Jump to content

උග්ගල් අලුත්නුවර/නව දේවාලය ගොඩ නැගීම

Wikibooks වෙතින්

"......මෙතන දෙවිඳුට නුවර කරවා ගමුත් පුදවා පඬුරු දෙවමින..." නව දේවාලය ගොඩ නැගීම

[සංස්කරණය]

මෙසේ ඉහත කියවෙන ආකාරයට අලුතෙන් ද පහළ වූ දේවාභරණ සුරක්ෂිතව හා ගෞරවාන්විතව මැදගම දේවාලයට වැඩමවා තබා යුද්ධයට කලින් භාරවී ඇති පරිදි මැදගම වනාන්තරයේ අලුතෙන්ම නුවරක් ඉදිකරවා නව දේවාල සංකීර්ණයක් ගොඩනැගීම අරඹා ඇත. රජතුමාගේ අසනීපය ද මේවන විට සම්පූර්ණයෙන්ම සුව වී තිබීම සිදු වූ මහා හාස්කමක් සේ පැරැන්නෝ විස්තර කර දෙති. “කන්දගිරි මුදුනට බැන්ද ලෙස ආසනයට.........., වශයෙන් දැකුම් අත්නැටීමේදී පලිහවඩන රාලලාගේ ප්‍රවේනි රාජකාරි ඇත්තන් විසින් ඉදිරිපත් කරන යාදින්නේදී ද පෙරහර ආරම්භයේ දේවාලයේ “ඓතිහාසික නයියන්ඩි නැටුමේ” මුල්මාත්‍රය නටන ප්‍රවේනි නැටුම් ශිල්පීන් මහත් සාඩම්භර පූර්වකව ඉදිරිපත් කරන ගායනයෙදී ද,

 2. පොරණ දේස දහ අටකට 	 එපිටින
     එවර එ ඉසිවර වසන       විමානෙන
     කවර අයටවත් යනු බැරි      විලසින
     ඉවර නොවී ගල් පහුරු සතෙක්  උන
 3. උස්ගිරි පර්වත උඩ නව 	     	මාලය
     විස්තර වාසල දොරවල් දාසය
     තොස් කොස් කුළු මෙන් ඒ පුර  බැබලිය
     ගොස් එවිමානේ ඇතිවුන 	 කුමරිය

යනා දි කවිවලින් කන්දකුමාර සිරිතේ කතරගම දෙවියන්ගේ උපත ගැන විස්තර කරද්දී හඟවන්නේ ද උස් ගල් මුදුන් අශ්‍රිත වාසභවනක් ගැනය. කන්දකුමරුන් වැඩ සිටින්නේ කතරගම කන්දේ බවට විශ්වාසය අද ද පවතී. මේ තොරතුරු ඇසුරු කර විමසන කෙනෙකුට අලුතෙන් ඉදි කරන ලද නුවරට හෙවත් අලුත්නුවරට පසු කාලයේ මැදගම යන නම අතහැරී ගිය බව පෙනේ. කන්දකුමාර සිරිත රචනා කරන අවදිය වන විට උස්බිමක් ආශ්‍රිතව තිබෙන අලුත්නුවර යන අර්ථයෙන් උස්ගල් අලුත්නුවර → උග්ගල් අලුත්නුවර බවට පත්වුන බව සිතීමට අවකාශ ලැබේ. කන්ද කුමාර සිරිතේ 84 වන කවියේ “........මෙකල් කල් නුදුටු නුවර ......” යනුවෙන් ඇති ව්‍යවහාරයත් , එහිම 86 වන කවියේ “.....පසිඳු අලුත්නම් මෙපුරවර..........” යන ව්‍යවහාරයත් 89 වන කවියේ “..................මෙඋග්ගල් නුවර යස ඉසුරූ.........” යන ඒවා එකට ඈඳා ගත් විට උග්ගල් අලුත්නුවර යන්න සකස්ව ව්‍යවහාරයට පැමිණුනා විය හැකිය. උස්බිමක් අවශ්‍ය පරිදි හැඩගන්වා ඒ ආශ්‍රිතව දේවාලය ගොඩනැගීම නිසා උග්ගල් අලුත්නුවර යන ව්‍යවහාරය ඇති වූ බව නිගමනය කළ හැකිය. ක්‍රි.ව.1621 ලියැවුන බව සඳහන්ව ඇති “සොරගුණ දේවාල තුඩපත” ලියවෙද්දී ද, “බෝගන්දන සන්නස” ලියැවෙන විටදී ද (පූජ්‍ය පණ්ඩිත නාවුල්ලේ ධම්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ “ඌව ඉතිහාසය”) මේ දේවාලයට හා නුවරට “උග්ගල් අලුත්නුවර” යන ව්‍යවහාරය පැමිණ තිබුණි. මහවලතැන්න පාසල මුල් කාලයේම ඉදි වූ පුරාණ පාසලකි. එහි 1889 අගෝස්තු 16 දින ලොග් සටහනේ දක්නට ලැබෙන අපූරු තොරතුරක් වෙයි. “දෙමාපියන් කැටුව ළමුන් සියලු දෙනාම උග්ගල් අලුත්නුවර දේවාලේට පඬුරු දීමට ගිය සෙවින් පාසල වසන්නට යෙදුනා ඇත” යන සටහන මේ පූජනීය ස්ථානය අතීතයේ සිටම කෙතරම් ජනකායකගේ අපරිමිත භක්ත්‍යාදරය දිනාගත් එකක් ද යන්න හෙලිවනවා සේම උග්ගල් අලුත්නුවර යන ව්‍යවහාර‍ෙය් ස්ථාවර වීම ද පෙන්වා දෙයි. කතරගම දෙවියන් ගිරිමුදුන් ආශ්‍රිතව වැඩ සිටින ලෝක ශාසන දෙක අරක්ෂාකරන සතරවරම් දෙවියන් සේ ගැනෙන මහේශාක්‍ය දෙවි කෙනෙකු ලෙස ‍ෙබෟද්ධ ලාංකික ජනතාව අතර ප්‍රනාමයට පාත්‍රව ඇත්තේය. ගැමුණු රජතුමාට රට පරසතුරන්ගෙන් මුදා ගැනීමට බලය ශක්තිය දුන්නේද මේ දෙවියන් බව කන්ද කුමාරසිරිතේ 67 වන කවිය ද පවසයි. උස්ගල් සහිත ස්ථානයක් සේ සුදුසුම ස්ථානය සැබෑ වූ සිහිනයක් මගින්ම හඳුනා ගැනීමට හැකි වූයෙන් රජතුමා මෙන්ම එම තොරතුරු ඇසූ දුටු සියලු දෙනාම මහත් භක්තියෙන් අමන්දානන්දයට පත් වූහ. ශකවර්ෂ 1504 පිරුණු වර්ෂයේ ( ක්‍රි.ව. 1582 ) “........ඇසල මස පුර සතවක් නම් තිථියලත් බ්‍රහස්පතින්දා උත්‍රපල් ගුණේ නැකතින් පාන් වූ හත් පෑ කාලෙන් දේවාලේ සිද්ධ කරවඬ වැඩ අල්වමින්......” ලෙස පුරාණ ලියවිල්ලේ දැක්වෙන ආකාරය අනුව ක්‍රි.ව. 1582 ජුලිමස පුරසතවක හෙවත් පසලොස්වක දිනට දින හතක් තිබිය දී බ්‍රහස්පතින්දා දිනක උත්‍රපල්ගුණෙ නැකතින් දේවලය කරවීම සඳහා වැඩ ආරම්භ කර ඇත.

පූජනීය ස්මාරක සඳහා ඉදි වූ මළුව

දුනුමිටි 15 ක පමණ බිම ඉඩ ලබා ගෙන දුනුමිට් 5 ක පමණ උසකින් මළුව බැන්ද බව ලේඛනයේ දැක්වේ. දුනුමිට යනු කොපමණ ප්‍රමාණයක් ද යන්න නිගමනය කිරීමට අවශ්‍ය සාක්ෂි සෙවීමේ දී ලැබෙන්නේ පරස්පර තොරතුරුය. ජෝන් ඩේවි දුනු මිටක් අඩි 9 ක් බව දැක්වුවද විවිධ ප්‍රමාණ වලින් සකස් කළ දුනු මිටි ගැන මධ්‍ය කාලීන සමාජ‍ය පිළිබඳ තොරතුරු ගවේශනය කළ මහාචාර්ය රැල්ප් පීරිස්, ආනන්දකුමාරස්වාමි, මහාචාර්ය විමලානන්ද තොන්නකෝන් වැනි වියත්තු පෙන්වා දෙති. (මහාචාර්ය විලානන්ද ශූරීන් උඩරට මහකැරැල්ල ග්‍රන්ථයේ උපුටා දක්වන විස්තර බලන්න) කෞතුකාගාරයේ රැස්කර ඇති ආකෘති. අපේ වැදිජනතාව භාවිත කරන මෙවලම් අතර ඇති දුනු විවිධ ප්‍රමාණයන්ගෙන් වන බැවින් මළුවේ ඉඩම වෙන් කළ “දුනුමිට” නමැති මිනුම නූතන මිනුම් අනුව දැක්වීම අපහසුය. එහෙත් අදත් දක්නට ඇති මළුවේ වපසරිය හෝ පෙරහර මගේ සිට ඇති උස ගතවූ කාලය තුළ වෙනසකට භාජනය වූ බවට තොරතුරු නැත. අනෙක් අතට ඒ පුරාණ බැමි තවමත් නිරුපද්‍රිතව ඇති බැවින් දුනුමිට ලෙස භාවිත කළ මිම්ම මළුවේ උස හා මළුවේ වර්ග ප්‍රමාණය අනුව නිමානය කළ හැකිය. දැනට මළුවේ උස පෙරහර මගේ සිට අඩි 30 ක පමණ ඉහළින් පෙනෙන අතර මළුවේ වර්ග ප්‍රමාණය දළ වශයෙන් වර්ග අඩි 34650 ක් පමණ වේ. (නැගෙන හිර බටහිර අතට දිග අඩි 210 ක් පමණ ද පළල අඩි 165 ක් පමණ ද වේ.) මෙසේ ව.අඩි 34650 ක පමණ සම භුමියක් අඩි 30 කට පමණ උඩින් ඇතිවන පරිදි සකස් කළ මළුව වටා ආනමේස්සර සහිත බැමි බඳවා ඇත්තේ මළුවේ සිට අඩි 4 කට පමණ උස ප්‍රමාණයක් වන ආකාරයෙනි. එහි සිව් දෙසින් වාහල්කඩ තිබුණු බව පුරාණ ලියවිල්ලේ ඇති අතර අද දක්නට ඇත්තේ දකුණ හා උතර දෙසින් පිහිටි පිවිසුම් දෙකක් පමණි. 1960 ගණන් වල නැගෙනහිර දෙසින්ද මළු බැම්ම හරිමැද විවෘතව තිබෙනු ලේඛකයාගේ මතකයේ ඇත. එහෙත් එකල පිවිසුම් පඩි පෙළක් නොවීය. ඇතැම් පැරැන්නෙක් ඒ දෙසින්ද පිවිසුම් පඩි පෙලක් තිබූ බව තමන්ට මතක ඇතැයි පවසති. කෙසේ වුවද අදත් බැලූ බැල්මට පෙනෙන්නේ අවශ්‍ය නම් බලකොටුවක් සේ යොදාගත හැකි පරිදි එකල මළුව බඳවා ඇති ආකාරයකි. 1957 පෙරහර අවස්ථාවේ විලියම් නමැති ඇත්ගොව්වාට මාරන්තික වන පරිදි පහරදී නොනැවත, ඉතා දරුණු ලෙස මිනිසුන් හඹායමින් පෙරහර වෙනුවෙන් ඉදි වූ තාවකාලික කඩ කඩා දමමින් පෙරලි කරන්නට වූ අලියාගෙන් බේරීමට, ඒ වන විට දේවාල බිමට පැමිණ සිටි සියලු මින්සුන්ට ආරක්ෂාව සැලසුනේ මේ මළුව ආධාරයෙනි. එය ප්‍රේක්ෂකයන්ට සුරක්ෂිතව සිට පිට පැත්තේ පහළින් සිදුවන ත්‍රාසජනක ජවනිකාවන් නැරඹීමට තිබුණු වේදිකාවක් බවට පත්ව තිබුණි. දේවාලයේ මළුව ඉතාලියේ “කොලෝසියම” සිහි ගන්වන්නකි. එහෙත් කොලෝසියමේ රංග භූමිය ඇතුලතින් පිහිටියේය. මෙහි විශේෂත්වය වන්නේ මළුව තුළ තමාගේ උසමට්ටමේම සිදුවන අසිරිමත් චාරිත්‍ර දැකීම පිණිසත් පිට පැත්තේ පෙරහර මග වටා පහළින් දිස්වන දසුන් නැරඹුම් සඳහා සකස් වූ ප්‍රේක්ෂකයන්ට රැඳී සිටිය හැකි වේදිකාවක් වැන්නක් වීමය. පෙරහර ඇරඹෙද්දී රංග භූම්ය මළුව තුළම ඇති අතර පෙරහර ගමන් ගනිද්දී රංග භූමිය බවට පත්වන්නේ මළුවට පිටතින් පහළින් ඇති පෙරහර මග හා වීදියය.ඉහත කියවෙන ආකාරයෙන් උඩ මළුව සකස් කිරීමේදී එය සවිගැන්වෙන පරිදි කඳු බෑවුමේ අඩි 4 ක පමණ පරතරයක් එන සේ බඳවා ඇති ගල් බැම්මකින් මළුව සවිගන්වා ඇත්තේය එය අද මළුව වට කළ බැම්ම සමග පිටතින් ඇත්තකි. පෙරහර මග දසුන් නැරඹිය හැකි ලෙස ප්‍රේක්ෂකයන්ට රැඳී සිටිය හැකි වේදිකාවකි. එම බැම්ම ට අඩි 12 කට පමණ යටින් මළුව උස්බිම වටා පෙරහර වීදි මට්ටමේ සිට අඩි 12 ක පමණ උස් වන ආකාරයෙන් කන්ද සවිගැන්වෙන පරිදි බඳවා ඇති තවත් ගල් බැම්මකින් සැදි වේදිකාවකි. එම බැම්ම හා කලින් බැම්ම අතර සැකසුන සම භූමි වේදිකාව අඩි 12 ක් පමණ පුළුල් වේ.එය පණස්සත් බඹයක් වටව ආනමේස්සර ගෙවල් වලින් ද යුතු වූ නිමැවුමක් බව බව සටහන්ව පවතී. (1978 දී බැම්මේ කරන ලද ප්‍රතිසංස්කරණ වලදී එම ආනමේස්ර ගෙවල් ඉවත් කරන ලද්දේ ඒ වන විට ඒවායින් ලැබෙන ප්‍රයෝජනයක් නොවූ බැවිනි.) ඒ අනුව පෙරහර නැරඹීම සඳහා එකල සිටම පියවර තුනකින් සුසැදි වේදිකා තුනක් සහිත නිමැවුමකි. මේ විස්තර කළ නිමැවුම වටහා ගතහැක්කේ සේයාරුවක් හෝ සැබෑ නිර්මාණයම දැකීමෙනි. මාසතුනක් තිස්සේ මළුව සැකසීමේ කටයුතු පමණක් කර ඇත්තේ වඩා සවි ගැන්වුනු පදනමක් පූජනීය ස්මාරකයන්ට අවැසි හෙයිනි. “.......ඉල්මස පුරපසලොස්වෙනි ගුරු දින පාන් වූ හත් පෑ කාලෙන් උදාවුනු ම‍ුලේ නැකතින් ඉඹූල්පේ දෙවනැන්නැහේ අතින් මඟුල් කප ඉඳුවමින් තුන් මාල් පාය කරවා දාගොබ සහ විහාර වහන්සයක් කරවා ගෙන දෙවියන් වහන්සේට කෝවිලක් කරවා “තුන්මාල් ප්‍රාසාදයට” ප්‍රසාදනය වූ “පස්විසි රියන් දිග්ගේ” කරවා දන්මුළුතැන් ගෙවල් ඇතුළුව ගබඩා ගෙවල් කරවා පනස් සත් බඹයක් මළුව වට හතරස් පහුර බන්දවා ඊ පිට ආනමේස්සර ගෙවල් කරවා.........” ආදි වශයෙන් පුරාණ ලේඛනයේ මේ ව්‍යාපෘති සැලසුම විස්තර වේ. ඒ අනුව මළුව සකස් කර බැමි බැඳ සවි ගැන්වීම් කටයුතු නොවැම්බර් මාසය දක්වා සිදුව ඇත.

"..තුන්මාල්පාය කරවා දාගොබ සහ විහාරවහන්සයක්.." කරවීම පිණිස...!

"..ඉඹුල්පේ වෙනැන්නැහේ අතින් මඟුල්කප හිඳුවා.." ගොඩනැගිලි සංකීර්ණය ඇරඹුම සඳහා මඟුල් කප ඉඳුවීමේ නැකත සකස් කර ඇත්තේ නොවැම්බර් මස පුර පසලොස්වක උදාවෙමින් තිබූ බ්‍රහසපතින්දාට එලිවෙද්දී උදාවුනු මුලේ නැකතිනි. “මඟුල් කප යනු ගොඩ නැගිල්ලක් සඳහා මුල්ම කණුව සිටුවීම හෙවත් මුල්ගල් තැබීම” වැනි කාර්යයක් බව දැනමුත්තෝ පෙන්වා දෙති. එය පෙරහර වෙනුවෙන් කප් සිටුවීම බඳු පොරොන්දු භාරයක් වීමට වඩා බැරෑරුම් කාර්යයකි. වර්තමානයේ මුල්ගල තැබීම් වෙනුවට පුරාණයේ කර ඇත්තේ “මුල් කණුව හෙවත් මඟුල් කප සිටිවීමය.” මුල්කණුව සඳහා යෝග්‍ය දැව සපයා ගන්නා ල්දදේ ඒ සඳහා සුදුසු යයි නිශ්චය කර, තෝරාගත් ගස වෙනුවෙන් නියමිත වතාවත් ඉටු කිරීමෙන් අනතුරුවය. (ප්‍රදේශයේ පැවති ගස්කැපීම පිළිබඳ විස්තර වෙන ඡෙදයක දැක්වේ.) මඟුල් කප ඉඳුවීම සඳහා පැමිණ ඇත්තේ ඒ සම්බන්ධ විශෙෂඥ යකු වශයෙනෙ සැල කෙන “ඉඹුල්පේ දෙවනැන්නහේ” ය. මෙහි දෙවනැන්නැහේ යනු නම්බුනාමයක් මිස “නාම නාමයක්” නොවන බව පෙනේ. සමහර විට එය ගස් තෝරාගානීම, කැපීම හා ඉඳුවීම සම්බන්ධ විශේෂඥතාවෙන් යුතු අයෙකුට ඇති තනතුරු නාමය විය හැකිය. “හෙවනැන්නැහේ” වරු වශයෙන් හඳුන්වන පරවේනි රාජකාරියක් හිමි විශේෂ පිරිසක් දේවාලයේ වෙති. ඒ අයගේ රාජකාරිය වන්නේ දේවාභරණ වැඩමවන අවස්ථාවේ “සංහි‍ෙඳ්” ගෙන දීම හා හෙල්ල වැනි ආරක්ෂක ආයුධ ගෙනයාම වේ. එය හේවායකුගේ කාර්යය සමවන්නකි. දෙවනැන්නැහේ යනු ද එවැනි විශේෂ තනතුරු ධාරියෙකි. ඔහු මඟුල් කප හිඳුවා ඇත්තේ “තුන්මහල්” ගොඩනැගිල්ලක් ඉදි කිරීම පිණිසය. දේවාලයේ වැඩ සිටින මාලිගය පිටතට පෙනෙන්නේ දෙමහල් පායක් ලෙසිනි. එහෙත් කපු මහතා සහ අත්තනායක මොහොට්ටාල නිළමේ ඇතුළු ඇතුල් කට්ටලේ රාජකාරි ඇත්තන් පවසන ලෙස මහ දොරටුවේ තිරයෙන් එපිටදී හමුවන ඊ ළඟ දොරටුව සහිත තිරය ඇත්තේ ඉහලින් ඇති ඇතුල් මාලිගය සහිත මාලයට පිවිසීම පිණිසය. ඒ අනුව මේ පිටත දසුන අනුව නොව “ඇතුළත තත්වය සලකා ගත් විට දේව මාලිගය තෙමහලකි.” ඉහළම මාලයට තමාවත් කිසිදාක නොගිය බව කපු මහතා ද පවසයි. පස්විසිරියන් ‍දිග් ගෙය යනු වැඩසිටින මාලිගය ඉදිරි පසට යා කෙරෙන කොටසයි. එහි දිග අඩි 37 කට මදක් වැඩිය. රියන යනු අඩි 1 ½ ක් සේ ගත් විට ඒ අනුව සකස් වූ දිග්ගෙය අද ද දක්නට හැකිය. දිග්ගෙයට යාබදව මැද මිදුලක් සහිතව දාන ශාලා, ගබඩා ගෙවල් හා මුළුතැන් ගෙයද සකස්ව අද ද පවතී. පසු කල අලුත්වැඩියා කර ඇත්තේ වුවද මූලික බිම්සැලසුම වෙනස් කර නැත. මළුව මත ඇති බෝධීන් වහන්සේ දාගැබ හා විහාර ගෙයට නැගෙන හිර දෙසින් දේවාලය පිහිටන ආකාරයෙන් පිටුවා ඇත. බෞද්ධ පූජනීය ස්ථානයක ත්‍රිවිධ චෛත්‍ය යන් පිහිටු වීම පුරානයේ සිටම බෞද්ධ වත් පිළිවෙත්වල අවධාරණය වූවකි. ඒහිදී චෛත්‍යය හා සමගාමීව තරමක් උස්ව පහළ පේසාවලලු වලට ඉහළින් පවතින වේදිකාවක් බඳු ගල්බැම්මකින් වටකළ උස් ස්ථානයක බෝධීන් වහන්සේ හිඳුවා ඇති අතර ඊට ඉතා ස්වල්පයක් පහත්වන ආකාරයේ වේදිකාවක බුදුපිළිම වහන්සේ තැන්පත්වන පරිද්දෙන් වේදිකාවක් තනා ඒ මත ස්ථාපනය කර ඇත්තේය. පළමුව චෛත්‍ය වෙතට ‍ෙගාස් වන්දනා කර බුදු රජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් නැමදීමද අනතුරුව පාරිභෝගික චෛත්‍ය ය වශයෙන් බෝධි වන්දනාවත් ඉන්පසුව පිළිම ගෙයට ගොස් වන්දනා කිරීමත් නියමිත බෞද්ධ වත් පිළිවෙත් ක්‍රමයයි. ඒ සඳහා බෝධීන් වහන්සේ නමක් හිඳුවා තිබීම අනිවාර්ය අවශ්‍යතාවකි. මේ බෝධීන් වහන්සේ බැලූ බැල්මටම ශත වර්ෂ 4 කට මෙපිට එකක් නම් නොවන බව පැහැදිලිව පෙනේ. එකල ද දිවයිනේ බෝධීන් වහන්සේ හිඳුවා ඇත්තේ මහත් භක්ත්‍යාදරයෙන් වැඩමවා ගැනීමෙනි. එහෙයින් නිසැකවම මේ ඇත්තේ අනුරාධපුරයෙන් වැඩම කළ ජයශ්‍රීමහා බෝධි ශාඛවක් බව නිසැකය. මළුව වටා තිබූ “සිව් දෙසට කරවන ලද වාසල් දොරකඩවල්” වෙනුවට දැනට ඇත්තේ දකුණු හා උතුරු දෙසට ඇති දොරටු පමණි. “ආනමේස්ර ගෙවල්” ද අද දක්නට නැත “උළුසුනු කර්මාන්තයෙන්” කරන ලද මළුව වටා බැඳි “හතරැස්පහුර” ද අද දක්නට නැත. පසුකාලීන ප්‍රතිසංස්කරණ නිසා අද ඇත්තේ සිමෙන්තියෙන් සවිගන්වා ඇති පවුරු බැම්මකි ඒ මත තිබූ ආනමේස්සර ගෙවල්ද ඉවත්ව ගොසිනි. ආනාම්ස්සර ගෙවල් යනු මාර්ගය හා පරිසරය රාත්‍රියට ආලෝක කිරීම පිණිස පහන් දල්වා තැබිය හැකි ඇටවුමකි. පුරාණ බැමිවල ස්ථිරව සකස් කර තිබූ කවුළු වැනි නිර්මාණයකි. රාජකාරි ඇත්තන් විසින් පෙරහර දිනවල සකස් කරන තාවකාලික ආනමේස්ර ගෙවල් ද 50 දශකයෙන් පසුව සකස්වන්නේ නැත. 1950 ඔක්තෝබර් වනතුරු ශ්‍රීපාදස්ථානය සඳහා ආලෝකය ලබා දුන් විදුලිජනක යන්ත්‍රය උග්ගල් අලුත්නුවරට ලැබීම නිසා පෙරහර මග ආලෝක කරන්නට හැකි විය. එතෙක් ඒ සඳහා රාජකාරි ඇත්තන් විසින් සකස් කළ ආනමේස්සර ගෙවල් සෑදීමේ සිරිත අනවශය විය. අනු ක්‍රමයෙන් පෙරහර ආලෝක කිරීම වෙනුවෙන් ආනමේස්ර ගෙවල් වල පහන් දල්වා නඩත්තු කිරීම අභාවයට ගොස් ඇත්තේ ඒ නිසාය. මළුව වටා ආනමේස්සර ගෙවල් සහිතව කරවූ පවුර ඉහත විස්තර වූ වීදි මට්ටමේ දක්නට ලැබෙන ආරක්ෂිත පවුරය. පරිශ්‍රයේ වයඹ සීමාව පළල මීටර 12 ක් පමණ වන තෙක් විහිදී කුඹුරු යායට බෑවුම්වේ. උතුරු සීමාව මීටර 15 ක් පමණ පුළුල්ව උස්බිමකට මයිම් වේ. අනෙක් සියලු සීමාවන් මීටර 100 ටත් වඩා පුළුල්ව විහිද යන සමභූමික් සේ සකස් කර ඇති පරිශ්‍රයකි. එය පුරා පැවති ඖෂධ පැළෑටි වලින් සමන්විත ඔසු උයනක් විය. මේ පරිශ්‍රයේ “..සතර දෙස සීමා ගෙවල් හා සතරමං වාහල්කඩ සතරක් කරවා..” ඇති මුත් මේ වනවිට එම වීදි ගෙවල් දක්නට නැත. සතරමන් වාසල්කඩ වල සලකුණු සේ පෙදෙස් වැසියන් පවසන “හඳගල්” නමැති සීමා ගල් පමණක් පවතී. එයින් උතුරු නැගෙනහිර සීමාවේ හඳගල ඉස්මතුව විද්‍යමානව ඇත. දකුණු නැගෙනහිර වාහල්කඩ සීමාවේ 2010 දක්වා පෙනෙන්ටම පැවති හඳගල අනවබෝධයෙන් කළ සංවර්ධන කටයුතු නිසා යටපත්ව ගොසිනි. දේවාලයට ඉදිරිපස සිට මීටර්100 ක් දකුණු දෙසට වන්නට පත්තිනි දේවාලය කරවා ඇති බව පුරාණ ලේඛනයේ සඳහන්ව ඇත්තේය. ඒ ස්ථානය පිහිටියේ මැදගම පුරාණ දේවාල ගොඩ නැගිලි වලට පිටු පසින් ඊට මීරටර් 15 ක් පමණ පරතරයක් ඇතිවන ආකාරයෙනි. “........ ෴කොට්ටයාකන්දේ වන්නිරාලට රන්මුදු ඇල්ලෙන් පහළ වුනු හලඹ දෙනම පත්තිනි දේවාලටෙ වැඩ මෙවු සේක්වා෴ .......” යන පුරාණ ලේඛනයේ අවධාරණය කර දක්වන සටහනින් පෙන්වා ඇත්තේ මෙසේ ඉදි කළ පත්තිනි දේවාලයට ආභරණ පහළ වීමේ පුවතය. දේවාල ගොඩනැගිලි නිමවා පරිශ්‍රය ගොඩනගා අලුත්නුවරක් බවට පත් කර පත්තිනි දේවාලය ද සාදවා සම්පූර්ණ නිමාවට ඊළඟ වසරේ(1583) වෙසක් මස දක්වා කාලය ගෙවිනි. ගතවූ කාලය මාස 10 ක් පමණක් බව පෙනීයයි. මෙතරම් සුවිසල් නිර්මිත පරිසරයක් ගොඩ නැගීමට වර්තමානයේ මෙන් යන්ත්‍රසූත්‍රවල පිහිටක් නොවීය. වර්ග කිලෝමීටර ¼ කට නො අඩුව බිම මට්ටම් කර, පරෙහර මග සාදා, උස්බිමක් මත ගොඩ නැගෙන පූනීය ගොඩ නැගිලි සංකීර්ණය ඉදි කර, කාලාන්තරයක් සුරක්ෂිතව ස්ථාවරව පවතින පරිදි සවිගන්වනම අනුක්‍රමිකව බඳින ලද බැමි මගින් නිමකර ඇත්තේය. ඒ සඳහා මනා පරිනත සැලසුමක් හා විශාල මානව ශ්‍රමයක්ද අවැසි වේ. එවැන්නක් මාස 10 ක් වැනි කාලයක දී නිම කිරීම ආධිපත්‍යමය කළමනාකරණයකින් කළ නොහැක්කකි. ඇත්තෙන්ම්, මේ ගොඩ නැගීම් ව්‍යාපාරය වෙනුවෙන් රජු මෙන්ම වැසියාද එකසේ කැපවී සිටින්නට අවශ්‍යමය. ඒ අනුව විශිෂ්ට කළමනාකරණ න්‍යායක් පිළිබඳ පාඩමක් ද මේ මගින් වත්මන් පරපුරට ලැබ්. සහභාගී කළමනාකරණ (total quality management) හැඟීමක් නොතිබුණි නම් මෙතරම් කෙටි කලක් තුළ මෙවැනි යෝධ කර්තව්‍යයක් ඉටු කළ නොහැකි වෙයි. මෙසේ සකස් වූ අලුත්නුවර විසිතුරු ක්‍රි.ව. 1712 දී “කන්දකුමාර සිරිත” රචනා කරන බාලචන්ද්‍ර බාහ්මණ දකින්නේ පහත සඳහන් ආකාරයෙනි.

තුමුල් දිගු පුළුල් ගල් ටැන් පිහිටි අගල් වට උරග දරනෙව් 		මහත් නදිනා
විසල් තල් පොල් පුවක් උක් කෙහෙල් අඹද මෙපුර වට නැදුනුයන 	      ලෙසිනා
කමල් විල් පතැස් පොකුණූ ජලය පිරි පමණ නැත ලද 			සුවඳ වැකුනා
“මෙකල් කල් නුදුටු වර” නමින් යුත් මෙපුරවර සේම වෙන ඇද්ද 		  මුළු දෙරනා
ගුවන් දජ පෙලින් පෙළ  පවන් බැඳ ලෙලෙන රඟ අහස් ගඟ දිය කෙලින 	විලසේ
දෙමින් නද පසඟුතුරු ලිවයුරා එපුර සිඳු තරඟ සසල රැල                      	විලසේ
නළුන් නළඟනන් සහ දේනු වීනා නදින් දෙවි වින රැගති හැම 		දවසේ
මෙවන් සිරි නුදුටු නුවන් පල නොලත් ශටි මයුර පිල මෙන් 	      නොදිසේ
අරුනු ගිරි කුහරයෙන් අඳුරු කඳ දහන නිසත් දිනකර මඬල 		විලසේ
ගගන ගන සක් හඬින් නැගෙන රන් රසු දැලින් මුදුන ශදි රන්නෙතින් 	දිලිසේ
බඳින රන් රසු දැලින් සෙමෙර නල සවන් වැද ලෙලෙන මෙන් විදුලි සිය 	දහසේ
නදන සිරි ශර පසිඳු “අළුත්නම් මෙපුර” වර ශවන් සිරි අසිරි පල 	       නොලසේ


“....සිද්ධකරවා වදාරාපු දේවාලටෙ...පංචංගික තූර් නාද භෙරිඝෝෂා.....”


වෙසක්මස වන විට වැඩ නිම කළ අලුතෙන්ම ඉදි කළ “අලුත්නුවරට” හෙවත් කතරගම දෙවියන් උදෙසා උස්බිමක ඉදිකළ උස්ගල් අලුත්නුවර හෙවත් “උග්ගල් අලුත්නුවර” නව දේවාලයට පළමුවෙන් තිබූ මැදගම දේවාලයේ සිට දෙවියන් වැඩමවා ඇත්තේ “වෙසක් මස පුරතෙලෙස්වක ලත් බුදදින පාන්වූ නව පෑ කාලෙන් හ‍ෙත් නැකතින් ........” බව දැක්වේ. ඒ අනුව එය බදාදා දිනක උදේ පාන්දර උදාවූ සුබ නැකතකි. ස්වර්‍ණනායුද වැඩමවන ලද විචිත්‍ර විශේෂ පෙරහරක විසිතුරු ද පුරාණ ලේඛනයේ දැක්වේ. පඤ්චාංගික තූර්ය නාද ශිල්පීන්ගේ පස් ආකාරගත් නාදමාලා මධ්‍යයේ, විශෙෂයෙන් කැපී පෙනෙන බෙරවාදන වලින් ගිගුම් දෙවමින් අලංකෘතව, උඩට උඩුවියන්, පයට පාවඩ, සක්, පලිස්, කුඩ, කොඩි, රැගත් අය සමගින් දෙපස පිරිවරාගත් ආවඩන්නන්ගේ ආවැඩීමේ නාද මධ්‍යයේ නව දේවාලයට දේවාභරණය වැඩමවූ බව එයින් පැහැදිලි කෙරේ. (ආතත, විතත, විතතාත, ඝන, සුසිර ආදී ලෙස දැක්වෙන පස් ආකාරයක තූර්ය වාදන භාණ්ඩයන් පඤ්චංගික තූර්යවාදනයට අයත්ය. “වීදිදාස් වැඩමවීම” නම්න් උග්ගල් අලුත්නුවර පෙරහරේ දක්නට ඇති විශේෂ පෙරහරක් වෙයි. එය ලංකාවේ අන් කවර පෙරහර උත්සවයක හෝ දක්නට නොලැබෙන්නකි. මහා පෙරහර අවසන් දින රාත්‍රියේ මේ විශේෂ පෙරහර සිහිගන්වන්නේ ඉහත කි්‍යු නව දේවාල ගොඩ නැගිලි කරා දේවාභරණය වැඩමවීමේ අවස්ථාව බව පෙනේ. පැරැන්නන් අර්ථදක්වන්නේ ද එලෙසිනි. වර්තමානයේදී අවසන් පෙරහර දින පසුවී පසු දිනට පහන්වීමට ආසන්නයේදී (වෛතාල වේලාව ) පුරාණ මැදගම දේවාලය තිබූ ආසන්නයේ කලින් දින නවතා තිබූ දේවාභරණ රථයේ සිට පාගමනින් දේවාභරණයක් දේව මන්දිරය කරා වැඩමවන අවස්ථාවක් දකුනට ලැබේ. අද කාලයේදී ද වැයෙන කයිතාලම්, උඩැක්කි, දවුල්, බෙර, තම්මැට්ටන් . වරින්වර නාදවන සක්හඬ නිමවනවාත් සමගම විවිධනාද රිද්මරටා මවමින් විහිද යන තුරම්පේතුතු හඬ සිහි ගන්වන්නේ ඉහත කී පෙරහරම බව මේ ලේඛනයේ තොරතුරු සසඳන විට ඉතා පැහැදිලිව පෙනීයයි. එහි මෙන්ම දෙපස සිට ආවඩන, දිග්ගේ නැටුම් ඉදිරිපත් කරන හා ආලත්ති තේවාවේ යෙදෙන මෑණිවරුන් ද පිරිවරා සිටිනු ‍පෙනේ.

කන්දකුමාර සිරිතේ මේ පෙරහර සිද්ධිය

බින්දවා තුරු මුළුත් උදුරා සතරවීදිය තනා 		අවටින
ඉන්දවා කප සුබ මොහොත් ගෙන තනා දෙමහල් පාය 	අවටින
“වන්දවා සත ආවැඩුන් දී රන් අවිය එහි වැඩම 		කරමින” 
බන්දවා පුද පඬුරු සමගින් ගමුත් පුදවා එරජ වැඩි		    තැන

ලෙසින් විස්තර කෙරේ. නව දේවාල මන්දිරයට දේවාභරණ වැඩමකරවීම සඳහා "නාරායන අප්පුහාමිත් රාමචන්ද්‍ර කියන අප්පුහාමිත්" සහභාගී වූ බව දක්වා ඇත්තේ “බ්‍රාහ්මණ” යන පසු නාමය අත හරිමිනි. ඉන් හැඟ‍නවන තවත් වැදගත් අදහසක් වන්නේ මීට වසර 200 කට පෙර සංක්‍රමණය වූ බ්‍රාහ්මණ පිරිස දේශීය ජනතාව හා එක්වෙමින් නෑදෑකම් වගා කරගනිමින් “අප්පුහාමි” වැනි නම්ද පට බැඳගෙන ඇති බවය. උක්ත පෙරහර අබියස දවුල් පන්දන් ලවමින් කවි සින්දු හා නොයෙක් නළු නාටක නැටුම් ද තිබුණු බව කියවේ. මේ අප්පුහාමිවරුන් දෙදෙන “මහරන්කෙණ්ඩියෙන් නානුමුර කර තුනුමුදුනෙන් යාපා මහා රාජෝත්තමයන් වහන්සේ කරවා වදාරාපු දේවාලේට කන්දකුමාර දෙවියන් වහන්සේගේ ස්වර්‍ණායුද වැඩමෙව් සේක්වා෴” යනුවෙන් දේවාලය කරවා ආභරණ වැඩමවා තැන්පත් කිරීමේ විස්තර නිමා කරයි. මේ විස්තර කන්දකුමාර සිරිත හා පවතින ජනකතා හා සැසඳීමේ දී දක්නට ඇති සමාන කමත් දැනට විද්‍යමාන පුරාවිද්‍යාත්මක සාධක අනුව සනාථ වන ආකාරයත් සලකන විට පුරාණ ලේඛනය ලියූ තැනැත්ත‍ා අඥාත වුවද ලියන ලද කාලය නිශ්චිතව සඳහන් නුවූවද මූලාශ්‍රයක් වශයෙන් ඇති විශ්වස්‍යතාවයේ වටිනාකම අඩු නොවන බව කිය හැකිය.

කතරගම දේවාලය හා මැදගම දේවාලය · මහා පෙරහර මූලාරම්භය