙදුණු හෙයින් මේ නොදුරු යමාවෙකි.

ගැට ලිහුම

වසත = වසත් සමය යැ, වසන කල යැ යන දෙ අරුත සඳහා යෙදිණ.

සිනිඳු පලු බර = සිනිඳු පලු නම් දලු යැ. එයින් වරල බර යනුයෙන් හැ‍ඟෙනුයේ එයින් බොහෝ වැ කෙස් වැටිය සැරැසුණු බව යැ.

ගෙනෙ බඳ විදුලිය = වැහි වලාවෙහි බැඳීගත් විදුලිය. සොබායෙන් මැ විදුලිය වැහි වලාවෙහි බැඳීසිටියේ නො වේ. එ හෙයින් කවියා මෙහි අමුත්තක් පෑ සේ යැ. “සිනිඳු පලු බරින් බර වූ වරල් ඇති වසත් මදයෙන් මත් ලියන් උයනෙහි වසන විටැ, වැහි වලාවේ බැඳීගත් විදුලිය පවා පැරැදිණ”

v. ළඟ අග සිව් පද යමාව

344. සලා සඳුන් සල් සළල පහස් ගඟුල මල ලැබෙම්නි මරනට වී ත-රුපු පියන් සුළඟ ළඟ

පෙළ ගැසුම - සඳුන් සල් සළල සලා, මල ගඟුල පහස් ලැබෙම්නි ළඟ සුළඟ ත-රුපු පියන් මරනට වී.

තේරුම - සඳුන් සල් හොර ගස් වෙවුල්වමින් මලය ගඟුල් පහස ලැබෙමින් ළං වුණා වූ හුළඟ ඔබ ගේ හතුරු අඟනන් ගේ මරනය සඳහා වූයේ යි.

පැහැදුම - මෙහි යමාව පිහිටියේ සිව් වැනි පදයේ අවසානයෙහි යැ. “සුළඟ ළඟ” යන සේ ළඟ යන වදන දෙ වරක් යෙදීමෙන් යමාව සකස් විණ.

පළමු පදයේ මුල් ළඟ යමාවට ඉක්බිති වැ අග යමාවක් මැ දැක්වීමෙන් කිවියාණන් සිය කවෙහි හරයක් පමණක් ඉදිරිපත් කළ සේ පෙනෙයි.

i. පළමු පදයේ මුල යමාව ii. පළමු පදයේ මැද යමාව iii. පළමු පදයේ අග යමාව, iv. දෙ වැ නි පදයේ මුල යමාව v. දෙ වැ නි පදයේ මැද යමාව vi. දෙ වැ නි පදයේ අග යමාව vii. තෙ වැ නි පදයේ මුල යමාව viii. තෙ වැ නි පදයේ මැද යමාව ix. තෙ වැ නි පදයේ අග යමාව x. සිව් වැනි පදයේ මුල යමාව xi. සිව් වැනි පදයේ මැද යමාව xii. සිව් වැනි පදයේ අග යමාව

යන පිළිවෙළින් මේ ළඟ යමාව දොළොස් සැටියෙකි. ඒ දොළොස් සැටියෙන් මුල් අග දෙ සැටිය සඳහා පමණෙකි නිදසුන් දැක්වුණේ.

ගැට ලිහුම

සළල = සරල, හොර නම් ගස් වෙසෙස.

තරැපු පියන් = ත රැපුන් ගේ පියාවන්. ත ගේ හතුරු දනන් ගේ අඟනන්.

345. නුදුරු යමා මෙ සේ සිල් මැද අවසන්හි දු යළ සියල් ඈ මැදහි දු බඳ සද ලකරුතුම් වේ.

පෙළ ගැසුම - නුදුරු යමා, මෙ සේ සියල් මැද අවසන්හි දු යළ සියල් ඈ මැදහි දු බඳ සද ලකර උතුම් වේ.

තේරුම - ළඟ යමාව, හෙවත් නොදුරස් යමාව මේ සැටියෙන් සියලු මැද අවසන්හිත් යළි, සියලු මුල මැදෙහිත් බඳ හොත් සද ලකරනය උතුම් වෙයි.

පැහැදුම - දුරස් යමාව මුල මැද අවසන්හි යෙදෙන සැටි කලින් මැ පැහැදිලි කැරැ දැක්වුණේයි. නොදුරස් යමාව මුල යෙදෙන සැටි “වසත වසත කලුන්” යනෑ පැදියෙන් ද; අගැ යෙදෙන සැටි “යලා සඳුන් යල්” යන ඈ පැදියෙන් ද විතර දැක්විණ. මුල මැද යන දෙපළෙහිත් මැද අග යන දෙ පළෙහිත් ඒ යෙදුණු විටැ තනි පළෙහි යෙදුමට වඩා උසස් මැ මිහිරක් නැඟීසිටියි. එ බඳු සද සැරැසිලි උසස් මැ සැරැසිලි වෙයි.

vi. මුසු යමාව

346. වනන් වනන් තෙවෙන් තවන් පියල් තවන්නේ විරූ මලවන මන වන නව ලකළ වන කළ වන.

පෙළ ගැස්ම - නව ලකළ වන, තෙවෙන් පියල් තවන්, වන් අන් වනන් තවන්නේ මලවන විරූ අවන මන කළ වන.

තේරුම - අලුතින් සැරැහුණ වනය, තවුස් බැවින් බුහුටි වූ තවුසන් ද, පැමුණුණ අන් වියොවන් ද තවන්නේ මැලැවියාවට මැ පුරුදු වූ අවන් මනස මත් ගතියට මැ හුරු වූ හිත - කළාක් මෙන් යැ.

පැහැදුම - මෙහි පළමු පදයෙහි “වනන් වනන්” යනුයෙන් නොදුරස් යමාව යෙදිණ දෙ වැනි පදයෙහි “තවන් පියල් තවන්” යන සැටියෙන් ද “මල වන මන වන” යනුයෙන් තුන් වැනි පදයේ දී ද දුරස් යමාව යෙදුණේ යි. සිවු වැනි පදයෙහි “කළ වන කළ වන” යන සැටියෙන් දුරස් නොදුරස් යමාව යෙදුණේ යි. එ හෙයිනි මේ මුසු යමා පබඳ නම්.

ගැට ලිහුම

මලවන විරු = මැලැවීමට හුරු පුරුදු වූ

අවන මන = බේබදු හිත. අලුත දලු ලෑ වනය ලස්සනට සැරැහිණ. සැරැහී කරනුයේ කිමෙක් ද? අසරණ වියොවන් හා තවුසන් තැවීමයි. ඉතින් එ බඳු කම් කරන්නෝ පියෙවි සිහි ඇත්තෝ නො වෙති; වෙරි මරගාතේ දඟලන්නන් මිසැ.

347. විසා කළ ඈ මැද වසන් සියල් දුරු යමා නොදුරු යමා මුස්සෙන් මේ ගින් අන් සෙනුදු වේ.

පෙළ ගැස්ම - ඈ මැද අවසන් විසා කළ සියල් දුරු යමා, නොදුරු යමා මේ ගින් මුස්සෙන් අන් සෙනුදු වේ.

තෙරුම - පෙරත්, මැදත්, අවසනත් අරමුණ කළා වූ සියලු දුරු යමා ද නො දුරු යමා ද මේ සැටියෙන් මුසු පිළිවෙළින් හා නුමුසු පිළිවෙළින් ද වෙයි.

පැහැදුම - පෙර මැද අවසන් යන තුන් තැන අරමුණු කළ දුරු යමාත් නුදුරු යමාත් පිළිබඳ කිහිපයකට මෙහි නිදසුන් දැක්විණ මේ නිදසුන් විමසා බලන්නැ. ඒ නිදසුන් අනුවැ ඔබට හැඟෙනු ඇති ඒ යමා පබඳ මුසු සැටියෙනුත්, නුමුසු සැටියෙනුත් යෙදෙන බව. එ හෙයින් ඔබ රිසි සැටියෙකින් ඒ යොදන්නැ.

ගැට ලිහුම

මුස්සෙන් = මුසු සැටියෙන් - මුසු සෙයින්-

අන් සෙනුදු = අන් සෙයිනුදු - නුමුසු සෙයිනුදු-



342. පවත්නෙ මෙසේ බැඳුම් වත් හොත් බැඳුම්නි යමා, කිවි මඟැ වුවොත් පෙරැ කියු නියමිනි යුත් බඳුන් හොත්.

පෙළ ගැසුම - යමා බැඳුම්නි වත් හොත් බැඳුම් පවත්නෙ මෙසෙ. කිවි මඟැ වුවොත් පෙරැ කියු නියමිනි බඳුත් හොත් යුත්

තේරුම - යමා පද බැඳුමෙන් වත හොත් බැඳුම් පවත්නේ මේ සැටියට යැ, - එහෙත් - සුනිසි කිවි ම‍ඟෙහි වතහොත් පෙර කියූ නියමින් යැ සුදුසු, පබඳිනවා නම්.

පැහැදුම - මේ දැක්වූයේ යමා බැඳුම් පිළිවෙළයි. හැබැයි; මේ යමා බැඳුම් හුදක් සද ලකරන මිසැ අරුත් ලකරන නො‍ වේ. අරුත බැබැළෙනුයේ අරුත් ලකරනයෙන් මිසැ සද ලකරනයෙන් නො වේ අරුත් ලකරනයෙන් ලොවට රස කවනුවට රිසි කිවියෝ සද ලකරනය තෙරේ එතරම් මැ නො හැපෙති සද ලකරනය බොළඳ ලකරනයෙකි තිරිසන් ලකරනයෙකි. ලොව සුනිසි මඟ ගැන්විම සඳහා හදවතට පණ පෙවීම සඳහා සද ලකරනයෙන් ඇති එ තරම් වැදැගත් කමෙක් නැති. හැබැයි ඒ වූ පලියට, සද ලකරනය ද මුළුමනින් මැ අපි නොපිටු දකුම්හ. නිසි නැණැතියේ මේ දෙ සැටියෙන් මැ නිසි නිසි සේ සිය පැබැඳුම හොබවන්නේ යැ.උසස් හැඟුමෙන් මැ ලොව හෙබෙතියි කී පලියට අඟනෝ තුමූ සිය අබරණ ගලවා කැළැ ගසති ද?

350. පියුම් සියුරු පෙදෙන් එක් පද පමණ‘ඩ පමණ නො බෙජේ යම අඩ බෙජේ එ බව්නි වේ දෙ ලෙස් කව්.

පෙළ ගැසුම - පියුම් සියුරු පෙදෙන්, එක් පද පමණ අඩ පමණ යම නො බෙජේ. අඩ යම බෙජේ. එබව්නි කව් දෙලෙස් වේ.

තේරුම - කවෙහි හතර පදයෙන්, එක පදයක් පමණක් හෝ එක පදයෙකින් අඩක් පමණක් හෝ යමා ඇසුරු නො කෙරෙයි, - මුළු හතර පදයෙන් - අඩක් නම් යමාව බෙජෙන්නේ යැ. ඒ නිසා නම් කව දෙ සැටියෙක් වෙයි. - පළමු අඩ යමාව යැ පසු අඩ යමාව යැ යි කව දෙ සැටියෙක් වේ යැ කියූ සේයි.-

පැහැදුම - “ එ බව්නි වේ දෙලෙස් කව්” යන යෙදුම බොහෝ පිටපත්හි එනුයේ “එ බව්නි වේ දොළොස් කව්” යන සැටියෙනි. ඒ වරදෙකි.