Jump to content

උග්ගල් අලුත්නුවර/මැදගම දේවාලය

Wikibooks වෙතින්

මැදගම දේවාලය යනු කුමක් ද ?

[සංස්කරණය]

ඉහත ‍දක්වන ලද ජනාවස වීම හා පුරාණ ලියවිල්ලේ සඳහන් දෑ ද ජනකතා සහ ජනකවි ද අත්තනායක මොහොට්ටාලවරුන් හා කපු නිළමේවරුන් ඇතුළු ගමේ වෙනත් දැනමුත්තන්ද පවසන දෑ ද පදනම් කරගනිමින් මැදගම දේවාලයේ කතාපුවත පහත පරිදි සම්පිණෟඩනය කර දැක්විය හැකිය. ශකවර්ෂ 1300 හෙවත් ක්‍රිස්තු වර්ෂ 1300 පමණ මේ ප්‍රදේශය ඝන වානාන්තරයෙන් වැසී ගිය එකකි. (ගස්කැපීම හා හේනක් වැන්නකට වනය හෙලිපෙහෙලි කිරීම සමිබන්ධ චාරිත්‍රවිධි හා පුරාණ වනසංරක්ෂන ප්‍රතිපත්තිය වෙනම පරිච්ඡේදයක විස්තර කෙරේ.) කෝට්ටේ දෙසින් ගොඩ බැස ලංකාවට පැමිණෙන දකුණු ඉන්දීය බ්‍රාහ්මණ පිරිස් කතරගම වන්දනාවේ යන පාරක් මැදගම වනාන්තරය හරහා වැටී තිබුණි. එසේ යද්දී තාවකාලික නවැතැන්පලක් වූයේ ගැට්ටපාන ආසන්න පෙදෙසෙයි. (පුරාණයේ උග්ගල් අලුත්නුවර සම්බන්ධ කළ මංමාවත් පිළිබඳ විස්තර ද වෙනම පරිච්ඡෙදයක දැක්වේ.) සිරිපරාම, රංගනාත බ්‍රාහ්මණ, මංගලනාත බ්‍රාහ්මණ, නාගරදේවී පරවරදාසා ඇතුළු බ්‍රාහ්මණ යනුවෙන් විස්තර වන බ්‍රාහ්මණ පිරිසක් මේ අතර විය. ඔවුහුද විඩා නිවා ගැනීම පිණිස මෙහි තාවකාලිකව නතරව සිටියහ. එම දිනය හා එදින රාත්‍රියේ දුටු සිහනයක් පුරාණ ලේඛනයේ මෙසේ දැක්වේ. "ශකවර්ෂ 1304 ඇසල මස අවඅමා මාසයෙහි සෙනසුරාදා දින රාත්‍රියේ කන්දස්වාමීන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් ස්වර්‍ණනායුදයක් එර්දිව ගුගුරා ගුවන් තලයෙන් නික්මෙන බව"ක් දැක ඇත.(ක්‍රි.ව. 1382 ජුලිමස චන්ද්‍ර මාස ක්‍රමය අනුව අව පක්ෂයේ සෙනසුරාදා දිනක මේ සිහිනය දැක ඇති බව පෙනේ.) ඒ බ්‍රාහ්මණයා පිබිද බැලූ විට සැබවින්ම එම හී සරය මැදගම වන්න්තරයට වැදුනු බව දැක ඇති බව ද ලියවිල්ලේ ද ජනවහරේද දැක්වෙයි. පසුව එහි කෙරෙන විස්තර අනුව මේ රංගනාථ බ්‍රාහ්මණ බව පැහැදිලි වෙයි. මෙම රංගනාත බ්‍රාහ්මණයා ‍වෛතාල වෙලාවට පිබිද මුව දෝවනය පිණිස වැවට ගොස් ඇත. වෛතාල වේලාව යනු හිරු උදාවට ආසන්න අවස්ථාවයි. (වෛතාල වෙලාව ගැන ද පසුව විස්තර කෙරේ) අඩ අඳුරේ වැවට නැමෙද්දී දිලිසෙන ස්වර්‍ණනායුදය වැවේ තිබෙනු දක්නට ලැබී කලබලව වැවි පත්ල අතගා බැලුවත් ස්වර්‍ණනායුදය හමු නොවීය. ඒ වෙනවට වැව මඩ විය. මඩ පෑදුන විගස නැවතත් ස්වර්‍ණනායුදය පෙනෙන්ට වීමෙන් විමතියට පත්ව අයිනේ ඇති ගස උඩ බැලූ විට ගසට වැදී තිබුණ ඊතලය දැක්නට ලැබිණි. මෙහිදී ලේඛනයේ දැක්වෙන්නේ අන්දරගහ වශයෙනි. ලේඛකයා එය අද්දර හෙවත් ආසන්නයේ පිහිටි ගස යනුවෙන් දැක්වුවද අන්දරගහ යනුවෙන් පැරැන්නෝ විස්තර කෙරෙන ගසක් ගැන ජනකතාවේ කියවෙයි. එහෙත් අන්දර නමැති ගස් විශේෂයක් ගැන සෙවිය නොහැකි බැවින් අද්දර හෙවත් ආසන්නයේ පිහිටි ගස යනුවෙන් මෙහි ලිය වේ. කෙසේවුද අන්දරමුල්ල නමින් මේ ස්වර්‍ණනායුදය පහළවී යැයි විශ්වාස කෙරනෙ පෙදෙස අදත් නම් කෙරෙන බැවින් අන්දරගහ යන ව්‍යවහාරය ද ඉවත් කළ නොහැක්කකි. වහා ආපසු පැමිණි රංගනාත බ්‍රාහ්මණ තෙමේ ගසේ ඇමිනී තිබෙන ස්වර්‍ණනායුදයත් තමාදුටු සිහිනයත් පිළිබඳ තම වැඩිමහල් සොයුරා වන මංගලනා බ්‍රාහ්ණ ඇතුළු පිරිසට විස්තර කළේය. මේ විස්තර තම කණඩායමේ සිටි සෙසු අයටද පැහැදිලි කර දී එකල සිටි වනාරක්ෂක නිලධාරියා හෝ සෙනෙවියා වූ ගැට්ටපාන වන්නිරාලට ද ඒ මගින් ප්‍රදේශය භාර ප්‍රධානියා වූ මැදගම බණ්ඩාරට ද ප්‍රදේශයේ සිටි වෙනත් සුවිශ්ෂ ජනකණ්ඩායම් ප්‍රධානීන් වූ බඩහැල වන්නියා සහ කදිරසිංහ තන්ත්‍රියාට ද දැන්වීය. මේ සියලු දෙනා දින හතක් පේවස් ක්‍රියාවෙන් දවස් යැවූහ. පේවස් ක්‍රියාව යනු දැන් ව්‍යවහාර වන පේවීම යනුවෙන් හැඳින් වෙන සූදානම් වීමය. මේ සූදානම් වූයේ සමර විටෙක අටසිල්සමාදන්ව සිටීම විය හැකිය. පෙහෙවස් සමාදන්වීම යනුවෙන් අෂඨාංග ශීලයේ පිහිටා සිටීම අදහස් කෙරේ. (බලන්න බෞද්ධ පිළිවෙත් විස්තර කෙරෙන ග්‍රන්ථ) දැනුදු බැතිමතුන් දේවාලයට යන්නේ දිය නෑමෙන් පිරිසිදු වී බුදුන් වැඳ පන්සිල් සමාදන්ව දෙවියන්ට පින් දීමෙන් ද අනතුරුවය. දේවාලයේ සියලුම රාජකාරි වත් පිළිවෙත් හි නිරත ඇත්තෝද බුදුන්ට මල් පහන් පුදා පන්සිල් ගෙන ‍දේවාලයට යාම අනුගමනය කෙරෙන සිරිතකි. යට කී බ්‍රාහ්මණයන් කවර ආගමක අය වුවද "සද්දවසක් පේවස්ක්‍රියාවෙන්" යතුව පේවූ බව පෙනේ. ස්වර්‍ණනායුදය සුරක්ෂිතව වැඩමවා තැබීමේ ස්ථානය පෙන්වා දී ඇත්තේ ද සිහිනයකිනි. මෙවර මංගලනාථ බ්‍රාහ්මණ වෙත සුදු ඇතකු මත හිඳගත් දෙවි රුවක් සිහිනයෙන් පැමිණ "මේ ශ්‍රී ලංකාව හිමි තැනකින් අපට මලසුන්ගෙයක් කරවදාරනනතුරා සියල්ලන්ටම දක්නා ලෙසට වන්නිවෙල මැද්දේ ගැටනෙටුල යට ගල් ලෙනට වැඩම කරවයි හීන වඩා වදාලා ඇත" යනුවෙන් විස්තර වන පරිදි මංගලනාථ බ්‍රාහ්මණ තමාට පෙනුන සිහිනය ගැන විස්තර අන් අයට පැවසීය. මේ සඳහා සූදානමිවූ පිරිස වැව අද්දරින් පිහිටි ගස මුල‍ට(අන්දර ගහ යටට) ගොස් දෙවියන් වැඳ දෙවියන්ට ආශීර්වාද කර තමන්ට ද දේවාශීර්වාද ආයාචනා කර ස්වර්‍ණනායුදය හෙවත් දේවාභරණය ගැනීම පිණිස ඉනිමගක් බැඳ වූහ. (මේ දේවාලයේ ආසිරි පැතීම හා ආසිරි යැදීමේ පිළිවෙත ද සාපේක්ෂව අමුතුය. එය වෙනම පරිච්ඡෙදයේ දැක්වේ.) ඉනි මගේ නැගි රංගනාථ බ්‍රාහ්මණයන් තම දෑත පිරුවට හෙවත් ඉතා පිරිසිදු සුදු සළු වලින් වසා ගෙන ගසට වැදී ඇමිණි තිබුණ හී හිස උගුල්ලා ගලවා ගෙන පහළට ආවේය. මෙය “.....ගහමුලට ගොහින් ආසිරිවාද පවත්වා වැඳනමස්කාරයෙන් ඉනිමන් පිටට වී රඟනාත බ්‍රාහ්මණගේ දෑත පිරුවට සළු වසා අන්දර ගහට වැදී තිබුණ මුණ සර උදාරමින්.......” ලෙස ලේඛනයේ දැක්වේ. එසේ පැමිණ ගල් ලෙනට වැඩමවා පඤ්චෝපචාරයෙන් මල් පහන් පුදා තේවා කළ හ. මෙහිදී පඤ්චෝපචාරය යනු කුමන ආකාර පූජා පිළවෙතක් ද යනු තවම නිශ්චිතව සොයාගත නොහැකි විය. වචනාර්ථය අනුව තේරුම් කළහැක්කේ පස් ආකාරයක නමස්කාර හැසිරීමක් ලෙසිනි. සමරවිට දෑත දෙදන හා හිස බිමට තබා කරන ලද පසඟ පිහිටුවා වැඳ කරන නමස්කාරය විය හැකිය. පඤ්චංගික තූර්යනාදය යන්න මේ ලේඛනයේම විවිධ ස්ථානවල දක්නට ලැබෙන බැවින් එය භාණ්ඩ වාදනය කරමින් දක්වන සංගීතමය යාඤාවක් හෝ උපහාරයක් නොව වෙනත් ආකාරයක නමස් කාර පිළිවෙතක් බව නිගමනය කළ හැකිය. මෙසේ තැන්පත් කළ ගල් ලෙන දක්නට ඇති ප්‍රදේශය අද හඳුන්වන්නේ "ගල්වත්ත" නමිනි. එහි ඇත් ගල් ලෙන "ගල්ගේ" නමින් හැඳින්වෙන අතර ඊට කිට්ටුවීමට පොඩිදරුවකුට පවා ඉඩ නොතැබීම අදත් පවතින සිරිතකි. මෙම ගල් ලෙනේ දේවාභරණ තැන්පත් කර පුදපූජා සත් දවසක් පුදපූජා පවත්වන ලදී. මෙය සටහන් වන්නේ ".........එතරවාකෝරලේ සේනාව එකතුවී පුදපඬුරු ඔප්පුකර සද්දවසක් පංචන්ගීතූර්යනාදයෙන් භෙරිඝෝෂා සජ්ජිතයෙන් සද්දවසක් නීරෝහි කෙලිමින් ගංලත්තෝ විහින් මුරජාමකරවමින්.........." මේ පුදපූජා කළ බවකි. මැදගම වනාන්තරයේ සිටි සියලු දෙනා මේ පුවත දැනගැනීමෙන් අනතුරුව පැමිණ දෙවියන්ට සුදුසු වතාවත් තෝරා බේරාගෙන ඉටු කරන්ට පටන්ගෙන ඇති බව පැහැදිලිය. එතරවා කෝරලේ යන්න අද නාමාවශේෂ එකක් පමණි. ඉංග්‍රීසින්ට යටත්වන විටත් මෙම කෝරලය නොතිබූ බව එකල ලියැවුන ලේඛන අනුව පෙනේ. (මේ එතරවා කෝරලයට අදාල ප්‍රදේශය මෙන්ම හා මෙහි දැක්වෙන නීරෝහි කෙලිය නමැති ක්‍රීඩාවද අද දක්නට නොහැකි එකකි. ඒ පිළිබඳ විමසුම් වෙන වෙන ඡෙදවලට ගෙන සාකච්ඡා කෙරේ) මෙසේ දේවාභරණ කෙර් දිනහතක් පුදපූජා පැවැත්වීමෙන් අනතුරුව මැදගම බණ්ඩාර හා වන්නිරාලත් රංගනාථ බ්‍රාහ්මණද රැගෙන එතරවාකෝරලේ සේනාව සමග සූරිය මහරජුට දන්වා ඇත. මෙහි ලේඛන ගතව ඇත්තේ "..ශ්‍රී ලංකාද්වීපයට ඒකචත්‍රව රාජ්‍යය කරවදාරන ඒ මහා රාජෝතතමයන් වහනසේ.." යනුවෙනි. මේ පස්වන භවනෙකබාවන් වියහැකිය යන මතයට ඇතැමකු පැමිණිමට මේ සටහන ද හේතුවකි. හින්දු ආගමික ආභාසය ලංකා ජනජීවිතයට කාන්දුවීම ඇරඹුණෙ පොලොන්නරු යුගයටත් ඈත සිටය. ‍පොලොන්නරුව,දඹදෙනිය, යාපහුව, කුරුණෑගල, ගම්පල, කෝට්ටේ යුගයන් පසු කර සීතාවක අවදිය වන විට මේ බලපෑම ජනජීවිතය වෙලාගෙන තිබුණි. බෞද්ධ ස්ස්කෘතියට මේ ආභාසය ගැබුණෙ බුදුන්වහන්සේට හැමවිටම ප්‍රමුඛතාව දෙමිනි. කතරගම, සමන්, විෂ්ණු, විභීෂණ යන සිව් දෙනා ශාසනය ආරක්ෂා කරන මහේශාඛ්‍ය දෙවියන් සේ ඇදහීමට ලක්ව තිබූණි. විශේෂයෙන් ගැමුණු අවදියේ සිටම සතුරු ආක්‍රමණ වලදී පිහිට යදින මහා දෙවියන් වූයේ කතරගම දෙව්යන් බැවින් උන්වහනසේට පුද සත්කාර කරන ලොකු කුඩා දේවාල දිවයින පුරා කැප කරමින් තිබූ සමයක්ද විය. දකුණු ඉන්දීය හින්දු බලපෑම කෝට්ටේ අවදිය වන විට මහත් සේ වර්ධනය වී තිබුණි. විවිධ බමුණන් නිතර අපේ විද්‍යාෂ්ථානවලට පැමිණි ආකාරයත් ඇතැම් හින්දු ඇදහිල් හා බෞද්ධ ඇදහිලි අතර ගැටුම් ස්වරූප ද කෝට්ටේ සමයේ දක්නට හැකිවිය. වීදාගම මාහිමියන්ගේ ලෝවැඩ සඟරාව වැනි මනරම් කාව්‍යයන් සහ එකල තොරතුරු පැවසෙන ජනකතාන් ද මේ ගැටුමේ තොරතුරු පෙන්වයි. තවත් අතකින් සඟසසුනේ දෙදෙරීම් ස්වරූපයක් පැවති බව දඹදේනි කතිකාවත්ක් කරන්ට වීමෙන්ම සිතාගත හැකිය. කෙසේ හෝ මෙම දේවාභරණ පහළවීමේ පුවත රජතුමා හෑල්ලුවට ගෙන නැත. වහාම සිය අමාත්‍ය මණෟඩලයේ නිරීක්ෂණ මත වාර්තාවන් ලබාගත් බව පෙනේ. එම වාර්තාවන් මගින් සත්‍යය වටහාගත් රජතුමා මැදගම වනාන්තරයට පැමිණ ගල්ලෙ‍නේ තිර අරවා බැලීය. ‍එය සැබෑවටම දෙවියන් විසින් පහළ කරදුන් ආභරණයක් වශයෙන් තේරුම් ගෙන දේවාලයක් තනා දීම පිණිස විධිවිධාන යොදවා ඇති ආකාරය දැක්වෙන්නේ පහත සඳහන් ආකාරයෙනි. “.......දෙවියන්ගේ තේජානුභාව බලනු පිණිස තිර අරවා බැලූ ‍ෙතනේදී කිනිහිරියාමලෙන් ගල්ලෙන අලංකාර කරපුවාක් සේම සූර්යදිව්‍ය රාජයන් පහලව විහිදෙන්නාසේ තේජස් පැතිරෙමින් අස්නේ වැඩසිටින ස්වර්‍ණනායුදේ දැක බියපත්ව මේ ශ්‍රී ලංකාද්වීප‍හෙි රජකරන මහරජ්ජුරුවන් වහනසේලා සහ සේනාව ලංකාද්වීපය කන්ද ස්වාමීන් වහන්සේ විහින් රක්ෂාකරන පිණිස අහස පොළව ඉර හඳ පවතිනාතෙක් පන්දහස් කාලෙකට පවතිඬ ලැබුණු ආනුභාවයයි යන වග මහකරුණා දිවස් එලියට ගුහින් ඔප්පු කළ තැන ඒ මහ රාජෝත්තමයන් වහන්සේ සිවිරඟ සෙනග පිරිවරා ගෙන දේවාලය සිද්ධ කර වදාරන පිණිස මැදගමට වැඩම කරපුදා රාත්‍රියේ පර්වත ගොඩැල්ල කියන ඉස්තානයෙහි පිහිටි මහ පර්වත ගලක් පොඩි කරන හඬක් මෙන් කන් ආභරණෙ වැටී උදය වැඩම කරවා ඒ ඒ පර්වතය පොඩි වී තිබුණ ගල් රාසිය ඉවත්ව බිම ඉඩ ඇරී තිබෙන බව බලා වදාරමින් ඔය දෙවියන් වහන්සේට දේවාලය සිද්ද කරන ලකුණ මේ යයි සිතා.............” වශයෙනි. ඒ අනුව කරවන ලද මැදගම දේවාලය තිබුණ පෙදෙසට අදත් ව්‍යවහාරවන්නේ “ගොඩැල්ල” හෝ “සිංහාසන ගොඩැල්ල” යන නමය. මේ ස්ථානයේ කරවන ලද දේවාල මළුව “දිගින් සත් බඹයක් පුළුල පස්බඹයක් හා උස තුන්බඹයක්” වී යයි දැක්වේ. මෙහි බඹය යනුවෙන් අදහස් කරන ලද්දේ “හතර රියන් පුරුෂයකු දෙ අත් දෙපසට විදාහල විට දැක්වෙන දිග ප්‍රමාණය” යයි ගමේ මෙහි අන් පරිචේචේදයක ඉදිරියෙදි සටහන්වන සාම්ප්‍රදායික ගණිතඤයා වන ඒ.ජී.් අල්විස් මහතා වැනි දැනමුත්තෝ ප්‍රකාශ කරති. එය වර්තමාන ලංකා ව්‍යවහාර මිනුම් අනුව මීටර් දෙකක් යයි සිතුවොත් දිග මීටර් 14 ක්ද පළල මීටර් 10 ක්ද උස මීටර් 6 ක්ද වන එකක් විය යුතුය. දළ වශයෙන් මේ මිනුම් වලට සමාන දිග පළල හා උස ඇති ගල්බැමි වලින් යුතු ස්ථානයක් මැදවත්ත පෙදෙසේ දකුණු සීමාව ආසන්නයේ තිබුණි. කලින් විස්තර කළ පරිදි ස්වාභාවිකව ඇති වූ උස් ගොඩැල්ලක් යයි සිතා පුංචිබණ්ඩාර මොහොට්ටාල නිළමේගේ විරෝධය ද නොතකා පෙරහර ගමන්ගන්නා විලාසය තානායම දක්වා පෙනෙන පරිදි 1978 දී සම භූමියක් වනු පිණිස ඉවත් කරන්නට උත්සාහ කරන ලද්දේ එයයි. මැදගම දේවාලය යනුවෙන් පුරාණ ලියවිල්ලේ සඳහන් දේවාලයේ මළුව මෙය බව පැහැදිලි වන්නට වූයේ මේ වැඩ වලදී මතුවන්නට වූ පුරාවස්තු හේතුවෙනි. මේ බමි වල්න් ගොඩනැගුන මළුව මත එම දේවාලය තිබුණ බව සිතාගත හැකි විය. “සතර දෙස සීමා බන්ධනය කර” ගල් ටැම් සිටුවා ඉදි කළ බව දැක්වෙන පරිශ්‍රය මැදවත්ත නමින් අද හැඳින් වෙන පෙදෙස වටා ආනමේස්සර කවුළු සහිත බැම්ම ද 1978 දක්වාම විය. දේවාල කරනයේදී සූර්ය මහනුවර “ධර්මදක්ෂි” මහා විහාරයේ වැඩ සිටි “දේවමිත්‍ර” තෙරුන්වහන්සේ ගෙන්වා සුබ මොහොත සකස් කරන ලදී. එම නැකත “දුරුතු මස (ජනවාරි මස) පුරසතවක් නම් තිථිය ලත් සඳුුදා රෑ විස්එක් පෑ කාලෙන් උදා වුනු උත්‍රපුටුපේ නැකත” බව ද සටහන්ව පවතී. දේවාලය සඳහා මුල් කණුව හෙවත් “මගුල්කප” හිඳුවා ඇත්තේ කදිරසිංහතන්ත්‍රියා ලවාය. “දෙවුන්දර වඩුමිස්ත්‍රී” නමැති ශිල්පියා ගෙන්වා ඔහු විසින් රන් කොත් නවයකින් යුතුව මැදගම දේවාලය ඉදිකර නිමවීමට මාස 3 ක් ගතව ඇත. වෙසක් මස පුරපස්වෙනි බ්‍රහස්පතින්දා පුසේ නැකත උදාවුන වෛතාල වෙලාවට ගල්ලෙනේ සිට මංගලනාථ බ්‍රාහ්මණ ලවාග්ල්ලෙනේ මෙතෙක් තැන්පත් කර තිබුණු දේවාභරණ මෙසේ ඉදි කරන ලද දේවාලයට වැඩමවා ඇත. ඉන් අනතුරුව මැදගම බණ්ඩාරගේ හා ගැට්ටපාන වන්නිරාලගේ ගමෙන් වී අමුණු 17 ක් වපසරිය ඇති කඹුරු පිදූ බවද කදිරමල් නාච්චිරා පොන්නමල් නාච්චිරා තටු කොල කළුූ සහ පොල්බොක්කේ අරුමක්කාරයා යන සිව් දෙනා දේවාලයට පඩුල්ලා දුන් බව ද කියවේ. “ගැට්ටපාන” සහ “පොල්බොක්ක” යන පෙදෙස් උග්ගල් අලුත්නුවර ආසන්න ගම් වෙයි. “තන්ත්‍රීගේ” සහ “මීත්‍රීගේ” යනු අදත් මෙහි වසන පවුල් පරම්පරා දෙකක වාසගම් වෙයි. මේ ආසන්නයේම එක් පපෙදෙසක් “බ්‍රාහ්මණවත්ත” යනුවෙන් හැදින්වේ. උක්ත බ්‍රාහ්මනයන් පසුව සිය වාසස්ථාන දේවාලය ආසන්නයේම ඉදිකරගත් බව මෙයින් පැහැදිලි වේ. වර්තමාන මහා පෙරහර උත්සවයේ දියකැපීමට නියමිත දිනය උදාවීමට ආසන්නව තිබියදී “වීදි දාස් වැඩමවීම” යනුවෙන් ලංකාවේ අන් කවර දේවාලයක හෝ නැති අලංකාර විශේෂ පෙරහරක් පැවැත්වේ. එම පෙරහර පවත්වන්නේ මැදගම දේවාලයේ සිට පසුව යාපා මහරජු ඉදිකළා යයි පැවසෙන දේවාලයට දේවාභරණ වැඩමවූ අවස්ථාව සිහිගැන්වීම පිණිස බවට මතයක් දැනමුතු ගැමියයෝ පළ කරති. එම පෙරහර ඇරඹෙන්නේ ද මැදගම දේවාලය තිබූ ස්ථානය ආසන්නයෙනි. මේ සියලු විස්තර සැලකිල්ලට ගන්නා විට මැදගම දේවාලය යනු මෙම ස්ථානයේ තිබුණ දේවාලයම බව නිසැකව නිගමනය කළ හැකි වෙයි. මෙහි ජනතාව අතර නිතරම පාහේ පැවසෙන ජන කවිය ද දේවාල කරනය පිළිබඳ විස්තර හා එය මෙයම බවට දෙස් දෙන්නකි.


 ශලුත් ශකන් තුනුසිය වරුසෙට හමි දුරුතු මසේ         පුර සඳ කාලේ
 ගලුත්කඩා කටු කණුමල් උදුරා සීමා පවුරකි              මැදමාලේ
 දිලුත් එරන්කොත් නවයක් තිබුණයි ශක්‍රපුරය          බඳු ඒ කාලේ
 දිලුත් එ දික්පති සූරිය නෙරපති කෙරෙව්ව          මැදගම දේවාලේ

සූරිය මහ රජු ඉහත කියන සිව් දෙනා දේව තේවා වෙනුවෙන් කටයුතු කිරීමට නියම කළ සේවකයන් වූහ. මැද්දදේසෙන් ගොඩ බැස්ස රංගනාථ මංගලනාථ බ්‍රාහ්මණ වරු දෙදෙනා දේවාලයේ වගකිවයුතු කපුනිළමේවරු හා භාරකරුවන් බවට ප්‍රකාශයට පත් කර ඇතිබව ලේඛනය අනුව නිගමනය කළ හැකිය. මෙහිදී නාගරදේවීට "...."මුළුතැන්රතනපොති" කියන නමකුත් වදාරමින්..." යන්නේ ඇඟවෙන්නේ නාගර දේවිට නම්බුනාමයක් හෙවත් ගෞරව නාමයක් ද පරි නමා ඇති බවකි. මේ නාගරදේවී සම්බන්ධ විසිතුරු ජනකතාවක් ද වෙයි. එය වෙනම ඡේදයක දැක්වේ. මෙිදී විශේෂ කාරණයක් වශයෙන් දේවාලයේ මුළුතැන් තේවාව ඒ කාලයේ ඉටු කර ඇත්තේ කාන්තාවන් විසින්ද යනු විමසීම වටී. නාගර දේවී සමග වල්ලි දේවීද යනුවෙන් තවත් කාන්තාවකගේ නම මෙහිදී සටහන්ව ඇත්තේය. මෙසේ දේවාලයේ තේවාවන් හා පූජාවන් නිසි පරිදි ඉටු කිඍමට අවශ්‍ය පුද්ගලයන් පත් කිරීම ඇතුළු සියලු විධිවිධාන සලසා සූරිය මහ රජු වැඩ සිටි රජමහනුවරට සිය සේනාව ද සමග ආපසු ගිය බව පුරාණ තල්පතේ ද ජනවහරේ ද සඳහන්ය. සූරිය මහ රජු යන්වෙන් පුරාණ ලේඛකයා ලියා ඇත්තේ එකල තිබූ ව්‍යවහාරය අනුව රාජවංශය යන නිගමනයට ඇතැමකු පැමිණෙති. එකල තිභු ජනවහර අනුව නම් ඔහුට ලැබුණෙ රජුගේ වංශයේ නම විය හැකියයි සිතතොත් මේ රජමහනුවර යන්නෙන් ගම්පල රාජධානිය අදහස් වේ. මේ ආකාරයට රජු පස්වන භුවනෙකබාහු විය හැකිය යන නිගමනයට බොහෝ අය පැමිණෙති. සූර්යරජමහනුවර යනුවෙන් අදහස් කළේ මැද්දෙගම යයි මීට පෙර සඳහන් කළ රජවරුන්ගේ ආරක්ෂිත මාලිගයක් තිබූ මැද්දේගම නම් එය උග්ගල් අලුත්නුවර සිට කිලෝ මීටර් 15 ක් පමණ නුදුරේ ඇති ස්ථානයක් බැවින් එහි සිටියේ සූරිය නම් වූ ප්‍රාදේශීය රජකු විය හැකිය කෙසේ හෝ දේවාලකරණයෙන් පසුව රජු නැවත පැමිණි අවස්ථාවක් සඳහන් නොවේ. මේ අනුව සූරිය මහරජු යනු කවුද යන්න උග්ගල් අලුත්නුවර සම්බන්ධයෙන් පවතින හරි හැටි නොවිසඳුන ගැටළුවකි. එහෙත් උග්ගල් අලුත්නුවර වර්තමාන දේවලයට පෙර ගොඩනැගූ දේවාලයක් තිභු බව ද එය මැදගම දේවාලය නම් වූ බවද පිළිගැනිමට කිසිදු බාධකයක් ඒ නිසා ඇති නොවේ. සියලු කරුණු සැලකිල්ලට ගන්නා විට මැදගම දේවාලය යනු කුමක්ද යන්න ගැටළුවක් නොවේ.

උග්ගල් අලුත්නුවර දේවාලයේ මුල් නම · කතරගම දේවාලය හා මැදගම දේවාලය