උග්ගල් අලුත්නුවර/කතරගම දේවාලය හා මැදගම දේවාලය

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

උග්ගල් අලුත්නුවර කතරගම දේවාලය බවට පත්වූයේ මැදගම දේවාලයද ?[සංස්කරණය]

වර්තමානයේ අද අප දකින දේවාලය ඉදිකර ඇත්තේ සූරිය මහරාජ අවදියේ මැදගම දේවාලය ඉදිකිරීමෙන් වසර 200 කට පසුව බව තල්පතේ දැක්වේ. ඒ අනුව එය ක්‍රි.ව. 1582 සේ නිගමනය කළ හැකි වෙයි. 1582 යනු ලංකා ඉතිහාසයේ සීතාවක යුග‍යේ ස්වර්‍ණමය වකවානුවය. සීතාවක මායාදුන්නේ රජුගේ පුත් ටිකිරි රජ්ජුරු බණ්ඩාර යාපාවන් සිංහරාජායකු සේ "රාජසිංහ" යන ගෞරව නාමයෙන් යුතුව ප්‍රානමය ලබා වැජඹුන වකවානුවයි. ටිකිරි කුමරුන්ගේ ක්‍රියා සාඵල්‍යය විමසන විට "රාජසිංහ" යන්න විරුදාවලි නාමයක් බව පහසුවෙන් නිගමනය කළ හැක්කකි. මහඇදුරු රිසිමන් අමරසිංහ ශූරීන්ගේ සිතාවක පිළිබඳ අගනා පර්යේෂණ නිබන්ධනය වූ "උන්නතියේද අවනතියේද................. " යන ග්‍රන්ථ රත්නය ගැන නැවත අවධානය යොමු කරවීම වටනේය. හේතුව එය සීතාවක රාජසිංහයන් පිළිබඳ ඉතිහාසය වැසෙන සේ පැතිර ගිය දුර්මතයන් කදිමට පැහැදිලිව අනාවරණය කර ඔප්පු කර පෙන්වන කෘතියක් බැවිනි. සීතාවක යුගය යනු පරසතුරන්ගෙන් රට බේරා ගැනීමට ඉමහත් ධෛර්යයකින් නැගී සිටි අභිත් වීරවරයන් සිටි වකවානුවයි. සීතාවක රාජසිංහයන් 1582 වන විට යාපනය හැර මුළු දිවයිනේම තම රාජ්‍යත්වයවය තහවුරු කර ගෙන තිබුණි. එතුමා ලංකාවේ විවිධ ස්ථානවල දේවාල ඉදි කළ වකවානුව වන්නේද මේ ආසන්න කාලයයි. කබුළුමුල්ල පත්තිනි දේවාලය, රත්නපුර මහසමන් දේවාලය, බොල්තුඹෙ සමන් දේවාලය මේ අතර ප්‍රකට වැදගත් ස්ථාන වෙයි. එතුමා ක්‍රි.ව.1582 දී මහසෙන් දෙවියන් උදෙසා මැදගම දේවාලයක් කළ බවට තොරතුරු මහාචාර්ය රිසිමන් අමරසිංහ‍යෝ පෙන්වා දෙති. එතුමා සොයාගත් , සීතාවක රාජ්‍යය පිළිබඳ වැදගත් තොරතුරු අඩංගු, 1599 දී ලියැවනු බවට තහවුරු කර ඇති තල්පත් ලේඛනයක් මගින් එය පෙන්වා දෙයි. උග්ගල් අලුත්නුවර යනු මේ දේවාලය ද ?

එකල් යාපා නිරිඳු යුදයට ගොසින් දෙවරක්   පැරදුනේ
සියල් සිව්රඟ සෙනග සමගින් තුන්වෙනුව වඩිනා  දිනේ
ලකල් මැගම යන ගමේදී සක් නදක් අසමින්    වනේ
විපුල් රිවිකුල ප්‍රභාපති මේ කිමෙක්දැයි  වදහල  තැනේ

යන කවිය උග්ගල් අලුත්නුවර දේවාල කාර්තික මංගල්‍ය පෙරහර අවස්ථාවල ප්‍රවේනි රාජකාරි නැටුම් ශිල්පීන් ගායනා කරන, ස්තොත්‍ර කවිවල මුල් එකකි. එයින් කියවෙන්නේ යාපා රජු දෙවරක් යුද්ධ කර පැරදුන බවක් සහ තෙවනුව යන ගමනේදී මැදගම වනයේ සක් නාදයක් ඇසුන බවකි. කන්දකුමාර සිරිතේ අඩංගු මේ කවිය සේම එම නැටුමේ දී මෙන්ම, දිග්ගෙයි නැටුමෙන් පසුව පැවැත්වෙන කවිකාර මණ්ඩපයේදී ද ගැයෙි. ඒ නිසාම ගමේ බොහෝ දෙනකු ද මතකයෙන් පවසන, කවිකාරමණ්ඩපයේ ගැයෙන අන්‍ය කවි මගින් ද ලේඛකයාට ලැබුණ පුරාණ ලේඛනය හා ජනකතා මගින් ද යුද්ධය, යුද්ධ සැලසුම්කරණය, ගමන්මාර්ග හා දේවාල පරිශ්‍රය සමග ඉදිකිරීම්ය ගැන ද බොහෝ විස්තර ලැබේ. (දේවාලයේ කවිකාර මණඩලය හා මේ රජු කවුරුන්ද යන්න පිළිබඳව වෙන වෙන ඡෙදයන්හි ඉදිරියේ දී වෙනම සාකච්ඡා කෙරේ.) මේ අනුව මැදගම වනාන්තරයේ උස්කඳු මුදුනක පිහිටි සුවිසල් නුග රුක රහස් මන්ත්‍රණ සඳහා යෝග්‍ය විවේක ස්ථානයක් බැවින් රජතුමා යුද සැලසුම් රැස්වීම සඳහා යොදා ගෙන තිබිණි. මේ අවස්ථාවේදී ආසන්නයේ ඇසුනු ශංක නාදයක් නිසා විමසිලිමත් වූ රජුට ගමේ දැනුමැත්තකු වූ ද සිය සේනාවේ විධායකයකු වූ කලින් සිටි මැදගම බණ්ඩාරගේ තෙවෙනි මුණුපුරා වන බණ්ඩාර වරයකු විසින් පවසා ඇත්තේ කතරගම දෙවියන්ගේ ස්වර්‍ණාභරණයකට නාරායන අප්පුහාමි නම් වූ "පරදේසියෙක්" කරන තේවාව වශයෙනි. පුරාණ ලියවිල්ලේ මේ නාරායන අප්පුහාමි බ්‍රාහ්මණ පිරිසගෙන් පැවත එන අයෙක් බව පවසයි. බාල චන්ද්‍ර කවියාද පැහැදිලිවම ප්‍රකාශකරන්නේ තේවාව කර ඇත්තේ විදේශිකයකු බවය. මේ අන්කවරෙක් හෝ නොව මීට වසර 200 කට පෙර මැදගම දේවාලයේ තේවා කරමින් සිටි බ්‍රාහ්මණයන්ගෙන් පැවතෙන්නෙකි. පරදේසියෙක් යන වදන යොදා ඇත්තේ ඔවුන්ගේම මුණුපුරකු වන බාලචන්ද්‍ර බ්‍රාහ්මණයන්ම වීම විශේෂිතය. මැදගම දේවාලයේ මූලාරම්භයේම පැමිණ ස්ථාවර වූ බ්‍රාහ්මණ පිරිස් ස්වදේශිකයන් විසින් පූජනිය පිරිසක් වශයෙන් පිළිගෙන කටයුතු කළ අය වෙති. එහෙයින් විදේශිකයන් වුවද භේදයක් තිබී නැති බව පැහැදිලි වෙයි. (වර්තමාන කපු මහතාද බාලචන්ද්‍ර බ්‍රාහ්මණගේ වාසගම ඇත්තෙකු නමුදු ගැමියන් හා සෙසු රාජකාරි කරුවන් මගින් අදත් සැලකුම් ලබන්නේද නිළමේ වරයකු වශයෙනි. උක්ත පරම්පරාව කෙතරම් දුරට මේ ප්‍රජාව හා බැඳී ඇත් ද යත් පසු කලෙක ආවාහ විවාහ වී ඇත්තේද මෙහි සිටි නිළමේවරුන්ගේම පවුල් වලිනි.) රජු මෙහිදී අසල ඇති කොස් පැලයේ රන්පනම් දහසකින් යුතු පඬුරු පොදියක් ගැට ගසා මේ යුද්ධය දිනුවොත් මෙතැනම නුවරක් අලුතෙන් ඉදි කර‍ නව දේව මන්දිරයක් ද ඉදිකරන බවට භාර වී ඇත. එය ඉතා පැහැදිලිව කන්ද කුමාර සිරිතේ ඇති පහත කවි මගින්ද තහවුරු වේ.

මහත් වලියෙන්එගම දැනුමැති එක්කෙනෙක් ලොව පැවත           ආවේ
දොහොත් මුදුනේ තබා නිරිඳුට අභිමුඛව මේ ලෙසට             කීවේ
සැපත් සිරිලක මගුල් ගෙය මෙන් දිගා ආසිරි ඔබට             බෝවේ
සවත් දෙවිඳුගෙ රන් අවියකට පරදේසියෙක් කරන             තේවේ
කියූ මෙතෙපුල් අසා නරනිඳු සිරිමුවෙන් වදහලේ             මෙලෙසින
ගමන යන මේ යුදෙන් ජය ගෙන සැපසේ ආවොත් මෙදෙවි       බලයෙන
මෙතෙන දෙවිඳුට නුවර කරවා ගමක් පුදවා පඬුරු             දෙවමින
රැගෙන රන්පත් පනන් දහසක් පඬුරු බඳවා එරජ             වැඩිතැන
ගිමන් හරින නුග සෙවනේ නර            රද
සවත් දෙවිඳු රණ යුදයට වන්             සඳ
රුවන් ඊය වැද දක්ෂිණයෙන්                 වද
ලඟින් වැටුනි අසුරා රජු මන්              බිඳ
ගර්ජනා කර සිව්වරන් දෙවි කන්ද කුමරිඳු මවා   පාලා
දුර්ජනා අසුරා දෙපළු කර නූ නීතියෙන් පවත්      වාලා
වර්ජනා කර වඩින සව්සත එක්සනයෙන් දිවස්   වාලා
නර්තනා කර නීරෝහියෙන් මාලිගාවට වැඩම   වාලා


රජු ඉන් පසුව සේනාව සමග යුද්ධයට ගිය අතර “ඕපානයක මාලියද්ද වෙල" ආසන්නයේ කඳු මුදුනක පිහිටුවා තිබූ “ගමන්මාලිගාවේ” සිට යුද්ධය මෙහෙයවා ඇත. මාලිගා ගොඩැල්ල ලෙස ප්‍රදේශ වැසියන් හඳුන්වන උස්මුදුනක් වෙල්යාය ආරම්භයේ අද ද දක්නට හැකිය. ගමන් මාලිගාව යනු මෙකල තාවකාලිකව රජකු නවාතැන් ගැනීමට කඳවුරු බඳින ලද ස්ථාන බව පෙනේ. එහි සිට රජු හා සේනාව සතුරු රජු සමග සුනුවෙල වෙල දක්වා යුද්ධ කළ අතර සුනුවෙල වෙලේ දී යුද්ධය සමහන් වීය. එය සංකේතවත් කරමින් සුනුවෙල ඇලට පේරැස්මුදු ගලවා දමා “අදපටන් මේ ඇල පේරැස් ඇල” යයි නම් කර ඇත. මේ කියන ප්‍රදේශයේ හෙවත් වර්තමාන හුනුවල ඇති ස්වාභාවික ඇල අද හඳුන්වන්නේ ද පේරැස් ඇල ලෙසය. යුද්ධය සමහන් වීමෙන් පසුව යාපා රජු ජය කෙහෙලි නංවමින් ආපසු පැමිණ ඇත්තේ මැද්දේගම් නුවරට ය. මැද්දේගම්නුවර සිට විල්මාන අඩවිය ඔස්සේ රජු වෑ එලිතැන්නේ ගමන්මාලිගය දක්වා ගිය බව පුරාණ ලේඛනයේ සටහන් ව ඇති මාර්ගයයි. කඳු නිම්න වල නොව මුදුන් දිගේ ද සකස් කරගත් මාර්ග භාවිත කිරීම වැසියා හා රජ්ජුරුවන්ද අනුගමනය කර ඇත්තේ ආරක්ෂිත පියවරක් වශයෙනි. එය පෘතුගීසීන් වැනි විදේශිය සතුරන් ඈතදීම හඳුනා ගෙන පහසුවෙන්ම පහර දීමට හැකියාව ලබාදුන් යුද්ධ උපක්‍රමයක් වෙයි. “පාරවල් දහස් ගණනක් ඇතත් පාලම් ඉතා විරල බව ද සියලු පාරවල් අඩිපාරවල්” බව ද විස්තර කෙරෙන රො‍බට් නොක්ස් තබා ඇති සටහන් අනුව රජවරැන් කෙතරම් ආරක්ෂක උපායමාර්ග භාවිතකළේ ද යන්න සිතිය හැකිය. මෙහි විල්මාන අඩවිය යන්න විශේෂිත නමකි. එය දැනට ව්‍යවහාරයේ නැතත් විල්මාන අඩවිය යනු විල් සහිත මානම්(තෘණ විශේෂයකි) තිබූ පෙදෙසක් සේ ගත හැකිය. එය රජු යුද්ධය සඳහා පැමිණි මග නොවේ. එම මාර්ගයේම අපසු පැමිණි‍ෙය් නම් රජුට මැදගම වනාන්තරයේ පිහිටි දේවාලය මුණ ගැසීමට ඉඩ තිබුණි. මැද්දේගම් නුවර යනු කලින් ද සඳහන් කළ පරිදි රහස් මාලිගයක් තිබුණු ආරක්ෂිත නගරයකි. මෙකල බස් වහරේ විශේෂත්වයක් වන්නේ රජු වාසය කරන ස්ථානය “නුවර” යනුවෙන් හැඳින් වීමේ පුරුද්දක් වීම ය.(බලන්න මහාචාර්ය විමලානන්ද ශූරීන්ගේ උඩරට මහ කැරැල්ලේ නඩු විභාගවලදී සාක්ෂ දීපු අය ගේ ප්‍රකාශ) ඕපනායක සිට මැද්දේගම් නුවරට කඳුමුදුන් අශ්‍රිතව පැවති අඩිපාර සලකුණු පෙන්වා දිය හැකි පරැන්නෝ වෙති. ඕපනායක සිට කරව්කැටිය ඔස්සේ පැමිණ බළන්ගොඩ හරහා රාස්සගල දක්වා ඇති පුරාණ පාර ගැන ආනන්දමෛත්‍රය හිමිපාණන් වහන්සේද විස්තර කරති. (“මහිමය” පළමු කලබ පළමු ලිපිය- බළන්ගොඩ නගරසභා පුස්තකාල වාර ප්‍රකාශනය) මැද්දේගම් නුවරට පැමිණ එතැන් සිට කඳු මුදුන් ආශ්‍රිතව වැටී ඇති මග මෙහිදී භාවිත කර ඇත. ළඳුයාය පෙදෙස හරහා මහඑළිය දක්වා ඇති (හෝර්ට්න්තැන්න) පාරත් දැනටත් මැණික් ගැරීම සඳහා යාමට මේ පෙදෙසේ අය පාවිච්චි කරති. (1940 අඟලේ සිතියම මෙසේ පැවති අඩිපාර සලකුණු පැහදිලිව සටහන්ව ඇති ඓතිහාසික සිතියමකි. ) මහඑළිය යනු විල්මාන අඩවිය යනුවෙන් හඳුන්වා ඇති පෙදෙසම බව පෙනේ. විල්මානඅඩවිය යන නම ප්‍රදේශයේ භූගෝලීය පරිසරයට මනාව ගැලපෙන්නකි. එය ගංදඟර හා දුනුවිල් සහිතව පරිනත ගංගාවක ලක්ෂණ කියාපාන අඩි 5000 කට පමණ උසින් පිහිටි අපූරු උස් තැති බිමකි. රිචඩ් හෝර්ට්න් විසින් ඉංග්‍රීසීන්ට අලුතෙන් සොයාදුන් මේ පෙදෙසට අප භාවිත කළ නම වෙනස් කර ඇත්තේ ඔවුන් විසිනි. අද එය හෝට්න්තැන්න (Horton plains) සේ භාවිත සංචාරක ආකර්ශනය දිනාගත් එකකි. එහි සිට බළන්ගොඩට ඇති ප්‍රපාතාකාර බෑවුම වර්ල්ඩ්ස් එන්ඩ් වෙයි (worlds end) උක්ත මග දිගේ යන පිරිසකට උග්ගල් අලුත්නුවර පෙදෙසෙ හමු නොවන්නේ ඈත නිසාම නොව මාර්ගය උග්ගල් අලුත්නුවරට වඩා අඩි 3000 පමණ උඩින් පිහිටි එකක් වීම ද හේතුවෙනි. එතැන් සිට ඉදල්ගස්හින්න කපොල්ල හරහා කළුපහණ පෙදෙසින් වෑලියදෙසටත් වැල්ලවාය වැනිපෙදෙස්වලටත් යා හැකි මාර්/යක් විය. මෙසේ විල්මාන අඩවිය මැද්දෙන් ගිය රජතුමාට වෑඑළිතැන්නේ (අද වෑලිය ලෙස භාවිත පෙදෙස)ස්වරය හිරකළ උගුරේ අමාරුවක් වැළඳුනි. පුරාණ ලේඛනයේ මෙය සටහන්ව ඇත්තේ “සොරවියල්ගඩුවක්” යනුවෙනි. ‍ ගඩුව හෝ ගඩය යන වදන් දෙකම ශරීරයේ හටගන්නා ගෙඩිවලට අද ද භාවිත ‍වෙයි. මේ ලෙස හටගත් උගුරේ අමාරුවට හේතුව සිතාගැනීමට රජතුමාට නොහැකි විය. රජුගේ උපදේශකයන් විසින් මෙහිදී මැදගම දේවාලයට වූ භාරය සිහිගන්වනු ලැබීමෙන් කලබලයට පත් රජතුමා එවලේම වෑ එලිතැන්නේ “මයුරවාහානාරූඪ කොඩියක්” සිටුවමින් නවයාල දොලමුණෙ හරිය කන්දස්වාමීන් වහන්සේට සිද්ධ කරන දේවාලයට පුදවා” යනුවෙන් විස්තරවන ආකාරයට වෑඑළිතැන්න මැද්දේ මයුර සංකේතය සහිත කොඩියක් සිටවා භාරය අලුත් කරමින් එම පෙදෙසේ අමුණු දොලසක් හා යාලනවයක් ප්‍රමාණය කතරගම දෙවියන්ට පිදුවේය. ඒ විගසම රජතුමාගේ ස්වරය ගුණ වූ හෙයින් එම පෙදෙස සොරගුණය ලෙස නම් කළ බව කියවේ. (සොරගුණය යනු කතා කරන්ට හැකිවූ බව විය හැකිය) කවි මාලාවේ ද පුරාණ ලේඛනයේද මේ විස්තර පැහැදිලව සටහන්ය. කන්දකුමාර සිරිතේ කවි මගින් දක්වා ඇත්තේ පහත දැක්වෙන ලෙසටය.

සවත් දෙවිඳුට පඬුරු යදිමින් නිරිඳු සඳ යුදයට		වඩින්නේ
මහත් ඒ දෙවි බලෙන් රුපු රජ මගුල් සන්තානෙට	වඩින්නේ
කොඩිත් උනමින් මුදුත් ගලවා දැමූ පෙරස් ඇල 	කියන්නේ
මහත් පුද පෙරහර පවත්වා දෙරජ දෙදිසාවට 		 වඩින්නේ


  සිහිවුනේ නැත පඩුරු යැද්දා එරජ ගම පසු කර         	වඩින්නේ
  දෙවිගුණය සිහි නොවී වැඩි සඳ රජුන් උගුරේ ලෙඩක්	  වන්නේ
  දෙව්ගුණය සිහි කරපු විගසින් ලෙඩේ ගුණ බව දැනී  	  යන්නේ
මෙවදනේ බොරුවක් සිතෙයි නම් සොරගුණේ නම එදයි	   දුන්නේ

එයින් අනතුරුව රජු සිය භාරය ඔප්පු කරනු පිණිස වඩා පහසු මගකින් ආපසු පැමිණ ඇත. මෙසේ වෑ එලිතැන්නේ' (වර්තමාන වෑලියේ) සිට උග්ගල් අලුත්නුවර දක්වා ඇති කෙටි මාර්ගය අදත් භාවිත කළ හැකි එකකි. පුරාණ පුස්කොල ලේඛනයේද ජනකතාවන්හිද තොරතුරු මගින් රජු ආපසු එද්දී මග දිගටම ගම්බිම්පිදූ බවත් දැක්වේ . සොරගුණයට නම් තැබුවා සේම ආපසු එන මග ද තම උගුරේ ආබාධය පිළිබඳ විශේෂ සිදුවීම් දුටු තැන එනමින්ම පෙදෙස නම් කළ බව දැක්වේ. ඒ නම් අද පවා භාවිතය. සොරගුණය පිදවිලි ගමක්ව පුරාණයේ තිබූ බව සොරගුණු දේවාල තුඩපතේ සඳහන් තොරතුරු මගින්ම හෙලිවේ. එහි දැක්වෙන ආකාරයට සොරගුණ පෙදෙසේ අද දක්නට ඇති කුඩා කතරගම දේවාලය ඉදි කර ඇත්තේ උග්ගල් අලුත්නුවරට කදමල්ල බැඳගෙන යාමේ දී උග්ගල් අලුත්නුවර වැසියන් විසින් කළ අවනම්බුවක්' නිසා නොහැකි වීමෙන් දෙවියන් ගෙන් වරම් ගෙන තමන්ට දේවාලයක් ඉදි කරගත් බවකි.

“භාරය අලුත් කිරීම” හා ආපසු පැමිණීම

"භාරය අලුත් කිරීම" යන්න පෙදෙස් වැසි බැතිමතුන් අතර අදත් භාවිත සිරිතකි. යම් අ‍පේක්ෂාවක් ඉටු කරගැනීම වෙනුවෙන් දෙවියන් උදෙසා යමක් කරන බවට පොරොන්දු වීම දෙවියන්ට භාරවීම ලෙස හැඳින්වේ. කෙනෙකු භාරයක් වීමෙන් අනතුරුව අපේක්ෂාව ඉටුවීමෙන් පසුව භාරය ඔප්පු කිරීම අනපේක්ෂිත බාධාවන් නිසා පමාවීමට ඉඩ ඇත. එසේ පමාවූ බැතිමතුන් අද ද භාර අලුත් කිරීම උදෙසා පඬුරු පුද කිරීම දක්නට ලැබෙන්නකි. එය රජතුමා අනුව යමින් ඉටු කරන සිරිතක් වැනිය. යම් කිසි හේතුවකින් අසුද්දයක් ඇති වීම නිසා හෝ රජුට මෙන්ම අමතක වීමක් නිසා නියමිත කාලයේ භාරය ඔප්පු කිරීමට අපහසුවන අවස්ථාවන් උද්ගත වීමට හැකිය. එවන් අවස්ථාවල අලුතෙන් එය සිහිකර පඬුරු දීම සිරිතක් සේ සිදුවන්නකි. එය භාරය අලුත් කිරීම නම් වෙයි. රජු සොරගුණයේ සිට ආපසු එද්දී හමුවූ ගම් සෑම එකකින්ම තමන් කරවන දේවාලයට පිදූ ගම්බිම් බව ප්‍රකාශයට පත් කරමින් පැමිණ ඇත. (මෙසේ පුදන ලද ඇතැම් ගම්මාන හා කෙත් යායවල් පසු කලක සබරගමුව පළාත් මායිමවෛනස් කිරීමේදී ඌව පළාතට අයත් වීමෙන් අහිමිවී ඇති බව පෙනීයයි. 1818 උඩරට විමුක්ති සටන නිමාකර දැමීමෙන් අනතුරුව එළඹුන සමයේ මහවලතැන්න දිසාව ඇතුළු පිරිසක් ඌව පළාත් මායිම වෙනස් කර සබරගමුවේ අහිමිව ගිය ඉඩම් නැවත යා කර ගැනීමට යත්න දැරුවත් ඉංග්‍රීසීන්ගේ ප්‍රතිචාරය යහපත් නොවීය.(බලන්න මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද ශූරීන්ගේ උඩරට මහකැරැල්ල) මේ නිසා මෙහි විස්තර කෙරෙන කොස්ගම හා මලපේ ආශ්‍රිතව පිදූ ඉඩම් අහිමි විය. මෙහි දැක්වෙන නැදුන්ගමුව, කලවැල්පේ,කිංචිගුණේ, පීලිපොත හා වරකාවෙල ද තව වසර කීපයකින් මෙසේ සටහන් කළ නාමාවශේෂ ඒවා පමණක් වනු ඇත. 1990 දී පමණ මේ ඉඩම් සහ කුඹුරු අක්කර 800 කට අධික ප්‍රමාණයක් සමනළ වැව ඉදිකිරීම නිසා අහිමිව ගිය බව පැවසේ.) රජුට හමු වූ ගම්මානයන් හා පිදීම හ‍නෙම් කිරීම සම්බන්ධ විස්තර මෙසේය.

  1. කොස්ගම

සොරගුණයට පසුව හමුවූ පළමු ගම්මානයයි. මේ ගමම පූජා කර ඇත.

  1. මලපේ
මෙම ප්‍රදේශයෙන් දොලොහොමුණක් (අමුණු දොලසක් කුමුරු ප්‍රමාණයන් අද ද දක්වනු ලබන්නේ අමුණු හා පෑල් යන මිනුම් වලිනි. 1870 විහාර දේවාලගම් ලේඛනයේද
මේ මිනුම් භාවිත වේ. අමුණක් යනු අක්කරයක් හෝ හෙක්ටයාර භාගයක් පමණ ප්‍රමාණයකි.) පුදනු ලැබුවේ මල් කලසක් පිදීමෙන් අනතුරුව බව ද ලේඛනයේ දැක්වේ. 
  1. මැදුන්ගමුව
(වර්තමාන නැදුන්ගමුව)මේගම්මානයම පිදූ බව සඳහන්ය.

  1. එකලවැල්පේ
මේ ගම ද (වර්තමාන කලවැල්පේ හෝ කරපේ)  සම්පූර්ණයෙන් පිදූ බව සඳහන්ය.
  1. කිංචිගුණේ
මෙගොඩ හන්තානෙ පෙදෙසේ දී උගුරේ ගෙඩිය තරමක් ගුණ වූ බව දැනුන අතර එම පිදූ ගම් පෙදෙස “කිංචිගුණේ” ලෙස නම්කළ බව දැක්වේ. එම කුඹුරු යායන්ට අදාල   
පෙදෙස් අද ද හැඳින් වෙන්නේ ද එම නම් වලිනි. 
  1. උඩවෙල
කුඹුරු අමුණු පණස් පහක් පුදවා ඇත. 
  1. පීලිපොත
කුඹුරු දහ අට අමුණක් පුදවා ඇත. මේ පෙදෙසට පීලිපොත යයි නම් කළේ පැසවා තිබූ ගෙඩියේ සැරව පීල්ලකින් මෙන් වෑහෙන්නට වූ බැවින් යයි සඳහන්වේ.
  1. වරකාවෙල
මෙහි කුඹරු අමුණු හතලිස් පහක් පිදූ බව දැක්වේ. ජනවහරේ පැවසෙන්නේ මේ පෙදෙසේ දී උගුරේ පැවති ගෙඩිය වරකා ගෙඩියක් මෙන් දිස්වන පරිදි සැරව ගලාගොස් පිරිසිදු වූ  
බවකි. එහෙයින්ම ඒනමින්ම ‍කුඹුරු යාය ද නම් කෙරුණු අතර අදත් එය භාවිත වන්නකි. 

මෙසේ රජු ඇතුළු පිරිස ආපසු පැමිණි මාර්ගය අනුපිළවෙලට දැක්වූ විට සේරගුණය සම්බන්ධ කරන පුරාණ රජමාවතක තොරතුරු පැහැදිලි හෝඩුවාවන් ද ලැබේ. මේ ගම් ප්‍රදේශ යාකරන ඒ පුරාණ මගේ අඩිපාරවල් තවම පවතී. පැරැන්නන් මේ මාර්ග සිය දෛනික කටයුතුවලදී භාවිත කළ අතර මැණික් ගරන පිරිස් දැනුදු භාවිත කරති. ලේඛකයාට ද මේ පාරවල් වල ඇවිද ගිය අත්දැකීම් ඇත්තේය.

  1. වෑලිය හා සොරගුණය (වර්තමාන නමමය)
  2. කොස්ගම (වර්තමාන භාවිත නමමය)
  3. මලපේ (වර්තමාන භාවිත නමමය)
  4. මැදුන්ගමුව හෙවත් වර්තමාන නැදුන්ගමුව
  5. එකලවැල්පේ හෙවත් වර්තමාන කලවැල්පේ හෝ කරපේ
  6. කිංචිගුණේ (වර්තමාන භාවිත නමමය)
  7. පීලිපොත (වර්තමාන භාවිත නමමය)
  8. වරකාවෙල(වර්තමාන භාවිත නමමය)
  9. මැගම දේවාලයට නුදුරු මාලිගා ගොඩැල්ල (වර්තමාන ප්‍රධාන පොදු ජලසැපයුම් ටැංකිය ඉදි කර ඇති ස්ථානය අදත් මේ නමින්ම හැඳින්වේ.

මෙලෙස තමන් කරවන නව දේවාලයට කෙත්මුත්තෙට්ටු වෙල් තුන් භාගයයි යනුවෙන් ප්‍රසිද්ධ කළ රජතුමා මැදගම දේවාලයට නුදුරුව ඇති මාලිගා ගොඩැල්ලේ ගමන් මාලිගාවට පැමිණ ඇත. මාලිගා ගොඩැල්ල නමින් අද පවා හඳුන්වන ස්ථානයක් දේවාලයට ආසන්නයේ ඇත. අද එම උස්බිම ප්‍රදේශයට හා දේවාලයට ජලය සපයන ටැංකිය ඉදි කිරීම සඳහා ප්‍රයෝජනයට යොදවා ඇත. එම ප්‍රදේශයේ පුරාණ ගොඩ නැගිල්ලක් තිබූ බවට ඉඟි කෙරෙන ගඩොල් කැබලි හැඩ ගන්වන ලද ගල් හා වලං කැබලි ඇතුළු සුන් බුන් දක්නට ලැබිණි. පුරාණ ලේඛනයේ සඳහන් වන "........... පළමුවෙන් තිබ්බ මැදගම දේවාලෙට නුදුරුව මාලිගා ගොඩ වැඩහිටගෙන දෙවියන් වහන්සේට නුවර කරවඬ ගොඩැලිතුනක් පේකරපුදා රාත්‍රියේ නැගෙනහිරින් දෙව් රුවක් සරහාබුරුහීන්නට වැඩ රාමසැරයක් අරිනවා සොප්නයෙන් දැක පිබිද එලිවුනු බව දැක වදාල කල්හි තලකඳක් පමණ අතු පොඩිව ගිනි ගෙන දා අලු අඟුරු රාසි පිට වැඩහිටිනවා දැක....." යන විස්තරය අනුව මාලිගාගොඩැල්ලේ නැවතුනු රජතුමා දේවාලය කරවීම සඳහා සුදුසු විය හැකි උස් ස්ථාන තුනක් සූදානම් කර ඇත්තේය. එය පේකිරීම යන්නේ අදහසයි. උග්ගල් අලුත්නුවර හෙවත් එවකට මැදගම වනාන්තරය නම් වූ ප්‍රදේශයේ දක්නට ලැබෙන උස්බිම් අතරින් මැදගම දේවාලයට නුදුරුව ඇති උස්බිම් තුනක් තෝරාගත්තත් දේවාලයට ඉදිකිරීමට සුදුසුම උස්බිම නිශ්චය කර තෝරා ගැනීමට එකවරම අපහසු වී ඇත. එය තෝරාගෙන ඇත්තේ රජු දුටු සිහිනයක් මගිනි. රාත්‍රියේ නැගෙනහිර දෙසින් පිහිටි සරහාබුරු හීන්නට(වර්තමාන ව්‍යවහාරය හැරෑබුරු හීන්නය) පැමිණි දෙවියන් විදින ලද “රාමසැරයක්” උස්බිම මත පිහිටි විශාල නුගවෘක්ෂයට වැදී ගිනි ගන්නවා පෙනුනි. රාමසැරය යනු රාත්‍රියේ දෙවියන් ගමන් ගන්නා බව දැන්වෙන සංකේතයක් සේ පෙදෙස් වැසියෝ අදහස් කරති. දැනුදු රාත්‍රියේ ගමන්ගන්නා “රාමසැර” දකින අය අය බො‍හෝ වෙති. වේගයෙන් පොළව දෙසට කඩා වැටෙමින් ගමන්ගන්නා උල්කාපාත ගැමියා හඳුන්වන්නේ ද රාමසැර යනුවෙනි. හීනය දැකීමෙන් පිබිදුනු රජතුමා ඒ වන විට එලි වී ඇති බව දුටුවා සේම උස්බිම මත ඇති නුග වෘක්ෂය ගිනිගෙන අළුවී ඇති බව ද දැනගන්ට ලැබීමෙන් එහි ගොස් බැලූ විට අළු හා අඟුරු මත ඇති ස්වර්‍ණායුධය දැක මහත් සේ භක්තියෙන් හා සතුටින් ඔද වැඩී ගොස් මැදගම දේවාලයේ තේවාවන්හි නියුතුව සිටින නාරායන අප්පුහාමි ගෙන්වා නව දේවාලය ඉදි කරන තුරු මැදගම දේවාලයට දේවාභරණ වැඩමවන ලෙස නියම කර ඇත. මේ පුවත පිළිබඳව වඩා විස්තරාත්මක තොරතුරු මුඛපරම්පරාවෙන් පැමිණි කතා තුළ දැක්වේ. මේ කතාන්තරය විසිතුරු ලෙස විස්තරාත්මකව කීමට භාරතරත්න කපුමහතා ද රන්සළු පංගුවේ කරොලිස් මහතා වැනි දැනමුත්තෝද වෙනත් පැරැන්නෝද සමත් වෙති. මේ උස්බිම අන්කවරක් හෝ නොව රජතුමා ගිමන් හැරීම පිණිස හා යුද සේනාව ඇමතූ ස්ථානය ලෙස ද යොදවාගත් සුවිසල් නුග සෙවනයි. එම නුගය දා හළුව ගොස් ඒ අළු මත ස්වර්‍ණායුදය තිබෙනවා දැක රජතුමා දුන් නියෝගය අනුව නාරායන අප්පුහාමි එය වැඩමවා ගැනීම පිණිස අවශ්‍ය පිරුවට (මනාව පිරිසුදු කරන ලද සුදු රෙදි) ගෙනෙන ලෙස එක් පවුලක පිරිසට දැන්වීය. ඒ අය ගෙනා පිරුවට දේවාභරණය වැඩම වීම පිණිස දැම්ම වහාම ගිනිගෙන දැවී ගියේය. ඒ පරම්පරාවේ අය එතැන්සිට “දාහළුගේ” යන නමින් ප්‍රකාශයට පත්විය. එම වාසගම සහිත අය අද ද උග්ගල් අලුත්නුවර වෙසෙති. එම පිරුවට දැවී ගිය හෙයින් වෙනත් පුවුලකට අයත් පිරිසක් කැඳවන ලදුව ඒ අය විසින්දැමූ පිරුවට අළුපාට විය. (සමහරවිට කළුපාට වුනා විය හැකිය යනු ලේඛකයාගේ අදහසකි. ) ඒ අය “සුද්දහළුගේ” යන නමින් ප්‍රකාශවිය. සුද්දහළුගේ යන වාසගම සහිත අය ද අදත් වෙසෙති. තවත් පවුලක් මගින් පිරුවට ගෙන්වන ලද අතර ඒ අයගේ පිරුවට වලට උපද්‍රවයක් නොවී දේවාභරණ වැඩමවීම සඳහා ප්‍රයෝජනයට ගැනීමට හැකි විය. ඒවා රන්වන් වර්‍ණ වූ බව කියනු ලැබේ. එම පිරිස එතැන් සිට “රන්හළුගේ” නමින් ප්‍රසිද්ධ විය. රන්හළුගේ වාසගම සහිත පරම්පරාව අද ද වෙසෙත්. දේවාභරණ වැඩමවීම, සධාතුක කරඩුව වැඩමවීම සඳහා පියවිලි හෙවත් පාවාඩ එලීම, දේවාලයේ වියන් බැඳීම් පමණක් නොව දේවාභරණ වෙනුවෙන් සලු සැපයීම සහ නානුමුර මංගල්‍යයේ “රහස් රාජකාරි” නියමව ඇත්තේ ද මේ රන්හළු පංගුවේ හෙවත් තවත් අය ඇතැම්විට ව්‍යවහාර කරන පරිදි රත්නහළු පංගුවේ ඇත්තන්ට පමණි. එවැනි සිරිතක් ඇති වූයේ යට කී සිද්ධි දාමය නිසා බව ද කියනු ලැබේ. මෙසේ දේවා භරණ සුරක්ෂිතව හා ගෞරවාන්විතව තැබීම පිණිස සුදුසු ස්ථානයකට වැඩමවනු ලැබීමෙන් අනතුරුව නව දේවාල සංකීර්ණය ගොඩනැගීම ඇරඹී ඇත්තේය. අලුතෙන් ඉදි කරන ලද දැනට ඇති දේවාලයේ වැඩහිටින මාලිගයේ බිම එදා දැවීගිය නුගයේ අළු සියල්ල තැන්පත් කර තබා ඇති බවද ඒ මත ආසන ගොඩ නගා ඇති බවද තම පරම්පරාගත කතාවන්හි පවතින්නේයයි කපු මහතා මොහොට්ටාල නිළමේ වරු ඇතුළුව දේවාලයේ සියලු රාජකාරි ඇත්තෝ බලවත් විශ්වාසයෙන් යුතුව පවසති.


මැදගම දේවාලය · නව දේවාලය ගොඩ නැගීම